Skip to content

පටුනට යන්න

ඇඳිරි සිරගෙවල්වල සිට සුන්දර ඇල්ප්ස් වටපිටාවට

ඇඳිරි සිරගෙවල්වල සිට සුන්දර ඇල්ප්ස් වටපිටාවට

ජීවිත කතාව

ඇඳිරි සිරගෙවල්වල සිට සුන්දර ඇල්ප්ස් වටපිටාවට

පැවසුවේ ලෝටා වාල්ටර්

නැඟෙනහිර ජර්මනියේ කොමියුනිස්ට් සිරගෙවල්වල ගත කරපු කාලාන්තරයක් මෙන් දැනුණු වසර තුනක සිරදඬුවම අවසන් කර, නිදහසේ අරුමය භුක්ති විඳීමට හා මගේ පවුලේ අය සමඟ නැවත ඇසුරු කිරීමට අවස්ථාව ලැබෙන තුරු මම පුල පුලා බලා සිටියා.

කෙසේවෙතත්, මාව දැක්ක ගමන් මගේ පුතා යොහානස්ගේ මුහුණේ දිස් වූ ඉරියව්වලින් මම පුදුමයට පත් වුණා. ඔහුට ඒ වෙද්දී අවුරුදු හයක් වූ අතර පහුගිය වසර තුන පුරාම ඔහු මාව දැකලා තිබුණේ නැති නිසා ඔහු මා දිහා බැලුවේ කොහෙන්ද ආපු අමුත්තෙක් දිහා බලනවා වගේ.

මගේ පුතාට මගේ ආශ්‍රය කලකට නොලැබුණත් මට මගේ දෙමාපියන්ගේ ප්‍රේමණීය ඇසුර භුක්ති විඳින්න අවස්ථාව ලැබුණා. වර්ෂ 1928දී ජර්මනියේ පිහිටි කෙම්නිට්ස් නමැති නගරයේ තමයි මම ඉපදුණේ. අපේ නිවසේ තිබුණේ උණුසුම් ප්‍රේමණීය වාතාවරණයක්. මගේ තාත්තාට ආගම් එපා වෙලයි තිබුණේ. ඔහු ඒ බව විවෘතව ප්‍රකාශ කළ කෙනෙක්. පළමුවන ලෝක යුද්ධයේදී සතුරු සේනාවල සිටි “ක්‍රිස්තියානි” හමුදා භටයෝ දෙසැම්බර් 25වන දා එකිනෙකාට “සුබ නත්තලක්” කියා සුබ පැතූ නමුත් ඊට පහුවදා නැවතත් එකිනෙකාව මරන්න පටන්ගත් ආකාරය ගැන ඔහු කීවා. කුහකකම කියන දේ හොඳින්ම නිදර්ශනය වුණේ ආගම තුළින් කියා ඔහු විශ්වාස කළා.

කලකිරීම ඇදහිල්ලට මඟ පාදයි

මට නම් තාත්තා වගේ කලකිරීමෙන් ඉන්න සිදු වුණේ නැහැ. දෙවන ලෝක යුද්ධය අවසන් වන විට මට වයස අවුරුදු 17යි. ඒ නිසා හමුදා සේවයට බලෙන් බඳවාගනු ලැබීමෙන් මම යන්තම් බේරුණා. ඒත්, ‘ඇයි මේ තරම් මිනී මැරුම්? මං කාවද විශ්වාස කරන්නේ? මම සැබෑ සුරක්ෂිතභාවය සොයාගන්නේ කොතැනින්ද?’ වැනි ප්‍රශ්න මගේ සිතට වද දුන්නා. අප සිටි නැඟෙනහිර ජර්මනිය, සෝවියට් දේශයේ පාලනය යටතට පත් වුණා. යුද්ධය නිසා හෙම්බත් වෙලා සිටි අයගේ සිත් සාධාරණකම, සමානාත්මතාව, සහයෝගිතාව සහ සාමකාමී මිත්‍රත්වය වැනි කොමියුනිස්ට් සංකල්පවලට ඇදී ගියා. හැබැයි මෙම අවංක පුද්ගලයන්ගෙන් බොහෝදෙනෙක් වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඉමහත් කලකිරීමකට පත් වුණා. ඒ ආගම නිසා නොව දේශපාලනය නිසයි.

මේ අතර, මම මගේ ප්‍රශ්නවලට අර්ථවත් පිළිතුරු සොයමින් සිටියදී යෙහෝවාගේ සාක්ෂිකාරියක වූ මගේ ලොකු අම්මා ඇගේ විශ්වාසයන් ගැන මාත් එක්ක කතා කළා. මගේ මුළු ජීවිතයටම පළමු වතාවට මතෙව් පොතේ 24වන පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම කියවීමට මාව පෙලඹවූ බයිබල් ප්‍රකාශනයක් ඇය මට දුන්නා. එම පොතේ තිබුණු සාධාරණ මෙන්ම ඒත්තුගන්වනසුලු විස්තර මගේ මනසට වැදුණා. අප ජීවත් වන කාලය “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” ලෙසට එහි හඳුන්වා තිබූ අතර, මිනිස් වර්ගයාගේ ගැටලුවලට මූලික හේතුවද එහි පෙන්වා තිබුණා.—මතෙව් 24:3, NW; එළිදරව් 12:9.

වැඩි කල් යන්නට මත්තෙන් මට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ තවත් ප්‍රකාශන ලැබුණා. මම මහත් උනන්දුවකින් ඒවා කියවන ගමන් මට වැටහුණා මම ඉතා ඕනෑකමින් සෙවූ සත්‍යය දැන් මට සම්බ වූ බව. වර්ෂ 1914දී යේසුස් ක්‍රිස්තුස් ස්වර්ගයේ සිංහාසනාරූඪ වූ බවත්, කීකරු මිනිස් වර්ගයාට ආශීර්වාද ලබා දීම සඳහා දෙවිට විරුද්ධව සිටින අයව ඉතා ළඟදීම ඔහු විසින් විනාශ කරනු ලබන බවත් දැනගැනීමට ලැබීම මට ලොකු සතුටක් ගෙන දුන්නා. මාව තවත් විස්මයට පත් කළේ මිදීමේ මිලය පිළිබඳ මම ලැබූ පැහැදිලි අවබෝධයයි. හෘදයාංගම යාච්ඤාවෙන් යෙහෝවා වෙතට හැරී සමාව ඉල්ලීමට එය මට උපකාර කළා. යාකොබ් 4:8හි තිබෙන කරුණාවන්ත ආරාධනය මට ගොඩාක් බලපෑවා. එහි කියන්නේ මෙයයි. “දෙවිට ළං වෙන්න. එවිට ඔහු ඔබට ළං වන්නේය.”

මගේ අලුත් විශ්වාසය ගැන මට ලොකු උද්‍යෝගයක් තිබුණත්, මුලදී මගේ දෙමාපියන් හා සහෝදරිය මම කී දේවල් පිළිගැනීමට අකමැති වුණා. කෙසේවෙතත් කුඩා සාක්ෂිකාර කණ්ඩායමක් මගින් කෙම්නිට්ස්වලට කිට්ටුවෙන් පවත්වනු ලැබූ ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමට තිබූ මගේ උද්‍යෝගය මෙනිසා හීන වුණේ නැහැ. මා ගිය පළවෙනි රැස්වීමට මගේ දෙමාපියන් හා මගේ සහෝදරියද මාත් එක්ක පැමිණීම ගැන මම පුදුම වුණා! ඒ 1945/46 අතර ශීත කාලයයි. පසුව හාටෝ නගරයේ අපි විසූ ප්‍රදේශයේ බයිබල් පාඩම් කණ්ඩායමක් ආරම්භ කළ විට මගේ පවුලේ අය නොකඩවා රැස්වීම්වලට යන්න පටන්ගත්තා.

“මම බාලයෙක්”

වැදගත් බයිබල් සත්‍යයන් ඉගෙනගැනීම හා යෙහෝවාගේ සෙනඟ සමඟ නිතිපතා ඇසුරු කිරීම නිසා මගේ ජීවිතය යෙහෝවාට කැප කිරීමට මම පෙලඹුණා. වර්ෂ 1946 මැයි 25වන දා මම බව්තීස්ම වුණා. මගේ පවුලේ සාමාජිකයනුත් ආත්මික ප්‍රගතියක් ලැබීම ගැන මම හද පත්ලෙන්ම සතුටු වුණා. කල් යත්ම ඒ තුන්දෙනාත් ඇදහිලිවන්ත සාක්ෂිකරුවන් වුණා. කෙම්නිට්ස්වල තිබෙන සභාවක ක්‍රියාශීලී සාමාජිකාවක් ලෙස මගේ අක්කා තවමත් කටයුතු කරමින් සිටිනවා. මගේ අම්මා 1965දීත්, මගේ තාත්තා 1986දීත් මිය ගියා. ඒ වන තුරු ඔවුන් දෙදෙනාම දෙවිට පක්ෂපාතව සේවය කළා.

මම බව්තීස්ම වෙලා මාස හයකින් විශේෂ පුරෝගාමියෙකු ලෙස සේවය කරන්න පටන්ගත්තා. “හිතකර කාලවලදීත් දුෂ්කර කාලවලදීත්” සේවය කිරීමේ ජීවිකාවක් එතැනින් ආරම්භ වුණා. (2 තිමෝති 4:2, NW) සේවය කිරීමට අලුත් අවස්ථාවන් මා ඉදිරියේ ඉක්මනින් විවෘත වෙන්න පටන්ගත්තා. නැඟෙනහිර ජර්මනියේ ඈත ප්‍රදේශයක සේවය කිරීමට පූර්ණ කාලීන එවැන්ජලිස්තවරුන් අවශ්‍ය වෙලා තිබුණා. තවත් සහෝදරයෙක් සමඟ මම මේ පැවරුම සඳහා ඉදිරිපත් වුණා. එහෙත් එම බැරෑරුම් වගකීම බාරගැනීම සඳහා මට අද්දැකීම්වත් මේරූකමවත් තිබුණේ නැහැ කියා මට හිතුණා. එතකොට මට වයස අවුරුදු 18යි. එනිසා යෙරෙමියාට හැඟුණාක් මෙන් මටත් හැඟුණා. “අනේ, . . . යෙහෝවා, මම කතා කරන්ට නොදනිමි. මක්නිසාද මම බාලයෙක්.” (යෙරෙමියා 1:6) මට එවැනි අවිනිශ්චිතභාවයක් තිබුණත් මේ පැවරුම අත්හදා බැලීමට අවස්ථාවක් අපට ලබා දීමට වගකීම් දරන සහෝදරයන් කාරුණිකව තීරණය කළා. ඉතින් අපට බ්‍රැන්ඩන්බර්ග් ප්‍රාන්තයේ බෙල්ට්සික් නමැති කුඩා නගරයක සේවය කිරීමේ පැවරුම ලැබුණා.

ඒ ප්‍රදේශයේ දේශනා කිරීම හරිම අසීරු දෙයක් වූ නමුත් මට ඒ පුහුණුව ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. ටික කලක් ගෙවුණු පසු, ප්‍රසිද්ධ ව්‍යාපාර හිමිකාරියන් කිහිපදෙනෙක්ම රාජ්‍ය පණිවුඩය පිළිගෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන් වුණා. කෙසේවෙතත් ඔවුන් නමස්කාරය සම්බන්ධයෙන් ගත් ස්ථාවරය එම කුඩා ග්‍රාමීය සමාජය ඉහළින් සැලකූ සම්ප්‍රදායන් හා මිථ්‍යා විශ්වාසයන්ට පටහැනි වුණා. කතෝලික හා රෙපරමාදු පූජකයෝ අපට දැඩි විරුද්ධත්වයක් දැක්වූ අතර, දේශනා සේවය නිසා අපට අපහාසාත්මක ලෙසින් චෝදනා කළා. නමුත් අපි මඟ පෙන්වීම හා ආරක්ෂාව සඳහා යෙහෝවා මත රඳා සිටි නිසා අපට හැකි වුණා උනන්දුව දක්වන කිහිපදෙනෙකුට සත්‍යය වැලඳගැනීමට උපකාර කරන්න.

නුරුස්සන ස්වභාවයක් වර්ධනය වෙයි

ආශීර්වාද මෙන්ම අනපේක්ෂිත දුෂ්කරතා ගෙනා වසරකි 1948. ප්‍රථමයෙන් මට පැවරුමක් ලැබුණා තුරිංඤා පළාතේ රූඩල්ෂ්ටාට් නගරයේ පුරෝගාමි සේවය කිරීමට. එහිදී බොහෝ ඇදහිලිවන්ත සහෝදර සහෝදරියන් දැන හඳුනා ගැනීමට මට අවස්ථාවක් ලැබුණු අතර ඔවුන් එක්ක ඇසුරු කිරීමෙන් මම ලොකු සතුටක් අද්දැක්කා. එම වසරේම ජූලි මාසයේදී දිගු කාලීන ආශීර්වාදයකුත් මට ලැබුණා. ඒ තමයි ඇදහිලිවන්ත සහ ක්‍රියාශීලී යෞවන ක්‍රිස්තියානි කාන්තාවක් වූ එරීකා උල්මාන් සමඟ මම විවාහ වීම. මම කෙම්නිට්ස් සභාවේ රැස්වීම්වලට යන්න පටන්ගත් කාලයේ ඉඳන් ඇයව දැනගෙන සිටියා. මගේ ගම වූ හාටෝහි පුරෝගාමීන් ලෙස සේවය කිරීමට අපි දෙදෙනා පටන්ගත්තා. කෙසේවෙතත් සෞඛ්‍ය ගැටලු හා වෙනත් හේතූන් මත දිගටම පූර්ණ කාලීන සේවයේ නිරත වීමට එරීකාට නොහැකි වුණා.

ඒ කාලයේදී යෙහෝවාගේ සෙනඟට දුෂ්කරතා රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. දේශනා කිරීමේ වැඩය අත්හැර දමා පූර්ණ කාලීන රැකියාවක් කිරීමට මාව බලෙන් පෙලඹවීම සඳහා කෙම්නිට්ස්වල පිහිටි කම්කරු දෙපාර්තමේන්තුව මගේ ආහාර සලාක පත්‍රය අවලංගු කළා. මේ සිද්ධිය හේතුවක් කරගනිමින් අපට නීතිමය වශයෙන් පිළිගැනීමක් ලබාගැනීමට වගකීම් දරන සහෝදරයන් උත්සාහ කළා. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර 1950 ජූනි 23වන දා මට දඩයක් ගෙවීමට හෝ දින 30කට සිරඅඩස්සියේ සිටීමට සිදු වන බව ප්‍රකාශ කරමින් තීන්දුවක් ලැබුණා. එම තීරණය නැවත සලකා බැලීමට මහාධිකරණයට අපි අභියාචනා කළ නමුත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර මාව සිරඅඩස්සියට ගැනීමට නියෝග කළා.

ක්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබූ විරෝධතා රැල්ල හා විපත්ති කාලය සම්බන්ධයෙන් එය ඉඟියක් පමණයි. මාසයක්වත් ගත වෙන්නට කලින්, 1950 සැප්තැම්බර් මාසයේදී, අපව අපකීර්තියට පත් කිරීම සඳහා ජනමාධ්‍යය හරහා ව්‍යාපාරයක් දියත් කිරීමෙන් පසුව, කොමියුනිස්ට් රජය අපගේ වැඩකටයුතු තහනම් කළා. අපගේ සංඛ්‍යාවල ශීඝ්‍ර වර්ධනය නිසාත් අපගේ මධ්‍යස්ථ ස්ථාවරය නිසාත්, ආගමේ මුවාවෙන් “සැක සහිත කටයුතුවල” නියැලෙමින් බටහිර ලෝකයට ඔත්තු සපයන භයානක ආයතනයක් ලෙස අපව ඔවුන් හැඳින්නුවා. තහංචිය පැනවූ දාම මගේ බිරිඳට නිවසේදී අපගේ පුතා ජොහැනස් ලැබුණා. එවිට මම හිටියේ සිරඅඩස්සියේ. වින්නඹුවගේ අකමැත්ත තිබියදීත් රජයේ ආරක්ෂක නිලධාරීන් අපගේ නිවස තුළට බලෙන් ඇතුල් වී, ඔවුන්ගේ චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි සෙව්වා. හැබැයි එහෙම කිසිවක් ඔවුන්ට සම්බ වුණේ නැහැ. කෙසේවෙතත් පසුව ඔවුන්ට හැකි වුණා ඔවුන්ගේ ඔත්තු සොයන කෙනෙක්ව අපගේ සභාව සමඟ ආශ්‍රය කරන්න සලස්වන්න. වර්ෂ 1953 ඔක්තෝබර් මාසයේ මාත් සමඟ වග කිව යුතු සහෝදරයන් සියලුදෙනාම අත්අඩංගුවට ගනු ලැබීමට මෙය මඟ පෑදුවා.

අඳුරු සිරගෙවල්වල සිටියදී

අප වරදකරුවන් ලෙස හඳුන්වනු ලැබ අවුරුදු තුනත් හයත් අතර සිරදඬුවම් නියම කිරීමෙන් පසුව, ට්ස්ෆිකෞහි ඕස්ටෙෂ්ටයින් මාලිගාවේ තිබෙන සෙවල පිරුණු පිළිකුල්සහගත ඇඳිරි ගෙවල්වල සිටි තවත් සහෝදරයන් සමඟ අපවත් සිරගත කළා. එහි ඉතාම දරුණු තත්වයන් යටතේ ජීවත් වෙන්න සිදු වුණත් මේරූ සහෝදරයන් සමඟ ආශ්‍රය කිරීමට ලැබීම ඇත්තෙන්ම ප්‍රසන්න දෙයක් වුණා. අපගේ නිදහස නැති වුණත් ආත්මික ආහාරවල නම් අඩුවක් තිබුණේ නැහැ. ආණ්ඩුවේ පිළිකුලට ලක් වී තහනම් කර තිබුණත් සිරගෙදරටත් අපගේ කුටිවලටත් කොහොමහරි මුරටැඹ සඟරාව රහසින් ලැබුණා! ඒ කෙසේද?

සමහර සහෝදරයන්ව ගල් අඟුරු පතල්වල වැඩ කිරීමට නියම කරලා තිබුණා. එහිදී ඔවුන්ට පිටින් හිටපු සාක්ෂිකරුන්ව හමුවීමට ඉඩ කඩ තිබූ අතර ඔවුන්ගෙන් සඟරා ලබාගැනීමට හැකි වුණා. ඒ සඟරා රහසිගතව සිරගෙදරට ගෙනාපු සහෝදරයෝ, ඉතාම දක්ෂ ආකාරයකින් ඒ අත්‍යවශ්‍ය ආත්මික ආහාර අපට ලැබෙන්න සැලැස්සුවා. මේ ආකාරයෙන් යෙහෝවාගේ සැලකිල්ල හා මඟ පෙන්වීම අද්දැකීමට ලැබීම ගැන මම හුඟාක් සන්තෝෂ වුණා! ඒක මට දිරිගැන්වීමක්!

වර්ෂ 1954 අවසාන භාගයේදී වගේ ටෝගූ නගරයේ පිහිටි දරුණු සිරගෙදරකට අපව මාරු කළා. එහි සිටි සාක්ෂිකරුවන් අපව සතුටින් පිළිගත්තා. ඒ වන තුරුත් ඔවුන් ආත්මිකව ශක්තිමත්ව සිටියේ තමන් කලින් මුරටැඹ සඟරාවල කියවූ දේවල් මතක් කරගැනීමෙනුයි. ඔවුන් මොන තරම් ආශාවෙන් සිටියාද අලුත් ආත්මික ආහාර ලබන්න! ට්ස්ෆිකෞහි සිටි විට අප ඉගෙනගත් කරුණු ඔවුන් සමඟ බෙදාගත යුතුයි කියා අපට හැඟුණා. නමුත් දිනපතා ඇවිදින්න යන අතරතුරේදී එකිනෙකා සමඟ කතා කිරීමට එරෙහිව දැඩි නීතියක් පනවා තිබියදී අපි ඒක කරන්නේ කොහොමද? ඒක කරන ආකාරය සම්බන්ධයෙන් සහෝදරයන් අපට වටිනා යෝජනා දීලා තිබුණා. ඒ විතරක් නෙවෙයි යෙහෝවාගේ මහත් ආරක්ෂාකාරී හස්තය අපට මඟ පෙන්නුවා. මේ අද්දැකීමෙන් අප ඉගෙනගත් පාඩම තමයි, අපට නිදහස හා අවස්ථාව තිබෙන විටදී උද්‍යෝගයෙන් බයිබලය අධ්‍යයනය කිරීම හා මෙනෙහි කිරීම වැදගත් බව.

වැදගත් තීරණ ගැනීමට කාලය

යෙහෝවාගේ උපකාරය නිසා අපගේ ඇදහිල්ල චංචල වුණේ නැහැ. අපව මහත් පුදුමයට පත් කළ දෙයක් තමයි, 1956 අවුරුද්දේ අවසානයේදී අපගෙන් බොහෝදෙනෙකුට රාජ්‍ය සමාව ලැබීම. සිරගෙයි ගේට්ටු විවෘත කළාම අපට දැනුණු සන්තෝෂය වචනවලින් විස්තර කරන්න බැරි තරම්! ඒ වන විට මගේ පුතාට වයස අවුරුදු හයයි. මගේ භාර්යාව සමඟ නැවත එකතු වෙන්න ලැබීම ගැනත් අපගේ දරුවාව ඇති දැඩි කිරීමේදී ඇය සමඟ හවුල් වීමට ලැබීම ගැනත් මම ඉමහත් සේ ප්‍රීති වුණා. ටික කලකට ජොහැනස් මාව සැලකුවේ අමුත්තෙකු ලෙසටයි. නමුත් ඉක්මනින් අප දෙදෙනා අතර උණුසුම් බැඳීමක් ඇති වුණා.

නැඟෙනහිර ජර්මනියේ විසූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටියා. අපගේ ක්‍රිස්තියානි දේවසේවය සහ අපගේ මධ්‍යස්ථ ස්ථාවරයට එරෙහිව වර්ධනය වෙමින් තිබුණු වෛරය නිසා අපට දිගින් දිගටම එල්ල වූ තර්ජන යටතේ ජීවත් වෙන්න සිදු වුණා. ඒ කියන්නේ අනතුරුදායක, කලබලකාරී මෙන්ම ඉතා වෙහෙස කරවන ජීවිතයක් ගත කිරීමට අපට සිදු වුණා. මේ නිසා එරීකාටත් මටත් අවශ්‍ය වුණා අපගේ තත්වය ගැන ඉතාම පරෙස්සමින් සහ යාච්ඤාපූර්වකව සලකා බැලීමට. එසේ කිරීමෙන් පසුව අපට හැඟුණා අපව පීඩනයෙන් සම්පූර්ණයෙන් යටපත් වීමෙන් වළක්වාගැනීමට නම් වඩාත් යහපත් වාතාවරණයක් තිබෙන ප්‍රදේශයකට අප යා යුතු බව. අපට අවශ්‍ය වෙලා තිබුණේ යෙහෝවාට නිදහසේ සේවය කරන්නයි. ඒ වගේම ආත්මික ඉලක්ක ලුහුබඳින්නයි.

වර්ෂ 1957 වසන්ත කාලයේදී බටහිර ජර්මනියේ ස්ටුට්ගාට්වල පදිංචි වීමට අපට අවස්ථාවක් ලැබුණා. එහි දේශනා සේවය තහනම් කර තිබුණේ නැති අතර අපගේ සහෝදරයන් සමඟ නිදහසේ ආශ්‍රය කිරීමට ඉඩ කඩ තිබුණා. ඔවුන් අපට ඉතා ප්‍රේමණීය ලෙස සහයෝගය ලබා දුන්නා. වසර හතකට අපි හේඩල්ෆිංගන්වල පිහිටි සභාව සමඟ ඇසුරු කළා. අපේ පුතා එයාගේ පාසැල් ජීවිතය පටන්ගත්තෙත් ආත්මික ප්‍රගතියක් ලැබුවෙත් ඒ කාලයේදියි. වීස්බාඩන්හි පැවති රාජ්‍ය සේවා පාසැලට සහභාගි වීමේ ප්‍රීතිමත් වරප්‍රසාදය මට 1962 සැප්තැම්බර් මාසයේදී ලැබුණා. ජර්මානු භාෂාවෙන් බයිබලයේ තිබෙන දේවල් කියා දිය හැකි අයව අවශ්‍ය වී තිබූ ප්‍රදේශයකට මගේ පවුලත් සමඟ යන්න එහිදී මට දිරිගැන්වීම් ලැබුණා. මීට ඇතුළත් වුණා ජර්මනියේ හා ස්විට්සර්ලන්තයේ සමහර ප්‍රදේශ.

ඇල්ප්ස් කඳුකරය වෙතට

ඉතින් 1963දී අපි ස්විට්සර්ලන්තයේ පදිංචියට ගියා. එහි ඇල්ප්ස් කඳුකරයේ මධ්‍යම ප්‍රදේශයේ, ලස්සන ලුසර්න් විල පිහිටි නගරයක් වන බෘනන්වල තිබූ පුංචි සභාවක සේවය කිරීමට අපට උපදෙස් ලැබුණා. අපට නම් මේක පාරාදීසයකට සමාන වුණා. ඒ ප්‍රදේශයේ කතා කරන විදිහට ජර්මන් භාෂාව කතා කරන්නත් ග්‍රාමීය ජන ජීවිතයට හා ඔවුන්ගේ ස්වභාවයට හුරු වෙන්නත් අපට සිදු වුණා. ඒ වුණත් සාමයට ප්‍රිය කරන ජනයා අතර වැඩ කිරීම මෙන්ම දේශනා කිරීම අපිට ප්‍රීතිමත් අද්දැකීමක් වුණා. අපි බෘනන්වල වසර 14ක් සිටියා. අපේ පුතා හැදුණේ වැඩුණේ එහිදී.

වර්ෂ 1977දී, මට වයස අවුරුදු 50ට කිට්ටු වෙද්දී තුන්හි පිහිටි ස්විට්සර්ලන්ත බෙතෙල් නිවසේ සේවය කිරීමට අපට ආරාධනා කළා. ඒක අනපේක්ෂිත වරප්‍රසාදයක් ලෙස සැලකූ අප මහඟු අගය කිරීමකින් යුතුව එම ආරාධනාව පිළිගත්තා. මගේ බිරිඳයි මායි බෙතෙල් සේවයේ මිඩංගු කළ වසර නවය අපගේ මතකයේ රැඳී තිබෙන්නේ, අපගේ ක්‍රිස්තියානි ජීවිතයේ සහ පෞද්ගලික ආත්මික ප්‍රගතියේ විශේෂ සන්ධිස්ථානයක් ලෙසටයි. ඒ අවට සිටි ප්‍රචාරකයන් සමඟ තුන්වල සහ ළඟපාත ප්‍රදේශවල දේශනා කිරීමේ හවුල් වීමෙන්ද අපි සතුටක් ලැබුවා. එසේ සේවය කරද්දී යෙහෝවාගේ ‘ආශ්චර්ය ක්‍රියාවක්’ වන හිමෙන් වැසී ගිය බර්නීස් ඇල්ප්ස් කඳුවැටියේ තේජවත් කඳුවල දර්ශනය නිතරම අපේ නෙත් සිත් පිනෙව්වා.—ගීතාවලිය 9:1.

නැවතත් පදිංචිය වෙනස් කිරීම

ඊළඟට අපේ පදිංචියේ වෙනසක් ඇති වුණේ 1986 මුල් කාලයේදීයි. ස්විට්සර්ලන්තයේ නැඟෙනහිර ප්‍රදේශයේ පිහිටි බූක්ස් සභාවට පවරන ලද විශාල බලප්‍රදේශයේ විශේෂ පුරෝගාමීන් ලෙස සේවය කිරීමට අපි පැවරුම් ලැබුවා. නැවතත් වෙන ආකාරයක ජීවිතයකට හැඩගැහෙන්න අපිට සිද්ධ වුණා. කෙසේවෙතත් අපගේ ආශාව වුණේ යෙහෝවාට අපගෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි ඕනෑම තැනක සේවය කිරීමටයි. එම ආශාවෙන් පෙලඹී ඔහුගේ ආශීර්වාදය ඇතුව අපි මෙම අලුත් අභියෝගයට මුහුණ දුන්නා. ඇතැම් අවස්ථාවලදී මම ආදේශ චාරිකා අවේක්ෂකයෙක් ලෙස කටයුතු කරමින් සභාවන් බැහැදැක ඒවා ශක්තිමත් කර තිබෙනවා. දැන් වසර දහඅටක් ගත වී තිබෙන අතර මෙම ප්‍රදේශයේ දේශනා කිරීමෙන් අප ලද සන්තෝෂවත් අද්දැකීම් රැසක් තිබෙනවා. බූක්ස්වල දැන් ලොකු සභාවක් තිබෙන අතර, වසර පහකට පෙර කැප කළ ලස්සන රාජ්‍ය ශාලාවක රැස්වීමට ලැබීම ප්‍රීතියක්.

යෙහෝවා අපට ඉතාම ත්‍යාගශීලී ආකාරයකින් සැලකිල්ලක් දක්වා තිබෙනවා. අපගේ ජීවිතවල වැඩි කාලයක් අපි පූර්ණ කාලීන සේවයේ ගත කර තිබෙන නමුත් අපිට කිසි අඩුවක් තිබිලා නැහැ. අපේ පුතා, ඔහුගේ භාර්යාව, ඔවුන්ගේ දරුවන් මෙන්ම ඒ දරුවන්ගේ පවුල්ද යෙහෝවාගේ මාර්ගයේ ඇදහිල්ලෙන් ගමන් කරනවා දැකීමේ ප්‍රීතිය හා තෘප්තිය අප ලබා තිබෙනවා.

ඇත්තවශයෙන්ම “හිතකර කාලවලදීත් දුෂ්කර කාලවලදීත්” අප යෙහෝවාට සේවය කර තිබෙන බව ආපසු හැරී බලද්දී මට හැඟෙනවා. ක්‍රිස්තියානි දේවසේවය හේතුවෙන් මම කොමියුනිස්ට් අඳුරු සිරගෙවල්වල සිට ස්විට්සර්ලන්තයේ සුන්දර ඇල්ප්ස් කඳුකරය දක්වා ගොස් තිබෙනවා. එසේ කිරීමේදී ගත වූ එක මොහොතක් ගැනවත් මගේ පවුලේ අයවත් මමවත් කනගාටු වෙන්නේ නම් නැහැ.

[28වන පිටුවේ කොටුව]

“දෙවරක් දඬුවම් ලද්දෝ” පීඩා යටතේ ස්ථිරව

නැඟෙනහිර ජර්මනිය යනුවෙන්ද හඳුන්වනු ලැබූ ජර්මානු ප්‍රජාතන්ත්‍ර සමූහාණ්ඩුව (GDR) මගින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව දරුණු ලෙස මර්දනය කිරීමට විශේෂයෙන් ඉලක්ක කරනු ලැබුවා. ඔවුන්ගේ ක්‍රිස්තියානි දේවසේවය සහ මධ්‍යස්ථභාවය නිසා සාක්ෂිකරුවන් 5,000කට අධික පිරිසක් බලෙන් ශ්‍රමය ලබාගැනීමේ කඳවුරුවලට සහ රඳවාගැනීමේ මධ්‍යස්ථානවලට යවනු ලැබූ බව වාර්තාවලින් පෙන්වයි.—යෙසායා 2:4.

මොවුන්ගෙන් ඇතමෙක් “දෙවරක් දඬුවම් ලද්දෝ” ලෙස හඳුන්වා තිබෙනවා. මේ අතරින් 325කට ආසන්න පිරිසක් නාට්සි ගාල් කඳවුරුවල සහ සිරගෙවල්වල සිරගත කරනු ලැබුවා. පසුව 1950 ගණන්වලදී GDR රජයේ ආරක්ෂක සේවය වන ෂ්ටාසි මගින් ඔවුන්ව සොයා නැවත සිරගත කරනු ලැබුවා. සමහර සිරගෙවල්ද මුලින් නාට්සි සිරගෙවල් ලෙසටත් පසුව ෂ්ටාසි සිරගෙවල් ලෙසටත් දෙවතාවක් භාවිතයට ගනු ලැබුවා.

දරුණු පීඩා පැවති මුල් දශකය තුළ, එනම් 1950 සිට 1961 දක්වා කාලය තුළ පුරුෂයන් හා ස්ත්‍රීන් ඇතුළු සාක්ෂිකරුවන් 60දෙනෙක්, කුරිරුකම, මන්දපෝෂණය, රෝග සහ මහලු විය නිසා සිරගෙවල්වලදීම මිය ගියා. සාක්ෂිකරුවන් දොළොස්දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබුණා. පසුව එය වසර 15 දක්වා අඩු කළා.

දැන් බර්ලින්වල තිබෙන පරණ ෂ්ටාසි මූලස්ථානයේ, නැඟෙනහිර ජර්මනියේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් වසර 40ක් පුරා පීඩා වින්ද ආකාරය ගැන තොරතුරු ප්‍රදර්ශනය කර තිබෙනවා. එම ප්‍රදර්ශනයේ දක්නට ලැබෙන ඡායාරූප සහ පෞද්ගලික අද්දැකීම් ආදිය, ගිනිමය පීඩා යටතේ ඇදහිල්ලේ ස්ථිරව සිටි මෙම සාක්ෂිකරුවන්ගේ නිර්භීතකමට සහ ආත්මික ශක්තියට නිහඬ සාක්ෂියක් වෙයි.

[24, 25වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

නැඟෙනහිර ජර්මනිය

රූඩල්ෂ්ටාට්

බෙල්ට්සික්

ටෝගූ

කෙම්නිට්ස්

ට්ස්ෆිකෞ

[25වන පිටුවේ පින්තූරය]

ට්ස්ෆිකෞහි පිහිටි ඕස්ටෙෂ්ටයින් මාලිගාව

[හිමිකම් විස්තර]

Fotosammlung des Stadtarchiv Zwickau, Deutschland

[26වන පිටුවේ පින්තූරය]

මගේ බිරිඳ එරීකා සමඟ