Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ව පුහුණු කිරීමට බයිබලය ඔබට උපකාරවත් වේද?

ඔබේ දරුවන්ව පුහුණු කිරීමට බයිබලය ඔබට උපකාරවත් වේද?

ඔබේ දරුවන්ව පුහුණු කිරීමට බයිබලය ඔබට උපකාරවත් වේද?

උඩවැඩියා මල ඉතා සිත්ගන්නාසුලු මලක්. නමුත් එම පැළයක් හදාගැනීම පහසු දෙයක් නොවෙයි. ඒ වර්ගයේ පැළයක් සාර්ථකව හදාගැනීමට නම් එයට ලබා දෙන උෂ්ණත්වය හා ආලෝකය පාලනය කළ යුතු අතර මල් පෝච්චියද සුදුසු ප්‍රමාණයේ එකක් විය යුතුයි. උඩවැඩියා පැළය පස් හා පොහොරවලට සංවේදී නිසා රෝගවලට හා පලිබෝධකයින්ගේ උවදුරුවලට ලක් වූ විට පහසුවෙන්ම හානියට පත් වෙන්නත් පුළුවන්. මේ හේතු නිසා උඩවැඩියා පැළයක් හැදීමට ගන්නා ප්‍රයත්නය පළමුවෙනි වර අසාර්ථක වීම සාමාන්‍ය දෙයක්.

දරුවන් ඇති දැඩි කිරීම ඊට වඩා බොහෝ සෙයින් අසීරු වූද සංකීර්ණ වූද යමක්. ඒ වගේම ඒ සඳහා හොඳ අවධානයක් දීම අවශ්‍යයි. මේ නිසා, දරුවන් ඇති දැඩි කිරීම ගැන පැහැදිලි අවබෝධයක් දෙමාපියන්ට නොතිබීම සාමාන්‍යයි. උඩවැඩියා මල් හදන කෙනෙකුට ඒ සම්බන්ධව ප්‍රවීණයෙකුගේ උපදෙස් අවශ්‍ය වන්නා සේම බොහෝ දෙමාපියන්ද තමන්ට උපකාර අවශ්‍ය බව වටහාගෙන තිබෙනවා. සෑම දෙමාපියෙක්ම හොඳම මඟ පෙන්වීම ලබාගැනීමට කැමති වන බවට කිසිම සැකයක් නැහැ. එවැනි උපකාර ලබාගත හැක්කේ කොහෙන්ද?

බයිබලය දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් පමණක් ලියැවී තිබෙන පොතක් නොවූවත් මැවුම්කරු එහි ලේඛකයන්ට මේ විෂය සම්බන්ධයෙන් බොහෝ ප්‍රායෝගික උපදෙස් එහි ඇතුළත් කිරීමට ආනුභාවය දුන්නා. යහපත් ගතිගුණ දරුවන් තුළ වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වුවත්, බොහෝවිට එසේ කිරීම නොසලකාහැර තිබෙන බව බොහෝදෙනෙකුට හැඟෙනවා. නමුත් බයිබලය මේ අවශ්‍යතාව ගැන අවධාරණය කරයි. (එපීස 4:22-24) සමබර අධ්‍යාපනයක් ලබා දීමට බයිබලයේ උපදෙස් අත්‍යවශ්‍යයි. කුමන සංස්කෘතික පසුබිමක හෝ කාල වකවානුවක ජීවත් වුවත් මෙම උපදෙස පිළිපැදීම මගින් දැනටමත් දහස් සංඛ්‍යාත අය ප්‍රයෝජන ලබා තිබෙනවා. එම නිසා බයිබලයේ අඩංගු උපදෙස් අනුගමනය කිරීම තුළින් ඔබට ඔබේ දරුවන්ව සාර්ථක ලෙස පුහුණු කිරීමට හැකි වෙයි.

දෙමාපියන්ගේ ආදර්ශය, දිය හැකි හොඳම අධ්‍යාපනයයි

“එහෙත් වෙන කෙනෙකුට උගන්වන්නාවූ ඔබ, ඔබටම උගන්වාගන්නේ නැද්ද? ‘සොරකම් නොකරන්න’ කියා ඔබ දේශනා කරන්නෙහිය. එහෙත් ඔබම සොරකම් කරනවාද? ‘පරදාර සේවනයේ නොයෙදෙන්න’ යයි ඔබ කියන්නෙහිය. එහෙත් ඔබම පරදාර සේවනයේ යෙදෙනවාද?”—රෝම 2:21, 22, NW.

සියොල් නගරයේ අධ්‍යාපන මණ්ඩලයේ සභාපතිවරයෙකු පැවසුවේ මෙසේයි. “දරුවෙකුට දිය හැකි හොඳම අධ්‍යාපනය නම් කතාවෙන් හා ක්‍රියාවෙන් ආදර්ශමත් වීමයි.” දෙමව්පියන් කතාවෙන් හා හැසිරීමෙන් හොඳ ආදර්ශයක් තබන්නේ නැතිව දරුවාට නිශ්චිත උපදෙස් ලබා දෙන්නේ නම් තමාගේ දෙමව්පියන් බොරු මවාපෑමක් කරන බව දරුවන්ට වහාම වැටහෙනවා. ඒ නිසා දෙමව්පියන්ගේ වචන කිසි වටිනාකමක් නැති හිස් වචන බවට පත් වෙයි. උදාහරණයක් ලෙස දෙමව්පියන්ට තම දරුවාට අවංකකම ගැන ඉගැන්වීමට අවශ්‍ය නම් මුලින්ම ඔවුන් අවංක විය යුතුයි. බොහෝවිට දකින්න ලැබෙන දෙයක් නම් සමහර දෙමාපියන්ට එන දුරකථන ඇමතුමකට ඔවුන් කතා කරන්න අකමැති නම් ඔවුන් දරුවාට “තාත්තා (හෝ අම්මා) ගෙදර නැහැ” කියා කියන්න කියනවා. එවැනි උපදෙසක් ලැබෙන දරුවාට එය අපහසුතාවක් මෙන්ම ප්‍රහේලිකාවක්. පසු කාලයකදී ඔහුට අසීරු තත්වයකට මුහුණ දීමට සිදු වුවහොත් කිසිම පැකිලීමකින් තොරව ඔහුද බොරු කියන්න පටන්ගනීවි. එම නිසා ඇත්තවශයෙන්ම දෙමව්පියන්ට අවශ්‍ය නම් තම දරුවා අවංක කෙනෙක් වෙනවා දැකීමට මුලින්ම ඔවුන් සත්‍යය කතා කරන හා ඒ අනුව ක්‍රියා කරන අය විය යුතුයි.

ඔබට ඔබේ දරුවාව ආචාරශීලී විදියට කතා බහ කරන කෙනෙකු ලෙස පුහුණු කරන්න ඕනෑද? එසේනම් ඔබ, හොඳ ආදර්ශයක් වෙන්න අවශ්‍යයි. මන්ද ඔබේ දරුවා ඔබව අනුකරණය කරන්න ඉක්මන් වනවා. දරුවෝ හතරදෙනෙකුගේ පියෙක් වන සොං සික් නෝ පවසන්නේ, “මමයි මගේ භාර්යාවයි තීරණය කළා අශිෂ්ට භාෂාව පාවිච්චි නොකරන්න. අපි එකිනෙකාට ගෞරවය පෙන්වූ අතර අපිට තරහ ගිහින් තියෙන වේලාවක එහෙමත් නැත්නම් හිත කලබල වී තිබෙන අවස්ථාවක වුවත් අපි එකිනෙකාට කෑ කෝ ගහගත්තේ නැහැ. හොඳ ආදර්ශයක් වචන සියයකට වඩා බලපෑමෙන් යුක්තයි. අපේ දරුවන් අන් අය සමඟ ආචාරශීලී ලෙස හා ගෞරවනීය ලෙස කතා කිරීම ගැන අපි ගොඩාක් සතුටු වෙනවා.” බයිබලයේ ගලාති 6:7හි [NW] පවසන්නේ “යමෙක් තමා වපුරන දේම නෙළාගන්නේය” කියායි. උසස් සදාචාරමය ප්‍රමිතිවලට අනුව තම දරුවන් ජීවත් වෙනවාට කැමති දෙමව්පියෝ පළමුවෙන් තමන් එවැනි ප්‍රමිතිවලට අනුව ජීවත් වන අය බව පෙන්වන්න ඕනේ.

අදහස් හුවමාරුව විවෘතව තබාගන්න

“ඔබේ දරුවන්ට හොඳාකාරයෙන් [දෙවිගේ ආඥා] උගන්වා ඔබ ගෙයි හිඳින කලද මඟ යන කලද ඔබ සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න.”—ද්විතීය කථාව 6:7.

අතිකාල සේවයේ නිරත වීමට තිබෙන ප්‍රවණතාව දැන් එන්න එන්නම වැඩියි. ස්වාමිපුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම රැකියා කරනවා නම් මෙහි බලපෑම දරුවන්ට තදින්ම දැනෙනවා. බොහෝ දෙමව්පියන් තම දරුවන් සමඟ ගත කරන කාලය අඩු වේගන යයි. දෙමව්පියන් ගෙදර ඉන්න විටද ගෙදර දොරේ වැඩකටයුතු හා අනෙකුත් වැඩ නිසා ඔවුන්ට අධික ලෙස වෙහෙස මහන්සිය දැනෙන්න පුළුවන්. එවැනි තත්වයන් යටතේ කොහොමද දරුවන් එක්ක හොඳින් අදහස් හුවමාරු කරන්නේ? ඔබයි ඔබේ දරුවනුයි ගෙදර දොරේ වැඩ පළ එකට කරනවා නම් කතාබහ කිරීමට අවස්ථාව උදා විය හැකියි. එක් ගෘහමූලිකයෙක් නිවසේ තිබුණු රූපවාහිනි යන්ත්‍රය අයින් කළේ ප්‍රධාන වශයෙන් තම දරුවන් සමඟ කතා බහ කිරීමට වැඩිපුර කාලය ලබාගැනීම සඳහායි. ඔහුගේ නිරීක්ෂණයට අනුව “මුලින් නම් දරුවන්ට හුඟාක් කම්මැළි හිතුණා. නමුත් මම ඔවුන් එක්ක ප්‍රහේලිකා විසඳුවා, සිත්ගන්නාසුලු පොත් කියවා ඒ පිළිබද තොරතුරු කතා කළා. මේ ක්‍රියාකාරකම් නිසා ඔවුන් වෙනසට හැඩගැහුණා.”

දරුවන් කුඩා කාලයේ සිටම දෙමාපියන් සමඟ අදහස් හුවමාරු කිරීමට පුරුදු වී සිටීම වැදගත් දෙයක්. එහෙම නැත්නම් ඔවුන් වැඩුණු පසු මුහුණපාන ප්‍රශ්න ගැන දෙමව්පියන් සමඟ කතා කිරීමට ඔවුන් පෙලඹෙන්නේ නැහැ. ඊට හේතුව, ඔවුන් හිතන්නේ නැහැ දෙමව්පියන් තමන්ගේ දුක් කරදර කියන්න පුළුවන් යහළුවන් බව. ඔවුන්ගේ හැඟීම් ගැන විවෘතව කතා කිරීමට ඔවුන්ට උපකාර කරන්න ඔබට හැක්කේ කෙසේද? හිතෝපදේශ 20:5හි පවසන්නේ “මනුෂ්‍යයෙකුගේ සිතේ තිබෙන අදහස ගැඹුරු ජලය මෙන්ය. එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා එය ඇදගන්නේය” කියායි. “ඔයා මොනවද හිතන්නේ” වැනි අදහස් විමසන ප්‍රශ්න ඇසීමෙන් තම දරුවන්ගේ සිතුවිලි හා හැඟීම් ප්‍රකාශ කිරීමට ඔවුන්ව පොලඹවන්න දෙමව්පියන්ට පුළුවන්.

ඔබේ දරුවා බරපතළ වරදක් කළොත් ඔබ මොනවාද කරන්නේ? ඔහුට ඒ අවස්ථාවේදී කරුණාවෙන් සැලකීම අවශ්‍යයි. ඔබ දරුවාට සවන් දෙන විට ඔබේ හැඟීම් පාලනය කරගන්න. එක පියෙක් ඔහු මෙවැනි අවස්ථාවක් හසුරුවන ආකාරය ගැන මෙසේ කියයි. “දරුවන් වැරදි කරනකොට මම ඒ ගැන පමණට වඩා කලබල වෙන්නේ නැහැ. මම වාඩි වෙලා ඔවුන්ට ඒ ගැන කියන්න තියෙන දේට සවන් දෙනවා. තත්වය තේරුම්ගන්න මම උත්සාහ කරනවා. මගේ කෝපය පාලනය කිරීමට මට අමාරුයි කියා හැඟෙන වේලාවට මම ටිකක් නිහඬව ඉඳලා තරහ නිවාගන්නවා.” ඔබේ හැඟීම් පාලනය කරගෙන ඔබ සවන් දෙනවා නම් ඉන්පසු ඔබ දෙන නිවැරදි කිරීම දරුවෝ වඩා කැමැත්තෙන් පිළිගනියි.

ප්‍රේමණීයව හික්මවීම අවශ්‍යයි

“පියවරුනි, ඔබේ දරුවන්ව තරහ නොගස්වා යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න.”—එෆීස 6:4, NW.

හොඳ ප්‍රතිඵල ලබාගැනීමට නම්, ඔබ ප්‍රේමණීය ලෙස හික්මවීම දෙන ආකාරය වැදගත්. දෙමව්පියන් තම ‘දරුවන්ව තරහ ගස්වන්නේ’ කොහොමද? ඔවුන් දෙන හික්මවීම දරුවන් කළ වරදට ගැළපෙන්නේ නැතිනම් හෝ එම හික්මවීම ඉතා තදින් දෝෂාරෝපණය කරන ස්වභාවයකින් දෙන එකක් නම් එය බාරගැනීම දරුවන් ප්‍රතික්ෂේප කරයි. හික්මවීම සෑමවිටම දිය යුත්තේ ප්‍රේමණීය ආකාරයෙන්. (හිතෝපදේශ 13:24) ඔබ දරුවන්ට කාරණා කටයුතු පහදා දුන්නොත් ඔබ ඔවුන්ව හික්මවන්නේ ඔවුන්ට තිබෙන ප්‍රේමය නිසා බව ඔවුන් තේරුම්ගනියි.—හිතෝපදේශ 22:15; 29:19.

අනික් අතට දරුවන්ට තම වැරදි හැසිරීම්වල ප්‍රතිවිපාක අද්දැකීමට ඉඩහැරීමත් හොඳයි. උදාහරණයකට දරුවාගේ අතින් තව කෙනෙකුට යම් වරදක් වූවොත් ඒ තැනැත්තාගෙන් සමාව ගන්න කියා දරුවාට තරයේ කියන්න පුළුවන්. පවුල් කවය තුළ පනවා ඇති යම් යම් නීති කැඩුවොත් ඔහු ප්‍රිය කරන සමහර දේවල් කිරීමට ඔහුට තහංචි දාන්න පුළුවන්. මෙමගින් නීතිවලට කීකරු වීමේ අවශ්‍යතාව ඔහුට අවධාරණය කළ හැකියි.

නියමිත වේලාවේදී හික්මවීම දීමද වැදගත්. දේශනාකාරයා 8:11හි පවසන්නේ මෙසේයි. “නපුරු ක්‍රියාවකට විරුද්ධව නඩු තීන්දුව ඉක්මනින් ඉෂ්ට නොවන නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුර කිරීමට ඔවුන් තුළ නිර්භීත වන්නේය.” ඒ හා සමානව බොහෝ දරුවන් ඔවුන්ගේ දඟකාරකමට ලැබිය යුතු දඬුවමෙන් බේරීමට පුළුවන්ද කියා බලනවා. එම නිසා, යම් නිශ්චිත වරදක් කළහොත් එයට දඬුවම් කරනවා කියා ඔබ දරුවන්ට අනතුරු අඟවා තිබුණා නම් ඔවුන් ඒ වරද කළොත් ඒ දඬුවම දෙන්න මතක තබාගන්න.

හිතකර විනෝදාංශවල යෙදීමේ ඇති වටිනාකම

‘සිනාසෙන්ට කාලයක්ද . . . නටන්ට කාලයක්ද ඇත.’දේශනාකාරයා 3:1, 4.

දරුවෙකුගේ මනස හා ශරීරය වර්ධනය වීම සඳහා විවේක කාලය හා සමබර ලෙස හිතකර විනෝදාංශවල යෙදීම අවශ්‍යයි. දෙමව්පියන් තම දරුවන් සමඟ විනෝදාංශවල යෙදෙන විට පවුලේ අය අතර තිබෙන බැඳීම වඩාත් ශක්තිමත් වන අතර දෙමව්පියන්ගේ රැකවරණය ගැන දරුවන්ට සහතිකයක්ද ලැබෙනවා. පවුලේ හැමෝටම එකට එකතු වී සන්තෝෂ විය හැක්කේ මොන වගේ විනෝදාංශවල නියැලීමෙන්ද? ඔබ ඒ ගැන කල්පනා කර බැලීමට කාලය ටිකක් මිඩංගු කරනවා නම් ඔබට ප්‍රසන්න විනෝදාංශ බොහෝමයක් සොයාගත හැකියි. බයිසිකල් පැදීම, ටෙනිස්, බැඩ්මින්ටන් සහ අත්පන්දු වැනි එළිමහනේ කරන ක්‍රීඩාවල නිරත වෙන්න පුළුවන්. එතකොට පවුලේ අය ඔක්කොම එකට එකතු වෙලා සංගීත භාණ්ඩ වාදනය කරන විට අද්දැකිය හැකි ප්‍රීතිය ගැන සිතා බලන්න. ඒ වගේම ළඟපාත ප්‍රදේශයක සොබා සෞන්දර්ය නැරඹීමට යෑමෙන් සුන්දර මතකයන්ද ඇති විය හැකියි.

එවැනි අවස්ථාවන් යොදාගනිමින් , සමබරව විනෝදාංශවල යෙදීමේ ඇති අවශ්‍යතාව සම්බන්ධයෙන් තම දරුවන්ට කාවද්දන්න දෙමව්පියන්ට පුළුවන්. පුතුන් තුන්දෙනෙක් සිටින එක් ක්‍රිස්තියානි පුරුෂයෙක් පැවසුවේ “මට පුළුවන් වේලාවට මම දරුවන්ගේ විනෝදාංශවලට හවුල් වෙනවා. උදාහරණයකට ඒ අය පරිගණක ක්‍රීඩා කරද්දී මම ඒ ක්‍රීඩා කරන විදිය ගැන ප්‍රශ්න අහනවා. ඔවුන් ඉතා උද්‍යෝගයෙන් ඒවා විස්තර කරනකොට මම ඒක අවස්ථාවක් කරගන්නවා හානිකර විනෝදාංශවල තියෙන භයානකකම ගැන පෙන්නලා දෙන්න. මම දැකලා තියෙනවා ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් නුසුදුසු විනෝදාංශවල යෙදීමෙන් වැළකී සිටිනවා.” පවුලේ අය සමඟ එකට එකතු වී ප්‍රීතියෙන් විනෝදාංශවල යෙදෙන දරුවන්ට සැහැසියාව, දුරාචාරය සහ මත්ද්‍රව්‍ය භාවිතය වැනි දේවල් අඩංගු රූපවාහිනි වැඩසටහන්, වීඩියෝ, චිත්‍රපටි නැරඹීමට සහ එවැනි දේවල් අඩංගු අන්තර්ජාලයේ ක්‍රීඩාවල යෙදීමට ඇති නැඹුරුවාව අඩුයි.

දරුවන්ට හොඳ මිත්‍රයන් ඇති කරගැනීමට උපකාර කරන්න

“ඥානවන්තයන් කැටුව යන්න, එවිට ඔබ ඥානවන්ත වන්නේය. එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදු වන්නේය.”හිතෝපදේශ 13:20.

සාර්ථක ලෙස දරුවන් හතර දෙනෙකුව පුහුණු කළ එක් ක්‍රිස්තියානි පියෙක් මෙසේ කීවා. “දරුවන් තමන්ගේ මිත්‍රයන් ලෙස තෝරගන්න අය ඉතා වැදගත්. ඔබ කළ සියලුම යහපත් වැඩවල ප්‍රතිඵල එක නරක යාළුවෙකුට නැති කර දමන්න පුළුවන්.” තම දරුවන්ට හොඳ යහළුවන් ඇති කරගැනීමට උදව් කිරීම සඳහා ඔහු ඥානවන්ත ලෙස ඔවුන්ගෙන් මෙවැනි ප්‍රශ්න ඇසුවා. ඔයාගේ හොඳම යාළුවා කවුද? ඔයා එයාට කැමති මොන හේතුවක් නිසාද? ඔයා අනුකරණය කරන්න කැමති මොන වගේ දේවල්ද? තවත් දෙමාපියෙක් දරුවන්ගේ කිට්ටුම මිත්‍රයන්ව ගෙදරට ආරාධනා කරන්න කියා තම දරුවන්ට කියනවා. එතකොට ඔහුට පුළුවන් වෙනවා ඒ මිත්‍රයන්ව හොඳින් නිරීක්ෂණය කිරීමටත් තම දරුවන්ට නිසි ලෙස මඟ පෙන්වන්නත්.

තම වයසේ අය සමඟ මිත්‍රකම් පවත්වනවා හා සමානව වැඩිහිටි අය සමඟත් මිත්‍රකම් පැවැත්වීමට හැකි බව දරුවන්ට ඉගැන්වීමද වැදගත්. පුතුන් තුන්දෙනෙකුගේ පියෙක් වන බම්-සන් පැවසුවේ “මිත්‍රයෙක් කියලා හඳුන්වන්නේ තමන්ගේ වයසේ කෙනෙක් පමණක්ම නෙවෙයි කියන එක මම එයාලට තේරුම් කර දෙනවා. හරියට බයිබලයේ සඳහන් දාවිත් සහ යොනාතාන් වගේ. මගේ දරුවන් සමඟ ආශ්‍රයක් භුක්ති විඳීම සඳහා විවිධ වයස් මට්ටම්වල සිටින ක්‍රිස්තියානීන්ට මම ආරාධනා කරනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දරුවන් තමන්ගේ වයසට අයත් නොවන බොහෝ අය සමඟ ඇසුරු කරනවා.” ආදර්ශමත් වැඩිහිටියන් සමඟ ආශ්‍රය කිරීම තුළින් දරුවන්ට බොහෝ දේවල් ඉගෙනගැනීමේ ප්‍රස්තාව ලැබෙනවා.

දරුවන් පුහුණු කිරීමේදී ඔබට සාර්ථක වෙන්න පුළුවන්

අමෙරිකා එක්සත් ජනපදයේ කළ එක් සමීක්ෂණයකින් පෙනී ගියේ දරුවන් තුළ ආත්ම දමනය, තමන්ව හික්මවාගැනීම සහ අවංකකම වැනි ගුණාංග පැලපදියම් කිරීමට බොහෝ දෙමව්පියන් උත්සාහ කළද ඔවුන් එතරම් සාර්ථක වූයේ නැති බවයි. එය එතරම් අමාරු වූයේ ඇයි? මෙම සමීක්ෂණයේදී අදහස් දැක්වූ එක් මවක් පැවසූවේ මෙසේයි. ‘කනගාටුවට කාරණයක් වුවත්, අද දරුවන්ව ආරක්ෂා කරන්න තියෙන එකම ක්‍රමය තමයි කවදාවත් ඔවුන්ට පිටස්තර ලෝකයට යන්න නොදී ඔවුන්ව කාමරේකට දාලා වහලා තියන එක.’ ඇය මෙසේ කීවේ දැන් දරුවන් හැදෙන වැඩෙන පරිසරය වෙන කවරදාකටත් වඩා ඉතාම නපුරු එකක් නිසයි. මේ තත්වයන් යටතේදී දරුවන්ව සාර්ථකව හදා වඩා ගැනීමට ඇත්තටම පුළුවන්ද?

ඔබට උඩවැඩියා පැළයක් හදන්න වුවමනායයි සිතන්න. නමුත් ඔබ සිතනවා නම් ඒ පැළය පර වෙලායයි කියලා, ඔබ ඒ පැළය හදන්න පසුබට වෙන්න පුළුවන්. නමුත් උඩවැඩියා මල් හැදීම ගැන හොඳ දැනුමක් ඇති කෙනෙක් ඇවිත් ඔබට ඒ ගැන හොඳ අදහස් ටිකක් ඉදිරිපත් කරලා “ඔයා මේ විදියට කළොත් ඔයාට සාර්ථක වෙන්න පුළුවන්” කියලා දැඩි විශ්වාසයකින් යුතුව කිව්වොත් ඔබට එය කොතරම් සහනයක් වෙයිද! මිනිස් ස්වභාවය ගැන හොඳින්ම දන්නා යෙහෝවා දරුවන් ඇති දැඩි කිරීමේ විශිෂ්ටතම ක්‍රමය ගැන උපදෙස් ලබා දෙනවා. ඔහු පවසන්නේ “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණු කරන්න, එවිට ඔහු වයස්ගත වූ කලත් එයින් අහක්ව නොයන්නේය” කියායි. (හිතෝපදේශ 22:6) ඔබ බයිබලයේ ඇති උපදෙස්වලට අනුව දරුවන්ව පුහුණු කළොත් ඔවුන් වගකීම් දැරිය හැකි, අන් අය ගැන සැලකිලිමත් වන හා හොඳ නරක අතර වෙනස වටහාගත හැකි වැඩිහිටියන් බවට පත් වෙනවා දැකීමේ ප්‍රීතිය ඔබට බොහෝවිට අද්දැකිය හැකියි. එවිට ඔවුන් අන් අයගේ ප්‍රේමයටත්, වඩාත් වැදගත් ලෙස අපේ ස්වර්ගික පියාණන් වන යෙහෝවාගේ ප්‍රේමයටත් පාත්‍ර වෙයි.