Skip to content

පටුනට යන්න

‘විපත්ති කාලවලදී අපේ බලකොටුව’ වන යෙහෝවා

‘විපත්ති කාලවලදී අපේ බලකොටුව’ වන යෙහෝවා

‘විපත්ති කාලවලදී අපේ බලකොටුව’ වන යෙහෝවා

“ධර්මිෂ්ඨයන්ගේ ගැලවීම යෙහෝවාගෙන්ය. විපත්ති කාලයේදී ඔහු ඔවුන්ගේ බලකොටුව වන්නේය.”—ගීතාවලිය 37:39.

1, 2. (අ) යේසුස් සිය ගෝලයන් වෙනුවෙන් යාච්ඤා කරද්දී ඉල්ලා සිටියේ කුමක්ද? (ආ) සිය ජනයා සම්බන්ධයෙන් දෙවිගේ කැමැත්ත කුමක්ද?

යෙහෝවා සර්වබලධාරීය. තමන්ට නමස්කාර කරන ඇදහිලිවන්තයන්ව තමන් කැමති ඕනෑම ආකාරයකින් ආරක්ෂා කිරීමට ඔහුට බලය තිබේ. තම ජනයාව සෙසු ලෝකයාගෙන් වෙනස් ස්ථානයකට ගෙන ගොස්, ඔවුන්ව ආරක්ෂාකාරී හා සාමකාමී වට පිටාවක තැබීමට පවා ඔහුට හැකියාව තිබේ. එහෙත්, තම ගෝලයන් සම්බන්ධයෙන් යේසුස් සිය ස්වර්ගික පියාණන්ට යාච්ඤා කළේ මෙසේයි. “මා ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගන්නා මෙන් නොව, දුෂ්ටයා නිසා ඔවුන්ව ආරක්ෂා කරන මෙන්ය.”—යොහන් 17:15, NW.

2 අපව ‘ලෝකයෙන් ඉවතට ගැනීම’ යෙහෝවාගේ කැමැත්ත නොවේ. ඒ වෙනුවට, ඔහුගේ කැමැත්ත වී ඇත්තේ අප මෙම ලෝකයේ සාමාන්‍ය ජනයා අතර ජීවත් වෙමින් බලාපොරොත්තුව සහ සැනසීම පිළිබඳ දෙවිගේ පණිවුඩය අන්‍යයන්ට ප්‍රකාශ කිරීමයි. (රෝම 10:13-15) එහෙත්, යේසුස් සිය යාච්ඤාවේදී ඇඟවූවාක් මෙන් මේ ලෝකයේ ජීවත් වීම නිසා ‘දුෂ්ටයාගේ’ බලපෑමට අපි ලක් වී සිටින්නෙමු. දෙවිට අකීකරු මිනිස් වර්ගයා සහ දුෂ්ට ආත්ම බලවේගයන් බොහෝ විපත් සහ දුක් වේදනාවන් පමුණුවන අතර මේවායේ අහිතකර ඵලවිපාකවලට ක්‍රිස්තියානීහුද ගොදුරු වෙති.—1 පේතෘස් 5:9.

3. යෙහෝවාට නමස්කාර කරන ඇදහිලිවන්තයන් පවා මුහුණ දිය යුත්තේ කිනම් යථාර්ථයටද? නමුත් අපට දේවවචනයෙන් සොයාගත හැකි සහනය කුමක්ද?

3 එවන් තත්වයන් යටතේදී, යම් අධෛර්යය වීම් ඇතිවීම ස්වාභාවිකය. (හිතෝපදේශ 24:10) විපත්තිවලට මුහුණ දුන් ඇදහිලිවන්තයන් ගණනාවකගේ අද්දැකීම් ගැන බයිබලයේ වාර්තා වෙයි. “ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නමුත් යෙහෝවා ඒ සියල්ලෙන් ඔහු ගලවන්නේය” කියා ගීතිකාකරු පවසයි. (ගීතාවලිය 34:19) එසේය, ‘ධර්මිෂ්ඨයාට’ පවා විපත්ති සිදු වෙයි. ගීතිකාකරු දාවිත් මෙන්, ඇතැම් අවස්ථාවලදී අප ‘ක්ලාන්තව බොහෝ සෙයින් තැළී සිටිනවා’ විය හැකියි. (ගීතාවලිය 38:8) එහෙත්, ‘යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටින බවත්, තැළුණු ආත්ම ඇත්තන් ගලවන බවත්’ දැනගන්න ලැබීම සහනයකි.—ගීතාවලිය 34:18; 94:19.

4, 5. (අ) හිතෝපදේශ 18:10ට අනුව, දෙවිගෙන් ආරක්ෂාව ලබාගැනීම පිණිස අප කුමක් කළ යුතුද? (ආ) දෙවිගේ පිහිට ලබාගැනීම පිණිස අපට ගත හැකි ඇතැම් විශේෂ පියවරවල් මොනවාද?

4 යේසුස් තම යාච්ඤාවේදී සඳහන් කළාක් මෙන් යෙහෝවා ඇත්තවශයෙන්ම අපව ආරක්ෂා කරයි. ඔහු වනාහි අපේ “විපත්ති කාලයේදී . . . බලකොටුව වන්නේය.” (ගීතාවලිය 37:39) හිතෝපදේශ පොතේද කියන්නේ මෙවැනිම දෙයකි. “යෙහෝවාගේ නාමය බලකොටුවක්ය. ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.” (හිතෝපදේශ 18:10) සිය මැවිලිවලට යෙහෝවා දක්වන ආදරණීය සැලකිල්ල ගැන මූලික සත්‍යයක් මේ ශුද්ධ ලියවිලි පාඨයෙන් හෙළි කරයි. රැකවරණය සොයා ප්‍රතාපවත් බලකොටුවක් දෙසට දිවයන්නෙකු මෙන්, මහත් වීර්යයක් දරා දෙවිව සොයන ධර්මිෂ්ඨයන්ට ඔහු විශේෂ ආරක්ෂාව සපයයි.

5 ඛේදජනක ගැටලුවලට මුහුණ දෙන විට, අපට ආරක්ෂාව පතා යෙහෝවා වෙතට දිව යා හැක්කේ කෙසේද? අපට යෙහෝවාගේ පිහිට ලබාගත හැකි අතිවැදගත් පියවරවල් තුනක් ගැන දැන් අපි සලකා බලමු. පළමුව, අප අපේ ස්වර්ගික පියාණන්ට යාච්ඤා කළ යුතුයි. දෙවෙනුව, අප ඔහුගේ ශුද්ධාත්මයේ මඟ පෙන්වීමට එකඟව ක්‍රියා කළ යුතුයි. තුන්වෙනුව, අපගේ විපත්වලදී අපට සහනයක් විය හැකි සෙසු ක්‍රිස්තියානීන්ගේ ඇසුර සෙවීම මාර්ගයෙන් යෙහෝවා ඇති කර තිබෙන විධිවිධානයට අප යටත් විය යුතුයි.

යාච්ඤාවේ බලය

6. සැබෑ ක්‍රිස්තියානීන් යාච්ඤාව සලකන්නේ කෙසේද?

6 ඇතැම් සෞඛ්‍ය විශේෂඥයෝ මානසික පීඩනය හා වෙහෙසකාරී බවට ප්‍රතිකාරයක් ලෙස යාච්ඤා කරන්නයයි කියා සිටිති. යාච්ඤාවක් කියද්දී මෙන් නිහඬව කල්පනා කිරීම මගින්ද මානසික පීඩනය අවම කරගත හැකියි. එමෙන්ම ඇතැම් ස්වාභාවික ශබ්ද ශ්‍රවණය කිරීම මගින් හෝ පිට කොන්ද සම්බාහනය කිරීම මගින් වුවද මානසික පීඩනය අඩු කරගත හැකියි. එහෙත් සැබෑ ක්‍රිස්තියානීන් යාච්ඤාව සුළුවට ගෙන එය නිකම්ම යම් සුවයක් දිය හැකි ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සලකන්නේ නැත. අප යාච්ඤාව සලකන්නේ මැවුම්කරු සමඟ කරන ගෞරවනීය කතා බහක් හැටියටයි. දෙවි කෙරෙහි ඇති අපේ භක්තිය හා විශ්වාසය පිළිබිඹු කිරීම යාච්ඤාවට ඇතුළත් වෙයි. එසේය, ඇත්තෙන්ම යාච්ඤාව වනාහි අපගේ නමස්කාරයේ එක් අංගයකි.

7. විශ්වාසයකින් යුතුව යාච්ඤා කිරීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මානසික පීඩනයට මුහුණ දීමට එවන් යාච්ඤා අපට උපකාරවත් වන්නේ කෙසේද?

7 අප යාච්ඤා කරන විට යෙහෝවා කෙරෙහි නිසැකකමක් හෝ විශ්වාසයක් අපට තිබිය යුතුයි. ප්‍රේරිත යොහන් ලීවේ මෙසේයි. “ඔහු කෙරෙහි අපට තිබෙන විශ්වාසය නම්, ඔහුගේ කැමැත්තට අනුව අප ඉල්ලන ඕනෑම දෙයකට ඔහු සවන් දෙන බවය.” (1 යොහන් 5:14, NW) එකම සැබෑ සර්වබලධාරී දෙවි වන අතිශ්‍රේෂ්ඨ යෙහෝවා, ඇත්තෙන්ම තමන්ට නමස්කාර කරන අය උනන්දුවෙන් කරන යාච්ඤාවලට විශේෂ අවධානයක් දෙයි. අපගේ කරදර සහ ගැටලු ගැන අප අපේ ප්‍රේමණීය දෙවිට පවසන විට ඔහු ඊට සවන් දෙන බව දැන සිටීමම සහනයකි.—පිලිප්පි 4:6.

8. ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් යෙහෝවාට යාච්ඤා කිරීමට කිසිවිටෙකත් ලජ්ජාවක් හෝ තමන් එසේ කිරීමට නොවටින්නේය යන හැඟීමක් හෝ ඇතුව නොසිටිය යුත්තේ මන්ද?

8 යෙහෝවාට යාච්ඤා කරන විට ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් තුළ කිසිවිටකත් ලජ්ජාවක් හෝ යාච්ඤා කිරීමට තරම් තමන් නොවටින්නේය යන හැඟීමක් හෝ යම් සැකයක් හෝ නොතිබිය යුතුයි. අපේ බලාපොරොත්තු කඩ වී තිබෙන විට හෝ අප ගැටලුවලින් මිරිකී සිටින විට, යෙහෝවාට යාච්ඤා කිරීමට කැමැත්තක් සෑමවිටම අප තුළ නොතිබිය හැකි බව සැබෑවකි. එවන් අවස්ථාවලදී, යෙහෝවා “තමන්ගේ දුක්ඛිතයන්ට අනුකම්පා කරන” බවත්, “අධෛර්යයට පත්වූවන්ව සනසන” බවත් අප මතක තබාගත යුතුයි. (යෙසායා 49:13; 2 කොරින්ති 7:6, NW) අපගේ බලකොටුව ලෙස සලකමින් අප අපගේ ස්වර්ගික පියාණන් වෙත විශ්වාසයෙන් යුතුව හැරිය යුත්තේ විශේෂයෙන්ම කටුක වේදනාවක් හෝ විපත්ති අද්දකින විටයි.

9. අප දෙවිට යාච්ඤා කරද්දී ඇදහිල්ල මගින් ඉටු වන කාර්යය කුමක්ද?

9 යාච්ඤාව නමැති වරප්‍රසාදයෙන් පූර්ණ ප්‍රයෝජන ගැනීමට නම්, අපට සැබෑ ඇදහිල්ලක් තිබිය යුතුයි. බයිබලයේ පවසන්නේ, “දෙවි වෙත ළඟාවන්නා විසින් ඔහු ජීවමාන බවත් ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය” කියායි. (හෙබ්‍රෙව් 11:6, NW) ඇදහිල්ල යනු දෙවි ජීවමාන බව විශ්වාස කිරීම පමණක් නොවේ. සැබෑ ඇදහිල්ලට ඇතුළත් වන්නේ, දෙවිට කීකරු වන අයගේ ජීවිතවලට ආශීර්වාද කිරීමට දෙවි සතු හැකියාව කෙරෙහි සහ එසේ කිරීමට ඔහුට තිබෙන ආශාව කෙරෙහි දැඩි විශ්වාසයක් ඇතිව සිටීමය. “යෙහෝවාගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත්, ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම වෙතටත් යොමු වී තිබේ.” (1 පේතෘස් 3:12, NW) යෙහෝවා අපට කොතරම් ප්‍රේම කරනවාද යන්න නිරතුරුව මතක තබාගැනීම මගින් අපගේ යාච්ඤාවන් වඩාත් අර්ථාන්විතව ඉදිරිපත් කළ හැකියි.

10. අප යෙහෝවාගෙන් ආත්මික ශක්තිය ලබාගැනීමට නම්, අපගේ යාච්ඤා කුමනාකාරයේ යාච්ඤා විය යුතුද?

10 අප යෙහෝවාට සම්පූර්ණ සිතකින් යාච්ඤා කරන විට ඔහු අපට සවන් දෙයි. ගීතිකාකරු මෙසේ ලීවේය. “මම මුළු සිතින් යාච්ඤා කළෙමි. යෙහෝවා, මට උත්තර දුන මැනව.” (ගීතාවලිය 119:145) බොහෝ ආගම්වල චාරිත්‍රයක් හැටියට කෙරෙන යාච්ඤා මෙන්, අපගේ යාච්ඤාවන් යාන්ත්‍රිකව හෝ අඩසිතකින් කරන යාච්ඤා නොවේ. අප යෙහෝවාට අපේ “මුළු සිතින්” යාච්ඤා කරන විට, අප ප්‍රකාශ කරන වචනවල පැහැදිලි අර්ථයක් සහ පරමාර්ථයක් තිබේ. එලෙස ඉතා ඕනෑකමින් කරන යාච්ඤාවලින් පසුව, ‘අපගේ බර යෙහෝවා පිට තැබීමෙන්’ ලැබෙන සහනය අපි අද්දකින්නෙමු. බයිබලයේ පොරොන්දු වෙන්නාක් මෙන්, ‘ඔහු අප උසුලයි.’—ගීතාවලිය 55:22; 1 පේතෘස් 5:6, 7, NW.

දෙවිගේ ආත්මය වනාහි අපගේ උපකාරකයායි

11. අප යෙහෝවාගේ උපකාරය ‘නොකඩවා ඉල්ලන’ විට, ඔහු අපට පිළිතුරු දෙන එක් ක්‍රමයක් සඳහන් කරන්න.

11 යෙහෝවා අපගේ යාච්ඤා අසන තැනැත්තා පමණක් නොව, පිළිතුරු දෙන්නාද වේ. (ගීතාවලිය 65:2) දාවිත් මෙසේ ලීවේය. “මාගේ විපත්ති දවසේදී ඔබට යාච්ඤා කරන්නෙමි. මක්නිසාද ඔබ මට උත්තර දෙන්නේය.” (ගීතාවලිය 86:7) මේ අනුව, යේසුස් තම ගෝලයන්ව දිරිගැන්වූයේ යෙහෝවාගේ උපකාරය ‘නොකඩවා ඉල්ලන’ ලෙසයි. මක්නිසාද “ස්වර්ගයෙහි සිටින පියාණන්, තමන්ගෙන් ඉල්ලන්නන්ට . . . ශුද්ධාත්මය” දෙන බැවිනි. (ලූක් 11:9-13, NW) එසේය, දෙවිගේ ක්‍රියාකාරී බලය උපකාරකයෙක් හැටියට, එනම් ඔහුගේ ජනයාව සනසන්නෙකු හැටියට ක්‍රියා කරයි.—යොහන් 14:16, NW.

12. ගැටලුවලට මුහුණ දිය නොහැකි බවක් පෙනෙන්නට තිබුණත්, අපට උපකාර කිරීමට දෙවිගේ ආත්මයට හැක්කේ කෙසේද?

12 අප පරීක්ෂාවලට මුහුණ දෙන විට පවා, “සාමාන්‍යය ඉක්මවූ බලය” අපට දානය කිරීමට දෙවිගේ ආත්මයට හැකියි. (2 කොරින්ති 4:7, NW) බොහෝ පීඩාකාරී තත්වයන් විඳදරාගත් ප්‍රේරිත පාවුල් විශ්වාසයකින් යුතුව පැවසුවේ මෙසේයි. “මට බලය දෙන තැනැත්තාගෙන් සියලු දේ සඳහා මට ශක්තිය ලැබේ.” (ෆිලිප්පි 4:13, NW) ඒ හා සමානව, තමන්ගේ ඉල්ලීම්වලට පිළිතුරු වශයෙන් ආත්මිකව හා මානසිකව යම් ප්‍රබෝධයක් තමන් තුළ ඇති වී තිබෙන බව බොහෝ ක්‍රිස්තියානීන්ට දැනී තිබේ. අපට දෙවිගේ ආත්මයේ උපකාරය ලැබුණු පසුව, අප මානසිකව මුහුණ දෙන ගැටලුවලට තවදුරටත් මුහුණ දිය නොහැකි බවක් බොහෝ අවස්ථාවලදී දැනෙන්නේ නැත. දෙවි විසින් දානය කරනු ලබන මෙම ශක්තිය නිසා, ප්‍රේරිතවරයා මෙන් අපටද මෙසේ පැවසිය හැකියි. “අපි සෑම පැත්තකින්ම හිර වී සිටියත් සෙලවිය නොහැකි තරමටම කොටු වී නොසිටින්නෙමු. අපි ව්‍යාකූලව සිටියත් අප සිටින්නේ ඉන් ගැලවීමට කිසිම මඟක් නැතිව නොවේ. අපට පීඩා කරනු ලැබුවත් අත්හරිනු නොලබන්නෙමු. අපව බිම හෙළුවත් විනාශ නොවී සිටින්නෙමු.”—2 කොරින්ති 4:8, 9, NW.

13, 14. (අ) යෙහෝවා සිය ලිඛිත වචනය යොදාගනිමින් අපගේ බලකොටුව ලෙස ක්‍රියා කර තිබෙන්නේ කෙසේද? (ආ) බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීම ඔබට පෞද්ගලිකව උපකාරවත් වී තිබෙන්නේ කෙසේද?

13 අපගේ ප්‍රයෝජනය උදෙසා දෙවිගේ ලිඛිත වචනය සම්පාදනය කොට තිබෙන්නෙත්, එය ආරක්ෂා කොට තිබෙන්නෙත් ශුද්ධාත්මය මාර්ගයෙනි. යෙහෝවා සිය වචනය යොදාගෙන විපත්ති කාලවලදී අපගේ බලකොටුව ලෙස ක්‍රියා කර තිබෙන්නේ කෙසේද? එක් ක්‍රමයක් නම් අපට ස්ථානෝචිත ප්‍රඥාව සහ කල්පනා ශක්තිය ලබා දීමෙනි. (හිතෝපදේශ 3:21-24) බයිබලය අප සතු සිතීමේ හැකියාවන් පුහුණු කරමින් අපගේ කල්පනා ශක්තිය දියුණු කරයි. (රෝම 12:1) දේවවචනය නිතිපතා කියවා අධ්‍යයනය කරමින් එහි ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීමෙන් “හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමට හැකි වන පරිදි” අපගේ “වටහාගැනීමේ හැකියාව” ‘පුහුණු කරගත’ හැකියි. (හෙබ්‍රෙව් 5:14, NW) ඔබ දුෂ්කරතාවලට මුහුණ දුන් අවස්ථාවල ඥානවන්ත තීරණ ගැනීමට ඔබට බයිබල් ප්‍රතිපත්ති උපකාරවත් වී ඇති අන්දම ඔබ පෞද්ගලිකව අද්දැක තිබෙන්නට පුළුවන. පීඩාකාරී ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් සෙවීමට උපකාරවත් වන ඥානය අපට ලබා දෙන්නේ බයිබලයයි.—හිතෝපදේශ 1:4.

14 දෙවිගේ වචනය අපට ශක්තිය ලබා දෙන තවත් දෙයක් සපයයි. එය නම් ගැලවීමේ බලාපොරොත්තුවයි. (රෝම 15:4) නරක දේවල් සදහටම සිදු නොවන බව බයිබලය අපට කියයි. අප කුමන පීඩාවකට මුහුණ දුන්නද, අප දුක් විඳින්නේ තාවකාලිකවය. (2 කොරින්ති 4:16-18) “බොරු කීමට නොහැකි දෙවි, බොහෝ කලකට පෙර පොරොන්දු වූ සදාකාල ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව” අපට තිබේ. (තීතස් 1:2, NW) අප ඒ බලාපොරොත්තු ගැන ප්‍රීති වෙනවා නම්, යෙහෝවාගේ පොරොන්දුව වන දීප්තිමත් අනාගතය ගැන නිතරම මතකයේ තබාගෙන සිටිනවා නම් පීඩා හමුවෙහි විඳදරාගැනීමට අපට හැකියි.—රෝම 12:12; 1 තෙසලෝනික 1:2, 3.

සභාව—දෙවි ප්‍රේමය ප්‍රකාශ කරන ක්‍රමයකි

15. එකිනෙකාට උපකාර කිරීමට ක්‍රිස්තියානීන්ට හැක්කේ කෙසේද?

15 අපට විපත්ති කාලවලදී උපකාරවත් වන්නාවූ, යෙහෝවාගෙන් ලැබෙන තවත් සැපයුමක් නම් ක්‍රිස්තියානි සභාව තුළ අප අද්දකින ඇසුරයි. බයිබලය මෙසේ කියයි. “මිත්‍රයෙක් සෑම කල්හිම ප්‍රේම වන්නේය. සහෝදරයෙක් ඉපිද සිටින්නෙත් විපත්තියේදී පිහිට වීමටය.” (හිතෝපදේශ 17:17) එකිනෙකාට ගෞරව කරන ලෙසත් ප්‍රේම කරන ලෙසත් සභාවේ සියල්ලන්ට දේවවචනයේ දිරිගන්වා තිබේ. (රෝම 12:10) “එකිනෙකා තම තමාගේම ප්‍රයෝජනය නොව, අනික් තැනැත්තාගේ ප්‍රයෝජනය සොයාවා” යයි ප්‍රේරිත පාවුල් ලීවේය. (1 කොරින්ති 10:24, NW) අප එවන් ආකල්පයක් ඇතුව සිටිනවා නම්, අපට තිබෙන පරීක්ෂා ගැනම සිතනවාට වඩා අනුන්ගේ අවශ්‍යතා ගැන අවධානය යොමු කිරීමට එය අපට මහෝපකාරී වෙයි. අප අන්‍යයන්ට උදව් උපකාර කරන විට, අපිද යම් ප්‍රමාණයක සන්තෝෂයක් හා තෘප්තියක් භුක්ති විඳින්නෙමු. ඒ මගින් අපේ බරවල් සැහැල්ලු වී යයි.—ක්‍රියා 20:35, NW.

16. සෑම ක්‍රිස්තියානියෙකුටම අන්‍යයන්ව දිරිගැන්විය හැක්කේ කෙසේද?

16 ආත්මික වශයෙන් මේරූ පුරුෂයන්ට හා කාන්තාවන්ට අන්‍යයන්ව ශක්තිමත් කිරීම සඳහා වැදගත් කාර්යයක් ඉෂ්ට කළ හැකියි. එසේ කිරීම පිණිස, ඔවුහු අනුන්ට තමන් වෙතට එළඹිය හැකි පුද්ගලයන් බවට පත් වෙති. එමෙන්ම නිතරම අනුන්ට උපකාර කිරීමට සූදානමින් සිටිති. (2 කොරින්ති 6:11-13) සියලුදෙනාම තරුණයන්ට ප්‍රශංසා කිරීමටත්, නවක ඇදහිලිවන්තයන්ව ගොඩනැංවීමටත්, අධෛර්යයට පත් වී සිටින අයව දිරිගැන්වීමටත් කාලය මිඩංගු කරන විට සභාවට සැබවින්ම ආශීර්වාද ලැබේ. (රෝම 15:7) එකිනෙකා කෙරෙහි සැක කිරීමේ ස්වභාවයකින් වැළකී සිටීමට සහෝදර ප්‍රේමයද අපට උපකාරවත් වෙයි. පුද්ගලයෙකු අද්දකින යම් යම් දුෂ්කරතා ආත්මික දුර්වලකමේ ලක්ෂණයකැයි නිගමනය කිරීමට අප ඉක්මන් නොවිය යුතුයි. පාවුල් ඉතා යෝග්‍ය ලෙස ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා සිටියේ, ‘අධෛර්යයට පත්ව සිටින අයට සැනසීම ගෙන දෙන ආකාරයෙන් කතා කරන මෙන්ය.’ (1 තෙසලෝනික 5:14, NW) මන්දයත් විශ්වාසවන්ත ක්‍රිස්තියානීන්ට පවා යම් යම් ප්‍රශ්න සහ පීඩාවන් ඇති වන බව බයිබලයේ පෙන්වා දී ඇත.—ක්‍රියා 14:15.

17. ක්‍රිස්තියානි සහෝදරත්වයේ බැම්ම ශක්තිමත් කිරීමට අපට කිනම් ප්‍රස්තා තිබේද?

17 එකිනෙකාව සැනසීමට හා දිරිගැන්වීමට අපට ක්‍රිස්තියානි රැස්වීම් කදිම ප්‍රස්තාවක් ලබා දෙයි. (හෙබ්‍රෙව් 10:24, 25) මෙම ප්‍රේමණීය ඇසුර සභා රැස්වීම්වලට පමණක් සීමා වන්නේ නැත. ඒ වෙනුවට, වෙනත් අවස්ථාවලදීත් සහෝදරයන් වශයෙන් එකට ආශ්‍රය කිරීමටද දෙවිගේ ජනයා ප්‍රස්තාවන් ඇති කරගනිති. මෙවන් ප්‍රස්තා මගින් ශක්තිමත් මිතුරු බැම්මක් ඇති කරගෙන තිබෙන හෙයින්, අසීරු තත්වයන් යටතේදී එකිනෙකාට කැමැත්තෙන්ම උපකාර කිරීමට අපි සෑදී සිටින්නෙමු. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. ‘ශරීරයේ කිසි භේදයක් නැතිව, එහි අවයව එකිනෙකාට එකම සැලකිල්ල දැක්විය යුතුය. මෙසේ එක් අවයවයක් වේදනා විඳී නම්, අන් සියලුම අවයව එය සමඟ වේදනා විඳියි. නැතහොත් අවයවයක් මහිමයට පත් වන්නේ නම්, අන් සියලුම අවයව එය සමඟ ප්‍රීති වන්නේය.’—1 කොරින්ති 12:25, 26, NW.

18. අධෛර්යයට පත් වී සිටින බවක් දැනෙන විට, අප වැළකිය යුත්තේ කිනම් නැඹුරුවාවෙන්ද?

18 ඇතැම් අවස්ථාවලදී, අප කොතරම් අධෛර්යය වී ඇද්ද කිවහොත් සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීමට අප තුළ එතරම් කැමැත්තක් නොතිබිය හැකියි. අප එවන් හැඟීම්වලට එරෙහිව සටන් කළ යුතුයි. මන්දයත් සෙසු නමස්කාරකයන්ගෙන් අපට ලැබිය හැකි සහනය සහ උපකාර එවිට අහිමි වී යා හැකි නිසාය. බයිබලය මෙසේ අනතුරු අඟවයි. “තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේ ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.” (හිතෝපදේශ 18:1) අපගේ සහෝදර සහෝදරියන්ව දෙවි අපට දී තිබෙන්නේ ඔහු අපට ප්‍රේමණීයව සැලකිල්ල දක්වන නිසාය. අප එම ප්‍රේමණීය සැපයුම වටහාගන්නවා නම්, විපත්ති කාලවලදී අප සහනය අද්දකිනවා ඇත.

ධනාත්මක ආකල්පයක් තබාගන්න

19, 20. අධෛර්යය කරවන සිතිවිලි ඉවත් කර දැමීමට ශුද්ධ ලියවිලි අපට උපකාරවත් වන්නේ කෙසේද?

19 අධෛර්යයට පත් වන විට හෝ ශෝකයක් ඇති වන විට කෙනෙකුගේ සිතට පහසුවෙන්ම අධෛර්යය කරවන සිතිවිලි පහළ වේ. නිදසුනක් වශයෙන්, යම් විපත්තිවලට මුහුණ පාන විට, ඇතමුන් තමන්ගේම ආත්මික තත්වය ගැන ප්‍රශ්න කරන්නට පටන්ගන්නවා විය හැකියි. එසේ කරමින්, තමන්ට ඇති වී තිබෙන දුෂ්කරතාව දෙවිගේ අප්‍රසාදයට තමන් ලක් වී ඇති බවට ලකුණකැයි ඔවුහු නිගමනය කරති. එහෙත්, යෙහෝවා “නපුරු දෙයින්” කිසිවෙකුව පරීක්ෂා කිරීමට උත්සාහ නොකරන බව මතක තබාගන්න. (යාකොබ් 1:13, NW) “[දෙවි] මනුෂ්‍ය පුත්‍රයන්ට කැමැත්තෙන් පීඩා නොකරන්නේය. ඔවුන් ශෝකයට නොපමුණුවන්නේය” කියා බයිබලය කියයි. (විලාප ගී 3:33) ඒ වෙනුවට, සිය සේවකයන් දුක් විඳින විට යෙහෝවා බොහෝ සෙයින් දුක් වෙයි.—යෙසායා 63:8, 9; සෙකරියා 2:8.

20 යෙහෝවා වනාහි “දයානුකම්පාවේ පියාණන්ද සියලු සැනසිල්ලේ දෙවිද වන්නේය.” (2 කොරින්ති 1:3, NW) ඔහු අප කෙරෙහි සැලකිලිමත් වන අතර අපව නිසි කාලයේදී උසස් කරනවා ඇත. (1 පේතෘස් 5:6, 7) දෙවිගේ ස්නේහය ගැන නිතරම මතක තබාගෙන සිටීම මගින් ධනාත්මක ආකල්පයක් ඇතුව සිටීමට පමණක් නොව ප්‍රීතියෙන් පවා සිටීමට අපට හැකි වෙයි. යාකොබ් ලීවේ මෙසේයි. “මාගේ සහෝදරයෙනි, ඔබ විවිධාකාර පරීක්ෂාවලට මුහුණ දෙන කල, එය සැබවින්ම ප්‍රීතියක්යයි සලකන්න.” (යාකොබ් 1:2, NW) ඒ මන්ද? ඔහු මෙසේ පිළිතුරු දෙයි. “මන්ද, අනුමැතිය ලැබූ කල ඔහුට ජීවනය නමැති ඔටුන්න ලැබෙන්නේය. එය තමාට දිගටම ප්‍රේම කරන අය සඳහා දීමට යෙහෝවා පොරොන්දු වී ඇත.”—යාකොබ් 1:12, NW.

21. අප කුමන දුෂ්කරතාවලට මුහුණ දුන්නත්, තමන්ට විශ්වාසවන්තව සිටින අයට දෙවි දෙන සහතිකය කුමක්ද?

21 යේසුස් අපට අනතුරු ඇඟවූවාක් මෙන් අපට ලෝකයේ පීඩා තිබේ. (යොහන් 16:33) නමුත් “පීඩා හෝ දුක් වේදනා හෝ හිංසා හෝ කුසගින්න හෝ නිර්වස්ත්‍රකම හෝ උවදුරු හෝ” යෙහෝවාගේ ප්‍රේමයෙන් සහ ඔහුගේ පුත්‍රයාගේ ප්‍රේමයෙන් අපව වෙන් නොකරන බවට බයිබලය පොරොන්දු වෙයි. (රෝම 8:35, 39, NW) අප මුහුණ දෙන යම් විපත්තියක් වේ නම්, එය තාවකාලික බව දැනගැනීම මොන තරම් සැනසීමක්ද! මේ අතර, මිනිසුන් වශයෙන් විඳින දුක් වේදනාවල නිමාව දෙස අප බලා සිටින අතරේදී අපගේ ප්‍රේමණීය පියාණන් අපව ආරක්ෂා කරයි. අප ආරක්ෂාව පතා ඔහු වෙතට දුවනවා නම් ඔහු ‘පීඩා ඇත්තවුන්ට උස් කොටුවක් හා විපත්ති කාලවලදී උස් කොටුවක්’ වෙනවා ඇත.—ගීතාවලිය 9:9.

අප ඉගෙනගත්තේ මොනවාද?

• මේ දුෂ්ට ලෝකයේ ජීවත් වන විට, ක්‍රිස්තියානීන් අපේක්ෂා කළ යුත්තේ කුමක්ද?

• අප පරීක්ෂාවලට මුහුණ දෙන විට, ඉතා උනන්දුවෙන් කරන යාච්ඤා අපට ශක්තියක් වන්නේ කෙසේද?

• දෙවිගේ ආත්මය උපකාරකයෙකු වන්නේ කෙසේද?

• එකිනෙකාට උපකාර කිරීමට අපට කුමක් කළ හැකිද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

ප්‍රතාපවත් බලකොටුවක් දෙසට දුවන්නාක් මෙන් අප යෙහෝවාව සෙවිය යුතුය

[20වන පිටුවේ පින්තූර]

ආත්මිකව මේරූ අය අන්‍යයන්ට ප්‍රශංසා කිරීමට හා ඔවුන්ව දිරිගැන්වීමට සෑම ප්‍රස්තාවක්ම යොදාගනිති