Skip to content

පටුනට යන්න

‘මා ඔබට අණ කළ සියලු දේ පැවැත්වීමට ඔවුන්ට උගන්වන්න’

‘මා ඔබට අණ කළ සියලු දේ පැවැත්වීමට ඔවුන්ට උගන්වන්න’

‘මා ඔබට අණ කළ සියලු දේ පැවැත්වීමට ඔවුන්ට උගන්වන්න’

“එබැවින් ගොස් . . . මිනිසුන්ව ගෝලයන් කරන්න. . . . මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.”—මතෙව් 28:19, 20, NW.

1. ගෝලයෙකු වූ ෆිලිප් සහ ඉතියෝපීය මිනිසෙකු අතර ඇති වුණු සංවාදය කුමක් වීද?

ඉතියෝපියාවේ සිට පැමිණි එම මිනිසා යෙරුසලම දක්වාම ගමන් කර තිබුණි. එහිදී ඔහු තමා ප්‍රේම කළ දෙවි වන යෙහෝවාට නමස්කාර කළේය. තවද, ඔහු දෙවිගේ වචනයටද ඇලුම් කළ බවක් පෙනී යයි. තමාගේ රථයේ නැඟී ආපසු සිය රට බලා යමින් සිටියදී, අනාගතවක්තෘ යෙසායාගේ ලියවිලිවල පිටපතක් කියවමින් සිටි විට, ඔහුට ක්‍රිස්තුස්ගේ ගෝලයෙකු වූ ෆිලිප්ව හමු විය. ෆිලිප් ඉතියෝපියානුවාගෙන් මෙසේ ඇසීය. “ඔබ කියවන්නේ කුමක්ද කියා ඔබ ඇත්තෙන්ම දන්නවාද?” එම මිනිසා මෙසේ පිළිතුරු දුණි. “යමෙකු මට මඟ පෙන්නුවොත් මිස, මා එය දැනගන්නේ කෙසේද?” ශුද්ධ ලියවිල්ල හදාරමින් සිටි මෙම අවංක ශිෂ්‍යයාට ක්‍රිස්තුස්ගේ ගෝලයෙකු බවට පත්වීමට උපකාර කිරීමට ෆිලිප් අවශ්‍ය පියවර ගත්තේය.—ක්‍රියා 8:26-39, NW.

2. (අ) ඉතියෝපීය මිනිසා විසින් දෙන ලද පිළිතුර අර්ථාන්විත වූයේ කිනම් ආකාරයෙන්ද? (ආ) මිනිසුන්ව ගෝලයන් කිරීමට යේසුස් දුන් පැවරුම සම්බන්ධයෙන් අප සලකා බලන්නේ කිනම් ප්‍රශ්නද?

2 ඉතියෝපීය මිනිසා දුන් පිළිතුරේ විශේෂත්වයක් තිබේ. ඔහු පැවසුවේ මෙසේයි. “යමෙකු මට මඟ පෙන්නුවොත් මිස, මා එය දැනගන්නේ කෙසේද?” ඇත්තෙන්ම ඔහුට මඟ පෙන්වන්නෙකු අවශ්‍ය වුණි. මේ අන්දමින්, මිනිසුන්ව ගෝලයන් කිරීමට යේසුස් දුන් පැවරුමට ඇතුළත් වූ එක්තරා සුවිශේෂී උපදෙසක වැදගත්කම ඉහත ප්‍රකාශයෙන්ම හෙළි වෙයි. කිනම් උපදෙසද? මීට පිළිතුර සොයාගැනීමට, අපි දැන් මතෙව් 28වන පරිච්ඡේදයේ සඳහන් යේසුස්ගේ වචන තවදුරටත් සලකා බලමු. මීට ඉහත ලිපියේ සාකච්ඡා කළේ මන්ද සහ කොහේද යන ප්‍රශ්නවලට පිළිතුරුය. මිනිසුන්ව ගෝලයන් කිරීමට යේසුස් දුන් අණට සම්බන්ධ තවත් ප්‍රශ්න දෙකක් අපි සලකා බලමු. ඒවා නම්, මොනවාද සහ කවදාද යන්නයි.

‘සියලු දේ පැවැත්වීමට ඔවුන්ට ඉගැන්වීම’

3. (අ) යමෙක් යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයෙකු බවට පත් වන්නේ කෙසේද? (ආ) ගෝලයන් කිරීමට කුමක් ඉගැන්වීම ඇතුළත්ද?

3 ක්‍රිස්තුස්ගේ ගෝලයන් බවට පත්වීම සඳහා අන්‍යයන්ට උපකාර කිරීමට අප ඉගැන්විය යුත්තේ මොනවාද? යේසුස් සිය අනුගාමිකයන්ට ආඥා කළේ මෙයයි. “එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:19, 20, NW) මෙසේ අප අන්‍යයන්ට ඉගැන්විය යුත්තේ ක්‍රිස්තුස් අණ කළ දේවල්ය. * එහෙත්, යේසුස්ගේ අණ පනත් ඉගෙනගත්තාවූ පුද්ගලයෙක් ගෝලයෙකු බවට පත් වෙනවා පමණක් නොව, දිගටම ගෝලයෙකු ලෙස ක්‍රියා කරයි යන සහතිකය ලබාගැනීමට අපට ඉවහල් වන්නේ කුමක්ද? යේසුස් විසින් කල්පනාකාරීව තෝරාගත් එම වචනවල මේ සඳහා ඉවහල් වන මූලික සාධකයක් දක්නට ලැබෙයි. ‘මා අණ කළ සියලු දේවල් ඔවුන්ට උගන්වන්න’ කියා යේසුස් නිකම්ම නොපැවසූ බව කල්පනාවට ගන්න. ඒ වෙනුවට ඔහු පැවසුවේ මෙයයි. “මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 19:17, NW) ඉන් අඟවන්නේ කුමක්ද?

4. (අ) අණක් පැවැත්වීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) ක්‍රිස්තුස්ගේ ආඥා පැවැත්වීමට අප යමෙකුට උගන්වන ආකාරය පැහැදිලි කරන්න.

4 ආඥාවක් පවත්වනවා කීමෙන් අදහස් කරන්නේ, යම් පුද්ගලයෙක් එම ආඥාවට “තමාගේ ක්‍රියාවන් එකඟ කිරීම” හෙවත් ඊට කීකරු වීමයි, නැත්නම් පිළිපැදීමයි. එසේනම්, ක්‍රිස්තුස් අණ කළ දේවල් පැවැත්වීමට හෙවත් ඒවාට කීකරු වීමට තවත් කෙනෙකුට ඉගැන්වීමට අපට හැක්කේ කෙසේද? රථ වාහන පැදවීමට පුහුණු කරන උපදේශකයෙක් තම සිසුන්ට මාර්ග නීති පිළිපැදීමට උගන්වන ආකාරය ගැන සිතන්න. මෙම උපදේශකයා මාර්ග නීති ගැන සිය සිසුන්ට පන්ති කාමරයකදී උගන්වනවා විය හැකියි. කෙසේවෙතත්, මෙම නීතිවලට කීකරු වීමට සිය සිසුන්ට ඉගැන්වීම සඳහා, වාහනය පාරට ගෙන වෙනත් වාහන සමඟ එය පදවන විට සිසුන් ඉගෙනගත් දේවල් ක්‍රියාත්මක කිරීමට මහත් උත්සාහයක් දරද්දී ඔවුන්ට යම් මඟ පෙන්වීමක් දීමට ඔහුට සිදු වේ. ඒ හා සමානව, අප විවිධ පුද්ගලයන් සමඟ බයිබලය පාඩම් කරන විට අපි ඔවුන්ට ක්‍රිස්තුස්ගේ අණ පනත් උගන්වන්නෙමු. එහෙත්, බයිබල් ශිෂ්‍යයන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී සහ දේවසේවය තුළ ක්‍රිස්තුස්ගේ උපදෙස් පිළිපැදීමට උත්සාහ කරද්දී අප ඔවුන්ට මඟ පෙන්විය යුතුයි. (යොහන් 14:15; 1 යොහන් 2:3) මෙසේ, ගෝලයන් කිරීමට ක්‍රිස්තුස් දී ඇති අණ සම්පූර්ණයෙන්ම ඉෂ්ට කිරීමට අප ගුරුවරුන් මෙන්ම මඟ පෙන්වන්නන් වීමද අවශ්‍යය. මේ ආකාරවලින්, අපි යේසුස් සහ යෙහෝවා විසින් තබා ඇති ආදර්ශ අනුකරණය කරන්නෙමු.—ගීතාවලිය 48:14; එළිදරව් 7:17.

5. අප සමඟ බයිබලය පාඩම් කරන පුද්ගලයෙක් මිනිසුන්ව ගෝලයන් කිරීමට ක්‍රිස්තුස් දී ඇති අණට කීකරු වීමට අදිමදි කිරීමට හේතුව කුමක් විය හැකිද?

5 යේසුස්ගේ ආඥා පැවැත්වීමට අනුන්ට ඉගැන්වීමට ඇතුළත් වන දෙයක් නම්, මිනිසුන්ව ගෝලයන් කිරීමට දී ඇති අණට අවනත වීමට ඔවුන්ට උපකාර කිරීමයි. අප පාඩම් කරන සමහරක් අයට මෙය බිය, චකිතය ඇති කරවන්නක් විය හැකියි. ඔවුන් මීට පෙර ක්‍රිස්තියානි ලෝකයේ යම් පල්ලියක ක්‍රියාකාරී සාමාජිකයන්ව සිටියද, ඔවුන්ගේ කලින් ආගමික ගුරුවරුන් වෙනත් මිනිසුන්ව ගෝලයන් බවට පත් කිරීමට ඔවුන්ට කවදා හෝ ඉගැන්වූවා කියා සිතීම උගහටය. ශුභාරංචිය දේශනා කිරීමට තමන්ගේ රැළට ඉගැන්වීම සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි මුළුමනින්ම අසාර්ථක වී ඇති බව ඇතැම් පල්ලි නායකයෝ අවංකව පිළිගනිති. ලෝකයට ගොස් සියලු තරාතිරම්වල මිනිසුන්ව ගෝලයන් කිරීමට දී ඇති යේසුස්ගේ අණ පිළිපැදීම ගැන අදහස් දක්වමින් බයිබල් විශාරද ජෝන් ආර්. ඩබ්. ස්ටොට් මෙසේ සඳහන් කළේය. “අද දින ශුභාරංචිය දේශනා කිරීම යන ක්ෂේත්‍රය තුළ සිටින එවැන්ජලිස්ත ක්‍රිස්තියානීන්ගේ ප්‍රධානම දුර්වලකම නම් මෙම ආඥාවෙන් අදහස් කරන දේවලට කීකරු වීමට ඔවුන් දක්වා ඇති අසමර්ථකමයි.” ඔහු තවදුරටත් මෙසේ කියා සිටියේය. “අප අපගේ පණිවුඩය මිනිසුන්ට ප්‍රකාශ කරන්නේ ඔවුන්ගෙන් බොහෝ දුරස්ව සිටයි. අපව හරියට පෙනෙන්නේ ගිලෙන්නට යන මිනිසුන්ට මුහුදු වෙරළේ සිට අවවාද කරමින් කෑගසන මිනිසුන් මෙනි. ඔවුන්ව බේරාගැනීමට අප මුහුදට පනින්නේ නැත. අපව වතුරට තෙමෙයි කියා අපි බිය වෙන්නෙමු.”

6. (අ) බයිබල් ශිෂ්‍යයෙකුට උපකාර කිරීමේදී, අපට ෆිලිප්ගේ ආදර්ශය අනුකරණය කළ හැක්කේ කෙසේද? (ආ) බයිබල් ශිෂ්‍යයෙක් දේශනා සේවයේ හවුල් වීමට පටන්ගන්නා විට අපට ඔහු කෙරෙහි සැලකිල්ල දැක්විය හැක්කේ කෙසේද?

6 අප සමඟ බයිබලය පාඩම් කරන යමෙක් මීට කලින් සිටි ආගමේ සාමාජිකයන් මෙන් ‘තෙමෙයි කියා බියක්’ තිබුණු කෙනෙකු නම්, ‘වතුරට’ බැසීමට ඔහු තුළ වූ බියෙන් ගොඩ ඒම, එනම් මිනිසුන්ව ගෝලයන් කිරීමට වූ යේසුස්ගේ අණට කීකරු වීම ඔහුට අභියෝගයක් විය හැකියි. ඔහුට උපකාර අවශ්‍යයි. මෙසේ, අප ඔහුගේ අවබෝධය ගැඹුරු කරවන, ඔහුව ක්‍රියාවට පොලඹවන ආකාරයේ උපදෙස් සහ මඟ පෙන්වීම් දෙමින් ඔහු සමඟ ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ෆිලිප් කළ ඉගැන්වීම නිසා පැහැදුණු ඉතියෝපීය ජාතිකයා බව්තීස්ම වීමට පෙලඹුණු විට සිදු වූයේත් මේ දෙයමයි. (යොහන් 16:13; ක්‍රියා 8:35-38) මීට අමතරව, ගෝලයන් කිරීමට දී ඇති ආඥාව පිළිපැදීමට බයිබල් ශිෂ්‍යයන්ට උපකාර කිරීමට අප තුළ තිබෙන ආශාව හේතුවෙන් අප පෙලඹෙන්නේ රාජ්‍ය දේශනා කිරීමට ඔවුන් පළමු පියවර ගන්නා විට ඔවුන් හා කැටුව සේවයේ හවුල් වී ඔවුන්ට මඟ පෙන්වීමටයි.—දේශනාකාරයා 4:9, 10; ලූක් 6:40.

“සියලු දේ”

7. ‘සියලු දේ පැවැත්වීමට’ අන්‍යයන්ට ඉගැන්වීමේදී ඇතුළත් වෙන්නේ කිනම් ආඥා ඔවුන්ට ඉගැන්වීමද?

7 මිනිසුන්ව ගෝලයන් කිරීම සඳහා නවක ගෝලයන්ට ඉගැන්වීමට පමණක් අප සීමා වෙන්නේ නැත. යේසුස් අපට උපදෙස් දුන්නේ තමන් අණ කළ “සියලු දේ පවත්වන්න” අනුන්ට ඉගැන්විය යුතු බවයි. ශ්‍රේෂ්ඨතම ආඥා දෙක, එනම් දෙවිට ප්‍රේම කිරීම සහ අසල්වැසියාට ප්‍රේම කිරීම මීට අනිවාර්යයෙන්ම ඇතුළත් වෙයි. (මතෙව් 22:37-39) එම ආඥා පැවැත්වීමට නවක ගෝලයෙකුට ඉගැන්විය හැක්කේ කෙසේද?

8. ප්‍රේමය පෙන්වීමට දී ඇති ආඥාව නවක ගෝලයෙකුට ඉගැන්විය හැකි ආකාරය පැහැදිලි කරන්න.

8 රථ වාහන පැදවීමට ඉගෙනගන්නා සිසුවෙකු පිළිබඳ උදාහරණය ගැන නැවත සිතා බලන්න. රියැදුරු උපදේශක තමා අසල ආසනයේ ඉඳගෙන සිටිද්දී සිසුවා වාහන අතරින් පාරේ ඉදිරියට ඇදෙන විට, තම උපදේශක කියන දේට සවන් දෙමින් පමණක් නොව, වෙනත් රියැදුරන් වාහන පදවන ආකාරය දෙස බලමින්ද ඔහු යම් යම් දෑ ඉගෙනගනී. නිදසුනක් වශයෙන්, යම් රියැදුරෙක් පාරේ යන වාහන අතරට ඒමට අතුරු පාරකින් පැමිණෙන වෙනත් වාහනයකට ඉඩ දෙනවා විය හැකියි. නැතහොත්, යම් රියැදුරෙක් තමා ඉදිරියට එන වාහනවල රියැදුරන්ට පහසුවෙන් පාර පෙනෙන පරිදි තමාගේ රථයේ විදුලි ආලෝකවල දීප්තිය අඩු කරනවා විය හැකියි. එසේත් නැතහොත් පාරේ යමින් තිබූ වාහනයක් හදිසියේ අබලන් වී, අලුත්වැඩියා කරමින් සිටින එම රථයේ රියැදුරාට වෙනත් රියැදුරෙක් උදව්වට පැමිණෙනවා වෙන්නට පුළුවනි. මෙම රියැදුරු උපදේශකයා එවන් අවස්ථා සිසුවාට පෙන්වනවා විය හැකියි. තමා වාහනය පදවන විට තමාටද අනුකරණය කළ හැකි කදිම පාඩම් මේ තුළින් මෙම සිසුවා අදාළ කරගනී. ඒ හා සමානව, ජීවනය නමැති මාවතට පිවිසෙන නව ගෝලයෙක් තමාගේ ගුරුවරයාගෙන් පමණක් නොව, සභාවේ තමා දකින වෙනත් අයගේ කදිම ආදර්ශයන්ගෙන්ද ඉගෙනගනී.—මතෙව් 7:13, 14.

9. ප්‍රේමය පෙන්වීමට දී ඇති ආඥාව පවත්වන්න කීමෙන් අදහස් කරන දෙය නව ගෝලයෙක් ඉගෙනගන්නේ කෙසේද?

9 එය මෙසේ නිදර්ශනය කරමු. තමාගේ කුඩා දරුවන්වද කැටුව රාජ්‍ය ශාලාවට පැමිණීමට මහත් වෑයමක් දරන තනි මාපියෙකුව යම් බයිබල් ශිෂ්‍යයෙක් දකින්නට පුළුවන. මානසික පීඩනයක් සමඟ පොරබදමින් අධෛර්යයට පත් වී සිටියද විශ්වාසවන්ත ලෙස රැස්වීම්වලට පැමිණෙන සහෝදරියක් ඔහු දකිනවා විය හැකියි. නැතහොත් වයසක වැන්දඹුවක් තවත් මහලු අයවද තම වාහනයෙන් රැගෙන සෑම රැස්වීමකටම පැමිණෙන ආකාරයද, නහඹරයෙක් රාජ්‍ය ශාලාව පිරිසිදු කිරීමට හවුල් වෙන ආකාරයද ඔහුගේ නෙත ගැටෙන්නට පුළුවන. බොහෝ සභා වගකීම් තිබුණද යම් වැඩිමහල්ලෙක් ක්ෂේත්‍ර සේවයේ විශ්වාසවන්තව පෙරමුණ ගන්නවා ඔහු දැකිය හැකියි. නිවසටම කොටු වී ආබාධිත තත්වයක සිටින මුත්, තමාව බලන්නට එන සියලුදෙනාවම ආත්මිකව දිරිගන්වන සාක්ෂිකරුවෙකුව ඔහුට හමු වන්නට පුළුවන. තම මහලු දෙමාපියන්ව බලා කියා ගැනීම සඳහා තම ජීවිතයේ බැරෑරුම් වෙනස්කම් කරමින් සිටින යුවළක් ඔහු දැකිය හැකියි. එවැනි කාරුණික, උදව් උපකාර දීමට සූදානම්, විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ව නිරීක්ෂණය කිරීමෙන් මෙම නව ගෝලයා ඔවුන්ගේ එම ආදර්ශයෙන් යමක් ඉගෙනගනී. එය නම්, දෙවි හා අසල්වැසියාට, විශේෂයෙන්ම තම සෙසු ඇදහිලිවන්තයන්ට ප්‍රේම කිරීමට දී ඇති ක්‍රිස්තුස්ගේ ආඥාවට කීකරු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්නයි. (හිතෝපදේශ 24:32; යොහන් 13:35; ගලාති 6:10; 1 තිමෝති 5:4, 8; 1 පේතෘස් 5:2, 3) මේ අන්දමින්, ක්‍රිස්තියානි සභාවේ සෑම සාමාජිකයෙකුටම ගුරුවරයෙකු සහ මඟ පෙන්වන්නෙකු විය හැකියි. තවද ඔවුන් එවැන්නන් විය යුතුය.—මතෙව් 5:16.

“සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා”

10. (අ) මිනිසුන්ව ගෝලයන් කිරීම අප දිගටම කරගෙන යන්නේ තව කොතරම් කාලයකටද? (ආ) පැවරුම් ඉටු කිරීම සම්බන්ධයෙන් යේසුස් තැබුවේ කිනම් ආදර්ශයක්ද?

10 අප මිනිසුන්ව ගෝලයන් කිරීමේ වැඩෙහි නොකඩවා නියැලිය යුත්තේ කොතරම් කාලයක් දක්වාද? මේ සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය පුරාවටය. (මතෙව් 28:20) අපට යේසුස් දුන් පැවරුමේ මෙම අංගය ඉෂ්ට කිරීමට හැකි වේවිද? ලෝක ව්‍යාප්ත සභාවක් වශයෙන් අපි එසේ කිරීමට අදිටන් කරගෙන සිටිමු. පසුගිය අවුරුදු ගණනාව පුරා, අපි අපගේ කාලය, ශක්තිය සහ සම්පත් “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක්” ඇති අයව සෙවීමට යෙදෙව්වෙමු. (ක්‍රියා 13:48, NW) දැනට, යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දළ වශයෙන් වසරේ සෑම දවසකම මිලියන තුනකට වඩා වැඩි පැය ගණනක් රාජ්‍ය දේශනා කිරීමට සහ ගෝලයන් සෑදීමට මිඩංගු කරති. අප එසේ කරන්නේ අප යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන නිසයි. ඔහු පැවසුවේ “මාගේ කෑම නම්, මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කර ඔහුගේ කාර්යය සම්පූර්ණ කිරීමය” කියායි. (යොහන් 4:34, NW) අපේ හෘදයාංගම ආශාවත් එයයි. (යොහන් 20:21) අපට වුවමනා කරන්නේ අපට භාර දී ඇති වැඩය පටන්ගැනීමට පමණක් නොව එය අවසන් කිරීමටත්ය.—මතෙව් 24:13; යොහන් 17:4.

11. අපගේ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගෙන් සමහරදෙනෙකුට සිදු වී ඇත්තේ කුමක්ද? අප අපෙන්ම අසාගත යුත්තේ මොනවාද?

11 කෙසේවෙතත්, අපගේ සමහරක් සෙසු ඇදහිලිවන්තයන් ආත්මිකව දුර්වල වීම නිසා, එහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන්ව ගෝලයන් කිරීමට යේසුස් දී ඇති ආඥාව ඉෂ්ට කිරීමෙහි මන්දගාමී වී සිටීම කනගාටුවට හේතුවකි. තවත් සමහරුන් එය නතර කර දමා ඇත. මේ අයට නැවතත් සභාව සමඟ ඇසුරු කරන්නටත් ගෝලයන් කිරීම නැවත ආරම්භ කරන්නටත් උපකාර කළ හැකි යම් ක්‍රමයක් අපට තිබේද? (රෝම 15:1; හෙබ්‍රෙව් 12:12) යේසුස් තම ප්‍රේරිතයන් තාවකාලිකව දුර්වල තත්වයක සිටියදී ඔවුන්ට උපකාර කළ ආකාරය සලකා බැලීම මගින් අද දින අපට කළ හැකි දේ කුමක්ද කියා පැහැදිලි වේ.

සැලකිල්ල දක්වන්න

12. (අ) යේසුස්ගේ මරණයට ස්වල්ප වේලාවකට පෙර, ඔහුගේ ප්‍රේරිතයන් කළේ කුමක්ද? (ආ) තම ප්‍රේරිතයන් තුළ බරපතළ දුර්වලකම් දක්නට තිබුණද, යේසුස් ඔවුන් සමඟ කටයුතු කළේ කෙසේද?

12 යේසුස්ගේ භූමික දේවසේවයේ අවසානයේදී, ඔහුගේ මරණය සිදුවීමට ස්වල්ප වේලාවකට පෙර, ප්‍රේරිතයෝ “ඔහු අත්හැර පලා ගියහ.” යේසුස් පුරෝකථනය කළාක් මෙන්, ඔවුහු ‘සැමෝම තම තමාගේ ගෙට විසිර ගියෝය.’ (මාක් 14:50; යොහන් 16:32, NW) යේසුස් දුර්වල වී සිටි තම සගයන් සමඟ කටයුතු කළේ කෙසේද? තමාගේ නැවත නැඟිටීමෙන් කෙටි කලකට පසුව, යේසුස් තම අනුගාමිකයන්ගෙන් කිහිපදෙනෙකුට මෙසේ පැවසීය. “බිය නොවන්න! ගොස් මාගේ සහෝදරයන්ට දන්වන්න. එවිට ඔවුහු ගලීලයට යන්නෝය. එහිදී ඔවුහු මාව දකින්නෝය.” (මතෙව් 28:10, NW) ප්‍රේරිතයන් තුළ බරපතළ දුර්වලකම් දක්නට තිබුණද, යේසුස් තවමත් ඔවුන්ව ඇමතුවේ “මාගේ සහෝදරයන්” කියායි. (මතෙව් 12:49, NW) ඔහු ඔවුන් සම්බන්ධයෙන් තම බලාපොරොත්තු අත්හැර තිබුණේ නැත. මේ අයුරින් යේසුස් දයානුකම්පිත හා සමාව දෙනසුලු කෙනෙකු වූයේ යෙහෝවාද දයානුකම්පිත හා සමාව දෙන කෙනෙකු වීම නිසාය. (2 රාජාවලිය 13:23) මෙහිදී අපට යේසුස්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?

13. ආත්මිකව දුර්වල වී සිටින අය දෙස අප බැලිය යුත්තේ කෙසේද?

13 දේවසේවය මන්දගාමී වී ඇති හෝ එය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අය කෙරෙහි ගැඹුරු සැලකිල්ලක් අප තුළ තිබිය යුතුය. එම සෙසු ඇදහිලිවන්තයන් අතීතයේදී කළ ප්‍රේමණීය ක්‍රියා අපට තවමත් මතකය. සමහරවිට ඇතමුන් දශක ගණනාවක් මුළුල්ලේ එසේ ක්‍රියා කර ඇත. (හෙබ්‍රෙව් 6:10) සැබවින්ම ඔවුන්ගේ ඇසුර අහිමි වීමේ පාඩුව අපට දැනේ. (ලූක් 15:4-7; 1 තෙසලෝනික 2:17) එහෙත්, අපට ඔවුන් කෙරෙහි ඇති සැලකිල්ල ප්‍රකාශ කළ හැක්කේ කෙසේද?

14. යේසුස්ව අනුකරණය කරමින් අපට දුර්වල පුද්ගලයෙකුට උපකාර කළ හැක්කේ කෙසේද?

14 යේසුස් එම අධෛර්යයට පත් වී සිටි ප්‍රේරිතයන්ට පැවසුවේ ඔවුන් ගලීලයට යා යුතු බවත්, ඔවුන් එහිදී ඔහුව දකින බවත්ය. කොටින්ම කියනවා නම්, ඔහු කළේ විශේෂ රැස්වීමකට පැමිණෙන මෙන් ඔවුන්ට ආරාධනා කිරීමයි. (මතෙව් 28:10) ඒ හා සමානව අද දිනත්, ක්‍රිස්තියානි සභාවේ රැස්වීම්වලට පැමිණෙන ලෙස අප ආත්මිකව දුර්වලව සිටින අයට ආරාධනා කරන අතර, එසේ කිරීමේදී එක වතාවකට වඩා වැඩි වාර ගණනක් ඔවුන්ව දිරිගැන්වීමට අපට සිදු විය හැක. යේසුස් ප්‍රේරිතයන්ට කළ එම ආරාධනාවට හොඳ ප්‍රතිචාර ලැබුණි. මක්නිසාද යත් “ගෝලයෝ එකළොස්දෙනා යේසුස් තමන්ට සූදානම් කළ ස්ථානය වන ගලීලයේ කන්දට ගියහ.” (මතෙව් 28:16, NW) මෙසේ, දුර්වල අය අපගේ උණුසුම් ආරාධනාවට ඒ හා සමානවම ප්‍රතිචාරය දක්වා යළිත් ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණෙන විට එය අපට මොන තරම් ප්‍රීතියක්ද!—ලූක් 15:6.

15. අපගේ රැස්වීම් ස්ථානවලට පැමිණෙන දුර්වල අයව පිළිගනිමින් අපට යේසුස්ගේ ආදර්ශය අනුගමනය කළ හැක්කේ කෙසේද?

15 දුර්වලව සිටින ක්‍රිස්තියානියෙක් රාජ්‍ය ශාලාවට පැමිණෙන විට, අප ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද? යේසුස්ට සිය ප්‍රේරිතයන්ව හමු වුණු අවස්ථාවේදී ඔවුන්ගේ ඇදහිල්ල යම් තාක් දුරකට දුර්වල වී තිබුණි. ඇත්තෙන්ම, යේසුස් ඔවුන්ව දුටු විට කළේ කුමක්ද? ‘යේසුස් ඔවුන් ළඟට ඇවිත් කතා කළේය.’ (මතෙව් 28:18, NW) ඔහු දුරින් සිට ඔවුන් දෙස බලාගෙන සිටියේ නැත. ඔහු කළේ ඔවුන් ළඟට යෑමයි. යේසුස් එම මූලික පියවර ගත් විට ප්‍රේරිතයන්ට කොතරම් සහනයක් දැනෙන්න ඇද්දැයි සිතා බලන්න! එසේම, අපිද මූලික පියවර ගෙන, ක්‍රිස්තියානි සභාවට නැවත ඒමට උත්සාහ දරන ආත්මිකව දුර්වල වී සිටින අයව සාදරයෙන් පිළිගැනීමට උත්සුක වෙමු.

16. (අ) යේසුස් සිය අනුගාමිකයන් සමඟ කටයුතු කළ විලාසයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (ආ) දුර්වලයන් දෙස යේසුස් බලන ආකාරය අපට පිළිබිඹු කළ හැක්කේ කෙසේද? (පාදසටහන බලන්න.)

16 යේසුස් තවදුරටත් කළේ කුමක්ද? පළමුව, ඔහු යමක් නිවේදනය කළේය. එනම්, “සියලු බලය මට දී තිබේ” කියා පැවසුවේය. දෙවනුව, ඔහු යම් පැවරුමක් දුන්නේය. “එබැවින් ගොස් . . . මිනිසුන්ව ගෝලයන් කරන්න.” තෙවනුව, යම් පොරොන්දුවක් දුන්නේය. “මම ඔබ සමඟ සැමදා සිටිමි.” නමුත් යේසුස් නොකළ දෙයක් ඔබ දුටුවාද? ගෝලයන්ගේ අඩු පාඩුකම් සහ සැකයන් ගැන ඔහු ගෝලයන්ට තරවටු කළේ නැත. (මතෙව් 28:17) ඔහුගේ එළඹීම ඵලදායී වූවාද? එසේය. වැඩි කල් නොගොස්, ප්‍රේරිතයෝ නැවතත් “උගන්වමින්ද, . . . ශුභාරංචිය ප්‍රකාශ කරමින්ද සිටියෝය.” (ක්‍රියා 5:42, NW) මෙනයින්, දුර්වලයන් දෙස බැලිය යුතු ආකාරය ගැනත් ඔවුන්ට සැලකිය යුතු ආකාරය ගැනත් යේසුස් දුන් ආදර්ශය අනුගමනය කරමින්, අපටද ඒ හා සමානව හද උණුසුම් කරවන ප්‍රතිඵල අපගේ සභාවන්වලදී නෙළාගත හැකියි. *ක්‍රියා 20:35.

“මම ඔබ සමඟ සැමදා සිටිමි”

17, 18. “මම ඔබ සමඟ සැමදා සිටිමි” යන යේසුස්ගේ වචනවල අඩංගු වන්නේ ශක්තිමත් කරන කිනම් අදහස්ද?

17 යේසුස් දුන් පැවරුමේ අන්තිම වචන වූයේ මේවායි. එනම්, “මම ඔබ සමඟ සැමදා සිටිමි” යන්නයි. ගෝලයන් කිරීමට ක්‍රිස්තුස් දුන් ආඥාව ඉෂ්ට කිරීමට උත්සාහ කරන සියල්ලන්වම ශක්තිමත් කරන අදහසක් මෙහි අඩංගුය. අප කරන රාජ්‍ය දේශනා කාර්යයට සතුරන් කුමන විරුද්ධවාදිකමක් ගෙන ආවත්, ඔවුන් අපට එරෙහිව කුමන අපහාස එල්ල කළත්, භය වෙන්නට අපට කිසිදු හේතුවක් නැත. ඒ ඇයි? ‘ස්වර්ගයේද පොළොවේද සියලු බලය’ ඇති අපේ නායකයාණන් වන යේසුස් අපට අනුබල දීමට අප සමඟ සිටින නිසාය!

18 “මම ඔබ සමඟ සැමදා සිටිමි” යන යේසුස්ගේ පොරොන්දුව මහත් සැනසීමක්ද ගෙන දෙයි. ගෝලයන් කිරීමට ක්‍රිස්තුස් දී ඇති ආඥාව දිගටම පිළිපැදීමට අප උත්සාහ කරත්ම, සතුටු විය හැකි දවස් පමණක් නොව ශෝක වන දවස්ද අපි අද්දකින්නෙමු. (2 ලේකම් 6:29) අප ප්‍රේම කරන ආදරණීය කෙනෙකුගේ වියෝව නිසා අපගෙන් සමහරෙක් ශෝචනීය කාල පරිච්ඡේදයක් පසු කරති. (උත්පත්ති 23:2; යොහන් 11:33-36) තවත් අය මහලු වියේ දුෂ්කරතා සමඟ පොරබදති. මන්ද ඔවුන්ගේ සෞඛ්‍යය හා ශක්තිය පිරිහෙමින් තිබේ. (දේශනාකාරයා 12:1-6) තවත් අය ඇතැම් අවස්ථාවලදී අධෛර්යයට පත්ව සිටිති. (1 තෙසලෝනික 5:14) අපගෙන් වැඩිදෙනෙක් දරුණු ආර්ථිකමය දුෂ්කරතා සමඟ පොරබදමින් සිටිති. කෙසේවෙතත්, එවන් අභියෝග හමුවේ, අපි අපගේ දේවසේවය තුළ සාර්ථක වන්නෙමු. මන්දයත් අපේ ජීවිතයේ අඳුරුම දවස්වලදී මෙන්ම “සැමදා” යේසුස් අප සමඟ සිටින බැවිනි.—මතෙව් 11:28-30.

19. (අ) මිනිසුන්ව ගෝලයන් කිරීමට යේසුස් දුන් පැවරුමට අඩංගු වන්නේ කිනම් උපදෙස්ද? (ආ) ක්‍රිස්තුස්ගේ පැවරුම ඉෂ්ට කිරීමට අපට හැකිකම දෙන්නේ කුමකින්ද?

19 අප මෙම ලිපියේ සහ මීට කලින් ලිපියේ දුටුවාක් මෙන්, මිනිසුන්ව ගෝලයන් කිරීමට යේසුස් දී ඇති ආඥාව සියලු පැති ආවරණය කරයි. අප ඔහුගේ ආඥාවට කීකරු විය යුත්තේ මන්ද සහ කොහේද කියා යේසුස් අපට පැවසීය. අප ඉගැන්විය යුත්තේ කුමක්ද සහ කවදා වන තෙක්ද කියාද ඔහු පැවසුවේය. මෙම මහත් පැවරුම ඉෂ්ට කිරීම අභියෝගයක් බව ඇත්තය. එහෙත් ක්‍රිස්තුස්ගේ අධිකාරිය අප පිටුපසින් තිබෙන අතර, ඔහු අප අසල සිටී. එම නිසා අපට ඇත්තෙන්ම එය ඉටු කළ හැකියි! ඔව් එය සහතිකයි. ඔබ ඊට එකඟ වන්නේ නැද්ද?

[පාදසටහන්වල]

^ 3 ඡේ. එක් මූලාශ්‍රයක දක්වන ආකාරයට, යේසුස් පැවසුවේ, “ඔවුන්ව බව්තීස්ම කිරීම . . . ඔවුන්ට ඉගැන්වීම,” මිස ‘ඔවුන්ව බව්තීස්ම කිරීම සහ ඔවුන්ට ඉගැන්වීම’ නොවේ. මෙබැවින්, බව්තීස්ම කිරීමට හා ඉගැන්වීමට දී ඇති අණ “එකක් පසුවට තව එකක් වශයෙන් අනිවාර්යයෙන්ම සිදු විය යුතු ක්‍රියාවන් නොවේ.” එසේ නොව, “ඉගැන්වීම වනාහි දිගින් දිගටම සිදු විය යුතු ක්‍රියාවලියකි. තවද එහි කොටසක් බව්තීස්මයට පෙරද, . . . කොටසක් බව්තීස්මයට පසුවද සිදු වෙයි.”

^ 16 ඡේ. වර්ෂ 2003 පෙබරවාරි 1 මුරටැඹ කලාපයේ 15-18 දක්වා පිටුවලින් දුර්වල අය දෙස බැලිය යුතු ආකාරය සහ ඔවුන්ට උපකාර කළ හැකි ආකාරය ගැන තවත් තොරතුරු සොයාගත හැකියි.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• යේසුස් අණ කළ දේවල් පැවැත්වීමට අප අන්‍යයන්ට උගන්වන්නේ කෙසේද?

• නවක ගෝලයෙකුට සභාවේ වෙනත් අයගෙන් ඉගෙනගත හැකි පාඩම් මොනවාද?

• ආත්මිකව දුර්වල වී සිටින අයට උපකාර කිරීමට අපට කුමක් කළ හැකිද?

• “මම ඔබ සමඟ සැමදා සිටිමි” යන යේසුස්ගේ පොරොන්දුවෙන් අප ලබන ශක්තිය සහ සැනසීම කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූර]

අප ගුරුවරුන් මෙන්ම මඟ පෙන්වන්නන්ද විය යුතුය

[17වන පිටුවේ පින්තූර]

නවක ගෝලයෙක් වෙනත් අය විසින් තබනු ලබන ආදර්ශවලින් වටිනා පාඩම් ඉගෙනගනී