Skip to content

පටුනට යන්න

ඔබට පුළුවන් දෙවිව සතුටට පත් කරන්න

ඔබට පුළුවන් දෙවිව සතුටට පත් කරන්න

ඔබට පුළුවන් දෙවිව සතුටට පත් කරන්න

අපට ඇත්තටම දෙවිගේ සිතට දුකක් හෝ සතුටක් හෝ ගෙන දීමට පුළුවන්ද? ඇත්තටම සතුට කියන හැඟීම දෙවිට දැනෙනවාද? දෙවි නිකම්ම බලවේගයක් පමණයි කියා ඇතමෙක් සිතනවා. පෞද්ගලිකත්වයක් නොමැති බලවේගයකට සතුට දැනෙනවා කියා සිතන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ. නමුත් දැන් දෙවි පිළිබඳව බයිබලයෙහි පවසා ඇති දේට සිත යොමු කරන්න.

“දෙවි ආත්මයක්” යයි යේසුස් ක්‍රිස්තුස් පැවසුවා. (යොහන් 4:24, NW) ආත්මයක් කියන්නේ මිනිස් ජීවිතයට වඩා වෙනස් ජීව ස්වරූපයක්. මනුෂ්‍යයන්ට තම භෞතික ඇස්වලින් ආත්මයක් දැකගත නොහැකියි. එහෙත් එයට ශරීරයක් තිබෙනවා. එය “ආත්මික” ශරීරයක්. (1 කොරින්ති 15:44, NW; යොහන් 1:18) සංකේතාත්මක භාෂාව යොදාගනිමින් බයිබලය ඇස්, කන්, අත් ආදිය ඇති කෙනෙකු ලෙස දෙවිව විස්තර කරනවා. * දෙවිට නමක්ද තිබෙනවා. ඔහුගේ නම යෙහෝවායි. (ගීතාවලිය 83:17) මේ අනුව, බයිබලයේ සඳහන් වන දෙවි ආත්ම පුද්ගලයෙක් බව පැහැදිලියි. (හෙබ්‍රෙව් 9:24) ඔහු “ජීවමාන දෙවිය, සදාකාල රජ කෙනෙක්ය.”—යෙරෙමියා 10:10.

ජීවමාන සැබෑ පුද්ගලයෙකු වශයෙන් යෙහෝවාට සිතන්නත් ක්‍රියා කරන්නත් පුළුවන්. ඔහුට විවිධ ගුණාංග තිබෙනවා. හැඟීම් තිබෙනවා. ඔහු ප්‍රිය කරන දේවල් වගේම අප්‍රිය කරන දේවල්ද තිබෙනවා. දෙවිව සතුටට හෝ අසතුටට පත් කරන දේවල් පිළිබඳ යම් ඉඟියක් සපයන ප්‍රකාශයන් බොහොමයක් බයිබලයේ සඳහන් වෙනවා. මිනිසුන් විසින් සාදන ලද දෙවිවරුන් හා රූප තුළින් නිරූපණය වන්නේ ඒවා නිර්මාණය කරනු ලැබූ මිනිසුන්ගේම ගතිලක්ෂණ හෝ ගුණාංගයි. එහෙත් මිනිසා තුළ නිරායාසයෙන්ම ඇති වන හැඟීම්වල උල්පත වන්නේ සර්වබලධාරි දෙවි වන යෙහෝවායි. ඔවුන් තුළට එම හැඟීම් ඇතුළත් කර ඇත්තේද ඔහුයි.—උත්පත්ති 1:27; යෙසායා 44:7-11.

යෙහෝවා “සන්තෝෂවත් දෙවි.” ඒ ගැන කිසිම සැකයක් නැහැ. (1 තිමෝති 1:11, NW) ඔහු තමා මැවූ දේවලින් ප්‍රීතියක් ලබනවා විතරක් නොව ඔහුගේ අරමුණ ඉටු කිරීමෙන්ද සතුටක් ලබනවා. අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් යෙහෝවා ඒ ගැන ප්‍රකාශ කරන්නේ මෙසේයි. “මාගේ මුළු කැමැත්ත [මා ප්‍රිය කරන සියල්ල, NW] ඉෂ්ට කරන්නෙමි . . . මම කියා තිබෙන්නාක් මෙන්ම ඒක පමුණුවන්නෙමි. මම යෝජනා කර තිබෙන්නාක් මෙන්ම ඒක කරන්නෙමි.” (යෙසායා 46:9-11) ගීතිකාකරු ගායනා කළේ, “යෙහෝවා ස්වකීය කර්මාන්ත කෙරෙහි සන්තෝෂ වන්නේය” කියායි. (ගීතාවලිය 104:31) එහෙත් දෙවිව සතුටට පත් කරන තවත් කාරණයක් තිබෙනවා. ඒ පිළිබඳව ඔහු මෙසේ පවසනවා. “මාගේ පුත්‍රය, මට නින්දා කරන්නාට උත්තර දෙන පිණිස ඔබ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත් කරන්න.” (හිතෝපදේශ 27:11) එම ප්‍රකාශයෙන් කියැවෙන පරිදි යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කරන්න අපට පුළුවන්. එය මොන තරම් සතුටට කාරණයක්ද!

දෙවිගේ සිත ප්‍රීතිමත් කරන්න අපට හැකි ආකාරය

කුලදෙටු නෝවා යෙහෝවාගේ සිත ප්‍රීතිමත් කළ ආකාරය ගැන සිතා බලන්න. නෝවා “යෙහෝවාගෙන් කරුණාව ලැබුවේය.” ඒ ඇයි? ඔහු ‘තම පරම්පරාවේ සිටි අය අතරෙහි සම්පූර්ණව’ නැතහොත් නිදොස්ව සිටි නිසයි. එවකට සිටි දුෂ්ට පරම්පරාවට වඩා හාත්පසින්ම වෙනස්ව නෝවා ඇදහිල්ල හා කීකරුකම විදහාපෙන්වූවා. ඒ ගැන දෙවි කොයි තරම් සතුටු වුණාද කිව්වොත් ‘නෝවා දෙවි සමඟ හැසිරුණ’ බව එනම් දෙවි සමඟ ගමන් කළ බව පැවසීමට පුළුවන් වුණා. (උත්පත්ති 6:6, 8, 9, 22) “ඇදහිල්ලෙන්, නෝවා . . . දේවභය පෙන්වමින්, තම ගෙයි වැසියන්ගේ ගැලවීම සඳහා නැවක් සෑදුවේය.” (හෙබ්‍රෙව් 11:7, NW) නෝවා යෙහෝවාව සතුටට පත් කළා. එම නිසා දෙවි නෝවාටත් ඔහුගේ පවුලේ අයටත් ආශීර්වාද කරමින් මිනිස් ඉතිහාසයේ ඉතා කැලඹිලි සහිත එම යුගයෙන් ඔවුන්ව ගලවාගත්තා.

කුලදෙටු ආබ්‍රහම්ටත් යෙහෝවාගේ හැඟීම් ගැන ඉතා තියුණු අවබෝධයක් තිබුණා. සොදොම් හා ගොමෝරාහි විසූ ජනයාගේ ඉතා දූෂිත හැසිරීම හේතුවෙන් එම නගර දෙක විනාශ කරන බව යෙහෝවා ආබ්‍රහම්ට දැනුම් දුන් අවස්ථාවේදී, දෙවි සිතන ආකාරය ගැන ඔහුට ඉතා ගැඹුරු අවබෝධයක් තිබුණු බව හෙළි වුණා. දෙවි දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන්ව විනාශ කරාවියයි සිතිය නොහැකි බව ආබ්‍රහම් නිගමනය කළේ ඔහු යෙහෝවාව ඉතා හොඳින් දැන හඳුනා ගෙන සිටි නිසයි. (උත්පත්ති 18:17-33) අවුරුදු ගණනාවක් ගෙවුණු පසු, දෙවිගේ මඟ පෙන්වීමට කීකරු වෙමින් ආබ්‍රහම් ‘ඊසාක්ව පූජාවක් වශයෙන් ඔප්පු කිරීමට උත්සාහ කළේය.’ ඔහු එලෙස කිරීමට ඉදිරිපත් වුණේ “මළවුන්ගෙන් පවා ඔහුව නැඟිටුවන්න දෙවිට හැකි බව ඔහු නිගමනය” කළ නිසයි. (හෙබ්‍රෙව් 11:17-19, NW; උත්පත්ති 22:1-18) ආබ්‍රහම් දෙවිගේ හැඟීම් ගැන කොයි තරම් සංවේදිතාවක් දැක්වූවාද සහ ඔහු පෙන්වූ ඇදහිල්ල හා කීකරුකම කොයි තරම්ද කිව්වොත් ඔහුව “‘යෙහෝවාගේ මිත්‍රයා’ ලෙස හඳුන්වනු ලැබුවේය.”—යාකොබ් 2:23, NW.

දෙවිගේ සිත ප්‍රීතිමත් කරන්න වෑයම් කළ තවත් මිනිසෙක් තමයි පුරාණ ඊශ්‍රායෙල්හි විසූ දාවිත් රජ. යෙහෝවා ඔහු පිළිබඳව මෙසේ පැවසුවා. “යෙස්සේගේ පුත්‍ර දාවිත් මාගේ සිතට එකඟ මිනිසෙකු බව මට පෙනී ගොස් තිබේ. ඔහු මා කැමති සියල්ල කරන්නේය.” (ක්‍රියා 13:22, NW) යෝධ ගොලියත් ඉදිරියේ පෙනී සිටීමට පෙර, දාවිත් දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් ඊශ්‍රායෙල්හි රජු වූ සාවුල්ට මෙසේ පැවසුවා. “සිංහයාගේ නිය පහරින්ද වලසාගේ නිය පහරින්ද මා ගැලවූ යෙහෝවා මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගලවන්නේය.” දාවිත් යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබූ නිසා ගොලියත්ව ඝාතනය කිරීමට ඔහු දැරූ වෑයමට දෙවි ආශීර්වාද කළා. (1 සාමුවෙල් 17:37, 45-54) දාවිත්ට අවශ්‍ය වුණේ තම ක්‍රියාවන් විතරක් නොව ‘තම මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද යෙහෝවා ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු’ වෙනවා දකින්නයි.—ගීතාවලිය 19:14.

අපි ගැන කුමක් කිව හැකිද? අපිට යෙහෝවාව සතුටු කළ හැක්කේ කෙසේද? යෙහෝවාගේ හැඟීම් ගැන අපි සංවේදී වන තරමට දෙවිගේ සිත ප්‍රීතිමත් කිරීමට අපට කළ හැකි දේවල් පිළිබඳව අපේ අවබෝධයද වැඩි වෙනවා. අප බයිබලය කියවද්දී දෙවිගේ හැඟීම් ගැන ඉගෙනගැනීමට වෑයමක් දැරීම අත්‍යවශ්‍යයි. එවිට, “සියලු ආකාර ප්‍රඥාවෙන් සහ ආත්මික අවබෝධයෙන් යුක්තව ඔහුගේ කැමැත්ත පිළිබඳ නිවැරදි දැනුමෙන් පූර්ණ වී, සම්පූර්ණ ලෙස යෙහෝවාව සතුටු කිරීමේ අරමුණින්, ඔහුට ඔබින ලෙස ගමන් කිරීමට” අපට පුළුවන් වේවි. (කොලොස්සි 1:9, 10, NW) දැනුම අපේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට දායක වෙනවා. මෙය ඉතා වැදගත් වන්නේ ‘ඇදහිල්ල නැතිව කිසිසේත් දෙවිව සතුටු කළ නොහැකි’ නිසයි. (හෙබ්‍රෙව් 11:6, NW) ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනඟා ගැනීමට උත්සාහයක් දැරීමෙන් හා යෙහෝවාගේ කැමැත්තට එකඟව අපේ ජීවිත සකස් කරගැනීමෙන් ඔහුගේ සිත ප්‍රීතිමත් කරන්න අපට පුළුවන් වන බව නිසැකයි. ඒ අතරම, යෙහෝවාගේ සිතට දුක් නොදී සිටීමටත් අපි වගබලා ගත යුතුයි.

දෙවිගේ සිතට දුක් දෙන්න එපා

යෙහෝවාගේ සිතට වේදනාවක් ගෙන දිය හැකි බවට එක් උදාහරණයක් වන්නේ නෝවාගේ කාලය පිළිබඳව බයිබලයෙහි සඳහන් වාර්තාවයි. ඒ කාලයේදී, “පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය. දෙවි පොළොව දෙස බැලුවේය. බලව, එය දූෂ්‍යව තිබුණාය. මක්නිසාද මාංසමය වූ සියල්ලෝ පොළොවෙහි තමන්ගේ මාර්ග දූෂ්‍ය කරගෙන සිටියෝය.” මෙම දුෂ්ට, සැහැසික ක්‍රියාවන් නිරීක්ෂණය කළ විට දෙවිට හැඟුණේ කෙසේද? බයිබලයේ පවසන්නේ, “යෙහෝවා පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝක වුණේය” කියායි. (උත්පත්ති 6:5, 6, 11, 12) මනුෂ්‍යයන්ගේ හැසිරීම කොයි තරම් දුෂ්ට වී තිබුණාද කිව්වොත් ජලගැල්මට පෙර ජීවත් වූ එම නපුරු පරම්පරාව පිළිබඳව දෙවි තමන් දැරූ ආකල්පය වෙනස් කරගත්තා. දෙවි තැවුණා යන්නෙන් අදහස් වන්නේ එයයි. ඔවුන්ගේ දුෂ්ටකම හේතුවෙන් අසතුටට පත්ව සිටි දෙවි තම ආකල්පය වෙනස් කරගනිමින් මිනිසාගේ මැවුම්කරු ලෙස කටයුතු කරනවා වෙනුවට ඔවුන්ව විනාශ කරන්නෙකු ලෙස කටයුතු කරන්න පටන්ගත්තා.

ඔහුගේ සෙනඟ වූ පුරාණ ඊශ්‍රායෙලිතයන් ඔහුගේ හැඟීම් නොතකා ඔහු දුන් ප්‍රේමණීය මඟ පෙන්වීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ විටත් යෙහෝවාට මහත් වේදනාවක් දැනුණා. ගීතිකාකරු ඒ ගැන ශෝකයෙන් පැවසුවේ මේ ආකාරයටයි. “කී වරක් ඔවුහු වනයෙහිදී ඔහුට විරුද්ධව කැරලිගැසුවෝද, කාන්තාරයේදී ඔහුට දුක් දුන්නෝද! ඔවුහු නැවත හැරී දෙවිව පරීක්ෂා කළෝය. ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාව උදහස් කළෝය [තැනැත්තාගේ සිතට වේදනාවක් ගෙන දුන්නෝය, NW].” එහෙත්, “අනුකම්පාවෙන් යුක්ත වූ ඔහු ඔවුන්ගේ අයුතුකම් කමා කළේය. ඔවුන්ව විනාශ නොකළේය. එසේය, ඔහු නොයෙක් විට තමන්ගේ කෝපය ඉවත හරවා, තමන්ගේ මුළු උදහස ඇවිස්සෙන්ට නුදුන්නේය.” (ගීතාවලිය 78:38-41) කැරලිකාර ඊශ්‍රායෙලිතයන් තමන්ගේ පාපතර හැසිරීමේ ප්‍රතිඵලයක් ලෙස යුක්තිසහගත ලෙස දුක් වින්ද අවස්ථාවලදී පවා දෙවි ‘ඔවුන්ගේ සියලුම දුක්වලදී දුක් වූ’ බව බයිබලයේ සඳහන් වෙනවා.—යෙසායා 63:9.

දෙවි ඔවුන් කෙරෙහි දැක්වූ මුදු මොළොක් සැලකිල්ල පිළිබඳව ඕනෑ තරම් සාක්ෂි තිබියදීත්, “සුවයක් නැති තරමට යෙහෝවාගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස [ඊශ්‍රායෙල් ජනයා] දෙවිගේ පණිවිඩකාරයන්ට සරදම් කර, ඔහුගේ වචන සුළු කර, ඔහුගේ ප්‍රොපේතවරුන්ට නින්දා කළෝය.” (2 ලේකම් 36:16) ඔවුන්ගේ මුරණ්ඩු කැරලිකාර හැසිරීම නිසා ඔවුන් ‘දෙවිගේ ශුද්ධාත්මයට’ කොයි තරම් ‘දුක් ඉපදෙව්වාද’ කිව්වොත් අවසානයේදී ඔවුන්ට යෙහෝවාගේ අනුමැතිය අහිමි වුණා. (යෙසායා 63:10) එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? ඒ වන තෙක් දෙවි ඔවුන්ට දී තිබුණ ආරක්ෂාව ඔහු ඔවුන්ගෙන් අයින් කළා. එසේ කිරීම ඉතා සාධාරණ දෙයක් වුණා. ඉන් අනතුරුව, බැබිලෝනිවරුන් යූදා දේශය ආක්‍රමණය කර යෙරුසලම විනාශයට පත් කළ විට ඔවුන්ට මහත් විපතකට මුහුණ දීමට සිදු වුණා. (2 ලේකම් 36:17-21) දෙවිට පිළිකුල් වන හා ඔහුව දුකට පත් කරවන පාපතර ජීවන මාර්ගයක් ගත කිරීමට ජනයා තෝරාගැනීම මොන තරම් දුකක්ද!

අධර්මිෂ්ඨ හැසිරීම හේතුවෙන් දෙවි අතිශයෙන් දුකට පත් වන බව බයිබලයේ ඉතා පැහැදිලිව පෙන්වා තිබෙනවා. (ගීතාවලිය 78:41) උඩඟුකම, බොරු කීම, මිනී මැරීම, ඉන්ද්‍රජාලය, ශාස්ත්‍ර කීම, මුතුන් මිත්තන්ට නමස්කාර කිරීම, දුරාචාරය, සමලිංගික සේවනය, විවාහ කලත්‍රයාට ද්‍රෝහිවීම, කිට්ටු ඥාතීන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම සහ දුප්පතුන්ට පීඩා කිරීම වැනි ක්‍රියාවන් දෙවිට අප්‍රසන්න හෙවත් ඔහු පිළිකුල් කරන දේවල් වශයෙන් සඳහන් කළ හැකියි.—ලෙවී කථාව 18:9-29; 19:29; ද්විතීය කථාව 18:9-12; හිතෝපදේශ 6:16-19; යෙරෙමියා 7:5-7; මලාකී 2:14-16.

යෙහෝවාට රූප වන්දනාව ගැන හැඟෙන්නේ කෙසේද? නික්මයාම 20:4, 5හි ඊට මෙසේ පිළිතුරු දෙනවා. “කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසි දෙයක සමානත්වයක් හෝ සාදා නොගන්න. ඊට නමස්කාර නොකරන්න. සේවය නොකරන්න.” ඒ මන්ද? රූපවලට ‘යෙහෝවා පිළිකුල්’ කරන නිසයි. (ද්විතීය කථාව 7:25, 26) ප්‍රේරිත යොහන් අනතුරු ඇඟෙව්වේ, “කුඩා දරුවෙනි, දේවතා රූපවලින් පරෙස්සම් වන්න” කියායි. (1 යොහන් 5:21, NW) ප්‍රේරිත පාවුල් මෙසේද ලීවා. “මාගේ ප්‍රේමණීය තැනැත්තෙනි, රූප වන්දනාවෙන් පලා දුවන්න.”—1 කොරින්ති 10:14, NW.

දෙවිගේ අනුමැතිය සොයන්න

දෙවිගේ “මිත්‍රකම අවංක අය සමඟ ඇත්තේය.” ‘සම්පූර්ණ මාර්ගයක යන්නන් ඔහුට ප්‍රසන්නය.’ (හිතෝපදේශ 3:32; 11:20) එහෙත් මුරණ්ඩු ලෙස දෙවිගේ හැඟීම් නොසලකාහරිමින් හෝ ඔහුට අකීකරු වෙමින් පුරුද්දක් වශයෙන් ඔහුව අසතුටට පත් කරන අයට ළඟදීම ප්‍රතිඵල විඳින්න සිදු වෙනවා. (2 තෙසලෝනික 1:6-10) අද දින ප්‍රචලිතව පවතින සියලුම දුෂ්ටකම් ඔහු ළඟදීම නැත්තටම නැති කරන බව නොඅනුමානයි.—ගීතාවලිය 37:9-11; ශෙපනියා 2:2, 3.

එහෙත් ‘සියලුදෙනාම පසුතැවිල්ල කරා පැමිණෙනවාට මිස කිසිවෙකුවත් විනාශ වෙනවාට යෙහෝවා කැමති නැති’ බව බයිබලයේ ඉතා පැහැදිලිව පෙන්වා තිබෙනවා. (2 පේතෘස් 3:9, NW) යෙහෝවා වඩාත්ම සතුටු වන්නේ ඔහුව අසතුටට පත් කරන හා තමන්ගේ මාර්ග නිවැරදි කරගැනීම මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන අයව විනාශ කිරීමට නොව ඔහුට ප්‍රේම කරන ධර්මිෂ්ඨ අය කෙරෙහි තම සෙනෙහස දැක්වීමටයි. යෙහෝවා ප්‍රසන්න වන්නේ, “දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට” නොවේ.—එසකියෙල් 33:11.

එම නිසා, යමෙකු අනිවාර්යයෙන්ම යෙහෝවාගේ උදහසට ලක් විය යුතු නැහැ. ‘යෙහෝවා ඉතා ගැඹුරු ස්නේහය ඇති කෙනෙකි. දයාන්විත කෙනෙකි.’ (යාකොබ් 5:11, NW) දෙවි “ඔබ ගැන සලකන නිසා” ඔබ කෙරෙහි වූ ඔහුගේ හැඟීම් ගැන පූර්ණ විශ්වාසයක් තබමින් “ඔබේ සියලු කරදර ඔහු පිට තබන්න” ඔබට පුළුවන්. (1 පේතෘස් 5:7, NW) දෙවිගේ සිත ප්‍රීතිමත් කරන අයට ඔහුගේ අනුමැතිය දිනාගැනීම හා ඔහුගේ මිත්‍රත්වය භුක්ති විඳීම නමැති උතුම් වරප්‍රසාදය හිමි වන බවට ඔබට ස්ථිර විය හැකියි. එම නිසා, “ස්වාමීන්ට ප්‍රසන්න දේ කුමක්දැයි නිතරම තහවුරු” කරගැනීමට දැන් වෙන කවරදාකටත් වඩා හදිසිතාවක් තිබෙනවා.—එෆීස 5:10, NW.

දෙවි අප කෙරෙහි දක්වන මහත් කරුණාව හේතුවෙන් ඔහු තම උත්තරීතර ගුණාංග සහ හැඟීම් පිළිබඳව අපට කියා දී තිබෙනවා. එය මොන තරම් භාග්‍යයක්ද! ඒ විතරක් නොවෙයි, ඔබටත් පුළුවන්කම තිබෙනවා ඔහුගේ සිත ප්‍රීතිමත් කරන්නට. ඔබ එසේ කිරීමට කැමැත්තක් දක්වන්නේ නම්, ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන්න කියා අපි ඔබට උනන්දු කරන්නෙමු. දෙවිව සතුටු කිරීමට ඔවුන් දරා ඇති වෑයම සාර්ථක කරගැනීමට ඔවුන්ට ප්‍රායෝගිකව උපකාරවත් වී තිබෙන්නේ කුමක්දැයි ඔබට පෙන්වීමට ඔවුන් සතුටු වන බව නිසැකයි.

[පාදසටහන]

^ 3 ඡේ. “බයිබලයේ දෙවිට මිනිස් ගතිලක්ෂණ ආරෝපණය කර තිබෙන්නේ මන්ද?” යන කොටුව බලන්න.

[7වන පිටුවේ කොටුව]

බයිබලයේ දෙවිට මිනිස් ගතිලක්ෂණ ආරෝපණය කර තිබෙන්නේ මන්ද?

“දෙවි ආත්මයක්” වන නිසා අපේ භෞතික ඇස්වලින් ඔහුව දැකගැනීමට අපට හැකියාවක් නැහැ. (යොහන් 4:24, NW) දෙවිගේ බලය, මහිමය හා ක්‍රියාකාරකම් තේරුම්ගැනීම සඳහා බයිබලයේ සංකේතාත්මක භාෂාව යොදාගන්නේ ඒ නිසයි. ඒ සඳහා උපමාලංකාර, රූපකාලංකාර හා දෙවිට මිනිස් ගතිලක්ෂණ ආරෝපණය කිරීම වැනි ක්‍රම යොදාගැනේ. දෙවිගේ ආත්ම ශරීරය කොයි වගේ එකක්ද කියා අප නොදන්න බව ඇත්තයි. එහෙත් දෙවිගේ ඇස්, කන්, අත්, එසේ නැත්නම් හස්ත, ඇඟිලි, පාද සහ සිත ගැන බයිබලයේ සඳහන් වෙනවා.—උත්පත්ති 8:21; නික්මයාම 3:20; 31:18; යෝබ් 40:9; ගීතාවලිය 18:9; 34:15.

දෙවිව එසේ විස්තර කර තිබීමෙන් අදහස් වන්නේ නැහැ ඔහුගේ ආත්ම ශරීරයේ මිනිස් ශරීරවල තිබෙන්නාක් මෙන් අවයව තිබෙන බව. දෙවිව විස්තර කිරීමට මිනිස් ගතිලක්ෂණ යොදාගෙන ඇත්තේ සංකේතාත්මක වශයෙනුයි. දෙවි ගැන වඩාත් ගැඹුරු අවබෝධයක් ලබා දීමටයි ඒවා භාවිත කර තිබෙන්නේ. එවැනි සංකේතාත්මක භාෂාවක් නොමැතිව මනුෂ්‍යයන්ට තේරුම්ගත හැකි ආකාරයකින් දෙවි ගැන විස්තරයක් කිරීම ඉතා අසීරු කාර්යයක් වේවි. ඇත්තෙන්ම එවැනි විස්තරයක් කොහෙත්ම කරන්න බැරි වෙන්නත් ඉඩ තිබෙනවා. ඒ කෙසේවෙතත් යෙහෝවා දෙවිගේ පෞද්ගලිකත්වය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බව මින් අදහස් කරන්නේ නැහැ. බයිබලයේ පැහැදිලිව විස්තර කර ඇති පරිදි මිනිසාව දෙවිගේ ස්වරූපයෙන් මවා තිබෙනවා මිසක දෙවි මිනිසාගේ ස්වරූපය දරනවා නොවේ. (උත්පත්ති 1:27) බයිබල් ලේඛකයන් “දේවානුභාවයෙන්” ලියූ නිසා, ඔවුන් දෙවිගේ පෞද්ගලිකත්වය විස්තර කර ඇත්තේ දෙවි තම පෞද්ගලික ගුණාංග විස්තර කිරීමට තෝරාගත් ආකාරයටයි. ඔහු මිනිසාව මැව්වේද යම් ප්‍රමාණයකට එම ගුණාංග ඔවුන් තුළට ඇතුළත් කරමිනුයි. (2 තිමෝති 3:16) එම නිසා, දෙවිගේ ගුණාංග මිනිසා තුළ තිබෙනවා මිසක මිනිසාගේ ගුණාංග දෙවි තුළ තිබෙනවා කියා පැවසිය නොහැකියි.

[4වන පිටුවේ පින්තූරය]

නෝවා දෙවිගේ අනුමැතිය දිනාගත්තා

[5වන පිටුවේ පින්තූරය]

ආබ්‍රහම් දෙවිගේ හැඟීම් ගැන සංවේදිතාවක් දැක්වූවා

[6වන පිටුවේ පින්තූරය]

දාවිත් යෙහෝවාව තම විශ්වාසය කරගත්තා

[7වන පිටුවේ පින්තූරය]

බයිබලය කියවද්දී දෙවිව සතුටු කරන්නේ කොහොමද කියා ඉගෙනගැනීමට ඔබට හැකියි

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Anglo-Australian Observatory අනුග්‍රහයෙනි. ඡායාරූප David Malin විසිනි