Skip to content

පටුනට යන්න

ඔබ තෝරාගත යුත්තේ කොයි ආගමද?

ඔබ තෝරාගත යුත්තේ කොයි ආගමද?

ඔබ තෝරාගත යුත්තේ කොයි ආගමද?

‘ඉන්නේ එක දෙවි කෙනෙක් විතරයිනේ. ඒ නිසා විවිධ ආගම් තිබුණත් ඒ හැම එකක්ම එකම ඉලක්කයකට මඟ පෙන්වන විවිධ මාර්ග විතරයි.’ ආගමික සංවිධානයක සාමාජිකත්වය වැදගත් වුණත් කෙනෙකු අදහන ආගම එතරම් වැදගත් නොවෙයි යන ආකල්පය ඇති බොහෝදෙනෙකු දරන්නේ එම මතයයි.

ඇත්තයි, සිටින්නේ සර්වබලධාරී එක දෙවි කෙනෙක් නිසා බැලූ බැල්මට එම තර්කය සාධාරණ දෙයක් ලෙසයි පෙනෙන්නේ. (යෙසායා 44:6; යොහන් 17:3; 1 කොරින්ති 8:5, 6) කෙසේවුවත්, සැබෑ දෙවිට සේවය කරන බව කියා සිටින ආගමික කණ්ඩායම් අතර පැහැදිලිව දැකගත හැකි වෙනස්කම් හා පරස්පර විරෝධී අදහස් හමුවේ අපට ඇස් කන් පියාගෙන සිටිය නොහැක. එම ආගම්වල වත්පිළිවෙත්, විශ්වාසයන්, ඉගැන්වීම් සහ අපේක්ෂා කරන දේවල්වල පුළුල් වෙනස්කම් තිබේ. කොතරම් වෙනස්කම් තිබෙනවාද යත් එක් ආගමක හෝ කණ්ඩායමක සිටින පුද්ගලයන්ට අනෙක් පුද්ගලයන්ගේ ඉගැන්වීම් හෝ විශ්වාසයන් තේරුම්ගැනීම හෝ පිළිගැනීම දුෂ්කර කාර්යයකි.

යේසුස් පැවසුවේ, “දෙවි ආත්මයක්ය. ඔහුට නමස්කාර කරන්නන් ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද නමස්කාර කළ යුතුය” කියායි. (යොහන් 4:24, NW) දෙවිට සත්‍යතාවෙන් නමස්කාරය පිරිනමන විට, දෙවි කවුද? ඔහුගේ අරමුණ කුමක්ද? ඔහු කැමති කොයි ආකාරයේ නමස්කාරයකටද? එවැනි කාරණා පිළිබඳව එකිනෙකට පටහැනි අදහස් බොහොමයක් තිබිය හැකිද? සර්වබලධාරි දෙවිට අප නමස්කාරය පිරිනමන ආකාරය වැදගත් කාරණයක් නෙමෙයි කියා විශ්වාස කිරීම තර්කානුකූලද?

සැබෑ ක්‍රිස්තියානීන් එදා සහ අද

පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන් අතර යම් අවස්ථාවල කාරණා සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් අදහස් තිබිණි. පාවුල් කොරින්තියේ සිටි අයට කිවූ දේ උදාහරණයක් ලෙස සලකා බලන්න. “ඔබ අතරේ අඬ දබර තිබෙන බවට ක්ලෝයිගේ ගෙයි වැසියන් විසින් මට දන්වන ලදි. මා කියන්න අදහස් කරන්නේ මෙයයි. ඔබ එකිනෙකා, ‘මා පාවුල්ගේය,’ ‘නමුත් මා අපොලොස්ගේය,’ ‘නමුත් මා සීෆස්ගේය,’ ‘නමුත් මා ක්‍රිස්තුස්ගේය’ කියා කියන්නේය.”—1 කොරින්ති 1:11, 12, NW.

මෙම මතභේදයන් පාවුල් එතරම් ගණනකට ගත්තේ නැද්ද? ගැලවීම සඳහා එක් එක්කෙනා තම තමාට කැමති ක්‍රම අනුගමනය කළාද? ඇත්තෙන්ම නැත! පාවුල් දුන්නේ මෙවන් අවවාදයකි. “සහෝදරයෙනි, ඔබ සැමෝම එකඟතාවෙන් යුතුව කතා කරමින් ඔබ අතරේ භේද නැතිව සිටින ලෙසද, එකම මනසින් හා එකම ආකාරයට සිතීමෙන් නිසි ලෙස එක්සත් වන ලෙසද, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් මම දැන් ඔබට උනන්දු කරමි.”—1 කොරින්ති 1:10, NW.

එහෙත් එකම විශ්වාසයක් පිළිගැනීමට හැමෝටම බල කළ නොහැකි බව පිළිගත යුත්තකි. එය ඉටු කළ හැක්කේ එක් එක් පුද්ගලයන් කාරණා කල්පනාකාරීව පර්යේෂණය කර එක නිගමනයකට පැමිණීමත් පිළිගැනීමත් මතයි. පාවුල් පෙන්වූ ආකාරයේ එක්සත්කමක් අද්දැකීම සඳහා දෙවිගේ වචනය පෞද්ගලිකව අධ්‍යයනය කිරීමත් ඉගෙනගත් දේ අදාළ කරගැනීමට අවංක ආශාවත් ඉතා වැදගත් පියවර වේ. එවන් එක්සත්කමක් අත් කරගත හැකිද? අප කලින් ලිපියේ දුටු ආකාරයට දෙවි දීර්ඝ කාලයක් පුරා තම සෙනඟ සමඟ කටයුතු කර තිබෙන්නේ කණ්ඩායමක් ලෙසයි. අද දින එම කණ්ඩායම හඳුනාගත හැකිද?

දෙවිගේ අනුමැතිය ලත් සංවිධානය සමඟ ඇසුරු කිරීමෙන් අත් වන ප්‍රයෝජන

ගීතිකාකරු දාවිත් එක් අවස්ථාවක මෙසේ ඇසීය. “යෙහෝවා, ඔබගේ මණ්ඩපයෙහි සිටින්නේ කවුද? ඔබගේ පිරිසිදු කන්දේ වසන්නේ කවුද?” එය කල්පනා කිරීමට පොලඹවන ප්‍රශ්නයක් නොවේද? දාවිත් එම ප්‍රශ්නයට පිළිතුරු සපයයි. “අවංක ලෙස හැසිරෙන්නාවූ ධර්මිෂ්ඨකම් කරන්නාවූ, සිතින් සැබෑව කියන්නාවූ තැනැත්තේය.” (ගීතාවලිය 15:1, 2) යම් කෙනෙකුට දෙවි පිළිගනු ලබන ආකාරයේ නමස්කාරයක් ඇතුළත් ආගම හඳුනාගැනීමට බයිබලය පිළිබඳ නිවැරදි දැනුම උපකාරවත් වෙයි. එවිට යම් කෙනෙකුට එම කණ්ඩායම සමඟ ඇසුරු කිරීමෙන් එක්සත්ව “ආත්මයෙන් සහ සත්‍යවාදීකමෙන්” දෙවිට නමස්කාර කරන අයගේ ගොඩනංවනසුලු මිත්‍රත්වය භුක්ති විඳිය හැකියි.

බෙදුණු ලොවක පවා නමස්කාරයෙන් සහ ක්‍රියාවෙන් එක්සත්කම අත් කරගත හැකි බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් නිරූපණය කර තිබේ. කලින් විවිධ ආගම්වල සහ ජනවාර්ගික කණ්ඩායම්වල සාමාජිකයන් වී සිටි අය ඔවුන් අතර සිටියි. තවත් සමහරෙක් සාක්ෂිකරුවන් වීමට පෙර අඥේයවාදීන් සහ අදේවවාදීන්. තවත් අය කලින් ආගම ගැන කිසිදු තැකීමක් නොකළ අයයි. ආගමික, සංස්කෘතික සහ දාර්ශනික වශයෙන් විවිධත්වයක සිට පැමිණි අය ලෝකයේ වෙනත් තැනක දැකිය නොහැකි ආගමික එක්සත්කමක් දැන් භුක්ති විඳියි.

මෙවන් එක්සත්කමකට පදනම දෙවිගේ වචනය වන බයිබලයයි. ඇත්තෙන්ම එක්තරා ක්‍රමයකට හැසිරිය යුතුයි කියා අන් අයට බල කිරීමට තමන්ට අයිති නැති බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් වටහාගෙන ඇත. නමුත් බයිබලයෙන් ඉගෙනගන්න කියා අන් අයව දිරිගන්වන්න තමන්ට ලැබී තිබෙන වරප්‍රසාදය ඔවුන් අගය කරයි. මන්දයත් එවිට කැමති නමස්කාරය තෝරාගැනීමට හොඳ පදනමක් ලෙස බයිබලය යොදාගැනීමට ඒ අයට හැකියි. මේ අයුරින් දෙවිට “ආත්මයෙන් සහ සත්‍යතාවෙන්” නමස්කාර කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන අද්දැකීමට බොහෝදෙනෙකුට හැකි වෙයි.

අද නොයෙකුත් බලපෑම්වලට සහ පෙලඹවීම්වලට හසුවීමේ අවදානම ඉතා ප්‍රබලයි. එම නිසා සුචරිතවත් පුද්ගලයන්ව ඇසුරු කිරීම ඉතා වැදගත්. බයිබලයේ මෙසේ සඳහන් වේ. “ඥානවන්තයන් කැටුව යන්න. එවිට ඔබ ඥානවන්ත වන්නේය.” ඒ වගේම “නරක ආශ්‍රයෙන් හොඳ පුරුදු නැති වන්නේය.” (හිතෝපදේශ 13:20; 1 කොරින්ති 15:33, NW) දෙවිගේ අව්‍යාජ නමස්කාරකයන් සමඟ ඇසුරු කිරීම ආරක්ෂාවකි. එම හේතුව නිසා බයිබලය අපට මෙවන් සිහිගැන්වීමක් දෙයි. “ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන පිණිස එකිනෙකා ගැන සැලකිලිමත් වෙමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේ රැස්වීම් අත් නෑර, එකිනෙකාව දිරිගන්වමු. ඒ දවස ළං වන බව ඔබට පෙනෙද්දී, වැඩි වැඩියෙන් එසේ කරමු.” (හෙබ්‍රෙව් 10:24, 25, NW) සැබෑ මිත්‍රයන් වන ආත්මික සහෝදර සහෝදරියන් ප්‍රේමණීය ලෙස, දෙවි ඉදිරියෙහි තිබෙන වගකීම් ඉටු කිරීමට එකිනෙකාට අත හිත දීම ඇත්තෙන්ම ආශීර්වාදයක්!

මෙය සත්‍යයක් බව සනාථ කරන්නේ ඔට්මාර් නමැති පුද්ගලයායි. කතෝලික පවුලක හැදුණු වැඩුණු ඔහු පල්ලියට යෑම නතර කළේය. ඔහු ඒ ගැන පවසන්නේ මේ අයුරින්. “මම පල්ලියට ගොස් ආයෙත් එළියට ආ හැම වතාවකම මට හිස්කමක් දැනුණා.” එනමුත් දෙවි කෙරෙහි තිබූ ඇදහිල්ල ඔහු දිගටම පවත්වාගත්තේය. පසුව ඔහුට යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුණගැසුණ අතර ඔවුන් දෙවිගේ සැබෑ සේවකයන් බව ඔහුට අවබෝධ විය. ඒ අය සමඟ ඇසුරු කිරීමේ අවශ්‍යතාවද ඔහු තේරුම්ගත්තේය. දැන් ඔහු කියා සිටින්නේ මෙයයි. “ලෝක ව්‍යාප්තව තිබෙන සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයෙක් වීමෙන් මනසේ සහ හදවතේ සාමය මම අද්දකිනවා. බයිබලය ගැන නිවැරදි දැනුමක් ලබාගැනීමට ක්‍රමානුකූලව මට උපකාර ලැබෙනවා. පෞද්ගලිකවම එම දැනුම මට ගොඩක් වටිනවා.”

සොයන අයට ආරාධනයක්

පුද්ගලයන් තනිව කටයුතු කරනවාට වඩා එකඟතාවක් තිබෙන පුද්ගලයන් එක කණ්ඩායමක් සේ කටයුතු කිරීමෙන් යම් දෙයක් වැඩි සාර්ථකත්වයකින් ඉටු කරගත හැකියි. යේසුස් තම ගෝලයන්ගෙන් සමුගැනීමට පෙර දුන් උපදේශය උදාහරණයකට සලකා බලන්න. “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:19, 20, NW) නිසි මඟ පෙන්වීමක් හෝ සංවිධානයක් නොමැතිව එවන් බාරදූර කාර්යයක් සාර්ථක කරගන්නේ කොහොමද? යම් කෙනෙක් ස්වාධීනව දෙවිට සේවය කිරීමට තීරණය කිරීමට උත්සාහ කරයි නම් ඔහු හෝ ඇය මෙම ශුද්ධ ලියවිලිමය උපදෙසට කීකරු වන්නේ කොහොමද?

පසුගිය වසරේ ලොව වටා සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් බයිබලයේ දැනුම ඇතුළත් පොත්, පොත් පිංච සහ විවරණිකා 91,933,280ක්ද ඊට අමතරව සඟරා 6,97,603,247ක්ද බෙදාහැරීය. එමගින් රටවල් 235ක සිටින මිලියන ගණන් ජනයාට දෙවිගේ වචනයේ පණිවිඩය ඇසීමට හැකි වී තිබේ. කිසි මඟ පෙන්වීමක් නොමැති තනි වෑයමකට වඩා එක්සත් මනා සංවිධානයකින් යුත් කණ්ඩායමක් සේ වැඩ කරමින් ලබාගත හැකි සාර්ථකත්වයට මෙය කදිම සාක්ෂියක්!

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ බයිබල් ප්‍රකාශන බෙදාහරිනවාට අමතරව දෙවි මනුෂ්‍යයන්ගෙන් අපේක්ෂා කරන දේ පිළිබඳ පැහැදිලිව තේරුම්ගැනීමට උපකාර කිරීම සඳහා නොමිලේ බයිබල් පාඩම්ද පවත්වති. පසුගිය වසරේ එක් එක් පුද්ගලයන් සමඟ හෝ කණ්ඩායම් සමඟ සෑම සතියක පැවැත්වූ බයිබල් පාඩම් සංඛ්‍යාවේ සාමාන්‍යය 5,726,509යි. මෙම බයිබල් උපදෙස් නිසා මිලියන ගණන් මනුෂ්‍යයන්ට තමන්ට කැමති නමස්කාරය තෝරාගැනීම සඳහා හොඳ පදනමක් ලබාගැනීමට උපකාර කර ඇත. බයිබලයේ සඳහන් කර ඇති දෙවිට ඕනෑ කරන දේ ඉගෙනගැනීමට ඔබට ආරාධනා කරන්නෙමු. එවිට ඔබට ඔබේ තේරීම කළ හැකියි.—එපීස 4:12; පිලිප්පි 1:11; 1 තිමෝති 6:20; 2 පේතෘස් 3:18.

ඔබට දෙවිව සතුටු කරන්න අවශ්‍ය නම් ආගමික සංවිධානයක් සමඟ කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. නමුත් ඕනෑම ආගමික කණ්ඩායමක් හෝ නිකායක් සමඟ නොවෙයි. ඔබ කැමති ආගම තෝරාගත යුත්තේ නිවැරදි බයිබල් දැනුම මත මිස මූලධර්ම හෝ තව කෙනෙක් බයිබලය ගැන කියන අදහස් මත නොවෙයි. (හිතෝපදේශ 16:25) සැබෑ ආගම සඳහා අවශ්‍ය දේ ඉගෙනගන්න. එය ඔබේ විශ්වාසයන් සමඟ සසඳන්න. ඒ අනුව තෝරාගන්න.—ද්විතීය කථාව 30:19.

[7වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ බෙදුණු ලොවක එක්සත්කම අද්දකිති