Skip to content

පටුනට යන්න

ගණන් කථාව පොතෙන් විශේෂාංග

ගණන් කථාව පොතෙන් විශේෂාංග

යෙහෝවාගේ වචනය ජීවමානය

ගණන් කථාව පොතෙන් විශේෂාංග

ඊජිප්තුවෙන් නික්ම ගියායින් පසුව ඊශ්‍රායෙලිතයන්ව ජාතියක් ලෙසට සංවිධානය කරන ලදි. ඉන් වැඩි කලක් යන්නට මත්තෙන් පොරොන්දු දේශයට ඇතුල් වීමේ ප්‍රස්තාව ඔවුන් ඉදිරියේ තිබිණ. එනමුත් ඇතුල් වීමට ඔවුන්ට නොහැකි විය. ඒ වෙනුවට දශක සතරකට ආසන්න කාලයක් පුරා ‘මහත් භයංකර කාන්තාරයක’ සැරිසරන්නට ඔවුන්ට සිදු විය. (ද්විතීය කථාව 8:15) ඒ මන්ද? ගණන් කථාව නමැති බයිබල් පොතෙහි සඳහන් ඓතිහාසික වාර්තාව අපට හේතු සපයයි. යෙහෝවා දෙවිට කීකරු වීමේ අවශ්‍යතාවද, ඔහුගේ නියෝජිතයන්ට ගෞරවය දැක්වීමේ අවශ්‍යතාවද එම වාර්තාවෙන් අපට තහවුරු විය යුතුය.

මෙම පොත ලියන ලද්දේ මෝසෙස් විසිනි. එය ලිව්වේ ඔහු මෝවබ් මිටියාවතෙහි සිටිද්දීය. ගණන් කථාව නමැති පොතෙහි වසර 38කුත් මාස 9ක කාල පරිච්ඡේදයක් ආවරණය කෙරේ. එනම්, ක්‍රි.පූ. 1512 සිට ක්‍රි.පූ. 1473 දක්වා කාල පරිච්ඡේදයයි. (ගණන් කථාව 1:1; ද්විතීය කථාව 1:3) ඒ කාලය අතරතුරේදී ඊශ්‍රායෙලිතයන්ගේ ජන සංගණන දෙකක් සිදු කෙරිණ. දෙවන එක සිදු කළේ පළමු සංගණනයෙන් වසර 38කට පසුවය. ගණන් කථාව යන නාමය එම පොතට දී ඇත්තේ මෙම සංගණන නිසාය. (1-4, 26 පරිච්ඡේද) එම පොතේ කතා වස්තුව කොටස් තුනකට බෙදා ඇත. මුල්ම කොටසෙහි සඳහන් වන්නේ සීනයි කන්දේදී සිදු වූ දේවල්ය. ඊශ්‍රායෙල් ජාතිය පාළුකරයෙහි සැරිසරද්දී සිදු වූ දේවල් දෙවන කොටසෙහි ආවරණය කෙරේ. අවසාන කොටසෙහි මෝවබ් මිටියාවතෙහි සිදුවීම් සඳහන් වේ. මෙම පොතෙහි වාර්තා වී ඇති දේවල් කියවද්දී ඔබෙන්ම මෙවැනි ප්‍රශ්න අසාගැනීම යෝග්‍ය වේ. ‘මෙම සිද්ධීන්වලින් මට ඉගෙනගත හැක්කේ මොනවාද? අද දින මට ප්‍රයෝජනවත් විය හැකි ප්‍රතිපත්ති මෙම පොතෙහි සඳහන් වී තිබෙනවාද?’

සීනයි කන්දේදී

(ගණන් කථාව 1:1–10:10)

මුල්ම සංගණනය සිදු වන්නේ ඊශ්‍රායෙලිතයන් සීනයි කන්ද පාමුල සිටින විටදීය. ලෙවීවරුන් හැර අවුරුදු 20ක් හා ඊට වැඩි වයසක සිටි පුරුෂයන්ගේ ගණන 6,03,550කි. පෙනෙන විදිහට මෙම සංගණනය සිදු කරන්නේ හමුදාවට කීදෙනෙකු බඳවාගත හැකිදැයි දැනගැනීම පිණිසය. ස්ත්‍රීන්, දරුවන් සහ ලෙවීවරුන් ඇතුළුව මුළු සමූහයාගේ ගණන මිලියන තුනක් ඉක්මවා යා හැකිය.

මෙම සංගණනයෙන් පසුව ගමන් පිළිවෙළ සම්බන්ධයෙන් උපදෙස්ද, ලෙවීවරුන්ගේ රාජකාරීන් හා මණ්ඩපයේ සේවය පිළිබඳව තොරතුරුද ඊශ්‍රායෙල්වරුන්ට ලැබේ. එමෙන්ම බෝ වන රෝගයක් වැලඳුණහොත් වෙන් කර රඳවා තැබීම හා සම්බන්ධ ආඥා, ඊර්ෂ්‍යාවක් (කාම ක්‍රෝධයක්) ඇති වේ නම්, ඒ සම්බන්ධයෙන් පැනනඟින ප්‍රශ්න නිරාකරණය කිරීමට නීති සහ නසරීතවරුන් විසින් කරන ලද භාර ගැන විස්තර ඊශ්‍රායෙලිතයන්ට දෙන ලදි. පූජාසනයේ පූජා ඔප්පු කිරීමේ කටයුත්ත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගෝත්‍රික මුලාදෑනීන් ඔප්පු කළ දේවල් පිළිබඳව තොරතුරුද 7වන පරිච්ඡේදයෙහි අන්තර්ගත වී ඇත. නවවන පරිච්ඡේදයේ පාස්කුව සමරන අයුරු සාකච්ඡා කෙරේ. කඳවුරු ගසාගන්නා අයුරු හා කඳවුරු ගලවා පිටත්ව යන අයුරු ගැන උපදෙස්ද ඊශ්‍රායෙල් සමූහයාට දෙන ලදි.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

2:1, 2පාළුකරයේ කූඩාරම් ගසාගැනීමේදී ගෝත්‍ර තුනකින් යුත් කොට්ඨාස තම කූඩාරම් ගසාගත්තේ කවර විශේෂ “ලකුණු” යොදාගෙනද? මෙම ලකුණු මොනවාද යන්න පිළිබඳව විස්තරයක් බයිබලයෙහි දී නැත. කෙසේනමුත්, ඒවා පරිශුද්ධ ලාංඡන ලෙසවත්, පූජනීය දේවල් ලෙසවත් නොසලකන ලදි. එම ලකුණු හෙවත් ධජ භාවිත කරන ලද්දේ පුද්ගලයෙකුට තමා වාසය කරන කූඩාරම පහසුවෙන් සොයාගැනීමට උපකාරයක් ලෙසය.

5:27පරදාර සේවනයේ යෙදීමේ වරදට හසු වූ භාර්යාවකගේ ‘කළවය ක්ෂය වීමෙන්’ අදහස් වන්නේ කුමක්ද? මෙහිදී “කළවය” යන වචනය භාවිත කරන්නේ ප්‍රජනනේන්ද්‍රියන් නියෝජනය කිරීමටය. (උත්පත්ති 46:26) ‘ක්ෂය වීමෙන්’ අදහස් කරන්නේ පිළිසිඳගැනීමක් සිදු විය නොහැකි තරමට එම ඉන්ද්‍රියයන් දුර්වල වී ඇති බවයි.

අපට ගත හැකි පාඩම්:

6:1-7. මිදිවලින් සාදාගත් නිෂ්පාදනවලින් හා සියලුම මත් කරවනසුලු බීමවලින් වැළකී සිටීම නසරීතවරුන්ගෙන් බලාපොරොත්තු විය. මේ සඳහා පරිත්‍යාගයන් කිරීමට ඔවුන්ට සිදු විය. ඔවුන්ගේ හිසකෙස් ස්ත්‍රියකගේ මෙන් දිගුව වැඩෙන්නට හැරිය යුතු විය. ස්ත්‍රීන් තම ස්වාමිපුරුෂයන්ට හෝ පියවරුන්ට යටත්ව සිටිය යුතුවාක් මෙන්, මෙම අවශ්‍යතාව නසරීතවරුන් යෙහෝවාට යටත් බවට සංකේතයක් විය. කිට්ටු නෑදෑයෙකුගේ මළ සිරුර ඇතුළුව සියලුම මළ සිරුරු ස්පර්ශ නොකිරීමෙන් නසරීතවරුන් තම පවිත්‍රතාව රැකගත යුතු විය. ආත්ම පරිත්‍යාගශීලී ස්වභාවයක් විදහාපෑමෙන් හා යෙහෝවාටත් ඔහුගේ විධිවිධානවලටත් යටත්ව සිටීමෙන් වත්මන් පූර්ණ-කාලීන සේවකයෝ එම ආදර්ශය අනුකරණය කරති. සමහරදෙනෙකුට දුර රටක සේවය කිරීමේ පැවරුමක් ලැබිය හැක. පවුලේ සාමාජිකයෙකු මිය ගියහොත් මිය ගිය පුද්ගලයාගේ අවමංගල්‍යයට යෑම දුෂ්කර දෙයක් විය හැක. එසේ නැතහොත් කොහෙත්ම යෑමට බැරි විය හැක.

8:25, 26. යම් වයස් සීමාවකට එළඹීමෙන් අනතුරුව සිය අනිවාර්ය සේවයෙන් විශ්‍රාමගැනීමට ලෙවීවරුන්ට අණ කර තිබිණ. එසේ කළේ ලෙවීවරුන්ගේ සේවාවන් නිසි ලෙස ඉටු වනු සඳහායි. එමෙන්ම වයසින් වැඩි පුරුෂයන්ගේ සීමාවන්ද සැලකිල්ලට ගන්නා ලදි. කෙසේවෙතත්, වෙනත් ලෙවීවරුන්ගේ සහයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට ඔවුන්ට හැකිකම තිබිණ. අද දින රාජ්‍යයේ ප්‍රකාශකයෙකු ලෙස කරන කාර්යයෙන් විශ්‍රාමගැනීමක් නැත. එනමුත් මෙම නීතියට සම්බන්ධ ප්‍රතිපත්තියෙන් වැදගත් පාඩමක් උගත හැක. මහලු විය නිසා එක්තරා ක්‍රිස්තියානියෙකුට සභාවේ යම් වගකීම් ඉටු කිරීම අසීරු වේ නම්, තමාගේ හැකියාවට අනුව යම් සේවයක් කිරීමට ඔහුට පුළුවන.

පාළුකරයේ තැනින් තැන යමින්

(ගණන් කථාව 10:11–21:35)

යම් කලකට පසුව මණ්ඩපයට ඉහළින් තිබෙන වලාකුළ ඉහළට නඟින විට ඊශ්‍රායෙලිතයෝ සිය ගමන ආරම්භ කරති. මෙම ගමන කෙළවර වන්නේ මෝවබ් කාන්තාරයේ තැනිතලාවේදීය. එනම් වසර 38කුත් මාසයක් හෝ දෙකක් ගතවීමෙන් පසුවය. ඔවුන් ගිය ගමන යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ යන විවරණිකාවේ 9වන පිටුවේ තිබෙන සිතියමෙන් දැකගත හැකි වේ.

පාරාන් පාළුකරය මැදින් කාදෙෂ් බලා යන අතරතුරේදී අඩුම තරමින් තුන් වරක්වත් ජනයාගේ මැසිවිලි අසන්ට ලැබිණ. මුල්ම මැසිවිල්ල නවත්වන්නේ ජනයාගෙන් සමහරදෙනෙකුව දවා දැමීම සඳහා යෙහෝවා විසින් ගින්නක් එවනු ලැබීමෙන්ය. ඉන් අනතුරුව මස් කෑමට මොරගසන ඊශ්‍රායෙලිතයන්ට පිළිතුරු සපයමින් යෙහෝවා වටුවන් සපයයි. අවසානයේදී මෝසෙස්ට විරුද්ධව මිරියාම් සහ ආරොන් නඟන මැසිවිල්ලක ප්‍රතිඵලයක් ලෙස මිරියාම් තාවකාලිකව ලාදුරු රෝගියෙකු බවට පත් වෙයි.

කාදෙෂ්හි කූඩාරම් ගසා සිටින කාලයේදී, පොරොන්දු දේශයේ ඔත්තු බැලීම සඳහා මෝසෙස් පුරුෂයන් 12දෙනෙකුව යවයි. ඔවුහු දින 40කට පසුව ආපසු පැමිණෙති. ඔත්තුකාරයන් දසදෙනෙකුගේ අශුභදායී වාර්තාව විශ්වාස කරන ජනයා මෝසෙස්ට, ආරොන්ට සහ විශ්වාසවන්ත ඔත්තුකාරයන් දෙදෙනා වන යෝෂුවා හා කාලෙබ්ට ගල් ගැසීමට කල්පනා කරති. ජනයා අතර වසංගතයක් පැතිරවීමට තමන් අදහස් කරගෙන සිටින බව යෙහෝවා පැවසුවද මෝසෙස් එසේ නොකරන ලෙස ඔහුගෙන් අයැද සිටියි. අනතුරුව සංගණනයට ඇතුළත් වූ අය මිය යන තෙක් වසර 40ක් පුරා පාළුකරයේ සැරිසරන්නට ඔවුන්ට සිදු වන බව දෙවි ප්‍රකාශ කරයි.

යෙහෝවා විසින් අමතර රෙගුලාසිද දෙනු ලබයි. කෝරා සහ වෙනත් කැරලිකරුවන් මෝසෙස් සහ ආරොන්ට විරුද්ධව කැරලිගසන විට, එම කැරලිකරුවන්ගෙන් සමහරෙක් ගින්නෙන් විනාශ වෙති. පොළොව ඉතිරි කැරලිකරුවන්ව ගිලගනියි. ඊළඟ දිනේදී මුළු සමූහයාම මෝසෙස් සහ ආරොන්ට විරුද්ධව කොඳුරති. ප්‍රතිඵලයක් ලෙස යෙහෝවා ගෙනෙන වසංගතයකින් 14,700දෙනෙක් මිය යති. උත්තම පූජකයා ලෙස තමන් තෝරාගෙන තිබෙන්නේ කවුදැයි දැන්වීම පිණිස ආරොන්ගේ සැරයටියෙන් දළු දැමීමට යෙහෝවා සලස්වයි. අනතුරුව ලෙවීවරුන්ගේ යුතුකම් සහ ජනයාව පවිත්‍ර කිරීම සම්බන්ධයෙන් යෙහෝවා තවත් නීතිද සපයයි. රතු වැස්සියකගේ අළු භාවිතයෙන් පිළිබිඹු වන්නේ යේසුස්ගේ පූජාව තුළින් අප පවිත්‍ර වන අන්දමයි.—හෙබ්‍රෙව් 9:13, 14.

ඊශ්‍රායෙල් පුත්‍රයන් නැවතත් කාදෙෂ්හි කඳවුරු ගසාගන්නා අතර, එහිදී මිරියාම් මිය යයි. නැවතත් සමූහයා මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව මැසිවිලි නඟයි. ඊට හේතුව? වතුර හිඟයකි. ප්‍රාතිහාර්යයක් මාර්ගයෙන් වතුර සපයන අතරතුරේදී යෙහෝවාගේ නාමය විශුද්ධ කිරීමට මෝසෙස් සහ ආරොන් අපොහොසත් වෙති. එම නිසා, පොරොන්දු දේශයට ඇතුල් වීමේ වරප්‍රසාදය ඔවුන්ට අහිමි වේ. ඊශ්‍රායෙලිතයන් කාදෙෂ් අත්හැර යන අතර, ආරොන් හෝර් කන්දේදී මිය යයි. ඒදොම් දේශය වටා ගමන් කරද්දී ඊශ්‍රායෙලිතයෝ විඩාවට පත් වී දෙවි සහ මෝසෙස්ට විරුද්ධව කතා කරති. ඔවුන්ට දඬුවම් කිරීම සඳහා යෙහෝවා විෂකුරු සර්පයන් ඔවුන් අතරට යවයි. මෙහිදී නැවතත් මෝසෙස් මැදිහත් වී, දෙවිගේ උපදෙස් පරිදි තඹ සර්පයෙකු සාදා එය කණුවක සවි කරයි. සර්පයන් දෂ්ට කළ අය එය දෙස බැලුවහොත් ඔවුන්ට සුවයක් ලබාගත හැකි බව යෙහෝවා පැහැදිලි කරයි. එම තඹ සර්පයාගෙන් නියෝජනය වන්නේ අපට සදාකාලික ප්‍රයෝජන ගෙන දෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්ව වධකණුවක් මත එල්ලා මරණයට පත් කිරීමයි. (යොහන් 3:14, 15) ඊශ්‍රායෙල් ජාතිය සීහොන් සහ ඕග් යන අමෝරී රජවරුන් පරාජය කොට ඔවුන්ගේ දේශ නතු කරගනිති.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

12:1—මිරියාම් සහ ආරොන් මෝසෙස්ට විරුද්ධව මැසිවිලි නැඟුවේ මන්ද? ඔවුන්ගේ මැසිවිල්ලට සැබෑ හේතුව වැඩි බලතල ලබාගැනීම සඳහා මිරියාම් තුළ තිබූ ආශාව බව පෙනේ. මෝසෙස්ගේ බිරිඳ වූ ශිප්පොරා පාළුකරයේදී ඔහු හා නැවත එක් වූ විට, මිරියාම් සිතන්නට ඇත්තේ තමා තවදුරටත් කාන්තාවන් අතුරින් ප්‍රධානියා ලෙස සමූහයා නොසලකයි කියාය.—නික්මයාම 18:1-5.

12:9-11මිරියාම්ට පමණක් ලාදුරු රෝගය වැලඳුණේ මන්ද? බොහෝදුරට, මැසිවිලි නඟන්නට පටන්ගත්තේ ඇයයි. එමෙන්ම ඇය ආරොන්වත් ඊට සම්බන්ධ කරගන්නට ඇත. තම වරද පිළිගැනීමෙන් ආරොන් නිසි ආකල්පය පෙන්නුම් කළේය.

21:14, 15—මෙහිදී සඳහන් කරන පොත කුමක්ද? බයිබල් ලේඛකයන් තොරතුරු මූලාශ්‍ර ලෙස භාවිත කළ නොයෙකුත් පොත් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ව ඇත. (යෝෂුවා 10:12, 13; 1 රාජාවලිය 11:41; 14:19, 29) මීට ‘යෙහෝවාගේ යුද්ධ පොත’ ඇතුළත් විය. යෙහෝවාගේ සෙනඟ කළ යුද්ධ පිළිබඳව ඓතිහාසික වාර්තාවක් එහි අන්තර්ගත විය.

අපට ගත හැකි පාඩම්:

11:27-29. යෙහෝවාගේ සේවයේදී වෙනත් අයට වරප්‍රසාද ලැබෙන විට අප ප්‍රතිචාරය දැක්විය යුතු අයුරු සම්බන්ධයෙන් මෝසෙස් තබන්නේ විශිෂ්ට ආදර්ශයකි. ඊර්ෂ්‍යාවෙන් තමාට පමණක් ගෞරවය ලබාගන්නට උත්සාහ කරනවා වෙනුවට, එල්දාද් සහ මේදාද් අනාගතවක්තෲන් ලෙස ක්‍රියා කරනවා මෝසෙස්ට ආරංචි වූ විට ඔහු සතුටු විය.

12:2, 9, 10; 16:1-3, 12-14, 31-35, 41, 46-50. දෙවිගෙන් ලද අධිකාරයට ගෞරව කිරීම යෙහෝවා ඔහුගේ නමස්කාරකයන්ගෙන් බලාපොරොත්තු වෙයි.

14:24. වැරදි දේවල් කිරීමට ලෝකයෙන් එල්ල වන පීඩනවලට එරෙහිව සිටීම සඳහා අතිශයින් වැදගත් කාරණයක් වන්නේ “වෙන ආකාර සිතක්” හෙවත් මානසික ආකල්පයක් ඇති කරගැනීමයි. එය මෙම ලෝකයට සමාන නොවන ආකාරයේ ආකල්පයක් විය යුතුය.

15:37-41. ඊශ්‍රායෙලිතයන්ගේ වස්ත්‍රවල සුවිශේෂ වූ වාටිය ඔවුන්ට මතක් කර දුන්නේ ඔවුන් දෙවිට නමස්කාර කිරීම සහ ඔහුගේ ආඥාවලට කීකරු වීම සඳහා වෙන් කරන ලද සෙනඟක් වූ බවයි. අපත් දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙමින්, මෙම ලෝකයේ මිනිසුන්ට වඩා වෙනස් අය මෙන් පෙනී සිටිය යුතු නැද්ද?

මෝවබ් සමභූමිවල

(ගණන් කථාව 22:1–36:13)

ඊශ්‍රායෙල් පුත්‍රයන් මෝවබ් සමභූමිවල කූඩාරම් ගසාගන්නා විට මෝවබ්වරු ඔවුන් ගැන අතිශයින් භයපත් වෙති. එම නිසා ඊශ්‍රායෙල් ජාතියට ශාප කිරීම සඳහා මෝවබ් රටේ බාලාක් රජ බාලාම්ගේ උපකාරය මුදලට ලබාගනියි. එනමුත් යෙහෝවාගේ මැදිහත් වීම නිසා බාලාම් කරන්නේ ඔවුන්ට ආශීර්වාද කිරීමයි. ඉන් අනතුරුව ඊශ්‍රායෙල් පුරුෂයන්ව දුරාචාරයට හා රූප වන්දනාවට හසු කරගැනීම සඳහා මෝවබ් හා මිදියන් ජාතික කාන්තාවන්ව යොදාගනු ලැබේ. ප්‍රතිඵලයක් ලෙස යෙහෝවා එම වැරදිවලට හසු වන 24,000දෙනෙකුව විනාශ කරයි. යෙහෝවාට එරෙහිව පැමිණෙන ඕනෑම එදිරිවාදිකමක් තමන් නුරුස්සන බව පීනෙහාස් පැහැදිලිව පෙන්නුම් කරන විට ජනයා පිට පැමිණි වසංගතය අවසන් වේ.

සංගණනයක් දෙවන වරටත් සිදු කෙරේ. ඉන් හෙළි වන්නේ යෝෂුවා සහ කාලෙබ් හැර මුල් සංගණනයේදී ගණන් කළ කිසිදු පුරුෂයෙකු ජීවතුන් අතර නැති බවය. මෝසෙස් වෙනුවට නායකයා වීමේ පැවරුම යෝෂුවාට ලැබේ. නොයෙකුත් පූජා ඔප්පු කිරීම සම්බන්ධයෙනුත් භාර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනුත් ඊශ්‍රායෙලිතයෝ උපදෙස් ලබති. ඊශ්‍රායෙල් ජනතාව මිදියන්වරුන්ගෙන් පළිගනිති. රූබෙන් සහ ගාද් යන ගෝත්‍ර මෙන්ම අර්ධ ගෝත්‍රය වන මනස්සේ ගෝත්‍රයද පදිංචි වන්නේ යොර්දාන් ගඟට නැඟෙනහිරින්ය. යොර්දාන් ගඟින් එගොඩ වීම සම්බන්ධයෙනුත්, දේශය අත් පත් කරගන්නා අන්දම සම්බන්ධයෙනුත් ඊශ්‍රායෙල් ජාතියට උපදෙස් ලැබේ. දේශ සීමා පැහැදිලිව දැක්වේ. දේශයේ යම් ප්‍රදේශයක් උරුමයක් වශයෙන් ලබා දෙන්නේ කාටද යන්න තීරණය වූයේ පස ඇට දැමීමෙන්ය. ලෙවීවරුන්ට නුවරවල් 48ක් පවරනු ලබන අතර, ඉන් 6ක් ආරක්ෂා නුවරවල් ලෙස පිහිටුවනු ලැබේ.

ශුද්ධ ලියවිලිමය ප්‍රශ්නෝත්තර:

22:20-22යෙහෝවාගේ උදහස බාලාම්ට විරුද්ධව ඇවිළෙන්නේ මන්ද? දෙවි අනාගතවක්තෘ බාලාම්ට පවසා තිබුණේ ඊශ්‍රායෙලිතයන් පිට ශාපයක් ප්‍රකාශ නොකරන ලෙසටයි. (ගණන් කථාව 22:12) එනමුත් බාලාක් එවූ පුරුෂයන් සමඟින් ගිය එම අනාගතවක්තෘවරයා අදිටන් කරගෙන සිටියේ ඊශ්‍රායෙල් ජාතිය පිට ශාපයක් ප්‍රකාශ කිරීමටය. මෝවබ් ජාතික රජුව සතුටට පත් කර ඔහුගෙන් යම් ත්‍යාගයක් ලබාගැනීමේ යටි අරමුණක් බාලාම්ට තිබිණ. (2 පේතෘස් 2:15, 16; යූද් 11) ඊශ්‍රායෙල් ජාතියට ශාප කරනවා වෙනුවට ඔවුන්ට ආශීර්වාද කිරීමට බාලාම්ට බල කළ විට, ඔහු රජුගේ සිත දිනාගැනීමට යෝජනාවක් ඉදිරිපත් කරයි. එය නම් ඊශ්‍රායෙල් පුරුෂයන්ව වරදට පෙලඹවීම සඳහා බාල්ට නමස්කාර කරන ස්ත්‍රීන්ව ඇමක් ලෙස යොදාගැනීමයි. (ගණන් කථාව 31:15, 16) මෙම ක්‍රියාවලින් පෙනී යන්නේ බාලාම් කිසිදු ප්‍රතිපත්තියකට ගරු නොකළ ගිජු පුද්ගලයෙකු බවයි. දෙවි එම අනාගතවක්තෘවරයා කෙරෙහි උදහස් වූයේ එම නිසාය.

30:6-8තම භාර්යාව පොරොන්දුවක් හෝ බාරයක් වන විට එය අවලංගු කිරීමට ක්‍රිස්තියානි පුරුෂයෙකුට හැකිද? පොරොන්දු හෝ බාර සම්බන්ධයෙන් දෙවි වර්තමානයේ තම නමස්කාරකයන් සමඟ ක්‍රියා කරන්නේ පෞද්ගලික මට්ටමින්ය. නිදසුනකට යෙහෝවාට කැපවීම පෞද්ගලික පොරොන්දුවකි නැතහොත් බාර වීමකි. (ගලාති 6:5) එවැනි බාරයක් අවලංගු කිරීමට හෝ පහ කිරීමට බලතල ස්වාමිපුරුෂයෙකුට නැත. එනමුත් දෙවිගේ වචනය හා ගැටෙන හෝ තම ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් ඉටු කළ යුතු වගකීම් හා ගැටෙන බාරයක් වීමෙන් භාර්යාවක් වැළකී සිටිය යුතුය.

අපට ගත හැකි පාඩම්:

25:11. යෙහෝවාගේ නමස්කාරය උදෙසා දැවෙන උද්‍යෝගයකින් (ජ්වලිතයකින්) කටයුතු කිරීම සම්බන්ධයෙන් පීනෙහාස් අපට තබන්නේ කදිම ආදර්ශයකි. බරපතළ දුරාචාරමය ක්‍රියා සභාවේ සිදු වන බව අපට දැනගන්නට ලැබී ඇත්නම් සභාව පවිත්‍රව තබාගැනීමේ ආශාව නිසා එය ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට දන්වන්නට අප තුළ පෙලඹීමක් ඇති විය යුතු නොවේද?

35:9-29. අත්වැරැද්දෙන් යමෙකු මරන තැනැත්තා තම නිවස අත්හැර ආරක්ෂා නුවරකට ගොස් යම් කලක් වාසය කිරීමේ අවශ්‍යතාවෙන් අප ඉගෙනගන්නේ ජීවිතය පරිශුද්ධ දෙයක් බවත්, ඊට අප ගෞරව කළ යුතු බවත්ය.

35:33. අහිංසක අයගේ ලෙයින් නැහැවුණු පොළොවට වන්දි ගෙවිය හැක්කේ එම ලේ හැළූ අයගේ ලේ හැළීමෙනි. පොළොව පාරාදීසයක් වෙන්නට කලින් යෙහෝවා විසින් දුෂ්ටයන්ව විනාශ කරනු ලැබීම මොන තරම් යෝග්‍යද!—හිතෝපදේශ 2:21, 22; දානියෙල් 2:44, 45.

දෙවිගේ වචනය බලවත්ය

අප යෙහෝවාට සහ ඔහුගේ ජනයා අතර වගකීම් දැරීමට පත් කර තිබෙන අයට ගෞරව කළ යුතුය. මෙම සත්‍යතාව ගණන් කථාව පොතෙන් තව තවත් තහවුරු වේ. අද දින සභාවෙහි සාමය හා සමඟිය පවත්වාගැනීම සඳහා එය මොන තරම් වැදගත් පාඩමක් කියා දෙයිද!

තම ආත්මිකත්වය නොසලකාහරින අය මැසිවිලි නැඟීම, දුරාචාරය සහ රූප වන්දනාව වැනි වැරදිවලට කොතරම් ලෙහෙසියෙන් වැටිය හැකිද යන්න ගණන් කථාවෙහි විස්තර කර ඇති සිද්ධීන්වලින් පෙනී යයි. මෙම බයිබල් පොතෙහි සඳහන් ඇතැම් උදාහරණ හා පාඩම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සේවා රැස්වීමේදී සභා අවශ්‍යතා යටතේ සාකච්ඡා කිරීමට පදනමක් ලෙස යොදාගත හැක. “දෙවිගේ වචනය” අපගේ ජීවිතයෙහි “ජීවමානය, බලවත්ය” යන කාරණය මැනවින් තහවුරු වේ.—හෙබ්‍රෙව් 4:12, NW.

[24, 25වන පිටුවේ පින්තූර]

මණ්ඩපයට ඉහළින් වලාකුළක් ආශ්චර්යවත් ලෙස තැබීමෙන් ඊශ්‍රායෙල් ජනයා කඳවුරු ගසාගත යුතු අවස්ථාව හා ඉවත් කළ යුතු අවස්ථාව සම්බන්ධයෙන් යෙහෝවා මඟ පෙන්වීම් දුන්නේය

[26වන පිටුවේ පින්තූර]

යෙහෝවා අපගේ දෙවි නිසා ඔහුට කීකරු වීම යෝග්‍යය. එමෙන්ම ඔහුගේ නියෝජිතයන්ට ගරු කිරීම ඔහු අපගෙන් බලාපොරොත්තු වේ