Skip to content

පටුනට යන්න

“බුද්ධිමත් කවුරු නමුත් දැනුම ඇතිව ක්‍රියා කරයි”

“බුද්ධිමත් කවුරු නමුත් දැනුම ඇතිව ක්‍රියා කරයි”

“බුද්ධිමත් කවුරු නමුත් දැනුම ඇතිව ක්‍රියා කරයි”

දේවවචනය වන බයිබලයෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට ‘රනට වඩා, පෙරූ රනට වඩා, ආශා විය යුතුයි.’ (ගීතාවලිය 19:7-10, NW) එසේ පවසන්නේ මන්ද? ඊට හේතුව “ප්‍රඥාවන්තයාගේ [යෙහෝවාගේ] උපදේශය මරණයේ මලපත්වලින් ගලවන ජීවන උල්පතක්” වන හෙයිනි. (හිතෝපදේශ 13:14) ශුද්ධ ලියවිල්ලේ උපදෙස් අදාළ කරගන්නා විට අපගේ ජීවිතයේ ගුණාත්මකභාවය දියුණු වෙනවා විතරක් නොව අපේ ජීවිතය අනතුරේ දමන බොරු වළවල් පවා මඟහැරීමට ඉන් අපට උපකාරය ලැබෙයි. ශුද්ධ ලියවිලිමය දැනුම ලබාගැනීමත් අප ඉගෙනගන්න දේට අනුකූලව අපගේ ජීවිතය ගොඩනඟා ගැනීමත් කොතරම් වැදගත්ද!

හිතෝපදේශ 13:15-25හි සඳහන්ව ඇති පුරාණ ඊශ්‍රායෙලයේ සිටි සලමොන් රජ විසින් දුන් උපදෙස් අපට දැනගැන්ම ඇතුව හැසිරීමට උපකාරවත් වෙයි. එමගින් අපට යහපත් මෙන්ම දිගු කාලීන ජීවිතයක් භුක්ති විඳිය හැකියි. a ඔහු කෙටි ආප්තෝපදේශයන් යොදාගනිමින් අන් අයගේ හොඳ හිත දිනාගැනීම, අපගේ දේවසේවයේ දිගටම විශ්වාසවන්තව සිටීම, හික්මවීම පිළිබඳව හරි ආකල්පයක් ඇතුව සිටීම සහ ඥානවන්ත ලෙස අපගේ ආශ්‍රිතයන් තෝරාගැනීම වැනි කාරණාවලදී දෙවිගේ වචනය අපට උපකාරය පිරිනමන ආකාරය පෙන්වා දෙයි. එමෙන්ම අපගේ දරුවන්ට යම් උරුමයක් තබා යෑම මෙන්ම ඔවුන්ව ප්‍රේමණීයව හික්මවීම දූරදර්ශී දෙයක් බවත් ඔහු පෙන්නුම් කරයි.

තීක්ෂ්ණ බුද්ධිය නිසා කරුණාව ලැබේ

“හොඳ නුවණ [හෙවත් තීක්ෂ්ණ බුද්ධිය, NW] නිසා කරුණාව ලැබේ. එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය රළුය” යනුවෙන් සලමොන් පවසයි. (හිතෝපදේශ 13:15) “තීක්ෂ්ණ බුද්ධිය” හෝ හරි අවබෝධය යන්න සඳහා මුල් භාෂාවේ භාවිත වන වචනයෙන් “හොඳ නුවණින් ක්‍රියා කිරීම, හරි තීරණ ගැනීමට තිබෙන හැකියාව සහ ඥානවන්තව කල්පනා කිරීමට තිබෙන හැකියාව විස්තර කරයි” කියා එක් ආශ්‍රේය ග්‍රන්ථයක සඳහන් වේ. එවැනි ගුණාංග ඇති පුද්ගලයෙකුට අන් අයගේ හොඳ හිත දිනාගැනීම අමාරු දෙයක් නොවේ.

තම සෙසු ක්‍රිස්තියානියෙකු වන ෆිලෙමොන්ගේ නිවසින් පැන ගොස් පසුව ක්‍රිස්තියානියෙකු වූ ඔනෙසිමස්ව නැවත ෆිලෙමොන්ට භාර දීමේදී පාවුල් ෆිලෙමොන් සමඟ ඥානවන්තව කටයුතු කළ ආකාරය සැලකිල්ලට ගන්න. පාවුල් ඉතාමත් ඕනෑකමින් ෆිලෙමොන්ට කියා සිටියේ ඔහු ප්‍රේරිතයෙක් වූ තමාව පිළිගන්න අයුරින්ම ඔනෙසිමස්වත් කරුණාවන්ත ලෙස පිළිගන්න කියායි. ඔනෙසිමස් ෆිලෙමොන්ට යම් ණයක් ගෙවීමට තිබුණා නම් එය පවා ගෙවීමට පාවුල් ඉදිරිපත් විය. ඔනෙසිමස්ව නියම ආකාරයෙන් පිළිගන්න කියා තම බලය පාවිච්චි කරමින් ෆිලෙමොන්ට අණ කිරීමට පාවුල්ට ඇත්තෙන්ම හැකියාවක් තිබුණි. එහෙත් ප්‍රේරිතවරයා කාරණය කල්පනාකාරීව හා ප්‍රේමණීයව හැසිරවීමට තීරණය කළේය. එසේ කිරීමෙන් ෆිලෙමොන්ගේ සහයෝගය ලබාගැනීමට තමන්ට හැකි වෙයි කියාත්, ඒ නිසා තමන් ඉල්ලූ දේට වඩා වැඩි යමක් කිරීමට ඔහුව පෙලඹෙයි කියාත් පාවුල් තුළ නිසැකකමක් ඇති විය. අපත් සෙසු නමස්කාරකයන් සමඟ කටයුතු කළ යුත්තේ මේ ආකාරයට නොවෙයිද?—ෆිලෙමොන් 8-21.

අනෙක් අතට ද්‍රෝහීන්ගේ මාර්ගය රළුය. නැතහොත් “දැඩිය.” (නිව් ඉන්ටර්නැෂනල් වර්ෂන්) කුමන අර්ථයෙන්ද? එක් විද්වතෙක් පවසන පරිදි මෙහි භාවිත කර තිබෙන වචනයෙන් අදහස් කරන්නේ “දරදඬු අනම්‍ය ස්වභාවයක්. දුෂ්ට මිනිසුන් අනුන්ගේ හැඟීම් සහ අදහස් ගණන් නොගෙන කටයුතු කරන ආකාරයට මෙය යොමු දක්වයි. . . . දුෂ්ට දේ කිරීමට අදිටන් කරගෙන සිටින, අන් අයගේ ඥානවන්ත උපදෙස් තුට්ටුවකටවත් මායිම් නොකරන මිනිසෙක් පිය නඟන්නේ විනාශයට යන මාවතේයි.”

සලමොන් තවදුරටත් මෙසේ කියයි. “බුද්ධිමත් කවුරු නමුත් දැනුම ඇතුව ක්‍රියා කරයි. එහෙත් අඥානයා තමාගේ මෝඩකම පළ කරයි.” (හිතෝපදේශ 13:16) මෙම බුද්ධිය දැනුමට සම්බන්ධ කර තිබෙන අතර එය යමක් කරන්නට පෙර හොඳින් සිතා බලා කටයුතු කරන නැණවත් පුද්ගලයෙකුට තිබෙන ගුණාංගයක්ය. යම් අසාධාරණ විවේචනයකට හෝ අපහාස කිරීමකට ලක් වන විට බුද්ධිමත් කෙනෙක් තමාගේ දිව පාලනය කරගනියි. ඔහු අනවශ්‍ය ලෙස කෝපයෙන් ක්‍රියා නොකිරීම සඳහා ශුද්ධාත්මයේ පල විදහාපෙන්වීමට උපකාරය පතා දෙවිට යාච්ඤා කරයි. (ගලාති 5:22, 23) නැණ නුවණින් කටයුතු කරන පුද්ගලයෙක් අන් අයට හෝ යම් තත්වයකට තමන්ව පාලනය කිරීමට ඉඩ නොදෙයි. ඒ වෙනුවට ඔහු සන්සුන්ව සිටින අතර සාමාන්‍යයෙන් ඉක්මනින් කෝපයට පත් වෙන අය රණ්ඩුවට පැටලුනත් ඔහු එසේ රණ්ඩු සරුවල්වල පැටලෙන්නට යන්නේ නැත.

බුද්ධිමත් පුද්ගලයෙක් තීරණ ගැනීමේදී දැනුමෙන් ක්‍රියා කරයි. ඔහු දන්නා කාරණයක් වන්නේ අනුමාන කිරීමෙන්, හැඟීම්වලට වහල් වී ක්‍රියා කිරීමෙන් හෝ අවට මිනිසුන් අනුකරණය කිරීමෙන් බොහෝ දුරට ඥානවන්තව තීරණ ගත නොහැකි බවයි. එමනිසා ඔහු මුහුණ දෙන තත්වය විමසා බැලීමට කාලය ගනියි. ඔහු තත්වයට අදාළ හැම කාරණයක්ම හොඳින් පරීක්ෂා කර තමන් ඉදිරියෙහි තිබෙන විකල්ප මොනවාදැයි සොයා බලයි. ඉන්පසු ඔහු ශුද්ධ ලියවිලි අධ්‍යයනය කර තම තත්වයට අදාළ වන්නේ කුමන බයිබල් නීති හෝ ප්‍රතිපත්තිද කියා තීරණය කරයි. එවැනි කෙනෙකුගේ මාවත සමතලා තත්වයක පවතියි. එනම් ඔහුට ප්‍රශ්න ගැටලු අඩු ජීවිතයක් ගත කළ හැකියි.—හිතෝපදේශ 3:5, 6.

‘විශ්වාසවන්ත දූතයා සුව උපදවයි’

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස අපට දෙවිගේ පණිවිඩය ප්‍රචාරය කිරීමට භාර දී තිබේ. අපගේ පැවරුම ඉටු කිරීමේදී විශ්වාසවන්තව දිගටම එහි රැඳී සිටීමට හිතෝපදේශයේ ඊළඟ වචන අපට උපකාර කරයි. එහි පවසන්නේ, ‘දුෂ්ට පණිවිඩකාරයා විපතට වැටෙයි. එහෙත් විශ්වාසවන්ත [දූතයා, NW] සුව උපදවයි’ කියායි.—හිතෝපදේශ 13:17.

මෙම පදයෙන් පණිවිඩකරුගේ ගුණාංග අවධාරණය කරයි. යම් පණිවිඩයක් රැගෙන යන පණිවිඩකරුවෙක් දුෂ්ට අදහසින් එම පණිවිඩය විකෘති හෝ වෙනස් කරයි නම් කුමක් කිව හැකිද? ඔහුට බරපතළ දඬුවමක් නොලැබේවිද? තණ්හාව නිසා සිරියානු හමුදාපති නාමන්ට බොරු පණිවිඩයක් දුන් ප්‍රොපේත එලියාගේ සේවකයා වූ ගෙහාසී ගැන කල්පනාවට ගන්න. නාමන්ට වැළඳී තිබුණ කුෂ්ඨ රෝගය සුව කිරීමේදී එය ගෙහාසීට වැලඳුණි. (2 රාජාවලිය 5:20-27) දූතයා අවිශ්වාසවන්ත වී පණිවිඩය ප්‍රකාශ කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටී නම් තත්වය කුමක්ද? “තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස දුෂ්ටයාට අවවාද කිරීමට ඔබ කතා නොකර සිටියොත්, දුෂ්ට වූ ඔහු තමාගේ අයුතුකම නිසා නසිනවා ඇත. එහෙත් ඔහුගේ ලේ ඔබ අතින් [යෙහෝවා වන මම] අය කරන්නෙමි” යනුවෙන් බයිබලයේ සඳහන් වේ.—එසකියෙල් 33:8.

ඒත් විශ්වාසවන්ත දූතයා තමන්ටද තමන්ට ඇහුම්කන් දෙන අයටද සුවයක් ගෙන දෙයි. පාවුල් තිමෝතිගෙන් උදක්ම ඉල්ලා සිටියේය. “ඔබ ගැනත් ඔබේ ඉගැන්වීම ගැනත් නිතරම අවධානයෙන් ඉන්න. ඒවායෙහි පවතින්න. මන්ද, ඔබ මෙසේ කිරීමෙන් ඔබවත් ඔබට සවන් දෙන්නන්වත් ගලවාගන්නෙහිය.” (1 තිමෝති 4:16, NW) රාජ්‍යයේ ශුභාරංචිය විශ්වාසවන්ත ලෙස ප්‍රකාශ කිරීමෙන් ලැබෙන සුවය ගැන මොහොතකට සිතන්න. එම පණිවිඩය යහපත් හදවත් ඇති අයව පුබුදුවාලන අතර නිදහස ලබා දෙන සත්‍යය වෙත ඔවුන්ව යොමු කරයි. (යොහන් 8:32) පණිවිඩයට ඇහුම්කන් දීමට මනුෂ්‍යයන් අකමැති වුණත් විශ්වාසවන්ත ලෙස කටයුතු කළ පණිවිඩකරුවා ‘තමාගේ ප්‍රාණය ගලවාගන්නේය.’ (එසකියෙල් 33:9) අපි කවමදාවත් දේශනා කිරීමේ අපගේ වගකීම අතපසු නොකරමු. (1 කොරින්ති 9:16) එමෙන්ම “වචනය දේශනා” කිරීමේදී මනුෂ්‍යයන්ගේ සිත් දිනාගැනීම සඳහා පණිවිඩය අනවශ්‍ය ලෙස බාල කරමින් හෝ වැඩිමනත් දේ එක් කරමින් ප්‍රකාශ නොකිරීමට අපි සෑම අවස්ථාවකදීම පරෙස්සම් වෙමු.—2 තිමෝති 4:2.

‘උපදෙස් පිළිගන්නා ගෞරවයට පැමිණෙයි’

නැණවත් කෙනෙක් ඔහුට ලැබෙන හොඳ උපදෙස්වලට අමනාප විය යුතුද? හිතෝපදේශ 13:18හි [නව අනුවාදය] සඳහන් වන්නේ මෙසේයි. “අවවාද නොපිළිගන්නා හට දිලිඳුකම හා නින්දාව ඇත. උපදෙස් පිළිගන්නා හට ගෞරවය ඇත.” අප බලාපොරොත්තු නොවූ මොහොතක අවවාද ලැබෙන විට පවා යටහත්ව එය පිළිගැනීම නුවණට හුරුයි. සමහරවිට අපට උපදෙස් අවශ්‍යයි කියා අප තේරුම් නොගන්නා විටකදී පවා ලැබෙන හොඳ අවවාද ඉතා ප්‍රයෝජනවත් විය හැකියි. එවැනි උපදෙස්වලට ඇහුම්කන් දීම, සිත් වේදනා මඟහරවා ගැනීමටත් ඛේදවාචකයන් වළක්වාගැනීමටත් අපට උපකාරවත් වේ. උපදෙස් නොතැකීමෙන් සිදු වන්නේ අගෞරවයට පත්වීමයි.

සුදුසු ප්‍රශංසාව අපව ගොඩනංවනවා පමණක් නොව දිරිගැන්වීමක්ද ලබා දෙයි. එහෙත් අප අවවාද අපේක්ෂා කිරීමත් පිළිගැනීමත් අවශ්‍යයි. ප්‍රේරිත පාවුල් තිමෝතිට ලියූ ලිපි දෙක සලකා බලන්න. ඔහුගේ විශ්වාසවන්තකම ගැන ඔහුට ප්‍රශංසා කරන අතරතුරේදී එම ලිපි පුරාම තිමෝතිට උපදෙස් දී තිබුණි. පාවුල් තරුණයාට, ඔහුගේ ඇදහිල්ල හා යහපත් හෘදය සාක්ෂියක් පවත්වාගැනීම, සභාවේ අන් අය සමඟ කටයුතු කරන ආකාරය, දේවභක්තිය සහ සැහීමට පත්ව සිටීම, අන් අයට උපදෙස් දීම, ඇදහිල්ල අත්හැර යන්නන්ගේ අදහස් ප්‍රතික්ෂේප කිරීම සහ සේවය සම්පූර්ණ කිරීම වැනි කාරණා පිළිබඳව බොහෝ උපදෙස් දුන්නේය. සභාවේ සිටින යෞවන සාමාජිකයන් අද්දැකීම් තිබෙන අයගෙන් උපදෙස් අපේක්ෂා කිරීමත් පිළිගැනීමත් අවශ්‍යයි.

“ඥානවන්තයන් කැටුව යන්න”

“ආශාව ඉෂ්ට වීම ආත්මයට මිහිරිය. එහෙත් නපුරෙන් වෙන්වීම අඥානයන්ට පිළිකුලක්ය” කියා ඥානවන්ත රජ පවසයි. (හිතෝපදේශ 13:19) මෙම හිතෝපදේශයේ අර්ථය සලකා බැලීමේදී එක් ග්‍රන්ථයක කර තිබුණේ මෙවන් විග්‍රහයකි. “යම් ඉලක්කයක් අත් කරගැනීම හෝ යම් ප්‍රර්ථනාවක් වැනි දෙයක් ඉටුවීම නිසා මිනිසාට ලැබෙන්නේ ලොකු තෘප්තියකි. . . . කෙනෙකුට තම අභිප්‍රායන් ඉටු කරගැනීම මෙසේ ඉතා ප්‍රසන්න දෙයක් වේ නම් අඥානයන්ට තම දුෂ්ට උපායන් අත්හැරීම පිළිකුල්සහගත දෙයක් වීම පුදුමයක් නොවේ. ඔවුන්ගේ ප්‍රර්ථනාවන් ඉටු කරගත හැක්කේ දුෂ්ට ක්‍රම මගින් පමණි. ඔවුන් තම දුෂ්ට උපක්‍රම අත්හරිනවා කියන්නේ තම ආශාවන් ඉටු කරගැනීමෙන් ලැබෙන තෘප්තිය නැති කරගන්නවා යන්නයි.” එසේනම් අප යහපත් ආශාවන් ඇති කර ගැනීම කොතරම් වැදගත්ද!

අපගේ සිතුවිලි, අපගේ රුචි අරුචිකම් කෙරෙහි අපගේ ආශ්‍රිතයන් මොන තරම් ප්‍රබල බලපෑමක් කරනවාද! “ඥානවන්තයන් කැටුව යන්න. එවිට ඔබ ඥානවන්ත වන්නේය. එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදු වන්නේය” කියා සලමොන් පවසන විට ඔහු පෙන්නුම් කළේ කිසිදාක වෙනස් නොවන සත්‍යයකි. (හිතෝපදේශ 13:20) ඇත්තෙන්ම අපේ ආශ්‍රිතයන් තුළින් මෙන්ම අපගේ විනෝදාංශ, අන්තර් ජාලය, අප කියවන පොත පත වැනි දේ තුළින් පවා අප කුමනාකාරයේ පුද්ගලයන්ද යන්න හා කුමනාකාරයේ පුද්ගලයන් බවට පත් වේද යන්න කෙරෙහි විශාල බලපෑමක් ඇති විය හැකියි. එසේනම් අපගේ ආශ්‍රිතයන් ඥානවන්තව තෝරාගැනීම කොතරම් වැදගත්ද!

‘උරුමයක් තබන්න’

“විපත පාපිෂ්ඨයන් ලුහුබඳවා යයි” කියා ඊශ්‍රායෙලයේ රජ පවසයි. “එහෙත් ධර්මිෂ්ඨයන්ට යහපත විපාකයක් ලෙස ලැබේ.” (හිතෝපදේශ 13:21) ධර්මිෂ්ඨකම අත් කරගැනීම සඳහා වෑයම් කිරීම ප්‍රතිඵලදායකයි. මන්ද යෙහෝවා ධර්මිෂ්ඨයාව රැකබලා ගන්නේය. (ගීතාවලිය 37:25) කෙසේනමුත් “කාලයත් හදිසි කාරණාත්” අප සියල්ලන්ටම බලපාන බව අප තේරුම්ගත යුතුයි. (දේශනාකාරයා 9:11) අකාලයේ සිදු වන දේට සූදානම් වීම සඳහා අපට යමක් කළ හැකිද?

“සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි” කියා සලමොන් පවසයි. (හිතෝපදේශ 13:22අ) දෙමාපියන් තම දරුවන්ට යෙහෝවා පිළිබඳ දැනුම ලබාගැනීමටත් ඔහු සමඟ යහපත් සබඳතාවක් ගොඩනඟා ගැනීමටත් උපකාර කරන විට ඔවුන් දරුවන්ට ලබා දෙන්නේ මොන තරම් වටිනා උරුමයක්ද! එයත් සමඟම දෙමාපියෙකුගේ හදිසි වියෝවකදී පවුලේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාගැනීම සඳහා යම් සැලසුම් කිරීම දූර්දර්ශී ක්‍රියාවක් නොවේද? බොහෝ රටවල පවුල් මූලිකයන්ට රක්ෂණයක්, අන්තිම කැමති පත්‍රයක් මෙන්ම යම් මුදලක් ඉතිරි කිරීම සඳහා යම් සැලසුමක් කිරීමට හැකියාවක් තිබිය හැකියි.

දුෂ්ටයාගේ උරුමය ගැන කුමක් කිව හැකිද? “පාපිෂ්ඨයා වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත් කොට තබා තිබේ” කියා තවදුරටත් සලමොන් පවසයි. (හිතෝපදේශ 13:22ආ) දැන් ලැබෙන ප්‍රයෝජනයන්ට අමතරව දෙවිගේ පොරොන්දුව වන “ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ අලුත් අහසක් හා අලුත් පොළොවක්” මවන විට මෙය සත්‍යයක් වෙයි. (2 පේතෘස් 3:13, NW) ඒ කාලයේදී දුෂ්ටයාව මුළුමනින්ම තුරන් කර තිබෙනු ඇති අතර ‘මොළොක් ගුණ ඇති අය දේශය උරුම කරගනු ඇත.’—ගීතාවලිය 37:11.

දූරදර්ශීව හා නැණ නුවණින් කටයුතු කරන කෙනෙක් තමන්ට ද්‍රව්‍යමය දේ ස්වල්පයක් තිබුණද ඔහු දැනුම ඇතුව කටයුතු කරයි. “දිලිඳුන්ගේ ගොවිතැනෙන් බොහෝ කෑම ලැබේ” කියා හිතෝපදේශ 13:23හි සඳහන් වේ. “එහෙත් අයුක්තිය [සිහිබුද්ධියේ ඌනකම, NW] නිසා නාස්තියට පැමිණෙන්නෝද සිටිති.” දිලින්ඳෙක් ඉතා මහන්සියෙන් වැඩ කරන විට හොඳ ප්‍රතිඵල නෙළාගන්න අතර දෙවිගේ ආශීර්වාදද ලබාගනියි. එනමුත් යුක්තිය නැති කල අසාධාරණ විනිශ්චය නිසා වස්තුව නැති වී යා හැකියි.

‘කල් තබා ඔහුව හික්මවන්නේය’

අසම්පූර්ණ මිනිසුන්ට හික්මවීම අවශ්‍යයි. එය කුඩා කල සිටම ඔවුන්ට අවශ්‍යය. “ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛර වන්නේය. එහෙත් ඔහුට ප්‍රේම වෙන්නා කල් තබා ඔහුට දඬුවම් කරන්නේය [හික්මවන්නේය, NW]” කියා ඊශ්‍රායෙලයේ රජ පවසයි.—හිතෝපදේශ 13:24.

ඉපල හෙවත් කෝටුව අධිකාරය සංකේතවත් කරයි. හිතෝපදේශ 13:24හි යොමු දක්වන්නේ දෙමාපියන්ගේ අධිකාරයටයි. මෙහිදී හික්මවීමේ ඉපල යොදාගැනීමෙන් දරුවාට පහර දීමම අදහස් නොකරයි. යම් නිවැරදි කිරීමක් කිරීම සඳහා යොදාගන්නා ඕනෑම ක්‍රමයක් ඉන් අදහස් කරයි. වැරදි ලෙස හැසිරීම නිවැරදි කිරීම සඳහා එක් දරුවෙකුට කාරුණිකව අවවාද කිරීම ප්‍රමාණවත් විය හැකියි. තවත් දරුවෙකුට තදින් අවවාද කිරීමට අවශ්‍ය විය හැකියි. “අඥානයෙකුට පහර සියයකට වඩා, නුවණ ඇත්තෙකුට තරවටුව වදින්නේය” කියා හිතෝපදේශ 17:10හි සඳහන් වේ.

දරුවාගේ යහපත උදෙසා දෙමාපියන් දෙන හික්මවීම නිතරම ප්‍රේමයෙන් සහ නුවණින් ක්‍රියාත්මක කළ යුතුයි. ප්‍රේමණීය දෙමාපියෙක් තම දරුවාගේ වැරදි ගණන් නොගෙන නොසිටියි. ඊට වෙනස්ව ඔහු දරුවාගේ වැරදි සොයා බලන්නේ එම වැරදි තව තවත් නරක අතට හැරීමට පෙර නිවැරදි කිරීම සඳහායි. කොහොම නමුත් ප්‍රේමණීය දෙමාපියෙක් පාවුල්ගේ උපදෙසට අවනත වෙයි. “පියවරුනි, ඔබේ දරුවන්ව තරහ නොගස්වා යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද ඔවුන්ව ඇති දැඩි කරන්න.”—එෆීස 6:4, NW.

යම් දෙමාපියෙක් දරුවන්ට තමන්ට ඕන හැටියට හැසිරෙන්න ඉඩ දෙමින් අවශ්‍ය නිවැරදි කිරීම් නොකරනවා නම් කුමක් කිව හැකිද? එසේ ඇතිදැඩි වන දරුවෙක් පසුවට තම දෙමාපියන්ට කළගුණ සලකයිද? කිසිවිටකත් එය සිදු නොවෙයි! (හිතෝපදේශ 29:21, න.අ.) බයිබලයේ සඳහන් වන්නේ, “තමාගේ කැමැත්තට අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි” කියායි. (හිතෝපදේශ 29:15) දෙමාපියන්ගේ අධිකාරය හරි හැටි ක්‍රියාත්මක නොකිරීමෙන් පෙන්වන්නේ නොසැලකිලිමත්කම හෝ ප්‍රේමයේ ඌනතාවයි. අධිකාරය කාරුණිකව හා ස්ථිරව ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රේමණීය සැලකිල්ල පිළිඹිබු වේ.

සැබෑ දැනුම ඇතිව දූරදර්ශීව කටයුතු කරන අවංක පුද්ගලයෙක් ආශීර්වාද ලබයි. සලමොන් අපට මෙසේ සහතික වෙයි. “ධර්මිෂ්ඨයාට සෑහෙන පමණට කෑම තිබේ. එහෙත් දුෂ්ටයාගේ බඩට හිඟකම ඇත්තේය.” (හිතෝපදේශ 13:25) අපගේ පවුලේ කටයුතුවලදී, අන් අය සමඟ තිබෙන සබඳකම්වලදී, අපගේ දේවසේවයේදී හෝ අපට හික්මවීමක් ලැබෙන විටදී වැනි අපගේ ජීවිතයේ සෑම පැත්තකදීම අපට ප්‍රයෝජනවත් දේ මොනවාද කියා යෙහෝවා දන්නේය. ඒ නිසා ඔහුගේ වචනයේ තිබෙන උපදෙස් නැණවත්ව අදාළ කරගැනීමෙන් ජීවිතයේ උපරිම යහපත භුක්ති විඳිය හැකි බවට කිසිම සැකයක් නැත.

[පාදසටහන]

a හිතෝපදේශ 13:1-14 දක්වා තිබෙන පද විග්‍රහ කර තිබෙන ආකාරය දැනගැනීමට 2003 සැප්තැම්බර් 15 මුරටැඹ කලාපයේ 21-25 දක්වා පිටු බලන්න.

[28වන පිටුවේ පින්තූරය]

අසාධාරණ ලෙස කරන විවේචන හමුවේ බුද්ධිමත් පුද්ගලයා තම දිව පාලනය කරගනියි

[29වන පිටුවේ පින්තූරය]

විශ්වාසවන්ත රාජ්‍ය ප්‍රකාශකයෙක් බොහෝ යහපත් දේ ඉටු කරයි

[30වන පිටුවේ පින්තූරය]

ප්‍රශංසාව දිරිගැන්වීමක් වුවත් නිවැරදි කිරීමත් අප කැමැත්තෙන් භාරගත යුතුයි

[31වන පිටුවේ පින්තූරය]

ප්‍රේමණීය දෙමාපියෙක් තම දරුවාගේ වැරදි ගණන් නොගෙන නොසිටියි