Skip to content

පටුනට යන්න

දෙවිගේ රාජාණ්ඩුව අද දින සැබෑවක් වී ඇත

දෙවිගේ රාජාණ්ඩුව අද දින සැබෑවක් වී ඇත

දෙවිගේ රාජාණ්ඩුව අද දින සැබෑවක් වී ඇත

“සංවර්ධනයේ විවිධ මට්ටම්වල පවතින නොයෙක් සංස්කෘතීන්ගෙන් සමන්විත රටවල් බොහොමයකට එකඟතාවකට ඒමට හැකි වන්නේ කෙසේද? මිනිස් සංහතිය එක්සත් වනු ඇත්තේ වෙනත් ග්‍රහයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් පමණක් බව පැවසේ.”—ඕස්ට්‍රේලියානු පුවත්පතක් වන දි ඒජ්.

වෙනත් ග්‍රහයෙකුගෙන් ප්‍රහාරයක්? එය මිහිපිට වෙසෙන සියලු ජාතීන්ව එක්සත් කරාවිද නැද්ද යන්න නිශ්චිතව පැවසිය නොහැකි වුවද, බයිබල් අනාවැකියක පවසන්නේ නුදුරු අනාගතයේ ඇති වන අර්බුදයක් මගින් ලෝකයේ සියලු ජාතීන් ඒකරාශී වන බවය. ඇත්තවශයෙන්ම මෙම අර්බුදය ගෙනෙනු ලබන්නේ අධිමානුෂික බලවේගයන් මගිනි.

පුරාණ ඊශ්‍රායෙලයෙහි දාවිත් රජ මෙම ලෝක තත්වය ගැන පුරෝකථනය කළේය. දිව්‍ය මඟ පෙන්වීම යටතේ ඔහු මෙසේ ලිවීය. “යෙහෝවාටද ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති. අධිපතියෝද එක්ව මන්ත්‍රණය කරති. අපි ඔවුන්ගේ බැමි කඩා දමා ඔවුන්ගේ ලණු අප කෙරෙන් ඉවතලමුයයි කියති.” (ගීතාවලිය 2:2, 3; ක්‍රියා 4:25, 26) විශ්වයේ මැවුම්කරු වන යෙහෝවාට හා ඔහුගේ අභිෂේක ලත් තැනැත්තා, එනම් ඔහු පත් කළ රජ වන යේසුස් ක්‍රිස්තුස්ට විරුද්ධව ලෝකයේ පාලකයන් එකා මෙන් නැඟී සිටිනු ඇති බව සැලකිල්ලට ගන්න. එය සිදු වනු ඇත්තේ කෙසේද?

බයිබලයේ කාල නිර්ණය හා ඉටු වූ අනාවැකිවලට අනුව යේසුස් ක්‍රිස්තුස් රජ වී ස්වර්ගයෙහි දේවරාජ්‍යය පිහිටෙව්වේ 1914වන වර්ෂයේදීය. * ඒ අවස්ථාවේදී ලෝකයේ ජාතීන් තුළ තිබුණේ පොදු සිතුවිල්ලකි. දෙවිගේ අලුත බිහි වූ රාජ්‍යයේ පරමාධිපත්‍යයට යටත් වෙනවා වෙනුවට ඔවුන් කළේ බලය අල්ලාගැනීමේ සටනක, එනම් මහා යුද්ධයෙහි නැතහොත් Iවන ලෝක මහා යුද්ධයෙහි නියැලීමය.

මනුෂ්‍ය පාලකයන් එලෙස ප්‍රතික්‍රියා කිරීම ගැන යෙහෝවා දෙවි සලකන්නේ කෙසේද? “ස්වර්ගයේ හිඳින තැනැත්තා සිනාසෙන්නේය. යෙහෝවා ඔවුන්ට පරිහාස කරන්නේය. එකල්හි ඔහු කෝපයෙන් ඔවුන්ට කතා කොට තමන් උදහසින් ඔවුන් [කලඹන්නේය].” එවිට යෙහෝවා රාජ්‍යයේ අභිෂේක ලත් රජු වන තම පුත්‍රයාට මෙසේ කියනු ඇත. “මාගෙන් ඉල්ලන්න. එවිට ඔබේ උරුමයට ජාතීන්ද ඔබේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි. ඔබ ඔවුන් යදණ්ඩකින් බිඳ, කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් සුන් කරන්නෙහිය.”—ගීතාවලිය 2:4, 5, 8, 9.

විරුද්ධව නැඟී සිටින මෙම ජාතීන්ව සම්පූර්ණයෙන්ම සුන් කර දැමීම සිදු වන්නේ අර්මගෙදොන් නැතහොත් හර්–මගෙදොන්වලදීය. බයිබලයේ අන්තිම පොත වන එළිදරව් පොතේ මෙම සිද්ධියේ උච්චාවස්ථාව විස්තර කරන්නේ “මුළු ලොව පුරාම සිටින රජුන්ව” රැස් කරනු ලබන “දෙවිගේ මහත් දවසේ යුද්ධය” ලෙසය. (එළිදරව් 16:14, 16, NW) පොළොවෙහි වෙසෙන මෙම ජාතීන් භූතමය බලපෑම යටතේ අන්තිමේදී එක්සත් වන්නේ සර්වබලධාරී දෙවිට විරුද්ධව යුද්ධ කිරීමේ ඒකායන පරමාර්ථය ඇතුවය.

දෙවිගේ පරමාධිපත්‍යයට එරෙහිව මිනිසුන් එකා මෙන් නැඟී සිටින්නාවූ කාලය ශීඝ්‍රයෙන් ළඟා වෙමින් පවතී. හාස්‍යයට කරුණක් වන්නේ ඔවුන්ගේ “එක්සත්කම” ඔවුන්ට පෞද්ගලිකව කිසිම ප්‍රයෝජනයක් ලබා නොදීමය. ඒ වෙනුවට ඔවුන්ගේ ක්‍රියාව සියලු මිනිස් වර්ගයා දිගු කලක් පුරා ආශාවෙන් බලා සිටි සාමය ලැබෙන බවට පූර්ව ලක්ෂණයක් වනු ඇත. ඒ කෙසේද? එම අවසාන සටනේදී දෙවිගේ රාජ්‍යය “[ලෝකයේ] සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.” (දානියෙල් 2:45) ලෝක සාමය අත් කරගැනීම සඳහා මිනිසා තුළ තිබෙන ආශාව ඉටු කරනු ලබන ආණ්ඩුව වන්නේ කිසිම මනුෂ්‍ය සංවිධානයක් නොව දෙවිගේ රාජ්‍යයයි.

රාජාණ්ඩුවේ ප්‍රධාන පරිපාලකයා

“ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියා අවංක බොහෝදෙනා යාච්ඤා කර තිබෙන්නේ එම රාජ්‍යය ගැනය. (මතෙව් 6:10, NW) දේවරාජ්‍යය යනු සිතේ පවතින තත්වයක් නොව සැබෑ ආණ්ඩුවකි. එය 1914දී ස්වර්ගයෙහි පිහිටෙවූ දා සිට මවිතාකාර දේවල් ඉටු කර ඇත. දේවරාජ්‍යය අද දින සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවට තිබෙන වැදගත් සාධක කීපයක් දැන් අපි සලකා බලමු.

ප්‍රධානකොටම එහි බලයට පත් වූ රජ වන යේසුස් ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ පවතින බලවත් මෙන්ම කාර්යක්ෂම විධායක ශාඛාවක් ඇත. ක්‍රිස්තු වර්ෂ 33දී යෙහෝවා යේසුස් ක්‍රිස්තුස්ව ක්‍රිස්තියානි සභාවේ නායකයා ලෙස පත් කළේය. (එපීස 1:22) එතැන් පටන් යේසුස් නායකත්වය මෙහෙයවා තිබෙන්නේ තමා සතු පරිපාලන හැකියාව විදහාපාමිනි. උදාහරණයකට පළමු සියවසේදී යුදයෙහි මහත් සාගතයක් හටගත් විට ක්‍රිස්තියානි සභාව තම සාමාජිකයන්ට ආධාරෝපකාර කිරීම සඳහා වහා ක්‍රියාත්මක විය. සහන සේවාවක් සංවිධානය කළ අතර සහනාධාර දීම සඳහා බානබස් හා සාවුල්ව අන්තියෝකියෙන් පිටත් කරනු ලැබීය.—ක්‍රියා 11:27-30, NW.

රාජාණ්ඩුව ක්‍රියාත්මක වෙමින් පවතින නිසා දැන් යේසුස් ක්‍රිස්තුස්ගෙන් ඊටත් වඩා දෙයක් අපේක්ෂා කළ හැක. භූමිකම්පා, සාගත, ජලගැලීම්, සුළිසුළං, කුණාටු හෝ ගිනි කඳු පිපිරීම් වැනි විපත්ති සිදු වන විට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාව හානියට පත් ප්‍රදේශයන්හි සිටින සෙසු ඇදහිලිවන්තයන්ට හා වෙනත් අයට උපකාර කිරීම සඳහා නොපමාව ක්‍රියාත්මක වේ. නිදසුනකට 2001 ජනවාරි සහ පෙබරවාරිවලදී එල් සැල්වඩෝර්හි ව්‍යසනකාරී භූමිකම්පා හටගත් විට එම රටේ නොයෙක් පළාත්වල සහන සේවා සැපයීමට සැලසුම් යෙදූ අතර කැනඩාවේ, ග්වාටමාලාවේ හා එක්සත් ජනපදයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ කණ්ඩායම් සහනාධාර සැපයූහ. ඔවුන්ගේ නමස්කාර ස්ථාන මෙන්ම නිවාස 500කට වැඩි ගණනක් කෙටි කාලයක් ඇතුළත යළි තනා දෙනු ලැබිණ.

දෙවිගේ රාජාණ්ඩුවේ යටත්වැසියෝ

දෙවිගේ ස්වර්ගික රාජ්‍යය 1914දී පිහිටෙවූ දා සිට ලොව පුරා සිටින ජනයාගෙන් එහි යටත්වැසියන් වන්නාවූ අයව එක් රැස් කරමින් හා සංවිධානය කරමින් පවතී. මෙසේ සිදු වන්නේ යෙසායා පොතේ සඳහන් කර තිබෙන විශිෂ්ට අනාවැකියක ඉටුවීමක් වශයෙනි. “මතු දවස්වලදී යෙහෝවාගේ ගෘහයේ කන්ද [ඔහුගේ මහිමයට පත් කරනු ලැබූ සැබෑ නමස්කාරය] කඳු මුදුනේ පිහිටුවන ලදුව, . . . සියලු ජාතීහුද ඒ වෙතට රැස් වී එන්නෝය.” අනාවැකියේ පෙන්වන්නේ “බොහෝ ජනයෝ” එම කන්දට නැඟ යෙහෝවාගේ උපදෙස් හා නීති පිළිපදිනු ඇති බවය.—යෙසායා 2:2, 3.

මෙම ක්‍රියාකාරකම මගින් මිහිතලයේ රටවල් 230කට වැඩි සංඛ්‍යාවක සිටින ක්‍රිස්තියානීන් 60,00,000කට වැඩි සංඛ්‍යාවක් ජාත්‍යන්තර සහෝදරත්වයකට ගෙනැවිත් නවීන කාලවලදී වඩාත්ම කැපීපෙනෙන ජන සංවිධානය බිහි කර ඇත. ජාතිය, සංස්කෘතිය මෙන්ම භාෂාව නිසා ඇති වන බාධක බිඳ දමමින් විශාල සෙනඟක් ප්‍රේමයෙන්, සාමයෙන් හා එකමුතුකමෙන් සිටිනවා දැකීමෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළු නිරීක්ෂණය කරන්නෝ බොහෝවිට පුදුමය පළ කරති. (ක්‍රියා 10:34, 35) ආණ්ඩුවකට වාර්ගික කණ්ඩායම් සිය ගණනක් සාමයෙන් හා එකඟත්වයෙන් එක් කිරීමට හැකිකම තිබීමට නම් එය සාර්ථක මෙන්ම ශක්තිමත්, සැබෑ එකක් විය යුතු බවට ඔබ එකඟ නොවන්නේද?

දේවරාජ්‍යය හා අධ්‍යාපනය

සෑම ආණ්ඩුවක්ම තම පුරවැසියන්ට අනුගමනය කිරීමට ප්‍රමිති පනවා ඇති අතර එම ආණ්ඩුව යටතේ ජීවත් වීමට වුවමනා සෑම කෙනෙකුම එම ප්‍රමිති පිළිපැදිය යුතුය. එලෙසම, දේවරාජ්‍යයෙහි යටත්වැසියන් වීමට සුදුසුකම් ලබන්නාවූ අයද පිළිපැදිය යුතු ප්‍රමිති ඇත. කෙසේවුවද, බෙහෙවින් වෙනස් පසුබිම් ඇති පුද්ගලයන් මෙතරම් ගණනාවකට එකම ප්‍රමිති පිළිගන්වා ඒවා පිළිපැදීමට හැකි කරවීම ස්ථිර වශයෙන්ම ඉතා විශාල කර්තව්‍යයකට උර දීමකි. එසේනම්, දේවරාජ්‍යය සැබෑ එකක් බව සනාථ කරන තවත් සාධකයක් වන්නේ මනස පමණක් නොව සිත පවා ස්පර්ශ කර ඒවා වෙනස් කළ හැකි ඵලදායී අධ්‍යාපන වැඩසටහනයි.

රාජාණ්ඩුව මෙම අභියෝගාත්මක කර්තව්‍යය ඉටු කරන්නේ කෙසේද? ප්‍රේරිතයන් කළාක් මෙන් “ගෙයින් ගෙට ගොස්” දේශනා කිරීම හා එක් එක් පුද්ගලයන්ට දේවවචනය ඉගැන්වීම මගිනි. (ක්‍රියා 5:42; 20:20; NW) මෙයාකාර අධ්‍යාපනයක් කෙතරම් බලපෑමෙන් යුතුද? කතෝලික පූජකයෙකු වූ ෂාක් ජොන්සන් සතිපතා පළ වන කැනේඩියානු පුවත්පතක යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ පාඩම් කරන ස්ත්‍රියකව ඉන් වැළැක්වීමට තමන් දැරූ වෑයම ගැන ලීවේය. “මොකක් කරන්නද කියලා මට හිතාගන්න බැරි වුණා. පරාජය භාරගන්න වෙන සටනකයි මම යෙදිලා ඉන්නේ කියලා මට වැටහුණා” යයි ඔහු පැවසුවේය. “මාස කීපයක් තුළදී මේ යෙහෝවාගේ සාක්ෂිකාරියන් ගෙදරින් පිටට යන්න බැරි මේ තරුණ මව සමඟ ඉතා කිට්ටු බැඳීමක් ඇති කරගෙන තියෙන බව මට වැටහුණා. ඔවුන් ඇයට උදව් කරලා, ඈ එක්ක හොඳට යාළු වෙලා, බිඳින්න බැරි තද බැඳීමක් ඇති කරගෙන තිබුණා. වැඩි කල් නොගොස් ඇය ඔවුන්ගේ ආගමේ කඩිසර සාමාජිකාවක් වුණා. ඇයව ඒකෙන් ගලවාගන්න මොනම දෙයක්වත් කරගන්න මට බැරි වුණා.” යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ඉගැන්වූ බයිබල් පණිවිඩය නිසා හා ඔවුන්ගේ ක්‍රිස්තියානි හැසිරීම නිසා කලින් කතෝලිකයෙකුව සිටි තැනැත්තියකගේ හදවත පෙලඹුණු ආකාරයටම ලොව පුරා මිලියන සංඛ්‍යාතයකගේ හදවත් පෙලඹී තිබේ.

රාජ්‍යය මගින් සිදු කෙරෙන මෙම අධ්‍යාපනය බයිබලය මත පදනම් වී තිබෙන අතර සදාචාරය පිළිබඳ එහි ඇති සාරධර්ම හා ප්‍රමිතිද එය උසස් කොට දක්වයි. මිනිසුන් කුමන පසුබිමක සිටියත් එකිනෙකාට ප්‍රේමය හා ගෞරවය පෙන්වන්න එය උගන්වයි. (යොහන් 13:34, 35) මෙම අවවාදයට ප්‍රතිචාරය දැක්වීමටද එය ජනයාට උපකාර කරයි. “මේ සමාජ ක්‍රමයට අනුව හැඩගැසීමෙන් වැළකී, දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ පරිපූර්ණ කැමැත්ත කුමක්දැයි තමුන්ටම ඔප්පු කරගන්නා පිණිස, ඔබේ මනස අලුත් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න.” (රෝම 12:2, NW) තම කලින් ජීවන මාර්ගය වෙනස් කර කැමැත්තෙන්ම රාජාණ්ඩුවේ නීති රීති පිළිපැදීම හා ප්‍රතිපත්ති අනුගමනය කිරීම මගින් මිලියන සංඛ්‍යාත දෙනෙකුට දැන් සාමය හා සතුට ලැබී තිබෙන අතර දීප්තිමත් අනාගත අපේක්ෂාවන්ද ඇතුව සිටීමට හැකි වී තිබේ.—කොලොස්සි 3:9-11.

මෙම ලෝක ව්‍යාප්ත එක්සත්කම අත් කරගැනීමේ මහඟු ආධාරකය වී තිබෙන්නේ මෙම මුරටැඹ සඟරාවය. සාමූහික ප්‍රයත්නයකින් කරන පරිවර්තනයන් හා භාෂා ගණනාවකින් ප්‍රකාශයට පත් කළ හැකි මුද්‍රණ යන්ත්‍ර මගින් මුරටැඹ සඟරාවේ ප්‍රධාන ලිපි භාෂා 135කින් සමගාමීව පළ කෙරෙන අතර දස දෙස වෙසෙන එහි පාඨකයන්ගෙන් සියයට 95කට වැඩි සංඛ්‍යාවකට එකම කාලයේදී තමන්ගේම භාෂාවෙන් එහි ඇති කරුණු අධ්‍යයනය කිරීමට හැකියාව තිබේ.

මෝර්මන් භක්තික ලේඛකයෙකු තමන්ගේ සභාවෙන් පිටත සිදු වී තිබෙන මිෂනාරි කටයුතුවල අතිවිශිෂ්ට සාර්ථකත්වයන් පිළිබඳ සටහනක් සකස් කළේය. ශුභාරංචිය පතළ කරන හොඳම සඟරා ලෙස යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මුරටැඹ හා පිබිදෙව්! ප්‍රකාශන සඳහන් කළ ඔහු මෙසේ පැවසුවේය. “මුරටැඹ සහ පිබිදෙව්! සඟරා වටා පිටාවේ සිද්ධ වෙන දේවල් ගැන තැකීමක් නොකරන්න එහි පාඨකයන්ව පොලඹවනවා කියා චෝදනා නැඟීමට කිසිවෙකුටත් නොහැක. ඒ වෙනුවට ඒවා අවදි කිරීමක් කරනවා. වෙනත් ආගමික ප්‍රකාශනවල මම ඒක දැකලා තියෙන්නේ කලාතුරකින්. මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල අඩංගු හොඳින් ගවේෂණය කළ හේතු සාධක මත ගොඩනැඟූ සැබෑ තොරතුරුවලින් ප්‍රබෝධයක් ගෙන දෙනවා.”

දේවරාජ්‍යය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන සැබෑ ආණ්ඩුවක්ය යන කාරණය ඔප්පු කිරීමට තිබෙන සාක්ෂි එමටය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් තම අසල්වැසියන් සමඟ “රාජ්‍යයේ මේ ශුභාරංචිය” සතුටෙන් හා කඩිසර ලෙස බෙදාගනිමින් එහි යටත්වැසියන් වීමට ඔවුන්ට ආරාධනා කරති. (මතෙව් 24:14) එවැනි ප්‍රස්තාවක් ඔබටත් ලැබෙනවා නම් ඔබ කැමතිද? රාජ්‍යයේ ප්‍රමිති සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබමින් සිටින හා එහි ප්‍රමිති අනුව ජීවත් වීමට පරිශ්‍රමයක් දරමින් සිටින අයව ඇසුරු කිරීමෙන් ලැබෙන ආශීර්වාද භුක්ති විඳීමට ඔබට හැකියි. එපමණක්ද නොව, ඔබට “ධර්මිෂ්ඨකම වාසය කරන්නාවූ” නව ලොවක් පොරොන්දු කර තිබෙන රාජ්‍ය පාලනය යටතේ ජීවත් වීමේ අපේක්ෂාවද ඇතුව සිටිය හැකියි.—2 පේතෘස් 3:13, NW.

[පාදසටහන]

^ 5 ඡේ. විස්තරාත්මක තොරතුරු දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතේ 90-97 දක්වා පිටුවල අඩංගු “දේවරාජ්‍යය පාලනය කරයි” නමැති 10වන පරිච්ඡේදය බලන්න.

[4, 5වන පිටුවේ පින්තූර]

වර්ෂ 1914දී ජාතීන් ලෝක යුද්ධයක නියැලුණි

[6වන පිටුවේ පින්තූර]

ස්වේච්ඡා සහන සේවය ක්‍රිස්තියානි ප්‍රේමය ක්‍රියාත්මකව පවතින බවට සාක්ෂියකි

[7වන පිටුවේ පින්තූරය]

ලොව පුරා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ එකම අධ්‍යාපනික වැඩසටහනෙන් ප්‍රයෝජන ලබති