Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ශුද්ධාත්මය පුද්ගලයෙක් නොවන බැවින් අප එයට කෙසේ දුක් දෙනවා විය හැකිද?

“දෙවිගේ ශුද්ධාත්මයට දුක් නොදෙන්න” කියා ලියුවේ ප්‍රේරිත පාවුල්ය. (එෆීස 4:30, NW) ඇතැම් අය මෙම වචන තේරුම්ගෙන ඇත්තේ ශුද්ධාත්මය පුද්ගලයෙකු යන බවටයි. කෙසේවෙතත්, “විශ්වාසවන්ත සේවකයා” විසින් සපයනු ලැබ ඇති ප්‍රකාශනවල දී ඇති ශුද්ධ ලියවිලිමය සහ ඓතිහාසික සාක්ෂිවලින් ඔප්පු වන දේ සලකා බලන්න. ශුද්ධාත්මය පුද්ගලයෙකු ලෙසවත් ත්‍රිත්වයෙහි කොටසක් වශයෙන් සර්වබලධාරී දෙවිට සමාන දෙවි කෙනෙකු ලෙසවත් මුල් ක්‍රිස්තියානීහු පිළි නොගත්හ. * (ලූක් 12:42, NW) එසේනම්, පාවුල්ද දෙවිගේ ශුද්ධාත්මය පුද්ගලයෙකු ලෙස අර්ථ දැක්වූයේ නැත.

දෙවිගේ ශුද්ධාත්මය යනු ඔහුගේ අදෘශ්‍යමාන ක්‍රියාකාරී බලයයි. (උත්පත්ති 1:2) යොහන් වතුරෙන් බව්තීස්ම කරමින් සිටියාක් මෙන්, යේසුස් “ශුද්ධාත්මයෙන්” බව්තීස්ම කළේය. (ලූක් 3:16, NW) ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දිනයේදී ගෝලයන් 120දෙනෙක් පමණ, “ශුද්ධාත්මයෙන් පූර්ණ” වූහ. ඔවුන් පූර්ණ වූයේ පුද්ගලයෙකුගෙන් නම් නොවේ. (ක්‍රියා 1:5, 8; 2:4, 33, NW) එලෙස අභිෂේක ලත් අයට ස්වර්ගික බලාපොරොත්තුවක් ලැබුණු අතර, ඇදහිලිවන්ත ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට මඟ පෙන්වූයේ දෙවිගේ ආත්මයයි. (රෝම 8:14-17; 2 කොරින්ති 1:22) ආත්මය ඔවුන් තුළ දිව්‍යමය පල නිපදවූ අතර, දිව්‍ය අනුමැතිය නැතිව යා හැකි පාපතර ‘මාංසයේ ක්‍රියාවලින්’ වැළකී සිටීමටද උපකාරවත් විය.—ගලාති 5:19-25.

අප භූමික බලාපොරොත්තුවක් ඇති දෙවිගේ සේවකයන් නම්, අප ශුද්ධාත්මයෙන් අභිෂේක වීමේ වරම ලබන්නේ නැත. කෙසේවෙතත්, ස්වර්ගික බලාපොරොත්තුව ඇති අයට ලැබෙනවා හා සමානව අපටද දෙවිගේ ආත්මය ලබාගත හැකියි. මෙබැවින්, එම ආත්මයට දුක් දීමක් අප අතින්ද සිදු විය හැකියි. නමුත් කෙසේද?

ශුද්ධාත්මයේ මඟ පෙන්වීම යටතේ ලියා ඇති ශුද්ධ ලියවිලිමය උපදෙස් අප සුළු කරනවා නම්, යම් වැරදි ගතිපැවතුම් අප තුළ ගොඩනඟා ගනිමින් අන්තිමේදී එම ආත්මයට පටහැනි පාපයක් හිතා මතා කිරීමට පුළුවන. මේ මගින් යෙහෝවාගේ අනුමැතිය නැති වී අන්තිමේදී අප විනාශ විය හැකියි. (මතෙව් 12:31, 32) අප තවමත් ඉතා දරුණු ලෙස පව් නොකරනවා විය හැකියි. නමුත් වැරදි පාරකට අවතීර්ණ වීමට අප නැඹුරු වී තිබිය හැකි අතර, මෙය ආත්මයේ මඟ පෙන්වීමට මුළුමනින්ම පටහැනි වූ දිශාවකට අවසානයේදී අපව ගෙන යනවා විය හැකියි. එවන් තත්වයන් යටතේ අපි ශුද්ධාත්මයට එරෙහිව පව් කරමින් සිටින්නෙමු.

එසේනම්, ශුද්ධාත්මයට දුක් දීමෙන් වැළකීමට අපට හැක්කේ කෙසේද? අප අනිවාර්යයෙන්ම අපගේ සිතිවිලි සහ ක්‍රියාවන් පාලනය කළ යුතුයි. පාවුල් එපීසවරුන්ට ලියූ ලිපියේ එෆීස 4වන පරිච්ඡේදයේ කතා කළේ වංක ප්‍රකාශයන් කිරීමට, කෝපය පැසවීමට ඉඩහැරීමට, අලසකමට සහ නුසුදුසු කතාවට ඇති නැඹුරුවාවෙන් වැළකීම ගැනය. අප “අලුත් පෞද්ගලිකත්වයක්” පැළඳගෙන සිටින නමුත් තවමත් එවන් දේවල් කෙරෙහි ඇදී යන්නේ නම්, අප කරමින් සිටින්නේ කුමක්ද? අප දෙවිගේ වචනය තුළ තිබෙන දේවානුභාවයෙන් දී ඇති උපදෙස්වලටයි එරෙහිව යමින් සිටින්නේ. මෙසේ කිරීමෙන්, අපි ශුද්ධාත්මයට දුක් දෙමින් සිටින්නෙමු.

එෆීස පස්වන පරිච්ඡේදය තුළ අපට කියවන්නට තිබෙන්නේ, වේශ්‍යාකම් කිරීමට, ලජ්ජාසහගත ලෙස හැසිරීමට සහ අශික්ෂිත විහිළු කිරීමට ඇති වන පහත් ආශාවලින් වැළකී සිටීම ගැනය. දෙවිගේ ශුද්ධාත්මයට දුක් දීමට අප අකමැති නම්, විනෝදාස්වාදයන් තෝරාගැනීමේදී අප මෙය මනසේ තබාගත යුතුයි. එසේනම්, අප එවන් දේවල් ගැන කතා කළ යුතුද?, ඒවා ගැන කියවිය යුතුද? ඒවා රූපවාහිනියේ සහ වෙනත් තැනක ප්‍රදර්ශනය වෙන විට ඒවා බැලිය යුතුද?

ඇත්තවශයෙන්ම, වෙනත් පැතිවලින්ද අප ශුද්ධාත්මයට දුක් දිය හැකියි. යෙහෝවාගේ ආත්මය සභාව තුළ එක්සත්කම වැඩි කරයි. එහෙත් අප හානිකර ඕපාදූප කියනවා නම් හෝ සභාව තුළ කල්ලි ඇති කරනවා නම් හෝ එක්සත්කම පවත්වාගැනීම සඳහා ශුද්ධාත්මය දෙන මඟ පෙන්වීමට එරෙහිව නොවෙයිද අප ක්‍රියා කරමින් සිටින්නේ? අපිත් එසේනම්, කොරින්ති සභාවේ සිටි භේද ඇති කළාවූ අය මෙන් ශුද්ධාත්මයට දුක් දෙන්නෙමු. (1 කොරින්ති 1:10; 3:1-4, 16, 17) එලෙසම සභාව තුළ ආත්මයෙන් පත් කරන ලද පුරුෂයන්ට ඇති ගෞරවයට හිතා මතාම වක්‍ර ක්‍රමවලින් හානි සිදු කරන්නේ නම්, එවිටද අපි ශුද්ධාත්මයට දුක් දෙන්නෙමු.—ක්‍රියා 20:28; යූද් 8.

එසේනම්, බයිබලය තුළින් සහ ක්‍රිස්තියානි සභාව තුළින් ශුද්ධාත්මයේ මඟ පෙන්වීම අපට ලැබෙන බව අවබෝධ කරගෙන ඒ අනුව අපගේ ආකල්ප සහ ක්‍රියා ගැන සැලකිලිමත් වීම ඥානවන්තය. අපිද “ශුද්ධාත්මයෙන් යාච්ඤා කිරීමෙන්” එහි බලපෑමට යටත් වී, දෙවිගේ වචනයේ පවසා ඇති දෙයට එකඟව සෑමවිටම ක්‍රියා කරමු. (යූද් 20, NW) කිසිවිටෙකත් ශුද්ධාත්මයට දුක් නොදී, යෙහෝවාගේ ශුද්ධ නාමයට ගෞරව ගෙනෙන පිණිස එයින් මඟ පෙන්වීම ලැබීමට අධිෂ්ඨාන කරගනිමු.

ධනවතෙකු ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීම ඔටුවෙකු ඉඳිකටු සිදුරකින් යෑමට උත්සාහ කිරීම හා සමානයයි යේසුස් ක්‍රිස්තුස් පැවසීය. ඒ මොහොතේ යේසුස් කතා කරමින් සිටියේ සැබෑ ඔටුවෙකු ගැන සහ මහන ඉඳිකටුවක් ගැනද?

මේ පිළිබඳව සඳහන් වන ශුද්ධ ලියවිලි උපුටනයන් තුනෙන් දෙකක් හරියටම සමානයි. මතෙව්ගේ වාර්තාවට අනුව, යේසුස් පැවසුවේ මෙසේයි. “ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් යෑම පහසුය.” (මතෙව් 19:24, NW) ඒ හා සමානවම මාක් 10:25හි [NW] අපට කියවීමට තිබෙන්නේ මෙසේයි. “ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුවක සිදුරෙන් යෑම පහසුය.”

මේ පිළිබඳ විග්‍රහ කරන ඇතැම් කෘතිවල දක්වන්නේ, මෙම ‘ඉඳිකටු සිදුර’ යනු යෙරුසලමේ තිබූ කුඩා දොරටුවලින් එකක් කියායි. විශාල දොරටු රාත්‍රි කාලයේ වසා දමා ඇත්නම්, කුඩා දොරටුවක් විවෘත කළ හැකියි. ඔටුවෙකුට ඒ තුළින් යා හැකි බව විශ්වාස කෙරේ. යේසුස්ගේ මනසේ තිබුණේ මෙයද?

පෙනෙන සාක්ෂිවල හැටියට නම් එය එසේ නොවේ. යේසුස් මෙහිදී මහන ඉඳිකටුවකට යොමු දක්වමින් සිටින බවයි පෙනෙන්නට තිබෙන්නේ. අස්ථිවලින් සහ ලෝහවලින් සැදි ඉපැරණි කාලවල ඉඳිකටු එම ප්‍රදේශවලින් සොයා ගෙන ඇති නිසා, ඒවා සාමාන්‍ය ගෙදර දොරේ මැහුම් ගෙතුම්වලට යොදාගත්තා විය යුතුයි. යේසුස්ගේ වචන ගැන යම් සැකයක් තිබේ නම්, ලූක් 18:25හි [NW] සඳහන් දෙයින් එයද දුරු වී යයි. මන්ද එහි කියවීමට තිබෙන්නේ මෙසේයි. “ධනවතෙකුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙනවාට වඩා ඔටුවෙකුට මහන ඉඳිකටුවක සිදුරෙන් යෑම පහසුය.”

විවිධ ශබ්දකෝෂ කර්තෘවරු මෙම නව ලොව පරිවර්තනයේ දක්නට ඇති “මහන ඉඳිකටුව” යන පරිවර්තනය සමඟ එකඟ වෙති. මතෙව් 19:24 සහ මාක් 10:25හි ඒ සඳහා යොදා ඇති ග්‍රීක් වචනය (රාහ්පිස්) රැගෙන තිබෙන්නේ “මහනවා” යන අරුත ඇති ක්‍රියා පදයෙනි. තවද ලූක් 18:25හි සඳහන් ග්‍රීක් යෙදුම (බෙලොනෙ) ශල්‍යකර්මවලදී යොදාගන්නාවූ සැබෑ ඉඳිකටුවකට යොමු දක්වයි. වයින්ස් එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් ඕල්ඩ් ඇන්ඩ් නිව් ටෙස්ටමන්ට් වර්ඩ්ස් මෙසේ කියයි. “‘ඉඳිකටු සිදුර’ යොමු දක්වන්නේ කුඩා දොරටුවකටය යන අදහස අලුතෙන් එක් වූ අදහසක් බව පෙනී යයි. ඒ ගැන කිසිදු ඉපැරණි සාක්ෂියක් නැත. ස්වාමීන් කළ ප්‍රකාශයේ පරමාර්ථය වූයේ මිනිස් නොහැකියාව ඒත්තුගැන්වීම වූ අතර ඉඳිකටුව ඉඳිකටුවක් ලෙස මිස වෙනත් දෙයක් ලෙස විග්‍රහ කිරීමට යෑමෙන් එම ප්‍රකාශයේ අරුත දියාරු කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැත.”—1981, වෙළුම 3, පිටුව 106.

ඇතමුන් යෝජනා කරන්නේ මෙම පදවල සඳහන් “ඔටුවා” යන වචනය “කඹය” කියා පරිවර්තනය විය යුතු බවයි. කඹය සඳහා ඇති ග්‍රීක් වචනයත් (කැමිලොස්) ඔටුවා සඳහා ඇති ග්‍රීක් වචනයත් (කැමලොස්) එක සමානය. එහෙත්, මතෙව්ගේ සුවිශේෂයේ දැන් තිබෙන ඉපැරණිම ග්‍රීක් අත්පිටපතේ (සිනෙටික්, වැටිකන් 1209 සහ ඇලෙක්සැන්ඩ්‍රීන්) මතෙව් 19:24හි දක්නට ලැබෙන්නේ “කඹය” සඳහා වූ ග්‍රීක් වචනය නොව “ඔටුවා” සඳහා වූ ග්‍රීක් වචනයයි. පෙනෙන විදිහට, මතෙව් තම සුවිශේෂය මුලින්ම හෙබ්‍රෙව් භාෂාවෙන් ලිවූ අතර එය පෞද්ගලිකව ග්‍රීක් භාෂාවට පරිවර්තනය කළා විය හැකියි. යේසුස් හරියටම කී දේ ඔහු දැන සිටි අතර ඒ නිසා ඒ සඳහා නිසි වචනය භාවිත කළේය.

එසේනම්, යේසුස් අදහස් කළේ මැසීමට යොදාගන්නා ඉඳිකටුවක් සහ සැබෑ ඔටුවෙකි. ඔහු මේවා යොදාගත්තේ යම් දෙයක් සිදු නොවිය හැකි බව අවධාරණය කිරීමටයි. එහෙත්, කිසිම ධනවතෙකුට රාජ්‍යයට ඇතුල් විය නොහැකි බවක් යේසුස් අදහස් කළාද? නැත. මන්ද, යේසුස්ගේ ප්‍රකාශය පදගතාර්ථයෙන් ගත නොහැකි නිසාය. ඔහු මෙහිදී පාවිච්චි කරමින් සිටියේ අතිශයෝක්ති ප්‍රකාශයකි. ඒ, සැබෑ ඔටුවෙකුට මහන ඉඳිකටුවක සිදුරකින් රිංගන්නට නොහැකිවාක් මෙන් යම් ධනවතෙක් ඔහුගේ සැප සම්පත්වලට මුල්තැන දෙමින් යෙහෝවාව තමාගේ ජීවිතයේ පළමු තැනට දැමුවේ නැත්නම්, ඔහුට ස්වර්ගික රාජ්‍යයට ඇතුල් වීමට නොහැකි බව පෙන්වීමටය.—ලූක් 13:24; 1 තිමෝති 6:17-19.

යේසුස් මෙම ප්‍රකාශය කළේ ධනවත් තරුණ පාලකයෙක් යේසුස්ගේ අනුගාමිකයෙකු වීමේ උදාර වරප්‍රසාදය ප්‍රතික්ෂේප කළ විගසමය. (ලූක් 18:18-24) ආත්මික දේවලට වඩා තමාගේ සම්පත් කෙරෙහි වඩාත් ඇල්මක් ඇති ධනවත් පුද්ගලයෙකුට රාජ්‍යය විධිවිධානය තුළ සදාකාල ජීවිතය ලබාගත නොහැකිය. එහෙත්, සමහර ධනවත් පුද්ගලයෝ ඇත්තටම යේසුස්ගේ ගෝලයෝ බවට පත් වූහ. (මතෙව් 27:57; ලූක් 19:2, 9) මෙසේ, තමාගේ ආත්මික අවශ්‍යතා ගැන සැලකිල්ල දක්වන සහ දිව්‍ය උපකාරය සොයන ධනවතෙකුට දෙවි දෙන ගැලවීම ලබාගත හැකියි.—මතෙව් 5:3; 19:16-26.

[පාදසටහන]

^ 3 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ඔබ ත්‍රිත්වය විශ්වාස කළ යුතුද? යන විවරණිකාව බලන්න.—සිංහලෙන් නැත.