Skip to content

පටුනට යන්න

මැවිල්ල දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි!

මැවිල්ල දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි!

මැවිල්ල දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි!

“අහස දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය ඔහුගේ හස්ත කර්මාන්තය දක්වයි.”—ගීතාවලිය 19:1.

1, 2. (අ) දෙවිගේ මහිමය දැකගැනීමට මිනිසුන්ට නොහැක්කේ මන්ද? (ආ) වැඩිමහල්ලන් 24දෙනා දෙවිව මහිමවත් කරන්නේ කෙසේද?

“මාගේ මුහුණ දකින්ට ඔබට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත් නොවන්නේය.” (නික්මයාම 33:20) යෙහෝවා මෝසෙස්ට අවවාද කළේ එලෙසයි. මිනිසුන් සෑදී තිබෙන්නේ විනාශ වනසුලු මාංසයක් සහිතව හෙයින්, දෙවිගේ මහිමය මුහුණට මුහුණලා දරා සිටීමට ඔවුන්ට නොහැක. කෙසේවෙතත්, යෙහෝවා සිය තේජවත් සිංහාසනය මත වාඩි වී සිටින එක්තරා උත්කර්ෂණීය දර්ශනයක් ප්‍රේරිත යොහන්හට දෙන ලදි.—එළිදරව් 4:1-3.

2 මිනිසුන් මෙන් නොව, පක්ෂපාත ආත්ම මැවිලිවලට යෙහෝවාගේ මුහුණ දකින්නට හැකියාව තිබේ. ඔවුන් අතර, යොහන් ස්වර්ගීය දර්ශනය තුළ දකින 1,44,000දෙනාව නියෝජනය කරන ‘වැඩිමහල්ලෝ විසිහතරදෙනාද’ සිටිති. (එළිදරව් 4:4; 14:1-3) දෙවිගේ මහිමය තමන් දකින විට ඔවුන් ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? එළිදරව් 4:11ට [NW] අනුව ඔවුහු මෙසේ ප්‍රකාශ කරති. “යෙහෝවා, අපේ දෙවියනි, මහිමයත් ගෞරවයත් බලයත් ලබන්නට ඔබ වටින්නෙහිය. මන්ද, ඔබ සියල්ල මැව්වෙහිය. ඔබේ කැමැත්ත නිසා ඒවා ඇති විය. ඒවා මවන ලද්දේය.”

ඔවුන්ට ‘නිදහසට කරුණු නොමැති’ වීමට හේතු

3, 4. (අ) දෙවි කෙරෙහි ඇදහිල්ල දැක්වීම අවිද්‍යාත්මක නොවන්නේ මන්ද? (ආ) ඇතැම් අවස්ථාවලදී, දෙවි කෙරෙහි විශ්වාසය මුළුමනින්ම බැහැර කිරීමට හේතුව කුමක්ද?

3 දෙවිව මහිමවත් කිරීමට ඔබ පෙලඹෙන්නෙහිද? මිනිස් වර්ගයාගෙන් බහුතරයක්ම එසේ නොකරති. එපමණක්ද නොව, සමහරු දෙවි සිටින බව පවා ප්‍රතික්ෂේප කරති. නිදසුනක් වශයෙන්, එක් තාරකා විද්‍යාඥයෙක් මෙසේ ලීවේය. “අපගේම භාග්‍යයකට අපගේ ප්‍රයෝජනය උදෙසා දෙවියන් මැදිහත් වී විශ්වය මැව්වාද? . . . ඒක නම් හරි අපූරු අදහසක්. හැබැයි මම නම් හිතන්නේ එවන් විශ්වාසයක් මුළාවක් බවයි. . . . දෙවියන් විශ්වය මැව්වා කියා කීම සෑහීමකට පත් විය හැකි පිළිතුරක් නම් නොවේ.”

4 විද්‍යාත්මක පර්යේෂණවලට සීමා ඇත. ඒවා මිනිසුන්ට ඇත්තටම නිරීක්ෂණය කළ හැකි හෝ අධ්‍යයනය කළ හැකි දේට සීමා වෙයි. නොඑසේනම් ඒවා හුදු න්‍යායයන්ය. එසේත් නැත්නම් අනුමාන පදනම් කරගෙන සිදු කරන ව්‍යාපෘතියකි. “දෙවි ආත්මයක්” බැවින්, ඍජු විද්‍යාත්මක පර්යේෂණවලින් ඔහුව නිරීක්ෂණය කිරීමටවත් අධ්‍යයනය කිරීමටවත් නොහැක. (යොහන් 4:24) එබැවින්, දෙවි කෙරෙහි ඇදහිල්ල දැක්වීම අවිද්‍යාත්මකයයි කියා එකවරම බැහැර කිරීම අහංකාර ක්‍රියාවකි. කේම්බ්‍රිජ් සරසවියේ වින්සන්ට් විග්ල්ස්වර්ත් නම් විද්‍යාඥයා තම අදහස් පළ කරමින් කියා සිටියේ, විද්‍යාත්මක ක්‍රමයට අනුව යම් දෙයක් ගැන හැදෑරීමද “ඇදහිල්ලක්” කියායි. එසේ වෙන්නේ කෙසේද? “ස්වාභාවික සංසිද්ධීන් ‘ස්වාභාවික නීතිවලට’ අනුකූල වේය යන නොසැලෙන විශ්වාසය මත එය රඳා පැවතීම නිසායි.” එසේනම්, යමෙක් දෙවි කෙරෙහි විශ්වාසය ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔහු එක්තරා විශ්වාසයක සිට තවත් විශ්වාසයකට මාරු වෙනවා නොවේද? ඇතැම් අවස්ථාවලදී, දෙවිව අවිශ්වාස කිරීම පෙනෙන්නේ හිතා මතාම සත්‍යය ප්‍රතික්ෂේප කිරීමක් ලෙසටය. ගීතිකාකරු කීවේ මෙසේයි. “දුදනා උඩඟුකම නිසා දෙවි සොයා නොයයි. ‘දෙවි කෙනෙක් ලොවේ නැත’ යනු ඔහුගේ නිගමනයයි.”—ගීතාවලිය 10:4, නව අනුවාදය.

5. දෙවි කෙරෙහි අවිශ්වාසයක් තිබීම ගැන නිදහසට කරුණු ඉදිරිපත් කළ නොහැක්කේ මන්ද?

5 එහෙත්, දෙවි කෙරෙහි විශ්වාසය අන්ධ විශ්වාසයක් නොවේ. මන්ද, දෙවි සිටින බවට අපමණ සාක්ෂි තිබෙන නිසාය. (හෙබ්‍රෙව් 11:1) තාරකා විද්‍යාඥයෙක් වන ඇලන් සන්ඩේජ් මෙසේ පැවසීය. “[විශ්වයේ] සුවිශේෂ වූ ක්‍රමානුකූලත්වය නිකම්ම අවුල්සහගත තත්වයකින් පැමිණීම සිදු විය නොහැක්කක් ලෙසටයි මට පේන්නේ. යමක් ක්‍රමානුකූලව සංවිධානය කිරීමට මුල් වන තවත් යමක් තිබිය යුතුමයි. දෙවියන් යනු මට නම් අභිරහසකි. නමුත් මේ දේවල් පැවතෙන්නේ දෙවියන් නිසා කියා මම විශ්වාස කරමි.” රෝමයේ විසූ ක්‍රිස්තියානීන්ට ප්‍රේරිත පාවුල් පැවසුවේ මෙසේය. දෙවිගේ “අදෘශ්‍යමාන ගුණාංග එනම් ඔහුගේ සදාකාලික වූ බලය සහ දෙවිකම ලෝකය මැවීමේ පටන් පැහැදිලිව පෙනේ. සාදා තිබෙන දේවලින් ඒවා පැහැදිලි ලෙස වටහාගත හැකි නිසා තම නිදහසට ඉදිරිපත් කළ හැකි කිසි කරුණක් ඔවුන්ට [අවිශ්වාස කරන අයට] නැත.” (රෝම 1:20, NW) “ලෝකය මැවීමේ පටන්,” විශේෂයෙන්ම දෙවිගේ පැවැත්ම වටහාගත හැකි බුද්ධිමත් මිනිස් මැවිලිවල ආරම්භයේ පටන්, අතිවිශාල බලයක් සතු දෙවි කෙනෙක්, එනම් භක්තිය ලැබීමට වටින දෙවි කෙනෙක් සිටින බවට සාක්ෂි තිබේ. ඒ නිසා දෙවිගේ මහිමය පිළිගැනීමට බැරි අයට නිදහසට කරුණු නැත. එහෙත්, මැවිල්ලෙන් දෙන සාක්ෂි කවරේද?

විශ්වය දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි

6, 7. (අ) අහස දෙවිගේ මහිමය ප්‍රකාශ කරන්නේ කෙසේද? (ආ) අහස මගින් පොළොව මුළුල්ලේ ‘මායිම්’ තබන්නේ කවර අරමුණක් ඇතුවද?

6 ගීතාවලිය 19:1 පිළිතුරු දෙන්නේ මෙසේ පවසමිනි. “අහස දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි. ගුවන්තලය ඔහුගේ හස්ත කර්මාන්තය දක්වයි.” “ගුවන්තලය” හෙවත් වායුගෝලය තුළින් දිස් වුණු තරු සහ ග්‍රහ ලෝක මහිමාන්විත දෙවි කෙනෙකුගේ පැවැත්ම පිළිබඳව බිඳිය නොහැකි සාක්ෂි ඉදිරිපත් කළ බව දාවිත් වටහාගත්තේය. ඔහු තවදුරටත් මෙසේ කියයි. “එක් දිනක් තව දිනකට මෙපුවත කියන්නේය. එක් රැයක් තව රැයකට එයම පවසන්නේය.” (ගීතාවලිය 19:2, න.අ.) දිනෙන් දින රැයින් රැය අහසේ දක්නට ලැබෙන්නේ දෙවිගේ ප්‍රඥාව සහ මැවීමේ බලයයි. එය හරියට දෙවිට ප්‍රශංසා කරන කටහඬවල් අහසේ සිට ‘මෙපුවත කියන්නාක්’ මෙනි.

7 එහෙත්, මෙම සාක්ෂිය ඇසීමට විචාර බුද්ධිය අවශ්‍යය. “කතාවක්වත්, වචනයක්වත් නැත. ඒවායේ ශබ්දය නොඇසෙයි.” එහෙත්, අහසේ ඒ නිහඬ සාක්ෂිය ප්‍රබලය. “ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිර ගියේය.” (ගීතාවලිය 19:3, 4) එය හරියට, අහස මගින් පොළොවේ කෙළවර දක්වා ‘මායිම්’ තබා එහි සෑම සතරදිග්භාගයකම එම නිහඬ සාක්ෂියේ හඬ ඇසෙන්නට සලස්වනවාක් මෙනි.

8, 9. සූර්යයා සම්බන්ධව කැපීපෙනෙන දත්තයන් සමහරක් මොනවාද?

8 දාවිත් ඊළඟට විස්තර කරන්නේ යෙහෝවාගේ මැවිල්ලේ තවත් පුදුමාකාර දෙයකි. “එහි [අහස්තලයෙහි] ඔහු සූර්යයාට මණ්ඩපයක් පිහිටෙව්වේය. ඔහු තමාගේ භවනයෙන් නික්මෙන මනමාලයෙකු වැනිය, තමාගේ ගමන දුවන්ට ශක්තිමත් කෙනෙකු මෙන් ප්‍රීති වෙයි. ඔහුගේ නික්මයාම අහසේ කෙළවරෙන් වේ, වටේට යෑමත් එහි කෙළවර දක්වා වේ. ඒකේ රස්නය නොවැදෙන කිසිවක් නැත්තේය.”—ගීතාවලිය 19:4-6.

9 වෙනත් තාරකා සමඟ සසඳන කල, සූර්යයා මධ්‍යම ප්‍රමාණයේ තාරකාවකි. එහෙත් එය අතිවිශේෂ තාරකාවකි. ඒ වටා භ්‍රමණය වෙන ග්‍රහයන් ඊට සාපේක්ෂව කුරුමිට්ටන් බඳුය. එහෙත් එක්තරා මූලාශ්‍රයක සඳහන් වෙන්නේ, එය “ටොන් බිලියන බිලියන බිලියන දෙකක” ස්කන්ධයකින් යුක්ත බවයි. එනම්, අපගේ සම්පූර්ණ සෞර ග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් මෙය සියයට 99.9කි! සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් ඉන් කිලෝමීටර් මිලියන 150ක දුරකින් පොළොව භ්‍රමණය වෙන අතර, එය සූර්යයාගෙන් ඉවතට වීසි වන්නේවත් සූර්යයා වෙතට ඇදගනු ලබන්නේවත් නැත. සම්පූර්ණ සූර්ය ශක්තියෙන් අපගේ ග්‍රහයා වෙතට ඇදී එන්නේ ශක්තිය බිලියනයකින් එකක් පමණි. එනමුත් එය අපගේ ජීවිතය පෝෂණය කිරීමට ප්‍රමාණවත්ය.

10. (අ) සූර්යයා තම “මණ්ඩපයෙන්” නික්ම ඇවිත් නැවත ඒ තුළට යන්නේ කෙසේද? (ආ) සූර්යයා “ශක්තිමත් කෙනෙකු” මෙන් දිව යන්නේ කෙසේද?

10 ගීතිකාකරු සූර්යයා ගැන සංකේතමය භාෂාවෙන් කතා කරයි. එය “ශක්තිමත් කෙනෙකු” හා සසඳන ඔහු එය දිවා කාලයේදී එක් ක්ෂිතිජයකින් නැඟ ඇවිත් රාත්‍රි කාලයේදී අනෙක් ක්ෂිතිජයෙන් බැස ගොස් ‘මණ්ඩපයේ’ ලැගුම් ගන්නා බව කියමින් කදිම චිත්‍රයක් මවයි. ඒ බලවත් තාරකාව ක්ෂිතිජයේ ගිලී යද්දී, ගොඩ බිම සිට බලන්නෙකුට පෙනෙන්නේ හරියට නිදාගැනීමට “මණ්ඩපයක්” තුළට එය යන්නාක් සේය. හිමිදිරි උදෑසන එය හදිසියේම නැඟිට, “තමාගේ භවනයෙන් නික්මෙන මනාලයෙකු” සේ දීප්තිමත්ව නැඟී එයි. එඬේරෙකු වූ දාවිත් රාත්‍රියේ පවතින තද ශීතල ගැන හොඳින් දැන සිටියේය. (උත්පත්ති 31:40) හිරු කිරණ මගින් ඔහුවත් තමා අවට තිබූ තණබිම්ද ඉක්මනින්ම උණුසුම් වෙන අයුරු ඔහුට සිහි විය. පෙරදිගින් අපරදිගට යන ‘ගමනේදී’ වෙහෙසට පත් නොවූ “ශක්තිමත් කෙනෙකු” මෙන් යළිත් ගමන ආරම්භ කිරීමට සූර්යයා සැරසෙන බව පැහැදිලියි.

අරුම පුදුම තාරකාවෝ හා මන්දාකිණි

11, 12. (අ) බයිබලය තුළ තාරකාවල සංඛ්‍යාව වැලි හා සසඳා තිබීමේ විශේෂත්වය කුමක්ද? (ආ) විශ්වය කොතරම් විශාල විය හැකිද?

11 දුරේක්ෂයක් නොතිබූ දාවිත්ට දැකගත හැකි වූයේ තාරකා ස්වල්ප දහසක්පමණි. එහෙත්, එක් අධ්‍යයනයකට අනුව, නවීන දුරේක්ෂවලින් දෘශ්‍යමාන විශ්වයේ දැකිය හැකි මුළු තරු සංඛ්‍යාව සෙක්ස්ට්‍රිලියන 70ක් හෙවත් 7 ඉලක්කමට පසුව බිංදු 22ක් එකතු කළ පසු ලැබෙන සංඛ්‍යාවට සමානය! මේ අනුව, තාරකා සංඛ්‍යාව ‘මුහුදු වෙරළෙහි වැලි’ හා සන්සන්දනය කළ විට, තාරකා එවන් සුවිශාල සංඛ්‍යාවක් තිබෙන බවට යෙහෝවා ඇඟෙව්වේය.—උත්පත්ති 22:17.

12 බොහෝ කලක් මුළුල්ලේ තාරකා විද්‍යාඥයෝ, “හරි හැටි නොපැහැදිලි බොඳ වූ කුඩා ආලෝක ප්‍රදේශ කිහිපයක්” යයි විස්තර කරනු ලැබූ දේවල් නිරීක්ෂණය කළෝය. විද්‍යාඥයන් නිගමනය කළේ මෙම “සර්පිලාකාර නිහාරිකා” අපගේ ක්ෂීර පථ මන්දාකිණියේ තිබෙන වස්තූන් වූ බවයි. වර්ෂ 1924දී, වඩාත් ළඟින්ම පිහිටි එවන් නිහාරිකාවක් වූ ඇන්ඩ්‍රොමීඩා, ඇත්තෙන්ම මන්දාකිණියක්ම බව සොයාගැනිණි. එය පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ මිලියන දෙකක් තරම් ඈතිනි! මන්දාකිණි බිලියන ගණනාවක් තිබෙන බවටත් මේ එක් එක් මන්දාකිණිය තුළ තාරකා දහස් ගණනක් ඇතැම්විට බිලියන ගණනක් ඇති බවටත් දැන් විද්‍යාඥයන් ගණන් බලා තිබේ. එහෙත්, යෙහෝවා “තාරකාවන් ගණන් කොට, ඒ සියල්ලට නම් තබන්නේය.”—ගීතාවලිය 147:4.

13. (අ) තරු වැල්වල ඇති සුවිශේෂත්වය කුමක්ද? (ආ) විද්‍යාඥයන් “අහසේ නියෝග” නොදන්නා බව පැහැදිලි වන්නේ කෙසේද?

13 යෙහෝවා යෝබ්ගෙන් මෙසේ ඇසුවේය. “හත්දින්නේ තරු වැල බඳින්ට ඔබට පුළුවන්ද? නොහොත් මුවසිරසේ බැඳුම් මුදන්ට පුළුවන්ද?” (යෝබ් 38:31) තරු වැලක් යනු එක්තරා සුවිශේෂී රටාවකට පිහිටා ඇති බවට පෙනෙන තාරකා රාශියකි. තාරකාවන් එකිනෙක අතර ඇතැම්විට අතිවිශාල දුරකින් පිහිටා තිබුණද, පොළොවේ සිට බලන කෙනෙකුට පේන්නේ ඒවා එකිනෙකට සාපේක්ෂව නියත දුරකින් පිහිටා තිබෙන බවයි. ඒවායේ පිහිටීම් එතරම්ම නිවැරදි හෙයින්, එම තාරකා, “මුහුදු යාත්‍රාවලදීද, ගගනගාමීන්ට අජටාකාශ යානාවල පිහිටීම නිර්ණය කිරීමටද, තරු හඳුනාගැනීමටද උදව් වේ.” (දි එන්සයික්ලොපීඩියා අමෙරිකානා) එහෙත්, මෙම තරු වැල් එකිනෙකට බැඳ තබන්නාවූ ‘බැඳුම්’ සම්පූර්ණයෙන්ම වටහාගැනීමට කාටවත් නොහැක. එසේය, “ඔබ අහසේ නියෝග දන්නවාද?” කියා යෝබ් 38:33හි අසා ඇති ප්‍රශ්නයට පිළිතුරු දීමට විද්‍යාඥයන්ට තවමත් නොහැකිය.

14. ආලෝකය විහිදීම අභිරහසක් වන්නේ කිනම් අන්දමින්ද?

14 යෝබ් වෙත යොමු කරනු ලැබූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට විද්‍යාඥයන්ට බැරිය. එය නම්, ‘එළිය විහිදෙන්නේ මොන මාර්ගයෙන්දැයි’ යන්නය. (යෝබ් 38:24) ආලෝකය ගැන අසනු ලැබූ මෙම ප්‍රශ්නය එක් ලේඛකයෙකු හැඳින්වූයේ “නූතන විද්‍යාවේ ඉතා ගැඹුරු ප්‍රශ්නයක්” ලෙසටයි. මීට පටහැනිව, ඇතැම් ග්‍රීක දර්ශනවාදීන්ගේ අදහස වූයේ ආලෝකය නිකුත් වෙන්නේ මිනිස් ඇසෙන් බවයි. වඩාත් මෑත කාලවලදී විද්‍යාඥයන් විශ්වාස කළේ, ආලෝකය ඉතා කුඩා අංශුවලින් සෑදී තිබෙන බවය. තවත් සමහරුන් විශ්වාස කළේ එය චලනය වෙමින් තිබෙන තරංග බවයි. එනමුත්, ආලෝකය තරංගයක් මෙන්ම අංශුවක් ලෙස ක්‍රියා කරන බව අද දින විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. එහෙත්, ආලෝකයේ ස්වභාවය සහ එය ‘විහිදෙන’ අන්දම තවමත් සම්පූර්ණයෙන්ම තේරුම්ගත නොහැකියි.

15. දාවිත් මෙන්, අපටද අහස දෙස බලා කල්පනා කරන කල හැඟිය යුත්තේ කෙසේද?

15 මේ ගැන කල්පනා කරන කල, මෙසේ පැවසූ ගීතිකාකාර දාවිත් මෙන්ම යමෙකුට හැඟෙනවා නියතය. “ස්වකීය ඇඟිලි වැඩය වූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවූ සඳ හා තාරකාත් බලා කල්පනා කරන කල, ඔබ මනුෂ්‍යයා සිහි කිරීමට ඔහු කවරෙක්ද? ඔබ මනුෂ්‍ය පුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?”—ගීතාවලිය 8:3, 4.

පොළොව සහ එහි මැවිලි යෙහෝවාව මහිමවත් කරයි

16, 17. ‘ගැඹුරු තැන්වල’ වෙසෙන ජීවීන් යෙහෝවාට ප්‍රශංසා කරන්නේ කෙසේද?

16 මැවිල්ල යෙහෝවාව මහිමවත් කරන වෙනත් ආකාරයන් ගැන ගීතාවලිය 148වන පරිච්ඡේදය එකින් එකට විස්තර කරයි. මෙහි ගීතා 148:7වන [NW] පදයේ මෙසේ කියවීමට තිබේ. “යෝධ මුහුදු සත්වයෙනි, ගැඹුරු තැන් සියල්ලෙනි, පොළොවේ සිට යෙහෝවාට ප්‍රශංසා කරව්.” එසේය, දෙවිගේ ප්‍රඥාව සහ බලය හුවා දක්වන අරුම පුදුම දෑ ‘ගැඹුරු තැන්වල’ තිබේ. නිල් තල්මසාගේ බර ටොන් 120ක් පමණ වෙයි. එය ඇතුන් 30දෙනෙකුගේ බරට සමානය! උගේ හෘදය වස්තුව පමණක් කිලෝග්‍රෑම් 450ක් බර වන අතර, එමගින් උගේ සිරුර පුරා රුධිරය කිලෝග්‍රෑම් 6,400ක් පොම්ප කිරීමට හැකියි! මෙම මුහුදු පතාක යෝධයන් වතුරේ ගමන් කරන්නේ හෙමිහිට කම්මැළිකමින්ද? නැත. කොහෙත්ම නැත! උන් ‘සාගර හරහා ඊයක වේගයෙන්’ ගමන් කරන බව යුරෝපා තල්මසුන් අනවශ්‍ය ලෙස මැරීම වැළැක්වීමේ ව්‍යාපෘතිය මගින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. චන්ද්‍රිකා ආධාරයෙන් කරන ලද සමීක්ෂණවලින් පෙන්නුම් කර ඇත්තේ, “එක් මුහුදු නිල් තල්මසෙකු මාස දහයක් ඇතුළතදී කිලෝමීටර් 16,000ක දුරක් සංක්‍රමණය කර” ඇති බවය.

17 බෝතල් හැඩැති නාස් සහිත ඩොල්ෆිනයා සාමාන්‍යයෙන් මීටර් 45ක් තරම් ගැඹුරකට කිමිදෙයි. නමුත් ඩොල්ෆිනයෙක් කිමිදී ඇති වාර්තාගත ගැඹුරුම දුර මීටර් 547කි! මෙම ක්ෂීරපායී සත්වයා එතරම් ගැඹුරකට කිමිදුණත්, පණ බේරාගන්නේ කෙසේද? කිමිදෙන අතරතුරේදී උගේ හෘද ස්පන්දනය වඩාත් සෙමින් සිදු වන අතර, රුධිරය උගේ හෘදය වස්තුවට, පෙණහලුවලට සහ මොළයට යවනු ලැබේ. තවද, උගේ මාංස පේශිවල ඔක්සිජන් ගබඩා කරන රසායනික ද්‍රව්‍යයක් අඩංගු වේ. අලි සීල් මත්ස්‍යයා සහ කිරි තල්මසාට ඊටත් වඩා ගැඹුරකට කිමිදෙන්නට පුළුවන. “ඇති වන ජල පීඩනයට එරෙහි වෙනවා වෙනුවට, එම සත්තු එම පීඩනය දරාගැනීමට තම පෙණහලු සම්පූර්ණයෙන්ම හැකිළීමට සලස්වති” යයි ඩිස්කවර් සඟරාව කියයි. උන් තමන්ට අවශ්‍ය ඔක්සිජන් වායුවෙන් බොහොමයක් ගබඩා කරගන්නේ උන්ගේ මාංස පේශිවලයි. මෙම ජීවීන් සියලු බලැති දෙවි කෙනෙකු සතු ප්‍රඥාවට කදිම ලෙස සාක්ෂි දරන බව පැහැදිලිය!

18. මුහුදු ජලයෙන් යෙහෝවාගේ ප්‍රඥාව පෙනී යන්නේ කෙසේද?

18 මුහුදු ජලය පවා යෙහෝවාගේ ප්‍රඥාව පිළිබිඹු කරයි. සයන්ටිෆික් අමෙරිකන් යන සඟරාව මෙසේ පවසයි. “සාගරයේ මීටර් 100ක ගනකමකින් යුත් ඉහළ ජල ස්තරයේ සෑම ජල බිංදුවකම එහා මෙහා පාවෙන ක්ෂුද්‍ර පැළෑටි විශේෂයක් වන ශාක ප්ලවාංග දහස් ගණනක් අඩංගුය.” මෙම “අදෘශ්‍යමාන වනාන්තරය” වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන ගණනක් ඉවත් කරමින් අප ආශ්වාස කරන වාතය පිරිසිදු කරයි. අප ආශ්වාස කරන ඔක්සිජන්වලින් භාගයකටත් වඩා නිපදවෙන්නේ මෙම ශාක ප්ලවාංග මගිනි.

19. ගින්දර සහ හිම මගින් යෙහෝවාගේ කැමැත්ත ඉෂ්ට වන්නේ කෙසේද?

19 “ගිනි සහ ගල් වර්ෂාවෙනි, හිම සහ වාෂ්පයෙනි, ඔහුගේ ආඥාව ඉෂ්ට කරන මාරුතයෙනි” යයි ගීතාවලිය 148:8 කියයි. එසේය, යෙහෝවා තම කැමැත්ත ඉෂ්ට කිරීමට ස්වභාවධර්මයේ පණ නැති බලවේගයන්ද යොදාගනී. ගින්දර ගැන සලකා බලන්න. අතීතයෙහි ලැව් ගිනි සලකනු ලැබුවේ විනාශකාරී යමක් ලෙසට පමණි. එනමුත් වනාන්තර ගිනි ගැනීමෙන් පරිසරයට වැදගත් සේවාවක් ඉටු වන බවට ඒ පිළිබඳව පර්යේෂණ පවත්වන අය දැන් විශ්වාස කරති. ඒවා නම්, දිරාපත් වුණු සහ මිය යමින් තිබෙන ගස් ඉවත් කිරීම, බොහෝ බීජ රෝපණයට දායක වීම, පෝෂ්‍ය පදාර්ථ ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ ලැව් ගිනි ඇතිවීමේ අවදානම ඇත්තටම අඩු කිරීම යනාදියයි. හිමවලින් සිදු වන සේවයද අතිවිශාලය. එය පොළොව තෙමයි. පොළොව පෝෂණය කරමින් ගංගා ඇළ දොළ පුරවයි. අයිස් මිදෙන උෂ්ණත්වයෙන් ශාක සහ සතුන්ව ආරක්ෂා කරයි.

20. කඳු සහ ගස් මිනිස් වර්ගයාට ප්‍රයෝජනදායක වෙන්නේ කෙසේද?

20 “කඳු හා හෙල් සියල්ලෙනි, පල දෙන ගස් හා කිහිරි වෘක්ෂ සියල්ලෙනි,” යයි ගීතාවලිය 148:9 විස්තර සපයයි. මහා ප්‍රතාපවත් කඳු වනාහි යෙහෝවාගේ අතිශ්‍රේෂ්ඨ බලයට සාක්ෂීන්ය. (ගීතාවලිය 65:6) එහෙත්, ඒවායේද යම් ප්‍රයෝජනදායක අරමුණක් තිබේ. ස්විට්සර්ලන්තයේ බර්න්හි භූගෝලීය ආයතනයේ වාර්තාවක මෙසේ කියැවේ. “ලෝකයේ සියලුම ප්‍රධාන ගංගාවල ජලයේ ජල උල්පත් පිහිටා තිබෙන්නේ කඳුවලය. මිනිස් වර්ගයාගෙන් අඩකට වඩා වැඩිදෙනෙක් කඳුවල එකතු වෙන මෙම මිරිදිය ජලය මත රඳා සිටිති. . . . මෙම ‘ජල කුලුනු’ මිනිස් වර්ගයාගේ ශුභසාධනයට අතිශයින්ම වැදගත්ය.” සාමාන්‍ය ගසක් පවා එහි සෑදුම්කරුව මහිමයට පත් කරයි. එක්සත් ජාතීන්ගේ එක් පාරිසරික වැඩසටහනක් මගින් කරන ලද වාර්තාවක පැවසෙන්නේ මෙලෙසය. ගස් වනාහි “සියලුම රටවල ජනයාගේ ශුභසාධනය උදෙසා වැදගත්ය. . . . බොහෝ ශාක විශේෂයන්ගෙන් දැව, පලතුරු, ඇට වර්ග, දුම්මල හෙවත් රුක්ලාටු සහ මැලියම් වැනි නිෂ්පාදන ලබාගන්නා හෙයින් ඒවා ආර්ථික වශයෙන්ද මහත් වැදගත්කමක් ගනී. ලොව වටා බිලියන දෙකක ජනතාවක්, කෑම පිසීම සහ ඉන්ධන සඳහා රඳා සිටින්නේ දැව මතය.”

21. ශාක පත්‍රයක්, නිර්මාණයකට සාක්ෂි දරන අයුරු පැහැදිලි කරන්න.

21 ගසක් නිර්මාණය වී ඇති සැටියෙන් ප්‍රඥාවන්ත මැවුම්කරුවෙකු පිළිබඳ සාක්ෂි දක්නට ලැබේ. උදාහරණයක් වශයෙන් ශාකයක පත්‍රයක් ගැන සලකා බලන්න. මෙම ශාක පත්‍රය වියළී යෑම වළකාලීම පිණිස ඉටි ආලේපනයක් මගින් පිටත ආවරණය වී තිබේ. එම ආලේපනය එක්කම පහළින් උඩ පැත්තේ හරිතලව අඩංගු ශාක සෛල පෙළට තබා ඇත. ඒවායේ හරිතප්‍රද අඩංගු වන අතර, ආලෝක ශක්තිය ඉන් උරාගනී. ප්‍රභාසංශ්ලේෂණය යනුවෙන් හැඳින්වෙන ක්‍රියාවලියක් තුළින් මෙම ශාක පත්‍ර “ආහාර කර්මාන්ත ශාලා” බවට පත් වෙයි. ශාකයේ මුල් තුළින් ඇදගන්නා ජලය ඉතා සංකීර්ණ “ජලනල පද්ධතියක්” මාර්ගයෙන් ශාක පත්‍ර කරා ප්‍රවාහනය කෙරේ. ශාක පත්‍රයක යටි පැත්තේ තිබෙන (පූටිකා යනුවෙන් හැඳින්වෙන) ඉතා කුඩා “කපාට” දහස් ගණනක් විවෘත වෙමින් හා වැසෙමින් ශාක පත්‍රයට කාබන් ඩයොක්සයිඩ් වායුව උරාගැනීමට ඉඩ සලසයි. ආලෝකයෙන් ලැබෙන ශක්තිය මගින් ජලය හා කාබන් ඩයොක්සයිඩ් වායුව මිශ්‍ර වී කාබොහයිඩ්රේට් නිපදවේ. දැන් ශාකයට තමා විසින්ම සාදන ලද ආහාර තුළින් පෝෂණය වී වර්ධනය විය හැකියි. එහෙත්, මෙම “කර්මාන්ත ශාලාව” නිහඬය, අලංකාරය. පරිසරය දූෂණය කරනවා වෙනුවට, අතුරු පලයක් වශයෙන් එයින් ඔක්සිජන් වායුව පිට කරයි!

22, 23. (අ) ඇතැම් පක්ෂීන්ට හා ගොඩබිම වාසය කරන සත්වයන්ට ඇති පුදුමාකාර හැකියාවන් කවරේද? (ආ) අප තවදුරටත් සලකා බැලිය යුතු ප්‍රශ්න මොනවාද?

22 “තිරිසනුන් හා සියලු සිවුපාවෙනි, උරගුන් හා පියාඹන පක්ෂීනි,” යනුවෙන් ගීතාවලිය 148:10 කියයි. ගොඩබිම සැරිසරන සත්වයෝ සහ පක්ෂීහු පුදුමාකාර හැකියාවන් ප්‍රදර්ශනය කරත්. ලේසන් ඇල්බත්‍රොස් නමැති පක්ෂියාට ඉතා විශාල දුරක් පියඹා යෑමට පුළුවන (එක් අවස්ථාවකදී මෙම එක් පක්ෂියෙක් දවස් 90ක් ඇතුළත කිලෝමීටර් 40,000ක් පියඹා තිබිණි). හිස කලු රුසිරැවියා නම් වූ පක්ෂියාට උතුරු අමෙරිකාවේ සිට දකුණු අමෙරිකාව දක්වා පැය 80ක පමණ කාලයක් නොනවත්වා පියාඹන්නට පුළුවනි. බොහෝදෙනෙක් සිතන විදිහට ඔටුවෙක් වතුර ගබඩා කර තබාගන්නේ උගේ මොල්ලියේ නොවේ. නමුත් උගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළයි. මේ නිසා විජලන තත්වයකට පත් නොවී දිගු කලක් ජලය පිටින් නොගෙන සිටින්නට ඌට පුළුවනි. මේ අනුව, ඉංජිනේරුවන් යන්ත්‍ර සහ නව නිපැයුම් සැලසුම් කරන විට, සත්ව රාජධානිය ඉතා පරෙස්සමින් නිරීක්ෂණය කිරීම ගැන පුදුම වෙන්නට දෙයක් නැත. ගේල් ක්ලියර් නමැති ලේඛිකාව පවසන්නේ මෙසේයි. “ඔබට හොඳින් ක්‍රියාත්මක වන යමක් නිර්මාණය කරන්නට වුවමනා නම්, . . . එය තිබෙන්නට යන පරිසරයට මැනවින් ගැළපෙන සේ සැලසුම් කරන්නට නම්, ස්වභාවධර්මය තුළ තිබෙන යමකින් ඔබට ඒ සඳහා හොඳ ආකෘතියක් ලබාගත හැකි වන බවට කිසිම සැකයක් නැත.”

23 එසේය, මැවිල්ල සැබවින්ම දෙවිගේ මහිමය ප්‍රකාශ කරයි! තරුවලින් ගහන අහසේ සිට පොළොවේ ශාක හා සත්වයන් දක්වා, මේ සෑම දෙයක්ම එහි මැවුම්කරුට ප්‍රශංසාව ගෙන දෙයි. එහෙත් මිනිසුන් වන අප ගැන කුමක් කිව හැකිද? දෙවිට ප්‍රශංසා කරමින් ගී ගැයීමෙහිලා ස්වභාවධර්මය හා එක් වන්නට අපට හැක්කේ කෙසේද?

ඔබට මතකද?

• දෙවිගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන අයට නිදහසට කරුණු කිව නොහැක්කේ මන්ද?

• තාරකා සහ ග්‍රහ ලෝක දෙවිව මහිමවත් කරන්නේ කෙසේද?

• මුහුදේ සහ ගොඩබිමේ වෙසෙන සතුන් ප්‍රේමණීය මැවුම්කරුවෙකු පිළිබඳ සාක්ෂි සපයන්නේ කෙසේද?

• ස්වභාවධර්මයේ පණ නැති බලවේග යෙහෝවාගේ කැමැත්ත ඉෂ්ට කරන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

නිරීක්ෂණය කළ හැකි තාරකාවල සංඛ්‍යාව සෙක්ස්ට්‍රිලියන 70ක් බව විද්‍යාඥයෝ ගණනය කරති

[හිමිකම් විස්තර]

Frank Zullo

[12වන පිටුවේ පින්තූරය]

බෝතල් හැඩැති නාසයක් සහිත ඩොල්ෆිනයා

[13වන පිටුවේ පින්තූරය]

හිමමලක්

[හිමිකම් විස්තර]

snowcrystals.net

[13වන පිටුවේ පින්තූරය]

කුඩා ලේසන් ඇල්බත්‍රොස් කුරුල්ලා