Skip to content

පටුනට යන්න

අපි ජීවත් වුණේ යෙහෝවාගේ ශක්තියෙන්

අපි ජීවත් වුණේ යෙහෝවාගේ ශක්තියෙන්

ජීවිත කතාව

අපි ජීවත් වුණේ යෙහෝවාගේ ශක්තියෙන්

පැවසුවේ එර්සෙබට් හාෆ්නර්

“මම එයාලට ඉඩ දෙන්නේ නැහැ ඔයාව රටින් පිටුවහල් කරන්න.” චෙකෝස්ලොවැකියාවෙන් පිට වෙන්න මට අණ කර තිබෙනවා කියලා ටිබෝ හාෆ්නර් දැනගත් විට එහෙම කිව්වා. ඉන් පස්සේ ඔහු කිව්වා, “ඔයා කැමති නම්, මම ඔයාව විවාහ කරගන්නම්. එතකොට ඔයාට මාත් එක්ක දිගටම මෙහෙ ඉන්න පුළුවන්” කියලා.

එම අනපේක්ෂිත යෝජනාවෙන් සති කිහිපයකට පස්සේ 1938 ජනවාරි 29වෙනි දා මගේ පවුලට මුලින්ම සාක්ෂි දැරූ ක්‍රිස්තියානි සහෝදරයෙක් වූ ටිබෝ හාෆ්නර් සමඟ මම විවාහ වුණා. එම තීරණය ගන්න එක ලේසි වුණේ නැහැ. එතකොට මට අවුරුදු 18ක් ලැබුවා විතරයි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන සේවිකාවක් හැටියට මට අවශ්‍ය වුණේ මගේ තරුණ කාලය සම්පූර්ණයෙන්ම දෙවිගේ සේවය වෙනුවෙන් යොදවන්නයි. මම ඇඬුවා. යාච්ඤා කෙරුවා. මම සන්සුන් වුණාට පස්සේ තමයි තේරුම්ගත්තේ ටිබෝ කළ යෝජනාව කාරුණික ක්‍රියාවකට වඩා වැඩි දෙයක් බව. ඒ නිසා ඇත්තටම මට ආදරය කළ මෙම තරුණයා සමඟ ජීවත් වෙන්න ඕනේ කියන හැඟීමක් මා තුළ ඇති වුණා.

එහෙත් ඇයි මාව රටෙන් පිටුවහල් කරන තත්වයකට ඉඩ සැලසුණේ? ඇරත් මම ජීවත් වුණේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආගමික නිදහස මහ ඉහළින් සැලකුව රටක. මට හිතෙනවා මේ අවස්ථාවේදී මගේ පෞද්ගලික තොරතුරු ටිකක් ඔබට කියන්න අවශ්‍යයි කියලා.

මම ඉපදුණේ 1919 දෙසැම්බර් 26වෙනි දා හංගේරියාවේ බුඩාපෙස්ට් නගරයෙන් කිලෝ මීටර 160ක් නැඟෙනහිර දෙසට වෙන්න පිහිටි ශායෝසෙන්ට්පීටර් කියන ගම්මානයේ. මගේ දෙමාපියන් ග්‍රීක කතෝලික භක්තිකයන්. මම මෙලොව එළිය දකින්නත් කලින් මගේ තාත්තා මැරුණ එක මගේ ජීවිතයේ සිදු වුණ දුක්මුසු සිද්ධියක්. වැඩි කාලයක් යන්න කලින් මගේ අම්මා කනවැන්දුම් පුරුෂයෙක්ව විවාහ කරගත්තා. ඔහුට දරුවෝ හතරදෙනෙක්ද සිටියා. පසුව චෙකෝස්ලොවැකියාවයයි හඳුන්වනු ලැබූ රටේ පිහිටි සුන්දර නගරයක් වූ ලුචෙන්යෙට්ස්වලට අපි පදිංචියට ගියා. ඒ දවස්වල සුළු මාපිය පවුලක ජීවත් වීම පහසු දෙයක් නෙමෙයි. දරුවෝ පස්දෙනාගෙන් බාල දරුවා හැටියට මට හැඟුණේ මම පවුලට අනවශ්‍ය බරක් කියලයි. අපිට ගොඩක් ආර්ථික ප්‍රශ්න තිබුණා. මට අහිමි වුණේ ද්‍රව්‍යමය දේවල් විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් දරුවෙකුට ලැබිය යුතු දෙමාපියන්ගේ ආදරයත් අවධානයත් මට අහිමි වුණා.

කවුරු හරි උත්තරේ දන්නවාද?

මට අවුරුදු 16ක් වෙනකොට මගේ හිතට වද දෙන බැරෑරුම් ප්‍රශ්න තිබුණා. මම ගොඩක් උනන්දුවෙන් පළමුවෙනි ලෝක මහ යුද්ධයේ ඉතිහාසය කියෙව්වා. ක්‍රිස්තියානීන්යයි කියා සිටි මිනිසුන් ජීවත් වූ දියුණු රටවල් අතර සිදු වෙලා තියෙන මිනී මැරීම් ගැන මට හුඟාක් පුදුම හිතුණා. ඒ විතරක් නෙවෙයි, හැම තැනම යුධකාමීත්වය තමයි පැතිර තිබුණේ. මෙය අසල්වැසියන්ට ප්‍රේම කරන්න කියලා මම පල්ලියෙන් ඉගෙනගත් දේට කොහෙත්ම එකඟ වුණේ නැහැ.

ඒ නිසා මම රෝමානු කතෝලික පූජකවරයෙක් ළඟට ගිහිල්ලා මෙහෙම ඇහැව්වා. “ක්‍රිස්තියානීන් හැටියට අපි බැඳිලා ඉන්නේ මොන ආඥාවටද? යුද්දෙට ගිහිල්ලා අපේ අසල්වැසියන්ව මරන්නද නැත්නම් ඔවුන්ට ප්‍රේම කරන්නද?” මගේ ප්‍රශ්නය නිසා කෝපයට පත් වූ ඔහු කිව්වේ, ඔහු උගන්වන්නේ ලොකු තැන්වලින් ඔහුට උගන්වපු දේ කියලා. කැල්වින්වාදී දේවගැතියෙක් සහ යුදෙව් රබ්බිවරයෙක් ළඟට ගිය විටත් සිදු වුණේ මේ දෙයමයි. මට කිසිම පිළිතුරක් ලැබුණේ නැහැ. මම ඇසූ අසාමාන්‍ය ප්‍රශ්නයට එයාලා පුදුම වුණ එක විතරයි සිදු වුණේ. අන්තිමේදී මම ලුතරන් දේවගැතියෙක් හමු වෙන්න ගියා. ඔහුටත් කේන්ති ගියා. ඒත් මම එතනින් පිටත් වෙන්න පෙර ඔහු මෙහෙම කිව්වා. “ඔයාට ඒ ගැන ඇත්තටම යමක් දැනගන්න අවශ්‍ය නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් අහන්න.”

මම සාක්ෂිකරුවන්ව සොයන්න උත්සාහ කළා. ඒත් සාර්ථක වුණේ නැහැ. දවස් කිහිපයකට පස්සේ මම වැඩ ඇරිලා ගෙදර එනකොට දොර බාගෙට ඇරී තියෙනවා දැක්කා. කඩවසම් තරුණයෙක් බයිබලයෙන් යමක් අම්මාට කියවමින් සිටියා. මට එකපාරටම කල්පනා වුණා, ‘මේ නම් අර කිව්ව යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් වෙන්න ඇති කියලා!’ අපි ටිබෝ හාෆ්නර්ට ගේ ඇතුළට එන්න කිව්වා. මගේ ප්‍රශ්න මම ඔහුගෙන් ඇහැව්වා. ඔහුගේ අදහස් කියනවා වෙනුවට සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගැනීමේ ලකුණ සහ අප ජීවත් වන කාලය ගැන බයිබලයේ සඳහන් වන්නේ මොනවාද කියා ඔහු මට පෙන්නුවා.—යොහන් 13:34, 35; 2 තිමෝති 3:1-5.

මාස කිහිපයක් ඇතුළත මම බව්තීස්ම වුණා. එතකොට මට අවුරුදු දහහතක්වත් නැහැ. ඉතාමත් අමාරුවෙන් සොයාගත් මෙම වටිනා සත්‍යයන් හැමෝම දැනගත යුතුයි කියා මට හැඟුණා. මම පූර්ණ කාලීන දේශනා සේවය පටන්ගත්තා. වර්ෂ 1930 ගණන්වල අග භාගයේදී විතර එම කටයුත්ත චෙකෝස්ලොවැකියාවේ කරන එක අභියෝගයක් වුණා. අපේ වැඩකටයුතු නිල වශයෙන් ලියාපදිංචි කර තිබුණත් පූජකයන්ගේ පෙලඹවීම නිසා දරුණු විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න අපට සිදු වුණා.

මුලින්ම අද්දුටු පීඩා

වර්ෂ 1937 අග භාගයේදී එක් දවසක මම තවත් ක්‍රිස්තියානි සහෝදරියක් සමඟ ලුචෙන්යෙට්ස් නගරයට යාබද ගමක දේශනා කරමින් සිටියා. වැඩි වේලාවක් යන්න කලින් අපිව අත්අඩංගුවට අරගෙන සිරගෙදරට ගෙනිච්චා. “ඔයාලා මෙතන තමයි මැරෙන්න යන්නේ” කියලා මුරකරුවා අපේ සිරකූඩුවේ දොර හයියෙන් වැහැව්වා.

හවස් වෙනකොට තවත් හිරකාරියන් හතරදෙනෙකුව අපේ කූඩුවට දැම්මා. අපි එයාලාව සනසමින් එයාලාට සාක්ෂි දැරුවා. එයාලා සන්සුන් වුණා. අපි මුළු රාත්‍රියේම එයාලත් එක්ක බයිබල් සත්‍යයන් ගැන සාකච්ඡා කළා.

පසු දා උදේ හයට මුරකරුවා මට කූඩුවෙන් එළියට එන්න කිව්වා. මම මගේ මිතුරියට මෙහෙම කිව්වා. “අපි ආයෙත් දෙවිගේ රාජ්‍යයේදී හමු වෙමු.” ඇය බේරුණොත් මට සිදු වුණ දේ මගේ පවුලේ අයට කියන්න කියා මම ඇයට කිව්වා. මම නිහඬව යාච්ඤාවක් කර මුරකරු සමඟ ගියා. සිරගෙවල්වලට යාබදව තිබූ ඔහුගේ නවාතැනට ඔහු මාව රැගෙන ගියා. “මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා ඔය ළමයාගෙන් අහන්න” කියලා ඔහු මට කිව්වා. “ඊයේ රෑ ඔයා කිව්වා දෙවිගේ නම යෙහෝවා කියලා. බයිබලයෙන් ඒක මට පෙන්වන්න පුළුවන්ද?” මොන තරම් පුදුමයක්ද! මොන තරම් සහනයක්ද! ඔහු බයිබලය ගෙනාවා. මම ඔහුට සහ ඔහුගේ භාර්යාවට යෙහෝවාගේ නම පෙන්නුවා. අපි අනිත් කාන්තාවන් හතරදෙනා සමඟ රාත්‍රියේ සාකච්ඡා කළ විෂයන් සම්බන්ධයෙන් තවත් හුඟාක් ප්‍රශ්න ඔහුට තිබුණා. පිළිතුරුවලින් සෑහීමට පත් වුණ ඔහු මටත් මගේ මිතුරියටත් උදෑසන කෑම සූදානම් කරන්න කියා භාර්යාවට කිව්වා.

දවස් කිහිපයකට පස්සේ අපිව නිදහස් කළා. නමුත් මම හංගේරියානු පුරවැසියෙක් නිසා චෙකෝස්ලොවැකියාවෙන් මම පිටවිය යුතුයි කියා විනිසුරුවරයෙක් තීරණය කළා. මේ සිද්ධියෙන් පස්සේ තමයි ටිබෝ හාෆ්නර් ඔහුගේ භාර්යාව වෙනවද කියලා මගෙන් ඇහැව්වේ. ඉන්පස්සේ අපි විවාහ වෙලා ඔහුගේ දෙමාපියන් සිටි නිවසේ පදිංචියට ගියා.

පීඩාව තව තවත් දරුණු වෙයි

යුවළක් ලෙස අපි දිගටම දේශනා සේවයේ නියැලුණා. ටිබෝට අපගේ සේවය සංවිධානය කිරීමේ වැඩකටයුතුත් තිබුණා. වර්ෂ 1938 නොවැම්බර් මාසයේ හංගේරියානු හමුදා අපේ නගරයට පැමිණෙන්න දවස් කිහිපයකට කලින් අපේ පුතා ටිබෝ ඉපදුණා. එතකොට යුරෝපයේ දෙවන ලෝක මහා යුද්ධය ආරම්භ වෙන්න ඔන්න මෙන්න කියලා තිබුණේ. චෙකෝස්ලොවැකියාවේ විශාල ප්‍රදේශයක් හංගේරියාව විසින් අල්ලගෙන තිබුණා. ඒ ප්‍රදේශවල ජීවත් වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට මේ නිසා පීඩා වැඩි වුණා.

වර්ෂ 1942 ඔක්තෝබර් 10වෙනි දා ටිබෝ, සහෝදරයන් කිහිපදෙනෙකුව හමු වෙන්න ඩෙබ්‍රෙසෙන් නගරයට ගියා. කොහොමනමුත් මේ වතාවේ ඔහු නැවත ආවේ නැහැ. සිද්ධ වුණේ මොකක්ද කියලා පස්සේ ඔහු මට කිව්වා. හමුවීමට කතා කරගත්තු ස්ථානය වන පාලම උඩ ඉඳලා තියෙන්නේ සහෝදරයන් නෙමෙයි. ඒ වෙනුවට හිටියේ කම්කරුවන් වගේ ඇඳගත්තු පොලිස් නිලධාරීන්. එයාලා මගේ ස්වාමිපුරුෂයා සහ පාල් නාජ්පාල් එනකම් තමයි ඉඳලා තියෙන්නේ. අන්තිමට එන්න හිටියේ මේ දෙන්නා තමයි. පොලිස් නිලධාරීන් එයාලාව පොලිසියට ගෙනිහින් සපත්තු ගලවන්න කියලා පතුල්වලට පොලුවලින් ගැහැව්වා. කොතරම් ගැසුවාද කිව්වොත් වේදනාවට එයාලට සිහි නැතිව ගියා.

ඉන්පස්සේ සපත්තු දාගෙන හිටගන්න කියලා ඔවුන්ට අණ කළා. කොතරම් වේදනාවක් තිබුණත් දුම්රියපොළට යන්න කියා ඔවුන්ට බල කෙරුවා. ඊටපස්සේ පොලිස් නිලධාරීන් තවත් පුද්ගලයෙක්ව ගෙනාවා. ඔහුගේ ඇස් වැහෙන තරමට ඔහුගේ ඔලුව වෙලුම් පටිවලින් වෙළලා තිබුණා. ඔහු තමයි සහෝදර ආන්ඩ්‍රාෂ් පිලින්ක්. ඔහුත් පාලම ළඟට ඇවිත් තිබුණේ සහෝදරයන්ව මුණගැහෙන්නයි. මගේ ස්වාමිපුරුෂයාව බුඩාපෙස්ට්වලට කිට්ටු ගමක් වූ ආලාග්වල සාක්ෂිකරුවන්ව රඳවා තිබූ ස්ථානයට දුම්රියෙන් රැගෙන ගියා. ටිබෝගේ තැළුණු පාද දැක්ක එක් මුරකරුවෙක් උපහාසයට මෙහෙම කිව්වා. “සමහර මිනිස්සු කටයුතු කරන්නේ මොන තරම් කෲර විදිහටද! බය වෙන්න එපා. අපි ඔයාව සනීප කරන්නම්.” තවත් මුරකරුවන් දෙදෙනෙක් ටිබෝගේ පතුල්වලින් ලේ පනින තුරුම ඔහුට ගහන්න පටන්ගත්තා. විනාඩි කිහිපයකට පස්සේ ඔහුට සිහි නැතිව ගියා.

ඊළඟ මාසයේ ටිබෝ සහ තවත් සහෝදර සහෝදරියන් 60දෙනෙකුව නඩු විභාගයට කැඳෙව්වා. ආන්ඩ්‍රාෂ් බාර්ටා, ඩේනෙෂ් ෆාලුවේගේ සහ යානොෂ් කොන්රාඩ් යන සහෝදරයන්ව එල්ලුම් ගහට නියම වුණා. සහෝදර ආන්ඩ්‍රාෂ් පිලින්ක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් හා මගේ ස්වාමිපුරුෂයාට අවුරුදු 12ක සිරදඬුවමක් නියම වුණා. ඔවුන් කළ අපරාධය මොකක්ද? රාජද්‍රෝහීන් ලෙස කටයුතු කිරීම, හමුදා සේවය ප්‍රතික්ෂේප කිරීම, ඔත්තු බැලීම සහ ශුද්ධ සභාවට අපහාස කිරීම වැනි කාරණා ගෙනහැර දක්වමින් පැමිණිලිකරු ඔවුන්ට බරපතළ ලෙස චෝදනා කළා. පසුව, මරණ දණ්ඩනය නියම වූ අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරමින් ඔවුන්ගේ දඬුවම් නියෝගය වෙනස් කළා.

මගේ ස්වාමිපුරුෂයා පසුපස ලුහුබැන්දා

ටිබෝ ඩෙබ්‍රෙසෙන්වල සහෝදරයන් හමුවීමට ගොස් දින දෙකකට පස්සේ මම උදේ හයටත් කලින් නැඟිටලා අපේ ඇඳුම් මදිමින් හිටියා. එකපාරටම අපේ දොරට හයියෙන් ගහනවා ඇහුණා. මම හිතුවා ‘එයාලා ඇවිල්ලා’ ඇති කියලා. පොලිස් නිලධාරීන් හයදෙනෙක් ඇතුළට ඇවිල්ලා ගේ පරීක්ෂා කරන්න එයාලාට අවසර ලැබුණා කියලා මට කිව්වා. ගෙයි හිටිය හැම කෙනෙක්වම අත්අඩංගුවට අරගෙන පොලිසියට ගෙන ගියා. අපේ අවුරුදු 3ක් වයස පොඩි පුතාවත් අරගෙන ගියා. එදාම අපිව හංගේරියාවේ පෙටවාශාරාවල සිරගෙදරට යැව්වා.

එතැනට ගියාට පස්සේ මට උණ ගැනුණා. ඒ නිසා අනිත් සිරකරුවන්ගෙන් මාව වෙන් කළා. මට සුවය ලැබුණට පස්සේ සොල්දාදුවන් දෙදෙනෙක් මගේ සිරකුටියේ ඉඳන් මෙහෙම කියමින් රණ්ඩු වුණා. “අපි එයාට වෙඩි තියන්න ඕනේ! මම එයාට වෙඩි තියන්නම්!” කියලා එක් කෙනෙක් කිව්වා. නමුත් වෙඩි තියන්න කලින් මගේ සෞඛ්‍ය තත්වය කොහොමද කියලා පරීක්ෂා කරන්න අනිත් කෙනාට ඕනේ වුණා. මාව මරන්න එපා කියලා මම එයාලාගෙන් බැගෑපත්ව ඉල්ලුවා. අවසානයේදී එයාලා මගේ සිරකුටියෙන් යන්න ගියා. මට උදව් කළාට මම යෙහෝවාට ස්තුති කළා.

මුරකරුවන්ට ප්‍රශ්න කිරීම සඳහා විශේෂ ක්‍රමයක් තිබුණා. එයාලා මට මුණින් අතට පොළොවේ දිගා වෙන්න කිව්වා. මගේ කටට මේස් එබුවා. මගේ අත් පා බැන්දා. පස්සේ කසයකින් ලේ එනතුරු මට ගැහැව්වා. එයාලා ගහන එක නැවැත්තුවේ එක මුරකරුවෙකු ඔහුට මහන්සියි කියා කී විටයි. මගේ ස්වාමිපුරුෂයාව අත්අඩංගුවට ගත් දිනයේදී ඔහු කාව මුණගැසෙන්නද හිටියේ කියලා මගෙන් ඇහැව්වා. මම කිව්වේ නැහැ. ඒ නිසා දවස් තුනක් මට ගැහැව්වා. හතරවෙනි දවසේ මගේ පුතාව අම්මා ළඟට ගෙනියන්න මට අවසර දුන්නා. මම සීතලේ ගැහි ගැහි මගේ තුවාල වුණ පිට මත මගේ පුංචි දරුවාවත් තබාගෙන කිලෝමීටර 13ක් දුරින් පිහිටි දුම්රියපොළට ඇවිද්දා. එතැන් සිට මට දුම්රියෙන් ගෙදර යන්න පුළුවන් වුණත්, එදාම ආපසු කඳවුරට එන්න සිදු වුණා.

බුඩාපෙස්ට්වල සිරගෙදරක අවුරුදු හයක් මට ඉන්න සිදු වුණා. මම එම ස්ථානයට ගියාමයි දැනගත්තේ ටිබෝත් එම සිරගෙදරමයි ඉන්නේ කියලා. අපිට යකඩ වැටක් හරහා කතා කරන්න අවසර ලැබුණේ විනාඩි කිහිපයක් වුණත් අපි ඒ ගැන කොයි තරම් සතුටු වුණාද! අපි දෙන්නට යෙහෝවාගේ ප්‍රේමය දැනුණු අතර මෙසේ එකට ගත කරන්න ලැබුණු මෙම වටිනා අවස්ථා තුළින් අපි මහත් ශක්තියක් ලැබුවා. අපි ඊළඟ වතාවේ හමුවීමට පෙර අපි දෙදෙනාම ඉතා කෲර පීඩා සහ අනූනවයෙන් දිවි ගලවාගත් අවස්ථා බොහෝමයක් අද්දැක්කා.

එක් සිරගෙයකින් තවත් සිරගෙයකට

සහෝදරියන් 80දෙනෙක් විතර එකම සිරකුටියේ එකට හිරවෙලා හිටියා. අපි හුඟාක් ආශාවෙන් බලාගෙන හිටියා ආත්මික ආහාර ලබාගන්න. නමුත් සිරගෙදරට කිසිම දෙයක් ගෙන්වාගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. සිරගෙදර ඇතුළෙන්ම මොනවා හරි ලබාගන්න අපට පුළුවන් වෙයිද? අපි මොනවද කළේ කියලා කියන්න මට ඉඩ දෙන්න. සිරගෙදර ලිපිකරුවන්ගේ ඉරුණු මේස් මහලා දෙන්න මම ඉදිරිපත් වුණා. සිරගෙදර පුස්තකාලයේ තිබෙන බයිබලයේ ලේඛන අංකය දෙන්න කියා කොළ කැබැල්ලක ලියා එය මේස් එකක් ඇතුළට මම දැම්මා. සැකයක් නොහිතෙන විදිහට තව පොත් දෙකක නම් දෙකකුත් මම එහි සඳහන් කළා.

ඊළඟ දවසේ තවත් මේස් කුට්ටන් තොගයක් ලිපිකරුවන්ගෙන් මට ලැබුණා. එයින් එකක් ඇතුලේ උත්තරේ තිබුණා. ඉන්පස්සේ මම මේ අංක ටික මුරකරුවෙකුට දීලා පොත් ටික ගෙනත් දෙන්න කිව්වා. අපිට ඒ පොත් එක්ක බයිබලයත් ලැබුණාම පුදුම සතුටක් දැනුණා! අපි බයිබලය තියාගෙන අනෙක් පොත් ටික හැම සතියකම මාරු කළා. මුරකරුවා ඒ ගැන ඇහැව්වාම අපි හැම තිස්සේම කිව්වේ, “ඒක ලොකු පොතක්නේ, ඒ වගේම හැමෝම ඒක කියවන්නත් ආසයි කියනවා” කියලායි. මේ විදිහට අපිට බයිබලය කියවන්න පුළුවන් වුණා.

එක දවසක් එක නිලධාරියෙක් මාව ඔහුගේ කාර්යාලයට කැඳෙව්වා. වෙන දා නැති කරුණාවක් ඔහු මට පෙන්නුවා.

“හාෆ්නර් මහත්මිය, ඔයාට කියන්න ශුභ ආරංචියක් තියෙනවා. ඔයාට පුළුවන් ගෙදර යන්න. හෙටම යන්න පුළුවන්. කෝච්චියක් තියෙනවා නම් අදම වුණත් යන්න පුළුවන්” කියා ඔහු කිව්වා.

“ඒක කොච්චර දෙයක්ද” කියලා මම උත්තර දුන්නා.

“ඇත්තෙන්ම, එය සතුටට කාරණයක්” කියා ඔහු කිව්වා. “ඔයාට දරුවෙක් ඉන්නවානේ. ඔයාගේ දරුවාව හදා වඩා ගන්නත් ඔයා කැමති ඇතිනේ.” ඉන්පස්සේ ඔහු මෙහෙම දෙයක් කිව්වා. “මේ ලියුම අත්සන් කරන්න. එච්චරයි.”

“මොකක්ද මේ ලියුම?” මම ඇහැව්වා.

“ඒ ගැන ඕනෑවට වඩා හිතන්න එපා” කියා පවසමින් ඔහු මට පෙරැත්ත කළා. “නිකම්ම අත්සන විතරක් ගහන්න. එතකොට ඔයාට යන්න පුළුවන්.” ඊට පස්සේ ඔහු මෙහෙම කිව්වා. “ඔයා ගෙදර ගියාට පස්සේ ඔයාට කැමති දෙයක් කරන්න. ඒත් දැන් ඔයා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ලෙස කටයුතු කිරීමෙන් ඉවත් වෙනවා කියලා අත්සන් කරන්න ඕනේ.”

මම ටිකක් පස්සට ගිහිල්ලා ස්ථිරවම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

“එහෙමනම් ඔයා මෙහෙම මැරෙයි!” කියා කේන්තියෙන් කෑගහලා ඔහු මාව ආපසු යැව්වා.

වර්ෂ 1943 මැයි මාසයේ මාව බුඩාපෙස්ට්වල තිබෙන වෙනත් සිරගෙයකට මාරු කළා. ඉන්පස්සේ මරියානොස්ට්‍රා නමැති ගමට මාව මාරු කළා. එහිදී කන්‍යා සොහොයුරියන් 70දෙනෙක් පමණ සිටි මඩමක අපි ජීවත් වුණා. කුසගින්න සහ අනෙකුත් දුෂ්කරතා තිබුණත් ඒ අයට අපගේ බලාපොරොත්තුව ගැන කියන්න ලොකු උනන්දුවක් අපට තිබුණා. එක් කන්‍යා සොහොයුරියක් ඇත්තටම අපගේ පණිවිඩයට උනන්දුවක් පෙන්නුව අතර ඈ මෙහෙම කිව්වා. “මේවා වටිනා ඉගැන්වීම්. මේ වගේ දේවල් ගැන කලින් මම අහලා නැහැ. කරුණාකරලා මට තවත් කියලා දෙන්න.” අපි ඇයට නව ලෝකය ගැනත් එහි තිබෙන්න යන ලස්සන ජීවිතය ගැනත් කිව්වා. අපි කතා කර කර ඉන්නකොටම ප්‍රධාන කන්‍යා සොහොයුරිය එතැනට ආවා. උනන්දුවක් දැක්වූ එම කන්‍යා සොහොයුරියව වහාම අරගෙන ගියා. ඉන්පස්සේ ඇයගේ ඇඳුම් ගලවා, කසයකින් ඇයට හොඳටම තැළුවා. අපි යළිත් වරක් ඇයව මුණගැසුණාම, ඇය මෙසේ අයැද සිටියා. “අනේ මාව ගලවාගෙන මෙතනින් අරගෙන යන්න කියලා යෙහෝවාට යාච්ඤා කරන්න. මටත් යෙහෝවාගේ සාක්ෂිකාරියක් වෙන්න ඕනේ.”

බුඩාපෙස්ට් සිට කිලෝමීටර 80ක් පමණ බටහිර දෙසින් පිහිටි ඩන්‍යූබ් ගඟ අසල පිහිටි නගරයක් වූ කොමාරොම්වල තිබූ පරණ සිරගෙය තමයි අපගේ ඊළඟ ගමනාන්තය වුණේ. එහි ජීවත් වෙන්න අවශ්‍ය මූලික පහසුකම්වත් තිබුණේ නැහැ. තවත් සහෝදරියන් කිහිපදෙනෙක් වගේම මමත් හොඳටම ලෙඩ වුණා. මට ටයිෆස් උණ වැලඳී ලේ වමනේ යන්න පටන්ගත් නිසා හොඳටම දුර්වල වුණා. අපිට බෙහෙත් තිබුණේ නැහැ. මම හිතුවේ මම මැරෙයි කියලා. ඒත් එක්කම වගේ නිලධාරීන් කාර්යාල වැඩකටයුතු කරන්න පුළුවන් කෙනෙකුව හොයමින් හිටියා. සහෝදරියන් මගේ නම යෝජනා කළා. ඒ නිසා මට බෙහෙත් ලැබුණ අතර නැවත සුවය ලැබුණා.

මගේ පවුල සමඟ එකතු වීම

නැඟෙනහිර පැත්තෙන් සෝවියට් හමුදාව ළං වෙද්දී අපිට බටහිර පැත්තට යන්න සිදු වුණා. අප මුහුණ දුන් දරුණු දේවල් හැම එකක්ම කියන්න ගියොත් ඒක මහා දිග කතාවක් වෙයි. අවස්ථා කිහිපයකදීම මම මැරෙන්න ගිහිල්ලා අනූනවයෙන් බේරුණේ යෙහෝවාගේ ආරක්ෂිත හස්තය නිසයි. යුද්ධය නිමා වෙන විට අපි හිටියේ ප්‍රාග් නගරයේ සිට කිලෝමීටර 80ක් එහායින් පිහිටි චෙකෝස්ලොවැකියාවට අයත් නගරයක් වන ටාබොවල. වර්ෂ 1945 මැයි 30වෙනි දා ලුචෙන්යෙට්ස්වල තිබූ අපේ නිවසට යන්න මටයි මගේ නෑනා වන මාග්ඩාලේනාටයි තවත් සති තුනක් ගත වුණා.

මිදුලේ මගේ නැන්දම්මයි මගේ රත්තරන් පුතායි ඉන්නවා මම ඈත තියාම දැක්කා. මගේ ඇස්වලට කඳුළු ආවා. මම “ටිබිකි!” කියලා අඬගැහැව්වා. පුතා දුවගෙන ඇවිල්ලා මගේ අතට පැන්නා. “ඔයා ආයෙත් යන්නේ නැහැ නේද අම්මේ?” කියලා පුතා කියූ ඒ මුල්ම වචන ටික මට කවදාකවත් අමතක වෙන්නේ නැහැ.

යෙහෝවා මගේ ස්වාමිපුරුෂයා වන ටිබෝටත් කරුණාව පෙන්නුවා. බුඩාපෙස්ට් සිරගෙදර සිට ඔහුව බෝ නගරයේ පිහිටා තිබූ ශ්‍රම කඳවුරකට තවත් සහෝදරයන් 160දෙනෙකු සමඟ යවා තිබුණා. අවස්ථා කිහිපයකදී ඔවුන් මරණයේ අභියසටම ගොස් තිබුණත් කණ්ඩායමක් හැටියට ඔවුන්ගේ ජීවිත බේරුණා. මම එන්න මාසයකට කලින් ටිබෝ 1945 අප්‍රියෙල් 8වෙනි දා ගෙදර ඇවිත් තිබුණා.

යුද්ධයෙන් පසුව චෙකෝස්ලොවැකියාවේ තිබූ වසර 40ක කොමියුනිස්ට් පාලනය යටතේදීත් පීඩා විඳදරාගැනීමට අපට යෙහෝවාගේ ශක්තිය අවශ්‍ය වුණා. ටිබෝට ආයෙත් දීර්ඝ කාලයක සිරදඬුවමක් ලැබුණා. ඔහු නැතුව අපේ පුතාව රැකබලා ගන්න මට සිදු වුණා. ටිබෝ නිදහස් වුණාට පස්සේ සංචාරක අවේක්ෂකයෙක් ලෙස සේවය කළා. කොමියුනිස්ට් පාලනය තිබූ වසර 40ක කාලය පුරා අපේ ඇදහිල්ල ගැන කතා කිරීමට අපි හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත්තා. හුඟදෙනෙකුට සත්‍යය ඉගෙනගන්න උදව් කරන්න අපිට පුළුවන් වුණා. එයාලා අපේ ආත්මික දරුවෝ වුණා.

වර්ෂ 1989 අපට ආගමික නිදහස ලැබුණාම දැනුණ සතුට කොයි තරම්ද කියා කියන්න වචන නැහැ! ඊළඟ අවුරුද්දේ සෑහෙන කාලයකට පස්සේ අපේ රටේ පැවැත්වූ පළමුවෙනි සමුළුවට අපි සහභාගි වුණා. අවුරුදු ගණනාවක් පුරා විශ්වාසවන්තභාවය අඛණ්ඩව රැකගත් අපගේ සහෝදර සහෝදරියන් දහස් ගණනක්ව දැක්කාහම, ඒ හැම කෙනෙක්ටම යෙහෝවා තමයි ශක්තියේ බලවත් ප්‍රභවය කියලා අපිට තවත් තහවුරු වුණා.

මගේ ආදරණීය ස්වාමිපුරුෂයා ටිබෝ 1993 ඔක්තෝබර් 14වෙනි දා මිය ගියා. ඔහු අන්තිමය දක්වා දෙවිට විශ්වාසවන්තව සිටියා. මම දැන් මගේ පුතාගේ නිවසට යාබදව, ස්ලොවේකියාවේ සිලීනා නගරයේ ජීවත් වෙනවා. දැන් මගේ ඇඟේ පතේ එච්චර හයියක් නැහැ. නමුත් යෙහෝවාගේ බලය නිසා මගේ හිතේ හයිය තවමත් තියෙනවා. ඔහුගේ ශක්තියෙන්, මෙම පරණ සමාජ ක්‍රමය තුළ පැමිණිය හැකි ඕනෑම පරීක්ෂාවක් මට දරාගන්න පුළුවන් කියලා මට ඉර හඳ වගේ විශ්වාසයි. ඒ විතරක් නෙවෙයි, යෙහෝවාගේ මහත් කරුණාව නිසා මට සදාකාලයටම ජීවත් වෙන්න පුළුවන් කාලය එනතුරු මම බලාගෙන ඉන්නවා.

[20වන පිටුවේ පින්තූරය]

මට දාලා යන්න සිදු වුණු මගේ පුතා ටිබෝ (අවුරුදු 4දී)

[21වන පිටුවේ පින්තූරය]

මගේ පුරුෂයා ටිබෝ තවත් සහෝදරයන් සමඟ බෝ නගරයේදී

[22වන පිටුවේ පින්තූරය]

ටිබෝ සහ මගේ නෑනා වූ මාග්ඩාලේනා, 1947දී බ්‍රොනෝවල

[23වන පිටුවේ පින්තූර]

අවස්ථා කිහිපයකදීම මම මැරෙන්න ගිහිල්ලා අනූනවයෙන් බේරුණේ යෙහෝවාගේ ආරක්ෂක හස්තය නිසයි