Skip to content

පටුනට යන්න

මහලු අය අපගේ ක්‍රිස්තියානි සහෝදරත්වයේ වටිනා සාමාජිකයෝය

මහලු අය අපගේ ක්‍රිස්තියානි සහෝදරත්වයේ වටිනා සාමාජිකයෝය

මහලු අය අපගේ ක්‍රිස්තියානි සහෝදරත්වයේ වටිනා සාමාජිකයෝය

‘යෙහෝවාගේ ගෘහයෙහි හිඳුවන ලද්දෝ . . . සපල වන්නෝය. ඔවුහු මහලු වයසේදීත් පල දෙන්නෝය.’—ගීතාවලිය 92:13, 15.

1. බොහෝදෙනෙක් මහලු අයව සලකන්නේ කෙසේද?

යෙහෝවා සිය විශ්වාසවන්ත සේවකයන් සියලුදෙනාටම ප්‍රේම කරන අතර මහලු අයද ඊට ඇතුළත්ය. එහෙත් එක්තරා ජාතික ගණනයකට අනුව, සෑම වසරකම අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන මහලු අයගෙන් ලක්ෂ පහක් පමණ දෙනාව නොසලකාහරින අතර ඔවුහු නොයෙක් අන්දමේ හිරිහැරවලටද ගොදුරු වෙති. ලොව දස දෙසින් පැමිණෙන ඒ හා සමාන වාර්තාවලින් පෙන්වන්නේ මහලු අයට හිරිහැර කිරීම ලෝක ගැටලුවක් වී ඇති බවයි. “මහලු අය බොහෝ වයෝවෘද්ධභාවයට පත් වී ඇති බැවින්, ඔවුන්ගෙන් පලක් නැති බවටත්, අනුන් මත ඕනෑවට වඩා යැපෙන අය බවටත් වූ . . . මතය බොහෝදෙනෙක් අතර පැතිර ගොස් තිබීම” එක් සංවිධානයක් ඊට මූලික හේතුව ලෙස දක්වයි.

2. (අ) යෙහෝවා සිය විශ්වාසවන්ත මහලු සේවකයන් දෙස බලන්නේ කෙසේද? (ආ) ගීතාවලිය 92:12-15හි අපට දැකගත හැකි හද උණුසුම් කරවන විස්තරය කුමක්ද?

2 යෙහෝවා දෙවි සිය පක්ෂපාත මහලු සේවකයන්ව ඉතා ඉහළින් අගය කරයි. ඔහුගේ අවධානය යොමු වී ඇත්තේ “ඇතුළාන්ත මිනිසා” හෙවත් අපගේ ආත්මික තත්වය මත මිස අපගේ ශාරීරික දුර්වලතා කෙරෙහි නොවේ. (2 කොරින්ති 4:16, NW) ඔහුගේ වචනය වන බයිබලය තුළ අපට පහත දක්වා ඇති හද උණුසුම් කරවනසුලු සහතිකය දැකිය හැකියි. “ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය. ඔහු ලෙබනොන්හි කිහිරි ගසක් මෙන් වැඩෙන්නේය. යෙහෝවාගේ ගෘහයෙහි හිඳුවන ලද්දෝ අපේ දෙවිගේ මිදුල්වල සපල වන්නෝය. යෙහෝවා අවංක [ධර්මිෂ්ඨ, NW] බවත්, මාගේ පර්වතය බවත්, ඔහු තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස, ඔවුහු මහලු වයසේදීත් පල දෙමින් සාරවත් වන්නෝය, සශ්‍රීක වන්නෝය.” (ගීතාවලිය 92:12-15) මෙම පද ගැන සලකා බලන විට ඒ මගින් යමක් හෙළි කරයි. එනම්, ක්‍රිස්තියානි සහෝදරත්වයේ උන්නතිය තකා මහලු වියේ පසුවන ඔබට දායක විය හැකි විවිධ පැති ඉන් පෙන්වා දෙයි.

‘මහලු වයසේදීත් පල දෙන්නෝය’

3. (අ) ධර්මිෂ්ඨයන්ව තාල වෘක්ෂයන්ට සමාන කර ඇත්තේ මන්ද? (ආ) මහලු අයට ‘මහලු වයසේදීත් සශ්‍රීක විය හැක්කේ’ කෙසේද?

3 ගීතිකාකරු ධර්මිෂ්ඨයන්ව ‘දෙවිගේ මිදුල්වල හිඳුවන ලද’ තාල වෘක්ෂයකට සමාන කරයි. ‘ඔවුහු මහලු වයසේදීත් පල දෙන්නෝය.’ මෙය දිරිගැන්වෙන අදහසක් බවට ඔබ එකඟ වන්නේ නැද්ද? ඍජුව ඉහළට ඇදී ගිය ප්‍රතාපවත් තාල වෘක්ෂයන් බයිබල් කාලවල පෙරදිග දේශයන්හි මිදුල්වල සාමාන්‍යයෙන් දක්නට ලැබූ දසුනකි. මෙම වෘක්ෂයන් මිදුල්වලට අලංකාරයක් ගෙන ආවාට අමතරව, බහුල ලෙස පල දැරීම නිසා ඒවා ඉතා වටිනා යමක් ලෙස සලකනු ලැබූ අතර, ඇතැම් වෘක්ෂයන් වසර සියයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ දිගටම පල දරන්නට විණි. * සැබෑ නමස්කාරය නමැති පසේ ස්ථිරව සිටවූ වෘක්ෂයක් මෙන් ඔබ සිටියහොත්, ඒ හා සමානව ඔබටත් ‘සියලු යහපත් ක්‍රියාවලින් පල දරමින්’ සිටිය හැකියි.—කොලොස්සි 1:10.

4, 5. (අ) ක්‍රිස්තියානීන් විසින් නිපදවිය යුත්තේ කිනම් වැදගත් පලද? (ආ) “තොල්වල පල” නිපදෙවූ මහලු අය සම්බන්ධ ශුද්ධ ලියවිලිමය ආදර්ශ ඉදිරිපත් කරන්න.

4 යෙහෝවා ක්‍රිස්තියානීන්ගෙන් බලාපොරොත්තු වන්නේ “තොල්වල පල” දැරීම හෙවත් ඔහු සහ ඔහුගේ අරමුණ ගැන ප්‍රශංසාත්මක වචන කතා කිරීමය. (හෙබ්‍රෙව් 13:15, NW) මහලු කෙනෙක් වන ඔබට මෙය අදාළ වෙනවාද? ඇත්තෙන්ම එය අදාළ වෙයි.

5 යෙහෝවාගේ නාමය ගැනත් ඔහුගේ අරමුණු ගැනත් නිර්භීතව සාක්ෂි දැරූ මහලු අයගේ ආදර්ශ ගණනාවක් බයිබලයේ අන්තර්ගතය. යෙහෝවා මෝසෙස්ව තමන්ගේ අනාගතවක්තෘවරයෙකු හා නියෝජිතයෙකු වශයෙන් පත් කරනු ලැබූ අවස්ථාවේදී, ඔහු වයස “අවුරුදු හැත්තෑව” පසු කර තිබිණි. (ගීතාවලිය 90:10; නික්මයාම 4:10-17) මහලුව සිටියද අනාගතවක්තෘ දානියෙල් යෙහෝවාගේ පරමාධිපත්‍යය සම්බන්ධව නිර්භීතව සාක්ෂියක් දීමෙන් වැළකී සිටියේ නැත. බිත්තියේ ලියනු ලැබූ අභිරහස් ලියවිල්ල තේරුම් කර දීමට බෙල්ෂෙශර් දානියෙල්ව කැඳවූ විට දානියෙල් සමහරවිට වයස අවුරුදු අනූ ගණන්වල පසු වූවා වන්නට පුළුවන. (දානියෙල් 5වන පරිච්ඡේදය) මහලු වියේ පසු වූ ප්‍රේරිත යොහන් ගැන කුමක් කිව හැකිද? ඔහුගේ දිගු කාලීන විශ්වාසවන්ත සේවයේ නිමාවේදී, ඔහුට පැට්මොස් නම් දිවයිනේ සිරගතව සිටින්නට සිදු වූයේ “දෙවි ගැන කතා කළ නිසාත්, යේසුස් ගැන සාක්ෂි දැරූ නිසාත්ය.” (එළිදරව් 1:9, NW) එලෙසම තමන්ගේ ජීවිතයේ සැඳෑ සමයේදී “තොල්වල පල” නිපදෙවූ වෙනත් බයිබල් චරිත බොහොමයක් ගැන ඔබට මතක තිබෙන බවට කිසිදු සැකයක් නැත.—1 සාමුවෙල් 8:1, 10; 12:2; 1 රාජාවලිය 14:4, 5; ලූක් 1:7, 67-79; 2:22-32.

6. මෙම අන්තිම දවස්වලදී අනාවැකි කීමට යෙහෝවා ‘මහල්ලන්ව’ යොදාගෙන ඇත්තේ කෙසේද?

6 හෙබ්‍රෙව් ජාතික අනාගතවක්තෘවරයෙකු වූ යෝවෙල්ව උපුටා දක්වමින් ප්‍රේරිත පේතෘස් මෙසේ ප්‍රකාශ කළේය. “දෙවි මෙසේ කියන්නේය: ‘අන්තිම දවස්වලදී, මම මාගේ ආත්මයෙන් කොටසක් [“මහල්ලෝ” ඇතුළු] සියලු ආකාරයේ මිනිසුන් පිට වගුරුවන්නෙමි. . . එවිට ඔවුහු අනාවැකි කියන්නෝය.’” (ක්‍රියා 2:17, 18, NW; යෝවෙල් 2:28) මේ අනුව, මෙම අන්තිම දවස්වලදී, යෙහෝවා අභිෂේක ලත් පංතියේ සහ ‘වෙනත් බැටළුවන්ගේ’ මහලු සාමාජිකයන්ව ඔහුගේ අරමුණු ප්‍රකාශ කිරීම සඳහා යොදාගෙන ඇත. (යොහන් 10:16) මේ අයගෙන් සමහරදෙනෙක් විශ්වාසවන්තව දශක ගණනාවක් පුරා රාජ්‍යය සඳහා පල නිපදවමින් සිටිති.

7. ශාරීරික වශයෙන් සීමාවන් තිබුණද, මහලු අය දිගටම රාජ්‍යය සඳහා පල නිපදවන ආකාරය ගැන නිදසුනක් දෙන්න.

7 වර්ෂ 1941දී පූර්ණ කාලීනව රාජ්‍යය ප්‍රචාරය කරන්නෙකු වූ සෝනියා ගැන සලකා බලන්න. නිදන්ගත රෝගී තත්වයක් මැද වුවද, ඇය තම නිවසේදී නිතිපතා බයිබල් පාඩම් පැවැත්වූවාය. “ශුභාරංචිය දේශනා කිරීම මගේ ජීවිතයේ කොටසක්” යයි ඇය කියා සිටියාය. “ඇත්තෙන්ම කියනවා නම්, එය මගේ ජීවිතයයි. මම ඒක නවත්වන්නෙම නැහැ.” මෑතකදී, සෝනියාට සහ ඇගේ සහෝදරිය වන ඔලිව්ට, එක් රෝහලකදී තම වෛද්‍යවරයා එන තෙක් බලා සිටියාවූ ජැනට්ව මුණගැසුණි. ඇය මාරාන්තික රෝගයකින් පෙළෙමින් සිටි අතර ඔවුහු ඈට බයිබලයේ සඳහන් බලාපොරොත්තුව ගැන කතා කළහ. භක්තිමත් කතෝලිකයෙකු වූ ජැනට්ගේ මවගේ සිතට තම දියණිය කෙරෙහි දක්වනු ලැබූ මෙම ප්‍රේමණීය උනන්දුව කොතරම් කාවැදුණේද යත්, ඇය නිවාස බයිබල් පාඩමක් කිරීමට කැමති වූ අතර, දැන් ඇය ඉතා කදිම ප්‍රගතියක් ලබමින් සිටින්නීය. රාජ්‍යය සඳහා පල නිපදවීමට ඒ හා සමාන ප්‍රස්තාවන් අල්ලාගැනීමට ඔබට හැකිද?

8. මහලු වියේ පසු වූ කාලෙබ් යෙහෝවා කෙරෙහි තම විශ්වාසය නිරූපණය කළේ කෙසේද? මහලු ක්‍රිස්තියානීන්ට ඔහුගේ ආදර්ශය අනුකරණය කළ හැක්කේ කෙසේද?

8 වයෝවෘද්ධ තත්වයේ සීමාවන් තිබුණද, රාජ්‍ය දේශනා කිරීමේ වැඩය තුළ ධෛර්ය සම්පන්නව ඉදිරියට යෑම මගින් මහලු ක්‍රිස්තියානීහු විශ්වාසවන්ත ඊශ්‍රායෙලිතයෙකු වූ කාලෙබ්ගේ අඩිපාරේ ගමන් කරති. කාලෙබ් වනාහි දශක හතරක් පුරා මෝසෙස් සමඟ පාළුකරයේ ගමන් කළ අයෙකි. යොර්දාන් ගඟ හරහා ගොස් පොරොන්දු දේශයට ඇතුල් වන විට කාලෙබ්ගේ වයස අවුරුදු 79කි. වසර හයක් පුරා, අපරාජිත ඊශ්‍රායෙල් හමුදාවේ භටයෙකු ලෙස සටන් කළායින් පසුව තමන් කලින් කළ වැඩ ගැන සිතමින් ඔහුට විශ්‍රාම යන්නට හැකිකම තිබුණි. එහෙත්, ඔහු එසේ කළේ නැත. අනාක්වරුන් යන අසාමාන්‍ය උස මහතකින් යුත් මිනිසුන් ජීවත් වූ ප්‍රදේශයක් වූ යූදාවේ කඳුකර ප්‍රදේශයේ “පවුරු ඇති මහත් නුවරවල්” අල්ලාගැනීමේ අභියෝගාත්මක පැවරුම ඔහු ඉල්ලා සිටියේ මහත් ධෛර්යයකිනි. යෙහෝවාගේ උපකාරය සමඟින්, ‘ඔහු කී ලෙස ඔවුන් එළවන්ට’ කාලෙබ්ට හැකි විණි. (යෝෂුවා 14:9-14; 15:13, 14) කාලෙබ් සමඟ යෙහෝවා සිටියාක් මෙන්, මහලු වයසේදී දිගටම රාජ්‍ය පල දරමින් සිටින ඔබ සමඟද ඔහු සිටින බව සහතික වන්න. තවද, ඔබ දිගටම විශ්වාසවන්තව සිටිනවා නම්, ඔහු පොරොන්දු වී ඇති නව ලෝකයේ ඔබටද ස්ථානයක් හිමි වනු ඇත.—යෙසායා 40:29-31; 2 පේතෘස් 3:13.

“ඔවුහු . . . සාරවත් වන්නෝය, සශ්‍රීක වන්නෝය”

9, 10. මහලු ක්‍රිස්තියානීන් ඇදහිල්ල තුළ ශක්තිමත්ව සිටිමින් තමන්ගේ ආත්මික ශක්තිය දිගටම තබාගන්නේ කෙසේද? (13වන පිටුවේ කොටුව බලන්න.)

9 යෙහෝවාට සේවය කරන මහලු වියේ පසු වන අයගේ ඵලදායිතාව කෙරෙහි අවධානය යොමු කරමින් ගීතිකාකරු ගායනා කළේ මෙසේයි. “ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය. ඔහු ලෙබනොන්හි කිහිරි ගසක් මෙන් වැඩෙන්නේය. ඔවුහු මහලු වයසේදීත් පල දෙමින් සාරවත් වන්නෝය. සශ්‍රීක වන්නෝය.”—ගීතාවලිය 92:12, 15.

10 මහලු වියේ පසු වුවද, ඔබට ඔබගේ ආත්මික ශක්තිය දිගටම තබාගත හැක්කේ කෙසේද? තාල වෘක්ෂයක් නිරන්තරව අලංකාරව තිබීමේ රහස නම් එයට මිරිදිය ජල සැපයුමක් තිබීමයි. ඒ හා සමානව, දෙවිගේ වචනය පාඩම් කිරීමෙන් හා ඔහුගේ සංවිධානය සමඟ ඇසුරු කිරීමෙන් ඔබට බයිබල් සත්‍යය නමැති මිරිදියෙන් පෝෂණය විය හැකියි. (ගීතාවලිය 1:1-3; යෙරෙමියා 17:7, 8) ඔබේ ආත්මික ප්‍රාණවත්බව නිසා ඔබගේ සෙසු ඇදහිලිවන්තයන්හට ඔබව වටිනා සම්පතක් බවට පත් කරයි. මහලු වියේ පසු වූ යෙහෝයාදා නම් උත්තම පූජකයාගේ ආදර්ශයෙන් මෙය සැබෑවක් බවට සනාථ වූ ආකාරය සලකා බලන්න.

11, 12. (අ) යූදා රාජ්‍යයේ ඉතිහාසයේ යෙහෝයාදා කිනම් අතිවැදගත් කාර්යභාරයක් ඉෂ්ට කළාද? (ආ) සැබෑ නමස්කාරය වැඩි දියුණු කිරීමට යෙහෝයාදා තමන්ට රජ කෙරෙහි තිබූ බලපෑම යොදාගත්තේ කෙසේද?

11 අතලියා නමැති අභිලාෂකාමී බිසව තමාගේම මුණුබුරන් මරා දමමින් යූදාවේ පාලනය අල්ලාගත් අවස්ථාවේ යෙහෝයාදාගේ වයස අවුරුදු සියයකට වඩා වැඩි වූවා විය හැකියි. මහලු යෙහෝයාදාට කුමක් කිරීමට හැකිව තිබුණාද? ඔහු ඔහුගේ භාර්යාව හා එක්ව රාජකීය පෙළපතට අයත්ව ජීවත්ව සිටි එකම තැනැත්තා වූ යෝවාෂ්ව වසර හයක් පුරා දේවමාලිගාවේ සඟවා තැබුවේය. අනතුරුව, යෙහෝයාදා ඉතා අපූරු ක්‍රමයකට සත් හැවිරිදි යෝවාෂ්ව රජ බවට ප්‍රකාශ කර අතලියාව ඝාතනය කිරීමට සැලැස්වීය.—2 ලේකම් 22:10-12; 23:1-3, 15, 21.

12 රජුගේ භාරකරු වශයෙන් යෙහෝයාදාට රජ කෙරෙහි තිබූ බලපෑම ඔහු යොදාගත්තේ සැබෑ නමස්කාරය වැඩි දියුණු කිරීමටයි. ඔහු “යෙහෝවාගේ සෙනඟව සිටින ලෙස . . . තමා සහ මුළු සෙනඟත් රජුත් අතරේ ගිවිසුමක් කළේය.” යෙහෝයාදාගේ නියමය පරිදි, ජනයා බාල් නම් බොරු දෙවියාගේ ගෘහය කඩා දමා එහි පූජාසන, පිළිම සහ පූජකයාව ඉවත් කර දැමූහ. තවද දේවමාලිගාවේ සේවාවන් යළිත් පිහිටුවනු ලැබ බොහෝ සෙයින් අවශ්‍යව තිබූ දේවමාලිගාවේ අලුත්වැඩියා වැඩකටයුතු කරගෙන යනු ලැබුවේද යෙහෝයාදාගේ මඟ පෙන්වීම යටතේයි. “යෙහෝවාෂ් (හෙවත් යෝවාෂ්) වනාහි යෙහෝයාදා පූජකයා විසින් තමාට දැනමුතුකම් දුන් කාලය මුළුල්ලෙහි යෙහෝවාගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කළේය.” (2 ලේකම් 23:11, 16-19; 24:11-14; 2 රාජාවලිය 12:2) වයස අවුරුදු 130දී යෙහෝයාදා මිය ගිය විට, ඔහුව රජවරුන් අතරේ තැන්පත් කිරීමෙන් ඔහුට විශේෂ ගෞරවයක් දෙන ලදි. එසේ කරන ලද්දේ ‘ඔහු ඊශ්‍රායෙල්හිද සැබෑ දෙවි සහ ඔහුගේ ගෘහය උදෙසාද යහපත කළ බැවින්ය.’—2 ලේකම් 24:15, 16.

13. මහලු ක්‍රිස්තියානීන්ට ‘සැබෑ දෙවි සහ ඔහුගේ ගෘහය උදෙසා යහපත කළ’ හැක්කේ කෙසේද?

13 සමහරවිට ඔබගේ දුර්වල සෞඛ්‍ය තත්වය නිසා හෝ වෙනත් තත්වයන් නිසා ඔබට සැබෑ නමස්කාරයේ උන්නතිය සඳහා කළ හැකි දේ සීමා වී තිබෙන්නට පුළුවන. තත්වය එසේ වුවද, ‘සැබෑ දෙවි සහ ඔහුගේ ගෘහය උදෙසා යහපත කිරීමට’ ඔබට තවමත් පුළුවන. සභාවේ රැස්වීම්වලට පැමිණීමෙන් සහ ඒවාට සහභාගි වීමෙන්ද, හැකි සෑම අවස්ථාවලදී ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමෙන්ද ඔබට යෙහෝවාගේ ආත්මික ගෘහය උදෙසා ජ්වලිතය පෙන්විය හැකියි. ඔබ බයිබලයේ උපදෙස් කැමැත්තෙන්ම පිළිගැනීමෙන් සහ ‘විශ්වාසවන්ත නුවණ ඇති දාසයාට’ සහ සභාවට පක්ෂපාතී ලෙස සහයෝගය දැක්වීමෙන් ක්‍රිස්තියානි සහෝදරත්වය ශක්තිමත් කරයි. (මතෙව් 24:45-47) තවද සෙසු නමස්කාරකයන්ව ‘ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන්නටද’ ඔබට හැකියි. (හෙබ්‍රෙව් 10:24, 25; පිලෙමොන් 8, 9) එමෙන්ම, ප්‍රේරිත පාවුල්ගේ මෙම උපදෙසට අනුකූලව ඔබ ක්‍රියා කරනවා නම්, ඔබ අන්‍යයන්හට ආශීර්වාදයක්ද වනු ඇත. ඔහු පැවසුවේ මෙලෙසයි. “වයස්ගතව සිටින පුරුෂයන්, පමණ දැන ක්‍රියා කරන, ගෞරවනීයව හැසිරෙන, හොඳ සිහිකල්පනාවෙන් යුක්තව ක්‍රියා කරන, ඇදහිල්ලෙහිද ප්‍රේමයෙහිද විඳදරාගැනීමෙහිද ශක්තිමත් අය විය යුතුය. එලෙසම වයස්ගතව සිටින ස්ත්‍රීන්, භක්තිවන්තව හැසිරෙන, නින්දා නොකරන, බොහෝ වයින් පානයට වහල් නොවූ, යහපත් දේ උගන්වන අය විය යුතුය.”—තීතස් 2:2-3, NW.

14. සැබෑ නමස්කාරය වැඩි දියුණු කිරීම සඳහා දිගු කලක් තිස්සේ සේවය කර ඇති ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට කුමක් කළ හැකිද?

14 සභා වැඩිමහල්ලෙකු ලෙස ඔබ අවුරුදු ගණනාවක් සේවය කර තිබෙනවාද? “වයසට යෑමත් සමඟ පැමිණෙන ප්‍රඥාව පරාර්ථකාමී ලෙස අනුන් වෙනුවෙන් යොදාගන්න” යනුවෙන් දිගු කලක් තිස්සේ සේවය කර ඇති සභා වැඩිමහල්ලෙක් අවවාද කරයි. “වගකීම් පවරන්න. ඉගෙනගැනීමට කැමැත්තක් දක්වන වෙනත් අය සමඟ ඔබේ අද්දැකීම් බෙදාගන්න. . . . වෙනත් අය තුළ තිබෙන හැකියාවන් ගැන සොයා දැනගන්න. එම හැකියාවන් වැඩි දියුණු කරගැනීමට උදව් දෙන්න. එම තැනැත්තන්ව අනාගතයේ වගකීම් භාරගැනීම සඳහා සූදානම් කරන්න.” (ද්විතීය කථාව 3:27, 28) වර්ධනය වෙමින් තිබෙන රාජ්‍යයේ වැඩකටයුතු කෙරෙහි ඔබ දක්වන අව්‍යාජ උනන්දුව මගින් අපගේ ක්‍රිස්තියානි සහෝදරත්වයට අයත් වෙනත් අයහට බොහෝ ආශීර්වාද ලැබෙනවා සහතිකය.

“යෙහෝවා ධර්මිෂ්ඨ බව පෙන්වන්න”

15. මහලු ක්‍රිස්තියානීන් ‘යෙහෝවා ධර්මිෂ්ඨ බව පෙන්වන්නේ’ කෙසේද?

15 මහලු වියේ පසු වන දෙවිගේ සේවකයෝ ‘යෙහෝවා ධර්මිෂ්ඨ බව පෙන්වීමට’ වූ තම වගකීම ඉතා ප්‍රීතියෙන් ඉෂ්ට කරති. ඔබ මහලු වියේ පසු වන ක්‍රිස්තියානියෙක් නම්, ‘යෙහෝවා ඔබගේ පර්වතය බවත්, ඔහු තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත්’ ඔබගේ වචනවලින් හා ක්‍රියාවලින් පෙන්වීමට ඔබට හැකියි. (ගීතාවලිය 92:14) තාල වෘක්ෂයෝ ඔවුන්ගේ මැවුම්කරුවාණන්ගේ අතිඋදාර ගුණාංග ගැන නිහඬව සාක්ෂි දරති. එහෙත්, යෙහෝවා ඔබට දී ඇත්තේ සැබෑ නමස්කාරය වැලඳගැනීමට කැමැත්තෙන් සිටින අයට ඔහු ගැන සාක්ෂි දැරීම සඳහා ඊටත් වඩා මහඟු වරප්‍රසාදයකි. (ද්විතීය කථාව 32:7; ගීතාවලිය 71:17, 18; යෝවෙල් 1:2, 3) මෙය වැදගත් වෙන්නේ මන්ද?

16. ‘යෙහෝවා ධර්මිෂ්ඨ බව පෙන්වීමේ’ වැදගත්කම පෙන්නුම් කරන්නේ කිනම් බයිබල් ආදර්ශයෙන්ද?

16 ඊශ්‍රායෙල් ජාතියේ නායකයෙකු වූ යෝෂුවා “මහලුව වයෝවෘද්ධව සිටියදී, . . . සියලු ඊශ්‍රායෙල්වරුන් වන ඔවුන්ගේ වැඩිමහල්ලන්ද ප්‍රධානීන්ද විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද කැඳවා” දෙවිගේ ධර්මිෂ්ඨ ක්‍රියාවන් ගැන ඔහු ඔවුන්ට මතක් කර දුන්නේය. ඔහු පැවසුවේ මෙසේයි. “ඔබගේ දෙවි වූ යෙහෝවා ඔබ ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත් නෑරුණ බව ඔබගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් ඔබ දන්නහුය; එයින් එක දෙයක්වත් අත් නෑරී සියල්ලම ඔබට පැමුණුණේය.” (යෝෂුවා 23:1, 2, 14) යම් කලකට මෙම වචන, විශ්වාසවන්තව සිටීමට වූ ජනයාගේ අධිෂ්ඨානයට මහත් ශක්තියක් වූයේය. කෙසේවෙතත්, යෝෂුවාගේ මරණයෙන් පසුව, “යෙහෝවාවත් ඊශ්‍රායෙල් උදෙසා ඔහු කළ ක්‍රියාවල්වත් නොදන්නාවූ වෙන පරම්පරාවක් නැඟිටුණේය. ඊශ්‍රායෙල් පුත්‍රයෝ යෙහෝවා ඉදිරියෙහි නපුරුව තිබෙන දේ කොට බාල් දේවතාවුන්ට සේවය කළෝය.”—විනිශ්චයකාරයන් 2:8-11.

17. යෙහෝවා නවීන කාලවලදී සිය ජනයා සමඟ කටයුතු කර තිබෙන්නේ කෙසේද?

17 වත්මන් දින ක්‍රිස්තියානි සභාව තම විශ්වාසවන්තකම අඛණ්ඩව රැකගනීවිද යන්න රඳා පවතින්නේ දෙවිගේ මහලු සේවකයන් තමන් ලද අද්දැකීම් ගැන කියන දේ මතම නොවන බව සැබෑවකි. එහෙත්, මෙම අන්තිම දවස්වලදී යෙහෝවා සිය ජනයා වෙනුවෙන් කර තිබෙන “මහත් ක්‍රියා” පිළිබඳ පෞද්ගලිකව ඇසින් දුටු වාර්තා අසන කල, යෙහෝවා සහ ඔහුගේ පොරොන්දු කෙරෙහි අපගේ ඇදහිල්ල වඩාත් ශක්තිමත් වේ. (විනිශ්චයකාරයන් 2:7; 2 පේතෘස් 1:16-18, 20) ඔබ යෙහෝවාගේ සංවිධානය සමඟ වසර ගණනාවක් මුළුල්ලේ ඇසුරු කර තිබේ නම්, ඔබගේ ප්‍රදේශයේ හෝ රටේ රාජ්‍ය ප්‍රචාරකයන් ඉතා ස්වල්ප ගණනක් පමණක් සිටියාවූ කාලය හෝ දේශනා වැඩයට තදබල විරුද්ධවාදිකම් තිබුණාවූ කාලය ගැන ඔබට මතක තිබෙන්නට පුළුවන. කල් යත්ම, යෙහෝවා යම් යම් බාධක ඉවත් කර දමා රාජ්‍ය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාවේ වර්ධනය ‘ඉක්මන් කළ’ සැටි ඔබ දැක තිබෙන්නෙහිය. (යෙසායා 54:17; 60:22) බයිබල් සත්‍යතාවන් වඩාත් පැහැදිලි කරනු ලැබූ අයුරුද, දෙවිගේ සංවිධානයේ දෘශ්‍යමාන කොටස ක්‍රමානුකූලව යම් සකස් කිරීම්වලට භාජන වූ අයුරුද ඔබ දැක තිබෙන්නෙහිය. (හිතෝපදේශ 4:18; යෙසායා 60:17) ඔබ අද්දැක තිබෙන යෙහෝවාගේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැන අන්‍යයන් සමඟ කතා කිරීමෙන් ඔබ ඔවුන්ව ගොඩනැංවීමට අවස්ථා සොයනවාද? මෙයින් ක්‍රිස්තියානි සහෝදරත්වය කෙරෙහි මොන තරම් ධනාත්මක හා ශක්තිය ගෙන දෙන බලපෑමක් ඇති කරාවිද!

18. (අ) ‘යෙහෝවා ධර්මිෂ්ඨ බව අන්‍යයන්ට පෙන්වීමේ’ දිගු කාලීන බලපෑම් ගැන නිදසුනක් දෙන්න. (ආ) ඔබ යෙහෝවාගේ ධර්මිෂ්ඨකම පෞද්ගලිකව අද්දැක තිබෙන්නේ කෙසේද?

18 යෙහෝවාගේ ප්‍රේමණීය සැලකිල්ල සහ ඔහුගේ මඟ පෙන්වීම ඔබ විසින් ඔබගේ පෞද්ගලික ජීවිතය තුළ අද්දැක තිබෙන අවස්ථාවන් ගැන කුමක් කිව හැකිද? (ගීතාවලිය 37:25; මතෙව් 6:33, 1 පේතෘස් 5:7) මාර්තා නම් වූ මහලු සහෝදරියක අනුන්ව දිරිගන්වන්නේ මෙසේ කියමිනි. “මොනවා වුණත්, කිසිම විටෙක යෙහෝවාව නම් අතහරින්න එපා. ඔහු ඔබව උසුලාවි.” මෙම අවවාදය ටෝල්මීනා නමැත්තිය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන්නට සමත් විය. ටෝල්මීනා වනාහි මාර්තාගේ බයිබල් ශිෂ්‍යයාවක් වූ අතර, ඇය බව්තීස්ම වූයේ 1960 ගණන්වල මුල්භාගයේදීය. ටෝල්මීනා මෙසේ සිහි කරන්නීය. “මගේ ස්වාමිපුරුෂයා මිය ගිය අවස්ථාවේදී, මම ගොඩක් අධෛර්යයට පත් වුණා. එහෙත් කිසිම රැස්වීමක් අතපසු නොකිරීම සඳහා අධිෂ්ඨානයක් ගැනීමට ඒ වචන මාව ශක්තිමත් කළා. දිගටම සේවය කරගෙන යන්න යෙහෝවා ඇත්තටම මාව ශක්තිමත් කළා.” වසර ගණනාවක් පුරා ටෝල්මීනා එම අවවාදයම ඇගේම බයිබල් ශිෂ්‍යාවන්ටද දී තිබේ. ඇත්තෙන්ම, දිරිගැන්වීම් දීමෙන් හා යෙහෝවාගේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැන යළි යළිත් කියා පෑමෙන්, සෙසු ඇදහිලිවන්තයන්ගේ ඇදහිල්ල ගොඩනැංවීමට ඔබට බෙහෙවින් දායක විය හැකියි.

යෙහෝවා විශ්වාසවන්ත මහලු අයව අගය කොට සලකයි

19, 20. (අ) යෙහෝවා සිය මහලු සේවකයන්ගේ ක්‍රියාකාරකම් දෙස බලන්නේ කෙසේද? (ආ) ඊළඟ ලිපියේ සලකා බැලෙන්නේ කුමක්ද?

19 කෘතඥතාව හීන වී ගොස් ඇති අද ලෝකයේ මහලු අය වෙනුවෙන් වැය කරන්න තරම් කාලයක් නැති තරම්ය. (2 තිමෝති 3:1, 2) ඔවුන්ව බොහෝවිට සිහි කෙරෙන්නේ ඔවුන් අත් කරගෙන ඇති යම් යම් සාර්ථකත්වයන් නිසාය. එනම්, ඔවුන් කෙබඳු පුද්ගලයන්ව සිටියාද යන්න මත මිස, ඔවුන් දැන් කෙබඳු අයද යන්න මත නොවේ. මීට හාත්පසින් වෙනස්ව බයිබලය කියන්නේ මෙසේයි. “ඔබ කළ සේවයද, ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැත. මන්ද ඔබ ශුද්ධ තැනැත්තන්ට උපස්ථාන කළහුය. එසේම කරමින්ද සිටින්නහුය.” (හෙබ්‍රෙව් 6:10, NW) යෙහෝවා දෙවි ඔබ අතීතයේදී විශ්වාසවන්ත ලෙස කළ ක්‍රියා අමතක නොකරන බව නිසැකයි. එහෙත් ඔබ දැන් ඔහුගේ සේවය තුළ කරමින් සිටින දේවල් නිසාද ඔහු ඔබව බොහෝ සෙයින් අගය කරයි. එසේය, ඔහු විශ්වාසවන්ත මහලු අයව සලකන්නේ ඵලදායී, ආත්මිකව ශක්තිමත් ක්‍රිස්තියානීන් හැටියටය. ඔවුහු වනාහි ඔහුගෙන් බලය ලබන බවට ජීවමාන සාක්ෂියකි.—පිලිප්පි 4:13.

20 ඔබ යෙහෝවා බලන විදිහටම අපගේ ක්‍රිස්තියානි සහෝදරයන් අතර සිටින මහලු සාමාජිකයන් දෙස බලනවාද? ඔබ එසේ බලනවා නම්, ඔවුන් සඳහා ඇති ඔබගේ ප්‍රේමය පෙන්වීමට ඔබ පෙලඹෙනවා ඇත. (1 යොහන් 3:18) ඊළඟ ලිපිය තුළ සලකා බැලෙන්නේ ඔවුන්ගේ අවශ්‍යතා බලා කියා ගැනීමේදී එවන් ප්‍රේමයක් පෙන්විය හැකි ප්‍රායෝගික ක්‍රම සමහරක් ගැනයි.

[පාදසටහන]

^ 3 ඡේ. රටඉඳි ගසේ සෑම ඉඳි පොකුරකම ඉඳිගෙඩි දහසක් පමණ තිබිය හැකි අතර, ඒ එක් පොකුරක් කිලෝග්‍රෑම් 8ක් හෝ ඊට වඩා බර විය හැකියි. “පල දරන සෑම [තාල] වෘක්ෂයක්ම තම ස්වාමියාට ගෙවන වන්දියක් ලෙස එහි ආයු කාලය පුරා ඉඳිගෙඩි ටොන් දෙකක හෝ තුනක පල නිපදවනවා විය හැක” යයි එක් ලේඛකයෙකු ගණනය කර ඇත.

ඔබගේ පිළිතුරු මොනවාද?

• මහලු අය ‘පල දෙන්නේ’ කෙසේද?

• මහලු ක්‍රිස්තියානීන්ගේ ආත්මික ප්‍රාණවත්බව වටිනා සම්පතක් වන්නේ මන්ද?

• ‘යෙහෝවා ධර්මිෂ්ඨ බව’ පෙන්වීමට මහලු අයට හැක්කේ කෙසේද?

• යෙහෝවා දිගු කාලයක් තිස්සේ තමන්ට සේවය කර ඇති අයව අගය කොට සලකන්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ කොටුව]

ඔවුන් ඇදහිල්ල තුළ ශක්තිමත්ව සිට ඇති අන්දම

දිගු කලක් මුළුල්ලේ ඇදහිල්ලේ ශක්තිමත්ව සිටින්නත් තමන්ගේ ආත්මික ශක්තිය දිගටම තබාගන්නත් ක්‍රිස්තියානීන්ට හැකි වී තිබෙන්නේ කෙසේද? ඇතැම් අය පවසා ඇති දේවල් සමහරක් මෙන්න:

“යෙහෝවා සමඟ ඇති අපගේ සම්බන්ධතාවට කෙළින්ම බලපාන ශුද්ධ ලියවිලි පද කියවීම ඉතා වැදගත්. හුඟාක් දවස්වල රෑට මම හඬ නඟා කටපාඩමින් කියන බයිබල් පද තමයි ගීතාවලිය 23 සහ 91වන පරිච්ඡේද.”—1930දී බව්තීස්ම වූ ඔලිව්.

“සෑම බව්තීස්ම කතාවකටම පැමිණ එයට කිට්ටුවෙන් සවන් දීගෙන හිටියේ හරියටම මගේ බව්තීස්ම කතාවට සවන් දීගෙන ඉන්නවා වගේ හැඟීමෙනුයි. මගේ කැපවීම මෑතකදී සිදු වුණාක් මෙන් මතකයේ තබාගෙන සිටීම, මට විශ්වාසවන්තව සිටීමට ලොකු උපකාරයක් වී තිබෙනවා.”—1946දී බව්තීස්ම වූ හැරී.

“දිනපතාම යාච්ඤා කිරීම ඉතා වැදගත්. යෙහෝවාගේ පිහිට, ආරක්ෂාව හා ආශීර්වාද සැමවිටම ඉල්ලා, ‘අපගේ සියලු මාර්ගවලදී ඔහුව සැලකීම’ අවශ්‍යයි.” (හිතෝපදේශ 3:5, 6)—1951දී බව්තීස්ම වූ ඇන්ටෝනියෝ.

“බොහෝ වසර ගණනාවක් තිස්සේ තවමත් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන අයගේ අද්දැකීම්වලට සවන් දීම නිසා, ඔහුට පක්ෂපාතව සිට විශ්වාසවන්තභාවය රැකීමට ගත් මගේ අධිෂ්ඨානය තවත් පණගැන්වුණා.”—1954දී බව්තීස්ම වූ ජෝන්.

“තමා ගැන ඕනෑවට වඩා නොසිතීම වැදගත්. අපට ලැබී ඇති දේවල් ලැබී තිබෙන්නේ දෙවිගේ මහත් කරුණාව නිසයි. මේ ආකල්පය අප තබාගෙන සිටිනවා නම්, අන්තිමය දක්වාම විඳදරාගැනීමට අවශ්‍ය ආත්මික පෝෂණය ලබාගැනීම පිණිස හරි දිසාව දෙස බලන්නට අපට පුළුවන්.”—1954දී බව්තීස්ම වූ ආලීන්.

[11වන පිටුවේ පින්තූරය]

මහලු අය රාජ්‍යය සඳහා වටිනා පල නිපදවති

[14වන පිටුවේ පින්තූරය]

මහලු අයගේ ආත්මික ප්‍රාණවත්බව ඉතා වටිනා සම්පතක්ය