Skip to content

පටුනට යන්න

තිබෙන්නාවූ අනර්ඝතම උරුමය

තිබෙන්නාවූ අනර්ඝතම උරුමය

තිබෙන්නාවූ අනර්ඝතම උරුමය

තම ජීවිතයේ සැඳෑ සමයේදී ප්‍රේරිත යොහන් මෙහෙම ලිව්වා. “මාගේ දරුවන් සත්‍යයෙහි ගමන් කරමින් සිටින බව ඇසීමට වඩා ස්තුතිවන්ත වීමට හේතුවක් මට නැත.”—3 යොහන් 4, NW.

එම ඇදහිලිවන්ත ප්‍රේරිතවරයා ආත්මික ආකාරයකින් තමන්ට දරුවන් මෙන් වූ අය ගැනයි ලියමින් සිටියේ. කෙසේවෙතත්, බොහෝ දෙමාපියන්ටත් එම ප්‍රේරිතවරයාට හැඟුණාක් මෙන් හැඟෙයි. තම දරුවන්ව “යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද” ඇති දැඩි කිරීමට ඔවුන් සෑහෙන වෑයමක් දරා තිබෙනවා. දැන් තමන්ගේ වැඩුණු දරුවන් “සත්‍යයෙහි ගමන් කරමින් සිටින” ආකාරය දකිද්දී එය ඔවුන්ට ඉමහත් ප්‍රීතියක් ගෙන දෙයි. (එෆීස 6:4, NW) ඇත්තෙන්ම, තම දරුවන්ට දිය හැකි අනර්ඝතම උරුමය වන්නේ සදාකාල ජීවනයට යන මාර්ගය ඔවුන්ට පෙන්වා දීමයි. මන්දයත් දේවභක්තික ජීවිතයක් ගත කරන විට ‘දැන් තිබෙන ජීවිතය ගැනත් මතු පැමිණෙන ජීවිතය ගැනත් පොරොන්දුවක්’ තිබෙන නිසයි. දේවභක්තියට ඇතුළත් වන දෙයක් වන්නේ යෙහෝවා කැමති විදිහට ජීවත් වීමයි.—1 තිමෝති 4:8.

තම දරුවන්ට ආත්මික අධ්‍යාපනයක් ලබා දීමට වීර්යයක් දරන දේවභක්තික දෙමාපියන්ව අපගේ පරිපූර්ණ පියාණන් වන යෙහෝවා ඉතා උතුම් කොට සලකනවා. දරුවන් එම අධ්‍යාපනයට හොඳ ප්‍රතිචාරයක් දක්වා, තම දෙමාපියන් සමඟ සැබෑ නමස්කාරයේ හවුල් වීමේදී ඔවුන් අද්දකින්නේ ඉමහත් ප්‍රීතියක්. මෙවැනි දරුවන් වයසින් මුහුකුරා යද්දී, ඔවුන් ලැබූ අද්දැකීම්වල මිහිරි මතකයන් ඔවුන්ගේ සිත්වල රැඳෙයි. තමන් ප්‍රථම වතාවට දිව්‍යාණ්ඩු සේවා පාසැලට සහභාගි වූ ආකාරය සමහරු සන්තෝෂයෙන් සිහි කරනවා. * එහෙමත් නැත්නම්, ඔවුන්ගේ දෙමාපියන්ගෙන් එක් කෙනෙකු සමඟ ගෙයින් ගෙට සේවයේ යද්දී, ප්‍රථම වතාවට බයිබල් පදයක් කියවීමට හැකි වූ ආකාරය ඔවුන්ට මතක් විය හැකියි. මගේ බයිබල් කතන්දර පොත හෝ උතුම් ගුරුවරයාට සවන් දීම * (සිංහලෙන් නොමැත) යන පොත්වලින් තම දෙමාපියන් තමන්ට කතන්දර කියවද්දී එය අසා සිටි ආකාරය ඔවුන්ගේ මතකයෙන් ගිලිහී යන්නේ කොහොමද? ගාබ්‍රීයල් තමන් ගොඩක් ප්‍රිය කළ දෙයක් මෙසේ සිහි කරයි. “මගේ අම්මා හැමදාම උයන ගමන් මට ඇහෙන්න සින්දු කිව්වා. එතකොට මගේ වයස අවුරුදු හතරයි. ඇය ගැයූ එක්තරා ගීතිකාවක් මට තවමත් මතකයි. ඇත්තෙන්ම ඒක මිහිරි මතකයක්. එම ගීතිකාව යෙහෝවාගේ සේවයේ වැදගත්කම තේරුම්ගන්න මට පසුව උපකාරවත් වුණා.” ගාබ්‍රීයල්ට මතක් වූ එම ලස්සන ගීතිකාව සමහරවිට ඔබටත් මතක ඇති. යෙහෝවාට ප්‍රශංසා ගී ගයන්න නමැති ගීතිකා පොතේ 157වන ගීතිකාවයි ඒ. “තරුණ වයසේදී යෙහෝවාට නමස්කාර කරන්න” යනු එහි තේමාවයි.

‘දෙව් ළදරු මුවෙන් යේසුස්ට ප්‍රශංසා ලබා දුන්’ බව එම ගීතිකාවේ ආරම්භයේදී සඳහන් වෙයි. යේසුස් සමඟ ඇසුරු කිරීමේ වරප්‍රසාදය ලැබූ දරුවන් සිටි බව ඇත්තයි. ඔවුන්ගේ අවංක, ප්‍රීතිමත් ස්වභාවය දැකලා යේසුස්ටත් ලොකු ප්‍රීතියක් දැනෙන්න ඇති. කුඩා දරුවන් තුළ තිබෙන ඉගෙනගැනීමට නැඹුරු යටහත් ස්වභාවය, තම අනුගාමිකයන්ට අනුකරණය කිරීම සඳහා ආදර්ශයක් හැටියට පවා යේසුස් පාවිච්චි කළා. (මතෙව් 18:3, 4) එම නිසා යෙහෝවාට දෙනු ලබන නමස්කාරයේදී දරුවන්ටත් නිසි තැනක් තිබෙනවායයි කියන්න පුළුවන්. එම ගීතිකාවේ ඊළඟට සඳහන් වන ආකාරයට, ‘බාලයන්ටත් ප්‍රශංසා කළ හැකි වේ සර්ව දෙව්ට.’

නිවසේදී, පාසැලේදී සහ වෙනත් ස්ථානවලදී ආදර්ශවත් ලෙස හැසිරීම නිසා බොහෝ දරුවන් දෙවිටත් තම පවුල්වලටත් ගෞරවය ලබා දී තිබෙනවා. ‘සත්‍යයට ප්‍රිය කරන ක්‍රිස්තියානි මව්පියන්’ සිටීම ඔවුන්ට මොන තරම් ආශීර්වාදයක්ද! (ද්විතීය කථාව 6:7) ප්‍රේමණීය පියෙකු මෙන් තම මිනිස් මැවිලිවලට යා යුතු මාර්ගය පෙන්වා දෙන දෙවිට කීකරු වෙද්දී දේවභයැති දෙමාපියන් ලබන ආශීර්වාදය මොන තරම්ද! ඊළඟට දෙමාපියන් තම බාලයන්ට මේ දේවල් උගන්වද්දී සහ බාලයන් “කීකරු වන්න” පෙලඹෙද්දී දෙමාපියන්ට මොන තරම් සතුටක් දැනෙනවා ඇද්ද! (යෙසායා 48:17, 18) “මගේ දෙමාපියන් බයිබල් ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන්න නිතරම වෑයම් කළා. ඒ නිසා මගේ බාල කාලය හරිම ප්‍රීතිමත් කාලයක් වුණා. මම සන්තෝෂයෙන් හිටියා” එසේ පැවසුවේ මෙක්සිකෝවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ දැනට සේවය කරමින් සිටින ආන්හලීකා.

දෙමාපියන්ගෙන් ලැබී තිබෙන ආත්මික උරුමය හොඳින් රැකබලා ගැනීම ප්‍රයෝජනදායක දෙයක් බව එවන් ක්‍රිස්තියානීන් පිළිගන්නවා. සමහරවිට ඔබ සැබෑ ක්‍රිස්තියානි සාරධර්ම අගය කරන පවුලක යෞවනයෙක් වෙන්න පුළුවන්. එහෙමනම් එම ගීතිකාවම ඔබට දිරිගන්වන්නේ ඔබේ යෞවන කාලේ “ශුද්ධව ඉන්න” කියායි. ඔබට තනියෙන් තීරණ ගැනීමට සිදු වන කාලයක් ඉදිරියේදී එයි. එම නිසා ‘බාල වියේදී යෙහෝවා මත රඳන්න ඉගෙනගන්න/ජනප්‍රිය වීමට නම් තැත් නොකරන්න.’

ඔබ යම් විදිහකින් ජනප්‍රිය වීමේ සිතුවිල්ල ඔබේ ජීවිතයේ මුල් තැනට තැබුවොත්, ඔබට දැන් ලැබෙන අනේකවිධ පුහුණුවෙන් කිසි පලක් නොවන්නට ඉඩ තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, අනාගතය සඳහා ඔබට තිබෙන අපේක්ෂාවන්ටද එමගින් හානියක් සිදු විය හැකියි. ජනප්‍රිය වීමට තිබෙන ආශාව නිසා සෝදිසියෙන් සිටීමේ වැදගත්කම ඔබට අමතක වී යා හැකියි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ක්‍රිස්තියානි ප්‍රමිති ගැන කිසි තැකීමක් නොකරන නමුත් බැලූ බැල්මට සිත්ගන්නාසුලු ගතිපැවතුම් ඇති අය මෙන් පෙනෙන්න සිටින පුද්ගලයන් එක්ක ආශ්‍රය කිරීමට සමහර යෞවනයන් පෙලඹී තිබෙනවා. යෞවන අය අසති—මට සැබෑ මිතුරන් ඇති කරගත හැක්කේ කෙසේද? නමැති වීඩියෝ පටයේ ප්‍රධාන චරිතය වූ ටාරාගේ අද්දැකීමෙන් මෙය පැහැදිලි වුණා. ටාරාට අවසානයේදී වැටහුණා වගේ, සැබෑ නමස්කාරය අගය නොකරන අයත් සමඟ ආශ්‍රය කරන ඕනෑම යෞවන ක්‍රිස්තියානියෙකුට වැඩි කල් යන්නට මත්තෙන් ගීතිකාවේ සඳහන් මේ වදන්වල සත්‍යතාව වැටහෙයි. ‘නොහොබිනා ආශ්‍රයෙන් දුර් වෙයි සුසිරිත්.’ අප හොඳ පුරුදු ඇති කරගැනීමට වසර ගණනාවක් පුරා මහත් වෑයමක් දැරිය යුතු නමුත්, ඒවා ක්ෂණයකින් අපෙන් ගිලිහී යන්නට පුළුවන්.

දේවභක්තික ජීවිතයක් ගත කිරීම පහසු දෙයක් නොවන බව ඇත්තයි. එහෙත් ‘යෞවන කාලේ දෙව් සිහි කරමින්/යෙහෝවාට ආත්මයෙන් සත්‍යයෙන් සේවය කළොත්’ ඔබට පුළුවන් වෙයි සාර්ථක ජීවිතයක් සඳහා හොඳ අඩිතාලමක් දමන්න. එපමණක්ද නොවෙයි, මෙයද ඔබ සැබෑවක් බව අද්දකීවි. “ප්‍රීතිමත් වේවි මහලු වියේ.” ඔබ යෙහෝවාගේ ප්‍රේමණීය සැලකිල්ල අද්දකිද්දී, ඔහු ඉදිරියේ හරි දේ කිරීම වැළැක්වීමට කිසිම දෙයකට නොහැකි වන බව ඔබට වඩාත් හොඳින් වැටහේවි. මේරූ, දේවභක්තික වැඩිහිටියෙකු බවට පත් වෙන්නේ ඒ විදිහටයි. ඒ විතරක් නෙවෙයි, ඔබ ලැබූ ක්‍රිස්තියානි පුහුණුවෙන් ඥානවන්තව ප්‍රයෝජන ගැනීමෙන්, “හෘදේ දෙව්ගේ සන්තෝෂ” කරන්නද ඔබට අවස්ථාවක් ලැබෙයි. මිනිසෙකුට ඊට වඩා උතුම් ගෞරවයක් තිබේද?—හිතෝපදේශ 27:11.

එබැවින් යෞවනයෙනි, යෙහෝවාගෙන් සහ ඔබගේ ක්‍රිස්තියානි දෙමාපියන්ගෙන් ඔබ ලබන පුහුණුව හුඟාක් වටින බව අමතක කරන්න එපා. ඔවුන් ඔබට මහත් සේ ප්‍රේම කරන නිසා යෙහෝවාට ප්‍රසන්න වූ දේවල් කිරීමට ඔබ පෙලඹේවා! මෙසේ ඔබට හැකි වේවි, යේසුස් ක්‍රිස්තුස් සහ ඇදහිලිවන්ත තරුණ තිමෝති කළාක් මෙන්, ඔබේ ස්වර්ගීය පියාණන්ව මෙන්ම ඔබේ භූමික දෙමාපියන්වද සතුටු කිරීමට. කෙදිනක හෝ ඔබ දෙමාපියෙකු වූවොත්, අප කලින් සඳහන් කළ ආන්හලීකා සමඟ ඔබ සමහරවිට එකඟ වෙයි. ඇය මෙසේ පවසයි. “මට කවදාහරි දරුවෙක් ලැබුණොත්, මම හුඟාක් උත්සාහ කරනවා ළදරු වියේ පටන් ඔහුගේ හෘදයේ යෙහෝවාට ප්‍රේමයක් පැලපදියම් කරන්න. ඒ ප්‍රේමය ඔහුගේ ජීවිතයට මඟ පෙන්වන ආලෝකය කරන්න මම වෑයම් කරනවා.” සදාකාල ජීවනයට මඟ පෙන්වන ධර්මිෂ්ඨකමේ මාර්ගය වනාහි තිබෙන්නාවූ අනර්ඝතම උරුමය බවට කිසිම සැකයක් නැහැ!

[පාදසටහන්වල]

^ 4 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල පවත්වනු ලබන මෙම බයිබල් අධ්‍යාපන වැඩසටහනට යෞවනයන්ට මෙන්ම මහලු අයටද සහභාගි විය හැකියි.

^ 4 ඡේ. සඳහන් කර තිබෙන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයි.