Skip to content

පටුනට යන්න

කිසි හේතුවක් නැතිව වෛරයට ලක් වී

කිසි හේතුවක් නැතිව වෛරයට ලක් වී

කිසි හේතුවක් නැතිව වෛරයට ලක් වී

“ඔවුහු කිසි හේතුවක් නැතිව මට වෛර කළෝය.”—යොහන් 15:25, NW.

1, 2. (අ) ක්‍රිස්තියානීන්ට විරුද්ධව විවිධ දේවල් පවසන විට සමහරුන් පුදුමයට පත් වන්නේ ඇයි? නමුත් අපි ඒ ගැන පුදුම නොවිය යුත්තේ ඇයි? (ආ) අප මේ ලිපියේදී “වෛරය” නමැති වචනය සලකා බලන්නේ කිනම් අර්ථයෙන්ද? (පාද සටහන බලන්න.)

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දේවවචනයේ සඳහන් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමට මහත් වෑයමක් දරති. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔවුන් බොහෝ රටවල හොඳ නමක් දිනාගෙන තිබේ. කෙසේවෙතත් සමහර අවස්ථාවලදී ඔවුන් ගැන අසත්‍ය වාර්තා පළ වී ඇත. උදාහරණයක් හැටියට රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ සේවය කරන ආණ්ඩුවේ නිලධාරියෙක් මෙසේ සිහිපත් කළේය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන අපට වාර්තා කර තිබෙන්නේ හොර රහසේ ක්‍රියාත්මක වෙමින් දරුවන්ව මරන, සිය දිවි හානි කරගන්නා නිකායක් ලෙසයි.” එනමුත් ජාත්‍යන්තර සමුළුවකදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ඊට සම්බන්ධ ඇතැම් වැඩවලට හවුල් වීමෙන් පසු එම නිලධාරියාම මෙසේ අදහස් දැක්වුවේය. “දැන් මා දකින්නේ සාමාන්‍ය, සිනහ මුසු මුහුණින් සිටින සෙනඟක්. . . . ඔවුන් සාමකාමීයි. ඔවුන් එකිනෙකාට ප්‍රේම කරනවා.” ඔහු තවදුරටත් මෙසේ පැවසුවේය. “මිනිස්සු මේ අය ගැන බොරු කියන්නේ ඇයි කියලා මට ඇත්තටම තේරුම්ගන්න බැහැ.”—1 පේතෘස් 3:16.

2 නපුරු මිනිසුන් කියා තමන්ට නිග්‍රහ කිරීම ගැන දෙවිගේ සේවකයෝ සතුටු නොවෙති. එහෙත් මිනිසුන් තමන්ට විරුද්ධව විවිධ දේවල් පවසන විට ඔවුන් ඒ ගැන පුදුම වන්නේ නැත. යේසුස් කල් තියාම ඔහුගේ අනුගාමිකයන්ට මෙසේ අනතුරු ඇඟෙව්වේය. “ලෝකය ඔබට වෛර කරනවා නම්, ඔබට වෛර කරන්න කලින් එය මට වෛර කළ බව ඔබ දන්නහුය. . . . මෙසේ වී තිබෙන්නේ, ‘ඔවුහු කිසි හේතුවක් නැතිව මට වෛර කළෝය’ කියා ඔවුන්ගේ නීතියේ ලියා තිබෙන වදන් ඉටු වන පිණිසය.” * (යොහන් 15:18-20, 25, NW; ගීතාවලිය 35:19; 69:4) ඔහු කලින් අවස්ථාවකදී ඔහුගේ ගෝලයන්ට මෙසේ පවසා තිබුණේය. “ඔවුන් ගෙහිමියාට බෙල්සෙබුබ්යයි කියා තිබේ නම්, ඔවුහු ඔහුගේ ගෙයි වැසියන්ට එසේ කොපමණ වැඩියෙන් නොකියන්නෝද!” (මතෙව් 10:25) එවන් නින්දා අපහාස විඳදරාගැනීම තමන් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් බවට පත් වෙද්දී බාරගත් ‘වධකණුවේ’ කොටසක් බව ක්‍රිස්තියානීහු තේරුම්ගනිති.—මතෙව් 16:24.

3. සැබෑ නමස්කාරකයන්ට කොතෙක් දුරට පීඩා කර තිබෙනවාද?

3 සැබෑ නමස්කාරකයන්ට පීඩා කිරීම පිළිබඳව තිබෙන්නේ දිගු ඉතිහාසයකි. එය “ධර්මිෂ්ඨ වූ ආබෙල්” දක්වා දිව යයි. (මතෙව් 23:34, 35) සැබෑ නමස්කාරකයන්ට පීඩා කර තිබෙන්නේ ඉඳ හිට අවස්ථා කිහිපයකදී පමණක් නොවේ. තමන්ගේ නාමය නිසා තම අනුගාමිකයන්ට “සියල්ලෝ . . . වෛර කරන්නෝය” කියා යේසුස් පැවසුවේය. (මතෙව් 10:22, NW) පීඩාවලට ලක්වීම, දෙවිගේ සියලුම සේවකයන් අපේක්ෂා කළ යුතු දෙයක් බව ප්‍රේරිත පාවුල් ලීවේය. ඒ සියලුදෙනාටම අපි එක් එක් කෙනාද ඇතුළත් වන්නෙමු. (2 තිමෝති 3:12) අප පීඩාවලට ලක් වන්නේ ඇයි?

අසාධාරණ ලෙස වෛර කිරීම පිටුපස සිටින්නා

4. අසාධාරණ ලෙස දෙවිගේ සෙනඟට වෛර කිරීම පිටුපස සිටින ප්‍රධානියාව බයිබලය හෙළි කරන්නේ කෙසේද?

4 අසාධාරණ ලෙස සැබෑ ක්‍රිස්තියානීන්ට වෛර කිරීම පිටුපස නොපෙනෙන තැනැත්තෙකු මුල පටන් සිටින බව දේවවචනය හෙළි කරයි. මුල්ම ඇදහිලිවන්ත මිනිසා වූ ආබෙල්ව කුරිරු ලෙස මරා දැමීමේ සිද්ධිය ගැන සලකා බලන්න. ආබෙල්ව මැරූ ඔහුගේ සහෝදරයා වූ කායින් සාතන් නමැති යක්ෂයා වන “දුෂ්ටයාගෙන් වූ” බව බයිබලයේ සඳහන් වේ. (1 යොහන් 3:12, NW) කායින්ට තිබුණේ සාතන්ට තිබූ ස්වභාවයයි. මේ නිසා සාතන් ඔහුගේ දුෂ්ට සැලසුම් ඉටු කරගැනීම සඳහා ඔහුව යොදාගත්තේය. සාතන් යෝබ්ට හා යේසුස් ක්‍රිස්තුස්ට එල්ල කළ දරුණු ප්‍රහාරවලදී ක්‍රියා කළ ආකාරය ගැනත් බයිබලය අපට තොරතුරු හෙළි කරයි. (යෝබ් 1:12; 2:6, 7; යොහන් 8:37, 44; 13:27) යේසුස්ගේ අනුගාමිකයන්ට පීඩා ඇති කරන්නා කවුද කියා එළිදරව් පොත මෙසේ පැහැදිලිව පෙන්වා දෙයි. “ඔබව සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීමටත්, . . . ඔබට පීඩා ඇති වන පිණිසත් යක්ෂයා ඔබෙන් සමහරෙකුව සිරගෙට දමනු ඇත.” (එළිදරව් 2:10, NW) මෙයින් පැහැදිලි වන්නේ දෙවිගේ සෙනඟට අසාධාරණ ලෙස වෛර කිරීම පිටුපස සිටින ප්‍රධානියා සාතන් බවයි.

5. සාතන් සැබෑ නමස්කාරකයන්ට වෛර කිරීමට හේතුව කුමක්ද?

5 සාතන් සැබෑ නමස්කාරකයන්ට වෛර කිරීමට හේතුව කුමක්ද? සාතන් “සදාකාල රජ්ජුරුවන්” වන යෙහෝවා දෙවිට අභියෝග කරමින් කුමන්ත්‍රණයක් දියත් කළේය. කා තුළවත් නොතිබූ තරම් මහන්තත්වයක් ඔහුට තිබූ බව එම කුමන්ත්‍රණයෙන් පෙනී යයි. (1 තිමෝති 1:17; 3:6) දෙවි ඔහුගේ මැවිලි පාලනය කරන්නේ අනවශ්‍ය සීමා දමමින් බවත් දෙවිට සේවය කරන කිසිම කෙනෙක් එසේ කරන්නේ පවිත්‍ර චේතනාවකින් නොව ආත්මාර්ථකාමී චේතනාවලින් බවත් ඔහු තරයේ කියා සිටියි. මිනිසුන්ව පරීක්ෂා කිරීමට තමන්ට ඉඩහරිනවා නම් දෙවිට සේවය කිරීමෙන් ඔවුන් සියලුදෙනාව වළක්වාලන්න තමන්ට හැකියි කියා සාතන් පවසයි. (උත්පත්ති 3:1-6; යෝබ් 1:6-12; 2:1-7) කෲර පාලකයෙක්, බොරුකාරයෙක් හා අසාර්ථක පාලකයෙක් කියා යෙහෝවාට අවමන් කරමින් සාතන් වෑයම් කරන්නේ ඔහු හා සම තත්වයේ සිටින ප්‍රතිවාදී පාලකයෙකු වීමටයි. මේ අනුව සාතන් දෙවිගේ සේවකයන්ට එරෙහිව කෝපයෙන් ක්‍රියා කරන්නේ නමස්කාරය ඔහුට ලබාගැනීමට ඔහු තුළ තිබෙන දැවෙන ආශාව නිසයි.—මතෙව් 4:8, 9.

6. (අ) යෙහෝවාගේ පරමාධිපත්‍යය සම්බන්ධයෙන් මතු කර තිබෙන වාද විෂයට අප එක් එක් කෙනා සම්බන්ධ වී සිටින්නේ කෙසේද? (ආ) අපේ විශ්වාසවන්තභාවය අඛණ්ඩව රැකගැනීමට එම වාද විෂය තේරුම්ගැනීම අපට උපකාරවත් වන්නේ කෙසේද? (16වන පිටුවේ තිබෙන කොටුව බලන්න.)

6 වාදයට ලක් වී තිබෙන මේ කාරණය ඔබට බලපාන ආකාරය ඔබ තේරුම්ගෙන සිටිනවාද? දෙවිගේ කැමැත්ත කිරීම සඳහා මහත් වෑයමක් දැරීම අවශ්‍ය වුවත් ඉන් ලැබෙන ප්‍රයෝජන වෙනත් කිසිම දෙයකින් ලබාගත නොහැකි බව ඔබ තේරුම්ගෙන තිබෙනවා විය හැකියි. එහෙත් ඔබ දුෂ්කරතා හා වේදනා අද්දකින විට පවා දිගටම යෙහෝවාගේ නීති හා ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කරනවාද? යෙහෝවාට සේවය කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නොලැබෙන බව පෙනෙන්න තිබුණොත් ඔබ කරන්නේ කුමක්ද? යෙහෝවාට දිගටම සේවය කිරීමෙන් කිසිම පලක් නැහැ කියා ඔබ නිගමනය කරනවාද? එසේත් නැත්නම් ඔබ යෙහෝවාට ප්‍රේම කරන නිසාත් ඔහුගේ ශ්‍රේෂ්ඨ ගුණාංග ඉතා ඉහළින් අගය කරන නිසාත් ඔහුගේ මාර්ගවල දිගටම ගමන් කිරීමට ඔබ තුළ පෙලඹීමක් ඇති වෙනවාද? (ද්විතීය කථාව 10:12, 13) යම් ප්‍රමාණයකට අපව දුෂ්කරතාවලට පත් කිරීමට සාතන්ට ඉඩහැරීමෙන් ඔහුගේ අභියෝගයට පෞද්ගලිකව උත්තර දීමට යෙහෝවා අප එක් එක් කෙනාට අවස්ථාවක් දී තිබේ.—හිතෝපදේශ 27:11.

‘මිනිසුන් ඔබට නින්දා කරන විට’

7. අපව යෙහෝවාගෙන් ඈත් කිරීමට යක්ෂයා යොදාගන්න එක් උපායක් කුමක්ද?

7 සාතන් යෙහෝවාට සහ ඔහුගේ සේවකයන්ට එරෙහිව නඟා තිබෙන චෝදනා ඔප්පු කිරීම සඳහා යොදාගන්න එක් කූට උපායක් වන්නේ ඔවුන් ගැන බොරු කියමින් ඔවුන්ට නින්දා පීඩා කිරීමයි. දැන් අපි මේ උපාය හොඳින් සලකා බලමු. යේසුස් සාතන්ව හැඳින්වූයේ “බොරුවේ පියා” ලෙසයි. (යොහන් 8:44) දෙවිටත් ඔහුගේ ප්‍රයෝජනදායක වචනයටත් ඔහුගේ ශුද්ධ නාමයටත් අපහාස කරන ප්‍රධානතම තැනැත්තා වන්නේ යක්ෂයාය. ඇත්තෙන්ම යක්ෂයා යන වචනයට “අපහාස කරන්නා” නමැති අරුත තිබේ. මොහු යෙහෝවාගේ පරමාධිපත්‍යය අභියෝගයට ලක් කරමින් වක්‍රාකාරව බොරු චෝදනා නඟයි. ඒ ගැන අමූලික බොරු කියයි. එමෙන්ම දෙවිගේ පක්ෂපාත සේවකයන්ට නින්දා කිරීම සඳහා ඔහු යොදාගන්නේද එම උපක්‍රමයන්මයි. දිගට හරහට සාක්ෂිකරුවන්ව නින්දාවට පත් කිරීමෙන් ඔවුන්ට දරාගැනීමට සිදු වන දරුණු පීඩාවක් තවත් අසීරු කිරීමට ඔහුට හැකියි.

8. සාතන් යෝබ්ව නින්දාවට පත් කළේ කෙසේද? එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?

8 යෝබ්ට සිදු වූ දෙය සලකා බලන්න. ඔහුගේ නමේ අර්ථය වන්නේ “සතුරුකමට ලක් වූ තැනැත්තා” යන්නයි. යෝබ්ගේ ආදායම් මාර්ග, දරුවන් හා යහපත් සෞඛ්‍යය නැති කර දමනවාට අමතරව, ඔහු දෙවිගෙන් දඬුවම් ලබමින් සිටි පව්කාරයෙකු බව පෙන්වීමට සාතන් කටයුතු කළේය. යෝබ් බොහෝ සේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක්ව සිටියද පීඩා වින්ද කාලයේදී ඔහු මිනිසුන්ගේ පිළිකුලට ලක් විය. ඔහුගේ ඥාතීන්ගේ හා කිට්ටුම මිතුරන්ගේ පවා පිළිකුලට ඔහු ලක් වූයේය. (යෝබ් 19:13-19; 29:1, 2, 7-11) එපමණක්ද නොව, සාතන් බොරු සැනසිලිකාරයන්ව යොදාගනිමින් ‘යෝබ්ව වචනවලින් පොඩි කිරීමට’ වෑයම් කළේය. මුලින්ම ඔවුන් කළේ යෝබ් යම් බරපතළ පාපයක් කර තිබෙන බවට වක්‍රාකාරව බොරු චෝදනා නැඟීමයි. ඉන්පසු ඔවුන් කළේ ඔහු වැරදිකරුවෙකු බව පවසමින් කෙළින්ම ඔහුව හෙළාදැකීමයි. (යෝබ් 4:6-9; 19:2; 22:5-10) මෙය යෝබ්ව මොන තරම් අධෛර්යය කරවනසුලු දෙයක් වෙන්න ඇද්ද!

9. යේසුස්ව පව්කාරයෙකු මෙන් පෙනෙන්න සලස්වනු ලැබුවේ කෙසේද?

9 දෙවිගේ පුත්‍රයා යෙහෝවාගේ පරමාධිපත්‍යයට පක්ෂව සිටින අය අතර ප්‍රමුඛතම තැනැත්තා වන අතර සාතන් වැඩියෙන්ම සතුරුවාදිකම් එල්ල කළේ ඔහුටය. යේසුස් මේ පොළොවේ ජීවත් වූ කාලයේදී, සාතන් යෝබ්ට කළ දෙයම ඔහුටත් කරන්න මහත් වෑයමක් දැරුවේය. යේසුස්ව පව්කාරයෙකු බව පෙනෙන්න සලස්වමින් ආත්මික වශයෙන් දුර්වල කෙනෙක් ලෙස ඔහුව අපකීර්තියට පත් කරන්න සාතන් වෑයම් කළේය. (යෙසායා 53:2-4; යොහන් 9:24) යේසුස් මත්පැන් පානයට ලොල්වූවෙක් බවත් කෑදර තැනැත්තෙක් බවත් ජනයා පැවසූහ. එමෙන්ම ‘ඔහුට භූතයෙකු වැහී සිටිනවා’ කියාද ජනයා පැවසූහ. (මතෙව් 11:18, 19; යොහන් 7:20; 8:48; 10:20) දෙවිට අපහාස කරන්නෙක්යයි පවසමින් යේසුස්ට විරුද්ධව බොරු චෝදනාද නඟන ලදි. (මතෙව් 9:2, 3; 26:63-66; යොහන් 10:33-36) එමගින් අසාධාරණ ලෙස තම පියා නින්දාවට පත් වූ බව දැන සිටීම නිසා යේසුස්ට මහත් දුකක් දැනුණි. (ලූක් 22:41-44) අවසානයේදී යේසුස්ව ශාප ලත් අපරාධකරුවෙකු හැටියට වධකණුවක එල්ලන ලදි. (මතෙව් 27:38-44) යේසුස් පරිපූර්ණ ලෙස විශ්වාසවන්තකම රැකගන්නා අතරේදී “පව්කාරයන් විසින් ඔහුට විරුද්ධව පැවසූ [බොහෝ] දේ” විඳදරාගත්තේය.—හෙබ්‍රෙව් 12:2, 3, NW.

10. අභිෂේක ලත් අයගේ ඉතිරි කොටස නවීන කාලවල සාතන්ගේ ඉලක්කයක් වී තිබෙන්නේ කෙසේද?

10 නවීන කාලයේ ක්‍රිස්තුස්ගේ අභිෂේක ලත් අනුගාමිකයන්ගෙන් මේ පොළොවේ ඉතිරි වී සිටින අය යක්ෂයාගේ සතුරුවාදිකම්වලට ලක් වී සිටිති. සාතන්ව විස්තර කර තිබෙන්නේ “අපේ දෙවි ඉදිරියෙහි [ක්‍රිස්තුස්ගේ] සහෝදරයන්ට විරුද්ධව දිවා රෑ දෙකෙහි චෝදනා කරන පැමිණිලිකරු” හැටියටයි. (එළිදරව් 12:9, 10, NW) ක්‍රිස්තුස්ගේ සහෝදරයන්ව සමාජය විසින් කොන් කරනු ලැබ සිටින පිළිකුල්සහගත පිරිසක් බව පෙන්වා දීමට සාතන් මහත් වෑයමක් දරයි. ඔහු මෙලෙස වැඩියෙන් වෑයම් කර තිබෙන්නේ ඔහුව ස්වර්ගයෙන් පහ කර දමා, පොළොව ආසන්නයට සීමා කර තිබෙන කාලයේ පටන්ය. (1 කොරින්ති 4:13) සමහර රටවල නින්දාසහගත ලෙස ඔවුන්ව හඳුන්වා තිබෙන්නේ භයානක නිකායක් ලෙසයි. පළමුවන සියවසේ ක්‍රිස්තියානීන්වද එලෙස හඳුන්වන ලදි. (ක්‍රියා 24:5, 14; 28:22) මුලදී සඳහන් කළාක් මෙන් බොරු ප්‍රචාර මගින් ඔවුන්ට මඩ ගසා තිබේ. එහෙත් ‘ගෞරවය සහ අගෞරවයද, අපකීර්තිය සහ කීර්තියද මධ්‍යයෙහි’ ක්‍රිස්තුස්ගේ අභිෂේක ලත් සහෝදරයෝ ‘දෙවිගේ ආඥා පිළිපැදීමටත් යේසුස් ගැන සාක්ෂි දැරීමේ කාර්යය කිරීමටත්’ යටහත් පහත්ව වෑයම් කර තිබේ. මේ සඳහා ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් වන ‘මහත් සමූහයේ’ සහය ඔවුන්ට ලැබේ.—2 කොරින්ති 6:8, NW; යොහන් 10:16; එළිදරව් 12:17, NW.

11, 12. (අ) ඇතැම් ක්‍රිස්තියානීන් නින්දාවට ලක්වීමට හේතු විය හැක්කේ මොනවාද? (ආ) ක්‍රිස්තියානියෙක් තමන්ගේ ඇදහිල්ල නිසා අසාධාරණ ලෙස දුක් විඳිය හැක්කේ කුමන ආකාරවලින්ද?

11 දෙවිගේ සේවකයන් පෞද්ගලික මට්ටමින් අද්දකින සෑම නින්දාවක්ම “ධර්මිෂ්ඨකම නිසා” නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. (මතෙව් 5:10) සමහර ගැටලුවලට හේතුව අපේම අසම්පූර්ණකම් විය හැකියි. අපි “පව් කර ඊට පහර ලබන කල විඳදරාගන්න” විට එහි විශේෂ වටිනාකමක් නැත. එහෙත් ක්‍රිස්තියානියෙක් “දෙවි ඉදිරියෙහි ඇති තම හෘදය සාක්ෂිය නිසා, දුෂ්කරතා දරාගෙන අසාධාරණ ලෙස දුක් විඳින්නේ නම්, එය [යෙහෝවා ඉදිරියෙහි] ප්‍රසන්න දෙයකි.” (1 පේතෘස් 2:19, 20, NW) එලෙස අසාධාරණ ලෙස දුක් විඳිය හැක්කේ කුමන තත්වයන් යටතේද?

12 ශුද්ධ ලියවිල්ලට පටහැනි අවමංගල්‍ය චාරිත්‍ර වාරිත්‍රවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇතැම් ක්‍රිස්තියානීන්ට නින්දාසහගත ලෙස සලකා තිබේ. (ද්විතීය කථාව 14:1) සාක්ෂිකරුවන්ගේ දරුවන් සදාචාරය පිළිබඳව යෙහෝවාගේ ප්‍රමිතිවලට තදින් ඇලී සිටීම නිසා කෙළවරක් නැතිව ඔවුන්ට අපහාසාත්මක නම් හදා තිබේ. (1 පේතෘස් 4:4) ඇතැම් ක්‍රිස්තියානි දෙමාපියන්ව “නොසැලකිලිමත් මාපියන්” හෝ “කෲර දෙමාපියන්” ලෙස හඳුන්වමින් ඔවුන්ට විරුද්ධව බොරු චෝදනා එල්ල කර තිබේ. මීට හේතුව ඔවුන් තමන්ගේ දරුවන්ට රුධිරය අඩංගු නොවන ප්‍රතිකාර ලබා දීමට ඉල්ලා සිටීමයි. (ක්‍රියා 15:28, 29) ක්‍රිස්තියානීන්ව ඔවුන්ගේ ඥාතීන් හා අසල්වැසියන් විසින් ඇසුරෙන් කපාහැර තිබේ. මෙයට එකම හේතුව ඔවුන් යෙහෝවාගේ සේවකයන් වීමයි. (මතෙව් 10:34-37) මේ සෑම ක්‍රිස්තියානියෙක්ම අනුගමනය කරන්නේ අසාධාරණ ලෙස දුක් වින්ද අනාගතවක්තෘවරුන්ගේ හා යේසුස්ගේ ආදර්ශයයි.—මතෙව් 5:11, 12; යාකොබ් 5:10; 1 පේතෘස් 2:21.

නින්දා අපහාස දරාගැනීම

13. අප දරුණු ලෙස නින්දා අපහාසවලට ලක් වෙද්දී අපේ ආත්මික සමබරතාව රැකගැනීමට අපට උපකාරවත් විය හැක්කේ කුමක්ද?

13 අපේ ඇදහිල්ල නිසා දරුණු ලෙස නින්දා අපහාසවලට අප ලක් වෙද්දී අනාගතවක්තෘ යෙරෙමියා මෙන් අපත් අධෛර්යය විය හැකියි. තවදුරටත් දෙවිට සේවය කළ නොහැකියි කියා අපට හැඟෙන්න ඉඩ තිබේ. (යෙරෙමියා 20:7-9) අපේ ආත්මික සමබරතාව දිගටම රැකගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? යෙහෝවා කාරණා දෙස බලන ආකාරයට කාරණා දෙස බැලීමට වෑයම් කරන්න. පරීක්ෂණ යටතේ දිගටම පක්ෂපාතව සිටින අය දෙස ඔහු බලන්නේ ජයග්‍රාහකයන් ලෙස මිස පරාජිතයන් ලෙස නොවේ. (රෝම 8:37) යක්ෂයා මොන තරම් නින්දා අපහාස ගෙන ආවත් යෙහෝවාගේ පරමාධිපත්‍යයට පක්ෂව සිටි ආබෙල්, යෝබ්, යේසුස්ගේ මව වූ මරියා හා අතීතයේ විසූ වෙනත් ඇදහිලිවන්ත ස්ත්‍රීන්ව හා පුරුෂයන්ව මෙන්ම නවීන කාලයේ සිටින අපේ සෙසු සේවකයන්ව ඔබේ මනසින් මවාගැනීමට උත්සාහ කරන්න. (හෙබ්‍රෙව් 11:35-37; 12:1) ඔවුන් අඛණ්ඩව විශ්වාසවන්තභාවය රැකගත් ආකාරය මෙනෙහි කරන්න. ඒ පක්ෂපාත සේවකයන්ගෙන් යුත් විශාල සමූහය අපට ආරාධනා කරන්නේ තමන්ගේ ඇදහිල්ලෙන් ලෝකය ජයගෙන තිබෙන අය සඳහා වෙන් කර ඇති පැත්තෙහි සිටීමට ඔවුන් සමඟ එක් වන්න කියායි.—1 යොහන් 5:4.

14. දිගටම ඇදහිල්ල රැකගැනීමට උනන්දුවෙන් කරන යාච්ඤාව අපට ශක්තියක් විය හැක්කේ කෙසේද?

14 ‘අපව [කැලඹීමට පත් කරවන] සිතුවිලි බොහොමයක් අප තුළ තිබෙන’ විට මහත් උනන්දුවෙන් යෙහෝවාට යාච්ඤා කිරීමට අපට හැකියි. ඔහු අපට සැනසිල්ල හා ශක්තිය ලබා දෙනු ඇත. (ගීතාවලිය 50:15; 94:19) එමෙන්ම පරීක්ෂාවලට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය ප්‍රඥාව ඔහු අපට ලබා දෙනු ඇත. (යාකොබ් 1:5) ඔහුගේ සේවකයන්ට අසාධාරණ ලෙස වෛර කිරීමට හේතු වන ඔහුගේ පරමාධිපත්‍යය හා සම්බන්ධ මහත් වාද විෂය අපේ මනසෙහි තබාගැනීමට ඔහු අපට උපකාර කරයි. “සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය” අපට ලබා දීමටද යෙහෝවාට හැකියි. (ෆිලිප්පි 4:6, 7, NW) දෙවි අපට ලබා දෙන මනසෙහි සාමය නිසා දැඩි පීඩාකාරී තත්වයන් හමුවෙහි බිය හා සැකයට යට නොවී සන්සුන්ව හා අධිෂ්ඨානපූර්වකව සිටීමේ හැකියාව අපට ලැබේ. යෙහෝවා අපට මුහුණ දීමට ඉඩහරින ඕනෑම දෙයකදී ශුද්ධාත්මය මාර්ගයෙන් අපව ඉසිලීමට ඔහුට හැකියි.—1 කොරින්ති 10:13.

15. අප දුක් විඳින විට ඒ ගැන අමනාපයකින් පසු නොවී සිටීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

15 කිසිම හේතුවක් නැතිව අපට වෛර කරන අය සමඟ අමනාපයක් ඇති කර නොගෙන සිටීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? අපේ ප්‍රධාන සතුරන් වන්නේ සාතන් හා භූතයන් බව මතක තබාගන්න. (එපීස 6:12) සමහරුන් අපට හිතා මතාම පීඩා කළත් දෙවිගේ සෙනඟට විරුද්ධ වන බොහෝදෙනෙකු එසේ කරන්නේ නොදැනුවත්කම නිසයි. එසේත් නැත්නම් යම් අය ඔවුන්ව අතකොළුවක් ලෙස යොදාගන්න නිසයි. (දානියෙල් 6:4-16; 1 තිමෝති 1:12, 13) යෙහෝවාගේ ආශාව වන්නේ ‘සියලු ආකාර මිනිසුන්ට ගැලවීම ලබාගැනීමටත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමටත්’ ප්‍රස්තාවක් ලබා දීමයි. (1 තිමෝති 2:4, NW) අපේ නිර්දෝෂී හැසිරීම නිරීක්ෂණය කිරීම නිසා, කලින් අපට විරුද්ධවාදිකම් එල්ල කළ සමහරු, අද අපේ ක්‍රිස්තියානි සහෝදරයන් ලෙස අප හා එක්ව සේවය කරති. (1 පේතෘස් 2:12) යාකොබ්ගේ පුත් යෝසෙප්ගේ ආදර්ශයෙන් අපට යමක් ඉගෙනගත හැකියි. යෝසෙප් ඔහුගේ අර්ධ සහෝදරයන් නිසා මහත් සේ දුක් වින්දත් ඔවුන් කෙරෙහි දැඩි වෛරයක් ඇති කරගත්තේ නැත. එයට හේතුව කුමක්ද? තමන් මුහුණ දුන් දේවල් හසුරුවමින් යෙහෝවා ඔහුගේ අරමුණ ඉටු කිරීම සඳහා යම් ක්‍රියාමාර්ග ගන්න බව යෝසෙප් තේරුම්ගත් නිසාය. (උත්පත්ති 45:4-8) අයුක්තිසහගත ලෙස අපට මුහුණ දීමට සිදු විය හැකි ඕනෑම වේදනාකාරී තත්වයක් ඔහුගේ නාමය මහිමයට පැමිණවීම සඳහා යොදාගැනීමට යෙහෝවාට පුළුවන්.—1 පේතෘස් 4:16.

16, 17. අපේ දේශනා සේවයට බාධා කිරීමට විරුද්ධවාදීන් දරන වෑයම් ගැන අප අනවශ්‍ය ලෙස සිත්තැවුලට පත් නොවිය යුත්තේ මන්ද?

16 ශුභාරංචියේ වර්ධනයට බාධා කිරීමේදී විරුද්ධවාදීන් යම් කලකට සාර්ථකත්වයක් ලබන බව පෙනෙන්න තිබෙන විට අප ඒ ගැන අනවශ්‍ය ලෙස සිත්තැවුලට පත්වීම අවශ්‍ය නැත. ලොව පුරා සිදු කරනු ලබන සාක්ෂි දැරීමේ කාර්යය මගින් යෙහෝවා ජාතීන්ව සොලවමින් සිටින අතර ආශා කරන දේවල් පැමිණෙමින් තිබේ. (හග්ගයි 2:7) උතුම් එඬේරා වන ක්‍රිස්තුස් යේසුස් මෙසේ පැවසුවේය. “මාගේ බැටළුවෝ මාගේ හඬට ඇහුම්කන් දෙති. මම ඔවුන්ව හඳුනමි. ඔවුහුද මා පසුපස එන්නෝය. මම ඔවුන්ට සදාකාල ජීවනය දෙන්නෙමි. . . . කිසිවෙක් මාගේ අතින් ඔවුන්ව උදුරාගන්නේද නැත.” (යොහන් 10:27-29, NW) ආත්මික වූ මහත් අස්වැන්න නෙළීමේ කාර්යයෙහි දේවදූතයෝද හවුල් වී සිටිති. (මතෙව් 13:39, 41; එළිදරව් 14:6, 7) එනිසා විරුද්ධවාදීන් පවසන හා කරන කිසිම දෙයකට දෙවිගේ අරමුණ කඩාකප්පල් කිරීමට නොහැකියි.—යෙසායා 54:17; ක්‍රියා 5:38, 39.

17 බොහෝ අවස්ථාවලදී අපේ විරුද්ධවාදීන් අපට කරන දේවලින් ඔවුන් බලාපොරොත්තු වන දේ සිදු නොවේ. එක් අප්‍රිකානු රටක යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන පිළිකුල්සහගත ලෙස බොහෝ බොරු ප්‍රචාරය කරන ලදි. ඔවුන් නමස්කාර කරන්නේ යක්ෂයාටයි කියා පැවසූ බොරුවද ඒ අතර විය. මේ නිසා සාක්ෂිකරුවන් නිවසට පැමිණි විට ග්‍රේස් නමැති කාන්තාව ඇගේ නිවස පිටුපසට ගොස් ඔවුන් යන තෙක් සැඟවී සිටියාය. දවසක් ඇගේ පල්ලියේ දේවගැතිවරයා අපේ ප්‍රකාශනයක් පෙන්වා පැමිණ සිටි සියලුදෙනාටම පැවසුවේ එය කියවන්න එපා කියායි. එය කියෙව්වොත් ඔවුන්ගේ ඇදහිල්ල අත්හැරීමට එය හේතු විය හැකි බව ඔහු පැවසුවේය. එයට සවන් දුන් ග්‍රේස් තුළ කුතුහලයක් ඇති විය. ඊළඟ වතාවේදී සාක්ෂිකරුවන් ඇගේ නිවසට පැමිණි විට ඇය කළේ සැඟවෙනවා වෙනුවට ඔවුන් සමඟ කතා කර එම ප්‍රකාශනයේ පිටපතක් ලබාගැනීමයි. ඇය සමඟ බයිබල් පාඩමක් පටන්ගත් අතර, 1996දී ඇය බව්තීස්ම වූවාය. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන වැරදි වැටහීමක් ලබා සිටින අයව සොයා යමින් ඔවුන්ට නිවැරදි අවබෝධයක් ලබා දීම සඳහා ග්‍රේස් දැන් ඇගේ කාලය යොදවයි.

ඔබේ ඇදහිල්ල තවත් ශක්තිමත් කරගැනීමට කාලය මෙයයි

18. දරුණු පරීක්ෂාවලට මුහුණ දීමට කලින් අපේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් කරගත යුත්තේ මන්ද? ඒ සඳහා අපට කළ හැක්කේ කුමක්ද?

18 අසාධාරණ ලෙස දෙවිගේ සෙනඟට වෛර කරමින් ඕනෑම වේලාවක ප්‍රහාරයක් දියත් කිරීමට සාතන්ට හැකි නිසා මේ කාලයේ අපේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් කරගැනීම අතිවැදගත් දෙයකි. අපට මෙය කළ හැක්කේ කෙසේද? යෙහෝවාගේ සෙනඟට පීඩා කර තිබෙන රටකින් ලැබෙන වාර්තාවක මෙසේ සඳහන් වූයේය. “එක දෙයක් පැහැදිලිව දැකගැනීමට හැකි විය. හොඳ ආත්මික පුරුදු පවත්වාගත් අයට හා සත්‍යය ඉමහත් සේ අගය කළ අයට පරීක්ෂණ හමුවෙහි ස්ථිරව සිටීම ගැටලුවක් වූයේ නැත. එහෙත් ‘හිතකර කාලවලදී’ රැස්වීම් අතපසු කරන අය, ක්ෂේත්‍ර සේවයේ නොකඩවා හවුල් වන්නේ නැති අය හා සුළු කාරණාවලදී පවා ප්‍රතිපත්ති කඩ කරන අය ‘ගිනිමය’ පරීක්ෂණවලින් බොහෝවිට අසමත් වෙති.” (2 තිමෝති 4:2) යම් පැතිවලින් ඔබ දියුණු විය යුතුයි කියා හැඟෙනවා නම් කල් නොදමා ඉක්මනින්ම එම පැති දියුණු කරගැනීමට පියවර ගන්න.—ගීතාවලිය 119:60.

19. අයුක්තිසහගත ලෙස වෛරයට මුහුණ දෙන දෙවිගේ සේවකයන් ඔවුන්ගේ විශ්වාසවන්තභාවය අඛණ්ඩව රැකගෙන සිටීමෙන් ඉටු වී තිබෙන්නේ කුමක්ද?

19 මුළු විශ්වයේම පරමාධිපති වීමට අයිතිය තිබෙන්නේ යෙහෝවාට බවත්, ඒ සඳහා සුදුසුම තැනැත්තා ඔහු බවත්, ඔහුගේ පරමාධිපත්‍යය යුක්තිසහගත බවත් තහවුරු කරන ජීවමාන සාක්ෂි තිබේ. එම සාක්ෂි වන්නේ සාතන්ගේ වෛරයේ ප්‍රතිඵලයක් වශයෙන් අද්දකින දුක් පීඩා මැද තමන්ගේ විශ්වාසවන්තභාවය අඛණ්ඩව රැකගෙන සිටින සැබෑ නමස්කාරකයන්ය. ඔවුන්ගේ මෙම විශ්වාසවන්තභාවය ගැන දෙවි ප්‍රීති වෙයි. මිනිසුන් ඔවුන්ට නින්දා අපහාස කළත් අහස හා පොළොව අභිභවා යන මහිමයක් හිමි තැනැත්තා “තමන්ව ඔවුන්ගේ දෙවි ලෙස හඳුන්වමින් ඔහුට අයැදීම ගැන ලජ්ජා නොවන්නේය.” ඇත්තෙන්ම ඒ පක්ෂපාත සියලුදෙනා ගැන යෝග්‍ය ලෙස මෙසේ පැවසිය හැකියි. “ඔවුන්ව දැරීමට ලෝකය වටින්නේ නැත.”—හෙබ්‍රෙව් 11:16, 38.

[පාදසටහන]

^ 2 ඡේ. ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් “වෛරය” නමැති වචනයෙහි සුළු වෙනස්කම්වලින් යුත් අර්ථ කිහිපයක් තිබේ. ඇතැම් පාඨ සම්බන්ධවලට අනුව ඉන් අදහස් කරන්නේ අඩුවෙන් ප්‍රේම කිරීමයි. (ද්විතීය කථාව 21:15, 16) යම් දෙයක් හෝ පුද්ගලයෙක් කෙරෙහි දක්වන දැඩි අකමැත්ත “වෛරය” නමැති වචනයෙන්ද අදහස් වෙයි. නමුත් එවන් වෛරයකදී ඊට ලක් වන දෙයට හෝ පුද්ගලයාට හානියක් කිරීමේ චේතනාවක් නොමැත. ඒ වෙනුවට ඒ දෙය හෝ තැනැත්තා කෙරෙහි තිබෙන පිළිකුල නිසා එයින් හෝ ඔහුගෙන් ඈත්ව සිටීමට වෑයමක් දරනු ලැබේ. කෙසේවෙතත්, බොහෝ අවස්ථාවලදී නපුරක් කිරීමේ අදහසින් දිගටම දැඩි විරුද්ධත්වයක් හෝ සතුරුවාදිකමක් ඇතුව සිටීමේ අරුතද “වෛරය” නමැති වචනයෙහි ගැබ්ව තිබිය හැකියි. මේ ලිපියේ සාකච්ඡා කරනු ලබන්නේ මේ වචනයේ එම අරුතයි.

ඔබට පැහැදිලි කළ හැකිද?

• සැබෑ නමස්කාරකයන්ට අයුක්තිසහගත ලෙස වෛර කිරීමට හේතුව කුමක්ද?

• යෝබ්ගේ හා යේසුස්ගේ විශ්වාසවන්තභාවය බිඳ හෙළීමට සාතන් නින්දා කිරීම යොදාගත්තේ කෙසේද?

• සාතන්ගේ වෛරය මැද අපේ ස්ථාවරය රැකගැනීමට යෙහෝවා අපව ශක්තිමත් කරන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔවුහු වාද විෂය තේරුම්ගත්හ

වසර 50කට වඩා වැඩි කාලයක් පුරා දේශනා කිරීමේ කාර්යය තහනම් කර තිබූ යුක්‍රේනයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් මෙසේ පැවසුවේය. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුහුණ දෙන තත්වය දෙස බැලිය යුත්තේ මිනිසුන් අපට සලකන ආකාරය සැලකිල්ලට ගනිමින් නොවේ. . . . නිලධාරීන් බොහෝදෙනෙක් කළේ ඔවුන්ගේ රාජකාරියයි. ආණ්ඩුව වෙනස් වූ විට නිලධාරීන් ඔවුන්ගේ පක්ෂපාතකම වෙනස් කරන්නට විය. එහෙත් අපි වෙනස් වූයේ නැත. බයිබලයේ හෙළි කර තිබෙන පරිදි අපට දුක් පීඩා ඇති කරන සැබෑ පුද්ගලයා කවුද කියා අපි තේරුම්ගෙන සිටියා.

“අප දෙස අපි බැලුවේ නපුරු මිනිසුන්ගේ අතට පත්ව සිටි අහිංසක ගොදුරු හැටියට නොවේ. විඳදරාගැනීමට අපට උපකාරවත් වුණේ ඒදන් උයනේදී මතු කරන ලද වාද විෂය, එනම් පාලනය කිරීමට දෙවි සතු අයිතිය ගැන කළ ප්‍රශ්න කිරීම පැහැදිලිව තේරුම්ගැනීමයි. . . . අපි සම්බන්ධ වාද විෂය ගතහොත්, අපි නොසැලෙන ස්ථාවරයක සිටියේ මිනිසුන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා පමණක් නොව විශ්වයේ පරමාධිපති වෙනුවෙන් ඉටු වන යමක් අප සැලකිල්ලට ගත් නිසයි. මෙම වාද විෂයේ සැබෑ හරය සම්බන්ධයෙන් අපට ගැඹුරු අවබෝධයක් තිබිණ. මෙය අපට ලොකු ශක්තියක් විය. එමෙන්ම අතිදරුණු තත්වයන්වලදී පවා අපේ විශ්වාසවන්තභාවය අඛණ්ඩව රැකගැනීමට එය අපට පිටිවහලක් විය.”

[පින්තූරය]

වර්ෂ 1970දී අත්අඩංගුවට ගත් වික්ටර් පොපොවිච්

[13වන පිටුවේ පින්තූරය]

යේසුස්ට නින්දා කිරීම ගැන වග කිව යුත්තේ කවුද?

[15වන පිටුවේ පින්තූර]

යෝබ්, මේරි හා නවීන කාලවල සිටින ස්ටැන්ලි ජෝන්ස් වැනි දෙවිගේ සේවකයන් යෙහෝවාගේ පරමාධිපත්‍යයට පක්ෂව සිට ඇත