Skip to content

පටුනට යන්න

වැඩියෙන්ම ප්‍රයෝජනවත් උපදෙස් සොයාගැනීම

වැඩියෙන්ම ප්‍රයෝජනවත් උපදෙස් සොයාගැනීම

වැඩියෙන්ම ප්‍රයෝජනවත් උපදෙස් සොයාගැනීම

සාර්ථක ජීවිතයක් ඇත්තෙන්ම අගනා දෙයකි. ව්‍යාකූල වූ මේ ලෝකයේ එවැනි ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධකයන් නම්, හොඳ උපදෙස් මෙන්ම ඊට එකඟව ක්‍රියා කිරීමට ආශාවක් දැක්වීමය. කෙසේනමුත්, ප්‍රයෝජනදායක උපදෙස්වලට අවධානය යොමු කිරීමට මිනිසුන් සැමවිටම කැමැත්තක් දක්වා නැත. බොහෝදෙනෙකු පවසා තිබෙන්නේ මිනිසා ජීවත් විය යුත්තේ ඔහුගේම කැමැත්තට අනුව කියාය. ඇත්තවශයෙන්ම බයිබල් වාර්තාව පෙන්වන්නේ දිව්‍ය පරමාධිපත්‍යයට එරෙහි වූ ප්‍රථම සතුරා වන සාතන් මුල් මිනිසුන් දෙදෙනාට ස්වාධීන වීමට උනන්දු කළ බවය. ඔහු ඒවට තහවුරු කළ දේ උත්පත්ති 3:5හි වාර්තා වන්නේ මෙසේය. “ඔබ එයින් කන දවසෙහි ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.”

තමන්ගේම මතයට අනුව ක්‍රියා කිරීමෙන් පසුව ආදම් සහ ඒවට දරුණු ප්‍රතිඵල නොලැබ සාර්ථක ජීවිතයක් ගත කිරීමට හැකි වූවාද? කොහෙත්ම නැත. යහපත හා නපුර අතර වෙනස දන්නා අය මෙන් කටයුතු කිරීමට යෑමෙන් ඔවුන්ට සිදු වූයේ ඒ මොහොතේම තම බලාපොරොත්තු කඩ කරගැනීමටය. ඔවුන්ට දෙවිගේ අනුමැතිය නොලැබී යෑම සාධාරණ දෙයක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස අත් වූ අසම්පූර්ණත්වය නිසා ඔවුන්ට දුෂ්කර ජීවිතයක් ඇරඹීමට සිදු වූ අතර අවසාන ප්‍රතිඵලය වූයේ මරණයයි. (උත්පත්ති 3:16-19, 23) මරණය අප සියල්ලන්ටම බලපාන දෙයකි. බයිබලයේ මෙසේ පවසයි. “එක් මිනිසෙකුගෙන් [ආදම්ගෙන්] ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය.”—රෝම 5:12, NW.

ආදම් සහ ඒව කළ තේරීම අනුව නරක ප්‍රතිඵල ලැබී ඇතත් මිනිසාව මැවූ තැනැත්තාගෙන් ලැබෙන උපදෙස් අදාළ කරගැනීම නැණවත් දෙයක් බව බොහෝදෙනෙකු තවමත් ඒත්තුගෙන නැත. කෙසේවුවද, බයිබලයේ පවසන්නේ “මුළු ශුද්ධ ලියවිල්ලම දේවානුභාවයෙන්ය. . . . ප්‍රයෝජනවත්ය” කියාය. එමෙන්ම “පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණව” සිටීමට අපට උපකාර කිරීමට එයට හැක. (2 තිමෝති 3:16, 17, NW) අප බයිබලයෙහි උපදෙස් අනුගමනය කරනවා නම් ඇත්තෙන්ම අපට ඉමහත් සතුටක් ලැබෙනු ඇත. මේවා පුළුල්ව අදාළ කරගත හැකි ක්ෂේත්‍රයකි පවුල් ජීවිතය.

විවාහය තුළ විශ්වසනීයත්වය

බයිබලයේ පවසන්නේ විවාහය ස්ථිර බැඳීමක් වීම දෙවිගේ අරමුණ වූ බවය. (උත්පත්ති 2:22-24; මතෙව් 19:6) එපමණක්ද නොව, ශුද්ධ ලියවිල්ලේ පවසන්නේ “විවාහ යහන දූෂ්‍ය වීමකින් තොරව [තිබිය යුතුය]” කියාය. ඉන් අදහස් වන්නේ මෙම බැඳීම විවාහයෙන් පිට ලිංගික සබඳතාවලින් දූෂ්‍ය නොවිය යුතු බවය. (හෙබ්‍රෙව් 13:4, NW) කෙසේවෙතත්, අද දින බොහෝ විවාහයන් තුළ මෙම ප්‍රමිතිය පිළිනොපදින බව ඔබ දන්නා කරුණක් විය හැක. විවාහ කලත්‍රයෙකු සිටියදී සමහරු රැකියා ස්ථානයේ වෙනත් පුද්ගලයන්ටද ආලවන්තකම් පාති. තවත් අය තමන්ගේ සහකරු හෝ සහකාරියට බොරු කියමින් පෙම්වතෙකු හෝ පෙම්වතියක සමඟ කාලය ගත කරති. තවත් සමහරු වඩාත් තරුණ කෙනෙකු සමඟ ජීවිතය ඇරඹීමට තමන්ගේ සහකරුවා හෝ සහකාරිය අත්හරිති. කලින් ලිපියේ සඳහන් වූ වෙරෝනිකාගේ සිද්ධියේදී මෙන් ඔවුන් තර්ක කරන්නේ ඔවුන්ට වඩාත් තරුණ හැඟීමක් සහ වැඩි සතුටක් ඉන් ලැබෙනවාය කියාය.

කෙසේනමුත් ඕන දෙයක් වුණාවේ යන හැඟීම ඇතුව තමන්ව පිනවාගැනීමට ගන්නාවූ අදිටනෙන් කල් පවතින සන්තෝෂයක් නොලැබෙනු ඇත. මේ ගැන සාක්ෂියක් දීමට රෝනල්ඩ්ට හැකියි. තමාගේ ජීවිතයේ ප්‍රීතිය වැඩි කරගත හැකියයි සිතූ ඔහු වසර හයක් පුරා හොර රහසේ ඇසුරු කළ, ඒ වන විටත් ඔහු නිසා දරුවන් දෙදෙනෙකු සිටි ස්ත්‍රියක් සමඟ නව යුග දිවියක් පටන්ගැනීමට තමාගේ භාර්යාව අත්හැරියේය. කෙසේවෙතත්, ඔහු තම විවාහය කටු ගා දමා යම් කලක් ගත වූ පසු ඔහුගේ පෙම්වතිය ඔහුව අත්හැර දැමුවාය. අන්තිමේදී රෝනල්ඩ් තම දෙමාපියන් සමඟ ජීවත් වීමට ගියේය. ඔහු තම තත්වය විස්තර කළේ, “වස ලජ්ජාවක්” වුණේයයි පවසමිනි. එය එක් උදාහරණයක් පමණයි. ආත්මාර්ථකාමී ආශාවන් මගින් ඇති වන එවැනි හැසිරීමක් නිසා දික්කසාද වීමේ හා පවුල් දෙදරා යෑමේ සංඛ්‍යාව බලා සිටියදීම වැඩි වන අතර වැඩිහිටියෝ හා දරුවෝ යන දෙපාර්ශ්වයේම ගණන් කළ නොහැකි සංඛ්‍යාවක් වේදනා විඳින්නන් බවට පත් වෙති.

කෙසේවෙතත්, බයිබල් උපදෙස් පිළිපැදීම සැබෑ සතුටට දායක වී ඇත. රෝබෙටෝට සිදු වූයේද ඒ දේමය. ඔහු මෙසේ පවසයි. “බයිබලයේ උපදෙස්වලට ස්තුතිවන්ත වෙන්න මට මගේ භාර්යාව අහිමි වුණේ නැහැ. කලත්‍රයා නොවන කෙනෙකු නෙත් සිත් ඇද බැඳගන්නාවූ කෙනෙක් මෙන් පෙනුණත් එවැනි කෙනෙකු සමඟ සම්බන්ධකමක් ඇති කරගැනීමට තිබෙන පෙලඹීමට යටවීමෙන් අපිට සැබෑ සන්තෝෂයක් ලැබෙන්නේ නැහැ. අවුරුදු ගණනාවක් මගේ කිට්ටුවෙන්ම හිටිය මගේ සහකාරියව අගය කරන්න බයිබල් අධ්‍යාපනය මට උපකාර කරලා තියෙනවා.” “තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහි ලෙස ක්‍රියා නොකෙරේවා” යන බයිබල් උපදෙස රෝබෙටෝගේ ජීවිතය කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේය. (මලාකී 2:15) දිව්‍ය උපදෙස්වලින් අපට ප්‍රයෝජන ලැබිය හැක්කේ වෙනත් කුමන පැතිවලින්ද?

අපේ දරුවන්ව ඇති දැඩි කිරීම

දශක කීපයකට පෙර, තම දරුවන්ව ඇති දැඩි කිරීමේදී දෙමාපියන් බොහෝ සීමා තහංචි නොපැනවිය යුතුයි යන අදහස ජනප්‍රිය විය. ඉන් අදහස් වූයේ, සිතන පතන ආකාරය ගැන සහ හැසිරීම පිළිබඳව දරුවන්ටම තීරණ ගැනීමට ඉඩහැරීම සාධාරණ බවයි. මෙහි පරමාර්ථය වූයේ බාධාවකින් තොරව වර්ධනය වීමට ඔවුන්ට ඉඩ දීමය. ඇතැම් ස්ථානවල තමන් පන්තිවලට පැමිණෙනවාද නැද්ද කියා ශිෂ්‍යයන්ටම තීරණය කළ හැකි මෙන්ම තමන් කෙතරම් දුරකට විනෝද වෙනවාද නැත්නම් ඉගෙනුම ලබනවාද කියා ඔවුන්ටම තීරණය කළ හැකි ලිහිල් අධ්‍යාපනික ක්‍රම පවා පිහිටුවනු ලැබීය. මෙයාකාර එක් පාසැලක ප්‍රතිපත්තිය වූයේ “වැඩිහිටියන්ගේ අදහස් උදහස් හා අනුදැනුම නොමැතිව තම අභිමතයන් ඉටු කරගැනීමට දරුවන්ට ඉඩහැරීමය.” ඇතැම් අවස්ථාවලදී ප්‍රේමණීය ලෙස හික්මවීම අවශ්‍ය බව දෙමාපියන් සිතුවත් අද දින මිනිසාගේ හැසිරීම් රටා අධ්‍යයනය කරන ඇතැම් උපදේශකයෝ ඊට විරුද්ධව තර්ක කරති. ඔවුන් කියන්නේ හික්මවීම සඳහා පාවිච්චි කරන ඇතැම් ක්‍රමවලින් පලක් නැති බවය.

ප්‍රතිඵලය කුමක් වී තිබේද? බොහෝදෙනෙකුගේ අදහස වී තිබෙන්නේ දරුවන් ඇති දැඩි කිරීමේදී ඕනෑම දේකට ඉඩ දෙන ලිහිල් ක්‍රම මගින් දරුවන්ට ‘වැඩි’ නිදහසක් ලබා දී තිබෙන බවය. මෙය අපරාධ හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැඩි වීමට මඟ පාදා ඇති බවයි ඔවුන්ගේ හැඟීම. එක්සත් ජනපදයෙහි සිදු කළ සමීක්ෂණයකට සහභාගි වූ අයගෙන් සියයට 70ක් පමණ කියා සිටියේ දරුවන්ට හා යෞවන අයට දෙමාපියන්ගෙන් නිසි මඟ පෙන්වීමක් ලැබෙන්නේ නැත කියාය. පාසැල්වල නහඹරයන් විසින් සිදු කරන වෙඩි තැබීම් හා වෙනත් දරුණු අපරාධවලට හේතුව පැහැදිලි කිරීමට තැත් කරන විට “දෙමාපියන් තදින් නොසිටීම” සම්බන්ධයෙන් බොහෝදෙනෙක් දෙමාපියන්ට දොස් පවරති. එමෙන්ම එතරම් ඛේදජනක ප්‍රතිඵල ඇති නොවුණත් හොඳ මඟ පෙන්වීමක් නොදී දරුවන් ඇති දැඩි කිරීම හේතුවෙන් දෙමාපියන් හා දරුවන් යන දෙපිරිසම නෙළාගන්නා පල තික්තය.

මේ ගැන බයිබලයේ පවසන්නේ කුමක්ද? ශුද්ධ ලියවිල්ලේ දෙන උපදෙස නම් ප්‍රේමයෙන් මෙන්ම ස්ථිරභාවයකින්ද දෙමාපිය අධිකාරිත්වය හෙබවිය යුතුය යන්නය. බයිබලයේ මෙසේ පවසයි. “මෝඩකම ළමයෙකුගේ සිතට බැඳී තිබේ. දඬුවම් කිරීමේ ඉපල එය ඔහුගෙන් දුරු කරයි.” (හිතෝපදේශ 22:15) දෙමාපියන් දෙනු ලබන ඕනෑම හික්මවීමක් තත්වයන්ට අනුව යෝග්‍ය විය යුතුය. හික්මවීමක් දෙනවා නම් එය දිය යුත්තේ මෘදුව, ආත්මදමනය ඇතුව හා සැලකිලිමත්කමිනි. මෙලෙස කිරීම ප්‍රේමයේ සලකුණකි. ඉතා කුරිරු ලෙස නොව ප්‍රේමණීය ආකාරයකින් දෙමාපිය අධිකාරිත්වය හෙබවීමෙන් වැඩි සාර්ථකත්වයක් ලබාගැනීමට තිබෙන ඉඩ කඩ වැඩිය. මෙම උපදෙස අදාළ කරගැනීමෙන් පැහැදිලිවම හොඳ ප්‍රතිඵල ලැබී ඇත. මෙක්සිකෝවේ වෙසෙන මෑතකදී විවාහ වූ 30-හැවිරිදි ආර්ටූරෝ මෙසේ පවසයි. “මගේ තාත්තා මගේ සහෝදරයන්ටයි, මටයි පැහැදිලිව පෙන්වලා දුන්නේ පවුලේ අධිකාරිත්වය හොබවන්න අයිතිය තියෙන්නේ ඔහුට සහ මගේ මවට බවයි. අපිව හික්මවන්න ඔවුන් කිසිවිටකත් පසුබට වුණේ නැහැ. අපිත් එක්ක කතා කරන්නත් ඔවුන් නිතරම වෙලාව සොයාගත්තා. දැන් වැඩිහිටි වියට පා තබලා ඉන්න මම භුක්ති විඳින සාර්ථක ජීවිතය මං අගය කරනවා. මේ විදිහට ඉන්න මට වැඩියෙන්ම පුළුවන් වෙලා තියෙන්නේ මට ලැබුණ හොඳ මඟ පෙන්වීම හින්දයි කියලා මම දන්නවා.”

වැඩියෙන්ම ප්‍රයෝජනවත් උපදෙස්වලින් පල නෙළාගන්න

මිනිසාට ලබාගත හැකි වැඩියෙන්ම ප්‍රයෝජනවත් උපදෙස් අඩංගුව තිබෙන්නේ දේවවචනය වන බයිබලයෙහිය. එහි මඟ පෙන්වීම පවුල් කවයට පමණක් සීමා නොවන්නකි. එය අපව බොහෝ පැතිවලින් පුහුණු කරයි. එසේ වන්නේ තමන්ගේම යහපත සඳහා අතිශ්‍රේෂ්ඨ ප්‍රඥාවේ ප්‍රභවයකින් තමන්ගේ ජීවිත පාලනය විය යුතු බව පිළිගැනීමට අකමැති වැඩිදෙනෙකු සිටින ලෝකයක කෙසේද ක්‍රියා කළ යුත්තේ කියා එය අපට උගන්වන බැවිනි.

මිනිසාගේ මැවුම්කරු වන යෙහෝවා දෙවි ගීතිකාකාර දාවිත් මාර්ගයෙන් මෙම සහතිකය දුන්නේය. “ඔබට උගන්වන්නෙමි. ඔබ විසින් යා යුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස් ඔබ කෙරෙහි යොමු කොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.” (ගීතාවලිය 32:8) අනතුරුවලින් අපව ආරක්ෂා කිරීමට මැවුම්කරු අප දෙස බලාගෙන සිටිනවාය යන්නෙන් අදහස් වෙන්නේ කුමක්ද කියා ඔබට සිතාගත හැකිද? එහෙත් අප එක් එක් කෙනා ඉදිරියේ තිබෙන ප්‍රශ්නය මෙයයි. ‘යෙහෝවාගේ ආරක්ෂිත මඟ පෙන්වීම මම යටහත් පහත්ව පිළිගනියිද?’ ඔහුගේ වචනය ප්‍රේමණීය ලෙස අපට මෙසේ පවසයි. “ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න. ඔබේ සියලු මාර්ගවලදී ඔහුව සලකන්න. එවිට ඔහු ඔබේ මාවත් සමතලා කරනවා ඇත.”—හිතෝපදේශ 3:5, 6.

යෙහෝවාව දැනගැනීමට වෑයමක් දැරීම හා යම් කැපවීමක් කිරීම අවශ්‍යය. එහෙත් වැඩි ඈතකට යන්න අවශ්‍ය නැහැ බයිබලයෙන්ම එය කළ හැකියි. ඔහු නිර්දේශ කරන්නේ “දැන් තිබෙන ජීවිතය ගැනත් මතු පැමිණෙන ජීවිතය ගැනත් පොරොන්දු” ඇතුළත් ජීවන මඟකි. එම ජීවන මඟේ යෑමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන සලකා බලන කල එය සැබවින්ම මහත් ලාභයක් ගෙන දෙන මඟකි.—1 තිමෝති 4:8; 6:6, NW.

බයිබලයෙන් ලැබෙන තීක්ෂ්ණ බුද්ධිය හා ඊට එකඟව ජීවත් වීමෙන් ලැබෙන ආශීර්වාද වෙතට ඔබේ සිත ඇදී ගොස් තිබේ නම්, දෙවිගේ වචනය කියවීම හා මෙනෙහි කිරීම ඔබේ ජීවිතයේ පළමු තැනට දමන්න. එසේ කිරීමෙන් අද දින තිබෙන හා ඉදිරියේදී ඇති විය හැකි අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ඔබට උපකාරයක් ලැබෙනු ඇත. ඊට අමතරව, දෙවිගේ නව ලෝකයේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව ඔබ දැනගනු ඇත. එහි සිටින්නාවූ සියලුදෙනාම යෙහෝවා විසින් උගන්වනු ලබන අතර ඔවුන්ගේ සමාදානයද මහත් වනු ඇත.—යෙසායා 54:13.

[5වන පිටුවේ පින්තූරය]

විවාහ බැම්ම ශක්තිමත් කිරීමට බයිබල් උපදෙස්වලට හැකියි

[6වන පිටුවේ පින්තූර]

නිසි මඟ පෙන්වීම ලැබෙන්නේ බයිබල් උපදෙස්වලින් වන අතර සතුට භුක්ති විඳීමටද එය ඉඩ සලසයි

[7වන පිටුවේ පින්තූර]

බයිබලයේ උපදෙස් අදාළ කරගන්නාවූ අයට හැම අතින්ම සාර්ථක දිවි පෙවෙතක් ගත කළ හැකියි