Skip to content

පටුනට යන්න

‘ගොස් මිනිසුන්ව ගෝලයන් කරන්න’

‘ගොස් මිනිසුන්ව ගෝලයන් කරන්න’

‘ගොස් මිනිසුන්ව ගෝලයන් කරන්න’

“ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. එබැවින් ගොස් . . . මිනිසුන්ව ගෝලයන් කරන්න.”—මතෙව් 28:18, 19, NW.

1, 2. (අ) යේසුස් සිය අනුගාමිකයන්ට දුන් පැවරුම කුමක්ද? (ආ) යේසුස්ගේ ආඥාව පිළිබඳව කිනම් ප්‍රශ්න සලකා බලනු ලැබේද?

එය ක්‍රි.ව. 33 ඊශ්‍රායෙලයේ වසන්ත සමයේ දවසකි. යේසුස්ගේ ගෝලයෝ ගලීලයේ කන්දක් උඩ රැස් වී සිටියහ. ඔවුන්ගේ නැවත නැඟිටවනු ලැබූ ස්වාමියා ස්වර්ගයට නැඟී යෑමට සැරසී සිටියේය. නමුත්, ඊට පෙර ඔවුන්හට වැදගත් දෙයක් කීමට ඔහුට තිබුණි. යේසුස් ඔවුන්ට යම් පැවරුමක් භාර දීමටයි දැන් සූදානම් වන්නේ. ඒ පැවරුම කුමක් වීද? ඔහුගේ ගෝලයන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? එම පැවරුම අපට අද දින අදාළ වන්නේ කෙසේද?

2 යේසුස් පැවසූ දෙය මතෙව් 28:18-20හි වාර්තා වී තිබේ. එය මෙසේයි. “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න. බලන්න! සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි.” “සියලු බලය,” “සියලු ජාතීන්,” “සියලු දේ,” සහ “සැමදා” යන දේවල් ගැන යේසුස් කතා කළේය. මෙම ප්‍රකාශ සතර සමඟින් යේසුස් දුන් ආඥාව යම් වැදගත් ප්‍රශ්න කිහිපයක් මතු කරයි. එනම් මන්ද? කොහේද? කුමක්ද? සහ කවදාද? යන ප්‍රශ්න එම ප්‍රකාශය තුළ ගැබ්ව තිබේ. මෙම ප්‍රශ්න දැන් අපි එකිනෙක සලකා බලමු. *

“සියලු බලය මට දී තිබේ”

3. මිනිසුන්ව ගෝලයන් කිරීමට දී ඇති ආඥාවට අප කීකරු විය යුත්තේ මන්ද?

3 පළමුව අපි මෙය සලකා බලමු. ගෝලයන් කිරීමට දී ඇති ආඥාවට අප කීකරු විය යුත්තේ මන්ද? යේසුස් පැවසුවේ මෙසේයි. “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. එබැවින් ගොස් . . . මිනිසුන්ව ගෝලයන් කරන්න.” මෙහි “එබැවින්” යන වචනයෙන් අඟවන්නේ අප ඔහුගේ ආඥාවට කීකරු විය යුතු ප්‍රධාන හේතුවකි. ඒ මන්දයත්, එම ආඥාව නිකුත් කළ තැනැත්තා වන යේසුස්ට “සියලු බලය” තිබෙන බැවිනි. ඔහුගේ මෙම බලයේ තරම කොතරම්ද?

4. (අ) යේසුස්ගේ බලයේ තරම කොතරම්ද? (ආ) යේසුස්ගේ බලය පිළිබඳව අපට අවබෝධ වී ඇති දේ මිනිසුන්ව ගෝලයන් කිරීමට දී ඇති අණ පිළිබඳව අපේ ආකල්පයට බලපෑ යුත්තේ කෙසේද?

4 යේසුස්ට සිය සභාව පාලනය කිරීමට බලය තිබේ. තවද 1914 පටන්, අලුතෙන් පිහිටවනු ලැබූ දෙවිගේ රාජ්‍යය පාලනය කිරීමටද ඔහුට බලය තිබිණි. (කොලොස්සි 1:13; එළිදරව් 11:15) ඔහු අග්‍ර දේවදූතයා වන අතර, එම තනතුරු හොබවමින් මිලියන සිය ගණනක දේවදූතයන්ගෙන් සමන්විත ස්වර්ගික හමුදාවට ඔහු අණ දෙයි. (1 තෙසලෝනික 4:16; 1 පේතෘස් 3:22; එළිදරව් 19:14-16) ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට විරුද්ධ වන්නාවූ “සියලු ආණ්ඩුද සියලු අධිකාරයද බලයද” නැති කර දැමීමට සිය පියාණන් යේසුස්ට බලය දී තිබේ. (1 කොරින්ති 15:24-26, NW; එපීස 1:20-23) යේසුස්ගේ බලය ජීවත්ව සිටින අයට පමණක් සීමා වී නැත. ඔහු “ජීවතුන්ගේද මළවුන්ගේද විනිශ්චයකාරයා” වන අතර, මරණයේ සැතපී සිටින අයව නැවත නැඟිටුවීමටද දෙවි ඔහුට බලය දානය කර ඇත. (ක්‍රියා 10:42, NW; යොහන් 5:26-28) එවන් බලයක් ලබා සිටින කෙනෙකු විසින් දෙනු ලැබ ඇති අණක් අතිඋසස් වූ වැදගත් අණක් ලෙස සැලකිය යුතුයි. එබැවින්, ‘ගොස්, මිනිසුන්ව ගෝලයන් කරන්න’ යන ක්‍රිස්තුස්ගේ අණට අපි ගෞරවයෙන් හා කැමැත්තෙන්ම කීකරු වෙමු.

5. (අ) පේතෘස් යේසුස්ගේ වචනවලට කීකරු වූයේ කෙසේද? (ආ) යේසුස්ගේ උපදෙස්වලට පේතෘස් කීකරු වීමෙන් ලැබූ ආශීර්වාදය කුමක්ද?

5 යේසුස් සිය භූමික සේවයේ මුල් අවධියේදී, ඔහුගේ ගෝලයන්ට යම් කදිම පාඩමක් ඉගැන්වීය. එය නම්, ඔහුගේ බලය පිළිගෙන ඔහුගේ අණට කීකරු වීමෙන් මහත් ආශීර්වාද ලැබෙන බවය. ධීවරයෙකු වූ පේතෘස්ට වරක් යේසුස් මෙසේ කීවේය. “දියඹට ගොස් මසුන් ඇල්ලීමට දැල් හෙළන්න.” එහි මසුන් නැති බව ස්ථිර වශයෙන්ම දැනගත් පේතෘස් යේසුස්ට කීවේ මෙයයි. “ගුරුතුමෙනි, මුළු රැයක්ම වෙහෙස වූ නමුත් අප කිසිවක් අල්ලාගත්තේ නැත.” කෙසේවෙතත්, පේතෘස් යටහත් පහත් ලෙස මෙසේද පැවසීය. “ඒත් ඔබ කියන නිසා මම දැල් හෙළමි.” ඉන්පසුව පේතෘස් ක්‍රිස්තුස්ගේ අණට කීකරු වූ අතර, ඔහු “මසුන් රාශියක්” අල්ලාගත්තේය. අතිශයින් මවිතයට පත් වූ පේතෘස්, “යේසුස්ගේ දණ ළඟ වැටී, ‘ස්වාමිනි, මා වෙතින් ඉවත්ව යන්න. මම පව්කාර මිනිසෙක්මි.’” එහෙත් යේසුස් උත්තර දෙමින්, “භය නොවන්න. මෙතැන් පටන් ඔබ මිනිසුන්ව පණ පිටින් අල්ලන්නෙහිය.” (ලූක් 5:1-10; මතෙව් 4:18, NW) අප එම වාර්තාවෙන් ඉගෙනගන්නේ කුමක්ද?

6. (අ) යේසුස්ට අවශ්‍ය කරන්නේ කුමනාකාරයේ කීකරුකමක්දැයි ආශ්චර්යවත් ලෙස මසුන් ඇල්ලීම පිළිබඳ වාර්තාවෙන් පෙන්වන්නේ කෙසේද? (ආ) අපට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

6 යේසුස් පේතෘස්ට, අන්දෘට හා අනිකුත් ප්‍රේරිතයන්ට “මිනිසුන් අල්ලන්නන්” කිරීමේ පැවරුම දුන්නේ පුදුමදනවන ලෙසින් කළ එම මසුන් ඇල්ලීමට පෙරාතුව නොව පසුවයි. (මාක් 1:16, 17, NW) අන්ධ ලෙස කීකරු වීමක් යේසුස්ට අවශ්‍ය නොවූ බව පැහැදිලිය. තමන් කීකරු විය යුත්තේ ඇයිද යන්න ගැන යේසුස් ඉතා ඒත්තුගන්වනසුලු ප්‍රබල හේතුවක් ඔවුන්ට දුණි. යේසුස්ගේ අණට කීකරු වෙමින් දැල් හෙළීම නිසා මවිතාකාර අන්දමින් මසුන් හසු කරගැනීමට හැකි වූවාක් මෙන්ම, ‘මිනිසුන් ඇල්ලීමට’ යේසුස් දුන් අණට කීකරු වීමෙන් ඔවුන් මහත් ආශීර්වාද ලබනු ඇත. ප්‍රේරිතයන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ පූර්ණ ඇදහිල්ලකිනි. වාර්තාව මෙසේ නිම වෙයි. “ඔවුහු නැවත ඔරු ගොඩට ඇද, සියල්ලම අත්හැර ඔහු අනුව ගියහ.” (ලූක් 5:11, NW) අද දින, අප මිනිසුන්ව ගෝලයන් කිරීමට අන්‍යයන්ව දිරිගන්වත්ම, අපි යේසුස්ව අනුකරණය කරන්නෙමු. මිනිසුන් අප කියන නිසාම යම් දේවල් කිරීම අපට අවශ්‍ය නොවේ. එනමුත් ක්‍රිස්තුස්ගේ අණට කීකරු වීමට අපි ඔවුන්ට ප්‍රබල හේතු දෙන්නෙමු.

ප්‍රබල හේතු සහ නිසි චේතනාවන්

7, 8. (අ) රාජ්‍යය ගැන දේශනා කිරීම හා ගෝලයන් කිරීම සඳහා තිබෙන ශුද්ධ ලියවිලිමය හේතු කිහිපයක් දෙන්න. (ආ) දේශනා කිරීමේ වැඩයේ දිගටම නියැලීමට ඔබව විශේෂයෙන් පොලඹවන්නේ කිනම් ශුද්ධ ලියවිලි පදයද? (පාද සටහන බලන්න.)

7 ක්‍රිස්තුස්ගේ බලය අප පිළිගන්නා බැවින්, රාජ්‍ය දේශනා කිරීමේ හා මිනිසුන්ව ගෝලයන් කිරීමේ වැඩයෙහි අප නිරත විය යුතුය. එසේනම්, රාජ්‍ය දේශනා කිරීමේ හා මිනිසුන්ව ගෝලයන් කිරීමේ යහපත් ක්‍රියාවට පෙලඹවීම පිණිස අපට අන් අය සමඟ බෙදාගත හැක්කේ තවත් කවර ශුද්ධ ලියවිලිමය හේතූන්ද? රටවල් කිහිපයක සිටින ඇදහිලිවන්ත සාක්ෂිකරුවන් විසින් කරන ලද පහත සඳහන් ප්‍රකාශ ගැන සලකා බලන්න. තවද සඳහන් කර ඇති ශුද්ධ ලියවිලි පද ඔවුන්ගේ එම ප්‍රකාශවලට අනුබල දෙන ආකාරයද සැලකිල්ලට ගන්න.

8 වර්ෂ 1951දී බව්තීස්ම වූ රෝයි: “මා යෙහෝවාට කැප වූ විට, ඔහුට සෑමවිටම සේවය කරන්නටයි මා පොරොන්දු වුණේ. මට මගේ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනෑ.” (ගීතාවලිය 50:14; මතෙව් 5:37) වර්ෂ 1962දී බව්තීස්ම වූ හෙදර්: “යෙහෝවා මා වෙනුවෙන් කර ඇති සියලු දේවල් ගැන සිතනකොට, මට ඕනෑ කරන්නේ ඔහුට විශ්වාසවන්තව සේවය කරලා මගේ කෘතඥතාව පළ කරන්නටයි.” (ගීතාවලිය 9:1, 9-11; කොලොස්සි 3:15) වර්ෂ 1954දී බව්තීස්ම වූ හානාලෝරා: “අප දේවසේවයේ නිරත වී සිටින සෑම මොහොතකදීම, දේවදූතයන්ගේ උපකාරය අපට තියෙනවා. ඒක කොච්චර වරප්‍රසාදයක්ද!” (ක්‍රියා 10:30-33; එළිදරව් 14:6, 7) වර්ෂ 1969දී බව්තීස්ම වූ ඔනර්: “යෙහෝවාගේ විනිශ්චය කිරීමේ වේලාව එනකොට, මම කැමති නැහැ මගේ අසල්වාසීන්ගෙන් කිසිම කෙනෙක් ‘මට නම් කවුරුවත් මේ ගැන අනතුරු ඇඟවීමක් දුන්නේ නැහැ’ කියමින් ඔහුව අතපසු කරපු එක ගැන යෙහෝවාටත් ඔහුගේ සාක්ෂිකරුවන්ටත් චෝදනා කරනවා දකින්න.” (එසකියෙල් 2:5; 3:17-19; රෝම 10:16, 18) වර්ෂ 1974දී බව්තීස්ම වූ ක්ලව්ඩියෝ: “අපි දේශනා කරනකොට, ‘දෙවි අපි දිහා බලාගෙන ඉන්නවා.’ ඒ වගේම, ‘ක්‍රිස්තුස්ද අපි සමඟ ඉන්නවා.’ නිකම් හිතලා බලන්න! ඉතින් අප දේවසේවයේ නියැලී සිටිනකොට, අප සිටින්නේ අපගේ හොඳම මිතුරන් සමඟයි.”—2 කොරින්ති 2:17. *

9. (අ) ක්‍රිස්තුස්ට කීකරු වීමේ නිසි චේතනාව ගැන පේතෘස්ගේ සහ වෙනත් ප්‍රේරිතයන්ගේ මසුන් ඇල්ලීමේ අද්දැකීම පිළිබඳ වාර්තාවෙන් හෙළි කරන්නේ කුමක්ද? (ආ) අද දින දෙවිට හා ක්‍රිස්තුස්ට කීකරු වීමේ නිසි චේතනාව වන්නේ කුමක්ද? ඒ මන්ද?

9 පුදුමසහගත අන්දමින් මසුන් අල්ලාගැනීම පිළිබඳ වාර්තාවෙන් තවත් යමක් කියාපායි. එනම් ක්‍රිස්තුස්ට කීකරු වීමේදී නිසි චේතනාවක් තිබීමේ වැදගත්කමයි. එම චේතනාව නම් ප්‍රේමයයි. “මා වෙතින් ඉවත්ව යන්න. මම පව්කාර මිනිසෙක්මි” කියා පේතෘස් පැවසූ විට, යේසුස් ඉවත්ව ගියේවත් යම් පාපයක් කළා කියා පේතෘස්ව හෙළාදැක්කේවත් නැත. (ලූක් 5:8, NW) තමා වෙතින් ඉවතට යන ලෙසට ඇවිටිලි කිරීම ගැන යේසුස් ඔහුව විවේචනයට ලක් කළේද නැත. ඒ වෙනුවට, “භය නොවන්න” යයි යේසුස් කාරුණිකව පිළිතුරු දුණි. අහිතකර භය නිසා ක්‍රිස්තුස්ට කීකරු වීම වැරදි චේතනාවකි. ඒ වෙනුවට, යේසුස් පේතෘස්ට කීවේ ඔහු සහ ඔහුගේ සගයන් මිනිසුන් අල්ලන්නන් වශයෙන් ප්‍රයෝජනවත් සේවයක් කරනු ඇති බවය. අද දින, ඒ හා සමානව අපත් මිනිසුන්ව භය කර හෝ වරදසහිතබව හෝ ලජ්ජාව වැනි චිත්තවේගයන් ඔවුන් තුළ ඇති කර ක්‍රිස්තුස්ට කීකරු වීමට බල කරන්නේ නැත. යෙහෝවාගේ සිත සතුටු වන්නේ දෙවි සහ ක්‍රිස්තුස් කෙරෙහි වූ ප්‍රේමය පදනම් කරගෙන මුළු සිතින්ම කීකරු වුවහොත් පමණි.—මතෙව් 22:37.

“සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න”

10. (අ) යේසුස්ගේ ගෝලයන්ට මහත් අභියෝගයක් වූයේ මිනිසුන්ව ගෝලයන් කරන ලෙසට යේසුස් දුන් අණට ඇතුළත් කිනම් කාරණය නිසාද? (ආ) යේසුස්ගේ අණට ගෝලයන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

10 ක්‍රිස්තුස්ගේ අණ සම්බන්ධයෙන් පැනනැඟෙන දෙවෙනි ප්‍රශ්නය නම්, මෙම ගෝලයන් කිරීමේ වැඩය කරගෙන යනු ලබන්නේ කොහේද යන්නයි. යේසුස් සිය අනුගාමිකයන්ට මෙසේ කීවේය. “සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න.” යේසුස්ගේ දේවසේවයට පෙරාතුව, ජාතීන්ට අයත් මිනිසුන්ව පිළිගනු ලැබුවේ ඔවුන් යෙහෝවාට සේවය කිරීම සඳහා ඊශ්‍රායෙල් දේශයට පැමිණියා නම් පමණි. (1 රාජාවලිය 8:41-43) යේසුස්ම වැඩි හරියක් දේශනා කළේ යුදෙව්වන්ටය. නමුත් දැන් ඔහු සිය අනුගාමිකයන්ට පැවසුවේ සියලු ජාතීන්ට අයත් මිනිසුන් වෙතට යන ලෙසයි. ඇත්තෙන්ම, සිය ගෝලයන්ට මසුන් ඇල්ලිය හැකි ස්ථාන හෙවත් දේශනා කළ හැකි ප්‍රදේශ, කුඩා “පොකුණකට” හෙවත් යුදෙව්වන්ට පමණක් සීමා වී තිබිණි. එනමුත් එය මිනිස් වර්ගයාගෙන් සමන්විත මුළු “මුහුද” දක්වා විහිදී යෑමට වැඩි කලක් ගත වූයේ නැත. මේ වෙනස්කම ගෝලයන්හට යම් අභියෝගයක් ගෙන ආවද, ඔවුහු නොපමාව යේසුස්ගේ උපදෙසට කීකරු වූහ. යේසුස්ගේ මරණයට වසර 30කට පමණ පසුව, ප්‍රේරිත පාවුල්ට යමක් ලියන්නට හැකි වුණි. එය නම්, ශුභාරංචිය යුදෙව්වන් අතර පමණක් නොව, “අහසින් යට මුළු මැවිල්ලෙහි” දේශනා කර ඇති බවය.—කොලොස්සි 1:23, NW.

11. විසිවන සියවසේ මුල් කාලයේ පටන්, ‘මසුන් අල්ලන ප්‍රදේශවල’ කිනම් පුළුල් වීමක් දක්නට තිබේද?

11 ඉතා මෑත කාලවලදී, දේශනා කරනු ලබන බලප්‍රදේශවලද ඒ හා සමාන ව්‍යාප්තියක් දක්නට ලැබී තිබේ. විසිවන සියවස ආරම්භයේදී, මෙම ‘මසුන් අල්ලන ප්‍රදේශ’ රටවල් කිහිපයකට පමණක් සීමා වී තිබුණි. එහෙත්, එකල විසූ ක්‍රිස්තු අනුගාමිකයෝ පළමු සියවසේ ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය අනුකරණය කළ අතර, වැඩි වැඩියෙන් බලප්‍රදේශවල ඉතා උනන්දුවෙන් දේශනා කළහ. (රෝම 15:20) මෙලෙස 1930 ගණන්වල මුල්භාගයේ, ඔවුහු රටවල් සියයක පමණ ගෝලයන් සාදමින් සිටියහ. අද දින, අප විසින් ‘මසුන් අල්ලන ප්‍රදේශ’ රටවල් 235ක් දක්වා පුළුල් වී තිබේ.—මාක් 13:10, NW.

‘සෑම භාෂාවලින්’

12. සෙකරියා 8:23හි සඳහන් අනාවැකියෙන් හුවා දක්වන්නේ කිනම් අභියෝගයද?

12 සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කිරීම භූගෝලීය වශයෙන් පමණක් නොව, භාෂාමය වශයෙන්ද අභියෝගයකි. අනාගතවක්තෘ සෙකරියා තුළින් යෙහෝවා පුරෝකථනය කළේ මෙසේයි. “ඒ දවස්වලදී සියලු භාෂා ඇති ජාතීන්ගෙන් මනුෂ්‍යයන් දසදෙනෙක්, වස්ත්‍ර කොන අල්ලාගෙන, එසේය, යුදෙව් ජාතියේ මනුෂ්‍යයෙකුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන අපි ඔබ සමඟ යන්නෙමු. මක්නිසාද දෙවි ඔබ සමඟ සිටින බව අප විසින් අසා තිබේයයි කියනවා ඇත.” (සෙකරියා 8:23) මෙම අනාවැකියේ පුළුල් ඉටුවීම ගත් කල, ‘යුදෙව් ජාතියේ මනුෂ්‍යයාගෙන්’ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි අයව නියෝජනය කරන අතර, ‘මනුෂ්‍යයන් දසදෙනාගෙන්’ “මහත් සමූහය” නියෝජනය කෙරේ. * (එළිදරව් 7:9, 10, NW; ගලාති 6:16) ක්‍රිස්තුස්ගේ ගෝලයන්ගෙන් සමන්විත මහත් සමූහය බොහෝ ජාතීන්ට අයත් වන අතර, සෙකරියා සඳහන් කළාක් මෙන් ඔවුහු විවිධ භාෂා ගණනාවක් කතා කරති. දෙවිගේ ජනයා සම්බන්ධ නවීන දින ඉතිහාසය දෙස බලන කල, ගෝලයෙකු වීමේ එම ලක්ෂණය ඔවුන් තුළ දක්නට තිබේද? එසේය, තිබේ.

13. (අ) දෙවිගේ නවීන දින ජනයා අතර භාෂා සම්බන්ධයෙන් කිනම් වෙනසක් සිදු වී තිබේද? (ආ) විවිධ භාෂාවලින් යුත් ආත්මික ආහාර සඳහා වැඩි වන අවශ්‍යතාවට විශ්වාසවන්ත දාස පංතිය ප්‍රතිචාරය දක්වා ඇත්තේ කෙසේද? (“අන්ධ අය සඳහා ප්‍රකාශන” යන කොටුව බලන්න.)

13 වර්ෂ 1950දී ලොව වටා සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් සෑම 5දෙනෙකුගෙන් 3දෙනෙකුගේම මව් භාෂාව වූයේ ඉංග්‍රීසි භාෂාවයි. වර්ෂ 1980 වන විට එම සංඛ්‍යාව 5දෙනෙකුට 2දෙනෙකු දක්වා වෙනස් වී තිබූ අතර, අද දින සෑම සාක්ෂිකරුවන් 5දෙනෙකුගෙන් එක් අයෙකු පමණයි මව් භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිත කරන්නේ. විශ්වාසවන්ත නුවණ ඇති දාසයා මෙම භාෂාමය වෙනස්කමට ප්‍රතිචාරය දක්වා ඇත්තේ කෙසේද? වෙන කවරදාකටවත් වඩා වැඩි භාෂා ගණනකින් ආත්මික ආහාර සැපයීමෙනි. (මතෙව් 24:45) නිදසුනකට, 1950දී අපගේ පොත් පත් භාෂා 90කින් ප්‍රකාශයට පත් වුණු අතර, අද දින එම සංඛ්‍යාව දළ වශයෙන් 400ක් දක්වා ඉහළ නැංවී තිබේ. විවිධ භාෂා කතා කරන ජනයා කෙරෙහි මෙසේ වැඩි වී තිබෙන අවධානයට යම් ප්‍රතිඵල අත් වී තිබේද? එසේය! ‘සියලු භාෂාවලින්’ 5,000ක පමණ ජන සංඛ්‍යාවක් සෑම වසරකම ක්‍රිස්තුස්ගේ ගෝලයන් බවට පත් වෙමින් සිටිති! (එළිදරව් 7:9, NW) තවද මෙම වර්ධනය දිගින් දිගටම පවතී. ඇතැම් රටවල, මෙම “දැල්” හොඳින් “මසුන්” අල්ලමින් සිටී.—ලූක් 5:6; යොහන් 21:6.

ප්‍රිය උපදවන දේවසේවයක්—ඔබටත් හවුල් විය හැකිද?

14. අපගේ බලප්‍රදේශයේ සිටින විදේශීය භාෂාවක් කතා කරන අයට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද? (“සංඥා භාෂාව සහ ගෝලයන් කිරීම” යන කොටුව බලන්න.)

14 විවිධ රටවලින් සංක්‍රමණිකයන් බොහෝ බටහිර රටවලට පැමිණීම නිසා ‘සෑම භාෂාවකටම’ අයත් ජනයාව ගෝලයන් කිරීම එම බටහිර රටවලට අභියෝගයක් වී තිබේ. (එළිදරව් 14:6, NW) අපට වඩා වෙනස් භාෂාවක් කතා කරන අපගේ බලප්‍රදේශයේ සිටින අයට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද? (1 තිමෝති 2:3, 4) සංකේතාත්මකව ගත් කල, මසුන් අල්ලන නිවැරදි දැල භාවිත කිරීමට අපට හැකියි. එවන් පුද්ගලයන්ට ඔවුන් කතා කරන භාෂාවෙන්ම පොත් පත් ඉදිරිපත් කරන්න. හැකි නම්, ඔවුන්ගේ භාෂාව කතා කරන සාක්ෂිකරුවෙකුව ඔවුන්ව හමුවීම සඳහා යැවීමට කටයුතු පිළියෙල කරන්න. (ක්‍රියා 22:2) මෙවන් සැලසුම් කිරීම දැන් වඩාත් පහසුය. මන්ද ක්‍රිස්තුස්ගේ ගෝලයන් බවට පත්වීම සඳහා විදේශීන්ට උපකාර කිරීමට බොහෝ සාක්ෂිකරුවෝ වෙනත් භාෂාවක් ඉගෙනගෙන සිටිති. මේ ආකාර උපකාර දීම ප්‍රිය උපදවන අද්දැකීමක් බව දැන් ලැබෙන වාර්තාවලින් පෙන්වයි.

15, 16. (අ) විදේශීය භාෂාවක් කතා කරන අයට උපකාර කිරීම ප්‍රිය උපදවන දෙයක් බව පෙන්වන්නේ මොන අද්දැකීම්වලින්ද? (ආ) විදේශීය භාෂා ක්ෂේත්‍රයක් තුළ සේවය කිරීම සම්බන්ධයෙන් කිනම් ප්‍රශ්න අපට සලකා බැලිය හැකිද?

15 නෙදර්ලන්තයෙන් අසන්නට ලැබෙන නිදසුන් දෙකක් ගැන සලකා බලන්න. මෙහි භාෂා 34කින් රාජ්‍ය දේශනා වැඩකටයුතු සංවිධානය කර තිබේ. එක්තරා සාක්ෂිකාර යුවළක් පෝලන්ත භාෂාව කතා කරන සංක්‍රමණිකයන් වෙතට ගොස් දේශනා කර ඔවුන්ව ගෝලයන් කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. ඔවුන්ගේ උත්සාහයට කොතරම් සතුටුදායක ප්‍රතිඵල ලැබුණාද කිවහොත්, උනන්දුව දක්වන අය සමඟ බයිබලය පාඩම් කිරීම පිණිස සතියකට තවත් දවසක් වැඩියෙන් වෙන් කිරීම සඳහා තම රැකියාවේ කාලය අඩු කරගැනීමට මෙම ස්වාමිපුරුෂයා පෙලඹුණි. වැඩි කල් යන්නට මත්තෙන්, මෙම යුවළ සෑම සතියකම බයිබල් පාඩම් 20කට වඩා වැඩි ප්‍රමාණයක් පවත්වමින් සිටියහ. “අපගේ සේවය නිසා අප බොහෝ සතුටක් භුක්ති විඳිනවා” යයි ඔවුහු සඳහන් කළහ. තමන්ගේම භාෂාවෙන් බයිබල් සත්‍යතාවන් අසන අය ඒ ගැන තම අගය ප්‍රකාශ කරන විට, මිනිසුන්ව ගෝලයන් කරන අය විශේෂයෙන් ඒ ගැන සතුටු වෙති. නිදසුනක් වශයෙන්, වියට්නාම් භාෂාවෙන් පැවති රැස්වීමකදී, එක්තරා මහලු පුද්ගලයෙක් නැඟිට කතා කිරීමට අවසර ඉල්ලා සිටියේය. තම ඇස්වල කඳුළු සහිතව ඔහු සාක්ෂිකරුවන්ට කීවේ මෙසේයි. “මා කතා කරන මේ දුෂ්කර භාෂාව ඉගෙනගැනීමට උත්සාහ කිරීම ගැන ඔබට ස්තුතියි. මගේ මේ මහලු වයසේදී බයිබලයෙන් පුදුමාකාර දේවල් බොහොමයක් ඉගෙනගැනීමට ලැබීම ගැන මම හුඟාක් කෘතඥ වෙනවා.”

16 එම නිසා, විදේශීය භාෂා කතා කරන සභාවල සේවය කරන අය මහත් සේ ප්‍රීතියක් අද්දැකීම පුදුමයට කාරණයක් නොවේ. බ්‍රිතාන්‍යයෙන් පැමිණි එක්තරා යුවළක් මෙසේ කීහ. “හතළිස් වසරක දේවසේවය තුළ අප ලබා ඇති අද්දැකීම්වලින් ඉතාමත් ප්‍රීතිමත් අද්දැකීම නම් විදේශීය භාෂා කතා කරන ක්ෂේත්‍රයක සේවය කිරීමයි.” මෙම ප්‍රබෝධවත් සේවයේ හවුල් වීම සඳහා ඔබටත් යම් සකස් වීම් කරගත හැකිද? ඔබ තවමත් පාසැල් යන්නේ නම්, මේ ආකාර සේවයකට සූදානම් වීම සඳහා විදේශීය භාෂාවක් ඉගෙනගැනීමට ඔබට පුළුවන්ද? එසේ කිරීමෙන් ආශීර්වාදවලින් පිරි ජීවිතයකට දොරටුව ඔබට විවෘත වීමට ඉඩ කඩ තිබේ. (හිතෝපදේශ 10:22) මේ කාරණය ගැන ඔබේ දෙමාපියන් සමඟ සාකච්ඡා කර බලන්න.

අප යොදාගන්නා ක්‍රම වෙනස් කිරීම

17. අපගේ සභා බලප්‍රදේශය තුළ සිටින ජනයා කරා වැඩි වැඩියෙන් එළඹීමට අපට හැක්කේ කෙසේද?

17 අපගෙන් වැඩිදෙනෙකුට විදේශීය භාෂාවල් කතා කරන ප්‍රදේශවල අපගේ “දැල්” හෙළීමට හැකි තත්වයක් නොතිබෙන බව පැහැදිලි කරුණකි. කෙසේවෙතත්, අපගේ බලප්‍රදේශයේ අප දැනට හමු වෙනවාට වඩා වැඩිදෙනෙකුව හමු වෙන්නට හැකියි. කෙසේද? අපගේ පණිවුඩය නොව අප යොදාගන්නා ක්‍රම වෙනස් කිරීමෙනි. බොහෝ ප්‍රදේශවල අධිආරක්ෂිත කලාපවල පිහිටා ඇති ගොඩනැඟිලිවල වෙසෙන අයගේ සංඛ්‍යාව වැඩි වෙමින් තිබේ. අප ගෙයින් ගෙට යන විට තවත් බොහෝදෙනෙක් නිවෙස්වල නැත. මේ අනුව, අපට අපේ “දැල්” වෙනස් වේලාවල වෙනස් ස්ථානවල හෙළීමට සිදු විය හැකියි. මෙසේ අපි යේසුස්ව අනුකරණය කරන්නෙමු. විවිධ අවස්ථාවල මිනිසුන්ට කතා කිරීම සඳහා ඔහු උත්සාහ කළේය.—මතෙව් 9:9; ලූක් 19:1-10; යොහන් 4:6-15.

18. විවිධ තත්වයන් යටතේ සාක්ෂි දැරීම ඵලදායී වී ඇත්තේ කෙසේද? (“ව්‍යාපාරික ස්ථානවල සිටින ජනයාව ගෝලයන් කිරීම” යන කොටුවේ තොරතුරු ඇතුළත් කරන්න.)

18 ලෝකයේ ඇතැම් රටවල ජනයාව සොයාගත හැකි ඕනෑම ප්‍රදේශයකදී සාක්ෂි දැරීම මිනිසුන්ව ගෝලයන් කිරීමේ ඉතා වැදගත් ක්‍රමයකි. ගෝලයන් කිරීමෙහි මනා පළපුරුද්දක් ඇති අය විවිධ ප්‍රදේශවල සාක්ෂි දැරීමට වැඩිමනත් අවධානයක් යොමු කර ඇත. ගෙයින් ගෙට දේවසේවයේ හවුල් වෙනවාට අමතරව, දැන් ප්‍රචාරකයෝ ගුවන් තොටුපොළවල, කාර්යාලවල, සාප්පුවල, වාහන නැවතුම්පොළවල, බස් නැවතුම්පොළවල, වීථිවල, උද්‍යානවල, මුහුදු වෙරළවල සහ වෙනත් තැන්වල සාක්ෂි දරති. හවායිහි නවක සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුව පළමුවරට හමු වී ඇත්තේ එවන් ස්ථානවලය. අප සාක්ෂි දරන ක්‍රම වෙනස් කිරීම මිනිසුන්ව ගෝලයන් කිරීමට යේසුස් දුන් ආඥාව පූර්ණ ලෙස ඉෂ්ට කිරීමට අපට උපකාරවත් වේවි.—1 කොරින්ති 9:22, 23.

19. යේසුස් දුන් පැවරුමේ කිනම් පැති ඊළඟ ලිපියේදී සාකච්ඡා කරනු ඇද්ද?

19 මිනිසුන්ව ගෝලයන් කිරීමට වූ යේසුස්ගේ පැවරුමට ඇතුළත් වූයේ අප එසේ කළ යුත්තේ මන්ද සහ කොහේද යන්න ගැන දුන් තොරතුරු පමණක් නොවේ. අප දේශනා කළ යුත්තේ කුමක්ද සහ කුමන කාලය දක්වාද යන්න ගැනත් තොරතුරු ඇතුළත් විය. යේසුස්ගේ බලපැවරුමේ මෙම පැති දෙක ඊළඟ ලිපියේදී සලකා බලනු ලැබේ.

[පාදසටහන්වල]

^ 2 ඡේ. මෙම ලිපිය තුළ පළමු ප්‍රශ්න දෙක අපි සලකා බලන්නෙමු. අන්තිම ප්‍රශ්න දෙක ඊළඟ ලිපියේදී සලකා බලනු ලැබේ.

^ 8 ඡේ. මතු දැක්වෙන ශුද්ධ ලියවිලි පදවලද දේශනා කිරීම සඳහා හේතු දී ඇත. හිතෝපදේශ 10:5; ආමොස් 3:8; මතෙව් 24:42; මාර්ක් 12:17; රෝම 1:14, 15.

^ 12 ඡේ. මෙම අනාවැකියේ ඉෂ්ට වීම් පිළිබඳව තවදුරටත් දැනගැනීම පිණිස, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන වන 2001 මැයි 15 මුරටැඹ කලාපයේ 12වන පිටුව, සහ යෙසායාගේ අනාවැකිය—සියලු මිනිස් වර්ගයා සඳහා පහන IIවන වෙළුම, 408 පිටුව බලන්න.

ඔබට මතකද?

• රාජ්‍ය දේශනා කිරීමේ සහ ගෝලයන් කිරීමේ වැඩයේ නියැලීමට අපට තිබිය යුත්තේ කවර හේතුද? කිනම් චේතනාද?

• සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කිරීමට යේසුස් දුන් පැවරුම අද දින යෙහෝවාගේ සේවකයන් කරගෙන යන්නේ කොතෙක් දුරකටද?

• අපට ‘මසුන් ඇල්ලීමේ ක්‍රම’ වෙනස් කළ හැක්කේ කෙසේද? අප එසේ කළ යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ කොටුව⁄පින්තූර]

අන්ධ අය සඳහා ප්‍රකාශන

ඇල්බට්, එක්සත් ජනපදයේ වෙසෙන වැඩිමහල්ලෙකු සහ පූර්ණ කාලීන දේවසේවකයෙකි. ඔහු අන්ධය. සේවා අවේක්ෂක ලෙස කටයුතු කරන ඔහුගේ සේවය වඩාත් බලපෑමෙන් යුතුව කිරීමට ඔහුට බ්‍රේල් බසින් පළ වී ඇති බයිබල් පොත් පත් මහෝපකාරී වෙයි. ඔහුට දී ඇති සභා පැවරුම ඔහු කරගෙන යන්නේ කෙසේද?

“ඇල්බට් තරම් සාර්ථක සේවා අවේක්ෂකයෙක් අපේ සභාවේ කවරදාකවත් ඉඳලා නැහැ” යයි එම සභාවේ ජේම්ස් නමැති මුලසුන භාර අවේක්ෂක පවසයි. පසුගිය වසර කිහිපය පුරා ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ බ්‍රේල් බසින් බයිබල් ප්‍රකාශන ලබා සිටින එක්සත් ජනපදයේ වෙසෙන 5,000ක් පමණ දෙනාගෙන් එක් කෙනෙකි, ඇල්බට්. ඇත්තවශයෙන්ම, 1912 සිට විශ්වාසවන්ත නුවණ ඇති දාසයා බ්‍රේල් බසින් විවිධ ප්‍රකාශන සියයකට වඩා වැඩි ප්‍රමාණයක් සපයා තිබේ. නවීන ක්‍රම උපයෝගී කරගනිමින් දැනට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මුද්‍රණාලවල භාෂා දහයකින් සෑම වසරකම බ්‍රේල් ප්‍රකාශනවල පිටු මිලියන ගණනක් මුද්‍රණය කෙරෙන අතර, ඒවා රටවල් 70කට වඩා වැඩි ගණනක බෙදාහරිනු ලැබේ. අන්ධ අය සඳහා පිළියෙල කර ඇති බයිබල් ප්‍රකාශනවලින් ප්‍රයෝජන ගත හැකි යම් කෙනෙක් ගැන ඔබ දන්නවාද?

[11වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සංඥා භාෂාව සහ ගෝලයන් කිරීම

මහත් උද්‍යෝගයෙන් සේවය කරන යෞවනයන් බොහෝදෙනෙක් ඇතුළු සාක්ෂිකරුවන් දහස් ගණනක්, බිහිරි අයට ක්‍රිස්තුස්ගේ ගෝලයන් බවට පත්වීමට උපකාර කිරීම සඳහා සංඥා භාෂාව ඉගෙනගෙන සිටිති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බ්‍රසීලයේ පමණක් මෑත වසරකදී බිහිරි පුද්ගලයන් 63දෙනෙක් බව්තීස්ම වූ අතර ඉන් 35දෙනෙක් දැන් පූර්ණ කාලීන එවැන්ජලිස්තවරුන් ලෙස සේවය කරති. ලොව වටා සංඥා භාෂාව භාවිත කරන සභා සහ කණ්ඩායම් 1,200කට වඩා වැඩි ගණනක් තිබේ. රුසියාවේ පිහිටි සංඥා භාෂාව භාවිත කරන සභාවලින් යුත් චාරිකාව වනාහි භූගෝලීය වශයෙන් ගත් කල, ලෝකයේ තිබෙන ලොකුම චාරිකාව වේ!

[12වන පිටුවේ කොටුව]

ව්‍යාපාරික ස්ථානවල සිටින ජනයාව ගෝලයන් කිරීම

හවායිහි එක් සාක්ෂිකරුවෙක් කාර්යාල පිහිටි එක්තරා ව්‍යාපාරික ප්‍රදේශයක සේවය කරමින් සිටි විට, ප්‍රවාහන සමාගමක එක් විධායක නිලධාරියෙකුව හමු විය. කාර්යබහුලව සිටියද, තම කාර්යාලයේදී විනාඩි 30කට බයිබලය අධ්‍යයනය කිරීමට මෙම තැනැත්තා එකඟ විය. සෑම බදාදාවකම උදේ වරුවේ, තමාට දූරකථන ඇමතුම් නොඑවන ලෙස තම කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටින ඔහු, පාඩමට මුළු අවධානය දෙයි. හවායිහි සිටින තවත් සාක්ෂිකරුවෙක් පාවහන් අලුත්වැඩියා කරන සාප්පුවක අයිතිකරු සමඟ සතියකට වතාවක් බයිබලය පාඩම් කරයි. පාඩම පැවැත්වෙන්නේ සාප්පුවේ කවුන්ටරය අසලමයි. පාරිභෝගිකයෙක් පැමිණෙන විට, සාක්ෂිකරුවා කවුන්ටරයෙන් පැත්තකට වෙයි. පාරිභෝගිකයා ඉවත්ව ගිය පසු ඔවුහු යළිත් පාඩම පටන්ගනිති.

මෙම විධායක නිලධාරියාව සහ සාප්පු අයිතිකරුව හමු වූයේ එම සාක්ෂිකරුවන් තමන්ගේ “දැල්” වෙනත් ස්ථානවල හෙළීමට මූලික පියවර ගත් නිසාය. මේ අන්දමින්, ඔබේ සභා බලප්‍රදේශයේ නිවෙස්වල නොසිටින අයව හමු විය හැකි වෙනත් ස්ථාන ගැන ඔබට සිතන්නට පුළුවන්ද?

[12වන පිටුවේ පින්තූරය]

විදේශීය භාෂා ක්ෂේත්‍රයක සේවය කිරීමට ඔබට හැකිද?