Skip to content

පටුනට යන්න

දිගු කාලීන ප්‍රීතිමත් දිවියකට රහසක්

දිගු කාලීන ප්‍රීතිමත් දිවියකට රහසක්

දිගු කාලීන ප්‍රීතිමත් දිවියකට රහසක්

සෑම කෙනෙක්ම දිගු කාලයක් ජීවත් වෙන්න කැමති නමුත් කිසි කෙනෙක් වයසට යනවාට කැමති නැහැ කියා සමහරු පවසයි. විශ්‍රාම ගැනීමේ කාලය ළං වෙද්දී බොහෝදෙනෙක් ආසාවෙන් බලා සිටින්නේ එමගින් තමන්ගේ වැඩකටයුතු කරගැනීමට වැඩිපුර කාලයක් හා වගකීම් අඩු ජීවිතයක් ගත කිරීමට හැකි වන නිසයි. ඒත් ඔවුන් බය වන්නේ කිසිම අරමුණක් නැති සහ පලක් නැති ජීවිතයක් ගත කිරීමටයි. තවද තනිවීමට, අසන්තෝෂයෙන් සිටීමට හා පිරිහෙන සෞඛ්‍ය තත්වයක් අද්දැකීමට සිදුවීම ගැනත් ඔවුන් තුළ තිබෙන්නේ බියක්.

එසේනම් ප්‍රීතිමත් දිවියකට රහස කුමක්ද? හොඳ යහළුවන් සිටීම සහ ප්‍රේමණීය පවුල් සබඳතා තිබීම බාල මහලු සියලුදෙනාගේ ප්‍රීතියට එක සේ දායක වෙයි. ඒත් වැඩිහිටි කෙනෙකුගේ ජීවිතය සන්තෝෂවත් කිරීමට දායක වන්නේ අන් අය ඔහු වෙනුවෙන් කරන දේවල්ම නෙවෙයි. අන් අය වෙනුවෙන් ඔහු කරන දේවල් ඊට වඩා වැදගත් වෙයි.

වැඩිහිටි යුවළයන් 423දෙනෙක් සම්බන්ධයෙන් දිගු කාලයක් පුරා කළ අධ්‍යයනයකින් හෙළි වූයේ “අනිත් අයට යම් ආකාරයකින් උදව් උපකාර කිරීමෙන් අපිට සමහරවිට අපේම ජීවිතයේ ආයු කාලය වැඩි කරගත හැකි” බවයි. “මෙම සොයාගැනීම්වලින් පෙන්නුම් කරන පරිදි වඩාත් වැදගත් දේ වන්නේ අන් අයව ආශ්‍රය කිරීම මගින් තමන්ට ලැබෙන දේ නොව, තමන් අන් අයට ලබා දෙන දේ” බව මෙම අධ්‍යයනය දියත් කළ ස්ටෙෆනි බ්‍රවුන් කියයි. එවැනි දෙන දේවල්වලට ඇතුළත් වන්නේ අන් අයගේ ගෙදර දොරේ වැඩවලට උදව් වීම, දරුවන් බලාගැනීම, ඔවුන් වෙනුවෙන් සුළු ගමන් බිමන් යෑම, ප්‍රවාහන පහසුකම් සැපයීම හෝ තමන්ගේ දුක සැප ගැන පවසන කෙනෙකුට සවන් දීමයි.

මීට අවුරුදු 2,000කට පමණ පෙර යේසුස් පැවසුවේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” කියායි. (ක්‍රියා 20:35, NW) දිගු කාලයක් පුරා පවතින ප්‍රීතිමත් ජීවිතයකට රහස වන්නේ විශාල බැංකු ගිණුමක් තිබීම හෝ එහෙමත් නැත්නම් වයසට නොයා සිටීම සඳහා විශේෂ ප්‍රතිකාර ගැනීම හෝ කෑම බීම පාලනය කිරීම හෝ නෙවෙයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ තමන් ක්‍රියාශීලීව සිට තමන්ගේ කාලය, හැකියාවන් හා ශක්තිය අන් අයගේ ජීවිත නංවාලීම සඳහා යෙදවීමයි.

කෙසේවෙතත් මහලු වීමෙන්, ලෙඩ දුක්වලින් හා මරණයෙන් ගැලවීම සඳහා ඒ දේවල් දීමට වඩා වැඩි යමක් අවශ්‍ය කෙරෙනවා. ඒවා ඉවත් කරනු ඇත්තේ දේවරාජ්‍යය මගින් පමණයි. එහි පාලනය යටතේදී ලෙඩ රෝග පහව යන අතර “මරණය තවත් නොවන්නේය.” (එළිදරව් 21:3, 4; යෙසායා 33:24) තවද කීකරු ජනයා පාරාදීස පොළොවක සදාකල් ප්‍රීතියෙන් ජීවත් වෙනවා ඇත. (ලූක් 23:43) දීර්ඝ කාලීනව ප්‍රීතිමත් ජීවිතයක් භුක්ති විඳීම සඳහා වූ බයිබලය මත පදනම් රහස අන් අය සමඟ බෙදාගැනීමට හැකිවීම ගැන යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටු වෙනවා.