Skip to content

පටුනට යන්න

හොඳ ආණ්ඩුවක් සොයා යන ගමන

හොඳ ආණ්ඩුවක් සොයා යන ගමන

හොඳ ආණ්ඩුවක් සොයා යන ගමන

“ලෝකය තුළ අන්තර් රඳා පැවැත්ම වර්ධනය වෙමින් පවතින නිසා එක් එක් රටවලට තනියෙන් විසඳාගත නොහැකි සමස්ත ලෝක ගැටලු රාශියක් පැන නැඟී ඇත. වැඩි වැඩියෙන් මුහුණ දීමට සිදු වී තිබෙන අනතුරු හා අභියෝගයන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට අපට හැකි වන්නේ ලෝක ව්‍යාප්තව සහයෝගිතාවක් පවත්වාගැනීමෙන් පමණකි.”—පකිස්තානයේ දේශපාලනික විශ්ලේෂක ගූලෑම් ඌමාර්.

අද දින ලෝකය විෂමතාවන්ගෙන් පිරී පවතී. ද්‍රව්‍යමය දේවල් බහුලව තිබුණත් බොහෝදෙනා ජීවිතය ගැටගසාගැනීමට වෙර දරමින් සිටිති. පරිගණක තාක්ෂණයේ හිණිපෙත්තට නැඟ ඇති මෙම යුගයේ, ජනයා පෙර නොවූ විරූ අන්දමකට උගත්මෙන්ම දැනුමෙන් පරිණත වී සිටියත් වැඩිදෙනෙකුට අද දින ස්ථිර රැකියාවක් සොයාගැනීම පවා අසීරු කාර්යයක් වී ඇත. මිනිසුන්ට අද වෙන කවරදාකටත් වඩා නිදහස තිබෙන බව පෙනෙන්න තිබෙතත් මිලියන සංඛ්‍යාත සෙනඟක් ජීවත් වන්නේ බියෙන් මෙන්ම අනාරක්ෂිත හා අවිනිශ්චිත වාතාවරණයකය. චිත්තාකර්ෂණීය ප්‍රස්තාවන් අප වටා තිබෙනවා විය හැකි වුවත් සමාජයේ සෑම තැනකම දූෂණය පවතින අතර නීති රීති කඩ කිරීම්ද සිදු වන බැවින් බොහෝදෙනෙකු සිටින්නේ අසරණ තත්වයකයි.

මිනිස් වර්ගයා මුහුණ දෙන ගැටලුවල ප්‍රමාණය කෙතරම් අධිකද කිවහොත් කිසිම රටකට හෝ රටවල් කිහිපයකට හෝ එක් වී ඒවා විසඳීමට නොහැකි වී තිබේ. මෙබැවින් බොහෝ නිරීක්ෂකයන්ගේ නිගමනය වී තිබෙන්නේ ලෝක සාමය හා සුරක්ෂිතභාවය යථාර්ථයක් වීමට නම් ඒකීය ආණ්ඩුවක් යටතට සියලුම රටවල් එක් රැස් කරවිය යුතු බවය. උදාහරණයකට ඇල්බට් අයින්ස්ටයින් දිගු කලක් පුරා දැරුවේ එවැනි අදහසකි. වර්ෂ 1946දී ඔහු තරයේ පැවසුවේ මෙයයි. “ලෝකයේ වැඩිදෙනෙකු වැඩි කැමැත්තක් දක්වන්නේ සාමයෙන් හා සුරක්ෂිතභාවයෙන් ජීවත් වීමට බව මම දැඩි ලෙස විශ්වාස කරනවා. . . . සාමය අත් කරගැනීම සඳහා මිනිස් වර්ගයා තුළ තිබෙන ආශාව ඉටු කරගත හැකි වන්නේ ලෝක ආණ්ඩුවක් නිර්මාණය කළොත් පමණයි.”

ඉන් දශක පහක් ගෙවී ඇතත් මෙම වැදගත් අවශ්‍යතාව තවමත් සපුරා නැත. විසිඑක්වන සියවසේ අභියෝගයන් එකිනෙක සඳහන් කරමින් ප්‍රංශයේ පැරිස්හි ල මෝන්ඩ් නම් පුවත්පතෙහි විවරණයක මෙසේ පැවසේ. “ලෝකයේ ඕනෑම තැනක සිදු විය හැකි ජනවාර්ගික සමූලඝාතන සම්බන්ධයෙන් වහාම මැදහත් වීමට හැකියාවක් තිබෙන, නීති පද්ධතියකින්, පරිපාලනයකින් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් සමන්විත ජාත්‍යන්තර ආණ්ඩුවක් බිහි කළ යුතුයි. මේ අනුව බලන කල, මුළු පොළොවම එක රටක් බව පිළිගත යුතුය.” මිනිසුන්ට සාමකාමී අනාගතයක් තිබෙන බවට සහතික කිරීමට හැකි වන සේ එවැන්නක් බිහි කිරීමට බලය හා හැකියාව තිබෙන්නේ කවරෙකුටද නැතහොත් කුමකටද?

විසඳුමක් ගෙනෙන්නේ එක්සත් ජාතීන්ද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක සාමය උදා කරයි කියා බොහෝදෙනෙක් බලාපොරොත්තු වෙත්. එක්සත් ජාතීන් යනු සැබෑ සාමය හා සුරක්ෂිතභාවය ලෝකයට ගෙන ආ හැකි ආණ්ඩුවක්ද? සිත් ඇද බැඳ ගනිමින්, පොරොන්දු දෙමින් ඉදිරිපත් කෙරෙන දක්ෂ දේශපාලනික කතාවල නම් අඩුවක් නැති බවට සැකයක් නැත. උදාහරණයක් වශයෙන්, 2000 එක්සත් ජාතීන්ගේ මහා රැස්වීමේදී “සහස්‍ර ප්‍රකාශය” නිකුත් කළ විට මෙම ගරුතර අධිෂ්ඨානය ගන්නා ලදි. “පසු වූ දශකයෙහි මිලියන පහකට අධික පිරිසකගේ ජීවිත බිලිගෙන ඇති, රටවල් අභ්‍යන්තරයේ හෝ රටවල් අතරේ සිදු වන යුධ හිංසාවලින් අපේ ජනයාව මුදාගැනීමට කළ හැකි සෑම දෙයක්ම කිරීමට අපි වගබලා ගන්නෙමු.” එවැනි ප්‍රකාශයන් නිසා එක්සත් ජාතීන් බොහෝ ජනතාවකගේ ප්‍රශංසාවට හා ගෞරවයට පාත්‍ර වී තිබෙනවා පමණක් නොව 2001 නොබෙල් සාම ත්‍යාගයද ලැබීය. මෙබැවින් එක්සත් ජාතීන්ට ගෞරවය පුද කරමින් නෝර්වේ ජාතික නොබෙල් කමිටුව පැවසුවේ “ජගත් සාමය හා සහයෝගිතාව සඳහා එකම සාර්ථක මඟ එක්සත් ජාතීන්” බවය.

සියල්ල මෙසේ සිදු වුවත්, 1945දී ස්ථාපිත කළ එක්සත් ජාතීන්ගේ සංවිධානය නියම හා කල් පවතින ලෝක සාමය ගෙන ආ හැකි ආණ්ඩුවක් බවට ඔප්පු වී තිබේද? නැත. හේතුව එහි සාමාජික රටවල් තුළ තිබෙන ආත්මාර්ථකාමිත්වය හා ජාතිවාදී අභිලාෂයන් නිසා එහි වෑයම් බොහොමයක් අසාර්ථක වී තිබීමය. එක් පුවත්පත් සංස්කාරකයෙකුගේ වදන්වලට අනුව, සමස්තයක් වශයෙන් මුළු ජනතාවගේ හැඟීම වී තිබෙන්නේ එක්සත් ජාතීන් “දස දෙස වෙසෙන ජනයාගේ අදහස් දක්වන්නෙකු ලෙස පෙනී සිටිනවාට” වඩා වැඩි යමක් නොකරන බවය. එමෙන්ම “එහි න්‍යාය පත්‍රයේ සඳහන් දේවල ප්‍රශ්නාර්ථ ලකුණක් තිබෙන අතර වසර ගණනක් පුරා ඒවා විවාදයට භාජන වෙමින් පවතින්නේ කිසි විසඳුමක් නොලැබෙන්නාක් මෙනි.” ඒ නිසා මෙම ප්‍රශ්නය පැන නැඟ ඇත. ලෝකයේ ජාතීන් කෙදිනක හෝ ඇත්තෙන්ම එක්සත් වනු ඇද්ද?

නොබෝ කලකින් එවැනි එක්සත්කමක් ඇති වන බව බයිබලයේ හෙළි කරයි. මෙය සිදු වනු ඇත්තේ කෙසේද? එමෙන්ම එය ඉටු කරනු ඇත්තේ කුමන ආණ්ඩුව විසින්ද? පිළිතුරු සඳහා කරුණාකර ඊළඟ ලිපිය කියවන්න.

[3වන පිටුවේ පින්තූරය]

ලෝක ආණ්ඩුවක් අවශ්‍යය යන අදහසට එකඟව අයින්ස්ටයින් කතා කළේය

[හිමිකම් විස්තර]

අයින්ස්ටයින්: U.S. National Archives photo