Skip to content

පටුනට යන්න

ගිලියද් උපාධිධාරීහු උද්‍යෝගිමත් අස්වැන්න නෙළන්නන් ලෙස පිටත්ව යති!

ගිලියද් උපාධිධාරීහු උද්‍යෝගිමත් අස්වැන්න නෙළන්නන් ලෙස පිටත්ව යති!

ගිලියද් උපාධිධාරීහු උද්‍යෝගිමත් අස්වැන්න නෙළන්නන් ලෙස පිටත්ව යති!

“අස්වැන්න නම් බොහෝය, නමුත් වැඩ කරන්නෝ ස්වල්පදෙනෙක්ය. එහෙයින් තම අස්වැන්න නෙළීමට වැඩ කරන්නන් එවන ලෙස අස්වැන්නේ ස්වාමියාගෙන් අයැදින්න.” (මතෙව් 9:37, 38, NW) මෙම වදන් ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙහි 116වන පන්තියේ උපාධිධාරී ශිෂ්‍යයන්ට විශේෂයෙන් අර්ථවත් වූයේ ඔවුන් සිය මිෂනාරි පැවරුම් කරා පිටත් වීමට සූදානමින් සිටිය නිසාය.

උපාධි පිරිනැමීමේ වැඩසටහන සඳහා 2004 මාර්තු 13වන සෙනසුරාදා, නිව් යෝක්හි පැටර්සන් නගරයේ මුරටැඹ අධ්‍යාපන මධ්‍යස්ථානයෙහි සහ මෙම වැඩසටහන රූපවාහිනි මගින් සම්බන්ධ කර තිබූ වෙනත් ස්ථානයන්හි 6,684දෙනෙක් රැස්ව සිටියෝය. මෙම අවස්ථාවේදී සමුගන්නාවූ පන්තියට උපදෙස් හා දිරිගැන්වීම් දෙන ලදි. ආත්මික අස්වැන්න නෙළීමේ කාර්යයෙහි උද්‍යෝගයෙන් නියැලෙන්නන් වන අප සියල්ලන්ටද එහිදී දුන් උපදෙස්වලින් ප්‍රයෝජන ලැබිය හැකිය.

පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු මෙන්ම සත්වන ගිලියද් පන්තියේ උපාධිධාරියෙකු වූ තියඩෝර් ජැරැස් සමාරම්භක අදහස් ඉදිරිපත් කරමින් යේසුස්ගේ මෙම වදන් උලුප්පා දැක්විය. “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න.” (මතෙව් 28:19, 20, NW) සේවය සඳහා රටවල් 20කට උපාධිධාරීන්ව යවනු ලැබූ බැවින් එම වදන් මොන තරම් උචිත වීද! අතිවැදගත් ආත්මික අස්වැන්න නෙළීමේ කාර්යයෙහි නියැලෙන උද්‍යෝගිමත් සේවකයන් වීම සඳහා දේවවචනයෙන් ලැබුණු මඟ පෙන්වීම් තුළින් ඔවුන් සම්පූර්ණයෙන්ම සැදී පැහැදී සිටින බව ඔහු ශිෂ්‍යයන්ට සිහිපත් කර දුන්නේය.—මතෙව් 5:16.

අස්වැන්න නෙළන්නන් ඵලදායක වන අයුරු

වසර ගණනාවකට ගිලියද් පාසැල සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වමින් සිටින රොබට් වොලන් වැඩසටහනේ පළමු කථිකයා විය. “දයානුකම්පාව අගනා ගුණාංගයකි” යන මැයෙන් කතා කළ ඔහු ශිෂ්‍යයන්ට මෙසේ පැවසීය. “දයානුකම්පාව නමැති ගුණාංගයට බිහිරන්ට ඇසෙන්නත්, අන්ධයන්ට පෙනෙන්නත් සැලැස්විය හැකියි.” අන්‍යයන්ගේ දුක් දොම්නස් ගැන මහත් උනන්දුවක් දැක්වූ යේසුස්ට වුවමනා වූයේ ඔවුන්ට සහනයක් ලබා දීමටය. (මතෙව් 9:36) දේශනා සේවයේදී, සභාවේදී, මිෂනාරි නිවසේදී හා තමන්ගේම විවාහ ජීවිතයේදී එසේ කිරීමට ශිෂ්‍යයන්ටද බොහෝ ප්‍රස්තා තිබේ. කථිකයා ඔවුන්ව උනන්දු කළේ මෙලෙස පවසමිනි. “ඔබ අන්‍යයන්ට සේවය කරද්දී දයානුකම්පාව නමැති අගනා ගුණාංගය ඔබේ ජීවිතයේ පෙනෙන්න සලස්වන්න. මිෂනාරි නිවසේ එදිනෙදා කටයුතු කරද්දී හැකි උපරිමයෙන් හොඳ හැසිරීමක් පවත්වාගැනීම අත්‍යවශ්‍යම දෙයකි. එම නිසා, දයානුකම්පාව පැළඳගැනීමට අදිටන් කරගන්න.”—කොලොස්සි 3:12, NW.

ඊළඟට පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු මෙන්ම 41වන ගිලියද් පන්තියේ උපාධිධාරියෙකු වූ ගෙරිට් ලෝෂ් “ගැලවීම ප්‍රකාශ කරන්නෝ” නමැති විෂය මත තම කතාව ගොඩනැඟුවේය. (යෙසායා 52:7) පවතින සමාජ ක්‍රමය විනාශ වන විට බේරී ජීවත් වීමට ජනයාට වුවමනා නම්, ඔවුන් දෙවිගේ වචනයෙන් නිවැරදි දැනුම ලබාගැනීමත්, තමන්ගේ ඇදහිල්ල ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත්, බව්තීස්ම වීමත් අවශ්‍යය. (රෝම 10:10; 2 තිමෝති 3:15; 1 පේතෘස් 3:21) කෙසේවෙතත්, ගැලවීම ප්‍රකාශ කිරීමේ මූලික හේතුව වන්නේ මිනිසුන්ව ගලවාගැනීම නොව දෙවිට ප්‍රශංසාව ගෙන දීමය. එබැවින්, මෙම අනාගත මිෂනාරිවරුන්ට සහෝදර ලෝෂ් මෙසේ අවවාද කළේය. “යෙහෝවාට ප්‍රශංසාව ලැබෙන පිණිස ලෝකයේ කෙළවරවල් දක්වා රාජ්‍යයේ පණිවිඩය ගෙන යන්න. ගැලවීම පිළිබඳව උද්‍යෝගයෙන් ප්‍රකාශ කරන්න.”—රෝම 10:18.

“ඔබේ දීප්තිය කෙතරම් දුරකට විහිදේද?” යන ප්‍රශ්නය නැඟුවේ ගිලියද් උපදේශක ලෝරන්ස් බොවෙන්ය. මතෙව් 6:22හි ඇති වදන්වලට යොමු දැක්වූ ඔහු, “යෙහෝවාව මහිමවත් කරන හා සෙසු මිනිසුන්ට ප්‍රයෝජනවත් විය හැකි ආත්මික ඥානාලෝකය විහිදුවන්න” හැකි වන සේ තමන්ගේ ඇස “සරලව” තබාගන්න කියා උපාධිධාරී ශිෂ්‍යයන්ට දිරිගැන්නුවේය. මේ සම්බන්ධයෙන් යේසුස් පරිපූර්ණ ආදර්ශයක් තැබුවේ තම දේවසේවයේ ආරම්භයේදීම දෙවිගේ කැමැත්ත කිරීමට තම අවධානය යොමු කර තබාගැනීමෙනි. වනාන්තරයේදී සාතන් ගෙනා පරීක්ෂා විඳදරාගැනීම සඳහා යේසුස්ට ඔහුගේ පියා ස්වර්ගයේදී ඉගැන්වූ මවිතාකාර දේවල් ගැන මෙනෙහි කිරීම උපකාරයක් විය. (මතෙව් 3:16; 4:1-11) දෙවි තමාට පැවරූ දේ ඉටු කිරීමෙන් යෙහෝවා කෙරෙහි සම්පූර්ණයෙන්ම රඳා පවතින බව යේසුස් පෙන්නුවේය. එලෙසම, ඉදිරියෙහි තිබෙන අභියෝගයන්ට මුහුණ දීමට මිෂනාරිවරුන්ද නොකඩවා බයිබල් අධ්‍යයන පුරුදු පවත්වාගත යුතු අතර සම්පූර්ණයෙන්ම යෙහෝවා මත රඳා සිටිය යුතුය.

ගිලියද් උපදේශක හා 77වන ගිලියද් පන්තියේ උපාධිධාරියෙකු වන මාර්ක් නූමෙයාර් මෙම කතා මාලාව අවසන් කළේ “මෙන්න, අප ඔබ අතේය” යන තේමාව ඔස්සේ කතා කරමිනි. (යෝෂුවා 9:25) පුරාණ ගිබියොන්වරුන්ගේ ආකල්පය තබාගැනීමට ඔහු ශිෂ්‍යයන්ව දිරිගැන්නුවේය. ගිබියොන් “මහත් නුවරක්ව” තිබුණද, “එහි සියලු මනුෂ්‍යයෝ බලවන්තයෝ” වී සිටියද, ඔවුන් බලෙන් කීර්තිය ලබාගැනීමට වෑයම් කළේ හෝ තමන්ට රිසි සේ දේවල් සිද්ධ විය යුතුයයි අපේක්ෂා කළේ හෝ නැත. (යෝෂුවා 10:2) යෙහෝවාගේ නමස්කාරයට සහයෝගය දෙමින් ඔවුන් ලෙවීවරුන් යටතේ “දර කපන්නන්ද දිය අදින්නන්ද” වශයෙන් සේවය කළේ කැමැත්තෙන්මය. (යෝෂුවා 9:27) එලෙසම, උපාධිධාරී පන්තියේ සාමාජිකයන්ද උතුම් යෝෂුවා වන යේසුස් ක්‍රිස්තුස්ට පවසා තිබෙන්නේ “මෙන්න, අප ඔබ අතේය” කියාය. දැන් තම විදේශ පැවරුම් භාරගන්නාවූ ඔවුන් උතුම් යෝෂුවා තමන්ට දෙන ඕනෑම වැඩක් භාරගත යුතුය.

අද්දැකීම් හා සම්මුඛ සාකච්ඡා

හැටඑක්වන ගිලියද් පන්තියේ උපාධිධාරියෙකු මෙන්ම උපදේශකයන්ගෙන් කෙනෙකු වූ වොලස් ලිවරන්ස් ශිෂ්‍යයන් කණ්ඩායමක් සමඟ පැවැත්වූ සාකච්ඡාවක තේමාව වූයේ “ශුද්ධ ලියවිල්ල හොඳාකාරයෙන් පහදා දීම” යන්නයි. පාසැල පැවැත්වූ කාල පරිච්ඡේදය තුළ ශිෂ්‍යයෝ ක්ෂේත්‍ර සේවයේ යෙදෙන විට තමන් ලැබූ අද්දැකීම් විස්තර කළ අතර නිරූපණය කර පෙන්වූහ. ඔවුන් මාස පහක් පුරා මහත් පරිශ්‍රමයකින් කළ ශුද්ධ ලියවිලි අධ්‍යයනය ඔවුන්ගේ සිත්වලට කිඳා බැස තිබූ අතර ඔවුන් ඉගෙනගත් දේ අන්‍යයන්ට පැවසීමටද ඔවුන් පෙලඹුණ බව නිසැකය. (ලූක් 24:32) මාස පහේ පාඨමාලාව හදාරද්දී එක් ශිෂ්‍යයෙකුට තමාගේම සහෝදරයාට තමන් ඉගෙනගත් දේ පැවසීමට හැකි විය. එවිට ඔහුගේ සහෝදරයා, තමාගේ ප්‍රදේශයේ තිබෙන සභාව සොයාගැනීමට හා බයිබලය අධ්‍යයනය කිරීමට පෙලඹුණි. දැන් ඔහු බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු ලෙසද සුදුසුකම් ලබාගෙන සිටී.

මෙම අද්දැකීම්වලින් පසුව සංචාරක අවේක්ෂකයන්ද ඇතුළු යෙහෝවාට දිගු කලක් පුරා විශ්වාසවන්තව සේවය කළ කීපදෙනෙකු සමඟ රිචඩ් ඈෂ් සහ ජෝන් ගිබාර්ඩ් සම්මුඛ සාකච්ඡා පැවැත්වූහ. මුරටැඹ අධ්‍යාපන මධ්‍යස්ථානයේ විශේෂ පුහුණුවක් ලබමින් සිටි අයද සම්මුඛ සාකච්ඡාවලට භාජන වූ අය අතර සිටියහ. ඔවුන්ද ගිලියද් පාසැලේ කලින් පවත්වන ලද පන්තිවලදී උපාධි ලැබූ අයයි. සහෝදර නෝර් ගිලියද් පන්තියක් පවත්වන අතරතුරේදී පැවසූ මේ දේ එක් සහෝදරයෙක් සිහිපත් කළේය. “ගිලියද්හිදී ඔබ සෑහෙන අධ්‍යයනයක යෙදේ. ඒත් ඔබ හිස උදුම්මාගත්තොත් අපි අසාර්ථකයි. අපිට ඕනේ ඔබ සියල්ලන් ප්‍රේමණීය හෘදයක් ඇති අය වෙනවා දකින්නයි.” සංචාරක සහෝදරයන් මෙම පන්තියට උපදෙස් දුන්නේ මිනිසුන් ගැන සැලකිලිමත් වෙන්න; ක්‍රිස්තුස් මෙන් අන් අය සමඟ කටයුතු කරන්න; ලැබෙන ඕනෑම පැවරුමක් යටහත්ව පිළිගන්න කියාය. මෙම අවවාදය පිළිගැනීම නිසැකවම නව මිෂනාරීන්ට තමන්ගේ පැවරුම්වල ඵලදායී වීමට උපකාරයක් වනු ඇත.

උද්‍යෝගිමත් අස්වැන්න නෙළන්නන් ලෙසින් පිටත් වන්න

පාලක මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු වන ස්ටීවන් ලෙට්ට සවන් දීමට සභාවට ප්‍රස්තාව උදා වුණි. ඔහු “උද්‍යෝගිමත් අස්වැන්න නෙළන්නන් ලෙසින් පිටත් වන්න” යන මැයෙන් යුත් වැඩසටහනෙහි ප්‍රධාන කථාව දුන්නේය. (මතෙව් 9:38, NW) සැබෑ අස්වැන්න නෙළීමකදී අස්වැන්න නෙළීම සිදු වන්නේ සීමිත කාලයක් තුළය. එමෙන්ම නෙළන්නන් වෙහෙස මහන්සි වී වැඩ කිරීමද අවශ්‍යයි. පවතින සමාජ ක්‍රමය අවසාන භාගයේදී එය ඊටත් වඩා කොපමණ වැඩියෙන් අවශ්‍යද! විශාල ආත්මික නෙළීම සිදු වන විට ජීවිත තිබෙන්නේ අනතුරෙහිය. (මතෙව් 13:39) ‘තමන්ගේ කාර්යයෙහි කම්මැළි’ නොවන්න. යළිත් ප්‍රස්තාවක් නොලැබෙන මෙම නෙළීමේ කාර්යයෙහි හවුල් වෙමින් “ශුද්ධාත්මයෙන් පිරී ඉතිරී යන්න.” එමෙන්ම “යෙහෝවාට වෙහෙස මහන්සි වී සේවය කරන්න” කියා සහෝදර ලෙට් උපාධිධාරීන්ව දිරිගැන්නුවේය. (රෝම 12:11, NW) කථිකයා යේසුස්ගේ වදන් උපුටා දැක්වුවේ මෙසේය. “ඔබේ ඇස් ඔසවා, අස්වැන්න නෙළීම සඳහා කෙත් සුදු පාටට තිබෙන හැටි බලන්න.” (යොහන් 4:35, NW) ඉන්පසු, ජනයාව හමු විය හැකි ඕනෑම වෙලාවක හා ඕනෑම තැනකදී, ඔවුන්ට අවිධිමත් සාක්ෂි දැරීමට ලැබෙන සියලු ප්‍රස්තාවලින් ප්‍රයෝජන ගැනීමට අවංක වෑයමක් දැරීමෙන් අස්වැන්න නෙළීමේ වැඩයට තිබෙන තමන්ගේ උද්‍යෝගය පෙන්වන්න කියා ඔහු උපාධිධාරීන්ට බලවත් ලෙස උනන්දු කළේය. අවස්ථාවන් උදා කරගැනීමට සෝදිසියෙන් සිටීමෙන් ඵලදායී සාක්ෂියක් දැරීමට හැකි වේ. යෙහෝවා උද්‍යෝගිමත් දෙවි කෙනෙකු වන අතර අප සියල්ලන්ද ඔහුව අනුකරණය කරමින් ආත්මික නෙළීමේ වැඩයෙහි වෙහෙසී නියැලීම ඔහු අපෙන් බලාපොරොත්තු වෙයි.—2 රාජාවලිය 19:31; යොහන් 5:17.

වැඩසටහන අවසානයේදී, සභාපති වූ සහෝදර ජැරැස් ශාඛා කාර්යාල ගණනාවකින් එවා තිබූ සුබ පැතුම් ඉදිරිපත් කළ අතර ශිෂ්‍යයන්ට උපාධිද පිරිනැමුවේය. එක් උපාධිධාරියෙක් පන්තිය නියෝජනය කරමින් තමන් ලද පුහුණුව හද පත්ලෙන්ම අගය කරන බව සඳහන් ලිපියක් කියෙව්වේය. පැහැදිලිවම, 116වන පන්තියේ උපාධි පිරිනැමීමේ වැඩසටහන, එහි රැස්ව සිටි සියලුදෙනා තුළම උද්‍යෝගිමත් අස්වැන්න නෙළන්නන් ලෙස වැඩි අධිෂ්ඨානයකින් පිටත්ව යෑමට සැලැස්විය.

[25වන පිටුවේ කොටුව]

පන්තියේ දත්ත

නියෝජිත රටවල් සංඛ්‍යාව: 6

පැවරුම් ලැබූ රටවල් සංඛ්‍යාව: 20

ශිෂ්‍ය සංඛ්‍යාව: 46

වයස් සාමාන්‍යය: 34.2

සත්‍යය තුළ සිටි වසර ගණනේ සාමාන්‍යය: 17.2

පූර්ණ කාලීන සේවයේ යෙදී ඇති වසර ගණනේ සාමාන්‍යය: 13.9

[26වන පිටුවේ පින්තූරය]

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලේ උපාධි ලැබූ 116වන පන්තිය

පහත සඳහන් ලැයිස්තුවේ පේළි, ඉදිරියේ සිට පසුපසට අංකනය කර ඇති අතර, එක් එක් පේළියේ වමේ සිට දකුණට නම් ලැයිස්තුගත කර තිබේ.

(1) සීඔන්සූ, ආර්.; ස්පාක්ස්, ටී.; පීන්යා, සී.; ටර්න, පී.; චේනි, එල්. (2) ස්වාර්ඩී, එම්.; ෂෝක්විස්ට්, ඒ.; ආමාඩෝරී, එල්.; ස්මිත්, එන්.; ජෝර්ඩන්, ඒ.; බ්වසොනෝ, එල්. (3) මැට්ලොක්, ජේ.; රූත්, සී.; ඩූලාර්, එල්.; වින්ඥරොන්, එම්.; හෙන්රි, කේ. (4) ෂෝක්විස්ට්, එච්.; ලොක්ස්, ජේ.; රූසෝ, ජේ.; ගුස්ටාෆ්සොන්, කේ.; බ්වසොනෝ, ආර්.; ජෝර්ඩන්, එම්. (5) හෙන්රි, ඩී.; ටර්න, ඩී.; කර්වින්, එස්.; ෆ්ලෝරීට්, කේ.; සීඔන්සූ, එස්. (6) ආමාඩෝරී, එස්.; චේනි, ජේ.; රොස්, ආර්.; නෙල්සන්, ජේ.; රූත්, ජේ.; වින්ඥරොන්, එම්. (7) ෆ්ලෝරීට්, ජේ.; මැට්ලොක්, ඩී.; රොස්, බී.; ලොක්ස්, සී.; රූසෝ, ටී.; ඩූලාර්, ඩී.; කර්වින්, එන්. (8) ගුස්ටාෆ්සොන්, ඒ.; නෙල්සන්, ඩී.; ස්වාර්ඩී, ඩබ්.; පීන්යා, එම්.; ස්මිත්, සී.; ස්පාක්ස්, ටී.