Skip to content

පටුනට යන්න

ඔබේ ජීවිතය නමැති ත්‍යාගය නිසි ලෙස අගය කරන්න

ඔබේ ජීවිතය නමැති ත්‍යාගය නිසි ලෙස අගය කරන්න

ඔබේ ජීවිතය නමැති ත්‍යාගය නිසි ලෙස අගය කරන්න

“අප ජීවමාන දෙවිට පරිශුද්ධ සේවය පිරිනමන පිණිස, ක්‍රිස්තුස්ගේ ලෙයින් අපේ හෘදය සාක්ෂිය මළ ක්‍රියාවලින් කොපමණ වැඩියෙන් පිරිසිදු කරනු නොලබන්නේද?”—හෙබ්‍රෙව් 9:14, NW.

1. ජීවිතය උසස් වටිනා දෙයක් ලෙස අප සලකන බවට තිබෙන සාක්ෂි මොනවාද?

ඔබේ ජීවිතයට වටිනාකමක් නියම කරන ලෙස ඔබට පවසනු ලැබුවොත්, ඔබ කොතරම් වටිනාකමක් එයට දෙනු ඇද්ද? අපි අපේ ජීවිතය පමණක් නොව අනුන්ගේ ජීවිතද බොහෝ සෙයින් වටිනා බව පිළිගන්නෙමු. අප අසනීප වූ විට හෝ විටින් විට සෞඛ්‍ය පරීක්ෂණ සඳහා හෝ වෛද්‍යවරයෙක් වෙත යෑමෙන් ඒ බව මනාව පැහැදිලි වේ. සෞඛ්‍ය සම්පන්නව ජීවිතය ගෙන යෑමටයි අපට වුවමනා වන්නේ. තවද මහලු හෝ ආබාධිත බොහෝදෙනෙකුට පවා මිය යෑමට කිසිම වුවමනාවක් නැත. ඔවුන්ද ආශා කරන්නේ ජීවත් වීමටය.

2, 3. (අ) හිතෝපදේශ 23:22 කාවද්දන්නේ කිනම් බැඳීම ගැනද? (ආ) හිතෝපදේශ 23:22 සඳහන් බැඳීමට දෙවි සම්බන්ධ වන්නේ කෙසේද?

2 ජීවිතය ගැන ඔබ කරන තක්සේරුව අනුන් සමඟ ඔබට තිබෙන සම්බන්ධතාවන්ට බලපායි. නිදසුනක් වශයෙන්, දෙවිගේ වචනයේ මෙසේ මඟ පෙන්වයි. “ඔබ ජනිත කළ ඔබේ පියාගේ බස් අසන්න. ඔබේ මෑණියන් මහලු වූ කල ඈ සුළු නොකරන්න.” (හිතෝපදේශ 23:22) “අසන්න” කීමෙන් අදහස් වන්නේ කියන වචන නිකම් අසාගෙන සිටීමක් නොවේ. මෙම හිතෝපදේශයේ අදහස නම් අසා හෙවත් ඇහුම්කන් දී ඉන්පසුව ඊට කීකරු වීමයි. (නික්මයාම 15:26; ද්විතීය කථාව 7:12; 13:18; 15:5; යෝෂුවා 22:2; ගීතාවලිය 81:13) දෙමාපියන්ට ඇහුම්කන් දෙන්න කියා දේවවචනය ඉල්ලා සිටින්නේ කුමන හේතුව නිසාද? ඒ ඔබගේ පියා සහ මව ඔබට වඩා වයසින් වැඩි නිසා හෝ ඔබට වඩා වැඩියෙන් ජීවිතයේ අද්දැකීම් ලබා තිබෙන නිසා හෝ නොවේ. මෙහි හේතුව වශයෙන් දී තිබෙන්නේ, ඔවුන් ‘ඔබව ජනිත කිරීමයි.’ ඇතැම් අනුවාදවල මෙම පදය පරිවර්තනය කර ඇත්තේ මෙසේයි. “ඔබට ජීවය දුන් පියාගේ බස් අසන්න.” ඔබ ජීවිතය වටිනා දෙයක් ලෙස සලකනවා නම්, ඒ ජීවිතය ඔබට ලබා දුන් ඔබේ දෙමාපියන් සමඟ තිබෙන බැඳීම ඔබ තේරුම්ගන්නෙහිය.

3 ඇත්තවශයෙන්ම, ඔබ සැබෑ ක්‍රිස්තියානියෙකු නම්, ඔබේ ජීවිතයේ උල්පත යෙහෝවා බව ඔබ පිළිගන්නා බවට සැකයක් නැත. ඔබට “ජීවනය තිබෙන්නෙත්” හැඟීම් දැනෙන ජීවියෙකු හැටියට ඔබ “ක්‍රියා කරන්නෙත්” ඔබ දැන් “පවතින්නෙත්” ඔබ කල්පනා කරන්නෙත් ඔබගේ සදාතන ජීවිතය ඇතුළු අනාගතය උදෙසා ඔබ සැලසුම් කරන්නෙත් එම නිසාය. (ක්‍රියා 17:28, NW; ගීතාවලිය 36:9; දේශනාකාරයා 3:11) හිතෝපදේශ 23:22 පවසන දේට අනුව, දෙවි කියන දේ ‘අසා’ කීකරු වීම තමයි හරි දෙය වන්නේ. ජීවිතය ගැන වෙන කිසිවෙකු කරන තක්සේරුවට වඩා ඒ පිළිබඳව දෙවිගේ දෘෂ්ටිය වටහාගෙන ඒ අනුව ක්‍රියා කිරීමට කැමති වීමයි හරි දෙය වන්නේ.

ජීවිතයට ගෞරව කරන්න

4. මිනිස් ඉතිහාසයේ මුල් අවදියේදීම, ජීවිතයට ගෞරව කිරීම වැදගත් කාරණයක් බවට පත් වූයේ කෙසේද?

4 මිනිසාගේ ඉතිහාසයේ ආරම්භයේදී, යෙහෝවා පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ කෙනෙකුට තමාට කැමති ලෙස ජීවිතය ගත කිරීමට (හෝ කිසිම හේතුවක් නිසා ඊට හානි කිරීමට) දෙවි විසින් ඉඩහැර නැති බවයි. ඊර්ෂ්‍යාසහගත කෝපයෙන් වියරු වැටුණු කායින් අහිංසක ජීවිතයක් විනාශ කළේය. ඒ සිය සහෝදරයා වූ ආබෙල්ගේ ජීවිතයයි. ජීවිතය ගැන එවන් තීරණයක් ගැනීමට කායින්ට අයිතියක් තිබුණා කියා ඔබ සිතනවාද? දෙවි නම් එසේ සිතුවේ නැත. ඔහු කායින්ව අමතා කායින් තම සහෝදරයාගේ මරණයට වගකිව යුතු බව පැවසුවේ මෙසේ කියමිනි. “ඔබ කුමක් කළෙහිද? ඔබේ සහෝදරයාගේ ලෙයේ ශබ්දය භූමියෙන් මට හඬගසයි.” (උත්පත්ති 4:10) ආබෙල්ගේ ජීවිතය නියෝජනය කළ ඔහුගේ රුධිරය ඔහුගේම ජීවිතය ඉල්ලා පොළොවෙන් හඬ නැඟූ අයුරු බලන්න. මේ ජීවිතය කුරිරු ලෙස අමු අමුවේ මරා දමා ඇත. තවද ඒ ගැන පළිගන්නා මෙන් ඔහුගේ ලේ දෙවිට මොරගැසුවේය.—හෙබ්‍රෙව් 12:24.

5. (අ) නෝවාගේ දවස්වලදී දෙවි පැනවූ තහනම් නියෝගය කුමක්ද? එය අදාළ වූයේ කාටද? (ආ) මෙම තහනම වැදගත් පියවරක් වූයේ කිනම් අර්ථයෙන්ද?

5 ජලගැල්මට පසුව, මිනිස් වර්ගයාට නව ආරම්භයක් ලැබුණේ පුද්ගලයන් අටදෙනෙකුගෙනි. සියලු මිනිස් වර්ගයාට අදාළ වන්නාවූ ප්‍රකාශයක් කරමින්, ජීවිතයේ සහ රුධිරයේ ඇති අතිඋසස් වටිනාකම ගැන තව කාරණා දෙවි හෙළි කළේය. මිනිසුන්ට සත්ව මාංස ආහාරයට ගත හැකි බව කියා සිටියද, දෙවි මෙම තහංචිය පැනවීය. “එහා මෙහා යන පණ ඇති සියල්ල ඔබට ආහාර වන්නේය. නිල් පලා ජාති මෙන් උන් සියල්ලන් මම ඔබට දුනිමි. නමුත් මාංසය එහි ප්‍රාණය වන රුධිරය සමඟ නොකෑ යුතුය.” (උත්පත්ති 9:3, 4) ඇතැම් යුදෙව්වන් එම පදයට අර්ථකථනයක් දෙමින් කියා සිටියේ මිනිසුන් පණ තිබෙන සතුන්ගේ මාංසය හෝ රුධිරය නොකෑ යුතු බවය. එහෙත් කල් යත්ම, පැහැදිලිව පෙන්වනු ලැබුවේ ජීවිතය පෝෂණය කිරීම සඳහා රුධිරය කෑමට ගැනීම දෙවි තහනම් කළ බවය. එපමණක්ද නොව, දෙවි විසින් නෝවාට දෙන ලද ආඥාව, රුධිරය සම්බන්ධ ඔහුගේ උදාර අරමුණ ක්‍රියාත්මක කිරීමට ගන්නා ලද ප්‍රධාන පියවරක් විය. රුධිරය සම්බන්ධ එම අරමුණ මිනිසුන්ට සදාකාල ජීවනය ලබාගැනීමට හැකියාව ලබා දෙන අරමුණකි.

6. නෝවා තුළින් දෙවි ජීවිතයේ වටිනාකම ගැන සිය දෘෂ්ටිය අවධාරණය කළේ කෙසේද?

6 දෙවි තවදුරටත් පැවසුවේ මෙසේයි. “ඔබගේ ජීවිතය වන ඔබගේ ලේ ගැන පළිගන්නෙමි. සියලු මෘගයන් අතින්ද පළිගන්නෙමි. මනුෂ්‍යයාගේ ජීවිතය ගැන මනුෂ්‍යයා අතින් එනම් ඔහුගේ සහෝදර වූ එක් එක් කෙනා අතින් පළිගන්නෙමි. දෙවි තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා සෑදූ බැවින් යමෙක් මනුෂ්‍යයාගේ ලේ වගුරුවන්නේද ඔහුගේ ලේ මනුෂ්‍යයා විසින් වගුරුවනු ලබන්නේය.” (උත්පත්ති 9:5, 6) මිනිසාගේ රුධිරය ඔහුගේ ජීවිතය නියෝජනය කරන්නේය යන කාරණය සකල මිනිස් පවුලටම දෙවි පවසන බව ඔබට මින් දැකගත හැකිය. පුද්ගලයෙකුට ජීවිතය දෙන්නේ දෙවිය. එසේනම්, කිසිවෙක් රුධිරය මගින් නියෝජනය වන්නාවූ එම ජීවිතය විනාශ නොකළ යුතුය. කායින් මෙන් යමෙක් මිනී මැරුවහොත් මිනී මරුවාගේ ජීවිතයෙන් ‘පළිගැනීමට’ හෙවත් ජීවිතය ආපසු ගැනීමට මැවුම්කරුට අයිතියක් තිබේ.

7. රුධිරය සම්බන්ධයෙන් දෙවි කළ ප්‍රකාශයන් ගැන අප උනන්දු විය යුත්තේ මන්ද?

7 මෙම ප්‍රකාශය මගින්, දෙවි මිනිසුන්හට මඟ පෙන්වමින් සිටියේ රුධිරය අනිසි ලෙස භාවිත නොකරන ලෙසටයි. ඔබ කවදා හෝ දෙවි එසේ ආඥා කළේ ඇයි කියා කල්පනා කර තිබෙනවාද? එලෙසම, දෙවි රුධිරය පිළිබඳව එවන් දෘෂ්ටියක් දැරීමට හේතුව කවරේද? ඇත්තවශයෙන්ම, මීට දිය හැකි පිළිතුර බයිබලයේ තිබෙන වඩාත්ම වැදගත් ඉගැන්වීමකට සම්බන්ධය. ක්‍රිස්තියානි පණිවිඩයේ මූලිකම හරය හා එය මුසු වී තිබේ. නමුත් ක්‍රිස්තියානි පල්ලි බොහොමයක් එය නොසලකාහැර තිබේ. ඒ ඉගැන්වීම කුමක්ද? තවද, ඔබගේ ජීවිතය, ඔබ ගන්නා තීරණ හා ඔබගේ ක්‍රියා ඊට සම්බන්ධ වන්නේ කෙසේද?

රුධිරය නිසි ලෙස භාවිත කළ හැක්කේ කෙසේද?

8. යෙහෝවා නීතිය තුළින් රුධිරය භාවිතය සම්බන්ධයෙන් පැනවූ තහංචිය කුමක්ද?

8 ජීවිතය හා රුධිරය පිළිබඳව යෙහෝවා වඩාත් විස්තර සැපයුවේ ඊශ්‍රායෙල් ජාතියට නීති මාලාව දෙන අවස්ථාවේදීයි. මෙහිදී ඔහු තම අරමුණ ඉෂ්ට කරගනු වස් තවත් පියවරක් ගත්තේය. ධාන්‍යය, තෙල් සහ වයින් වැනි දේවල් දෙවිට පූජා කිරීම නීතිය මගින් නියම කරනු ලැබූ බව ඔබ සමහරවිට දන්නවා ඇති. (ලෙවී කථාව 2:1-4; 23:13; ගණන් කථාව 15:1-5) සත්ව පූජාද සිදු කෙරුණි. මේවා ගැන දෙවි පැවසුවේ මෙසේයි. “මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය. මම එය ඔබගේ ප්‍රාණ උදෙසා පූජාසනය පිට සමඟිකමක් කරන පිණිස ඔබට නියම කළෙමි. මක්නිසාද සමඟිකමක් සිදු කරන්නේ ලේය. එසේ වන්නේ එහි ප්‍රාණය තිබෙන නිසාය. එබැවින් ඔබෙන් කිසිවෙක් ලේ නොකෑ යුතුය. . . . මම ඊශ්‍රායෙල් පුත්‍රයන්ට කීයෙමි.” තවදුරටත් යෙහෝවා මෙහිදී කියා සිටියේ දඩයක්කරුවෙකු හෝ ගොවියෙකු ආහාරය පිණිස යම් සතෙකු මැරුවොත් ඔහු එම සතාගෙන් රුධිරය පෙරී යෑමට සලස්වා පස්වලින් එය වසා දැමිය යුතු බවය. පොළොව දෙවිගේ පා පුටුව වන අතර රුධිරය පොළොව මතුපිටට වත් කරනු ලැබීමෙන් ජීවිතය නැවතත් ජීවිත දායකයාණන්ට දෙනු ලැබූ බව පුද්ගලයා මෙහිදී පිළිගත්තේය.—ලෙවී කථාව 17:11-13; යෙසායා 66:1.

9. නීතිය තුළ පැහැදිලි කළ ආකාරයට, රුධිරය භාවිත වූ එකම හේතුව කුමක්ද? මෙහි අරමුණ කුමක් වීද?

9 එම නීතිය වනාහි අපට කිසි වැදගත්කමක් නැති නිකම්ම ආගමික චාරිත්‍රයක් නොවේ. ඊශ්‍රායෙලිතයන් රුධිරය අනුභව නොකළ යුතු වූ හේතුව ඔබ සැලකිල්ලට ගත්තාද? දෙවි පැවසුවේ මෙසේයි. ‘ඔබෙන් කිසිවෙක් ලේ නොකෑ යුතුයයි මම ඊශ්‍රායෙල් පුත්‍රයන්ට කීයෙමි.’ ඊට හේතුව වූයේ කුමක්ද? “මම එය [රුධිරය] ඔබගේ ප්‍රාණ උදෙසා පූජාසනය පිට සමඟිකමක් කරන පිණිස ඔබට නියම කළෙමි.” මිනිසුන් රුධිරය නොකෑ යුතු බවට දෙවි නෝවාට දුන් හේතුව කුමක්දැයි කියා තේරුම්ගැනීමට ඉහත ප්‍රකාශය උපකාරවත් වන බව ඔබට මෙහිදී පෙනී යනවාද? රුධිරය යනු ඉතා උසස් අර්ථයක් ඇති දෙයක් බවත්, බොහෝදෙනෙකුගේ ජීවිත ගලවාගත හැකි සුවිශේෂී යමක් ලෙස එය භාවිත කළ යුතු බවත් නියම කරන ලද්දේ මැවුම්කරු විසින්මය. මන්ද, පව් වසා දැමීමෙහිලා එය අතිවැදගත් කාර්යභාරයක් ඉටු කළේය. නීතිය යටතේ දෙවි විසින් නියම කරන ලද ආකාරයට රුධිරය භාවිත වුණේ පූජාසනය මත පමණි. ඒ, යෙහෝවාගෙන් සමාව ඉල්ලමින් සිටි ඊශ්‍රායෙලිතයන්ගේ ජීවිත දෙවි හා සමඟි කිරීම පිණිසය.

10. සත්ව රුධිරයෙන් පූර්ණ සමාව ලබාගත නොහැකි වූයේ මන්ද? නීතිය යටතේ කරන ලද එම පූජා මගින් දුන් සිහිගැන්වීම කුමක්ද?

10 මෙම න්‍යාය ක්‍රිස්තියානි ධර්මයටද සම්බන්ධ වූවකි. දෙවි විසින් සම්පාදනය කළ නීතියේ විවිධ අංගවලට යොමු දක්වමින් ක්‍රිස්තියානියෙකු වූ ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේයි. “නීතියට අනුව, සෑම දෙයක්ම වාගේ ලෙයින් පවිත්‍ර කරනු ලැබේ. ලේ වැගිරීමක් නැතිව කමා කිරීමක්ද සිදු වන්නේ නැත.” (හෙබ්‍රෙව් 9:22, NW) මෙම පූජා මගින් ඊශ්‍රායෙලිතයන්ව පරිපූර්ණ, පව් නැති මිනිසුන් බවට පත් කළේ නැති බව පාවුල් පැහැදිලි කළේය. ඔහු ලීවේ මෙසේයි. “මේ පූජාවලින් අවුරුදු පතා පව් මතක් කරන දීමක් සිදු වන්නේය. මන්ද, ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් පාප ඉවත් කිරීමට නොහැක.” (හෙබ්‍රෙව් 10:1-4, NW) එහෙත්, එවන් පූජාවන්වලින් යම් ප්‍රයෝජනයක් තිබිණි. ඉන් ඊශ්‍රායෙලිතයන්ට සිහිගන්වනු ලැබුවේ ඔවුන් පව්කාර බවත්, මුළුමනින්ම සමාව ලැබීමට මීට වඩා වටිනා යමක් අවශ්‍යය බවත්ය. සතුන්ගේ ජීවිත නියෝජනය වූ රුධිරයෙන් මුළුමනින්ම මිනිස් පව් වසා දැමීමට නොහැකි වූවා නම්, එසේ කළ හැක්කේ කාගේ රුධිරයටද?

ජීවිත දායකයාණන් දෙන පිළිතුර

11. සත්ව රුධිරය සහිත පූජාවන් යම් සුවිශේෂී දෙයකට යොමු දැක්වූ බව අප දන්නේ කෙසේද?

11 නීතිය මගින් ඇත්තටම අවධානය යොමු කරනු ලැබුවේ වඩාත් ඵලදායී ආකාරයකින් දෙවිගේ කැමැත්ත ඉටු කරනු ලබන දෙයක් වෙතටයි. පාවුල් ඇසුවේ මෙසේයි. “එසේනම්, නීතිය කුමකටද?” අනතුරුව ඔහු ඊට පිළිතුරු දුන්නේ මෙසේයි. “එය එකතු කරන ලද්දේ පොරොන්දුව ලැබූ වංශය පැමිණෙන තෙක් වරද පෙන්වා දෙන පිණිසය. එය දේවදූතයන් මාර්ගයෙන් මැදිහත්කරුවෙකුගේ [මෝසෙස්ගේ] අතින් ලැබෙන්ට සලස්වන ලදි.” (ගලාති 3:19, NW) තවදුරටත් පාවුල් ලීවේ මෙසේයි. “පැමිණෙන්න තිබෙන යහපත් දේවල ඡායාවක් නීතියට තිබුණත්, දේවල නියම රූපය නීතියට නැත.”—හෙබ්‍රෙව් 10:1, NW.

12. රුධිරය සම්බන්ධයෙන් ගත් කල, අපට දෙවිගේ අරමුණ තවත් හෙළි වනවා දැකිය හැක්කේ කෙසේද?

12 මෙතෙක් අප සාකච්ඡා කළ කරුණුවල සාරාංශයක් හැටියට, නෝවාගේ දවස්වලදී දෙවි මිනිසුන්ට සත්ව මාංස කෑමට අවසර දුන් නමුත් රුධිරය අනුභව කිරීමට අවසර නුදුන් බව මතකයට නඟන්න. පසුව දෙවි ප්‍රකාශ කළේ, “මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහි” බවයි. ඇත්තෙන්ම, රුධිරය ජීවිතය නියෝජනය කරන යමක් ලෙසට සැලකූ ඔහු මෙසේ පැවසුවේය. “මම [රුධිරය] ඔබේ ප්‍රාණ උදෙසා පූජාසනය පිට සමඟිකමක් කරන පිණිස ඔබට නියම කළෙමි.” කෙසේවුවද, දෙවිගේ අරමුණ පිළිබඳ පුදුමාකාර තවත් යමක් හෙළි විය. එනම් පැමිණීමට තිබෙන යහපත් දේවල ඡායාවක් නීතියට තිබුණු බවය. ඒ යහපත් දේවල් මොනවාද?

13. යේසුස්ගේ මරණය වැදගත් වූයේ මන්ද?

13 මෙහි යථාර්ථය කේන්ද්‍රගත වූයේ යේසුස් ක්‍රිස්තුස්ගේ මරණය වටාය. යේසුස්ට දරුණු ලෙස වධ හිංසා කරනු ලැබ වධකණුවක ඇණ ගසනු ලැබූ බව ඔබ දන්නෙහිය. ඔහු මිය ගියේ අපරාධකරුවෙකු විලසිනි. පාවුල් මෙසේ ලීවේය. “අප දුර්වලව සිටියදීම ක්‍රිස්තුස් නියමිත කාලයේදී අභක්තික මිනිසුන් උදෙසා මිය ගියේය. . . . දෙවි අපට තම ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම, ක්‍රිස්තුස් අප උදෙසා මිය යෑමෙනි.” (රෝම 5:6, 8 NW) අප වෙනුවෙන් මිය යෑමෙන්, ක්‍රිස්තුස් අපේ පව් වසාලන මිදීමේ මිලයක් සැපයුවේය. එම මිදීමේ මිලය ක්‍රිස්තියානි පණිවුඩයේ අරටුව හා සම්බන්ධය. (මතෙව් 20:28; යොහන් 3:16; 1 කොරින්ති 15:3; 1 තිමෝති 2:6) මෙය රුධිරය හා ජීවිතය සමඟ සම්බන්ධ වෙන්නේ කෙසේද? තවද ඔබේ ජීවිතයට මෙම කාරණය සම්බන්ධ වෙන්නේ කෙසේද?

14, 15. (අ) එපීස 1:7හි සමහරක් පරිවර්තනවල යේසුස්ගේ මරණය අවධාරණය කරන්නේ කෙසේද? (ආ) මෙහිදී හෙළි කර නැත්තේ එපීස 1:7හි තිබෙන කුමන වැදගත් ද?

14 ඇතැම් පල්ලිවල සාමාජිකයෝ “යේසුස් මා නිසා මිය ගියා” වැනි දේවල් පවසමින් යේසුස්ගේ මරණය ගැන අවධාරණය කරති. ඇතැම් බයිබල් පරිවර්තනවල එපීස 1:7හි සඳහන් පාඨය පරිවර්තනය කර ඇති සැටි සැලකිල්ලට ගන්න. “ක්‍රිස්තුන්ගේ දිවි පිදීම කරණකොටගෙන, දෙවිගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට අපට මිදීමත්, පව්කමාවත් ලැබී ඇත.” (නව අනුවාදය) “ක්‍රිස්තුන්ගේ මරණයෙන් අපි නිදහස් ජනතාවක් වූයෙමු. අපේ පාපයනට කමාවද අපි ලදිමු.” (ඇත්ත ඇති තැන) “ක්‍රිස්තුස්ගේ මරණය මගින් අපව නිදහස් කර තිබේ. අපගේ පාපවලට සමාව ලැබී තිබේ.” (ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්, 1966) “අපව ගලවනු ලැබ ඇත්තේ ක්‍රිස්තුස් තුළින් හා ඔහුගේ ජීවිත පූජාව තුළින්ය. මෙය පාපවලට සමාව ලැබෙන ගැලවීමක්ය.” (ද නිව් ටෙස්ටමන්ට්, විලියම් බාක්ලේ විසින්, 1969) මෙම පරිවර්තනවල අවධාරණය කර ඇත්තේ යේසුස්ගේ මරණය බව ඔබට දැකගන්නට පුළුවනි. ‘යේසුස්ගේ මරණය තමයි ඇත්තටම වැදගත්. ඉතින්, මේ පරිවර්තනවල ඇති අඩුව මොකක්ද’ කියා ඇතමුන් පවසනවා විය හැකියි.

15 ඇත්තෙන්ම, ඔබට එවන් පරිවර්තන කෙරෙහි රඳා සිටීමට සිදු වුණා නම්, ඔබට ඉතා වැදගත් කරුණක් ගිලිහී යා හැකියි. එමගින් බයිබලයේ පණිවුඩය පිළිබඳ ඔබගේ අවබෝධය සීමා වන්නට ඉඩ කඩ තිබේ. එපීස 1:7හි මුල් පිටපතේ “රුධිරය” යන අරුත් සහිත ග්‍රීක් වචනයක් ඇති බව ඇතැම් පරිවර්තනවල හෙළි කර නැත. බොහෝ බයිබල් එහි මුල් පිටපත්වල අරුත වඩාත් නිවැරදි ලෙස ගෙනහැර දක්වයි. උදාහරණයක් ලෙසට, එය නව ලොව පරිවර්තනයෙහි දක්වා තිබෙන්නේ මෙසේයි. “ඒ තැනැත්තාගේ රුධිරය මාර්ගයෙන් ගෙවන ලද මිදීමේ මිලය නිසා අපි නිදහස ලබා ඇත්තෙමු. එනම් අපි ඔහුගේ මහත් කරුණාවේ සම්පතට අනුව අපේ වැරදිවලට සමාව ලැබුවෙමු.”

16. “ඒ තැනැත්තාගේ රුධිරය” යන යෙදුම මගින් අපට කුමක් අවබෝධ විය යුතුද?

16 “ඒ තැනැත්තාගේ රුධිරය” යන යෙදුම තුළ ඉතා වැදගත් අරුතක් ගැබ්ව ඇති අතර, එය අපගේ මනසට බොහෝ දේවල් වටහා දිය යුතුය. මිනිසෙකුගේ මරණයට වඩා වැඩි යමක්, එනම් පරිපූර්ණ මිනිසෙකු වූ යේසුස්ගේ මරණයට වඩා වැඩි යමක් මෙහිදී අවශ්‍ය විණි. ඔහු මෙහිදී සම්පූර්ණ කළේ විශේෂයෙන් සමඟි කිරීමේ දවසේදී නීතිය යටතේ පූර්වාදර්ශනය කරනු ලැබූ දෙයකි. එම විශේෂ දවසේදී, නීතියෙන් නියම කරනු ලැබූ සතුන්ව පූජා කෙරිණි. අනතුරුව උත්තම පූජකයා එම සතුන්ගේ රුධිරය ටිකක් ගෙන මණ්ඩපයේ හෝ දේවමාලිගාවේ අතිශුද්ධ ස්ථානයට ඇතුළු වී දෙවි ඉදිරියේ එය ඔප්පු කළේ තමා දෙවි ඉදිරියේ සිටිනවායයි කියා සිතාගෙනය.—නික්මයාම 25:22; ලෙවී කථාව 16:2-19.

17. සමඟි කිරීමේ දවසේදී පූර්වාදර්ශනය කරනු ලැබූ දෙය යේසුස් ඉෂ්ට කළේ කෙසේද?

17 පාවුල් පැහැදිලි කළ ආකාරයට, සමඟි කිරීමේ දවසේ පුරෝකථනය කරනු ලැබූ දේ යේසුස් විසින් ඉෂ්ට කරන ලදි. පළමුව, ඔහු සඳහන් කළේ ඊශ්‍රායෙලයේ උත්තම පූජකයා අවුරුද්දකට වරක් අතිශුද්ධ ස්ථානයට ඇතුල් වී ලේ රැගෙන “තමා උදෙසාත්, සෙනඟ . . . උදෙසාත් ඔහු එය ඔප්පු කරන්නේය” යන්නයි. (හෙබ්‍රෙව් 9:6, 7, NW) එම සමඟි කිරීමේ දවසේදී සිදු වූ දේට අනුකූලව, යේසුස් ආත්මයක් හැටියට නැවත නැඟිටවනු ලැබුවායින් පසුව ස්වර්ගයටම ඇතුල් විය. මාංසයෙන් හා රුධිරයෙන් යුත් සිරුරක් නැති ආත්ම පුද්ගලයෙකු වශයෙන් “අප උදෙසා දෙවි ඉදිරියෙහිම පෙනී සිටින පිණිස” යෑමට ඔහුට හැකි විණි. ඔහු දෙවිට ඔප්පු කළේ කුමක්ද? භෞතික දෙයක් නොව ඉතා අරුත්බර දෙයකි. පාවුල් තවදුරටත් කීවේ මෙසේයි. “උත්තම පූජකයෙකු ලෙස ක්‍රිස්තුස්, . . . ඇතුල් වූයේ, එළුවන්ගේවත් වස්සන්ගේවත් ලේ රැගෙන නොව, තමාගේම ලේ රැගෙනය. සදහටම සරිලන සේ, ඔහු එක් වරක් ශුද්ධ ස්ථානයට ඇතුල් වී අප උදෙසා සදාකාල මිදීම ලබාගත්තේය. මන්ද, . . . එළුවන්ගේ හා ගොනුන්ගේ ලේ . . . පරිශුද්ධ කරනු ලැබුවේ මාංසික පවිත්‍රකමේ ප්‍රමාණයට නම්, අප ජීවමාන දෙවිට පරිශුද්ධ සේවය පිරිනමන පිණිස, සදාකාල ආත්මයක් මගින් කැළැල් නැතිව, තමන්ව දෙවිට ඔප්පු කළාවූ ක්‍රිස්තුස්ගේ ලෙයින් අපේ හෘදය සාක්ෂිය මළ ක්‍රියාවලින් කොපමණ වැඩියෙන් පිරිසිදු කරනු නොලබන්නේද?” එසේය, යේසුස් දෙවිට ඔප්පු කළේ තම ජීවනදායක රුධිරයේ වටිනාකමයි.—හෙබ්‍රෙව් 9:11-14, 24, 28; 10:11-14; 1 පේතෘස් 3:18, NW.

18. රුධිරය සම්බන්ධව බයිබලයේ සඳහන් ප්‍රකාශයන් අද දින ක්‍රිස්තියානීන්ට වැදගත් විය යුත්තේ මන්ද?

18 බයිබලයේ රුධිරය ගැන පවසන දේට ඉතා පුළුල් මෙන්ම පුදුමාකාර පරාසයක් ඇති බැවින්, එය මැනවින් අවබෝධ කරගැනීමට මෙම දිව්‍යමය සත්‍යය අපට රුකුලක් වේ. ඒවා නම්, දෙවි රුධිරය දෙස මේ විදිහට බැලීමට හේතු, ඒ ගැන අපේ දෘෂ්ටිය කුමක් විය යුතුද, රුධිරය භාවිතය සම්බන්ධයෙන් දෙවි පනවා ඇති තහංචිවලට අප ගෞරව කළ යුත්තේ මන්ද යනාදියයි. ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිලි කියවීමේදී, ක්‍රිස්තුස්ගේ රුධිරයට [හෝ ලේවලට] අවස්ථා ගණනාවක යොමු දක්වනවා ඔබට පෙනේවි. (කොටුව බලන්න.) මින් පැහැදිලිවම පෙනී යන්නේ සෑම ක්‍රිස්තියානියෙක්ම “ඔහුගේ [යේසුස්ගේ] ලේ” කෙරෙහි ඇදහිල්ල දැක්විය යුතු බවයි. (රෝම 3:25, NW) අපගේ පව්වලට සමාව ලැබීම සහ දෙවි සමඟ සමාදාන වීම සිදු විය හැක්කේ, “ඔහු [යේසුස්] . . . වැගිරෙවූ රුධිරය මාර්ගයෙන්” පමණි. (කොලොස්සි 1:20, NW) තමා සමඟ ස්වර්ගයේ රජකම් කිරීමට යේසුස් විශේෂ ගිවිසුමකින් බඳවාගත් අය සම්බන්ධයෙන් මෙය විශේෂයෙන් සැබෑවක් වෙයි. (ලූක් 22:20, 28-30; 1 කොරින්ති 11:25; හෙබ්‍රෙව් 13:20) එසේම, ‘මහත් පීඩාවෙන්’ බේරී ජීවත් වී භූමික පාරාදීසයක සදාකාල ජීවනය ලබනු ඇති අද දින සිටින “මහත් සමූහය” සම්බන්ධයෙන්ද මෙය සැබෑවකි. සංකේතාත්මකව ගත් කල, ඔවුහු ‘තමුන්ගේ සළු බැටළු පැටවාගේ රුධිරයෙන් සෝදා සුදු කරගනිති.’—එළිදරව් 7:9, 14, NW.

19, 20. (අ) රුධිරය පාවිච්චි කරන ආකාරය ගැන දෙවි යම් තහංචි පැනවීමට තෝරාගෙන ඇත්තේ මන්ද? අපට මේ ගැන හැඟිය යුත්තේ කෙසේද? (ආ) කුමක් දැනගැනීමට අප උනන්දු විය යුතුද?

19 මේ අනුව, දෙවි ඉදිරියේ රුධිරයට විශේෂ අරුතක් ඇති බව ඉතා පැහැදිලිය. අපද එම දෘෂ්ටියම දැරිය යුතුයි. ජීවිතය ගැන සැලකිලිමත් වන මැවුම්කරුවාණන්ට මිනිසුන් රුධිරය සම්බන්ධයෙන් කරන දේට තහංචි දැමීමට අයිතියක් ඇත. අපගේ ජීවිත ගැන පවා ඉමහත් සැලකිල්ලක් දක්වන ඔහු රුධිරය එක්තරා උසස් සුවිශේෂී ආකාරයකින් භාවිත කිරීමට තීරණය කළේය. එම ආකාරය මගින් පමණයි අපට සදාකාල ජීවනය ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ. එයට යේසුස්ගේ අතිවටිනා රුධිරය සම්බන්ධ විණි. යෙහෝවා දෙවි අපගේ යහපත උදෙසා රුධිරය, එනම්, යේසුස්ගේ රුධිරය මෙම ජීවිත ගලවන අන්දමින් යොදාගැනීම ගැන අපි කොතරම් කෘතඥපූර්වක වන්නෙමුද! තවද, අප උදෙසා යේසුස් පූජාවක් ලෙස සිය රුධිරය වැගිරවීම ගැන අප කොතරම් කෘතඥ විය යුතුද! සැබවින්ම ප්‍රේරිත යොහන් තම හැඟීම් මතු දැක්වෙන ආකාරයෙන් පළ කිරීමට හේතුව අපට වටහාගත හැකියි. “තමාගේම රුධිරය මාර්ගයෙන් අපව අපේ පව්වලින් මිදුවාවූ තැනැත්තාට—එනම්, අපව රාජ්‍යයක්ද, තම දෙවි සහ පියාණන් වන තැනැත්තා උදෙසා පූජකයන්ද වීමට සැලැස්සූ තැනැත්තාට—එසේය, ඔහුට සදහටම මහිමයත් පරාක්‍රමයත් වේවා! ආමෙන්.”—එළිදරව් 1:5, 6, NW.

20 ජීවිත ගලවන මෙම කාරණය සියලු ප්‍රඥාවෙන් පිරි අපගේ දෙවි සහ ජීවන දායකයාණන්ගේ මනසේ බොහෝ කලක් මුළුල්ලේ තිබිණි. එසේනම්, අපට මෙසේ ඇසිය හැකියි. ‘මෙම කාරණය අප ගන්නා තීරණ සහ ක්‍රියා සම්බන්ධයෙන් කිනම් බලපෑමක් ඇති කළ යුතුද?’ ඊළඟ ලිපියේ මෙම කාරණය සාකච්ඡා කෙරෙනවා ඇත.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• ආබෙල් සහ නෝවා සම්බන්ධ වාර්තා දෙස බලන කල, රුධිරය පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය ගැන අපට ඉගෙනගත හැක්කේ මොනවාද?

• දෙවි නීතිය තුළින් රුධිරය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් කිනම් තහංචි පැනවූවාද? ඒ මන්ද?

• සමඟි කිරීමේ දවසේදී පූර්වාදර්ශනය කරනු ලැබූ දෙය යේසුස් ඉෂ්ට කළේ කෙසේද?

• යේසුස්ගේ රුධිරයෙන් අපගේ ජීවිත ගැලවිය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ කොටුව]

ජීවිත ගලවන්නේ කාගේ රුධිරයද?

“තමන් ගැනත් මුළු රැළ ගැනත් අවධානයෙන් සිටින්න. ශුද්ධාත්මය විසින් ඔබව ඔවුන් අතරේ අවේක්ෂකයන් ලෙස පත් කර තිබෙන්නේ, දෙවි තමාගේම පුත්‍රයාගේ ලෙයින් මිලට ගත් තමාගේ සභාව එඬේරෙකු මෙන් රැකබලා ගැනීමටය.”—ක්‍රියා 20:28, NW.

“එබැවින්, අප ඔහුගේ ලේ මාර්ගයෙන් දැන් ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරනු ලැබූ හෙයින්, ඊටත් වඩා වැඩියෙන් අපි ඔහු මාර්ගයෙන් උදහසින් ගලවනු ලබන්නෙමු.”—රෝම 5:9, NW.

“ඔබ, . . . බලාපොරොත්තු නැතිව, දෙවි නොමැතිව ලෝකයෙහි [සිටියෙහිය]. නමුත් වරක් ඈත්ව සිටි ඔබ, ක්‍රිස්තුස්ගේ රුධිරය මාර්ගයෙන් දැන් ක්‍රිස්තුස් යේසුස් සමඟ එක්සත්ව ළං වී සිටින්නහුය.”—එෆීස 2:12, 13, NW.

“ඔහු තුළ මුළු පූර්ණකම තිබීම සුදුසුයයි දෙවි තීරණය කළේය. එමෙන්ම, . . . ඔහු මාර්ගයෙන් තමන්ට සමඟි කරගැනීම සුදුසුයයි දෙවි තීරණය කළේය. එසේ සමඟි කළේ ඔහු වධකණුවේදී වැගිරෙවූ රුධිරය මාර්ගයෙන් සමාදානය ඇති කිරීමෙනි.”—කොලොස්සි 1:19, 20, NW.

“එබැවින් සහෝදරයෙනි, යේසුස්ගේ ලේ තුළින් ඇතුල් ශුද්ධ ස්ථානයට ඇතුල් වීමට අපට පූර්ණ නිසැකකමක් තිබේ.”—හෙබ්‍රෙව් 10:19, NW.

“සම්ප්‍රදායට අනුව ඔබේ මුතුන්මිත්තන්ගෙන් ලැබූ නිෂ්ඵල වූ ඔබේ හැසිරීමේ රටාවෙන් ඔබ මුදනු ලැබුවේ . . . දිරනසුලු දේවල්වලින් [නොවේ]. නමුත් නිකැළැල් නොකිලිටි බැටළුවෙකුගේ ලේ වැනි වූ අනර්ඝ ලෙයින්ය. එනම් ක්‍රිස්තුස්ගේ ලෙයින්ය.”—1 පේතෘස් 1:18, 19, NW.

“ඔහු ආලෝකයෙහි සිටින්නාක් මෙන්, අපිත් ආලෝකයෙහි ගමන් කරන්නෙමු නම්, එකිනෙකා සමඟ පංගුකාරකමක් අපට තිබේ. එමෙන්ම ඔහුගේ පුත් යේසුස්ගේ රුධිරය සියලු පාපවලින් අපව පවිත්‍ර කරන්නේය.”—1 යොහන් 1:7, NW.

“අකුළන ලියවිල්ල ගන්නත් එහි මුද්‍රා කඩන්නත් සුදුසු තැනැත්තා ඔබය. මන්ද, ඔබ මරනු ලැබ, සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින්ද ජනයාගෙන්ද ජාතීන්ගෙන්ද වූ මිනිසුන්ව ඔබේ රුධිරයෙන් දෙවි උදෙසා මිල දී ගත්තේය.”—එළිදරව් 5:9, NW.

“අපේ සහෝදරයන්ට විරුද්ධව . . . චෝදනා කරන පැමිණිලිකරු පහතට හෙළනු ලැබුවේය! ඔවුහු, බැටළු පැටවාගේ රුධිරය නිසාද, තමුන් සාක්ෂි දැරූ පණිවිඩය නිසාද ඔහුගෙන් ජයගත්තෝය.”—එළිදරව් 12:10, 11, NW.

[16වන පිටුවේ පින්තූරය]

දෙවි නීතිය තුළින් පැහැදිලිව පෙන්වූයේ රුධිරය මගින් පව් කමා කිරීමක් සිදු කළ හැකි බවය

[17වන පිටුවේ පින්තූරය]

යේසුස්ගේ රුධිරය තුළින් බොහෝදෙනෙකුගේ ජීවිත ගැලවිය හැකියි