Skip to content

පටුනට යන්න

ආබ්‍රහම් සහ සාරා ඔබට පුළුවන් ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරන්න!

ආබ්‍රහම් සහ සාරා ඔබට පුළුවන් ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරන්න!

ආබ්‍රහම් සහ සාරා ඔබට පුළුවන් ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කරන්න!

ඔහුව “ඇදහිල්ල ඇති සියල්ලන්ගේ පියා” ලෙසයි හඳුන්වන්නේ. (රෝම 4:11, NW) ඔහුගේ ආදරණීය භාර්යාවටත් එම ගුණාංගය තිබුණා. (හෙබ්‍රෙව් 11:11) ඔවුන් නම් දේවභයැති කුලදෙටු ආබ්‍රහම් සහ ඔහුගේ භාර්යාව වන සාරායි. ඔවුන්ව ඇදහිල්ල සම්බන්ධයෙන් ඒ තරම් කදිම ආදර්ශ ලෙස සැලකීමට හේතුව කුමක්ද? ඔවුන් විඳදරාගත් සමහරක් පරීක්ෂාවන් මොනවාද? ඔවුන්ගේ ජීවිත කතාවෙන් අපට ගත හැකි ප්‍රයෝජනය කුමක්ද?

ආබ්‍රහම්ට නිවස අත්හැර යන්න කියා දෙවි අණ දුන් විට ඔහු ඇදහිල්ල විදහාපෙන්නුවා. යෙහෝවා ඔහුට “ඔබේ දේශයෙන්ද ඔබේ නෑයන් කෙරෙන්ද ඔබේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් ඔබට පෙන්වන දේශයට යන්න” කියා පැවසුවා. (උත්පත්ති 12:1) විශ්වාසවන්ත කුලදෙටුවා ඊට කීකරු වුණා. ඒ ගැන අපට පවසන්නේ මේ අයුරින්. “ඇදහිල්ලෙන්, ආබ්‍රහම් කැඳවනු ලැබූ විට, තමාට උරුමයක් ලෙස ලැබීමට නියමිතව තිබුණු ස්ථානයකට පිටත්ව යෑමෙන් ඔහු කීකරු විය. තමන් කොතැනට යනවාදැයි නොදැන සිටියත් ඔහු පිටත්ව ගියේය.” (හෙබ්‍රෙව් 11:8, NW) එසේ වෙනත් ස්ථානයකට යෑමෙන් කුමනාකාරයේ තත්වයන්ට මුහුණ දීමට සිදු වේදැයි සිතා බලන්න.

ආබ්‍රහම් ජීවත් වූයේ අද දින දකුණු ඉරාකය ලෙස හඳුන්වන ඌර් නගරයේයි. ඌර් මෙසපොතේමියාවේ සමෘධිමත් කේන්ද්‍රස්ථානයක් වුණා. එම නගරය පර්සියානු බොක්ක හා සමහරවිට ඉන්දු නිම්නය ආශ්‍රිත ප්‍රදේශයන් සමඟ වෙළඳ ගනුදෙනු පැවැත්වුවා. ඌර් නගරයේ සිදු කළ විධිමත් කැණීම් කටයුතු අධීක්ෂණය කළ සර් ලෙනාඩ් වූලී ප්‍රකාශ කරන්නේ, ආබ්‍රහම් සිටි කාලයේ තිබූ බොහෝ නිවාස ගඩොලෙන් තනා කපරාරු කර තිබූ අතර ඒවායේ බිත්තිවල හුණු ආලේප කර තිබුණා කියායි. උදාහරණයක් හැටියට එහි විසූ අතමිට සරු වැසියන්ට ගඩොල් අල්ලන ලද මැද මිදුලකින් යුත් දෙමහල් නිවෙස් තිබුණා. ගෙයි පහත මාලය වෙන් කර තිබුණේ සේවකයන්ට සහ අමුත්තන්ටයි. පළමු මාලයේ මැද මිදුලට මුහුණ ලා තිබූ බිත්ති වටා ලී බැල්කනියක් තිබූ අතර පවුලේ අයට වෙන් කළ කාමරවලට යෑම සඳහා එය යොදාගත්තා. කාමර 10ත් 20ත් අතර සංඛ්‍යාවකින් සමන්විත මෙම නිවාස “සාපේක්ෂ වශයෙන් ප්‍රමාණවත් ඉඩ කඩ තිබෙන සැප පහසු ඒවා වූ අතර, යහපත් ජීවිතයක් ගත කිරීමට හැකියාවක් ලබා දුන්නා. පෙරදිග පන්නය සමඟ සැසඳීමේදී එය සුඛෝපභෝගී නිවසක්” කියා වූලී පවසනවා. එම නිවාස “ශිෂ්ට සම්පන්න සෙනඟකගේ නිවෙස් වූ බව ඉතා පැහැදිලිව දක්නට තිබූ අතර, සංවර්ධිත නාගරික ජීවිතයකට හුරු වූ අයගේ අවශ්‍යතාවන්ට හොඳින් ගැළපුණා.” ආබ්‍රහම් හා සාරා කූඩාරම්වල ජීවත් වෙන්න සිදු වන බව දැන දැනත් එවැනි නිවසක් අත්හැරියා නම් ඔවුන් යෙහෝවාට කීකරු වීම සඳහා කර ඇත්තේ විශාල කැප කිරීමක්.

ආබ්‍රහම් පළමුව ඔහුගේ පවුල සමඟ පදිංචි වූයේ හාරාන්වල. අද එය පිහිටා තිබෙන්නේ උතුරු සිරියාවේ. ඉන්පසුව ඔවුන් කානාන් දේශයට ගියා. මුළු ගමනේ දුර කිලෝමීටර 1600ක් විතර වුණා. මහලු වියේ පසු වූ යුවළකට එය එසේ මෙසේ දුරක් නම් නොවෙයි! ඔවුන් හාරාන් දේශයෙන් පිටත් වන විට ආබ්‍රහම්ගේ වයස අවුරුදු 75යි. සාරාගේ වයස අවුරුදු 65යි.—උත්පත්ති 12:4.

ඌර් දේශය අත්හැර යනවා කියා ආබ්‍රහම් සාරාට පැවසූ විට ඇයට කෙසේ හැඟෙන්න ඇද්ද? සැප පහසු නිවසක තිබෙන සුරක්ෂිතභාවය අත්හැර නුහුරු නුපුරුදු, හැම අතින්ම දුෂ්කරතා එල්ල විය හැකි, ඒ වගේම වඩා පහත් ජීවන තත්වයකට මුහුණ දීමට සිදුවීම වැනි දේවල් ඇගේ සැලකිල්ලට භාජන වන්නට ඇති. එසේ වුවත් සාරා, ආබ්‍රහම්ව ඇගේ “ස්වාමියා” හැටියට සලකමින් යටත් වුණා. (1 පේතෘස් 3:5, 6) සමහර විද්වතුන් මෙය සලකන්නේ, “සාරාට ආබ්‍රහම් ගැන තිබුණාවූ ගෞරවනීය ආකල්පය” පිළිබිඹු කිරීමක් ලෙස මෙන්ම ඇය තුළ තිබූ “සිතුවිලිවල හා හැඟීම්වල” සාක්ෂියක් ලෙසයි. ඒත් මේ හැම දෙයකටම වඩා සාරා යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබුවා. ඇගේ යටහත්කම සහ ඇදහිල්ල ක්‍රිස්තියානි භාර්යාවන්ට කදිම ආදර්ශයක්.

දෙවිට කීකරු වීම සඳහා අපේ ගෙවල් දොරවල් අත්හරින්න කියා අපෙන් ඉල්ලා නැති බව සැබෑවක්. එනමුත් සමහර පූර්ණ කාලීන එවැන්ජලිස්තවරු වෙනත් රටක ශුභාරංචිය දේශනා කිරීම සඳහා තම ගම් බිම් අත්හැර තිබෙනවා. අප කොතැනක සිට දෙවිට සේවය කළත් ආත්මික දේවල්වලට අප අපගේ ජීවිතයේ පළමු තැන දෙනවා නම් ඔහු අපේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙයි.—මතෙව් 6:25-33.

සාරාවත් ආබ්‍රහම්වත් ඔවුන් ගත් තීරණය ගැන කනගාටු වුණේ නැහැ. “ඔවුන් පිටත්ව ආවාවූ ඒ ස්ථානය ගැන සිතමින් සිටියේ නම්, ආපසු එහි යෑමට ඔවුන්ට ප්‍රස්තාව තිබිණ” කියා ප්‍රේරිත පාවුල් පවසනවා. නමුත් ඔවුන් ආපසු ගියේ නැහැ. යෙහෝවාව “ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු” බවට වූ නිසැකකම ඇතුව ඔහුගේ පොරොන්දු කෙරෙහි ඔවුන් ඇදහිල්ල තැබුවා. අපත් මුළු ආත්මයෙන්ම යෙහෝවාට භක්තිය පුද කරන්නට නම් ඔහුගේ පොරොන්දු කෙරෙහි එවන් ඇදහිල්ලක් තැබිය යුතුයි.—හෙබ්‍රෙව් 11:6, 15, 16, NW.

ආත්මික හා ද්‍රව්‍යමය පොහොසත්කම

ආබ්‍රහම් කානාන් දේශයට ගියායින් පසු දෙවි ඔහුට මෙසේ පැවසුවා. “මේ දේශය ඔබේ වංශයට දෙන්නෙමි.” ආබ්‍රහම් මෙයට ප්‍රතිචාරය දැක්වීමක් වශයෙන් යෙහෝවාට පූජාසනයක් ගොඩනඟා, “යෙහෝවාගේ නාමය කියා යාච්ඤා” කළා. (උත්පත්ති 12:7, 8) යෙහෝවා ආබ්‍රහම්ව පොහොසත් පුද්ගලයෙක් කළ අතර ඔහු සමඟ කූඩාරම්වල සිටි මිනිසුන්ගේ සංඛ්‍යාව වැඩි කළා. එක් අවස්ථාවක ඔහුගේම නිවසේ ඉපදී පුහුණුව ලැබූ පුරුෂයන් 318දෙනෙකු රැස් කළ නිසා “ඔහුගේ මුළු කණ්ඩායම දහසකට වඩා වැඩි වන්නට ඇති බවට” තක්සේරු කර තිබෙනවා. කුමන හෝ හේතුවක් නිසා මිනිස්සු ඔහුව සැලකුවේ “දෙවි විසින් පත් කළ අධිපතියෙක්” ලෙසටයි.—උත්පත්ති 13:2; 14:14; 23:6, NW.

ආබ්‍රහම් ඔහුගේ නිවසේ වැසියන්ට “ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් යෙහෝවාගේ මාර්ගය රක්ෂා කරන්ට” උගන්වමින් නමස්කාරයේදී මූලිකත්වය ගෙන කටයුතු කළා. (උත්පත්ති 18:19) යෙහෝවා මත රඳා සිටීමට හා ධර්මිෂ්ඨ ලෙස හැසිරීමට තම පවුල් සාමාජිකයන්ට ඉගැන්වීමෙන් සාර්ථකත්වයක් නෙළාගත් පුද්ගලයෙක් හැටියට ආබ්‍රහම්ව ආදර්ශයට ගැනීමට අද දින සිටින ක්‍රිස්තියානි පවුල් මූලිකයන්ට හැකියි. ඇත්තෙන්ම සාරාගේ ඊජිප්තු ජාතික දාසිය වූ හාගර්, ආබ්‍රහම්ගේ වැඩිමහල් මෙහෙකරුවා සහ ආබ්‍රහම්ගේ පුත් ඊසාක් යෙහෝවා මත රඳා සිටීම පුදුමයට කාරණයක් නෙවෙයි.—උත්පත්ති 16:5, 13; 24:10-14; 25:21.

ආබ්‍රහම් සාමයට ඇලුම් කළ කෙනෙක්

ආබ්‍රහම්ගේ ජීවිතේ සිදු වූ සිද්ධීන් තුළින් ඔහු දෙවිගේ පෞද්ගලිකත්වය පිළිබිඹු කළ කෙනෙක් බව හෙළි වෙනවා. ඔහුගේ එඬේරුන් සහ ඔහුගේ සහෝදරයාගේ පුත්‍රයා වූ ලොත්ගේ එඬේරුන් අතර ගැටුමක් ඇති වූ විට එය දිග්ගැස්සීමට ඉඩ නොදී එකිනෙකාගේ කඳවුරු වෙන් කිරීමට ආබ්‍රහම් යෝජනා කළා. මේ අවස්ථාවේදී ඔහු වයසින් බාලව සිටි ලොත්ට ඔහු කැමති ප්‍රදේශය තෝරාගන්නා ලෙසට ආරාධනා කළා. ඇත්තෙන්ම ආබ්‍රහම් සාමයට ඇලුම් කළ කෙනෙක්.—උත්පත්ති 13:5-13.

අපේ අයිතිවාසිකම් බලෙන් ඉල්ලා සිටීම හෝ සාමය පවත්වාගැනීම වෙනුවෙන් යම් පාඩු විඳදරාගැනීම යන කාරණා දෙකින් එකක් තෝරාගැනීමේ අවස්ථාවකට කෙදිනක හෝ අපට මුහුණ දීමට සිදු වන විට, ආබ්‍රහම් ලොත්ගේ අවශ්‍යතාවලට මුල් තැනක් දුන්නත් යෙහෝවා ඔහුට හිඟයක් ඇතිවීමට ඉඩ දුන්නේ නැති බව අපට සිහියේ තබාගත හැකියි. ආබ්‍රහම්ගේ ඇස ගැටෙන මුළු දේශය ආබ්‍රහම්ට සහ ඔහුගේ වංශයට දෙන බවට යෙහෝවා පසුව ඔහුට පොරොන්දු වුණා. (උත්පත්ති 13:14-17) “සාමය ඇති කරන අය සන්තෝෂවත්ය. මන්ද ඔවුහු ‘දෙවිගේ පුත්‍රයෝ’ ලෙස හඳුන්වනු ලබන්නෝය.”—මතෙව් 5:9, NW.

ආබ්‍රහම්ගේ උරුමක්කාරයා කවුද?

වංශය පිළිබඳ පොරොන්දු දී තිබුණත් සාරා සිටියේ වඳ තත්වයේයි. ආබ්‍රහම් කාරණය දෙවිට ඉදිරිපත් කළා. ඔහු සතු සෑම දෙයක්ම ඔහුගේ සේවකයා වූ එලියාසර් උරුම කරගනීවිද? නැහැ. යෙහෝවා මෙසේ පැවසුවා. “මොහු ඔබේ උරුමක්කාරයා නොවන්නේය. ඔබ තුළින් නික්මෙන කෙනෙක්ම ඔබේ උරුමක්කාරයා වන්නේය.”—උත්පත්ති 15:1-4.

ඒත් තවමත් ඔවුන්ට දරුවෙක් ලැබුණේ නැහැ. දරුවෙකු පිළිසිඳගැනීමේ බලාපොරොත්තුව අත්හැරියාවූ හැත්තෑපස් වියේ පසු වූ සාරා ආබ්‍රහම්ට මෙසේ පැවසුවා. ‘යෙහෝවා මා දරුවන් බිහි කිරීමෙන් වැළැක්වුවේය. මාගේ දාසිය වෙතට පැමුණුණ මැනවි. සමහරවිට ඈ කරණකොටගෙන මට දරුවෝ ලැබේවි.’ ඉන්පසු ආබ්‍රහම් හාගර්ව දෙවෙනි භාර්යාව ලෙස පිළිගෙන ඈ සමඟ කායික සම්බන්ධකම් පැවැත්වුවා. පසුව ඈ ගැබ්ගත්තා. හාගර් තමා ගැබ්ගත් බව දැනගත් විගස ඇගේ ස්වාමිදුවව සුළු කොට සලකන්න පටන්ගත්තා. සාරා මේ ගැන ආබ්‍රහම්ට ශෝකයෙන් පැමිණිලි කළ අතර දාසියටද හිරිහැර කළා. මේ නිසා දාසිය පලා ගියා.—උත්පත්ති 16:1-6.

ආබ්‍රහම් සහ සාරා එවැනි ක්‍රියාමාර්ගයක් තෝරගත්තේ එවකට එය පිළිගත් චාරිත්‍රයක් වූ නිසයි. නමුත් ආබ්‍රහම්ගේ වංශය බිහි කිරීම සඳහා වූ යෙහෝවාගේ ක්‍රමය එය නොවෙයි. ඇතැම් අවස්ථාවලදී සමහර ක්‍රියාපිළිවෙත් අපේ සංස්කෘතියට අනුව උචිත විය හැකි නමුදු යෙහෝවා අනිවාර්යයෙන්ම එයට එකඟ වන බව ඉන් අදහස් වන්නේ නැහැ. අපේ තත්වයන් සම්බන්ධයෙන් ඔහුට සම්පූර්ණයෙන්ම වෙනස් දෘෂ්ටියක් තිබෙන්න පුළුවන්. එම නිසා අප දෙවිගේ මඟ පෙන්වීම පැතිය යුතුයි. අප කෙසේ ක්‍රියා කළ යුතුද කියා අපට පෙන්වන මෙන් ඔහුගෙන් ඉල්ලීමට අපට පුළුවන්.—ගීතාවලිය 25:4, 5; 143:8, 10.

‘යෙහෝවාට බැරි දෙයක්’ නැහැ

නිසි කාලය පැමිණි පසු හාගර් ඉෂ්මායෙල් යන නම ඇති පුත්‍රයෙකු ආබ්‍රහම්ට දාව බිහි කළා. නමුත් ඔහුගෙන් නෙවෙයි පොරොන්දු වංශය පැමිණෙන්නේ. සාරා වයස්ගතව සිටියත් පොරොන්දු වංශය බිහි කිරීමට නියමව සිටියේ ඇයයි.—උත්පත්ති 17:15, 16.

සාරා තම ස්වාමිපුරුෂයාට පුත්‍රයෙකු ලබා දෙනවා කියා දෙවි පැහැදිලිව කී විට, “ආබ්‍රහම් මුහුණින් වැටී සිනාසී, සියයක් අවුරුදු වයස් වූ තැනැත්තෙකුට දරුවෙක් උපදින්නේද? අනූ අවුරුදු වයස් වූ සාරා බිහි කරන්නීදැයි සිත තුළ කියාගත්තේය.” (උත්පත්ති 17:17) දේවදූතයා පණිවිඩය නැවත කී විට එය ඇසෙන මායිමේ සිටි සාරා ඇගේ ‘සිතින් සිනාසුණා.’ ඒත් ‘යෙහෝවාට බැරි දෙයක් නැහැ.’ එම නිසා ඔහු කැමති ඕනෑම දෙයක් කරන්න ඔහුට හැකියි යන විශ්වාසය අපට තබාගත හැකියි.—උත්පත්ති 18:12-14.

“ඇදහිල්ලෙන්, සාරාද පොරොන්දුව දුන් තැනැත්තා විශ්වාසවන්ත කෙනෙකුයයි සැලකූ නිසා, ඈ වයස් සීමාව පසු කර සිටියත්, දරුවෙකු පිළිසිඳගැනීමට හැකියාව ලැබුවාය.” (හෙබ්‍රෙව් 11:11, NW) නිසි කාලයේදී සාරා ඊසාක්ව බිහි කළා. ඒ නමෙහි අර්ථය “සිනාසීම” යන්නයි.

දෙවිගේ පොරොන්දු කෙරෙහි නිසැක විශ්වාසයක්

දිගු කාලයක සිට බලාපොරොත්තු වූ උරුමක්කාරයා ලෙස යෙහෝවා ඊසාක්ව හඳුන්වා දුන්නා. (උත්පත්ති 21:12) යෙහෝවා ආබ්‍රහම්ට ඔහුගේ පුත්‍රයාව පූජා කරන්නයයි කී විට ඔහු තිගැස්සෙන්න ඇති. එසේ වුවත් දෙවි කෙරෙහි නිසැක විශ්වාසයක් තැබීමට ආබ්‍රහම්ට සාධාරණ හේතු තිබුණා. ඊසාක්ව මළවුන්ගෙන් නැඟිටුවන්න යෙහෝවාට හැකියාවක් නැද්ද? (හෙබ්‍රෙව් 11:17-19) ඊසාක්ට ජීවිතය දීම සඳහා ආබ්‍රහම්ගේ සහ සාරාගේ ප්‍රජනන හැකියාව ආශ්චර්යවත් ලෙස නැවත ප්‍රාණවත් කරමින් දෙවි ඔහුගේ බලය ඔප්පු කළේ නැද්ද? දෙවිගේ පොරොන්දු ඉටු කිරීමට ඔහුට තිබෙන හැකියාව ගැන නිසැකකමක් තිබූ ආබ්‍රහම් කීකරු වීමට සූදානමින් සිටියා. කෙසේවෙතත්, තම පුත්‍රයාව මැරීමට පෙර ඔහුව වළක්වනු ලැබූ බව ඇත්තයි. (උත්පත්ති 22:1-14) එසේ වුවත් ආබ්‍රහම් කළ දෙයින් යෙහෝවා දෙවි සම්බන්ධව යමක් දැනගැනීමට හැකියාව ලබා දෙනවා. එනම්, තම ‘ඒකජාතක පුත්‍රයා වන යේසුස් කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබාගන්නා පිණිස’ ඔහුව දීම යෙහෝවාට කොතරම් දුෂ්කර දෙයක් වෙන්න ඇද්දැයි කියා තේරුම්ගැනීමට එය අපට උපකාරවත් වෙනවා.—යොහන් 3:16; මතෙව් 20:28.

ආබ්‍රහම්ට දෙවි කෙරෙහි ඇදහිල්ල තිබුණු නිසා ඔහු පැහැදිලිවම දැන සිටියා යෙහෝවාගේ පොරොන්දුවල උරුමක්කාරයාට කානාන් දේශයේ මිථ්‍යා නමස්කාරයේ යෙදෙන කෙනෙකු සමඟ විවාහ විය නොහැකි බව. එසේනම් දේවභයැති දෙමාපියෙකු තම දරුවෙක් යෙහෝවාට සේවය නොකරන අයෙකු සමඟ විවාහ වීම අනුමත කරන්නේ කොහොමද? එම නිසා ආබ්‍රහම් කිලෝමීටර 800ක් දුරින් පිහිටි මෙසපොතේමියාවේ සිටි තම ඥාතීන් අතරින් ඊසාක්ට සුදුසු භාර්යාවක් සෙවීමට කටයුතු කළා. ඊසාක්ගේ භාර්යාව මෙන්ම මෙසියස්ගේ මිත්තණිය වීමට දෙවි තෝරාගත්තේ රෙබෙකා බව පෙන්වා දෙමින් දෙවි ආබ්‍රහම් ගත් වෑයමට ආශීර්වාද කළා. යෙහෝවා “සියල්ලෙහිදී ආබ්‍රහම්ට ආශීර්වාද” කළා.—උත්පත්ති 24:1-67; මතෙව් 1:1, 2.

සියලු ජාතීන්ට ආශීර්වාද

ආබ්‍රහම් සහ සාරා පීඩා විඳදරාගැනීම හා දෙවිගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල තැබීම සම්බන්ධයෙන් කදිම ආදර්ශයන්. එවන් පොරොන්දු ඉටුවීම මිනිසාගේ සදාකාලික අනාගතයටද සම්බන්ධයි. යෙහෝවා ආබ්‍රහම්ට මෙසේ පොරොන්දු වුණා. “මාගේ ශබ්දයට ඔබ කීකරු වූ නිසා ඔබේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය.”—උත්පත්ති 22:18.

ඇත්තෙන්ම ආබ්‍රහම් සහ සාරා අපි වගේ අසම්පූර්ණ අය. ඒත් දෙවිගේ කැමැත්ත පැහැදිලිව ඔවුන් තේරුම්ගත් පසු තමන්ට මොනයම් දෙයක් කැප කිරීමට සිදු වුණත් ඉක්මනින්ම එයට කීකරු වුණා. ආබ්‍රහම්ව “දෙවිගේ මිත්‍රයා” ලෙසත් සාරාව ‘දෙවි කෙරෙහි බලාපොරොත්තු තැබූ ශුද්ධ ස්ත්‍රියක්’ ලෙසත් සිහිපත් කරනවා. (යාකොබ් 2:23; 1 පේතෘස් 3:5; NW) ආබ්‍රහම්ට සහ සාරාට තිබූ ඇදහිල්ල අනුකරණය කිරීමට වෑයම් කිරීමෙන් අපටත් දෙවි සමඟ ඉතා වටිනා සමීප සබඳතාවක් භුක්ති විඳිය හැකියි. ඒ වගේම යෙහෝවා ආබ්‍රහම්ට දුන් අගනා පොරොන්දුවලින් අපටත් ප්‍රයෝජන ගත හැකියි.—උත්පත්ති 17:7.

[26වන පිටුවේ පින්තූරය]

ආබ්‍රහම් සහ සාරාගේ ඇදහිල්ල නිසා යෙහෝවා ඔවුන්ගේ මහලු වයසේදී පුත්‍රයෙකු ලබා දීමෙන් ඔවුන්ට ආශීර්වාද කළා

[28වන පිටුවේ පින්තූරය]

මරණය අද්දැකීමට තම ඒකජාතක පුත්‍රයාට ඉඩහැරීම යෙහෝවාට කෙසේ බලපාන්න ඇද්දැයි තේරුම්ගැනීමට ආබ්‍රහම්ගේ ආදර්ශය අපට උපකාරවත් වෙනවා