Skip to content

පටුනට යන්න

කපදෝසිය සුළඟේ හා ජලයේ ක්‍රියාකාරිත්වයෙන් සෑදුණු නිවෙස් උරුමවූවන්ගේ වාසස්ථානය

කපදෝසිය සුළඟේ හා ජලයේ ක්‍රියාකාරිත්වයෙන් සෑදුණු නිවෙස් උරුමවූවන්ගේ වාසස්ථානය

කපදෝසිය සුළඟේ හා ජලයේ ක්‍රියාකාරිත්වයෙන් සෑදුණු නිවෙස් උරුමවූවන්ගේ වාසස්ථානය

කපදෝසිය ගැන ප්‍රේරිත පේතෘස් යම් සඳහනක් කළේය. තමා දේවානුභාවයෙන් ලියූ මුල්ම ලිපියේ ආමන්ත්‍රණය කළ අය අතර ‘කපදෝසියේ තාවකාලික පදිංචිකරුවන් ලෙස විසිර ගොස් සිටි අයද’ වූහ. (1 පේතෘස් 1:1, NW) කපදෝසිය කවර අන්දමකින් විස්තර කළ හැකි දේශයක් වීද? එහි වැසියන් පර්වත හාරා සෑදූ වාසස්ථානවල සිටියේ මන්ද? ඔවුන්ට ක්‍රිස්තියානි ධර්මය ලැබුණේ කෙලෙසද?

එක්දහස් අටසිය හතළිස් ගණන්වලදී කපදෝසිය දැකගැනීමට පැමිණි බ්‍රිතාන්‍ය සංචාරක ඩබ්. එෆ්. ඒන්ස්වර්ත් පැවසුවේ මෙසේය. “අපි සැණෙකින්ම පය තැබුවේ පාෂාණයෙන් තැනූ කේතු සහ කුලුනුවලින් යුත් වනාන්තරයකටය.” තුර්කියට අයත් මෙම ප්‍රදේශය දැකගැනීමට වර්තමානයේ එහි යන අයද මෙම අරුම පුදුම දර්ශනය දකිද්දී ඔවුහු තවමත් පුදුමයෙන් පුදුමයට පත් වෙති. පාෂාණයෙන් සෑදුණු මෙම අමුතු “ප්‍රතිමා” කපදෝසියේ නිම්න රැකබලා සිටින නිහඬ මුරකරුවන් බඳුය. මීටර් 30ක් හෝ ඊට වැඩිය උසැති ඇතැම් ඒවා අහස දක්වා විහිදෙන්නේ දැවැන්ත දුම් කවුළු හා සමානවය. තවත් ඒවා සද්දන්ත කේතු, සුවිසල් කුලුනු හෝ අතිවිශාල හතු මෙන් දිස් වේ.

මෙම ප්‍රතිමා හිරුරැසින් නැහැවී යන විට ඒවා ඉතා රමණීය දර්ශනයක් මවයි. දවසේ විවිධ අවස්ථාවල ඒවා විවිධ වර්ණවලින් දිස් වේ. අලුයම් කාලයේදී ඒවා ලා රෝස පැහැයක් ගනී. මධ්‍යාහ්නය වන විට ඒවාට ඇත්තේ සුදු පැහැයකි. බැස යන හිරුරැස් ඒවා මත පතිත වන විට ඒවා රන්වන් පැහැයෙන් බැබළේ. මෙම “කේතු සහ කුලුනු වනාන්තරය” සෑදුණේ කුමක් නිසාද? එම ප්‍රදේශයේ විසූ ජනයා ඒවා තම නිවහන කරගත්තේ මන්ද?

සුළඟේ හා ජලයේ ක්‍රියාකාරිත්වයෙන් සෑදුණු වාසස්ථාන

කපදෝසිය පිහිටා තිබෙන්නේ ආසියාව හා යුරෝපය සම්බන්ධ කරන්නාවූ ඇනටෝලියානු අර්ධද්වීපයේ මධ්‍යම ප්‍රදේශයෙහිය. මෙම ප්‍රදේශයෙහි පිහිටා ඇති ගිනිකඳු දෙක නොතිබෙන්නට එය සානුවක් වනු ඇත. අවුරුදු දහස් ගණනකට පෙරාතුව එම ගිනිකඳු ප්‍රබල පිපිරීමකට ලක් වූ නිසා එම ප්‍රදේශය පුරාම පාෂාණ වර්ග දෙකක් තැන්පත් විය. එනම් ඝන බැසෝල්ට් පාෂාණය සහ ඝන වූ යමහල් අළුවලින් සෑදුණු සුදු පාෂාණයක් වන මෘදු ටුපා පාෂාණයයි.

ගංගා, වැසි හා සුළඟේ ක්‍රියාකාරිත්වයෙන් මෘදු ටුපා පාෂාණ ස්තරය සෝදාපාළුවට ලක් වූ විට නිම්න ගැඹුරට හෑරිණ. කාලයාගේ ඇවෑමෙන් මෙම නිම්න ආශ්‍රිතව පිහිටි දළ බෑවුම් ක්‍රමානුකූලව සෝදාපාළුවට ලක්වීම නිසා කැඩී බිඳී ගොස් කේතු රූපාකාර කුලුනු දහස් සංඛ්‍යාතයක් බිහි විය. එමගින් එම ප්‍රදේශයට හිමි වූයේ මිහිපිට වෙනත් කිසිදු ස්ථානයක දක්නට නොමැති භූ දර්ශනයක්ය. කේතු රූපාකාර වූ මෙම පාෂාණවලින් සමහරක් මීවද බඳුය. ප්‍රදේශයේ වැසියෝ මෘදු පාෂාණ තුළ ගුහා හාරා කාමර සෑදූ අතර, ඔවුන්ගේ පවුල් සාමාජිකයන් ගණනින් වැඩි වෙත්ම තවත් කාමර තම නිවහනට එකතු කරගත්තෝය. මෙම වාසස්ථාන ගිම්හානයේ අව් රශ්මියෙන් සිසිලසක් ලබා දුන් අතර, ශීත කාලයේදී හොඳ උණුසුමක්ද ලබා දුන්නේය.

ශිෂ්ටාචාරයේ ප්‍රධාන මංසන්ධියක් අසල

කපදෝසියේ ගුහාවල වාසය කළ මෙම ජන පිරිස ජීවත් වූයේ බොහෝ ශිෂ්ටාචාරවල ජන පිරිස් එකට හමු වූ වැදගත් මංසන්ධියක් අසලය. එසේ නොවන්නට ඔවුන් හුදෙකලා වූ පිරිසක් වනු නියතය. රෝම අධිරාජ්‍යය හා චීනය අතර පැවති කිලෝමීටර් 6,500ක් දිග සුප්‍රසිද්ධ වෙළඳ මාර්ගය වන සේද මාවත (Silk Road) ගමන්ගත්තේ කපදෝසිය හරහාය. වෙළඳ කටයුතුවල නිරත වූ අයට අමතරව, මෙම මාර්ගය ඔස්සේ පර්සියානු, ග්‍රීක හා රෝම හමුදා ගමන් කළෝය. මෙසේ ගමන් කළ අය විසින් නොයෙකුත් අලුත් ආගමික අදහස්ද හඳුන්වා දෙන ලදි.

ක්‍රිස්තු පූර්ව දෙවන සියවස වන විට කපදෝසියෙහි යුදෙව් ජනාවාසද පිහිටා තිබිණ. මෙම ප්‍රදේශයෙන් පැමිණි යුදෙව්වෝ ක්‍රි.ව. 33දී යෙරුසලමටද පැමිණ සිටියෝය. ඔවුන් එසේ පැමිණියේ පෙන්තකොස්ත මංගල්‍යයට සහභාගි වීම සඳහාය. ප්‍රතිඵලයක් ලෙස ශුද්ධාත්මය වැගිරවීමෙන් පසු කපදෝසියේ යුදෙව්වන්ට දේශනා කරන්නට ප්‍රේරිත පේතෘස්ට හැකියාව ලැබිණ. (ක්‍රියා 2:1-9) පෙනෙන විදිහට ඇතමෙක් ඔහු ඉදිරිපත් කළ පණිවිඩය පිළිගෙන, එය කෙරෙහි ඇදහිල්ල දැක්වූවෝය. තම නිවෙස්වලට ගිය විට ඔවුහු එම අලුත් ඇදහිල්ල තුළම පැවතුණහ. පේතෘස් තමන් ලියූ මුල්ම ලිපියෙහි කපදෝසියේ ක්‍රිස්තියානීන්ව ඇමතුවේ එම නිසාය.

කෙසේවෙතත්, කාලය ගෙවී යෑමත් සමඟම කපදෝසියේ ක්‍රිස්තියානීහු මිථ්‍යාදෘෂ්ටික දර්ශනවල බලපෑමට හසුවීමට පටන්ගත්හ. සිව්වන සියවසේ පැවති කපදෝසිය පල්ලියේ ප්‍රධාන නායකයන් තිදෙනෙක් ශුද්ධ ලියවිල්ලට පටහැනි ත්‍රිත්ව ඉගැන්වීමට පක්ෂව කතා කිරීමට තරම් දුර දිග ගියෝය. ඒ තිදෙනා නම්, නේසියන්සස්හි ග්‍රෙගරි, මහ බැසිල් සහ ඔහුගේ සොහොයුරු වූ නයිසාහි ග්‍රෙගරිය.

මහ බැසිල් උනන්දු කළ තවත් දෙයකි තපස් ජීවිතයක් ගත කිරීම. ඔහු නිර්දේශ කළ එම ජීවන රටාව සඳහා කපදෝසියේ වැසියන් විසින් පාෂාණය හාරා සාදන ලද චාම් වාසස්ථාන යෝග්‍ය විය. තාපසයන් සේ ජීවත් වූ එම සමාජය ගණනින් වැඩි වෙත්ම, විශාල කේතු හැඩැති පර්වත කිහිපයක් තුළ පල්ලි පවා ඉදි කරන ලදි. දහතුන්වන සියවස වෙද්දී මෙම පර්වතවල පල්ලි තුන්සියයක් පමණ සාදා තිබිණ. මේවායින් බොහොමයක් වර්තමානය දක්වා පවතී.

එම ප්‍රදේශයේ තිබෙන පල්ලි සහ තාපසාරාම දැන් පාළු තත්වයක පවතී. එනමුත් පසු වුණු සියවස් ගණනාව පුරාම එහි වෙසෙන ජනතාවගේ ජීවන රටාවෙහි නම් වැඩි වෙනසක් දක්නට නැත. ගුහා බොහොමයක තවමත් ජනයා වාසය කරති. ඇත්තවශයෙන්ම කපදෝසියේ දක්ෂ වැසියන් ස්වාභාවිකව බිහි වූ මෙම භූ දර්ශනය ප්‍රායෝගිකව භාවිත කළ හැකි නිවහන් බවට පරිවර්තනය කළ අයුරු දැක බලා ගැනීමට යන බොහෝදෙනෙක් මවිතයට පත් වෙති.

[24, 25වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

කපදෝසිය

චීනය (කැතේ)