Skip to content

පටුනට යන්න

“ජලධාරාවෝ අත්පොළසන් දෙත්වා”

“ජලධාරාවෝ අත්පොළසන් දෙත්වා”

යෙහෝවාගේ මැවිල්ලේ අසිරිය

“ජලධාරාවෝ අත්පොළසන් දෙත්වා”

ලෝක සිතියමක් දෙස සමීප බැල්මක් හෙලුවොත් එහි තිබෙන විශාල භූමි පෙදෙස් වැඩි හරියක් හරහා, ඒ මේ අත දුවන රේඛා ඔබේ නෙත ගැටෙයි. මෙම රේඛා තැනිතලා, කාන්තාර හා තණබිම් හරහා ඇඳ තිබේ. ඒවා නිම්න හා කඳු අතර ඇති ගැඹුරු ප්‍රපාත හා වනාන්තර මැදින් නිදැල්ලේ දිව යයි. (හබක්කුක් 3:9) මේවා නම් අපේ පෘථිවියේ ජීවන දහරා වන ගංගායි. මෙවැනි දිය දහරා පෘථිවියේ මැවුම්කරු වන යෙහෝවාගේ ප්‍රඥාව හා බලය ගැන සාක්ෂි දරයි. ඒවා නිරීක්ෂණය කරන විට ගීතිකාකරුට හැඟුණාක් මෙන් අපටත් හැඟේ. ඔහු මෙසේ ගායනා කළා. “යෙහෝවා ඉදිරියෙහි ජලධාරාවෝ අත්පොළසන් දෙත්වා, හෙල්ද එක්ව ප්‍රීතියෙන් ගී කියත්වා.”—ගීතාවලිය 98:8, 9. *

ගංගා සහ මිනිස් ඉතිහාසය අතර තිබෙන්නේ ඉතාමත් සමීප සබැඳියාවකි. ඒදන් උයනෙන් නික්මුණාවූ ගංගාවකින් බෙදී ගිය ප්‍රධාන ගංගා සතරක් ගැන බයිබලයේ සඳහන් වේ. (උත්පත්ති 2:10-15අ) මුලින්ම ඇති වූ ශිෂ්ටාචාරවලින් එකක් බිහි වූයේ මැදපෙරදිග යුප්‍රටීස් හා ටයිග්‍රිස් යන ගංගා දෙක අතර පිහිටි සශ්‍රීක නිම්නවලයි. චීනයේ හුවාං ගඟ, දකුණු ආසියාවේ ගංගා නම් ගඟ, ඉන්දු නමැති ගඟ සහ ඊජිප්තුවේ නයිල් ගඟ හේතුවෙන් මහත් ශිෂ්ටාචාර බිහි විය.

එසේනම් ගංගාවල බලය, විශාලත්වය හා චමත්කාරය මිනිසාව සැමවිටම විස්මයට පත් කිරීම පුදුමයට කාරණයක් නොවේ. ඊජිප්තුවේ නයිල් ගඟ කිලෝමීටර් 6,670ක් තරම් ඈතට ගලා යයි. විශාලම ගඟ ලෙස ගණන් ගනු ලබන්නේ දකුණු අමෙරිකාවේ ඇමසන් ගඟයි. සමහර ගංගාවලට උදාර පෙනුමක් ලබා දෙන්නේ එහි විශාලත්වයයි. තවත් සමහර ගංගා කුඩා වුවත් අලංකාරයි. ඊට උදාහරණයක් ලෙස ජපානයේ පිහිටි ඉතා කුඩා වුවත් වේගයෙන් ගලා බසින ටෝනේ ගඟ දැක්විය හැකියි.

ගඟක් ගලා බැසීමට සලස්වන්නේ කුමක්ද? කෙටිම පිළිතුර නම් ගුරුත්වාකර්ෂණයයි. උස් මට්ටමක සිට ජලය පහළ මට්ටමකට ඇදගන්නේ ගුරුත්වාකර්ෂණයයි. සමහර අවස්ථාවලදී මෙහි ප්‍රතිඵලය වන්නේ ශීඝ්‍රයෙන් කඩා හැලෙන දිය ඇලි ඇතිවීමයි. මෙහිදී පෙන්නුම් කරන බලය හා උදාරත්වය ගැන බයිබලයේ හුවා දක්වන්නේ මෙසේයි. “යෙහෝවා, ජලධාරාවෝ නැඟුණෝය. ජලධාරාවෝ ශබ්ද නැඟුවෝය. ජලධාරාවෝ රැළ නඟිති.”—ගීතාවලිය 93:3.

“කඩා වැටෙන . . . වැසි වස්වන්නේ කවරෙක්ද?” කියා යෙහෝවා දේවභයැති මිනිසෙක් වූ යෝබ්ගෙන් ඇසුවේය. (යෝබ් 38:25, 26, නව අනුවාදය) ඇත්තටම මෙතරම් ජල කන්දරාවක් පැමිණෙන්නේ කොහෙන්ද? ඒවා ඇති වන්නේ ජල චක්‍රය යනුවෙන් හඳුන්වනු ලබන සංකීර්ණ වූ ක්‍රියාවලියක් මාර්ගයෙනි. සූර්ය ශක්තිය හා ගුරුත්වාකර්ෂණය හේතුකොටගෙන පොළොවේ තිබෙන ජලය නිරන්තර පරිවහනයට ලක් වේ. ජලය වාෂ්ප වීමෙන් පසුව එම වාෂ්ප වායුගෝලයට එක් වේ. අවසානයේදී මෙම ජලවාෂ්ප සිසිල් වී ඝනීභවනය වී වලාකුළු සෑදේ. කාලයාගේ ඇවෑමෙන් මෙම ජලවාෂ්ප පොළොවට හිම හෝ වර්ෂාව වශයෙන් පතිත වේ. ජලය වැඩි ප්‍රමාණයක් තැන්පත් වී තිබෙන්නේ සාගර, විල්, ගංගා, ග්ලැසියර (අයිස් ගඟක්), ධෘව ප්‍රදේශයේ අයිස් වැස්මවල හා පොළොව යටයි.

මෙම අපූරු චක්‍රය ගැන බයිබලයේ පවසන්නේ “සියලු ගංගා මුහුදට යති. එහෙත් මුහුද පිරෙන්නේ නැත. ගංගා පිටත්ව එන තැනටම නැවත යති” යනුවෙනි. (දේශනාකාරයා 1:7) මෙවැනි චක්‍රයක් ක්‍රියාත්මක වීමට සැලැස්විය හැක්කේ ප්‍රඥාවෙන් පූර්ණ හා ප්‍රේමණීය සැලකිල්ලක් දක්වන යෙහෝවා දෙවිට පමණයි. එවැනි දක්ෂ නිර්මාණයක් මගින් කියාපාන්නේ දෙවි කුමන ආකාරයේ පුද්ගලයෙක් කියාද? ඔහු පූර්ණ ප්‍රඥාවෙන් සහ ප්‍රේමණීය සැලකිල්ලෙන් හෙබි දෙවි කෙනෙක්.—ගීතාවලිය 104:13-15, 24, 25; හිතෝපදේශ 3:19, 20.

විවිධ ප්‍රමාණවලින් යුත් ගංගා රැසක් තිබුණද මේවා සියල්ලකින්ම පිරිසිදු ජලය ලබාගත නොහැකිය. කෙසේවෙතත් මෙම ජලාශ මිනිස් ජීවිතවලට අත්‍යවශ්‍යයි. “ජලය ලබාගැනීමට නොහැකි නම් හා එය යම් තාක් දුරට පාලනය කිරීමට නොහැකි නම් මිනිස් ජීවිතවල ඉතා සරල මෙන්ම සංකීර්ණ අවශ්‍යතාවන් සපුරාගැනීම අපහසු වෙයි. තවද මිනිස් ශිෂ්ටාචාරයේ ප්‍රධාන ලෙස කැපී පෙනෙන දෙයක් වන්නේ, මිනිසා ජලය ලබාගැනීමට හා එය පාලනය කිරීමට කටයුතු කර තිබෙන ආකාරය” යයි පොතක (water) සඳහන් වෙයි.

අවුරුදු දහස් ගණන් මිනිසාගේ පිපාසය සංසිඳුවාලීමට පමණක් නොව වගා කිරීමට අවශ්‍ය ජලයද ගංගාවලින් ලබා දී තිබේ. බොහෝ ගං ඉවුරු දෙපස ඇති සාරවත් පස බෝග වගාව සඳහා කදිමයි. යෙහෝවා තම සේවකයන්ට ආශීර්වාද කරද්දී මෙම අදහස පළ කර ඇති අන්දම දෙස බලන්න. “එම්බා යාකොබ් ඔබේ කූඩාරම්, එම්බා ඊශ්‍රායෙල් ඔබේ මණ්ඩප කොපමණ ශෝභනද! ඒවා මිටියාවත් මෙන්ද ගඟබඩ උයන් මෙන්ද යෙහෝවා සිටෙවූ අඟුරු ගස් මෙන්ද දිය අසල කිහිරි ගස් මෙන්ද විහිදී තිබේ.” (ගණන් කථාව 24:5, 6) මෙම පින්තූරුවල දක්නට ලැබෙන තාරාවන් සහ හිවලා වැනි සත්වයන්ගේ පැවැත්මටත් ගංගා දායක වෙයි. ඇත්තවශයෙන්ම අපි ජලධාරාවෝ ගැන දැනගන්න දැනගන්න ඒවා ගැන යෙහෝවාට ස්තුති කිරීමට තරම් බැඳීමක් අප තුළ ඔහු කෙරෙහි ඇති වෙයි.

[පාදසටහන]

^ 3 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 2004 දිනදර්ශනයේ මැයි/ජූනි මාස බලන්න.

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ආජන්ටිනාව හා බ්‍රසීලය අතර මායිමේ පිහිටි ඉග්වසූ දිය ඇල්ල, පළලම දිය ඇල්ල ලෙස ගණන් ගැණේ. මෙහි පළල එක් කොනක සිට අනෙක් කොනට කිලෝමීටර් තුනයි. දූෂ්‍ය නොවූ නිවර්තන වනාන්තරයක පිහිටි මෙය සෑදී තිබෙන්නේ ආසන්න වශයෙන් කුඩා දිය ඇලි 300කින් පමණ වේ. වැසි කාලයේදී සෑම තත්පරයකටම ජලය ඝනමීටර් 10,000ක් මෙම දිය ඇල්ලෙන් කඩා හැලෙයි.

[9වන පිටුවේ පින්තූරය]

ජපානයේ ටෝනේ ගඟ