Skip to content

පටුනට යන්න

ඔබේ යාච්ඤාවලින් වෙනසක් වෙයිද?

ඔබේ යාච්ඤාවලින් වෙනසක් වෙයිද?

ඔබේ යාච්ඤාවලින් වෙනසක් වෙයිද?

අපට තනියෙන් විසඳාගත නොහැකි බරපතළ ගැටලුවක් අප අතර සිටින කවුද අද්දැක නැත්තේ? එවැනි තත්වයන්වලදී යාච්ඤාව විශාල පිටිවහලක් වන බව ප්‍රේරිත පාවුල් දැනගෙන සිටියා කියා බයිබලයෙහි සඳහන් වෙනවා.

පාවුල්ව කිසි හේතුවක් නැතුව රෝමයේ සිරගත කළ විට ඔහු වෙනුවෙන් යාච්ඤා කරන මෙන් සෙසු ඇදහිලිවන්තයන්ගෙන් ඔහු ඉල්ලා සිටියා. “මා ඉක්මනින්ම ඔබ වෙත නැවත එන පිණිස යාච්ඤා කරන ලෙස මම විශේෂයෙන්ම ඔබට උනන්දු කරමි” කියාද ඔහු කියා සිටියා. (හෙබ්‍රෙව් 13:18, 19, NW) තවත් අවස්ථාවකදී, ඔහුව ඉක්මනින් නිදහස් කරන්න කියා අන්‍යයන් කරන යාච්ඤාවලට දෙවි ප්‍රතිචාරය දක්වයි යන නිසැකකම පාවුල්ට තිබුණා. (පිලෙමොන් 22) පාවුල්ව ඉක්මනින් සිරගෙයින් නිදහස් කළ අතර යළි ඔහු තම මිෂනාරි සේවය පටන්ගත්තා.

හැබැයි යාච්ඤා කිරීමෙන් ඔබේ ගැටලු ඇත්තටම විසඳෙයිද? සමහරවිට එහෙම වෙන්න පුළුවන්. යාච්ඤාව නිකම්ම නිකම් ආගමික චාරිත්‍රයක් නොවෙයි කියන එක අමතක කරන්න එපා. එය අපගේ ප්‍රේමණීය සහ බලවන්ත ස්වර්ගික පියා සමඟ කරන සැබෑ අදහස් හුවමාරු කරගැනීමක්. අපට තිබෙන ගැටලුව යාච්ඤාව තුළින් නිශ්චිතව සඳහන් කිරීමට අප පසුබට නොවිය යුතු අතර පසුව යෙහෝවා ඊට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද කියා අප ඉවසිලිවන්තව බලා සිටිය යුතුයි.

දෙවි කෙළින්ම සෑම යාච්ඤාවකටම ප්‍රතිචාරය නොදැක්විය හැකියි. ඒ වගේම ඔහු හැමවිටම අප බලාපොරොත්තු වන විදිහට හෝ අපට අවශ්‍ය වේලාවට පිළිතුරු නොදෙන්නත් පුළුවන්. උදාහරණයකට පාවුල් ඔහුට තිබූ “මාංසයේ කටුවක්” සම්බන්ධයෙන් නැවත නැවත යාච්ඤා කළා. පාවුල්ට තිබුණ ගැටලුව කුමක්ද කියා අප හරියටම දන්නේ නැහැ. දෙවි එය විසඳුවේ නැති වුණත් දිරිගන්වනසුලු වදන්වලින් ඔහු පාවුල්ව සැනසුවා. “මාගේ මහත් කරුණාව ඔබට ප්‍රමාණවත්ය. මන්ද, දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වන්නේය.”—2 කොරින්ති 12:7-9, NW.

දෙවි අපට තිබෙන ගැටලුවක් විසඳුවේ නැතත් ‘එය විඳදරාගත හැකි වන පිණිස ඉන් ගැලවීමට මඟ සලසා දෙන්න’ ඔහුට හැකියි යන විශ්වාසය ඇතුව සිටින්න අපට පුළුවන්. (1 කොරින්ති 10:13, NW) ඉතාමත් ඉක්මනින් දෙවි මිනිසාගේ සියලු දුක් වේදනා නැති කර දමයි. එතෙක් “යාච්ඤා අසන තැනැත්තාගෙන්” උපකාර පැතීමෙන් වෙනසක් අද්දැකිය හැකියි.—ගීතාවලිය 65:2