Skip to content

පටුනට යන්න

නෝවාට ලියුමක්

නෝවාට ලියුමක්

නෝවාට ලියුමක්

“හිතවත් නෝවා, මම ඔබ ගැනත්, ඔබ නැවක් තැනූ ආකාරය ගැනත්, ඒ නැව මගින් ඔබවත් ඔබේ පවුලේ අයවත් ජලගැල්මෙන් ගලවාගනු ලැබූ ආකාරය ගැනත් කිහිප වතාවක්ම බයිබලයෙන් කියවා තිබෙනවා.”

වයස අවුරුදු 14ත් 21ත් අතර සිටින ශිෂ්‍යයන්ගේ රචනා තරඟයකට මින්නාමරියා නමැති පහළොස්වන වියේ පසු වන දැරිය ලියූ ලිපිය ආරම්භ වන්නේ ඒ විදිහටයි. මෙම තරඟය සංවිධානය කරන ලද්දේ ෆින්ලන්තයේ තැපැල් සේවය, ෆින්ලන්ත මව් භාෂා ගුරුවරුන්ගේ සංගමය සහ ෆින්ලන්ත සාහිත්‍ය සංගමය මගිනුයි. තරඟය සඳහා ඉදිරිපත් වූ තරඟකරුවන් යම් පොතක් පදනම් කරගෙන ලිපියක් ලිවිය යුතු වුණා. එම ලිපිය මගින් එම පොතේ කර්තෘට හෝ එහි චරිතයකට ඇමතිය හැකියි. ගුරුවරු ශිෂ්‍යයන්ගේ ලිපි අතුරින් 1,400කට වඩා වැඩි ප්‍රමාණයක් තෝරාගෙන ඒවා තරඟ විනිසුරු මඬුල්ල වෙත යොමු කළා. විනිසුරු මඬුල්ල විසින් හොඳම ලිපියකුත් දෙවෙනි ස්ථානය ගත් හොඳම ලිපි දහයකුත් තුන්වන ස්ථානය ගත් හොඳම ලිපි දහයකුත් තෝරාගත්තා. මින්නාමරියාගේ ලිපිය තුන්වෙනි ස්ථානයට තේරුණු ලිපි අතර තිබීම ගැන ඇය සතුටට පත් වුණා.

ඇයි යොවුන් වියේ පසු වන පාසැල් ශිෂ්‍යයාවක් වන මින්නාමරියා, අවුරුදු 5,000කට පමණ පෙර ජීවත් වූ නෝවා වැනි මිනිසෙක්ට තම ලිපිය ලිවීමට අදිටන් කළේ? ඒ ගැන ඇය මෙසේ අදහස් දක්වනවා. “බයිබලය තමයි මට ඉස්සෙල්ලාම මතක් වුණේ. බයිබලයේ තියෙන චරිත මට හොඳට හුරු පුරුදුයි. මම ඒ චරිත ගැන හුඟාක් කියවලා තියෙන නිසා ඒවා අදටත් මට ජීවමානයි. නෝවාගේ ජීවිතය සිදුවීම්වලින් පිරි ජීවිතයක් නිසාත් මගේ ජීවිතයට වඩා වෙනස් නිසාත් ඔහුට ලිපියක් ලියන්න මම තීරණය කළා.”

මින්නාමරියා නෝවාට ලියූ ලිපිය අවසන් වන්නේ මෙම වදන්වලින්. “ඔබ තවමත් ඇදහිල්ල සහ කීකරුකම සම්බන්ධයෙන් ආදර්ශයක්. ඔබ ජීවත් වූ ආකාරය මගින් බයිබලය කියවන සෑම කෙනෙකුටම තම ඇදහිල්ලට එකඟව කටයුතු කරන්න දිරිගැන්වීමක් ලබා දෙනවා.”

මෙම යොවුන් බයිබල් පාඨකයාගේ ලිපිය මගින් බයිබලය ඇත්තෙන්ම බාල මහලු කොයි කාටත් ‘ජීවමාන සහ බලවත්’ පොතක් බව නිදර්ශනය කරනවා.—හෙබ්‍රෙව් 4:12, NW.