Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි” කියා යේසුස් තම ගෝලයන්ට කී විට ඔහු එයින් අදහස් කළේ කුමක්ද?

යේසුස් ගෝලයන් 70දෙනෙකු තෝරාගත් හැටියේම “තමන් යන්න සිටි සෑම නුවරකටම සහ ස්ථානයකටම ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවීය.” හැත්තෑදෙනා ආපසු පැමිණි විට ඔවුන්ගේ පැවරුම ඉටු කිරීමේදී ලද සාර්ථකත්වය ගැන ඔවුන් සිටියේ සන්තෝෂයෙනි. “ස්වාමිනි, ඔබේ නාමය භාවිත කිරීම නිසා, භූතයෝ පවා අපට යටත් වෙති” කියා ඔවුහු කීවෝය. ඒ අවස්ථාවේදී යේසුස් මෙසේ කීය. “සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි.”—ලූක් 10:1, 17, 18.

යේසුස් ඒ වන විටත් සිදු වී තිබෙන සිද්ධියකට යොමු දක්වමින් සිටි බවක් මෙය කියවූ විගස පෙනෙන්නට පුළුවන. නමුත් යේසුස් එම වදන් පවසා අවුරුදු 60කට පසුව මහලු වියේ පසු වූ ප්‍රේරිත යොහන්ද ඊට සමාන වචන භාවිත කරමින් මෙසේ ලිවීය. “ඒ මහත් මකරා පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම්, යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන, මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයාය. ඔහු පොළොවට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය.”—එළිදරව් 12:9, NW.

යොහන් එම වදන් ලියූ විටත් සාතන් සිටියේ ස්වර්ගයෙහිය. අප එය දන්නේ කෙසේද? හේතුව, එළිදරව්ව අනාවැකි පොතක් මිස ඉතිහාසය ගැන සඳහන් පොතක් නොවෙන නිසයි. (එළිදරව් 1:1) යොහන් එළිදරව් පොත ලියන විට සාතන්ව පොළොවට හෙළා නොතිබුණි. ඇත්තෙන්ම සාක්ෂි මගින් පෙන්වන්නේ යේසුස් 1914දී දෙවිගේ රාජ්‍යයේ රජ හැටියට පත් වෙන තුරු එය සිදු නොවූ බවයි. *එළිදරව් 12:1-10.

එසේනම් සාතන්ව ස්වර්ගයෙන් පහත හෙළීම ඒ වන විටත් සිදු වී තිබෙන දෙයක් ලෙස යේසුස් දැක්වූයේ මන්ද? සමහර විද්වතුන් කියා සිටින්නේ, යේසුස් තම ගෝලයන්ගේ නුසුදුසු අහංකාරකම ගැන ඔවුන්ට තරවටු කරමින් සිටි බවයි. ඔවුන් විශ්වාස කරන්නේ යේසුස් මෙවැනි දෙයක් ඇඟවූ බවයි. එනම්, ‘ඔබ භූතයන්ගෙන් ජයගත්තත් ඒ ගැන පුරසාරම් දොඩන්න එපා. සාතන් ඉක්මනින්ම වැටුණෙත් ඔහුගේ අහංකාරය නිසයි.’

මෙම කාරණය ගැන අපගේම අදහසක එල්බ සිටිය නොහැකියි. කෙසේනමුත් යේසුස් අනාගතයේ සාතන්ට සිදුවීමට නියමිත අවසානය ගැන තම ගෝලයන් සමඟ ප්‍රීති වෙමින් සිටි බවක් බොහෝදුරට පෙනෙන්නට තිබේ. යේසුස්ගේ කිසිම ගෝලයෙකුට වඩා වැඩියෙන් යක්ෂයාගේ කුරිරු එදිරිවාදිකම ගැන යේසුස් හොඳාකාරවම දැන සිටියේය. තමන්ගේ අසම්පූර්ණ මිනිස් ගෝලයන්ට බලවත් භූතයන්ව යටත් කරනු ලැබීමට හැකි වූ බව ඇසීමෙන් යේසුස්ට කොතරම් ප්‍රීතියක් දැනෙන්න ඇද්ද කියා කල්පනා කර බලන්න! මෙසේ භූතයන්ව යටත් කිරීම වනාහි යේසුස් අනාගත දවසක අග්‍ර දේවදූත මිකායෙල් ලෙස සාතන් සමඟ සටන් කර ඔහුව ස්වර්ගයෙන් පොළොවට පන්නා දැමීම සම්බන්ධයෙන් පෙරදැක්මක් පමණි.

‘සාතන් පහතට වැටී සිටිනවා’ තමන් දුටු බව යේසුස් කී විට සාතන්ගේ වැටීමේ නිශ්චිතභාවය අවධාරණය කරමින් සිටි බව පෙනේ. මෙය අනාගතික දේවල් අතීත ස්වරූපයෙන් පවසන අනෙකුත් බයිබල් අනාවැකි හා සමානයි. උදාහරණයකට යෙසායා 52:13-53:12 දක්වා සඳහන් මෙසියස් පිළිබඳ අනාවැකියෙහි අතීත හා අනාගත කාල ක්‍රියා එකට මිශ්‍ර කර තිබෙන ආකාරය සැලකිල්ලට ගන්න. සාතන්ව ස්වර්ගයෙන් පොළොවට හෙළීම පිළිබඳ තම පියාගේ අරමුණ ඒ අයුරින්ම සිදු වෙයි යන නිසැකකම යේසුස් ප්‍රකාශ කළ බවක් පෙනෙන්නට තිබේ. එමෙන්ම දෙවිගේ නියමිත කාලයේදී සාතන් හා ඔහුගේ භූතයන් පාතාලයට දමා පසුව සම්පූර්ණයෙන්ම විනාශ කිරීම පිළිබඳවත් යේසුස්ට නිසැකකමක් තිබුණි.—රෝම 16:20; හෙබ්‍රෙව් 2:14; එළිදරව් 20:1-3, 7-10.

[පාදසටහන]

^ 5 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන වන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතෙහි 10වන පරිච්ඡේදයත් එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟය! නමැති පොතේ 27වන පරිච්ඡේදයත් බලන්න.