Skip to content

පටුනට යන්න

උතුම්කම පිළිබඳව ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය වර්ධනය කරගැනීම

උතුම්කම පිළිබඳව ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය වර්ධනය කරගැනීම

උතුම්කම පිළිබඳව ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය වර්ධනය කරගැනීම

“ඔබ අතරෙහි උතුම් වන්න ඕනෑ කරන යමෙක් සිටී නම්, ඔහු ඔබේ සේවකයා විය යුතුය.”—මතෙව් 20:26.

1. ලෝකය උතුම්කම සලකන්නේ කෙසේද?

තුන්වන පාරාවෝ ආමන්හොටෙප්ගේ මීටර් 18ක් උස පිළිරුවක් පුරාණ ඊජිප්තුවේ තීබ්ස් නගරයේ පිහිටා තිබේ. වර්තමානයේ කානාක් කියා හඳුන්වනු ලබන එම පැරණි නගරය පිහිටා තිබෙන්නේ කයිරෝ නගරයට දකුණු දෙසින් කිලෝමීටර් 500ක් පමණ ඈතිනි. ඒ දැවැන්ත පිළිරුව ඉදිරියේ තමන් කොතරම් කුඩා කෙනෙක්ද කියා එය දෙස බලන කෙනෙකුට හැඟෙනවා නිසැකයි. මේ ස්මාරකය සාදා තිබෙන්නේ ඒ පාලකයාට ගරු බුහුමන් දැක්වීම සඳහා බව පැහැදිලියි. මිනිසුන් උතුම්කම සලකන ආකාරය එයින් කියාපායි. ලෝකය බලන ආකාරය අනුව උතුම් පුද්ගලයෙක් කියන්නේ කැපීපෙනෙන, බලපුළුවන්කාර අයෙකි. අනිත් අය වැදගත් නැතැයි කියා හැඟීමට සලස්වන අයෙකි.

2. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට තැබූ ආදර්ශය කුමක්ද? අපි අපෙන්ම අසාගත යුතු ප්‍රශ්න මොනවාද?

2 උතුම්කම පිළිබඳව යේසුස් ක්‍රිස්තුස් ඉගැන්වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. යේසුස් ඔහුගේ ගෝලයන්ගේ “ස්වාමීන්ද ගුරුතුමාද” විය. එහෙත් ඔහු ඔවුන්ට ඉගැන්වූයේ උතුම්කම අත් වන්නේ අන් අයට සේවය කිරීමෙන් බවයි. ඔහු ඉගැන්වූ දෙයින් අදහස් කළ දෙය යේසුස් මේ පොළොව මත ගත කළ අන්තිම දවසේදී ක්‍රියාවට නඟා පෙන්වූයේ සිය ගෝලයන්ගේ පාද සේදීමෙනි. ඇත්තෙන්ම එය මොන තරම් යටහත් පහත් ක්‍රියාවක්ද! (යොහන් 13:4, 5, 14, NW) ඔබ වැඩියෙන්ම කැමති, සේවය කරන්නද නැත්නම් සේවය ලබන්නද? යේසුස්ගේ ආදර්ශය සලකා බලද්දී ඔහු මෙන් යටහත් පහත් වීමට ආශාවක් ඔබ තුළත් ඇති වෙනවාද? උතුම්කම පිළිබඳව ක්‍රිස්තුස් විදහාපෙන්වූ ආකල්පය හා එය ලෝකයේ ආකල්පයෙන් වෙනස් වන ආකාරය අපි දැන් සලකා බලමු.

උතුම්කම පිළිබඳව ලෝකයේ ආකල්පය ප්‍රතික්ෂේප කරන්න

3. මිනිසුන්ගෙන් ගෞරවය ලබාගැනීමට දැවෙන ආශාවකින් පසු වන අයට අත් වන්නේ කනගාටුදායක ප්‍රතිඵල බව පෙන්වා දෙන බයිබල් ආදර්ශ මොනවාද?

3 උතුම්කම පිළිබඳව ලෝකයේ ආකල්පය හානිකර බව පෙන්වා දෙන උදාහරණ රාශියක් බයිබලයේ සඳහන් වේ. බලවත් පුද්ගලයෙකු වූ හාමාන් ගැන සිතා බලන්න. මොහු එස්තර්ගේ හා මොර්දෙකයිගේ දවස්වලදී පර්සියානු රජ මාලිගාවේ ප්‍රසිද්ධ කෙනෙක් විය. තමන්ට ගෞරවය ලබාගැනීමට ඔහු තුළ තිබූ දැවෙන ආශාවේ ප්‍රතිඵලය වූයේ නින්දාව හා මරණයයි. (එස්තර් 3:5; 6:10-12; 7:9, 10) උඩඟු නෙබුකද්නෙශර් රජුට සිදු වූ දෙයත් සලකා බලන්න. ඔහු බලයෙන් හිණි පෙත්තටම නැඟී සිටි කාලයේදී ඔහු සිහිවිකල් විය. උතුම්කම පිළිබඳව ඔහුට තිබූ වැරදි අදහස මෙම වදන්වලින් ඔහු ප්‍රකාශ කළේය. “මේ වනාහි රාජ ගෘහයක් කොටද මාගේ මහිමශ්‍රීයේ ගෞරවය උදෙසාද මාගේ බලපරාක්‍රමයෙන් මා විසින් ගොඩනැඟූ මහත් බැබිලෝනිය නොවේද?” (දානියෙල් 4:30) තවත් අහංකාර පුද්ගලයෙකි, පළමුවන හෙරෝද් අග්‍රිපා රජ. එක් අවස්ථාවකදී ඔහු දෙවිට හිමි මහිමය දෙවිට නොදී ඔහුට ලබාගත්තේය. “ඔහුට පණුවන් ගසා ඔහු මිය ගියේය.” (ක්‍රියා 12:21-23, NW) යෙහෝවා උතුම්කම සලකන ආකාරය වටහාගැනීමට අසමත් වීමේ ප්‍රතිඵලය වූයේ ඒ සියලුදෙනාගේම බලය අහිමි වී ඔවුන් නින්දාවට පත්වීමයි.

4. ලෝකයේ පවතින උඩඟු ආකල්පය පිටුපස සිටින්නේ කවුද?

4 ගෞරවයක් අත් වන ආකාරයෙන් අපගේ ජීවිත ගත කිරීමට තිබෙන ආශාව හොඳ ආශාවකි. එහෙත් යක්ෂයා ඔහු තුළ තිබෙන අභිලාෂකාමී උඩඟු ස්වභාවය ඇති කරගැනීමට අන් අයව දිරිගැන්වීමෙන් ඒ ආශාවෙන් අයුතු ප්‍රයෝජන ගනී. (මතෙව් 4:8, 9) ඔහු “මේ සමාජ ක්‍රමයේ දෙවි” බවත් ඔහුගේ ආකල්ප ලොව පුරා සිටින මිනිසුන් තුළ ඇති කිරීමට ඔහු අදිටන් කරගෙන සිටින බවත් අමතක කරන්න එපා! (2 කොරින්ති 4:4, NW; එපීස 2:2; එළිදරව් 12:9) එවැනි උඩඟු ආකල්පවල උල්පත කවුද කියා ක්‍රිස්තියානීන් දන්න නිසා උතුම්කම පිළිබඳව ලෝකයේ මිනිසුන් දරන ආකල්පය ඔවුහු ප්‍රතික්ෂේප කරති.

5. සමර්ථකම්, ජනප්‍රියත්වය හා ධනය අනිවාර්යයෙන්ම කල් පවතින තෘප්තිය ගෙන දෙනවාද? පැහැදිලි කරන්න.

5 යක්ෂයා දිරිගන්වන එක් අදහසක් වන්නේ ලෝකයේ ප්‍රමුඛ පෙළේ පුද්ගලයෙකු වීම, මිනිසුන්ගේ ගෞරවයට පාත්‍රවීම හා නිතරම පසුම්බිය පිරෙන්න මුදල් තිබීම අනිවාර්යයෙන්ම සන්තෝෂයට හේතු වන දේවල් බවයි. මෙය ඇත්තක්ද? සමර්ථකම්, ජනප්‍රියත්වය හා ධනය නිසැකවම තෘප්තිමත් ජීවිතයකට මඟ සලසනවාද? මෙවැනි සිතුවිලිවලින් මුළා නොවීමට බයිබලය අපට අනතුරු අඟවයි. නැණවත් සලමොන් රජ මෙසේ ලීවේය. “සියලු ආකාර වෙහෙසත් සියලු දක්ෂ වැඩත් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යාව විඳින බව දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ව හිස් වූ උත්සාහයක්ව තිබේ.” (දේශනාකාරයා 4:4) ලෝකයේ ප්‍රමුඛයන් වීමට තම ජීවිත කාලයම යොදවා ඇති බොහෝ පුද්ගලයෝ දේවානුභාවයෙන් ලියා තිබෙන එම වදන්වල සත්‍යතාව පිළිගනිති. මීට එක් උදාහරණයක් වන්නේ මිනිසාව සඳට ගෙන ගිය අභ්‍යවකාශ යානය නිර්මාණය කිරීමටත්, සෑදීමටත්, පරීක්ෂා කිරීමටත් උපකාර කළ පුද්ගලයායි. ඔහු අතීතය සිහිපත් කරමින් මෙසේ පැවසුවේය. “මම හුඟාක් මහන්සි වෙලා වැඩ කළා. මම කළ දේවල් ගැන හොඳ නිපුණතාවක් අත් කරගෙනයි හිටියේ. ඒත් ඒ හැම දෙයක්ම නිෂ්ඵලයි. කල් පවතින සන්තෝෂය හා මනසේ සාමය මට ලබා දෙන්න ඒවාට බැරි වුණා.” * ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හෝ වේවා, ක්‍රීඩා හෝ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ හෝ වේවා උතුම්කම පිළිබඳව ලෝකයේ ආකල්පය මගින් කල් පවතින තෘප්තියක් සහතික කරන්නේ නැත.

උතුම්කම අත් වන්නේ ප්‍රේමයෙන් පෙලඹී සේවය කිරීමෙනි

6. යාකොබ්ට සහ යොහන්ට උතුම්කම පිළිබඳව තිබුණේ වැරදි ආකල්පයක් බව පෙනී යන්නේ කුමකින්ද?

6 යේසුස් මේ පොළොව මත ජීවත් වූ කාලයේදී සිදු වූ දෙයකින් සැබෑ උතුම්කමට ඇතුළත් වන දෙය කුමක්ද කියා අනාවරණය වේ. යේසුස් සහ ඔහුගේ ගෝලයෝ ක්‍රි.ව. 33දී පාස්කුව සැමරීම සඳහා යෙරුසලමට ගමන් කරමින් සිටියහ. ඔවුන් යන අතරේදී යේසුස්ගේ ඥාති සහෝදරයන් දෙදෙනෙකු වන යාකොබ් සහ යොහන් උතුම්කම පිළිබඳව වැරදි ආකල්පයක් ඇතිව සිටි බව දැකගත හැකි විය. ඔවුන් දෙදෙනා සිය මව මාර්ගයෙන් යේසුස්ගෙන් මෙම ඉල්ලීම කළහ. ‘ඔබගේ රාජ්‍යයෙහිදී අප දෙදෙනා ඔබගේ දකුණු පැත්තේද ඔබගේ වම් පැත්තේද ඉඳගැනීමට නියම කරන්න.’ (මතෙව් 20:21, NW) දකුණු පැත්තේ හෝ වම් පැත්තේ ඉඳගැනීම යුදෙව්වන් සැලකුවේ මහත් ගෞරවයක් ගෙන දෙන දෙයක් ලෙසයි. (1 රාජාවලිය 2:19) යාකොබ් සහ යොහන් ඉහළම තැන ලබාගැනීමට දැඩි ආශාවකින් යුතුව පියවර ගත්හ. බලතල හිමි මේ තැනට පත්වීමට ඔවුන්ට වුවමනා විය. ඔවුන්ගේ සිත්වල තිබූ දෙය දැනගත් යේසුස් උතුම්කම පිළිබඳව ඔවුන් දැරූ වැරදි ආකල්පය නිවැරදි කිරීමට ඒ අවස්ථාව යොදාගත්තේය.

7. සැබෑ ක්‍රිස්තියානි උතුම්කම අත් කරගන්න ආකාරය යේසුස් විස්තර කළේ කෙසේද?

7 මේ උඩඟු ලෝකයේ උතුම් පුද්ගලයා ලෙස සලකන්නේ අනිත් අයව පාලනය කරන හා ඔවුන්ට නියෝග කරන තැනැත්තාවයි. තමන් ඉල්ලා සිටින සෑම දෙයක්ම අසුරු සැණින් ලබාගත හැකි තැනැත්තාවයි. යේසුස් මේ බව දැන සිටියේය. එහෙත් යේසුස්ගේ අනුගාමිකයන් අතර උතුම්කම මනින සාධකය වන්නේ යටහත් පහත්ව කරන සේවයයි. යේසුස් මෙසේ පැවසුවේය. “ඔබ අතරෙහි උතුම් වන්න ඕනෑ කරන යමෙක් සිටී නම්, ඔහු ඔබේ සේවකයා විය යුතුය. ඔබ අතරෙහි ප්‍රථමයා වන්න ඕනෑ කරන යමෙක් සිටී නම්, ඔහු ඔබේ දාසයා විය යුතුය.”—මතෙව් 20:26, 27, NW.

8. සේවකයා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? අපට අපෙන්ම අසාගත හැක්කේ කුමන ප්‍රශ්නද?

8 බයිබලයේ “සේවකයා” ලෙස පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනයෙන් විස්තර කෙරෙන්නේ ඉතා උනන්දුවෙන් අත් නොහැර අන් අය වෙනුවෙන් සේවය කරන තැනැත්තෙකි. යේසුස් ඔහුගේ ගෝලයන්ට උගන්වමින් සිටියේ මෙම වැදගත් පාඩමයි. කෙනෙක් උතුම් වන්නේ දේවල් කරන්න මිනිසුන්ට අණ කිරීමෙන් නොව ප්‍රේමයෙන් පෙලඹී අන් අයට සේවය කිරීමෙනි. ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මම යාකොබ් හෝ යොහන් වුණා නම් මම ක්‍රියා කරනු ඇත්තේ කොහොමද? සැබෑ උතුම්කම අත් වන්නේ ප්‍රේමයෙන් පෙලඹී අන් අයට සේවය කිරීමෙන් බව මා තේරුම්ගනු ඇද්ද?’—1 කොරින්ති 13:3.

9. යේසුස් අනිත් අය සමඟ කටයුතු කිරීමේදී තැබූ ආදර්ශය කුමක්ද?

9 උතුම්කම පිළිබඳව ලෝකයේ ප්‍රමිතිය වන්නේ ක්‍රිස්තුස් ඔහුගේ ආදර්ශයෙන් තැබූ ප්‍රමිතිය නොවන බව ඔහු සිය ගෝලයන්ට පෙන්වා දුන්නේය. තමා ඔවුන්ට වඩා උසස් බව හෝ ඔවුන් තමාට වඩා පහත් බව හෝ යේසුස් තමා සේවය කළ අයට කිසිවිටෙක හැඟෙන්න සැලැස්සුවේ නැත. යේසුස් සමඟ සිටි අවස්ථාවලදී පුරුෂයන්, ස්ත්‍රීන්, ළමුන්, ධනවතුන්, දුප්පතුන්, බලවතුන් හා ප්‍රසිද්ධ පව්කාරයන් ඇතුළු සෑම තරාතිරමක මිනිසුන්ට හැඟුණේ පහසු බවකි. (මාර්ක් 10:13-16; ලූක් 7:37-50) දුර්වලකම් හා අඩු පාඩු තිබෙන අය සමඟ කටයුතු කරන විට බොහෝවිට මිනිසුන් තුළ ඉවසිලිවන්තකම දැකිය නොහැකියි. එනමුත් යේසුස් ඊට වඩා වෙනස්ය. සමහර අවස්ථාවලදී ඔහුගේ ගෝලයෝ දුර දිග නොසිතා දේවල් පැවසූහ. අඬ දබර කරගත්හ. එවැනි අවස්ථාවලදී ඔහු ඉවසිලිවන්තව ඔවුන්ට උපදෙස් දුන්නේය. එසේ කළේ තමන් ඇත්තටම යටහත් පහත් හා මෘදු පුද්ගලයෙක් බව ක්‍රියාවලින් පෙන්වා දීමෙනි.—සෙකරියා 9:9; මතෙව් 11:29; ලූක් 22:24-27.

10. යේසුස් අන් අය වෙනුවෙන් පරාර්ථකාමීව සේවය කළ කෙනෙකු බව ඔහුගේ මුළු ජීවන රටාවෙන් දැකගත හැකි වූයේ කෙසේද?

10 දෙවිගේ අතිඋසස් පුත්‍රයා තැබූ පරාර්ථකාමී ආදර්ශය මගින් සැබෑ උතුම්කම කියන්නේ කුමක්ද කියා දැකගත හැකි විය. යේසුස් පොළොවට පැමිණියේ සේවය ලබන්න නොව සේවය කරන්නයි. ඔහු “විවිධ රෝගවලින්” [NW] පෙළුණු අයව සුව කිරීමෙන් හා භූත ආත්ම දුරු කිරීමෙන් අන් අයට සේවය කළේය. වෙහෙසට පත් වූ අවස්ථාවලදී ඔහුට විවේකය අවශ්‍ය විය. එහෙත් ඔහු නිතරම තමන්ගේ අවශ්‍යතාවට වඩා අන් අයගේ අවශ්‍යතා මුල් තැනට දමමින් ඔවුන්ට සැනසිල්ල ගෙන දීමට හැකි සෑම දෙයක්ම කළේය. (මාර්ක් 1:32-34; 6:30-34; යොහන් 11:11, 17, 33) ජනයාට ආත්මික කාරණා කියා දීමටත් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා දූවිලි පාරවල් දිගේ කිලෝමීටර් සිය ගණනක් ගමන් කිරීමටත් ඔහු තුළ පෙලඹීමක් ඇති කළේ ප්‍රේමයයි. (මාර්ක් 1:38, 39) අන් අයට සේවය කිරීම අතිවැදගත් දෙයක් ලෙස යේසුස් සැලකූ බව නිසැකයි.

ක්‍රිස්තුස්ගේ යටහත් පහත්කම අනුකරණය කරන්න

11. සභාවේ අවේක්ෂකයන් හැටියට සේවය කිරීමට පත් කර තිබෙන සහෝදරයන්ගෙන් අපේක්ෂා කරන ගුණාංග මොනවාද?

11 එක්දහස් අටසිය ගණන්වල අවසාන භාගයේදී, දෙවිගේ ජනයාගේ අවශ්‍යතා ඉටු කරමින් සේවය කිරීම සඳහා සංචාරක නියෝජිතයන්ව තෝරාගනු ලැබූ විට ක්‍රිස්තියානි අවේක්ෂකයන් වර්ධනය කරගත යුතු නිවැරදි ආකල්පය අවධාරණය කරන ලදි. වර්ෂ 1894 සැප්තැම්බර් 1 සයන්ස් වොච් ටවර් සඟරාවේ සඳහන් වූ පරිදි, “මොළොක් ගුණය” එම පුරුෂයන්ගෙන් අපේක්ෂා කළ ගුණාංගයක් විය. ‘ඔවුන් අහංකාර අය නොවිය යුතුයි. තමන් ගැන නොව ක්‍රිස්තුස් ගැන දේශනා කරන යටහත් පහත් අය විය යුතුයි. තමන්ගේ දැනුම ප්‍රදර්ශනය කරන අය නොව, ක්‍රිස්තුස් දේශනා කළ වචනය සරලව හා බලපෑමෙන් යුතුව ප්‍රකාශ කරන අය විය යුතුයි.’ ක්‍රිස්තියානීන් කවදාවත් තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් ඉටු කරගැනීමේ අරමුණින් හෝ ප්‍රසිද්ධිය, බලය හා අන් අයව පාලනය කිරීමේ අවස්ථාව ලබාගැනීමේ අරමුණින් වගකීම් අත් කරගැනීමට වෑයම් නොකළ යුතු බව පැහැදිලියි. තමන් සතු වගකීම් ඉටු කිරීමෙන් තමන් “යහපත් වැඩක්” ඉටු කරනවා මිස එයින් තමන්ට ගෞරවය ගෙනෙන උසස් තනතුරක් නොලැබෙන බව යටහත් පහත් අවේක්ෂකයෙක් මතක තබාගනී. (1 තිමෝති 3:1, 2) සියලුම වැඩිමහල්ලන් හා සභා සේවකයන් යටහත් පහත්ව අන් අයට සේවය කිරීම සඳහා තමන්ගේ උපරිමය කළ යුතුයි. අන් අයට අනුකරණය කිරීම සඳහා හොඳ ආදර්ශයක් තබමින් පරිශුද්ධ සේවයෙහි පෙරමුණ ගත යුතුයි.—1 කොරින්ති 9:19; ගලාති 5:13; 2 තිමෝති 4:5.

12. සභාවේ සේවා වරප්‍රසාද අත් කරගැනීමට වෑයම් කරන අයට තමන්ගෙන්ම අසාගත හැකි ප්‍රශ්න මොනවාද?

12 වරප්‍රසාද අත් කරගැනීමට වෑයම් කරන ඕනෑම සහෝදරයෙක් තමන්ගෙන්ම මෙසේ අසාගැනීම හොඳයි. ‘මා අන් අයට සේවය කිරීම සඳහා ප්‍රස්තා සොයනවාද? නැත්නම් අන් අයගේ සේවය ලබාගැනීමේ නැඹුරුවාව මා තුළ තිබෙනවාද? අන් අයගේ අවධානයට පහසුවෙන් ලක් නොවන කාර්යයන් කිරීමට මම කැමතිද?’ උදාහරණයක් හැටියට, තරුණයෙක් සභාවේ කතා දීමට ආශා කළ හැකියි. එහෙත් ඔහු වයසක අයට උපකාර කිරීමට අදිමදි කළ හැකියි. ඔහු සභාවේ වගකීම් දරන අය සමඟ ඇසුරු කිරීමට ප්‍රිය කළත් දේශනා සේවයේ හවුල් වීමට වැඩි කැමැත්තක් නොදැක්විය හැකියි. එවැනි තරුණයෙක් තමන්ගෙන්ම මෙසේ අසාගත යුතුයි. ‘මම වැඩියෙන්ම සිත යොමු කරන්නේ දෙවිගේ සේවයෙහි මට ගෞරවය හා ප්‍රශංසාව ලැබෙන පැති කෙරෙහිද? මම අදිටන් කරගෙන සිටින්නේ අන් අය ඉදිරියෙහි කැපීපෙනෙන්නද?’ ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුගමනය කරන කෙනෙක් තමන්ටම ගෞරවය ලබාගැනීමට මං සොයන්නේ නැති බව නිසැකයි.—යොහන් 5:41.

13. (අ) යටහත් පහත්කම පිළිබඳ අවේක්ෂකයෙකුගේ ආදර්ශය අන් අයට බලපෑ හැක්කේ කෙසේද? (ආ) මනසින් යටහත් පහත්ව සිටීම ක්‍රිස්තියානීන් කැමති නම් පමණක් වර්ධනය කරගත යුතු ගුණාංගයක් නොවන බව පැවසිය හැක්කේ මන්ද?

13 ක්‍රිස්තුස් විදහාපෙන්වූ යටහත්කම අනුකරණය කිරීමට අප මහත් වෑයමක් දරන විට අන් අයට සේවය කිරීමට අප තුළ පෙලඹීමක් ඇති වේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක් ශාඛා කාර්යාලයක කටයුතු පරීක්ෂා කරමින් සිටි කලාපීය අවේක්ෂකයෙක් තැබූ ආදර්ශය සලකා බලන්න. කාර්යබහුල කාලසටහනක් තිබූ මොහුට වගකීම් රැසක් ඉටු කිරීමට තිබිණ. එහෙත් මේ අවේක්ෂකයා සඟරාවලට ස්ටෙපල් අමුණන මැෂිමක් නිසි ලෙස සකස් කිරීමට සෑහෙන උත්සාහයක් දරමින් සිටි යෞවන සහෝදරයෙක් දැක, ඔහුට උපකාර කිරීමට එතැන නතර විය. ඒ යෞවන සහෝදරයා එදා සිදු වූ දෙය මෙසේ සිහිපත් කරයි. “මම පුදුම වුණා! මේ සහෝදරයා තරුණ කාලයේ බෙතෙල් එකේ සේවය කරද්දී ඒ වගේ මැෂිමක් ක්‍රියාත්මක කළා කියා මට කිව්වා. ඒක හරියට සකස් කරගන්න එක ඔහුට කොච්චර අමාරු වුණාද කියා ඔහු මතක් කළා. ඔහුට වෙනත් වැදගත් වැඩ හුඟාක් තිබුණත් ඒ මැෂිම හරියට හදාගන්න ඔහු සෑහෙන වේලාවක් මාත් එක්ක ගත කළා. ඇත්තටම ඒක මගේ හිතට තදින්ම කාවැදුණා.” එදා ඒ තරුණ සහෝදරයා අද යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ එක් ශාඛා කාර්යාලයක අවේක්ෂකයෙක් හැටියට සේවය කරන අතර ඒ යටහත් පහත් ක්‍රියාව අද වගේ ඔහුට මතකයි. අපි උසස් අය නිසා යටහත් පහත් දේවල් කිරීම අපිට ගැළපෙන්නේ නැහැ කියා හෝ සුළු කාර්යයන් නොකර සිටීමට තරම් අපි වැදගත් අය කියා හෝ කවදාවත් නොසිතමු. “යටහත් පහත් මනසකින් යුක්තව” සිටීමට නිතරම සූදානම්ව සිටිමු. මෙය අප කැමති නම් පමණක් කළ යුතු දෙයක් නොවේ. මන්ද මෙය ක්‍රිස්තියානියෙකු පැළඳගත යුතු ‘අලුත් පෞද්ගලිකත්වයේ’ අංගයකි.—පිලිප්පි 2:3; කොලොස්සි 3:10, 12, NW; රෝම 12:16.

උතුම්කම පිළිබඳව ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය ඇති කරගත හැකි අයුරු

14. දෙවි සමඟත් සෙසු අය සමඟත් අප පවත්වනු ලබන සබඳතාව ගැන මෙනෙහි කිරීම, උතුම්කම ගැන නිවැරදි ආකල්පයක් ඇති කරගැනීමට අපට උපකාරවත් විය හැක්කේ කෙසේද?

14 උතුම්කම පිළිබඳව නිවැරදි ආකල්පයක් ඇති කරගැනීමට අපට හැක්කේ කෙසේද? එක් ආකාරයක් නම් යෙහෝවා දෙවි සමඟ අපේ සබඳතාව ගැන මෙනෙහි කිරීමයි. ඔහුගේ තේජෝමහිමය, බලය හා ප්‍රඥාව නිසා ඔහු සිටින්නේ දුර්වල මිනිසුන්ට කිසිසේත්ම ළඟා විය නොහැකි උසස් තත්වයකයි. (යෙසායා 40:22) සෙසු අය සමඟ අප පවත්වන සබඳතාව ගැන මෙනෙහි කිරීමද, යටහත් පහත් මනසක් ඇතුව සිටීමට අපට උපකාරවත් වේ. උදාහරණයක් හැටියට, අපි ඇතැම් ක්ෂේත්‍රවලින් අන් අයට වඩා ඉහළ මට්ටමක සිටිනවා විය හැකියි. එහෙත් ඔවුන් ජීවිතයේ වඩා වැදගත් පැතිවලින් අපට වඩා ඉහළ තත්වයක සිටිනවා විය හැකියි. එසේත් නැත්නම් අපට නැති ඇතැම් ගුණාංග අපේ ක්‍රිස්තියානි සහෝදරයන් තුළ තිබිය හැකියි. දෙවිගේ ඇස් හමුවෙහි අනර්ඝව සිටින බොහෝදෙනෙක් කැපීපෙනෙන්න තැත් කරන්නේ නැත. ඔවුන් එසේ නොකරන්නේ ඔවුන් මුදු මොළොක් හා යටහත් පහත් අය වන නිසාය.—හිතෝපදේශ 3:34; යාකොබ් 4:6.

15. අන් අයට වඩා තමන් උතුම් කෙනෙකු කියා සිතීමට කිසිවෙකුට කිසිම පදනමක් නැති බව දෙවිගේ ජනයා විශ්වාසවන්තභාවය අඛණ්ඩව රැකගෙන ඇති අයුරින් පෙනී යන්නේ කෙසේද?

15 තමන්ගේ ඇදහිල්ල නිසා පීඩාවලට මුහුණ දී තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අද්දැකීම්වලින් ඒ බව හොඳින් පැහැදිලි වේ. බොහෝ අවස්ථාවලදී දරුණු පරීක්ෂා හමුවෙහි දෙවි කෙරෙහි විශ්වාසය අඛණ්ඩව රැකගෙන තිබෙන්නේ ලෝකයේ මිනිසුන් සාමාන්‍ය අය හැටියට සැලකූ අයයි. යටහත් පහත් වීමටත් ‘අප ගැන පමණට වඩා ඉහළින් නොසිතීමටත්’ එවන් ආදර්ශ ගැන ගැඹුරින් සිතා බැලීම අපට උපකාරවත් වේ.—රෝම 12:3, NW. *

16. යේසුස් තැබූ ආදර්ශය අනුකරණය කරමින් උතුම්කම වර්ධනය කරගැනීමට සභාවේ සියලුදෙනාටම හැක්කේ කෙසේද?

16 තරුණ, බාල, මහලු සියලුම ක්‍රිස්තියානීන් උතුම්කම පිළිබඳව යේසුස් විදහාපෙන්වූ ආකල්පය වර්ධනය කරගැනීමට වෑයම් කළ යුතුයි. සභාව තුළ විවිධ කාර්යයන් කිරීමට තිබේ. පහත්යයි පෙනිය හැකි කාර්යයන් කිරීමට ඉල්ලා සිටියහොත් කවදාවත් ඒ ගැන අමනාප වන්න එපා. (1 සාමුවෙල් 25:41; 2 රාජාවලිය 3:11) දෙමාපියෙනි, රාජ්‍ය ශාලාවේදී හෝ එක්රැස්වීමකදී හෝ සමුළුවකදී හෝ ඔබේ ළාබාල දරුවන්ගෙන් හා තරුණ දරුවන්ගෙන් ඉල්ලා සිටිය හැකි ඕනෑම කාර්යයක් සතුටින් කිරීමට ඔබ ඔවුන්ව දිරිගන්වනවාද? පහත්යයි සිතන සාමාන්‍ය කාර්යයන් ඔබ කරනවා දරුවන් දකිනවාද? යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයක සේවය කරන සහෝදරයෙක් ඔහුගේ දෙමාපියන්ගේ ආදර්ශය සිහිපත් කරමින් මෙසේ පැවසුවේය. “ඔවුන් රාජ්‍ය ශාලාවේදී හෝ සමුළුවක් පැවැත්වූ ස්ථානයක හෝ කළ පිරිසිදු කිරීමේ වැඩවලින් මම තේරුම්ගත්තේ ඔවුන් ඒ වැඩය වැදගත් දෙයක් ලෙස සැලකූ බවයි. ඔවුන් සභාවට ප්‍රයෝජන ගෙන දෙන වැඩ කැමැත්තෙන්ම කරන්න ඉදිරිපත් වුණා. ඒ වැඩ වැදගත් නැතැයි කියා පෙනෙන්න තිබුණත් ඔවුන් ඒවා කැමැත්තෙන්ම කළා. බෙතෙල් එකේ මට පවරන ඕනෑම වැඩක් බාරගන්න ඒ ආකල්පය මට උපකාරවත් වෙලා තියෙනවා.”

17. යටහත් පහත් ස්ත්‍රීන් සභාවට ආශීර්වාදයක් වන්නේ කිනම් ආකාරවලින්ද?

17 තමන්ගේ කැමැත්තට වඩා අන් අයගේ ශුභසිද්ධියට මුල් තැන දීම සම්බන්ධයෙන් එස්තර් අපට කදිම ආදර්ශයක් සපයයි. ඇය ක්‍රි.පූ. පස්වන සියවසේදී පර්සියානු අධිරාජ්‍යයාගේ බිසව විය. ඇය රජමාලිගාවක ජීවත් වුවත් දෙවිගේ කැමැත්තට අනුව ක්‍රියා කරමින් ඔහුගේ සෙනඟ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා පරදුවට තැබීමට කැමති වූවාය. (එස්තර් 1:5, 6; 4:14-16) අද සිටින ක්‍රිස්තියානි ස්ත්‍රීන්ට ඔවුන්ගේ ආර්ථික තත්වය කුමක් වුවත් එස්තර්ට තිබුණා හා සමාන ආකල්පයක් විදහාපෙන්වමින් මානසිකව පීඩනයට පත් වී සිටින අයව දිරිමත් කළ හැකියි. අසනීප අයව බලන්න යා හැකියි. දේශනා සේවයේ හවුල් වීමටත් වැඩිමහල්ලන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් හැකියි. මෙවැනි යටහත් පහත් ස්ත්‍රීන් සභාවට මොන තරම් ආශීර්වාදයක්ද!

උතුම්කම පිළිබඳව ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය විදහාපෑමේ ආශීර්වාද

18. උතුම්කම පිළිබඳව ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය විදහාපෑමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

18 උතුම්කම පිළිබඳව ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය ඔබ දිගටම විදහාපාන විට ඔබ ඉන් බොහෝ ප්‍රයෝජන නෙළාගනු ඇත. පරාර්ථකාමී ලෙස අන් අයට සේවය කිරීමෙන් ඔවුන් මෙන්ම ඔබත් ප්‍රීතියක් ලබයි. (ක්‍රියා 20:35) ඔබේ සහෝදරයන් වෙනුවෙන් ඔබ කැමැත්තෙන්ම වෙහෙස මහන්සි වී සේවය කරද්දී ඔවුන් ඔබට බොහෝ සෙයින් ආදරය කරනු ඇත. (ක්‍රියා 20:37) වැදගත්ම දෙය වන්නේ සෙසු ක්‍රිස්තියානීන්ගේ ශුභසිද්ධිය වෙනුවෙන් ඔබ කරන දේවල් යෙහෝවා ඔහුට ප්‍රශංසාව ගෙනෙන ප්‍රසන්න පූජාවක් ලෙස සැලකීමයි.—පිලිප්පි 2:17.

19. උතුම්කම පිළිබඳව ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය සම්බන්ධයෙන් අපේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද?

19 අප එක් එක් කෙනා තම තමන්ගේ සිත් පරීක්ෂා කර බලමින් මෙසේ අසාගත යුතුයි. ‘උතුම්කම පිළිබඳව ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය වර්ධනය කරගැනීම, මා වචනවලට පමණක් සීමා කරගෙන සිටිනවාද? නැත්නම් එය ක්‍රියාවට නැඟීමට මා උනන්දුවෙන් ක්‍රියා කරනවාද?’ යෙහෝවා අහංකාර අයව සලකන ආකාරය පැහැදිලිව පෙන්වා දී ඇත. (හිතෝපදේශ 16:5; 1 පේතෘස් 5:5) උතුම්කම පිළිබඳව ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය විදහාපෙන්වීමට අපි සන්තෝෂයෙන් සිටින බව අපේ ක්‍රියාවලින් පෙන්වමු. ක්‍රිස්තියානි සභාවේදී වේවා, අපේ පවුලේදී වේවා, අන් අය සමඟ එදිනෙදා කරන කටයුතුවලදී වේවා අපි කරන සෑම දෙයක්ම දෙවිගේ මහිමය හා ප්‍රශංසාව සඳහා කරමු.—1 කොරින්ති 10:31.

[පාදසටහන්වල]

^ 5 ඡේ. වර්ෂ 1982 මැයි 1 මුරටැඹ සඟරාවේ 3-6 පිටුවල පළ වූ “සාර්ථකත්වය සොයා” නමැති ලිපිය බලන්න.—සිංහලෙන් නැත.

^ 15 ඡේ. මේ පිළිබඳව ආදර්ශ සඳහා 1992 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ (සිංහලෙන් නැත) 181 සහ 182 පිටු හා 1993 සැප්තැම්බර් 1 මුරටැඹ සඟරාවේ 27-31 දක්වා පිටු බලන්න.

ඔබට පැහැදිලි කළ හැකිද?

• උතුම්කම පිළිබඳව ලෝකයේ ආකල්පයෙන් අප වැළකී සිටිය යුත්තේ මන්ද?

• යේසුස් උතුම්කම මැන්නේ කෙසේද?

• ක්‍රිස්තුස් පෙන්වූ යටහත් පහත්කම අනුකරණය කිරීමට අවේක්ෂකයන්ට හැක්කේ කෙසේද?

• උතුම්කම පිළිබඳව ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය වර්ධනය කරගැනීමට අපට උපකාරවත් විය හැක්කේ මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ කොටුව]

උතුම්කම ගැන ක්‍රිස්තුස්ට තිබූ ආකල්පය තිබෙන්නේ කාටද?

සේවය ලබන්න කැමති කෙනා තුළද නැත්නම් සේවය කරන්න කැමති කෙනා තුළද?

කැපීපෙනෙන්න වැඩි කැමැත්තක් දක්වන කෙනා තුළද නැත්නම් යටහත් පහත් වැඩ කරන්න කැමති කෙනා තුළද?

තමන්ව උසස් කරගන්න කෙනා තුළද නැත්නම් අන් අයව උසස් ලෙස සලකන කෙනා තුළද?

[14වන පිටුවේ පින්තූරය]

තුන්වන පාරාවෝ ආමන්හොටෙප්ගේ දැවැන්ත පිළිරුවක්

[15වන පිටුවේ පින්තූරය]

හාමාන්ගේ වැටීමට හේතු වූයේ කුමක්ද කියා ඔබ දන්නවාද?

[16වන පිටුවේ පින්තූර]

ඔබ අන් අයට සේවය කිරීමට ප්‍රස්තා සොයනවාද?