Skip to content

පටුනට යන්න

“ඇවිත් අපට උපකාර කරන්න”

“ඇවිත් අපට උපකාර කරන්න”

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

“ඇවිත් අපට උපකාර කරන්න”

වර්ෂ 2000 ජූලි මාසයේදී ඔස්ට්‍රියාවේ, ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ වෙසෙන ජර්මන් භාෂාව කතා කරන සාක්ෂිකරුවන්ට බොලිවියාවට යෑමට ආරාධනා කරනු ලැබුවා. ඒ කුමක් සඳහාද? බොලිවියාවේ සාන්තා කෲස් නගරයේ කිලෝමීටර් 300ක පමණ ප්‍රදේශයක් සිසාරා පුංචි පුංචි හුදෙකලා ගොවි ජනපදවල ජීවත් වන ජර්මන් භාෂාව කතා කරන රෙපරමාදු කණ්ඩායමක් වන මෙනනිවරු බයිබලයේ ඉගැන්වීම් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වමින් සිටි නිසයි.

මෙම ඇරයුමට සාක්ෂිකරුවන් 140දෙනෙක් පමණ හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. සමහර අය සති කිහිපයකට පමණක් එහි සේවය කරන්න ගිය අතර තවත් සමහරු අවුරුද්දක් හෝ ඊට වඩා වැඩි කාලයක් එහි සේවය කරන්න ඉදිරිපත් වුණා. එවැනි පියවරක් ගැනීමෙන් “මැසිඩෝනියාවට ඇවිත් අපට උපකාර කරන්න” කියා කළ ඇරයුමට පළමුවෙනි ශතවර්ෂයේ මිෂනාරිවරුන් දැක්වූ උනන්දුව හා සමාන උනන්දුවක් ඔවුන්ද විදහාපෙන්නුවා.—ක්‍රියා 16:9, 10, NW.

ඒ ප්‍රදේශයේ සේවය කිරීම මොන වගේ අද්දැකීමක්ද? එම සභාවේ වැඩිමහල්ලෙක් ඒ ගැන කිව්වේ මෙහෙමයි: “මෙනනිවරු ජීවත් වන පුංචි පුංචි ජනපද 43න් ඕනෑම එකකට යන්න නම්, එහි තිබෙන රළු පාරවල් ඔස්සේ රෝද හතරෙන්ම ජවය (4WD) ලබාගෙන පදවන වාහනයක වුවත් පැය අටක් තරම් කාලයක් ගත වෙනවා. එතනිනුත් එහාට ජීවත් වන අය බලන්න යන්න බොහෝ අවස්ථාවලදී දවස් හතරක් විතර ගත වෙන අතර සමහර දවස්වලදී කූඩාරම්වල රෑ ගත කිරීමට සිදු වෙනවා. ඒ වුණත් ඒ සෑම උත්සාහයක්ම වටිනවා. මෙහෙ ඉන්න මිනිසුන්ගෙන් වැඩි හරියක් මීට කලින් කවදාවත් ශුභාරංචිය අහලා නැහැ.”

මුලදී මෙනනිවරු සාක්ෂිකරුවන්ගේ පැමිණීම අගය කළේ නැහැ. ඒත්, නැවත නැවත ඔවුන්ව බැහැදැකීමට යෑමෙන් සාක්ෂිකරුවන් ඔවුන්ට ලබා දීමට උත්සාහ කරන දේ පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලැබුණ පසු සාක්ෂිකරුවන්ව අගය කරන්න පටන්ගත්තා. උදාහරණයකට එක් ගොවි මහතෙක් පැවසුවා ඔහු අවුරුද්දක් තිස්සේ පිබිදෙව්! සඟරාව කියවලා තියෙනවා කියලා. ඊට පස්සේ ඔහු කිව්වා: “මම දන්නවා මෙහේ ඉන්න ගොඩක් අය ඔයාලා කියන දේවල් එක්ක එකඟ වෙන්නේ නැති විත්තිය. ඒත් මම විශ්වාස කරනවා මේක සත්‍යයයි කියලා.” තවත් ජනපදයක කෙනෙක් මෙහෙම පැවසුවා. “මගේ සමහර අසල්වාසීන් කියනවා ඔයගොල්ලන් බොරු අනාගතවක්තෘවරුන් කියලා. තවත් සමහරු කියනවා ඔයගොල්ලන් ගාව සත්‍යය තියෙනවා කියලා. මේකේ ඇත්ත නැත්ත මමම හොයලා දැනගන්න ඕනේ.”

දැන් බොලිවියාවේ ජර්මානු භාෂාව කතා කරන සභාවක් තියෙනවා. එහි පූර්ණ කාලීන සේවකයන් 14දෙනෙක් ඇතුළුව ප්‍රචාරකයන් 35දෙනෙක් ඉන්නවා. අද වන විට කලින් මෙනනිවරුන්ව සිටි 14දෙනෙක් රාජ්‍ය ප්‍රචාරකයන් වී සිටින අතර තවත් 9දෙනෙක් නොකඩවා රැස්වීම්වලට පැමිණෙමින් සිටිනවා. මෑතකදී බව්තීස්ම වූ වයසක කෙනෙක් කිව්වේ මෙහෙමයි. “අපිට යෙහෝවාගේ මඟ පෙන්වීම පැහැදිලිවම දැකගන්න පුළුවන්. ඔහු අද්දැකීම් ලත් ජර්මන් භාෂාව කතා කරන්න පුළුවන් සහෝදර සහෝදරියන්ව එවලා තියෙනවා අපට උපකාර කරන්න. අපි ඒක ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.” බව්තීස්ම වී සිටින අවුරුදු 17ක් වයසැති ඔහුගේ දුව මෙහෙම කිව්වා. “මෙහේ ඇවිත් ඉන්න තරුණ සහෝදර සහෝදරියන්ගේ උද්‍යෝගය අපිටත් බෝ වෙනවා. වැඩිදෙනෙක් පුරෝගාමීන්. ඒ අයගේ කාලය සහ සල්ලි වැය කරන්නේ අනිත් අයට උදව් කරන්නයි. ඒ නිසා මටත් ඕනේ ඒ දේම කරන්න.”

අන් අයට උපකාර කිරීම සඳහා ‘පැමිණීමට’ වෑයමක් දැරූ අය ඇත්තවශයෙන්ම මහත් ප්‍රීතියක් හා තෘප්තියක් අද්දකිනවා.