Skip to content

පටුනට යන්න

අවශ්‍ය විටදී යහපත්කම් කිරීම

අවශ්‍ය විටදී යහපත්කම් කිරීම

අවශ්‍ය විටදී යහපත්කම් කිරීම

ප්‍රේරිත පාවුල් උදක්ම ආයාචනා කළේ “අපට ප්‍රස්තාව තිබෙන තාක් කල් සියල්ලන්ටම, විශේෂයෙන්ම අපේ ඇදහිල්ලේ පවුලට අයත් අයට යහපත්කම් කරමු” කියායි. (ගලාති 6:10, NW) ලෝක ව්‍යාප්තව සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් එම ප්‍රතිපත්තිය තමන්ගේ ජීවිතයට අදාළ කරගැනීමට මහත් ඕනෑකමින් වෑයම් කරනවා. ඔවුන්, සියලුදෙනාටත් විශේෂයෙන්ම සෙසු ඇදහිලිවන්තයන්ටත් යහපත්කම් කරන්න සූදානම්ව සිටිනවා. අවශ්‍යතා ඇති වන විටදී මෙය නැවත නැවතත් දකින්නට ලැබෙන දෙයක්. මෑතකදී රටවල් තුනක් ලැබූ අද්දැකීම් සලකා බලමු.

වර්ෂ 2002 දෙසැම්බර් මාසයේදී, පැයට කිලෝමීටර් 300ක වේගය ඉක්මවමින් දරුණු සුළිසුළඟක් ගුවාම් හරහා හමා ගියා. ගෙවල් බොහොමයකට අලාභහානි සිදු වූ අතර සමහර ඒවා සම්පූර්ණයෙන්ම සුනුවිසුනු වී ගියා. සුළි සුළඟෙන් වැඩියෙන්ම විපතට පත් වූ සාක්ෂිකරුවන්ට උපකාර කිරීම සඳහා එම ප්‍රදේශයේ සභාවන් ඉක්මනින්ම පිරිසිදු කිරීමේ වැඩ සඳහා කණ්ඩායම් සංවිධානය කළා. ගුවාම් ශාඛාවෙන්, කඩා වැටුණු ගෙවල් අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය ගොඩනැඟිලි ද්‍රව්‍ය හා මිනිස් ශ්‍රමයද ලබා දුන්නා. මේ ව්‍යාපෘතිය සඳහා හවායි ශාඛාවෙන්ද සහාය ලැබුණා. සති කිහිපයකින් හවායි දූපතෙන් මෙම අලුත්වැඩියා වැඩවලට උදව් වීම සඳහා වඩුකාර්මිකයෝ කණ්ඩායමක් පැමිණියා. මේ සහෝදරයන්ට උදව් කිරීම සඳහා ගුවාම් රටේ සහෝදරයන් තමන්ගේ රැකියාවලින් නිවාඩු ලබාගත්තා. මේ සහෝදරයන් මෙලෙස එකට එකතු වී හවුලේ ප්‍රීතියෙන් වැඩ කිරීම මුළු සමාජයටම හොඳ සාක්ෂියක් වුණා.

මියන්මා රටේ මැන්ඩලේ නම් නගරයේ පිටිසර ගමක රාජ්‍ය ශාලාවකට නුදුරින් හදිසියේ ගින්නක් හටගත්තා. ඒ අසල අක්‍රියාශීලී වූ සහෝදරියක් හා ඇයගේ පවුල පදිංචි වෙලා හිටියා. ගින්න හටගත් අවස්ථාවේදී සුළඟ ඇයගේ නිවස පැත්තට හමමින් තිබූ නිසා මේ සහෝදරී උපකාර ඉල්ලා රාජ්‍ය ශාලාවට දුව ගියා. ඒ අවස්ථාවේදී රාජ්‍ය ශාලාවේ අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදු වෙමින් තිබුණු නිසා බොහෝ සහෝදරයෝ එහි සිටියා. ඔවුන් මේ සහෝදරියව දුටු විට පුදුම වුණා. ඇය එම ප්‍රදේශයේ පදිංචි වෙලා සිටි බව ඔවුන් දැනගෙන හිටියේ නැහැ. සහෝදරයන් එකතු වී ඉක්මනින්ම ඇයගේ නිවසේ තිබුණු බඩු බාහිරාදිය ආරක්ෂිත තැනකට ගෙන යෑමට උපකාර කළා. ඇයගේ ස්වාමිපුරුෂයා සාක්ෂිකරුවෙක් නොවෙයි. ගින්න ගැන ආරංචි වුණු වහාම ඔහු ගෙදර ආවා. ඔහු දැක්කා මේ සහෝදරයෝ තම පවුලේ අයට උපකාර කරනවා. ඔහුට ඔවුන් ගැන හොඳ පැහැදීමක් ඇති වූ අතර කළ උපකාර සඳහා ඔහු කෘතඥ වූවා. මෙවැනි අවස්ථාවලින් කොල්ලකරුවන් අයුතු ප්‍රයෝජන ගන්න නිසා එවැනි තත්වයකින් ආරක්ෂා වීමට ලැබීම ගැනද ඔහුට ලොකු සහනයක් දැනුණා. සහෝදරයන්ගේ මෙම කාරුණික ක්‍රියාව නිසා ක්‍රිස්තියානි සභාව සමඟ නැවත ආශ්‍රය කිරීමට එම සහෝදරිය හා ඇගේ පුත්‍රයා පෙලඹුණා. ඔවුන් දැන් සියලුම රැස්වීම්වලට යනවා.

පසුගිය සේවා වර්ෂය තුළදී මොසැම්බික් රටේ බොහෝදෙනෙක් නියඟය හේතුවෙන් සහ වගාවන් අසාර්ථක වීම හේතුවෙන් සාගතයක් අද්දැක්කා. අවශ්‍යතාව ඇති අයට ආහාර ලබා දීම සඳහා එම රටේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය කඩිනම් පියවර ගත්තා. මෙම ආහාර බෙදාහැරීම් රාජ්‍ය ශාලාවල සිදු වුණු අතර සමහර අවස්ථාවලදී මෙය රැස්වීමෙන් පසුව සිදු කෙරුණා. තනිමවක් වන සහෝදරියක් මෙසේ පැවසුවා. “මම රැස්වීමට ආවේ කනස්සල්ලෙන්. රැස්වීමෙන් පස්සේ ගෙදර ගිහින් මගේ දරුවන්ට මම මොනවද කන්න දෙන්නේ කියලා කල්පනා කර කර හිටියේ.” ප්‍රේමණීය සහෝදරයන් සැපයූ උපකාරයෙන් ඇය මහත් දිරිගැන්වීමක් ලැබුවා. “ඒක හරියට මම නැවත නැඟිට්ටා වගෙයි!” කියා ඇය පැවසුවා.

සාක්ෂිකරුවන් බයිබලයේ තිබෙන සැනසීම හා බලාපොරොත්තුව ගෙන දෙන පණිවිඩය අන් අය සමඟ බෙදාගැනීමෙන් ආත්මික ආකාරයකින්ද යම් ‘යහපත්කම් කරමින්’ සිටිනවා. පුරාණ කාලයේ සිටි ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් විශ්වාස කළ මේ දෙය මොවුනුත් විශ්වාස කරනවා. එනම්, “[දිව්‍යමය ප්‍රඥාවට] ඇහුම්කන් දෙන තැනැත්තේ සුව සේ වාසය කොට, විපතට භය නොවී, නිශ්චලව සිටින්නේය.”—හිතෝපදේශ 1:33.

[31වන පිටුවේ පින්තූර]

1, 2. මොසැම්බික් රටේ අවශ්‍යතා ඇති අයට ආහාර බෙදා දීම

3, 4. ගුවාම්හි ඇති වූ සුළිසුළඟින් නිවාස බොහොමයක් විනාශ වී ගියා

[හිමිකම් විස්තර]

වමේ සිටින දරුවා: Andrea Booher/FEMA News Photo; ඉහළ ඡායාරූපයේ කාන්තාව: AP Photo/Pacific Daily News, Masako Watanabe