“අපි ‘ඔව්!’ කියා කියන්න කැමතියි”
“අපි ‘ඔව්!’ කියා කියන්න කැමතියි”
නයිජීරියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට මෑතකදී ලිපියක් ලැබුණා. ඒ ලිපියේ කොටසක මෙසේ සඳහන් වී තිබුණා.
“අපේ පුතා ඇන්ඩර්සන් මැරෙනකොට එයාට අවුරුදු 14යි. එයා මැරෙන්න ඉස්සර කුකුල්ලු දෙන්නෙක් හැදුවා. එයාට වුවමනා වෙලා තිබුණා මේ කුකුල්ලු දෙන්නා විකුණලා ලැබෙන සල්ලි, ලෝක ව්‍යාප්ත දේශනා සේවය සඳහා සම්මාදමක් හැටියට ශාඛා කාර්යාලයට යවන්න. නමුත් මේ කුකුල්ලු දෙන්නා විකුණන කාලය එන්න කලින් එයා මැරුණා.
“ඔහුගේ ආශාව ඉෂ්ට කිරීමට ඔහුගේ දෙමව්පියන් වන අපි කුකුල්ලු දෙන්නා හදලා විකුණුවා. අපි ඒ සල්ලි ඇන්ඩර්සන්ගෙන් සම්මාදමක් හැටියට ඔබට මේ සමඟ එවලා තියෙනවා. යෙහෝවා පොරොන්දු වී තිබෙන නිසා අපිට ස්ථිරයි ඉක්මනට, ඉතා ඉක්මනට ඇන්ඩර්සන්ව ආයේ දකින්න ලැබෙයි කියලා. එයාගේ හිතේ ආශාව අපි ඉෂ්ට කළාද කියලා එයා අහනකොට අපි ‘ඔව්!’ කියා කියන්න කැමතියි. ඇත්තටම ඇන්ඩර්සන්ව විතරක් නෙවෙයි ‘වලාකුළක් වැනි වූ සාක්ෂිකාර සමූහයක්’ නැවත නැඟිටිනවා දකින්න අප ආසාවෙන් බලා සිටිනවා.”—හෙබ්‍රෙව් 12:1, NW; යොහන් 5:28, 29.
ඉහත ලිපියේ පැහැදිලිවම පෙන්වා ඇති ආකාරයට නැවත නැඟිටීම ගැන තිබෙන විශ්වාසය සැබෑ ක්‍රිස්තියානීන්ට ශක්තියක් ලබා දෙන බලාපොරොත්තුවක්. ඇන්ඩර්සන්ගේ පවුලේ අය මෙන් මිලියන සංඛ්‍යාත පවුල් මරණය නමැති සතුරා නිසා ජීවිත අහිමි වූ තම ප්‍රේමණීයයන්ව නැවත පිළිගන්නා විට ඔවුන් මොන තරම් ප්‍රීතියක් අද්දකීවිද!—1 කොරින්ති 15:24-26.
දේවරාජ්‍යය යටතේදී ධර්මිෂ්ඨ නව ලොව තුළ ළඟදීම සිදුවීමට නියමිත පුදුමාකාර දේවල් අතර මෙම සැනසීම ගෙන දෙන නැවත නැඟිටීමේ බලාපොරොත්තුවද දෙවිගේ වචනය ඉදිරිපත් කරයි. (2 පේතෘස් 3:13) දෙවි ඒ කාලයේදී මනුෂ්‍ය වර්ගයා සඳහා කරන්න යන දේ සම්බන්ධයෙන් බයිබලයේ පවසන්නේ “ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය” කියායි.—එළිදරව් 21:4, NW.