Skip to content

පටුනට යන්න

‘සයිප්‍රසය දක්වා ඔවුහු යාත්‍රා කළෝය’

‘සයිප්‍රසය දක්වා ඔවුහු යාත්‍රා කළෝය’

‘සයිප්‍රසය දක්වා ඔවුහු යාත්‍රා කළෝය’

ක්‍රිස්තු වර්ෂ 47දී පමණ සයිප්‍රසය බලා ගිය ක්‍රිස්තියානි මිෂනාරිවරුන් වන පාවුල්, බානබස් සහ යොහන් මාක්ගේ අද්දැකීම් පිළිබඳ වාර්තාව ක්‍රියා පොතේ මුලින්ම දැක්වෙන්නේ ඉහත සඳහන් ලෙසිනි. (ක්‍රියා 13:4, NW) අද මෙන්ම එදාත් සයිප්‍රසය සැලකුවේ නැඟෙනහිර මධ්‍යධරණී මුහුදේ ඉතා වැදගත් ස්ථානයක් හිමි දූපතක් ලෙසයි.

එම දූපත අත් පත් කරගැනීමට ආශාවෙන් සිටි රෝමවරුන් එය සිය පාලනයට නතු කරගත්තේ ක්‍රි.පූ. 58දීය. ඊට පෙර කාල වකවානුවල සයිප්‍රසයට ඉතා සිත්ගන්නා ඉතිහාසයක් තිබූ බව පැවසුවහොත් නිවැරදිය. එය පිළිවෙළින් ෆිනීෂියානු, ග්‍රීක, ඇසිරියානු, පර්සියානු සහ ඊජිප්තු ජාතිකයන්ගේ අණසක යටතේ පැවතිණ. ඉන්පසුව මධ්‍යකාලීන යුගවලදී කුරුස යුද්ධයට සහභාගි වූවන්, ෆ්‍රැන්ක් ජාතිකයන්, වැනීසිය වැසියන් සහ ඉන් අනතුරුව ඔටොමන්වරුන් විසින් එය පාලනය කරනු ලැබීය. වර්ෂ 1914දී බ්‍රිතාන්‍යය මෙම දූපත අත් පත් කරගත් අතර, 1960දී එය නිදහස ලබාගන්නා තෙක් පාලනය කළේය.

වර්තමානයේ සයිප්‍රසයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ සංචාරක ව්‍යාපාරයයි. එනමුත් පාවුල්ගේ කාලයේදී එය ස්වාභාවික සම්පත්වලින් ගහන වූ දිවයිනක් විය. ඇත්තෙන්ම රෝමයේ භාණ්ඩාගාරය පිරවීම සඳහා රෝමවරු එහි සම්පත් සූරා කෑහ. සයිප්‍රසයේ ඉතිහාසයේ මුල් අවදියේම තඹ සොයාගන්නා ලදි. රෝම පාලන සමය අවසන් වෙද්දී තඹ ටොන් 2,50,000ක් හාරාගත් බව තක්සේරු කර ඇත. කෙසේවෙතත්, මෙම කර්මාන්තය බිහිවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ගන වනාන්තරයෙන් වැඩි කොටසක්ම තඹ රත් කර පිරිසිදු කිරීම සඳහා දැව වශයෙන් බිලි විය. පාවුල් පැමිණෙන කාලයේදී සයිප්‍රසයේ වනාන්තරවලින් බොහොමයක්ම එළි පෙහෙළි කර තිබිණ.

රෝමවරුන්ගේ පාලනය යටතේ

එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා විශ්වකෝෂයට අනුව සයිප්‍රස් දූපත ඊජිප්තුවට දෙන ලද්දේ ජූලියස් සීසර් විසිනි. ඉන් අනතුරුව මාක් ඇන්තනි විසින් එම දූපත ඊජිප්තුවට ප්‍රදානය කරන ලදි. කෙසේවෙතත්, ඔගස්ටස්ගේ පාලන සමයේදී එය රෝමය යටතට ගන්නා ලද අතර, එහි පාලනය භාර දී තිබුණේ ප්‍රාන්ත ආණ්ඩුකාරයෙකුටය. එම ආණ්ඩුකාරයාගේ පාලනය පැවතියේ රෝම අධීක්ෂණය යටතේය. ක්‍රියා පොතේ ලේඛක ලූක් මෙම කාරණය ඉතා නිවැරදිව දැක්වීය. පාවුල් සයිප්‍රසයේ දේශනා කරද්දී ප්‍රාන්ත ආණ්ඩුකාරයා ලෙස සිටියේ සර්ජියස් පාවුලස් නමැත්තාය.—ක්‍රියා 13:7, NW.

රෝමය විසින් ක්‍රියාත්මක කරවන ලද අන්තර්ජාතික සාම ප්‍රතිපත්තිය (රෝම සාමය) මගින් දිරිගන්වන ලද්දේ සයිප්‍රසය පුරා පතල් සහ කර්මාන්ත පුළුල් කිරීමටයි. එම නිසා වෙළඳාම ඉතා දියුණු තත්වයක පැවතිණ. දිවයිනේ ආරක්ෂක දේවතාවිය වූ ඇෆ්රොඩයිටිට ගරු බුහුමන් කිරීම සඳහා එක් රොක් වූ වන්දනාකරුවන් සහ ආරක්ෂාව සඳහා සිටි රෝම හේවායන් නිසා අමතර ආදායම් මාර්ගයක්ද විවෘත විය. ප්‍රතිඵලයක් ලෙස, නව මහාමාර්ග, වරායක් සහ අලංකාර ප්‍රසිද්ධ ගොඩනැඟිලි ඉදි කරනු ලැබීය. නිල භාෂාව ලෙස ග්‍රීක බස දිගටම පැවති අතර, රෝම අධිරාජ්‍යයා සමඟ ඇෆ්රොඩයිටි, ඇපොලෝ සහ සෙවුස් යන දෙවිවරුන්ට බහුතරය වන්දනාමාන කළෝය. යස ඉසුරෙන් වැජඹුණු එම ජනයා සාමාජීය හා සංස්කෘතික වශයෙන් ගත කළේ ඉතා ආකර්ෂණීය ජීවිතයකි.

සයිප්‍රසය පුරා සංචාරය කරමින් ක්‍රිස්තුස් ගැන ජනයාට ඉගැන්වූ පාවුල් අද්දුටුවේ එවැනි ජන පිරිසකගෙන් යුත් සමාජීය වාතාවරණයකි. කෙසේනමුත් සයිප්‍රසයට ක්‍රිස්තියානි ධර්මය හඳුන්වා දෙනු ලැබුවේ පාවුල්ගේ පැමිණීමට පෙරාතුවයි. මුල්ම ක්‍රිස්තියානි ප්‍රාණ පරිත්‍යාගිකයා වන ස්තේපන්ගේ ඝාතනයෙන් පසු මුල් ක්‍රිස්තියානීන් කිහිපදෙනෙකුම සයිප්‍රසයට පලා ගිය බව ක්‍රියා පොතේ වාර්තා වී ඇත. (ක්‍රියා 11:19) පාවුල් සමඟ සංචාරය කළ බානබස් සයිප්‍රස් වැසියෙකි. ඒ දූපත ගැන ඔහුට මනා දැනුමක් තිබුණු නිසා, පාවුල් කළ මෙම දේශනා සංචාරයේදී ඔහුගෙන් කදිම සහයෝගයක් පාවුල්ට ලැබුණු බවට සැකයක් නැත.—ක්‍රියා 4:36; 13:2.

පාවුල්ගේ පිය සටහන් අනුව යමින්

සයිප්‍රසය පුරා පාවුල්ගේ ගමන්මාර්ගය නිවැරදිව දැක්වීම එතරම් පහසු දෙයක් නොවේ. කෙසේවෙතත්, රෝම යුගයේ දක්නට තිබූ අග්‍රගණ්‍ය මහාමාර්ග පද්ධතියේ විකාශනය ගැන පුරාවිද්‍යාඥයන්ට සෑහෙන පැහැදිලි පින්තූරයක් ඇත. මෙම දූපතේ දක්නට ලැබෙන භූ විෂමතාව සැලකිල්ලට ගෙන නූතන මහාමාර්ග පද්ධතිය පවා මුල් මිෂනාරීන් ගමන් කළායයි සිතන මාර්ගවලට අනුව සකස් කර ඇත.

පාවුල්, බානබස් සහ යොහන් මාක් සලමිසයේ වරාය බලා යාත්‍රා කළේ සිලූෂියේ සිටය. සයිප්‍රසයේ අගනුවර හා ප්‍රධාන වරාය පාෆස් විය. එසේනම් ඔවුන් සලමිසයට ගියේ මන්ද? එක් හේතුවක් නම්, සලමිසයේ පිහිටීමය. එය සිලූෂියේ සිට කිලෝමීටර් 200ක් තරම් කෙටි දුරක නැඟෙනහිර වෙරළ පැත්තේ පිහිටා තිබිණ. රෝමවරුන්ගේ පාලනය යටතේ අගනුවර වූයේ සලමිසය වෙනුවට පාෆස් වුවත්, එම දිවයිනේ සංස්කෘතික, අධ්‍යාපනික හා වාණිජමය මධ්‍යස්ථානය ලෙස සලමිසය එවකටත් ප්‍රසිද්ධියක් ඉසිලීය. සලමිසයේ සෑහෙන යුදෙව් ජන පිරිසක් සිටි අතර මිෂනාරිවරු “යුදෙව්වරුන්ගේ සිනගෝගවල දෙවිගේ වචනය ප්‍රකාශ කරන්න පටන්ගත්හ.”—ක්‍රියා 13:5, NW.

සලමිස නගරයේ ඉතිරිව ඇත්තේ නටබුන් පමණි. එනමුත්, එම නුවර අතීතයේ ඉතා ප්‍රසිද්ධ මෙන්ම ධනවත් නුවරක් වූ බවට පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් හෙළි වේ. දේශපාලනික හා ආගමික ජීවිතයේ මධ්‍යස්ථානය වූ එහි වෙළඳපොළ, මධ්‍යධරණී ප්‍රදේශයේ කළ කැණීම්වලින් අනාවරණය කරගත් විශාලතම රෝම වෙළඳපොළ විය හැක. එහි නටබුන්වල ඉතිහාසය සීසර් ඔගස්ටස්ගේ කාලය දක්වා ආපස්සට දිව යයි. ඉතා අලංකාර මොසෙයික්වලින් සැරසුණු බිම්, සරඹ ශාලා, ඉතා විශිෂ්ට ස්නානාගාර පද්ධතියක්, ක්‍රීඩාංගණයක් හා අර්ධ චක්‍රාකාර නෘත්‍යාගාරයක්, ඉතා විසිතුරු වූ සොහොන් ගෙවල් සහ 15,000කට ඉඩ පහසුකම් සපයන නාට්‍ය ශාලාවක් ඒවා අතර විය. ඒ අසල සෙවුස්ගේ මහ දේවස්ථානයේ නටබුන්ද දක්නට ලැබේ.

එනමුත් එම නුවර භූමිකම්පාවලින් ආරක්ෂා කිරීමට සෙවුස්ට හැකියාවක් නොතිබිණ. ක්‍රිස්තු පූර්ව 15දී සිදු වූ මහ භූමිකම්පාවක් හේතුවෙන් සලමිසය සම්පූර්ණයෙන්ම පාහේ සමතලා විය. ඉන් අනතුරුව ඔගස්ටස්ගේ පාලන සමයේදී එය නැවත ගොඩනඟන ලදි. නැවතත් ක්‍රි.ව. 77දී භූමිකම්පාවකට හසු වී විනාශ වූ එම නගරය, යළිත් වරක් ගොඩනඟනු ලැබීය. හතරවන සියවසේදී භූමිකම්පා පෙළකටම ගොදුරු වූ සලමිසය විනාශ වී ගියේය. නැවත වරක් එහි අතීත අලංකාරය හිමි කරගැනීමට එය සමත් වූයේ නැත. මධ්‍යකාලීන යුගය වන විට එම නුවර ආශ්‍රිතව තිබූ වරාය රොන් මඩවලින් පිරී තිබුණු හෙයින් එය අත්හැර දමා තිබිණ.

පාවුල් දේශනා කළ විට සලමිසයේ වැසියන් ඔහුට ප්‍රතිචාරය දැක්වූ අයුරු පැහැදිලිව සඳහන් කර නැත. කෙසේවෙතත් වෙනත් ප්‍රදේශවල වැසියන් වෙත ගොස් දේශනා කිරීමට පාවුල්ට සිදු විය. සලමිසයෙන් පිට වී යන විට එම මිෂනාරිවරුන්ට තෝරාගැනීමට මහාමාර්ග තුනක් තිබිණ. එකක් කිරීන්යා කඳු පෙළ හරහා ගිය උතුරු වෙරළ තීරයට ගමන්ගත් මාර්ගයයි. තවත් එකක් මෙසාඔර්යා තැනිතලාව හරහා බටහිර දෙසට විහිදී ගියේය. මෙම මාර්ගය දූපත මැදින් විහිදී ගිය එකකි. තුන්වන මාර්ගය දකුණුදිග වෙරළ තීරය දිගේ පිහිටා තිබිණ.

ජනයා අතරේ පවතින මතය නම් පාවුල් ගියේ තුන්වන මාර්ගය ඔස්සේ බවය. සුවිශේෂ වූ රතු පසකින් යුත් සාරවත් වගාබිම් එම මාර්ගය දෙපස පිහිටා තිබේ. ඉන් කිලෝමීටර් 50ක් පමණ නිරිත දෙසට යද්දී එම මාර්ගය වැටෙන්නේ ලානාකා නුවරටයි. ඉන් අනතුරුව මාර්ගය උතුරු දෙසට හැරී දිවයින අභ්‍යන්තරය තුළට විහිදෙයි.

“මුළු දූපත පුරාම”

එම මහාමාර්ගයෙන් වැඩි දුරක් යෑමට පෙරාතුව ලීද්‍රා නම් පුරාණ නුවර කරා ළඟාවීමට පුළුවන. වර්තමානයේ සයිප්‍රසයේ අගනුවර වන නිකෝසියා ඉදි කර තිබෙන්නේ මෙම පුරාණ නුවර තිබුණු ස්ථානයේමය. ඇත්තෙන්ම එම ස්ථානයේ පුරාණ රාජධානියක් පැවති බවට කිසිදු සාක්ෂියක් ඉතිරි වී නොමැති තරම්ය. කෙසේවෙතත්, නිකෝසියා නුවරේ කේන්ද්‍රස්ථානය වටා 16වන සියවසේ වැනීසිය වැසියන් තැනූ තාප්ප ඇතුළත එක් පටු වීථියක් තිබේ. නිතරම පාහේ සෙනඟගෙන් පිරී ඇති එහි නම ලීද්‍රා වීථියයි. පාවුල් ලීද්‍රා බලා ගමන් කළාද නැද්ද යන්න ගැන අපට ස්ථිරව යමක් පැවසිය නොහැක. බයිබලයෙහි පවසන්නේ “ඔවුන් මුළු දූපත පුරාම” ගමන් කළා යන්න පමණි. (ක්‍රියා 13:6, NW) “ඇතැම්විට මින් අදහස් වන්නේ සයිප්‍රසයේ පදිංචිව සිටි යුදෙව් වැසියන් බැහැදකින පිණිස ඔවුන් බොහෝදුරට දිවයින පුරාම සංචාරය කළා” විය හැකියයි ද වයික්ලිෆ් හිස්ටොරිකල් ජියොග්‍රෆි ඔෆ් බයිබල් ලෑන්ඩ්ස් නම් පොතෙහි පැවසේ.

සයිප්‍රසයේ වැසියන් හැකි තරම් සංඛ්‍යාවකට කතා කරන්නට පාවුල්ට උනන්දුවක් තිබුණු බව නිසැකයි. එබැවින් ලීද්‍රා සිට ඉතා ජනාකීර්ණ වූ, විවිධ ජන පිරිස්වලින් ගහන වූ ශ්‍රේෂ්ඨ නුවරවල් දෙකක් වූ ඇමතස් සහ කූරියන් හරහා දකුණු දෙසට ඔහු ගමන් කරන්නට ඇත.

කූරියන් නුවර පිහිටා තිබුණේ වෙරළ තීරය ආශ්‍රිතව පිහිටි ඉතා උස් වූ ප්‍රපාතාකාර බෑවුම් තීරයක් මතයි. ග්‍රීක-රෝම යුගයට අයත් මෙම තේජවත් නුවරද ක්‍රි.ව. 77දී සලමිසය විනාශ කළ භූමිකම්පාවට හසු විය. ක්‍රිස්තු වර්ෂ 100 තරම් ආපස්සට දිවෙන ඇපොලෝ දෙවියන්ට කැප කළ දේවස්ථානයෙහි නටබුන් මෙහි දක්නට තිබේ. එහි තිබූ ක්‍රීඩාංගණයෙහි 6,000ක ප්‍රේක්ෂක පිරිසකට රැස් විය හැකි විය. කූරියන් නුවර වැසියන් බොහෝදෙනෙකු ගත කළේ ඉතා සැප පහසු ජීවිතයකි. ඒ බව පැහැදිලි වන්නේ පෞද්ගලික මන්දිරවල පවා දක්නට ලැබෙන අලංකාර මොසෙයික්වලින් සැරසුණු බිම් දෙස බලද්දීය.

පාෆස් බලා

කූරියන් සිට බටහිර දෙසට ගමන් කරද්දී ඉතා අලංකාර පරිසරයක් දැකගත හැකි වේ. වයින් නිපදවන ප්‍රදේශයක් හරහා දිවෙන මෙම මාර්ගය කෙමෙන් කෙමෙන් උස් බිමකට අවතීර්ණ වේ. කෙසේවෙතත්, මාර්ගය බෑවුම් දිගේ සැණෙකින් පහළට බැස බොරලුවලින් ගහන වෙරළ තීරයකට යොමු වේ. ග්‍රීක් මිථ්‍යා කථාවලට අනුව ඇෆ්රොඩයිටි දේවතාවිය ඉපදී සමුද්‍රයෙන් ගොඩ බැස්සේ මෙම ස්ථානයටය.

සයිප්‍රසයේ වැඳුම් පිදුම් ලැබූ ග්‍රීක දේවතාවියන් අතර වඩාත්ම ජනප්‍රිය වූයේ ඇෆ්රොඩයිටිය. එහි වැසියෝ ක්‍රි.ව. දෙවන සියවස දක්වා මහත් ලැදියාවකින් ඇයට වන්දනාමාන කළෝය. ඇෆ්රොඩයිටිට වන්දනාමාන කළ මධ්‍යස්ථානය වූයේ පාෆස්ය. සෑම වසන්ත සමයකදීම මහත් උත්සවයක් ඇය වෙනුවෙන් පවත්වන ලදි. උත්සවය සඳහා සුළු ආසියාවෙන්, ඊජිප්තුවෙන්, ග්‍රීසියෙන් සහ පර්සියාව තරම් දුර ඈත ප්‍රදේශවලින් වන්දනාකරුවෝ පාෆස්ට එක් රොක් වූහ. සයිප්‍රස් දිවයින ටොලමි රාජ වංශයේ පාලනයට යටත් වූ විට පාරාවෝට නමස්කාර කිරීම එහි වැසියන්ට හඳුන්වා දෙන ලදි.

රෝම යුගයේදී සයිප්‍රස් දිවයිනේ අගනුවර වූයේ පාෆස්ය. එමෙන්ම ප්‍රාන්ත ආණ්ඩුකාරයාගේ මධ්‍යස්ථානය වූ එම නුවර තඹ කාසි සෑදීමේ වරමද ලබා තිබිණ. ක්‍රිස්තු පූර්ව 15දී එයද භූමිකම්පාවකින් විනාශ වී ගියේය. සලමිසය සම්බන්ධයෙන් සිදු වූවක් මෙන් ඔගස්ටස් අධිරාජයා එම නුවර නැවත ගොඩනැඟීමට අරමුදල් සැපයීය. මුල් සියවසේ පාෆස් නුවරේ ධනවතුන් මොන තරම් සුඛෝපභෝගී ජීවන රටාවක් අනුගමනය කළාද යන්න එම ප්‍රදේශයේ කළ කැණීම් තුළින් හෙළි වේ. නුවරේ ඉතා පළල් වීථි, විසිතුරු ලෙස සරසා තිබුණු පෞද්ගලික මන්දිර, සංගීතය හැදෑරීමට පාසැල්, සරඹ ශාලා සහ අර්ධ චක්‍රාකාර නෘත්‍යාගාරයක් එහි තිබූ පහසුකම් අතර විය.

පාවුල්, බානබස් සහ යොහන් මාක් පැමිණියේ මෙයාකාර නුවරකටයි. “බුද්ධිමත් මිනිසෙකු වූ” ප්‍රාන්ත ආණ්ඩුකාර සර්ජියස් පාවුලස් මන්ත්‍රකරු වූ එලිමස්ගේ දැඩි විරුද්ධවාදිකම් හමුවේ පවා “දෙවිගේ වචනය අසන්න මහත් කැමැත්තෙන්” සිටියේ මෙහිදීය. ඇත්තෙන්ම ඔහු “යෙහෝවාගේ ඉගැන්වීම ගැන මවිත” විය.—ක්‍රියා 13:6-12, NW.

සයිප්‍රසය පුරා තම දේශනා කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, මෙම මිෂනාරිවරු සුළු ආසියාවට ගොස් තම සේවයෙහි දිගටම නිරත වූහ. ඇත්තෙන්ම පාවුල් එසේ නිම කළ මුල්ම මිෂනාරි ගමන සැබෑ ක්‍රිස්තියානි ධර්මය පතුරුවාලීමට බෙහෙවින් දායක වූ සුවිශේෂ පියවරක් ලෙස සලකන්නට පුළුවන. “පාවුල්ගේ මිෂනාරි සේවයෙහි . . . සහ ක්‍රිස්තියානි දේවසේවයෙහි සැබෑ ආරම්භය” ඉන් සනිටුහන් වූ බව සෙන්ට් පෝල්ස් ජර්නීස් ඉන් ද ග්‍රීක් ඕරියන්ට් නම් ඉංග්‍රීසි පොතෙහි පැවසේ. එහි තවදුරටත් මෙවැනි අදහසක් පළ වේ. “සයිප්‍රස් දිවයින වනාහි සිරියාව, සුළු ආසියාව සහ ග්‍රීසිය බලා යන නාවික ගමන් මාර්ගවල මංසන්ධියක් වූ නිසා, යම් මිෂනාරි ගමනක මුල්ම අදියර අනිවාර්යයෙන්ම එතැන් සිට ඇරඹීම තර්කානුකූල බව පැවසිය හැක.” එනමුත් ඒ අදියර මුල්ම අදියරක් වූවා පමණි. සියවස් විස්සකට පසුව පවා ක්‍රිස්තියානීන්ගේ මිෂනාරි සේවය අඛණ්ඩව සිදු කෙරේ. ඇත්තවශයෙන්ම “පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වාද” යෙහෝවාගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ළඟා වී ඇති බවට සැබවින්ම පැවසිය හැක.—ක්‍රියා 1:8, NW.

[20වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

සයිප්‍රසය

නිකෝසියා (ලීද්‍රා)

පාෆස්

කූරියන්

ඇමතස්

ලානාකා

සලමිසය

කිරීනියා කඳු

මෙසෝරියා තැනිතලාව

ට්රූඩොස් කඳු

[21වන පිටුවේ පින්තූරය]

ශුද්ධාත්මයෙන් පූර්ණව සිටි පාවුල් පාෆස්හිදී මන්ත්‍රකරුවෙකු වූ එලිමස්ව අන්ධ කළේය