Skip to content

පටුනට යන්න

ඔබ පල්ලියකට අයිති විය යුතුද?

ඔබ පල්ලියකට අයිති විය යුතුද?

ඔබ පල්ලියකට අයිති විය යුතුද?

‘දෙවිව විශ්වාස කරන්න පල්ලියකට අයිති වෙන්නවත් නොකඩවා එවැනි පල්ලියකට යන්නවත් අවශ්‍ය නැහැ!’ අද දින පල්ලියක හෝ වෙනත් ආගමික සංවිධානයක සාමාජිකත්වයක් ලැබීම සම්බන්ධයෙන් බොහෝදෙනෙකුට හැඟෙන්නේ එලෙසයි. තවත් සමහරෙක් කියන්නේ පල්ලියේ බිත්ති හතරට කොටුවී සිටිනවාට වඩා නිදහසේ සොබා සෞන්දර්යය විඳිමින් සිටින විට දෙවිට වැඩි සමීපකමක් ඔවුන්ට දැනෙන බවයි. අද පොදුවේ පිළිගත් මතය වන්නේ දෙවිව විශ්වාස කිරීමට ආගමික කණ්ඩායමක හෝ සංවිධානයක සාමාජිකයන් වීමට අවශ්‍ය නැත යන්නය.

කොහොමනමුත් වෙනත් අයට වෙනස් විදිහට හැඟෙයි. ඔවුන් තරයේ කියා සිටින්නේ දෙවිගේ අනුමැතිය දිනාගැනීමට නම් පල්ලියක සාමාජිකත්වය ලබාගැනීමත් එහි ක්‍රියාකාරකම්වලට සහභාගි වීමත් අත්‍යවශ්‍ය බවයි. ආගමික සංවිධානයක සාමාජිකත්වය අවශ්‍ය වෙනවාද නැද්ද යන කාරණය පිළිබඳව සොයා බැලීමට උනන්දු වන්නේ නිකම්ම ආගම පිළිබඳව දත්ත සහ සංඛ්‍යා ලේඛන එකතු කරගන්නා අය පමණක් නොවන බව මින් පැහැදිලි වේ. ඒ කොයිවෙතත් මීට දෙවිත් සමඟ තිබෙන අපගේ සබඳතාව ඇතුළත් නිසා මේ කාරණය ගැන දෙවිගේ දෘෂ්ටිය සලකා බැලීම නිවැරදි දෙයක් නොවෙයිද? මේ කාරණය සම්බන්ධයෙන් ඔහුගේ වචනය වන බයිබලයෙන් අපට කුමක්ද ඉගෙනගත හැක්කේ?

අතීතයේදී දෙවි මිනිසුන් සමඟ කටයුතු කළ අයුරු

අවුරුදු 4,400ට පමණ පෙර දරුණු ජලගැල්මකින් මුළු පොළොවම යට විය. එවන් සිද්ධියක් ලෙහෙසියෙන් මතකයෙන් ඈත් නොවෙයි. ලොව වටා සිටින පුද්ගලයන්ගේ මුල් ඉතිහාසයේ ඒ පිළිබඳව නොයෙකුත් කතා ගෙතී ඇත. එම කථාවන් විවිධ වුණත් මිනිසුන් සුළු පිරිසක් සහ සතුන් සමහරක් බේරුණා වැනි පොදු කාරණා ඒවායෙහි දැකගත හැකියි.

ජලගැල්මෙන් බේරුණ අය එසේ බේරුණේ අහම්බෙන්ද? නැත්නම් ඔවුන්ගේ වාසනාව නිසාද? බයිබල් වාර්තාව පෙන්වන්නේ එසේ නොවන බවයි. පැමිණෙන ජලගැල්ම ගැන දෙවි එක් එක් පුද්ගලයන්ට නොකී බව අපේ අවධානයට ලක් වේ. ඔහු ඒ බව නෝවාට කී අතර ඔහු තම සමකාලීනයන්ට පැමිණෙන ජලගැල්ම ගැන අනතුරු ඇඟෙව්වේය.—උත්පත්ති 6:13-16, 2 පේතෘස් 2:5.

ගැලවීම රඳා පැවතියේ එකට එකමුතුව කටයුතු කළ එම කණ්ඩායමට එකතු වීමත් දෙවි නෝවාට දුන් මඟ පෙන්වීම පිළිගැනීමත් මතයි. නැවේ සිටි සතුන් පවා පණ රැකගත්තේ එම කණ්ඩායමේ පිහිටෙනි. සතුන්ව රැකගැනීමට සුදුසු සැලසුම් යෙදීම සඳහා නෝවාට නිශ්චිත උපදෙස් ලැබී තිබිණි.—උත්පත්ති 6:17–7:8.

දශක ගණනාවකට පසු නෝවාගේ පුත් ෂෙම්ගෙන් පැවත එන්නන් ඊජිප්තුවේ වහලුන් බවට පත් විය. එනමුත් දෙවිගේ අරමුණ වූයේ ඔවුන්ව නිදහස් කර ඔවුන්ගේ ආදි පියා වූ ආබ්‍රහම්ට ඔහු පොරොන්දු වූ දේශයට ඔවුන්ව ගෙන යෑමයි. නැවතත් මෙය එක් එක් පුද්ගලයන්ට හෙළි නොකළ අතර එය මුලින්ම එළිදරව් කළේ ඔවුන්ගේ නායකයන් ලෙසට තෝරා පත් කළ මෝසෙස්ට සහ ඔහුගේ සහෝදර ආරොන්ටය. (නික්මයාම 3:7-10; 4:27-31) කලින් වහලුන් සේ සිටි අයව කණ්ඩායමක් හැටියට ඊජිප්තුවෙන් බේරාගත් පසු සීනයි කන්දේදී ඔවුන්ට දෙවිගේ නීති දෙනු ලැබූ අතර ඊශ්‍රායෙල් ජාතිය ලෙස ඔවුන්ව සංවිධානය කරනු ලැබුවේය.—නික්මයාම 19:1-6.

එක් එක් ඊශ්‍රායෙලිතයන්ට ගැලවීමට හැකි වුණේ දෙවි විසින් සංවිධානය කරන ලද කණ්ඩායම සමඟ ඇසුරු කළ නිසාත් මෙම කණ්ඩායමේ පත් කරන ලද නායකයන්ගේ මඟ පෙන්වීම අනුගමනය කළ නිසාත්ය. දෙවිගේ අනුමැතිය ඇති බව පැහැදිලිව පෙනෙන්න තිබූ එම කණ්ඩායම සමඟ ඇසුරු කිරීමට ඊජිප්තු ජාතියට අයත් එක් එක් පුද්ගලයන්ට පවා අවස්ථාව සපයන ලදි. ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් පිටත් වූ විට මෙම ඊජිප්තුවරු ඔවුන් සමඟ ගිය නිසා දෙවිගේ ආශීර්වාද ලබාගැනීමට ඔවුන්ටද ප්‍රස්තාවක් උදා විය —නික්මයාම 12:37, 38.

ඉන්පසු පළමු ශතවර්ෂයේදී යේසුස් මනුෂ්‍යයන්ව තම ගෝලයන් ලෙස එකතු කරමින් තම දේශනා සේවය ආරම්භ කළේය. ඔහු එක් එක්කෙනාගේ පෞද්ගලික අවශ්‍යතා අනුව අවශ්‍ය මඟ පෙන්වීම් දුන්නද ඔහු ඔවුන් සමඟ කටයුතු කළේ කණ්ඩායමක් ලෙසයි. යේසුස් තම විශ්වාසවන්ත ප්‍රේරිතයන් 11දෙනාට පැවසුවේ, “මාගේ පරීක්ෂාවලදී මා සමඟ දිගටම සිටියේ ඔබය. මාගේ පියාණන් මා සමඟ ගිවිසුමක් කර තිබෙන්නාක් මෙන්, මම ඔබ සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් ඇති කරමි.” (ලූක් 22:28, 29, NW) පසුව දෙවිගේ ශුද්ධාත්මය ගෝලයන් මතට පැමිණියේ ඔවුන් කණ්ඩායමක් සේ එකට සිටින විටදීය.—ක්‍රියා 2:1-4.

මේ සෑම උදාහරණයකින්ම පෙන්වන්නේ අතීතයේ දෙවි තම සෙනඟ සමඟ කටයුතු කර තිබෙන්නේ සංවිධානාත්මක කණ්ඩායමක් ලෙසයි. දෙවි නෝවා, මෝසෙස්, යේසුස් සහ අනෙකුත් අය සමඟ පෞද්ගලිකවම සම්බන්ධකම් පැවැත්වුවද සමීප ලෙස ඇසුරු කළ කණ්ඩායමක් සමඟ අදහස් හුවමාරු කිරීමට ඔහු ඔවුන්ව යොදාගත්තේය. අද දින දෙවි තම සේවකයන් සමඟ වෙනස් ආකාරයකින් කටයුතු කරයි කියා සිතීමට කිසිම හේතුවක් නැත. ඇත්තෙන්ම මෙම කාරණය තවත් ප්‍රශ්නයකට මුලපුරයි. එනම් ඕනෑම ආගමික කණ්ඩායමක් සමඟ ඇසුරු කිරීම ප්‍රමාණවත්ද? අපි මෙම වැදගත් ප්‍රශ්නය අනෙක් ලිපිය තුළ සලකා බලන්නෙමු.

[4වන පිටුවේ පින්තූරය]

දෙවි දිගු කාලයක් පුරා තම සෙනඟ සමඟ කටයුතු කර තිබෙන්නේ සංවිධානාත්මක කණ්ඩායමක් හැටියටයි