Skip to content

පටුනට යන්න

අද කාලයේ දරුවන් පුහුණු කිරීමේ අභියෝගය

අද කාලයේ දරුවන් පුහුණු කිරීමේ අභියෝගය

අද කාලයේ දරුවන් පුහුණු කිරීමේ අභියෝගය

එක දවසක් රෑ ආපන ශාලාවක අයිතිකරුවෙක් එය වසා දමා ගෙදර යෑමට සූදානම් වෙමින් සිටියා. ඒ අවස්ථාවේදී ස්ත්‍රීන් දෙදෙනෙක් සහ දරුවෙක් ආපන ශාලාවට ඇවිත් කෑම ඇණවුම් කළා. මේ අයිතිකරු හුඟක් මහන්සි වී සිටි නිසා, දැන් ආපන ශාලාව වහලා කියලා කියන්නට ඔහුට සිතුණත් පසුව ඔවුන්ට කෑම පිළියෙල කර දෙන්න ඔහු තීරණය කළා. මේ ස්ත්‍රීන් දෙන්නා කතා කර කර කෑම කෑ අතර දරුවා ආපන ශාලාවේ හැම තැනම දුවමින් විස්කෝතු බිම දමා කකුලෙන් පොඩි කරමින් සෙල්ලම් කරමින් සිටියා. දරුවාගේ මව දරුවාව එයින් වළක්වන්නේ නැතුව සිනා සිසී බලා සිටියා. ඔවුන් ආපසු ගිය විට හෙම්බත් වී සිටි අයිතිකරුට ඔක්කොම සුද්ද කරන්න සිදු වුණා.

ඔබ දන්නා පරිදි මෙවැනි සැබෑ ජීවිත අද්දැකීම්වලින් කියාපාන්නේ බොහෝ පවුල්වල දරුවන්ව පුහුණු කිරීම නිසි ලෙස සිදු නොවන බවයි. මෙයට විවිධ හේතු තියෙන්න පුළුවන්. සමහර දෙමාපියන් තම දරුවන්ට කැමති දේවල් කරන්න ඉඩ දී තිබෙනවා. ඒ දෙමාපියන් සිතන්නේ දරුවන් නිදහස් පරිසරයක හැදී වැඩිය යුතුයි කියලයි. එසේත් නැත්නම් දෙමව්පියන් කොතරම් කාර්යබහුලද යත් ඔවුන් තම දරුවන්ට නිසි අවධානය හා අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා කාලය වැය කරන්නේ නැති වෙන්න පුළුවන්. තවත් සමහර දෙමාපියන් සිතන්නේ දරුවාට අත්‍යවශ්‍යම දේ පාසැල් අධ්‍යාපනය කියායි. ඒ නිසා දරුවා අධ්‍යාපන වැඩකටයුතුවලට දක්ෂ නම් සහ විශ්වවිද්‍යාලයට ඇතුල් වීමට තරම් සමර්ථකමක් දක්වයි නම් ඔහුට අසීමිත නිදහසක් භුක්ති විඳීමට ඉඩ දෙනවා.

කෙසේවෙතත්, සමහරුන්ගේ මතය නම් දෙමාපියන්ගේ මෙන්ම මුළු සමාජයේම සාරධර්මවල යම් සැකසීමක් කළ යුතු බවයි. ඔවුන් පෙන්නුම් කරන්නේ අද එන්න එන්නම දරුවන් සෑම ආකාරයකම අපරාධවලට සම්බන්ධ වන බවත් පාසැල් භූමිය තුළ සිදු වන සාහසික ක්‍රියා දවසින් දවස වඩා දරුණු වන බවත්ය. කොරියානු ජනරජයේ සියොල් නගරයේ (වයස අවුරුදු 12-15 දක්වා දරුවන් සිටින) පාසැලක විදුහල්පතිවරයෙක් අවධාරණය කළේ, මුලින්ම දරුවෙකුගේ පෞරුෂත්වය වර්ධනය කිරීම සඳහා නිසි පුහුණුවක් ලබා දිය යුතු බවයි. ඔහු පැවසුවේ “හොඳ චරිතයක් ගොඩනැඟුවාට පසු දැනුම ලබා දිය හැකියි” කියායි.

කෙසේවෙතත් තමන්ගේ දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුල් වී සාර්ථක වෙනවා දැකීමට කැමති බොහෝ දෙමාපියෝ අනතුරු ඇඟවීම්වලට කන් දෙන්නේ නැහැ. ඔබ දෙමාපියෙක් නම් ඔබේ දරුවා කුමන ආකාරයේ කෙනෙක් වෙනවා දකින්නද ඔබ කැමති? ඔහු සදාචාරමය ගතිගුණවලින් හෙබි, වගකීම් දැරිය හැකි වැඩිහිටියෙක් වනවාටද ඔබ කැමති? තවද අන්‍යයන් ගැන සලකන, තත්වයන්ට අනුව හැඩගැසිය හැකි, ඒ වගේම ශුභවාදී කෙනෙක් වනවාටද කැමති? එසේනම් කරුණාකර මීළඟ ලිපිය කියවා බලන්න.