Skip to content

පටුනට යන්න

ගැටලුවලින් ඔබේ ජීවිතය යටපත් වෙලාද?

ගැටලුවලින් ඔබේ ජීවිතය යටපත් වෙලාද?

ගැටලුවලින් ඔබේ ජීවිතය යටපත් වෙලාද?

වේදනාකාරී ගැටලු හා දුෂ්කරතා මෙම ‘අන්තරාදායක කාලවල’ පොදු ලක්ෂණයක්. (2 තිමෝති 3:1, NW) සමහර ගැටලු තාවකාලිකයි. කෙටි කලකින් ඒවා විසඳෙනවා. එහෙත් වෙනත් ගැටලු මාස ගණනාවක් නැත්නම් අවුරුදු ගණනාවක් තිස්සේම පවතිනවා. එම නිසා, ගැටලුවලට මැදි වී සිටින බොහෝදෙනෙකුට හැඟෙන්නේ දාවිත්ට හැඟුණු ආකාරයටයි. දාවිත් තම හිතේ තිබුණු ශෝකය යෙහෝවාට හෙළි කළේ මෙලෙසයි. “මාගේ සිතේ දුක් වැඩිව තිබේ. මාගේ විපත්තිවලින් මා මුදාගත මැනව.”—ගීතාවලිය 25:17.

ඔබ ඉතා දරුණු ගැටලු සමඟ පොරබදමින් සිටිනවාද? එහෙමනම්, ඔබට බයිබලයෙන් උපකාරය හා දිරිගැන්වීම ලබාගත හැකියි. යෝසෙප් හා දාවිත් අසීරුතාවලට සාර්ථකව මුහුණ දුන් යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් දෙදෙනෙක්. අපි දැන් ඔවුන් දෙදෙනාගේ අද්දැකීම් සලකා බලමු. ඔවුන් දුෂ්කරතාවලට මුහුණ දුන් ආකාරය ගැන සලකා බැලීම මගින් වැදගත් පාඩම් කිහිපයක් ඉගෙනගත හැකියි. අද දින අපටත් එවැනි අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට එය උපකාරවත් වේවි.

විශාල අභියෝග හමුවේ

වයස අවුරුදු 17ක් වන විට, යෝසෙප්ට විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිදු වුණා. එය ඔහුගේම පවුලේ අය නිසා ඇති වූ ගැටලුවක්. යෝසෙප්ගේ වැඩිමල් සහෝදරයන්ට වැටහුණා ඔවුන්ගේ පියා වූ යාකොබ් ‘යෝසෙප්ගේ සියලු සහෝදරයන්ට වඩා ඔහුට ආදරය කළ’ බව. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් ‘ඔහු කෙරෙහි වෛර බැන්දා. එම නිසා, ඔහු සමඟ සමාදානයෙන් කතා කරන්ට ඔවුන්ට නොහැකි වුණා.’ (උත්පත්ති 37:4) මෙම තත්වය නිසා යෝසෙප්ට බලවත් සිත්තැවුලක් හා දැඩි මානසික පීඩනයක් ඇති වුණායයි අපට සිතාගත හැකියි. අන්තිමේදී යෝසෙප්ගේ සහෝදරයන් ඔහුට කොයි තරම් වෛර කළාද කිව්වොත් ඔවුන් ඔහුව වහල්භාවයට විකුණුවා.—උත්පත්ති 37:26-33.

ඊජිප්තුවේ වහලෙකු ලෙස සේවය කරද්දී යෝසෙප්ගේ ස්වාමියාගේ බිරිඳ බලහත්කාරයෙන් ඔහු සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන්න වෑයම් කළා. යෝසෙප් ඇය වෙතින් පලා ගියා. මෙලෙස තමන්ව ප්‍රතික්ෂේප කිරීම ගැන කෝපයෙන් සිටි ඇය, තමන්ව දූෂණය කිරීමට ඔහු උත්සාහ කළ බව කියමින් බොරු චෝදනාවක් එල්ල කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුව ‘හිරගෙට දමා, ඔහුගේ පාද විලංගු ලා රිදෙව්වා. ඔහුව යදම්වලින් බඳිනු ලැබුවා.’ (උත්පත්ති 39:7-20; ගීතාවලිය 105:17, 18) මොන තරම් වේදනාකාරී අද්දැකීමක්ද! ඔහුගේම පවුලේ සාමාජිකයන් හා වෙනත් අය ඔහුට සිදු කළ අසාධාරණකම් හේතුවෙන් යෝසෙප් අවුරුදු 13ක් පමණ වහලෙකු ලෙස හෝ සිරකරුවෙකු ලෙස දුක් වින්දා.—උත්පත්ති 37:2; 41:46.

පුරාණ ඊශ්‍රායෙල්හි විසූ දාවිත්ද තරුණ වියේ සිටම පීඩාකාරී අද්දැකීම්වලට මුහුණ දුන්නා. සාවුල් රජ ඔහුව සතෙකු මෙන් අල්ලා මරා දැමීමට සෙවූ නිසා අවුරුදු ගණනාවක්ම ඔහුගෙන් පලා ගොස් තැනින් තැන ජීවත් වීමට ඔහුට සිදු වුණා. දාවිත්ගේ ජීවිතය නිතරම තිබුණේ අවදානම් තත්වයකයි. එක් අවස්ථාවකදී ඔහු ආහාර ඉල්ලාගැනීම සඳහා අහිමෙලෙක් නම් පූජකයා වෙතට ගියා. (1 සාමුවෙල් 21:1-7) අහිමෙලෙක් දාවිත්ට උදව් කළ බව සාවුල්ට දැනගන්න ලැබුණු විට, ඔහු අහිමෙලෙක්ව පමණක් නොව සියලුම පූජකයන්ව සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්වද මරා දැමීමට අණ කළා. (1 සාමුවෙල් 22:12-19) මේ විපත සිදු වුණේ තමා නිසාය යන හැඟීම හේතුවෙන් දාවිත්ට මොන තරම් දුකක් දැනෙන්න ඇද්ද කියා ඔබට සිතාගත හැකිද?

අවුරුදු ගණනාවක් තිස්සේ යෝසෙප් හා දාවිත් විඳදරාගත් දුෂ්කරතා හා අසාධාරණකම් ගැන සිතා බලන්න. මෙම අසීරු තත්වයන් ඔවුන් විඳදරාගෙන සිටි ආකාරය ගැන සොයා බැලීමෙන් අපට පුළුවන් වැදගත් පාඩම් කිහිපයක් ඉගෙනගන්න. මෙම පුරුෂයන් දෙදෙනාගේ ආදර්ශ අනුගමනය කිරීමට වටින්නේ ඇයි කියන කාරණයට අපි දැන් හේතු තුනක් සලකා බලමු.

අමනාපය හා කෝපය සිතින් පහ කරන්න

මෙම විශ්වාසවන්ත පුරුෂයන් දෙදෙනා කෝපය හා අමනාපය වැනි හැඟීම් තම සිතෙහි පැසවන්නට ඉඩ දුන්නේ නැහැ. අපට ඔවුන්ගෙන් ඉගෙනගත හැකි මුල්ම පාඩම එයයි. සිරගෙයි සිටි කාලයේදී, සහෝදරයන් ඔහුට ද්‍රෝහි වූ ආකාරය ගැන කෝපයෙන් සිතමින්, යම් දවසකදී ඔවුන්ව ආපසු මුණගැසුණොත් ඔවුන්ගෙන් පළිගන්නේ කෙසේදැයි කල්පනා කර කර සිටීමට යෝසෙප්ට පුළුවන්කම තිබුණා. එහෙත් යෝසෙප් එවැනි විනාශකාරී සිතුවිලි තම සිතින් පහ කළ බව අප දන්නේ කොහොමද? ඔහුගේ සහෝදරයන් ධාන්‍ය වර්ග මිල දී ගැනීමට ඊජිප්තුවට පැමිණි විට පළිගැනීමට එය හොඳ අවස්ථාවක් වුණා. එහෙත් ඔහු ප්‍රතික්‍රියා කළ ආකාරය දැන් සලකා බලන්න. බයිබල් වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “[යෝසෙප්] ඔවුන් වෙතින් අහක්ව ගොස් හැඬුවේය. . . . එවිට යෝසෙප් [ඔහුගේ සහෝදරයන්ගේ] මලුවල ධාන්‍ය පුරවන ලෙසද ඔවුන්ගේ මුදල් එකිනෙකාගේ ගෝණියෙහි නැවත තබන ලෙසද මඟට කෑම ඔවුන්ට දෙන ලෙසද [ඔහුගේ සේවකයන්ට] ආඥා කළේය.” පසුව, ඔහු තම පියාව ඊජිප්තුවට රැගෙන ඒම සඳහා සහෝදරයන්ව පිටත් කර යවද්දී ඔවුන්ට මෙම දිරිගන්වනසුලු වචන පැවසුවා. “මඟදී දබර නොකරන්ට බලාගන්න.” මෙසේ, යෝසෙප් තම වචනවලින්ද ක්‍රියාවලින්ද ඔප්පු කළේ අමනාපය හා කෝපය වැනි සිතිවිලි පැසවීමට ඉඩහැරීමෙන් තම ජීවිතයට හානියක් වීමට ඔහු ඉඩ නොදුන් බවයි.—උත්පත්ති 42:24, 25; 45:24.

දාවිත්ද සාවුල් රජ තමාට කළ දේවල් ගැන සිත සිතා අමනාපයේ හැඟීම් වර්ධනය වෙන්ට ඉඩ දුන්නේ නැහැ. සාවුල්ව මරා දැමීමට දාවිත්ට අවස්ථා දෙකක්ම උදා වුණා. ඔහු සමඟ සිටි අය සාවුල්ව මරා දමන මෙන් ඔහුට බලපෑම් කළා. එහෙත් දාවිත් ප්‍රතිචාරය දැක්වුවේ මේ ආකාරයටයි. “යෙහෝවාගේ අභිෂේක ලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධව මේ දේ කිරීමෙන්, එනම් මාගේ අත දිගු කිරීමෙන් යෙහෝවා මා වළක්වනු ලබත්වා. මක්නිසාද ඔහු යෙහෝවාගේ අභිෂේක ලත් තැනැත්තායි.” දාවිත් එම කාරණය යෙහෝවාගේ අතට භාර දුන් බව ඔහු තමා සමඟ සිටි අයට පැවසූ මෙම වදන්වලින් පැහැදිලියි. “යෙහෝවා ජීවමාන බව සැබෑවා සේම යෙහෝවා ඔහුට පහර දෙන්නේය. නැතහොත් ඔහු මැරෙන දවස පැමිණෙන්නේය. නොහොත් ඔහු යුද්ධයට ගොස් නාස්ති වන්නේය.” පසු කලෙක, සාවුල් සහ ඔහුගේ පුත්‍ර යොනාතාන් මිය ගිය පසු දාවිත් ඔවුන් වෙනුවෙන් විලාප ගීයක්ද රචනා කළා. යෝසෙප් මෙන් දාවිත්ද අමනාපයේ හැඟීම් තම සිතෙහි පැසවීමට ඉඩ දුන්නේ නැහැ.—1 සාමුවෙල් 24:3-6; 26:7-13; 2 සාමුවෙල් 1:17-27.

අපේ සිතට ලොකු වේදනාවක් ඇති වන විදිහේ අසාධාරණයක් සිදු වන විට අමනාපය හා කෝපය වැනි හැඟීම් සිත තුළ පැසවීමට අප ඉඩ දෙනවාද? එය පහසුවෙන්ම සිදු විය හැකි දෙයක්. අප හැඟීම්වලට වහල් වී කටයුතු කළොත් එමගින් සිදු වන හානිය අසාධාරණයෙන් සිදු වී ඇති හානියට වඩා බරපතළ වීමට ඉඩ තිබෙනවා. (එපීස 4:26, 27) බොහෝවිට වෙනත් අය ක්‍රියා කරන විදිහ අපට පාලනය කළ නොහැකියි. එහෙත් ඔවුන් කරන දේවලට අප දක්වන ප්‍රතිචාරය නම් අපට පාලනය කරන්න පුළුවන්. යෙහෝවා සුදුසු කාලයේදී ප්‍රශ්නය විසඳයි කියා අප විශ්වාස කරනවා නම්, අමනාපය හා කෝපය අපේ සිතෙන් පහ කිරීම වඩාත් පහසු වෙනවා.—රෝම 12:17-19.

අසීරුතා ඔබේ වාසියට හරවාගන්න

අසීරුතා නිසා කිසිම දෙයක් කරගත නොහැකි තත්වයකට පත් නොවීමට අප වගබලා ගත යුතුයි. අපට ඉගෙනගත හැකි දෙවන පාඩම එයයි. අපට කළ නොහැකි දේවල් ගැන ළතැවෙවී සිටියොත් කරන්න පුළුවන් දේවල් අපට සමහරවිට නොපෙනී යන්න ඉඩ තිබෙනවා. වෙනත් විදිහකින් කියනවා නම්, අපි ගැටලුවලින් යටපත් වෙන්න පටන්ගන්නවා. යෝසෙප්ටත් මෙවැනි දෙයක් සිදු වෙන්න ඉඩ තිබුණා. එහෙත් ඔහු අසීරුතා ඔහුගේ වාසියට හරවාගත්තා. වහලෙකු ලෙස සේවය කරද්දී යෝසෙප් තම ස්වාමියාගේ ‘ප්‍රසාදයට පාත්‍ර විය. යෝසෙප් ඔහුට සේවය කළේය. තවද ඔහුගේ ස්වාමියා, ඔහුව තම ගෘහයේ කළමනාකරු බවට පත් කළේය.’ යෝසෙප් සිරගෙයි සිටි කාලයේදීත් එලෙසම කටයුතු කළා. යෙහෝවාගේ ආශීර්වාද හා යෝසෙප්ගේ කඩිසරකම හේතුවෙන් “හිරගෙයි නායකයාද හිරගෙයි සිටි සියලු හිරකාරයන් යෝසෙප් අතට භාර දුන්නේය. ඔවුන් එහි කළාවූ සියල්ලද ඔහු යටතේ කරන ලද්දේය.”—උත්පත්ති 39:4, නව අනුවාදය; 21-23.

සාවුල්ගෙන් පලා යෑමට සිදු වූ කාලයේදී දාවිත්ද අසීරු තත්වයන් ඔහුගේ වාසියට හරවාගත්තා. පාරාන් පාළුකරයේ වාසය කරද්දී දාවිත් ඔහුත් සමඟ සිටි පුරුෂයන් සමඟ එකතු වී නාබල්ගේ එළු බැටළු රැළවල් කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කළා. නාබල්ගේ එඬේරෙකු ඔවුන් පිළිබඳව මෙසේ පැවසුවා. “අප බැටළුවන් බලාගනිමින් ඔවුන් සමඟ සිටි මුළු කාලයේ ඔවුහු රෑ දාවල් අපට ප්‍රාකාරයක්ව සිටියෝය.” (1 සාමුවෙල් 25:16) පසුව ශික්ලග්හි සිටිද්දී, ඔහු ඊශ්‍රායෙල්හි දකුණු පැත්තට ගොස් සතුරන් අතට පත් වී තිබූ නගර ආපසු යටත් කරගත්තා. මෙසේ, යුදයේ දේශ සීමා තහවුරු කරගැනීමට ඔහුට හැකි වුණා.—1 සාමුවෙල් 27:8; 1 ලේකම් 12:20-22.

අසීරුතා අපේ වාසියට හරවාගැනීම සඳහා අප මීට වඩා වෑයමක් දැරිය යුතුද? එසේ කිරීම අභියෝගයක් විය හැකි බව ඇත්තයි. එහෙත් එම වෑයම සාර්ථක කරගන්න අපට පුළුවන්. ප්‍රේරිත පාවුල් තම ජීවිත අද්දැකීම් ආවර්ජනය කරමින් මෙසේ ලීවා. “මම කවර තත්වයක සිටියත්, සෑහීමට පත්ව සිටීමට ඉගෙනගෙන සිටිමි. . . . සෑම දෙයකදීම හා සෑම තත්වයකදීම තෘප්තිමත්ව සිටින්නත්, කුසගින්නෙන් සිටින්නත්, බොහෝ දේවල් ඇතිව සිටින්නත්, අග හිඟකම් ඇතිව සිටින්නත් හැකි රහස ඉගෙනගෙන සිටිමි.” පාවුල්, ජීවිතය දෙස මෙතරම් ශුභවාදීව බලන්න ඉගෙනගත්තේ කෙසේද? නිරතුරුවම යෙහෝවා මත රඳා සිටීම තුළිනුයි. ඔහු ඒ බව සනාථ කරමින් මෙසේ පැවසුවා. “මට බලය දෙන තැනැත්තාගෙන් සියලු දේ සඳහා මට ශක්තිය ලැබේ.”—ෆිලිප්පි 4:11-13, NW.

යෙහෝවා කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටින්න

අප මුහුණ දෙන තත්වය වෙනස් කිරීම සඳහා ශුද්ධ ලියවිල්ලෙහි අනුමත නොකරන ආකාරයේ විසඳුම් සොයනවා වෙනුවට අප යෙහෝවා කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටිය යුතුයි. අපට ඉගෙනගන්න තිබෙන තුන්වන පාඩම එයයි. ක්‍රිස්තුස්ගේ ගෝලයෙකු වූ යාකොබ් මෙසේ ලීවා. “ඔබ කිසිවකින් අඩුව නොසිට, සම්පූර්ණව, සෑම ආකාරයකින්ම දෝෂ නැතිව සිටින පිණිස, විඳදරාගැනීමෙන් ඉටු වන කාර්යය සම්පූර්ණ වීමට ඉඩ දෙන්න.” (යාකොබ් 1:4, NW) “විඳදරාගැනීමෙන් ඉටු වන කාර්යය සම්පූර්ණ වීමට” අප ඉඩ දිය යුතුයි. ඒ කෙසේද? අප මුහුණ දෙන පරීක්ෂණයෙන් ඉක්මනින් ගැලවීම සඳහා ශුද්ධ ලියවිල්ලෙහි අනුමත නොකරන ක්‍රම යොදාගන්නවා වෙනුවට එම පරීක්ෂණය අවසන් වන තෙක්ම විඳදරාගෙන සිටීමෙනුයි. අපේ ඇදහිල්ල පරීක්ෂා කර බලන්නත්, එය තව තවත් ශක්තිමත් කරගන්නත් හැකි වන්නේ එවිටයි. එමෙන්ම අප සතු විඳදරාගැනීමේ ශක්තිය කොතරම්ද කියාත් දැකගන්න පුළුවන්. යෝසෙප්ට හා දාවිත්ට හොඳ විඳදරාගැනීමේ ශක්තියක් තිබුණා. යෙහෝවාව අසතුටට පත් කළ හැකි ආකාරයේ විසඳුම් සොයනවා වෙනුවට, ඔවුන් අසීරුතා ඔවුන්ගේ වාසියට හරවාගන්න වෑයම් කළා. ඔවුන් යෙහෝවා කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටියා. ඒ නිසා ඔවුන් භුක්ති වින්දේ මොන තරම් අනගි ආශීර්වාදද! යෙහෝවා ඔහුගේ ජනයාව ගැලවීමටත් ඔවුන්ට මඟ පෙන්වීම සැපයීමටත් ඔවුන් දෙදෙනාව යොදාගත්තා.—උත්පත්ති 41:39-41; 45:5; 2 සාමුවෙල් 5:4, 5.

විවිධ අසීරුතාවලට මුහුණ දෙන විට ශුද්ධ ලියවිල්ලෙහි අනුමත නොකරන විසඳුම් සෙවීමට අප තුළත් පෙලඹීමක් ඇති විය හැකියි. උදාහරණයකට, තවමත් සුදුසු විවාහ කලත්‍රයෙක් ලැබී නැති නිසා ඔබ අධෛර්යයට පත් වී සිටිනවාද? එසේනම්, ‘ස්වාමීන් තුළ පමණක්’ විවාහ වීමට වූ දෙවිගේ ආඥාව කඩ කිරීමට පෙලඹීමක් ඇති වේ නම් එය ප්‍රතික්ෂේප කරන්න. (1 කොරින්ති 7:39, NW) ඔබේ විවාහ ජීවිතයේ යම් ගැටලු මතු වී තිබෙනවාද? වෙන්වීමට හා දික්කසාදයට දිරි දෙන ලෝකයේ ආත්මයට යටත් නොවී, ඔබේ කලත්‍රයා හා එක්ව එම ගැටලු විසඳාගැනීමට වීර්යය කරන්න. (මලාකී 2:16; එපීස 5:21-33) ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔබේ පවුලේ ඕනෑ එපාකම් බලාගැනීම ගැටලුවක් වී තිබෙනවාද? එහෙමනම්, මුදල් උපයාගැනීම සඳහා සැක සහිත හෝ නීති විරෝධී ව්‍යාපාරික කටයුතුවල නිරත නොවී සිටීමෙන් යෙහෝවා කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටින බව ඔබට පෙන්විය හැකියි. (ගීතාවලිය 37:25; හෙබ්‍රෙව් 13:18) ඇත්තෙන්ම, අපට ආශීර්වාද කිරීමට යෙහෝවාට ඉඩ දීමටත් අසීරුතා අපේ වාසියට හරවාගැනීමටත් අප සියලුදෙනාම මහත් වීර්යයක් දැරිය යුතුයි. එසේ කරන අතරතුර, යෙහෝවා නියම විසඳුම ලබා දෙන තෙක් ඉවසිල්ලෙන් බලා සිටීමට අදිටන් කරගනිමු.—මීකා 7:7.

යෙහෝවා ඔබට උපකාර කරන බව ස්ථිරයි

යෝසෙප් හා දාවිත් වැනි බයිබල් චරිත අසීරුතාවලට හා බලාපොරොත්තු සුන්වීම්වලට සාර්ථක ලෙස මුහුණ දුන් ආකාරය ගැන මෙනෙහි කිරීම අපට ප්‍රයෝජනවත් විය හැකියි. ඔවුන්ගේ ජීවිත කතා පිටු කිහිපයකින් විස්තර කර තිබුණත් ඔවුන් මුහුණ දුන් පීඩා අවුරුදු ගණනාවක් පුරා දිව ගියා. ඔබෙන් මෙවැනි ප්‍රශ්න අසාගන්න. ‘දෙවිගේ එම සේවකයන් තමන් මුහුණ දුන් ගැටලු දෙස ශුභවාදීව බැලීමට ඉගෙනගත්තේ කෙසේද? ඔවුන් තමන්ගේ ප්‍රීතිය පවත්වාගත්තේ කෙසේද? ඔවුන්ට වර්ධනය කරගැනීමට සිදු වුණේ මොන වගේ ගුණාංගද?’

වර්තමානයේ යෙහෝවාට සේවය කරන අය විඳදරාගන්නා ආකාරයද සලකා බැලීම වටී. (1 පේතෘස් 5:9) සෑම වසරක් පුරාම මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල ජීවිත කතා ගණනාවක්ම පළ වෙනවා. ඔබ මෙම ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ගේ අද්දැකීම් කියවා ඒවා ගැන මෙනෙහි කරනවාද? අපේ සභාවලද දුෂ්කරතා විඳදරාගනිමින් දෙවිට විශ්වාසවන්තව සේවය කරන අය සිටිනවා. ඔබ නිතිපතා සභා රැස්වීම්වලට ගොස් ඔවුන් සමඟ ආශ්‍රය කර ඔවුන්ගෙන් යමක් ඉගෙනගැනීමට වෑයම් කරනවාද?—හෙබ්‍රෙව් 10:24, 25.

ඔබ දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන විට යෙහෝවා ඔබ ගැන සලකන බවටත් ඔහු ඔබට උපකාර කරන බවටත් නිසැක වන්න. (1 පේතෘස් 5:6-10) ඔබ මුහුණ දෙන ගැටලුවලින් යටපත් නොවී සිටීමට දැඩි උත්සාහයක් දරන්න. යෝසෙප්ව හා දාවිත්ව ආදර්ශයට ගනිමින් අමනාපය සිතෙන් පහ කරන්න. අසීරුතා ඔබේ වාසියට හරවාගන්න. එමෙන්ම පූර්ණ විසඳුමක් ලැබෙන තෙක් යෙහෝවා කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටින්න. යාච්ඤාව හා ආත්මික ක්‍රියාකාරකම් තුළින් යෙහෝවාට ළං වෙන්න. එවිට, දුෂ්කරතා මධ්‍යයෙහි පවා ප්‍රීතිය, සන්තෝෂය ළඟා කරගත හැකි බව ඔබට පෙනී යාවි.—ගීතාවලිය 34:8.

[20, 21වන පිටුවේ පින්තූරය]

යෝසෙප් අසීරුතා තම වාසියට හරවාගැනීමට වෑයමක් දැරුවා

[23වන පිටුවේ පින්තූරය]

දාවිත් තමා අද්දුටු ගැටලුවලට විසඳුමක් ලබා දෙන තෙක් යෙහෝවා කෙරෙහි ඉවසිලිවන්තව බලා සිටියා