Skip to content

පටුනට යන්න

ජීවමාන දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙන්න

ජීවමාන දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙන්න

ජීවමාන දෙවිගේ මඟ පෙන්වීමට යටත් වෙන්න

‘අහසත් පොළොවත් මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත් සෑදූ ජීවමාන දෙවි වෙතට හැරෙන්න.’—ක්‍රියා 14:15, NW.

1, 2. යෙහෝවාව “ජීවමාන දෙවි” ලෙස පිළිගැනීම සුදුසු වන්නේ මන්ද?

ප්‍රේරිත පාවුල් සහ බානබස් එක්තරා මිනිසෙකුව සුව කළායින් පසුව, ඒ දෙස බලා සිටි ලිස්ත්‍රාවේ වැසියන්ට පාවුල් මෙසේ කීවේය. “අපත් ඔබ හා සමාන දුර්වලකම් ඇති මිනිසුන්ය. අප ඔබට ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ, ඔබ මේ නිෂ්ඵල දේවලින් හැරී, අහසත් පොළොවත් මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත් සෑදූ ජීවමාන දෙවි වෙතට හැරෙන පිණිසය.”—ක්‍රියා 14:15, NW.

2 යෙහෝවා වනාහි අජීවි පිළිමයක් නොව, ‘ජීවමාන දෙවිය’ යන කාරණය මොන තරම් සැබෑවක්ද! (යෙරෙමියා 10:10; 1 තෙසලෝනික 1:9, 10) යෙහෝවා ජීවමානය. එපමණක්ද නොව, අපගේ ජීවිතයේ උල්පතද ඔහුය. “සියලුදෙනාටම ජීවනයත් හුස්මත් අන් සියලු දේත් දෙන්නේ ඔහුමය.” (ක්‍රියා 17:25, NW) අප දැනුත් අනාගතයේදීත් ජීවිතය සතුටින් භුක්ති විඳිනු දැකීම ඔහුගේ ආශාවයි. එමෙන්ම ඔහු ඒ ගැන සැලකිලිමත් වෙයි. තවද පාවුල් මෙසේද කීවේය. දෙවි “තමන් ගැන සාක්ෂි නොදී සිටියේ නැත. මන්ද, ඔහු ඔබට අහසින් වර්ෂාද සාරවත් කාලවල්ද දීමෙන්, කෑමෙන්ද ප්‍රීතියෙන්ද ඔබේ සිත් සම්පූර්ණයෙන් තෘප්තිමත් කරමින් යහපත කළේය.”—ක්‍රියා 14:17, NW.

3. දෙවි සපයන මඟ පෙන්වීම කෙරෙහි අපට විශ්වාසය තැබිය හැක්කේ මන්ද?

3 දෙවි අපගේ ජීවිත ගැන සැලකිලිමත් වීම නිසා ඔහුගේ මඟ පෙන්වීම කෙරෙහි විශ්වාසය තැබීමට අපට පුළුවන. (ගීතාවලිය 147:8; මතෙව් 5:45) බයිබලයේ සඳහන් යම් ආඥාවක් තමන්ට තේරුම්ගැනීමට බැරිය කියා හෝ ඒ මගින් සීමා තහංචි දමා තිබෙනවායයි පෙනෙන්ට තිබෙන විටෙක හෝ ඇතමුන් දෙවිගේ මඟ පෙන්වීම කෙරෙහි විශ්වාසය නොතබන්නට පුළුවන. එහෙත්, ඥානවන්ත ක්‍රියාමාර්ගය බවට ඔප්පු වී ඇත්තේ යෙහෝවාගේ මඟ පෙන්වීම කෙරෙහි විශ්වාසය තැබීමයි. මෙය මෙසේ නිදර්ශනය කරමු. මළ සිරුරක් අල්ලන්න එපා කියා දුන් නීතිය යම් ඊශ්‍රායෙලිතයෙක් තේරුම්ගත්තේ නැතත්, එයට කීකරු වීමෙන් ඔහු ප්‍රයෝජන ලැබීය. පළමුව, ඔහුගේ කීකරුකම ඔහුව යෙහෝවා වෙතට තවත් ළං කරයි. තවද, ඒ මගින් රෝග වැලඳීමෙන්ද ඔහුව ආරක්ෂා කරයි.—ලෙවී කථාව 5:2; 11:24.

4, 5. (අ) ක්‍රිස්තියානි යුගයට පෙර යෙහෝවා රුධිරය සම්බන්ධයෙන් දුන්නේ කිනම් මඟ පෙන්වීමද? (ආ) රුධිරය සම්බන්ධ දෙවිගේ මඟ පෙන්වීමට ක්‍රිස්තියානීන්ද ඇතුළත් බව අප දන්නේ කෙසේද?

4 රුධිරය සම්බන්ධව දෙවි දෙන මඟ පෙන්වීමත් එසේමය. ඔහු නෝවාට පැවසුවේ මිනිසුන් රුධිරය ආහාරයට නොගත යුතු බවය. රුධිරය නිසි ලෙස යොදාගන්නා ආකාරය ගැන දෙවි ඊළඟට නීතිය තුළින් හෙළි කළේය. එනම් එසේ යොදාගත යුත්තේ පූජාසනය මත බවය. ඒ පව්වලට සමාව ලබාගැනීම පිණිසය. එවන් මඟ පෙන්වීම් තුළින් දෙවි කරමින් සිටියේ රුධිරයේ උත්තරීතර භාවිතය සඳහා අවශ්‍ය අඩිතාලම දැමීමයි. එනම්, යේසුස්ගේ මිදීමේ මිලය මාර්ගයෙන් ජීවිත ගලවාගැනීම සඳහාය. (හෙබ්‍රෙව් 9:14) එසේය, දෙවි මඟ පෙන්වීම් දුන්නේ අපගේ ජීවිතයට යහපතක් සිදුවීම පෙරදැරි කරගෙනය. උත්පත්ති 9:4වන පදය ගැන සාකච්ඡා කරමින්, 19වන සියවසේ ජීවත් වූ බයිබල් විශාරද ඇඩම් ක්ලාක් මෙසේ ලීවේය. “[නෝවාට] දුන් මෙම ආඥාවට පෙරදිග ක්‍රිස්තියානීහු තදින්ම ඇලී සිටිති . . . නීතිය යටතේ කිසිම ආකාරයකින් රුධිරය අනුභව නොකරන ලදි. මන්දයත්, ඒ මගින් යොමු දක්වනු ලැබුවේ ලෝකයේ පාපය දුරු කරන රුධිරය වැගිරවීම වෙතටය. තවද, සුවිශේෂය යටතේ එය අනුභව නොකළ යුතුය. මන්දයත් පාපය දුරු කිරීම සඳහා වගුරුවා ඇති රුධිරය ඉන් නියෝජනය වන බවට සදහටම සැලකිය යුතු වූ නිසාය.”

5 මෙම විශාරදයා මෙහිදී යොමු දක්වමින් සිටියේ යේසුස් වටා කේන්ද්‍රගත වී තිබුණාවූ මූලික සුවිශේෂයට හෙවත් ශුභාරංචියට විය හැකියි. අප වෙනුවෙන් මිය යෑමට දෙවි සිය පුත්‍රයාව එවීම මෙන්ම අපට සදාකාල ජීවනය ලැබෙන ලෙස ඔහුගේ රුධිරය වගුරුවනු ලැබීම මීට ඇතුළත් වේ. (මතෙව් 20:28; යොහන් 3:16; රෝම 5:8, 9) තවද, ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් රුධිරයෙන් වැළකිය යුතුය යන පසුව නිකුත් කළ ආඥාවද ඉහත දැක්වූ විවරණයට ඇතුළත් විණි.

6. රුධිරය සම්බන්ධයෙන් ක්‍රිස්තියානීන්ට දෙනු ලැබූ මඟ පෙන්වීම කුමක්ද? ඒ මන්ද?

6 දෙවි ඊශ්‍රායෙලිතයන්ට නීති සිය ගණනක් දුන් බව ඔබ දන්නෙහිය. යේසුස් මිය ගිය පසුව, ඔහුගේ ගෝලයන් එම නීති සියල්ලම පවත්වන්නට බැඳී සිටියේ නැත. (රෝම 7:4, 6; කොලොස්සි 2:13, 14, 17; හෙබ්‍රෙව් 8:6, 13) කෙසේවෙතත්, යම් කලකට පසුව, එක්තරා ප්‍රධාන නීතියක් සම්බන්ධව ප්‍රශ්නයක් පැනනැඟිණි. ඒ, පිරිමින්ව චර්මච්ඡේදනය කිරීම ගැනයි. ක්‍රිස්තුස්ගේ රුධිරයෙන් ප්‍රයෝජන ගැනීමට වුවමනා වූ යුදෙව් නොවන්නන් තවමත් නීතිය යටතේ සිටින බව පෙන්වීම සඳහා ඔවුන්ව චර්මච්ඡේදනය කරනු ලැබිය යුතුද? ක්‍රිස්තු වර්ෂ 49දී, ක්‍රිස්තියානි පාලක මණ්ඩලය එම ප්‍රශ්නයට සිය අවධානය යොමු කළේය. (ක්‍රියා 15වන පරිච්ඡේදය) දෙවිගේ ආත්මයෙන් මඟ පෙන්වනු ලැබූ ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන් තීන්දු කළේ චර්මච්ඡේදනය කිරීමට දී තිබූ නියෝගය නීතියත් සමඟම අවසන් වූ බවයි. එහෙත්, යම් දිව්‍යමය අවශ්‍යතාවන් ක්‍රිස්තියානීන් විසින් පිළිපදිනු ලැබීමට තිබිණි. පාලක මණ්ඩලය සභාවන්ට යැවූ ලිපියක මෙසේ ලීවේය. “අත්‍යවශ්‍ය කාරණා හැරෙන්නට වෙන කිසි බරක් ඔබට එකතු නොකිරීම යහපතැයි ශුද්ධාත්මයටත් අපටත් පෙනී ගියේය. ඒවා නම්, දේවතා රූපවලට පූජා කළ දේවලින්ද ලෙයින්ද බෙල්ල මිරිකා මැරූ සතුන්ගෙන්ද වේශ්‍යාකමින්ද වැළකී සිටීමය. ඔබ මේ දේවලින් පරෙස්සමින් වැළකී සිටින්නේ නම්, ඔබ සපල වන්නහුය.”—ක්‍රියා 15:28, 29, NW.

7. ක්‍රිස්තියානීන් ‘ලෙයින් වැළකී සිටීම’ කොතරම් වැදගත්ද?

7 පාලක මණ්ඩලය, ‘ලෙයින් වැළකී සිටීම’ යන කාරණය ලිංගික දුරාචාරයෙන් හෝ පිළිම වන්දනාවෙන් වැළකී සිටීම තරම් සදාචාරමය වශයෙන් වැදගත්යයි සැලකූ බව ඉතා පැහැදිලියි. මින් ඔප්පු වන්නේ රුධිරය පිළිබඳ තහනම ඉතා බරපතළ එකක් බවයි. කිසිම පසුතැවිල්ලක් නැතිව රූප වන්දනාවේ නියැලෙන හෝ ලිංගික දුරාචාරයේ නියැලෙන ක්‍රිස්තියානීන්ට ‘දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.’ ‘ඔවුන්ට අයිති කොටස දෙවෙනි මරණයය.’ (1 කොරින්ති 6:9, 10; එළිදරව් 21:8; 22:15) ඇති වන ප්‍රතිඵලයේ වෙනස බලන්න. එනම්, රුධිරයේ පරිශුද්ධභාවය සම්බන්ධව දෙවි දෙන මඟ පෙන්වීමට අගෞරව කරන අයට සදාකාල මරණය හිමි විය හැක. එනමුත් යේසුස්ගේ පූජාව කෙරෙහි ගෞරවය දක්වන අයව සදාකාල ජීවනයට මඟ පෙන්විය හැකියි.

8. රුධිරය සම්බන්ධ දෙවිගේ මඟ පෙන්වීම මුල් ක්‍රිස්තියානීන් ඉතා බරපතළ ලෙස සැලකිල්ලට ගත් බව පෙන්වන්නේ කුමකින්ද?

8 රුධිරය සම්බන්ධයෙන් දෙවි දුන් මඟ පෙන්වීම මුල් ක්‍රිස්තියානීන් තේරුම්ගත්තෙත් ඒ අනුව ක්‍රියා කළෙත් කෙසේද? ක්ලාක්ගේ විවරණය ගැන මතක් කරන්න. “තවද, සුවිශේෂය යටතේ එය අනුභව නොකළ යුතුය. මන්දයත් පාපය දුරු කිරීම සඳහා වගුරුවා ඇති රුධිරය ඉන් නියෝජනය වන බවට සදහටම සැලකිය යුතු වූ නිසාය.” මුල් ක්‍රිස්තියානීන් මෙම කාරණය ඉතා බරපතළ එකක් ලෙස සැලකූ බව ඉතිහාසයෙන් සනාථ වේ. ටර්ටූලියන් ලීවේ මෙසේයි. “රංග භූමියක සිදු වන මල්ලව පොරයකදී වැගිරවෙන දුෂ්ට අපරාධකරුවන්ගේ උණුසුම් ලේ . . . තම අපස්මාර රෝගය සුව කරගැනීමට ගෙන යන්නාවූ, . . . ගිජු ලේ පිපාසාවක් ඇත්තවුන් ගැන සලකා බලන්න.” මිථ්‍යාදෘෂ්ටිකයන් රුධිරය අනුභව කළ අතරේදී, ටර්ටූලියන් පැවසුවේ ක්‍රිස්තියානීන් “සතුන්ගේ ලේවත් [තමන්ගේ] ආහාරවලට එකතු කරගත්තේ නැත. . . . ක්‍රිස්තියානීන්ගේ නඩු විභාග කිරීම්වලදී ඔබ ඔවුන්ට ලේ පිරුණු ලිංගුස් දෙන්නාහුය. [එය] ඔවුන්ට නීති විරෝධී බව ඔබ ඉතා පැහැදිලි ලෙස දන්නාහුය” කියායි. එසේය, මරණ තර්ජන තිබුණද, ක්‍රිස්තියානීහු රුධිරය අනුභව නොකළෝය. දෙවිගේ මඟ පෙන්වීම ඔවුන්ට එතරම්ම වැදගත් යමක් විණි.

9. රුධිරයෙන් වැළකී සිටින ලෙස දුන් ආඥාවට, කෙළින්ම රුධිරය අනුභව නොකිරීමට අමතරව ඇතුළත් වූයේ කුමක්ද?

9 මෙහිදී පාලක මණ්ඩලය අදහස් කළේ රුධිරය කෙළින්ම අනුභව නොකිරීමත් පානය නොකිරීමත් රුධිරය සහිත මස් හෝ රුධිරය මුසු කරන ලද ආහාර අනුභව නොකිරීමත් බව ඇතමෙකු සිතන්නට ඉඩ තිබේ. එය දෙවි නෝවාට දුන් ආඥාවේ මුල්ම අදාළ වීම බව සැබෑය. තවද, ප්‍රේරිතයන් ක්‍රිස්තියානීන්ට දුන් ආඥාවේ ‘බෙල්ල මිරිකා මැරූ සතුන්ගෙන්ද’ එනම් රුධිරය ඉතිරිව තිබූ මස් කෑමෙන්ද වැළකී සිටිය යුතු බව සඳහන් විණි. (උත්පත්ති 9:3, 4; ක්‍රියා 21:25) කෙසේවෙතත්, එයට ඊටත් වඩා යමක් ඇතුළත් බව මුල් ක්‍රිස්තියානීහු දැන සිටියෝය. ඇතැම් අවස්ථාවලදී රුධිරය වෛද්‍යමය ප්‍රතිකාර සඳහාද යොදාගන්නා ලදි. අපස්මාරය සුව කිරීමේ උත්සාහයක් වශයෙන් ඇතැම් මිථ්‍යාදෘෂ්ටිකයන් උණු ලේ පානය කළ බව ටර්ටූලියන් සඳහන් කළේය. තවද, රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහාද, ශරීර සුවතාවට ඉවහල් වෙනවා කියා සිතූ බැවින් ඒ සඳහාද රුධිරය පාවිච්චි කරන්නට ඇත. මේ හේතුව නිසා, ක්‍රිස්තියානීන් සම්බන්ධයෙන් ගත් කල, රුධිරයෙන් වැළකී සිටීමේ ආඥාවට කීකරු වීමේදී “වෛද්‍යමය” හේතු නිසා වුවද එය ලබා නොගැනීම ඊට ඇතුළත් විණි. ඔවුහු තම ජීවිත අවදානමට ලක් වුණත් එම ස්ථාවරය රැකගත්හ.

රුධිරය ඖෂධයක් ලෙස

10. රුධිරය ඖෂධයක් ලෙස පාවිච්චි කෙරෙන ඇතැම් ක්‍රම මොනවාද? මේ පිළිබඳව ඇති වන ප්‍රශ්න කවරේද?

10 අද රුධිරය ඖෂධයක් ලෙස පාවිච්චි කිරීම පොදු දෙයක් වී ඇත. මුල් කාලවලදී රුධිර ප්‍රවේශනය කරනු ලැබුවේ සම්පූර්ණ රුධිරය වශයෙනි. එනම්, යම් කෙනෙකුගෙන් රුධිරය ලබාගෙන, ගබඩා කර, ඒවා දෙනු ලැබුවේ සමහරවිට යුධ පිටියකදී තුවාල වූ සොල්දාදුවෙකුටය. කල් යත්ම, එසේ වෙන් කරගත් රුධිරය මූලික කොටස්වලට වෙන් කිරීමට පර්යේෂකයෝ සමත් වූහ. මූලික කොටස්වලින් යුත් රුධිර ප්‍රවේශන යොදාගනිමින්, පරිත්‍යාග කරන ලද රුධිරය රෝගීන් වැඩිදෙනෙකුට දීමට වෛද්‍යවරුන්ට හැකි වූ අතර සමහරවිට, ප්ලාස්මා එක් තුවාලකරුවෙකුටත් රතු සෛල තවත් රෝගියෙකුටත් දීමට හැකි විණි. තවදුරටත් කරන ලද පර්යේෂණවලින් පෙන්වූයේ, රුධිර ප්ලාස්මා වැනි මූලික කොටස්වලින් අතුරු කොටස් ගණනාවක් ලබාගත හැකි බවත්, ඒවා තව තවත් රෝගීන්හට දිය හැකි බවත්ය. මේ අයුරින් තව තවත් අතුරු කොටස් ලබාගැනීමට දිගින් දිගටම පියවර ගනු ලබන අතර, මෙම අතුරු කොටස් නව ආකාරවලින් පාවිච්චි කිරීම ගැන වාර්තා වෙමින් තිබේ. මේ කාරණයේදී ක්‍රිස්තියානියෙක් ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? රුධිර ප්‍රවේශනයක් කිසිවිටෙකත් පිළි නොගැනීමට ඔහු ස්ථිර ලෙස අධිෂ්ඨාන කරගෙන සිටී. නමුත් මූලික කොටසක්, එනම්, සමහරවිට රතු සෛල ලබාගන්නා ලෙස ඔහුගේ වෛද්‍යවරයා ඔහුට බල කර සිටින්නට පුළුවන. නොඑසේනම්, රෝගියාට දෙනු ලබන ප්‍රතිකාරයට, මූලික කොටසකින් ලබාගත් අතුරු කොටසක් ඇතුළත් වන්නට පුළුවන. රුධිරය වනාහි පරිශුද්ධ දෙයක් බවත්, ක්‍රිස්තුස්ගේ රුධිරය ජීවිත ගලවන බවත් හොඳ හැටි දන්නා දෙවිගේ සේවකයෙකුට මෙම ප්‍රශ්නවලදී තීරණයක් ගැනීමට හැක්කේ කෙසේද?

11. සාක්ෂිකරුවෝ බොහෝ කලක් තිස්සේ රුධිරය සම්බන්ධයෙන් වෛද්‍යමය වශයෙන් කවර නිවැරදි ස්ථාවරයක සිටින්නෙහිද?

11 මීට දශක කිහිපයකට පෙර, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ මේ සම්බන්ධව තමන්ගේ ස්ථාවරය පැහැදිලිව දැක්වූහ. නිදසුනක් වශයෙන්, ඔවුහු ද ජර්නල් ඔෆ් දි අමෙරිකන් මෙඩිකල් ඇසෝසියේෂන් යන ප්‍රකාශනයට ලිපියක් සැපයූහ. (වර්ෂ 1981 නොවැම්බර් 27වන දා පළ විණි; ඔබේ ජීවිතය ගැලවීමට රුධිරයට හැක්කේ කෙසේද? යන විවරණිකාවේ 27-9 දක්වා පිටුවල යළි මුද්‍රණය විණි). * එම ලිපිය උත්පත්ති, ලෙවී කථාව සහ ක්‍රියා යන පොත්වලින් කොටස් උපුටා දැක්වීය. එහි මෙසේ පැවසීය. “මෙම බයිබල් පදවල වෛද්‍යමය යෙදුම් භාවිත කර නොතිබුණද, සම්පූර්ණ රුධිරය ප්‍රවේශනය කිරීම, එනම් රතු රුධිරාණු, ප්ලාස්මාව මෙන්ම සුදු රුධිරාණු සහ පට්ටිකා ප්‍රවේශනය කිරීම ඔවුන්ට තහනම් කර තිබේයයි ඔවුහු සලකති.” “රුධිරයේ සංයුතිය” යන තේමාව යටතේ ඉමජන්සි කෙයාර් යන 2001දී පළ වූ අත්පොතේ සඳහන් කළේ මෙසේයි. “රුධිරය සෑදී තිබෙන්නේ ප්‍රධාන කොටස් කිහිපයකිනි. ඒවා නම්, ප්ලාස්මාව, රතු සහ සුදු සෛල සහ පට්ටිකා යන කොටස්ය.” මෙසේ, වෛද්‍යමය කරුණුවලට එකඟව සාක්ෂිකරුවෝ සම්පූර්ණ රුධිරය හෝ එහි මූලික කොටස් හතරින් එකක් හෝ ප්‍රවේශනය කිරීම ප්‍රතික්ෂේප කරති.

12. (අ) රුධිරයේ මූලික කොටස්වලින් ලබාගත් අතුරු කොටස් සම්බන්ධයෙන් කිනම් ස්ථාවරය ඉදිරිපත් කොට තිබේද? (ආ) අමතර කරුණු සොයාගත හැක්කේ කොහෙන්ද?

12 වෛද්‍යමය ලිපිය තවදුරටත් පැවසුවේ මෙසේයි. “ඇල්බියුමින්, ඉමියුන් ග්ලෝබියුලින් සහ රක්තකාමතාව සඳහා සකසා ඇති ද්‍රව්‍යය වැනි සංයෝග භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් නොකරන බව සාක්ෂිකරුවන් ආගමික වශයෙන් විශ්වාස කරති. ප්‍රතිකාරයකදී තමාට මේවා පිළිගත හැකිදැයි සෑම සාක්ෂිකරුවෙකුම පෞද්ගලිකව තීරණය කළ යුතුය.” වර්ෂ 1981 පටන්, අතුරු කොටස් බොහොමයක් (මූලික කොටස් හතරින් ලබාගත් අතුරු කොටස්) භාවිතය සඳහා වෙන් කර තිබේ. මේ අනුව, 2000 ජූනි 15 මුරටැඹ කලාපයේ “පාඨකයන්ගේ ප්‍රශ්න” යන ලිපිය යටතේ උපකාරවත් තොරතුරු සැපයිණි. මිලියන ගණනකින් යුත් වත්මන් පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා එහි පළ වූ පිළිතුර මෙම සඟරාවේ 29-31 දක්වා පිටුවල නැවත පළ වී තිබේ. එහි සවිස්තරාත්මක තොරතුරු මෙන්ම තර්කානුකූල පැහැදිලි කිරීමක් දී ඇතත්, 1981දී පළ කරන ලද ලිපියේ අඩංගු මූලික කරුණුවලට එම ලිපිය එකඟ බව ඔබට පෙනී යනු ඇත.

ඔබගේ හෘදය සාක්ෂිය සතු කාර්යය

13, 14. (අ) හෘදය සාක්ෂිය යනු කුමක්ද? රුධිරය සම්බන්ධ කාරණාවලට එය බලපාන්නේ කෙසේද? (ආ) මස් කෑම සම්බන්ධයෙන් දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් මඟ පෙන්වීම කුමක්ද? එනමුත් කිනම් ප්‍රශ්න මතු වූවා විය හැකිද?

13 එවන් තොරතුරු කෙනෙකුට ලැබෙන විට ඔහු ගන්නා තීරණවලදී මූලිකවම බලපාන්නේ ඔහුගේ හෘදය සාක්ෂියයි. ඒ මන්ද? ඊට හේතුව නම්, දෙවිගේ මඟ පෙන්වීම අනුගමනය කළ යුතු බවට ක්‍රිස්තියානීන් විශ්වාස කිරීමය. එනමුත් ඇතැම් පැතිවලදී පෞද්ගලික මට්ටමින් යම් තීරණ ගත යුතු අතර, මෙහිදී හෘදය සාක්ෂිය සම්බන්ධ වෙයි. හෘදය සාක්ෂිය යනු, කාරණා, බොහෝවිට සදාචාරමය කාරණා කිරා මැන බලා තීරණයක් ගැනීමට ඇති සහජ හැකියාවය. (රෝම 2:15, 16) එහෙත්, හෘදය සාක්ෂිය ක්‍රියාත්මක වන අන්දම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බව ඔබ දන්නෙහිය. * ඇතමුන්ට ‘දුර්වල හෘදය සාක්ෂියක්’ ඇති බවත්, වෙනත් අයගේ හෘදය සාක්ෂිය ශක්තිමත් බවත් බයිබලය සඳහන් කරයි. (1 කොරින්ති 8:12) දෙවි පවසන දේ ඉගෙනීම සම්බන්ධයෙන් ලබා තිබෙන ප්‍රගතිය අතින්ද, දෙවි සිතන ආකාරය කොතරම් දුරට සිතට කාවැදී ඇද්ද යන කාරණය අතින්ද, එලෙස කාවැදුණු දේවල් තම තීරණවලට අදාළ කරගැනීම අතින්ද ක්‍රිස්තියානීහු එකිනෙකාට වෙනස් මට්ටම්වල සිටිති. යුදෙව්වන් මස් කෑම සම්බන්ධයෙන් දැරූ වෙනස් ආකල්ප තුළින් අපට මෙය උපහැරණය කළ හැකියි.

14 දෙවිට කීකරු වන පුද්ගලයෙක් ලේ ඉවත් නොකළ මස් නොකෑ යුතු බව බයිබලය පැහැදිලිවම කියා සිටී. එය කොතරම් වැදගත්ද කියනවා නම්, හදිසි අවස්ථාවකදී හෝ ඊශ්‍රායෙල් හේවායන් ලේ සහිත මස් අනුභව කළහොත් එයද බරපතළ වරදක් හෝ පාපයක් ලෙස ගණන් ගැනිණ. (ද්විතීය කථාව 12:15, 16; 1 සාමුවෙල් 14:31-35) එහෙත්, යම් ප්‍රශ්න පැනනැඟුණා විය හැකියි. යම් ඊශ්‍රායෙලිතයෙක් බැටළුවෙකුව මැරුවා නම්, ඔහු කොතරම් ඉක්මනින් උගේ රුධිරය පෙරී යෑමට සැලැස්විය යුතුද? ලේ පෙරී යෑමට සැලැස්වීම සඳහා ඔහු එම සතාගේ ගෙල කැපිය යුතුද? එම බැටළුවාව උගේ පසුපස ගාත් දෙකෙන් එල්ලා තැබීම අවශ්‍ය වීද? එසේනම් කොතරම් වේලාවක්ද? විශාල ගවයෙකු සම්බන්ධයෙන් ඔහු කරන්නේ කුමක්ද? ලේ පෙරී යෑමට සැලැස්වූවායින් පසුව පවා, ලේ යම් ප්‍රමාණයක් මස්වල ඉතුරු වන්නට ඉඩ තිබේ. ඔහුට ඒ මස් අනුභව කළ හැකිද? මේ ගැන තීරණය කරන්නේ කවුද?

15. මස් කෑම සම්බන්ධයෙන් ඇතැම් යුදෙව්වන් ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? එනමුත් දෙවි දුන් මඟ පෙන්වීම කුමක්ද?

15 මහත් උද්‍යෝගයකින් කටයුතු කරන එක්තරා යුදෙව්වෙක් මෙම ප්‍රශ්නයට මුහුණ දෙනවායයි සිතන්න. තමාට කළ හැකි හොඳම දේ මස් කඩයක විකිණීමට ඇති මස් නොකෑමයයි ඔහු සිතනවා විය හැකියි. තවද මස් වරක් පිළිමයකට පූජා කළා විය හැකියයි සිතූ නිසා තවත් කෙනෙක් එය නොකා සිටිනවා වෙන්නට පුළුවන. යම් වත් පිළිවෙත් කිහිපයක් පිළිපැදීමෙන් පසුව පමණක් මස් ආහාරයට ගත හැකි බව වෙනත් යුදෙව්වන් කල්පනා කරන්නට ඇත. * (මතෙව් 23:23, 24) එවන් විවිධ ප්‍රතික්‍රියා ගැන ඔබ සිතන්නේ කුමක්ද? දෙවි එවන් ප්‍රතික්‍රියා බලාපොරොත්තු නොවූ බැවින්, යම් යුදෙව්වෙක් රබ්බිවරුන්ගේ මණ්ඩලයක් වෙත එවන් ප්‍රශ්න රාශියක් යවා ඒ එක් එක් ප්‍රශ්නයට පිළිතුරු අපේක්ෂා කිරීම සුදුසුද? එවන් සිරිතක් යුදෙව් ආගම තුළ වැඩි වර්ධනය වුවද, රුධිරය සම්බන්ධව ඒ ආකාරයෙන් තීරණ අනුන්ගෙන් ඉල්ලා සිටීමට යෙහෝවා තම සැබෑ නමස්කාරකයන්ට මඟ නොපෙන්වීම ගැන අපට සතුටු විය හැකියි. ආහාරය සඳහා පවිත්‍ර සතුන් මැරීම ගැනත් උන්ගේ රුධිරය ඉවත් කිරීම ගැනත් දෙවි මූලික මඟ පෙන්වීම් දුන්නද, ඉන් ඔබ්බට අමතර විස්තර පැවසුවේ නැත.—යොහන් 8:32.

16. රුධිර කොටසකින් ලබාගත් අතුරු කොටසක ස්වල්පයක් අඩංගු එන්නතක් ලබාගැනීම ගැන ක්‍රිස්තියානීන්ට විවිධ දෘෂ්ටීන් තිබිය හැක්කේ මන්ද?

16 මෙම ලිපියේ 11වන සහ 12වන ඡේදවල සඳහන් වන්නාක් මෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්පූර්ණ රුධිරය හෝ ප්ලාස්මාව, රතු සෛල, සුදු සෛල හෝ පට්ටිකා යන එහි මූලික කොටස් හතරෙහි ප්‍රවේශන කිරීම් පිළිගන්නේ නැත. මූලික කොටසකින් ලබාගත් අතුරු කොටස් ස්වල්ප ප්‍රමාණයක් ගැනීම ගැන කුමක් කිව හැකිද? එනම්, රෝගයකට හෝ සර්ප විෂට එරෙහිව සටන් කිරීමට ඉවහල් වන ප්‍රතිදේහ අඩංගු එන්නතක් ලබාගැනීම වැනි දෙයක් ගැන කුමක් කිව හැකිද? (මෙම කලාපයේ 30වන පිටුවේ 4වන ඡේදය බලන්න.) එවන් අතුරු කොටස් ස්වල්ප ප්‍රමාණයක් ඇත්තෙන්ම තවදුරටත් රුධිරයට ඇතුළත් නොවන බවත්, එම නිසා ‘රුධිරයෙන් වැළකී සිටීමට’ දී ඇති ආඥාවට එය පටහැනි නොවන බවත් ඇතැම්හු නිගමනය කරති. (ක්‍රියා 15:28, 29; 21:25; 31වන පිටුව, 1වන ඡේදය.) ඔවුන් මේ සම්බන්ධයෙන් ගන්නා තීරණය ඔවුන් පෞද්ගලිකව දැරිය යුතු වගකීමකි. රුධිරයෙන් (සත්ව හෝ මිනිස්) ලබාගත් ඕනෑම දෙයක්, එනම්, එක් මූලික කොටසකින් ගත් අතුරු කොටසකින් ඉතා ස්වල්පයක් පවා ලබාගැනීමට තවත් අයගේ හෘදය සාක්ෂිය ඉඩ නොදෙයි. * තවද, තවත් අය රෝගී තත්වයන් සමඟ හෝ සර්ප විෂට එරෙහිව සටන් කිරීම පිණිස ප්ලාස්මා ප්‍රෝටීන් එන්නත් ලබාගන්නා මුත් වෙනත් අතුරු කොටස් ස්වල්පයක් ලබාගැනීම ප්‍රතික්ෂේප කරනවා විය හැකියි. මීට අමතරව, රුධිරයේ මූලික කොටසකින් ලබාගත් අතුරු කොටසක් අනුසාරයෙන් සාදාගත් ඇතැම් නිෂ්පාදනවල ක්‍රියාකාරිත්වය, ශරීරය තුළ රුධිරයෙන් සිදු වන ජීවනදායක ක්‍රියාකාරිත්වයට බෙහෙවින් සමාන වන නිසා ක්‍රිස්තියානීන් වැඩිදෙනෙක් එවන් නිෂ්පාදන ප්‍රතික්ෂේප කරති.

17. (අ) රුධිර අතුරු කොටස් සම්බන්ධ ප්‍රශ්නවලට අප මුහුණ දෙන අවස්ථාවලදී අපගේ හෘදය සාක්ෂිය අපට ආධාරකයක් විය හැක්කේ කෙසේද? (ආ) මේ කාරණය සම්බන්ධයෙන් තීරණ ගැනීම ඉතා බරපතළ දෙයක් ලෙස සැලකිය යුත්තේ මන්ද?

17 හෘදය සාක්ෂිය ගැන බයිබලය පවසන දෙය අප එවන් තීරණ ගැනීමේදී අපට උපකාරවත් වේ. පළමු පියවර නම්, දෙවිගේ වචනය පවසන දේ ඉගෙනගෙන ඒ මගින් ඔබගේ සිත අඹාගැනීමට දැඩි උත්සාහයක් ගැනීමයි. මෙසේ කිරීමෙන් තවත් කෙනෙකුගේ අදහස් මත තීරණයක් ගන්නවාට වඩා දෙවිගේ මඟ පෙන්වීමට අනුව තීරණයක් ගැනීමට ඔබට හැකිකම ලැබෙනු ඇත. (ගීතාවලිය 25:4, 5) රුධිර අතුරු කොටස් ගැනීම පිළිබඳව ඇතැම්හු මෙසේ කල්පනා කරති. ‘ඒක හෘදය සාක්ෂිය සම්බන්ධ කාරණයක්. ඉතින් මොනවා කළත් කමක් නැහැ.’ එලෙස තර්ක කිරීම වැරදිය. යම් දෙයක් හෘදය සාක්ෂිය සම්බන්ධ කාරණයක් වූ සැණින් එය නොවැදගත් දෙයක් කියා අදහස් වන්නේ නැත. එයට ඉතා බරපතළ විපාක තිබිය හැකියි. එක් හේතුවක් නම්, අපේ හෘදය සාක්ෂියට වඩා වෙනස් හෘදය සාක්ෂියක් ඇති පුද්ගලයන්ට අප ගන්නා තීරණ බලපෑ හැකිවීමය. පිළිමයකට පූජා කොට, පසුව මස් කඩේ විකුණනු ලැබුවා විය හැකි මස් ගැන පාවුල් දුන් මඟ පෙන්වීම්වලින් අපට මෙය පැහැදිලි වේ. එසේනම්, ක්‍රිස්තියානියෙක් ‘දුර්වල අයගේ හෘදය සාක්ෂිය තුවාල’ නොකිරීමට වගබලා ගත යුතුය. ඔහු වෙනත් අයව බාධාවට පත් කිරීම නිසා ඔහුගේ සහෝදරයාව විනාශ වී යාමට ඉඩ කඩ තිබේ. මන්දයත් ‘ක්‍රිස්තුස් මිය ගියේ එම සහෝදරයා උදෙසාය.’ මේ අනුව එය ක්‍රිස්තුස්ට විරුද්ධව පව් කිරීමක් වෙයි. මෙබැවින්, ඉතා සියුම් රුධිර අතුරු කොටස් සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් පෞද්ගලික තීරණ ගැනීමට සිදු වන විට, එම තීරණ ඉතා බරපතළ ඒවා ලෙස සැලකිය යුතුයි.—1 කොරින්ති 8:8, 11-13; 10:25-31.

18. රුධිරය සම්බන්ධයෙන් තීරණ ගන්නා විට ක්‍රිස්තියානියෙකුට තමන්ගේ හෘදය සාක්ෂිය අසංවේදී වීමෙන් වළක්වාගත හැක්කේ කෙසේද?

18 තවත් කාරණයක් මගින්ද රුධිරය සම්බන්ධයෙන් ගනු ලබන තීරණවල බරපතළකම පැහැදිලි වෙයි. එනම්, එවන් තීරණ ඔබ මත ඇති කළ හැකි බලපෑමයි. ස්වල්ප වශයෙන් රුධිර අතුරු කොටස් ගැනීම බයිබලය මත පුහුණු කරන ලද ඔබගේ හෘදය සාක්ෂියට වධයක් නම්, ඔබ එය නොසලකා නොහැරිය යුතුයි. ‘ඒවා ගත්තට කමක් නැහැ. හුඟදෙනෙක් අරගෙන තියෙනවා’ කියා යමෙක් කියන නිසාම ඔබ ඔබගේ හෘදය සාක්ෂිය මර්දනය කර නොගත යුතුය. මෙය මතක තබාගන්න. මිලියන ගණනක් මිනිස්සු අද තමන්ගේ හෘදය සාක්ෂියට අවනත නොවෙති. ප්‍රතිඵලයක් ලෙස එය අසංවේදී තත්වයකට පත් වේ. ඒ නිසා ඔවුහු බොරු කියති. එසේ නැතහොත් කිසිම ගාණක් නැතිව වැරදි දේවල් කරති. සහතිකවම, එවන් ආකල්පයක් ඇතිව සිටින්නට ක්‍රිස්තියානියෙකුට කිසිම වුවමනාවක් නැත.—2 සාමුවෙල් 24:10; 1 තිමෝති 4:1, 2.

19. රුධිරය සම්බන්ධයෙන් යම් වෛද්‍යමය කාරණා ගැන තීරණය කිරීමේදී, අප මනසේ ප්‍රමුඛව තබාගත යුත්තේ කුමක්ද?

19 මෙම කලාපයේ 29-31 පිටුවල, යළිත් පළ වූ එම පිළිතුරේ අවසානයට වෙන්නට මෙසේ පවසයි. “විවිධ මතිමතාන්තර තිබීමෙන් හා හෘදය සාක්ෂිය මත ගන්න තීරණ එකිනෙකට වෙනස් වීමෙන් පෙනෙන්නේ මෙම ගැටලුසහගත කාරණය නොසලකාහැරිය හැකි එකක් බවද? නැහැ. මෙය බැරෑරුම් ලෙස සැලකිය යුතු කාරණයක්.” එය විශේෂයෙන්ම බැරෑරුම් කාරණයක් වන්නේ “ජීවමාන දෙවි” සමඟ ඔබේ සම්බන්ධතාව ඊට ඇතුළත් වී තිබෙන නිසාය. යේසුස් වගුරුවන ලද රුධිරයේ ගැලවීමේ බලය මත පදනම්ව ඇති ඒ සම්බන්ධය පමණයි, කෙනෙකුව සදාකාල ජීවනයට මඟ පෙන්වන්නේ. රුධිරය කරණකොටගෙන දෙවි කරමින් සිටින දෙය සම්බන්ධයෙන් ගැඹුරු ගෞරවයක් වගා කරගන්න. මන්දයත් දෙවි කරමින් සිටින්නේ රුධිරය මගින් ජීවිත ගැලවීමයි. පාවුල් යෝග්‍ය ලෙස මෙසේ ලීවේය. “ඔබ . . . බලාපොරොත්තුව නැතිව, දෙවි නොමැතිව ලෝකයේ සිටි බව සිතෙහි තබාගන්න. නමුත් වරක් ඈත්ව සිටි ඔබ, ක්‍රිස්තුස්ගේ රුධිරය මාර්ගයෙන් දැන් ක්‍රිස්තුස් යේසුස් සමඟ එක්සත්ව ළං වී සිටින්නහුය.”—එෆීස 2:12, 13, NW.

[පාදසටහන්වල]

^ 11 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි.

^ 13 ඡේ. එක් අවස්ථාවකදී, පාවුල් සහ තවත් ක්‍රිස්තියානීන් හතරදෙනෙක් චාරිත්‍රානුකූලව පවිත්‍ර වීම සඳහා දේවමාලිගාවට ගියෝය. මේ අවස්ථාව වන විට නීතිය තවදුරටත් වලංගුව පැවතුණේ නැත. එහෙත්, පාවුල් ක්‍රියා කළේ යෙරුසලමේ වැඩිමහල්ලන්ගේ අවවාදයට එකඟවයි. (ක්‍රියා 21:23-25) එහෙත්, තමන් දේවමාලිගාවට ගොස් එවන් චාරිත්‍රයක් ඉෂ්ට කරන්නේ නැතැයි ඇතැම් ක්‍රිස්තියානීන්ට හැඟුණා විය හැකියි. ඒ කාලයේදීද එක් එක් පුද්ගලයන්ගේ හෘදය සාක්ෂිය ක්‍රියා කළේ වෙනස් ආකාරයටය. එය අදත් එසේමය.

^ 15 ඡේ. එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා “යුදෙව් ක්‍රමයට මස් පිළියෙල කිරීම” ගැන “ඉතා සංකීර්ණ සවිස්තරාත්මක” නීති සඳහන් කරයි. මස් කොපමණ විනාඩි ගණනක් වතුරේ පෙඟවිය යුතුද කියාත්, ලෑල්ලක් මත ඉන් වතුර බේරීමට සැලැස්විය යුතු ආකාරය ගැනත්, ඒ මත ඇතිල්ලිය යුතු ලුණුවල සාන්ද්‍රණය ගැනත්, එය සීතල වතුරේ කොපමණ වාර ගණනක් සේදිය යුතුද යන්න ගැනත් එහි සඳහන් කර ඇත.

^ 16 ඡේ. රුධිරයෙන් ලබා නොගත් කෘත්‍රිම ඖෂධ වර්ග දැන් දැන් ඇතැම් එන්නත්වල ප්‍රධාන හෝ ක්‍රියාකාරී ද්‍රව්‍යය බවට පත් වෙයි. කෙසේනමුත් ඇතැම් අවස්ථාවලදී, ඇල්බියුමින් වැනි රුධිර අතුරු කොටසක ස්වල්පයක් මෙම එන්නත්වල ඇතුළත් විය හැකියි.—වර්ෂ 1994 ඔක්තෝබර් 1 මුරටැඹ කලාපයේ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” බලන්න.

ඔබට මතකද?

• නෝවාට, ඊශ්‍රායෙල්වරුන්ට හා ක්‍රිස්තියානීන්ට රුධිරය සම්බන්ධව දෙවි දුන් මඟ පෙන්වීම කුමක්ද?

• රුධිරය සම්බන්ධව යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නේ මොනවාද?

• රුධිරයේ මූලික කොටසකින් අතුරු කොටස් ස්වල්පයක් ලබාගැනීම කෙනෙකුගේ හෘදය සාක්ෂිය හා සම්බන්ධ කාරණයක් වන්නේ කිනම් අර්ථයෙන්ද? මින් අදහස් නොකරන්නේ කුමක්ද?

• තීරණ ගැනීමේදී, දෙවි හා සමඟ ඇති අපේ සම්බන්ධය අප මනසේ ප්‍රමුඛව තබාගත යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[22වන පිටුවේ වගුව]

(මුද්‍රිත පිටපත බලන්න)

රුධිරය පිළිබඳ මූලික ස්ථාවරය

සම්පූර්ණ රුධිරය

පිළිගත නොහැක

රතු සෛල

සුදු සෛල

පට්ටිකා

ප්ලාස්මාව

තීරණය කිරීම ක්‍රිස්තියානිවරයාට භාරයි

රතු සෛලවලින් ගත් අතුරු කොටස්

සුදු සෛලවලින් ගත් අතුරු කොටස්

පට්ටිකාවලින් ගත් අතුරු කොටස්

ප්ලාස්මාවෙන් ගත් අතුරු කොටස්

[20වන පිටුවේ පින්තූරය]

පාලක මණ්ඩලය තීරණය කළේ ක්‍රිස්තියානීන් ‘ලෙයින් වැළකිය’ යුතු බවයි

[23වන පිටුවේ පින්තූරය]

රුධිර අතුරු කොටස් සම්බන්ධව යම් තීරණයක් ගැනීමට ඔබට සිදු වන විට ඔබේ හෘදය සාක්ෂිය නොසලකාහරින්න එපා!