Skip to content

පටුනට යන්න

ඇනබැප්තිස්තවරු යනු කවරහුද?

ඇනබැප්තිස්තවරු යනු කවරහුද?

ඇනබැප්තිස්තවරු යනු කවරහුද?

ජර්මනියේ වෙස්ට්ෆේලියා ප්‍රදේශයේ මූන්ස්ටර් නගරයට ප්‍රථම වතාවට පැමිණෙන අමුත්තෝ, එහි තිබෙන පල්ලියක කුලුනකින් එල්ලෙන යකඩ කූඩු තුන නැරඹීමට බොහෝවිට නතර වෙති. මෙම කූඩු ඉඳ හිට එම කුලුනෙන් ගලවා තිබුණත්, ඒවා වසර 500කට ආසන්න කාලයක් පුරා එම කුලුනේ එල්ලෙමින් තිබේ. ඒවායේ දමා තිබුණේ, ප්‍රසිද්ධියේ වධ දී ඝාතනය කරනු ලැබූ පුරුෂයන් තිදෙනෙකුගේ මළ සිරුරුයි. එම පුරුෂයන් ඇනබැප්තිස්තවරුන් වූ අතර, කූඩු ඔවුන්ගේ රාජධානියේ සිහිවටන වේ.

ඇනබැප්තිස්තවරු යනු කවරහුද? ඒ ආගමික කණ්ඩායම ආරම්භ වූයේ කෙසේද? ඔවුන්ගේ මූලික ඉගැන්වීම් මොනවාද? එම පුරුෂයන්ව ඝාතනය කරනු ලැබුවේ මන්ද? එම කූඩු තුන හා රාජධානියක් අතර ඇති සම්බන්ධය කුමක්ද?

පල්ලිය ප්‍රතිසංස්කරණය කරන්නේ කෙසේද?

පහළොස්වන ශතවර්ෂයේ අගභාගයේදී සහ දහසයවන ශතවර්ෂයේ මුල්භාගයේදී, රෝමානු කතෝලික පල්ලියට හා එහි පූජක පක්ෂයට එරෙහිව විවේචනය කිරීම වැඩි වන්නට විය. දූෂණය හා දුරාචාරය පල්ලියේ සාමාජිකයන් අතර පැතිරෙමින් තිබූ නිසා විශාල වෙනස්කම් කිරීමට අවශ්‍යය බව බොහෝදෙනෙකුට හැඟුණි. වර්ෂ 1517දී මාටින් ලූතර් ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රසිද්ධ ආයාචනයක් ඉදිරිපත් කළ අතර, වෙනත් අයද ඔහු හා එක් වූහ. ඉතා ඉක්මනින් රෙපරමාදු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය දියත් කෙරුණි.

එනමුත් කළ යුතු වන්නේ කුමක්ද, කොතරම් දුරකට දේවල් වෙනස් කළ යුතුද යන කාරණා ගැන ප්‍රතිසංස්කරණයට දිරි දුන් අය අතර ඒකාබද්ධ සැලැස්මක් නොතිබුණි. නමස්කාරය සම්බන්ධ කාරණාවලදී බයිබලයට එකඟව දේවල් කිරීමට තිබෙන අවශ්‍යතාව බොහෝදෙනෙකුට පැහැදිලි වූ නමුත් බයිබලයේ තිබෙන ඉගැන්වීම් සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණෙන්න ඔවුන්ට නොහැකි විය. ප්‍රතිසංස්කරණය මන්දගාමීව සිදු වූ බව ඇතමෙකුට හැඟී ගියේය. ඇනබැප්තිස්ත කණ්ඩායම බිහි වූයේ එවැනි අය අතරයි.

“ඇත්තවශයෙන්ම, බැප්තිස්ත කණ්ඩායම් එකක් නොව කිහිපයක් තිබුණි” යයි බැප්තිස්තවරුන්ගේ ඉතිහාසය හා එහි අර්ථය යනුවෙන් ජර්මන් භාෂාවෙන් හාන්ස් යර්ගන් ගර්ට්ස් ලියූ කෘතියේ සඳහන් වේ. උදාහරණයකට 1521දී ට්ස්විකව් අනාගතවක්තෘවරුන් යනුවෙන් හඳුන්වනු ලැබූ පුරුෂයෝ හතරදෙනෙක් විටන්බර්ග් නගරය තුළ ඇනබැප්තිස්ත ඉගැන්වීම් ගැන දේශනා කිරීමෙන් ආන්දෝලනයක් ඇති කළහ. තවද 1525දී තවත් ඇනබැප්තිස්ත කණ්ඩායමක් ස්විට්සර්ලන්තයේ සූරික්හි පිහිටුවන ලදි. මොරාවියාවෙහි (දැන් චෙක් සමූහාණ්ඩුවේ) සහ නෙදර්ලන්තයේද ඇනබැප්තිස්ත ජනාවාස බිහි විය.

බව්තීස්මය දරුවන්ටද වැඩිහිටියන්ටද?

ඇනබැප්තිස්ත ජනාවාස සාමාන්‍යයෙන් කුඩා ජනාවාස වූ අතර, බොහෝවිට ඒවායේ සාමාජිකයෝ සාමකාමී අය වූහ. ඔවුහු තම විශ්වාසයන් සඟවා නොගෙන, අන්‍යයන්ට ඒ ගැන දේශනා කළහ. ඇනබැප්තිස්ත ආගමේ මූලික ඉගැන්වීම්වල අර්ථය 1527දී ෂ්ලයිට්හයිම්ගේ විශ්වාස ප්‍රකාශයේ පැහැදිලි කරන ලදි. හමුදා සේවයෙන් වැළකීම, ලෝකයෙන් වෙන්ව සිටීම සහ වැරදිකරුවන්ව නෙරපා දැමීම එහි තිබූ මූලික ඉගැන්වීම් අතර සමහරකි. එනමුත් ඇනබැප්තිස්තවරුන්ව වෙනත් ආගම්වලින් පැහැදිලිවම වෙන් කළ විශේෂ ඉගැන්වීමක් වූයේ, බව්තීස්මය වැඩිහිටියන්ට මිස දරුවන් සඳහා නොවන දෙයක් බවට වූ ඔවුන්ගේ ස්ථිර විශ්වාසයයි. *

වැඩිහිටි බව්තීස්මය හුදෙක් ආගමික විශ්වාසයක් හා සම්බන්ධ මතභේදයක් වූයේ නැත. එය බලය තහවුරු කරගැනීම සම්බන්ධව හටගත් මතභේදයක් විය. කෙනෙකුට තමාගේ ඇදහිල්ල මත තීරණයක් ගැනීමට ඉඩහරිමින් වැඩිහිටිභාවයට පිවිසෙන තුරු බව්තීස්මය ප්‍රමාද කරනු ලැබුවා නම්, සමහරුන් බව්තීස්ම නොවීමට පවා ඉඩ තිබුණි. ඇරත් බව්තීස්ම නොවූ පුද්ගලයන්ට යම් ලෙසකින් පල්ලියේ නීති රීතිවලට යටත් නොවී සිටීමට හැකිකම තිබුණි. ඒ නිසා සමහර පල්ලි වැඩිහිටි බව්තීස්මය සැලකුවේ තමන්ට තිබෙන බලය අහිමි වීමට සලස්වන යමක් ලෙසය.

මේ නිසා කතෝලිකයන් හා ලූතරන් සභාවල සාමාජිකයන් වැඩිහිටියන් පමණක් බව්තීස්ම කිරීමේ සිරිත අත්හැරීමට කැමැත්තක් දැක්වූහ. වර්ෂ 1529න් පසුව, වැඩිහිටි බව්තීස්මය පමණක් අනුමත කළ අයට හෝ වැඩිහිටිභාවයට පැමිණ බව්තීස්ම වූ අයට, යම් ප්‍රදේශවල මරණ දණ්ඩනය ලැබීමට පවා ඉඩ කඩ තිබුණි. “ජර්මනියේ ශුද්ධ රෝම අධිරාජ්‍යය පුරා” ඇනබැප්තිස්තවරුන් “කුරිරු හිංසා පීඩාවලට ලක් කරනු ලැබූ” බව පුවත්පත් ලේඛක තෝමස් සිෆර්ට් පැහැදිලි කරයි. හිංසා පීඩාවල උච්ච අවස්ථාව පැමිණියේ මූන්ස්ටර් නගරයේදීය.

මධ්‍යකාලීන මූන්ස්ටර් වෙනසක් සොයයි

මධ්‍යකාලීන මූන්ස්ටර් නගරයේ වැසියන් 10,000ක් පමණ සිටි අතර එම නගරය වටේට බිඳ හෙළිය නොහැකි ශක්තිමත් බලකොටු තිබුණි. පළලින් මීටර් 90ක සහ වට ප්‍රමාණයෙන් කිලෝමීටර් 5ක නගර සීමාවක් වටා එම බලකොටු ඉදි කර තිබුණි. නගරයට හොඳ ආරක්ෂාවක් තිබුණත් නගරය ඇතුළත තිබුණේ අස්ථිර තත්වයකි. “නගර සභිකයන් හා ආගමික කණ්ඩායම්වල සාමාජිකයන් අතර දේශපාලනික ආරවුල්” තිබූ බව මූන්ස්ටර් නගරයේ කෞතුකාගාරය මගින් ප්‍රකාශයට පත් වූ ඇනබැප්තිස්තවරුන්ගේ රාජධානිය (සිංහලෙන් නොමැත) නමැති ලිපියේ සඳහන් වේ. තවදුරටත් පූජක පක්ෂය හැසිරුණු ආකාරය ප්‍රදේශ වාසීන්ට රිස්සුවේ නැත. මූන්ස්ටර් නගර වාසීන් ප්‍රතිසංස්කරණයට සහයෝගය දැක්වූ අතර කතෝලික නගරයක් වූ එය 1533දී ලූතරන් ආගම පැතිරුණු නගරයක් බවට පත් විය.

මූන්ස්ටර් නගරයේ ප්‍රතිසංස්කරණයට දායක වූ ප්‍රධාන පෙළේ දේශනාකරුවෙක් වූයේ බර්න්හාට් රොට්මාන් නමැත්තාය. ඔහු තරමක ආවේගශීලී පුද්ගලයෙක් විය. රොට්මාන්ට “ඇනබැප්තිස්ත ආකල්ප තිබූ බව ඉතා පැහැදිලිව දක්නට තිබුණි. මක්නිසාද ඔහු සහ ඔහුගේ සගයන් ළදරුවන්ව බව්තීස්ම කිරීම ප්‍රතික්ෂේප” කළ බව ලේඛක ෆ්‍රෙඩ්‍රීක් ඕනිංගර් පැහැදිලි කරයි. ඔහුට ඇත්තේ අන්තයටම ගිය විප්ලවවාදී අදහස්යයි සමහරුන් සිතුවත්, මූන්ස්ටර් නගරය තුළ වැසියන් බොහෝදෙනෙකුගේ අනුග්‍රහය ඔහුට ලැබුණි. “පරණ ආගමික ක්‍රමයට ප්‍රිය කළ අය ටිකෙන් ටික නගරයෙන් පිට වූහ. ඊට හේතුව, ඔවුන් අන්තරායක පෙරනිමිති දුටු නිසා ඔවුන්ට නොසන්සුන්බවක් දැනීමය. තමන්ගේ බලාපොරොත්තු ඉටු වෙනවා දැකීම සඳහා වෙනත් තැන්වල සිටි ඇනබැප්තිස්තවරු මූන්ස්ටර් නගරයට එක් රොක් වෙන්න පටන්ගත්හ.” ඇනබැප්තිස්තවරුන් මූන්ස්ටර් නගරයට මෙසේ ඒකරාශි වීම බියකරු සිද්ධියකට මඟ පෑදීය.

නව යෙරුසලම වටලයි

හාලම් නගරයෙන් පැමිණි පාන් වෙළෙන්දෙක් වූ යාන් මාතිස් සහ ලයිඩන්හි ජොන් යනුවෙන් ප්‍රසිද්ධ වූ යාන් බොකල්සන් යන දෙදෙනා මූන්ස්ටර්වලට පැමිණි ලන්දේසි සංක්‍රමණිකයෝ වූහ. අවසානයේදී, ඔවුන් දෙදෙනා කළ දේවල් එම නගරයට ප්‍රබල බලපෑමක් ඇති කළේය. තමා අනාගතවක්තෘවරයෙක්යයි කියා සිටි මාතිස්, 1534 අප්‍රියෙල් මාසය ක්‍රිස්තුස්ගේ දෙවෙනි පැමිණීම සිදු වන කාලය බව ප්‍රකාශ කළේය. මූන්ස්ටර් නගරය බයිබලයේ සඳහන් නව යෙරුසලමයයි නම් කරනු ලැබූ අතර, මේ නිසා තමන් මහ විනාශයක අබියස සිටිනවායයි හැඟීමක් නගර වැසියන් අතර පැතිරෙන්නට විය. සියලු දේපොළ සියලුදෙනා එක සේ භුක්ති විඳිය යුතු බව රොට්මාන් තීරණය කළේය. බව්තීස්ම වෙනවාද පිට වී යනවාද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ප්‍රදේශයේ විසූ වැඩිහිටි වැසියන්ට සිදු විය. බව්තීස්ම වූ විශාල සමූහයන් අතර තමන්ගේ නිවාස සහ දේපොළ අත්හැර යෑමට සිදු වන නිසාම බව්තීස්ම වූ අයද සිටියහ.

ඇනබැප්තිස්තවරුන් වඩාත්ම ප්‍රබල ආගමික හා දේශපාලනමය බලවේගය වශයෙන් නැඟී සිටි ප්‍රථම නගරය ලෙසට මූන්ස්ටර් පත් වෙද්දී, වෙනත් ආගමික කණ්ඩායම් තැතිගෙන බලා සිටියහ. මූන්ස්ටර්හි බැප්තිස්තවරු නමැති ජර්මන් භාෂාවෙන් පළ වූ පොතට අනුව, “ජර්මනියේ පිහිටි මුළු ශුද්ධ රෝම අධිරාජ්‍යයේම විරෝධය මූන්ස්ටර්” නගරයට එල්ල විය. එම ප්‍රදේශයේ උසස් තනතුරක් දැරූ බිෂොප් කවුන්ට් ෆ්‍රාන්ට්ස් ෆොන් වාල්ඩෙක් කුමාරයා, මූන්ස්ටර් නගරය වටලෑමේ අදහසින් හමුදාවක් සූදානම් කරගත්තේය. එම හමුදාව ලූතරන්වරුන්ගෙන් හා කතෝලිකයන්ගෙන් සකස් වූ එකකි. මේ දක්වා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් එකිනෙකාට විරුද්ධව පැතිගෙන සිටියාවූ සහ පසු කලෙක වසර තිහක් පුරා පැවති යුද්ධයේදී එකිනෙකා මරා දැමුවාවූ, මෙම ආගම් දෙක ඇනබැප්තිස්තවරුන්ට විරුද්ධව සටන් කිරීමට සන්ධාන වූහ.

ඇනබැප්තිස්ත රාජධානිය විනාශ වූ ආකාරය

නගරයේ පවුරුවලින් ආරක්ෂා වූ අය නගරය වටලමින් සිටි හමුදාවේ බලය දැක ත්‍රාසයට පත් වූයේ නැත. ක්‍රිස්තුස්ගේ දෙවන පැමිණීම සිදුවීමට නියමිතව තිබූ බව පැවසූ 1534 අප්‍රියෙල් මාසයේදී, දිව්‍ය ආරක්ෂාව බලාපොරොත්තු වූ මාතිස් සුදු අශ්වයෙකු පිට නැඟ නගරයෙන් පිටතට ගියේය. නගරය ඇතුළේ සිට පවුරු උඩින් එබිකම් කළ මාතිස්ගේ ආධාරකරුවන්, නගරය වටලමින් සිටි හමුදාවන් විසින් මාතිස්ව කැබලිවලට කපා ඔහුගේ හිස කණුවක ඇන එසවූ හැටි දුටු විට ඔවුන් තුළ මොන තරම් බියක් ඇති වන්නට ඇද්ද!

ලයිඩන්හි ජොන්, මාතිස්ගේ අනුප්‍රාප්තිකයා බවට පත් වූ අතර මූන්ස්ටර්හි විසූ ඇනබැප්තිස්තවරුන්ගේ යාන් රජු යනුවෙන් ඔහුව හඳුන්වනු ලැබීය. එම නගරයේ පුරුෂයන්ට වඩා ස්ත්‍රීන්ගේ සංඛ්‍යාව අධික වූ නිසා, එයට පිළියමක් වශයෙන් තමන්ට රිසි පරිදි භාර්යාවන් ඕන තරමක් විවාහ කරගැනීමට ඔහු පුරුෂයන්ට දිරිගැන්නුවේය. පරදාර සේවනය සහ වේශ්‍යාකම මරණීය දඬුවම ලැබිය හැකි වැරදි ලෙස සලකනු ලැබුවත්, බහුභාර්යා සේවනයට නම් අවසරය පමණක් නොව දිරිගැන්වීමද දීම ඇනබැප්තිස්තවරුන්ගේ රාජධානිය තුළ සිදු වූ අන්තයටම ගිය දේවල් සමහරකි. යාන් රජ පෞද්ගලිකව භාර්යාවන් 16දෙනෙකුව සරණපාවා ගත්තේය. එලීසබෙත් වාන්ට්ෂේරර් නම් වූ ඔහුගේ එක්තරා බිරිඳක් නගරය අත්හැර යෑමට ඔහුගෙන් අවසර අයැද සිටි විට, ප්‍රසිද්ධියේ ඇයගේ හිසගසා මරා දමන ලදි.

මාස 14ක් පුරා වටලෑම දිගටම පැවති අතර අවසානයේදී වර්ෂ 1535 ජූනි මාසයේදී නගරය අල්ලාගනු ලැබීය. මූන්ස්ටර් නගරයට විශාල විනාශයක් එමගින් සිදු විය. එවැනි විනාශයක් දෙවන ලෝක යුද්ධය වන තෙක් එම නගරය දුටුවේ නැත. රොට්මාන් දිවි ගලවාගත්තේය. නමුත් යාන් රජු සහ ඇනබැප්තිස්තවරුන්ගේ තවත් ප්‍රධානීන් දෙදෙනෙකුව අල්ලාගනු ලැබ, වධ හිංසා දී ඝාතනය කරනු ලැබීය. ඔවුන්ගේ මළ සිරුරු කූඩුවල දමා සාන්ත ලාම්බර්ට්ගේ පල්ලියේ කුලුනේ එල්ලන ලදි. එසේ කළේ “සියලුම අනාගතික කලහකාරයන්ට තැතිගන්වනසුලු අනතුරු ඇඟවීමක් ලෙසටයි” කියා සීෆර්ට් පැහැදිලි කරයි. එසේය, දේශපාලනයට ඇඟිලි ගැසීමට යෑමෙන් භයානක ප්‍රතිඵල අත් විය.

වෙනත් ඇනබැප්තිස්ත ජනාවාසවලට සිදු වූයේ කුමක්ද? යුරෝපයේ වසර ගණනාවක් පුරා හිංසා පීඩා කිරීම් සිදු විය. ඇනබැප්තිස්තවරුන්ගෙන් බහුතරයක් ඔවුන්ගේ අවිහිංසාවාදී ප්‍රතිපත්තිවලට ඇලී සිටි නමුත් කලහකාරී සුළුතරයක්ද ඒ අතර වූහ. ඉන්පසුව කලින් පූජකයෙක්ව සිටි මෙන්නෝ සයිමන්ස් ඇනබැප්තිස්තවරුන් අතර නායක ධුරය භාරගත්තේය. අවසානයේදී ඔවුන්ව මෙන්නෝනිවරුන් ලෙස හෝ වෙනත් නම්වලින් ප්‍රසිද්ධ විය.

කූඩු තුන

මූලිකව ගත් කල, ඇනබැප්තිස්තවරු බයිබල් ප්‍රතිපත්තිවලට ඇලී සිටීමට වෑයම් කළ, ආගමට ලැදි සමූහයක් වූහ. එනමුත් එම පරමාර්ථය අත්හැර දමා දේශපාලනයේ පැටලීමට මූන්ස්ටර් නගරයේ විසූ විප්ලවවාදීහු ඇනබැප්තිස්තවරුන්ට දිරි දුන්හ. එවන් ක්‍රියාමාර්ගයක් ඔවුන් අනුගමනය කළ විට, ඔවුහු විප්ලවවාදී බලවේගයක් බවට පත් වූහ. මෙය ඇනබැප්තිස්ත කණ්ඩායමටත් මධ්‍යකාලීන මූන්ස්ටර් නගරයටත් මහත් විනාශයක් ගෙන දුණි.

වසර 500කට පමණ ඉහතදී සිදු වූ මෙම තැතිගන්වනසුලු සිදුවීම් ගැන එම නගරයට පැමිණෙන අමුත්තන්ට තවමත් සිහිගන්වනු ලබයි. ඒ කෙසේද? පල්ලියේ කුලුනෙන් එල්ලෙන යකඩ කූඩු තුන මගිනි.

[පාදසටහන]

^ 9 ඡේ. මෙම ලිපියේ දරුවන්ව බව්තීස්ම කිරීම සුදුසුද නැද්ද යන තර්කය පිළිබඳව සාකච්ඡා නොකෙරේ. එම විෂය පිළිබඳ වැඩිමනත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් 1986 ජූනි 1 මුරටැඹ කලාපයේ “ළදරුවන් බව්තීස්ම කළ යුතුද?” යන ලිපිය බලන්න.

[13වන පිටුවේ පින්තූර]

යාන් රජුට වධ දී ඝාතනය කර, සාන්ත ලාම්බර්ට් පල්ලියේ කුලුනේ එල්ලා තබන ලදි