Skip to content

පටුනට යන්න

සැබෑ අරුතක් ජීවිතයට ලැබෙන්නේ කුමකින්ද?

සැබෑ අරුතක් ජීවිතයට ලැබෙන්නේ කුමකින්ද?

සැබෑ අරුතක් ජීවිතයට ලැබෙන්නේ කුමකින්ද?

අවුරුදු 17ක පාසැල් ශිෂ්‍යයෙක් වන ජෙසීගෙන් ජීවිතයේ අරුත ගැන අදහස් විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ මෙයයි. “ඔබ ජීවත් වෙලා ඉන්න තාක් කල් ඔබට හැකි උපරිමයෙන් විනෝද වෙන්න.” සූසිට තිබුණේ මීට වඩා වෙනස් අදහසක්. ඇය මෙසේ පැවසුවා. “මම අවංකව පිළිගන්නේ ජීවිතයේ අරුත රඳා පවතින්නේ ඔබ ජීවිතය ගත කරන්න උත්සහ කරන ආකාරය මතයි.”

ජීවිතයේ අරුත ගැන ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? සියලුම මිනිස් වර්ගයා සඳහා ඇත්තේ එක අරමුණක්ද? එහෙමත් නැත්නම් සූසි පැවසූ පරිදි ජීවිතයේ අරුත රඳා පවතින්නේ අපි එක් එක් කෙනා අපේ ජීවිත ගොඩනඟා ගන්න ආකාරය මතද? අපේ සමාජය කොතරම් තාක්ෂණය අතින් දියුණු වුවත් ජීවිතයේ අරුත ගැන සොයා බැලීමට අප තුළ පෙලඹීමක් ඇති කරන්නාක් මෙන් අපට දැනෙයි. අපෙන් බොහෝදෙනෙක් ජීවිතයේ යම් සන්ධිස්ථානයකදී ‘අප මෙහි සිටින්නේ ඇයි?’ කියන ප්‍රශ්නය ගැන සිතනවා.

නවීන විද්‍යාව ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට සෑහෙන පොරබැදීමක් කර තිබෙනවා. ප්‍රතිඵලය කුමක්ද? “පරිණාමයෙන් ජීවිතයට අරුතක් සොයාගන්න නොහැකි” බව මනෝ විද්‍යාව හා සත්ව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් පී. බාරෙශ් පැවසුවා. පරිණාමවාදය පිළිගන්නා ජීව විද්‍යාඥයන්ට අනුව සෑම ජීවියෙකුටම ඇත්තේ එක අරමුණක්, එනම් නොනැසී පැවතීම හා වර්ගයා බෝ කිරීමයි. තවද මහාචාර්ය බාරෙශ් පවසන්නේ මෙසේයි. “කිසිම අරමුණක් නැති එකිනෙකා ගැන නොසලකන මිනිසුන් සිටින මෙම විශාල විශ්වය තුළ ජීවිතයට අරුතක් දීම මිනිසාගේ වගකීමකි. එය කළ හැක්කේ අප කරන තේරීම් ස්වාධීනව, දැනුවත්ව හා කැමැත්තෙන් කිරීම මතයි.”

ජීවිතයට අරමුණක් හා අර්ථයක් ලබා දෙන උල්පත

සෑම කෙනෙකුම තම තමන්ට කැමති දේ කිරීමද ජීවිතයේ අරමුණ කියන්නේ? කිසිම අරුතක් හෝ අරමුණක් නැති හිස් ජීවිතයක් අපට මේ ලෝකයේ ගත කිරීමට ඉඩහරිනවා වෙනුවට අප මෙහි සිටීමට හේතුවක් තිබෙන බව ඈත අතීතයේ සිට බයිබලයේ හෙළි කර තිබෙනවා. අප මෙහි සිටින්නේ අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් නිසා නොවෙයි. මිනිසාගේ පැවැත්ම සඳහා මේ පොළොව සූදානම් කිරීමට මැවුම්කරු අවුරුදු ගණනාවක් ගත කළ බව අපට දන්වා තිබෙනවා. කිසි දෙයක් අහම්බෙන් සිදු වුණේ නැහැ. ඔහු මැවූ සියලු දේම “ඉතා යහපත්ව” තිබෙන බවට ඔහු වග බලා ගත්තා. (උත්පත්ති 1:31; යෙසායා 45:18) ඒ ඇයි? මිනිසා සම්බන්ධයෙන් යම් අරමුණක් දෙවිට තිබුණු නිසයි.

කෙසේවෙතත් මෙහිදී සැලකිය යුතු වැදගත් කාරණයක් සඳහන් කිරීම වටියි. දිව්‍ය මැදිහත් වීමකින් හෝ ජෛව ක්‍රියාවලියට යම් වෙනසක් කිරීමෙන් හෝ දෙවි එක් එක් පුද්ගලයාගේ අනාගතය කල් තියාම නියම කළේ නැහැ. ජානමය උරුමය නිසා අපට යම් බලපෑම් ඇති වුණත් අපේ ක්‍රියාවන් අපට පාලනය කිරීමේ හැකියාව බොහෝදුරට තිබෙනවා. අප සියලුදෙනාටම නිදහස තිබෙනවා අපේ ජීවිතයේ අප කැමති මාර්ගය තෝරගන්න.

අපේ ජීවිත ගත කරන්නේ කොහොමද කියා තීරණය කිරීම අප එක් එක් කෙනා සතු දෙයක් වුවත් ජීවිතය සැලසුම් කිරීමේදී මැවුම්කරුව නොසලකාහැරීම වැරැද්දක් වනවාට සැකයක් නැහැ. ඇත්තවශයෙන්ම බොහෝදෙනෙක් සොයාගෙන තිබෙන සත්‍යයක් නම් ජීවිතයට සැබෑ අරුතක් හා අරමුණක් ලැබෙන්නේ යෙහෝවා දෙවි සමඟ හොඳ සබඳතාවක් පැවැත්වීම තුළින් පමණක් යන්නයි. දෙවි සහ අපේ ජීවිතයේ අරමුණ අතර තිබෙන අතිවැදගත් සම්බන්ධය දෙවිගේ පුද්ගලික නාමය වන යෙහෝවා තුළින් හෙළි වෙනවා. ඒ නමේ තේරුම “ඔහු සිදුවීමට සලස්වයි” යන්නයි. (නික්මයාම 6:3, ගීතාවලිය 83:17) එයින් ඇඟවෙන්නේ ඔහු පොරොන්දු වී තිබෙන දේවල් ක්‍රම ක්‍රමයෙන් ඉෂ්ට කරන බව සහ ඔහු අරමුණු කරන දේ සෑමවිටම සිදුවීමට සලස්වන බවයි. (නික්මයාම 3:14; යෙසායා 55:10, 11) ඒ නමේ තේරුම ගැන සිතා බලන්න. යෙහෝවා යන නාමය අප සැමට සහතිකයක් ලබා දෙයි. එනම් ඔහු කිසි දිනක වෙනස් නොවන අර්ථාන්විත අරමුණක නිර්මාතෘවරයෙකු බවයි.

මැවුම්කරුවෙකු සිටිනවා කියා විශ්වාස කිරීමම කෙනෙකු ජීවිතය සම්බන්ධයෙන් දරන මතය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරයි. අවුරුදු 19ක් වයසැති ලිනට් පැවසුවේ “යෙහෝවා දෙවි මවා තිබෙන සියලුම පුදුමාකාර දේවල් දෙස බලා ඒවා මැවීමේ අරමුණ ගැන කල්පනා කරන විට මාවත් මවා තිබෙන්නේ අරමුණක් ඇතුව කියා මට හැඟෙනවා.” ඇම්බර් අදහස් දක්වමින් පැවසුවේ මෙසේයි. “මිනිස්සු දෙවි කෙනෙක් ගැන ‘නොදන්නා’ බව කියන විට මට දෙවි කෙනෙක් ඉන්නවා කියා දැනගැනීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. යෙහෝවා ඉන්නවා කියා ඔප්පු කිරීමට ඔහු මවා තිබෙන දේවල් හොඳටම ප්‍රමාණවත්.” (රෝම 1:20) ඇත්තයි, දෙවි කෙනෙක් ඉන්නවා කියා විශ්වාස කිරීම එක දෙයක් නමුත් දෙවි සමඟ අර්ථවත් සබඳතාවක් ගොඩනඟාගැනීම තවත් දෙයක්.

දෙවි සමඟ මිත්‍රත්වය

මෙහිදීත් බයිබලය අපට උපකාරවත් වෙයි. එහි මුල් පරිච්ඡේදවල යෙහෝවා දෙවි ප්‍රේමණීය පියෙක් බවට පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කර තිබෙනවා. උදාහරණයක් ලෙස ඔහු ආදම් සහ ඒවව මවා ඔවුන්ට තමා ගැන කිසිම විස්තරයක් නොදී අනුමාන කිරීමට ඉඩහැරියේ නැහැ. ඒ වෙනුවට ඔහු නිතිපතා ඔවුන් සමඟ කතා කළා. ඔහු ඔවුන්ව ඒදන් උයනේ තමන් කැමති විදිහට ජීවත් වීමට ඉඩහැර ඔහු වෙනත් කාර්යයන්වල යෙදුණේ නැහැ. ඒ වෙනුවට ඔහු ඔවුන්ට ජීවිත ගත කළ හැකි හොඳම මාර්ගය පිළිබඳව නිශ්චිත මඟ පෙන්වීම් ලබා දුන්නා. ඔහු ඔවුන්ට තෘප්තියක් ලැබිය හැකි වැඩ පැවරූ අතර ඔවුන්ට දිගටම අධ්‍යාපනයක් ලැබෙන විදිහට කටයුතු සැලසුම් කළා. (උත්පත්ති 1:26-30; 2:7-9) ඔබ ඇත්තටම දක්ෂ ප්‍රේමණීය මාපියෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙවැනි දෙයක් නෙවෙයිද? එයින් අදහස් වෙන දේ ගැන දැන් සිතා බලන්න. “යෙහෝවා පොළොව මැවූ බවත් ඔහුගේ මැවිල්ලෙන් සතුටක් අද්දැකිය හැකි ආකාරයකින් අපව නිර්මාණය කර තිබෙන බවත් දැනගැනීමෙන් මට හැඟෙන්නේ ඔහු අප ප්‍රීතියෙන් සිටිනවාට කැමති බව” යයි ඩැන්යෙල් පැවසුවා.

ඊටත් වඩා සෑම ප්‍රේමණීය පියෙක් වාගේම යෙහෝවාත් කැමති ඔහුගේ දරුවන් සියලුදෙනාම ඔහු සමඟ පෞද්ගලික සබඳතාවක් පවත්වාගන්නවාටයි. මේ සම්බන්ධයෙන් ක්‍රියා 17:27හි අපට මෙසේ පොරොන්දු වී තිබෙනවා. “ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය.” එම වදන් අපට බලපාන්නේ කෙසේද? ඇම්බර් මෙසේ කියයි. “යෙහෝවාව දැන හඳුනාගැනීම තුළින් මට ලැබී තියෙන නිසැකකම නම්, මම කිසිවිටෙකත් කාත් කවුරුත් නැතිව තනි වෙලා නැහැ කියන එකයි. මට මුහුණ දෙන්න වෙන ඕනෑම තත්වයක් යටතේදී මට උපකාර කරන්න කෙනෙක් ඉන්නවා.” ඒ විතරක් නෙවෙයි ඔබ යෙහෝවා ගැන දැනගන්න දැනගන්න ඔහු කරුණාවන්ත, යුක්තිසහගත සහ යහපත් දෙවි කෙනෙක් බව ඔබ වටහාගනීවි. ඔබට ඔහු කෙරෙහි විශ්වාසයෙන් යුතුව රඳා සිටිය හැකියි. “යෙහෝවා මගේ ළඟම මිතුරා වූ විට මට දැනුණේ මට උපකාර කිරීමට ඊටත් වඩා හොඳ කෙනෙක් නැහැ කියලයි” යනුවෙන් ජෙෆ් පවසයි.

කනගාටුවට කාරණයක් නම් යෙහෝවා ගැන බොහෝ නිෂේධාත්මක දේවල් කියා තිබීමයි. අද මිනිස්සු මුහුණ දෙන බොහෝ හිංසා පීඩාවන්ට හා ආගමික මුවාවෙන් කරන වැරදි ක්‍රියාවන්ට වග කිව යුත්තේ ඔහුයයි දොස් පවරනවා. මිනිස් ඉතිහාසයේ වඩාත් දරුණුතම ම්ලේච්ඡ ක්‍රියාවන් සඳහා වරද පටවා තිබෙන්නේ ඔහුටයි. නමුත් ද්විතීය කථාව 32:4, 5 පවසන්නේ “ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය. . . . ඔවුහු ඔහුට විරුද්ධව දුෂ්ටකම් කළෝය, ඔවුහු ඔහුගේ දරුවෝ නොවෙති, ඔවුහු කැළැල් ඇත්තෝය” කියායි. ඒ නිසා මේ සම්බන්ධයෙන් සත්‍ය සාධක සොයා බැලීමට අප බැඳී සිටිනවා.—ද්විතීය කථාව 30:19, 20.

දෙවිගේ අරමුණ ඉෂ්ට වීම

අපේ තීරණ මොනවාවුණත් මේ පොළොව හා මිනිස් වර්ගයා සඳහා වූ දෙවිගේ අරමුණ සම්පූර්ණයෙන් ඉටු කිරීම වැළැක්වීමට කිසිම දෙයකට බැහැ. අනික අප මතක තබාගත යුතු දෙයක් නම් ඔහු අපේ මැවුම්කරු බවයි. එසේනම් ඔහුගේ ඒ අරමුණ කුමක්ද? මේ ගැන යේසුස් ඔහුගේ කන්ද උඩ දේශනාවේදී මෙසේ ප්‍රකාශ කළා. “මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය.” පසු කාලයකදී ඔහුගේ ප්‍රේරිතයෙක් වූ යොහන්ට “පොළොව විනාශ කරන අයව විනාශ කර දැමීමට” දෙවි අරමුණු කර තිබෙන බව යේසුස් දන්වා සිටියා. (මතෙව් 5:5; එළිදරව් 11:18, NW) දෙවි දේවල් මවන විට යේසුස් ඔහු සමඟ සිටි නිසා පාරාදීසයක පරිපූර්ණ මිනිස් පවුලක් සදහටම ජීවත් වීම දෙවි මුල සිටම අරමුණු කළ බව ඔහු දන්නවා. (උත්පත්ති 1:26, 27; යොහන් 1:1-3) දෙවි වෙනස් වෙන්නේ නැහැ. (මලාකී 3:6) දෙවි මෙසේ පොරොන්දු වෙයි. “මා යෝජනා කළ ලෙසම සිදු වන්නේය. මා අදහස් කළ ලෙසම ස්ථිර වන්නේය.”—යෙසායා 14:24.

අපගේ කාලයේදී එක්සත් සමාජයක් සඳහා අත්තිවාරමක් දැමීමට යෙහෝවා දැනටමත් පටන්ගෙන තිබෙනවා. එය අද අපි අවට දකින්න තිබෙන තණ්හාව හා ආත්මාර්ථකාමී ආකල්පයට හාත්පසින්ම වෙනස් වූ දෙවිට සහ අසල්වාසීන්ට ප්‍රේම කරන ආකල්ප මත ගොඩනැඟුණු සමාජයක්. (යොහන් 13:35; එපීස 4:15, 16; පිලිප්පි 2:1-4) මෙම සමාජය ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත එකක්. මේ පිළිවෙළ අවසාන වීමට ප්‍රථමයෙන් එන්න යන්නාවූ දේවරාජ්‍යය ගැන ශුභ ආරංචිය ප්‍රකාශ කිරීමට ඔවුන් මහත් ඕනෑකමින් හා උද්‍යෝගයෙන් වැඩ කරනවා. (මතෙව් 24:14; 28:19, 20) ක්‍රිස්තියානීන් ලක්ෂ හැටකට වඩා වැඩි පිරිසක් 230කට වඩා වැඩි රටවල් ගණනක දැනටමත් ප්‍රේමණීය ලෙස එක්සත්ව නමස්කාරයේ යෙදෙන අතර ඔවුන් ජාත්‍යන්තර සහෝදරත්වයක් භුක්ති විඳිනවා.

ඔබේ ජීවිතය අර්ථවත් කරන්න

ඔබේ ජීවිතයට වඩාත් වැදගත් අරුතක් එක් කිරීමට ඔබ මං සොයනවා නම්, යෙහෝවා දෙවි ඔබට ඔහුගේ සෙනඟ හෙවත් ඔහුගේ “ධර්මිෂ්ඨ ජාතිය” සමඟ එකතු වීමට දැන් ආරාධනා කරමින් සිටින බව කරුණාවෙන් සැලකිල්ලට ගන්න. (යෙසායා 26:2) ‘මෙම ක්‍රිස්තියානි සමාජයේ ජීවිතය මොන වගේද?’ කියා සමහරවිට ඔබ කල්පනා කරනවා විය හැකියි. මට ඇත්තටම මේ සමාජයේ කොටසක් වෙන්න ඕනේද? මේ ගැන සමහර යෞවනයන් දැක්වූ අදහස්වලට අවධානය දෙන්න.

ක්වෙන්ටන්: “මාව ලෝකයේ දේවල්වලින් ආරක්ෂා කරන රක්ෂස්ථානය සභාවයි. යෙහෝවා මගේ ජීවිතයට සම්බන්ධ වන ආකාරය දැකීමෙන් ඔහු ජීවමාන බවත් මම සන්තෝෂයෙන් සිටිනවාට ඔහු කැමති බවත් දැනගැනීම මට උපකාරවත් වෙනවා.”

ජෙෆ්: “මට දිරිගැන්වීමක් ලබන්න පුළුවන් හොඳම තැන තමයි සභාව. මට උපකාර කරන හා මාව අගය කරන සහෝදර සහෝදරියෝ එහේ ඉන්නවා. ඔවුන් ඇත්තටම මගේ නෑදෑයෝ.”

ලිනට්: “කෙනෙක් බයිබලයේ තිබෙන සත්‍යය පිළිගෙන යෙහෝවාට සේවය කිරීමට තීරණයක් ගන්නවා දැකීමෙන් ලැබෙන සතුට වෙන කිසිවක් සමඟ සන්සන්දනය කරන්න බැහැ. මෙය මගේ ජීවිතයට මහත් තෘප්තියක් ගෙන දෙනවා.”

කෝඩි: “යෙහෝවා නැත්නම් මගේ ජීවිතයේ කිසිම වටිනාකමක් නැහැ. එහෙම නොවුණා නම් මමත් බොහෝදෙනෙක් වගේ කිසිම අරමුණක් නැතුව ප්‍රීතිය සොයන්න වීර්යය කළත් මට ඒක සම්බ නොවන්නත් පුළුවන්. ඒත් යෙහෝවා පුදුමාකාර වරප්‍රසාදයක් මට දීලා තියෙනවා. එනම් ඔහු සමඟ සබඳතාවක් පැවැත්වීමේ වරප්‍රසාදය. එය මගේ ජීවිතයට අරුතක් ලබා දෙනවා.”

ඔබත් ඒ ගැන ටිකක් සොයා නොබලන්නේ මන්ද? එසේ කිරීමෙන් ඔබේ මැවුම්කරු වන යෙහෝවා දෙවිට ළංවීම මගින් ඔබේ ජීවිතයටත් සැබෑ අරුතක් ලැබෙන බව ඔබට අද්දකින්න පුළුවන්.

[31වන පිටුවේ පින්තූර]

දෙවි සමඟ සබඳතාවක් පැවැත්වීම මගින් අපේ ජීවිතයට අරුතක් ලැබෙයි

[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

NASA photo