Skip to content

පටුනට යන්න

“සුවිශේෂය පතළ කිරීමට සංචාරය කළ” නිර්භීත මිනිසෙක්

“සුවිශේෂය පතළ කිරීමට සංචාරය කළ” නිර්භීත මිනිසෙක්

“සුවිශේෂය පතළ කිරීමට සංචාරය කළ” නිර්භීත මිනිසෙක්

ජෝර්ජ් බරෝ නමැති පුද්ගලයාට අවුරුදු 18ක් පමණ වන විට භාෂා 12ක් පිළිබඳ දැනුමක් තිබූ බව පැවසේ. ඉන් වසර දෙකකට පසු “සරල සහ ඉතාමත් අලංකාර ශෛලියකින්” භාෂා 20ක් පරිවර්තනය කිරීමේ හැකියාව ඔහුට තිබුණි.

වර්ෂ 1833දී මෙම අසාමාන්‍ය හැකියාවන්ගෙන් පිරිපුන් මිනිසාට එංගලන්තයේ ලන්ඩන් නුවර තිබෙන බ්‍රිතාන්‍ය හා විදේශ බයිබල් සමාගමෙන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා ආරාධනාවක් ලැබුණි. ඔහුට තම ගමන් වියදම් සඳහා මුදල් නොතිබුණි. එනමුත් මෙම අනගි අවස්ථාව අත් නොහැරීමට අදිටන් කරගත් තිස් හැවිරිදි ඔහු තම නිවස පිහිටි නොර්වික්හි සිට කිලෝමීටර 180ක් දුර ඇවිදගෙන එහි යෑමට තීරණය කළේය. ඒ සඳහා ඔහුට පැය 28ක් ගත විය.

බයිබල් සමාගම ඔහුට අභියෝගයක් භාර දුන්නේය. එම අභියෝගය නම් චීනයේ යම් පළාත්වල භාවිත වන මැන්චූ භාෂාව මාස හයකින් ඉගෙනගැනීමයි. ඔහු ඒ සඳහා මැන්චූ ව්‍යාකරණ පොතක් ඉල්ලා සිටියේය. එනමුත් ඔවුන්ට ඔහුට දිය හැකි වූයේ මැන්චූ භාෂාවෙන් තිබූ මතෙව්ගේ සුවිශේෂය සහ මැන්චූ-ප්‍රංශ ශබ්දකෝෂය පමණි. කොහොමනමුත්, ඔහු සති 19ක් ඇතුළත ලන්ඩනයට මෙසේ ලිපියක් ලිවීය. “මම දෙවිගේ උපකාරයෙන් මැන්චූ භාෂාව පිළිබඳව මනා දැනුමක් ලබා තිබෙනවා.” ඔහු අත් කරගත් මෙම සාර්ථකත්වය විශිෂ්ට යමක් වන්නේ ඔහු එම කාලයේදීම මෙක්සිකෝවේ ස්වදේශීය භාෂාවක් වන නහුවාට්ල් භාෂාවෙන් තිබූ ලූක්ගේ සුවිශේෂයද නිවැරදි කරමින් සිටීමයි.

මැන්චූ භාෂාවෙන් බයිබලය

දහහත්වන ශතවර්ෂයේදී මොන්ගෝලියානු වීගු හෝඩිය යොදාගෙන මැන්චූ ලිඛිත භාෂාව තැනූ විට එය චීනයේ නිල භාෂාව බවට පත් විය. නමුත් කාලයත් සමඟ එම භාෂාව ක්‍රමක්‍රමයෙන් අභාවයට ගියත් බ්‍රිතාන්‍ය හා විදේශීය බයිබල් සමාගමේ සාමාජිකයෝ මැන්චූ භාෂාවෙන් බයිබලය මුද්‍රණය කර බෙදාහැරීමට උත්සුක වූහ. වර්ෂ 1822දී ස්ටයිපාන් ලිපොෆ්ට්සෆ් විසින් පරිවර්තනය කරන ලද මතෙව් සුවිශේෂයේ පිටපත් 550ක් මුද්‍රණය කිරීම සඳහා ඔවුන් විසින් මුදල් වැය කර තිබුණි. එම පරිවර්තකයා රුසියාවේ විදේශ කටයුතු පරිපාලන කාර්යාලයේ සාමාජිකයෙක් වූ අතර අවුරුදු 20ක් ජීවත් වී තිබුණේ චීනයේයි. මෙම මතෙව් සුවිශේෂය මුද්‍රණය කළේ සාන්ත පීටස්බර්ග්හිදීයි. නමුත් බෙදාහැරීමට හැකි වූයේ පිටපත් කිහිපයක් පමණි. ගං වතුරට අනෙක් පිටපත් විනාශ විය.

මුළු ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ලම පරිවර්තනය කිරීමේ කටයුත්ත විගස ඇරඹුණි. වර්ෂ 1834දී හෙබ්‍රෙව් ලියවිලිවල මුල් අත්පිටපත් බොහෝමයක් සොයාගැනීමත් සමඟම බයිබලය කෙරෙහි උනන්දුව වැඩි විය. භාවිතයේ පැවති මැන්චූ බයිබලය සංශෝධනය කිරීමත් එහි ඉතිරි කොටස පරිවර්තනය කිරීමත් සංවිධානය කළ හැක්කේ කාටද? බ්‍රිතාන්‍ය හා විදේශ බයිබල් සමාගම ඔවුන් වෙනුවෙන් එම කටයුත්ත භාරගැනීමට ජෝර්ජ් බරෝව පිටත් කර යැවීය.

රුසියාවට

බරෝ සාන්ත පීටස්බර්ග් නගරයට පැමිණි පසු බයිබල් පිටපත් නිවැරදිව සංස්කරණය කිරීමට හා සෝදුපත් බැලීමට හැකි වන පිණිස මැන්චූ භාෂාව ඔහු ගැඹුරට හැදෑරුවේය. ඒත් ඔහුගේ පැවරුම ඉතා වෙහෙසකර එකක් විය. අලුත් ගිවිසුමේ අකුරු ඇමිණීමට උපකාර කරමින් ඔහු දිනකට පැය 13ක් වැඩ කළේය. එම පරිවර්තනය පසුව “ප්‍රාචීන කෘති අතරින් ඉතා අලංකාර කෘතියක්” ලෙස හඳුන්වනු ලැබීය. වර්ෂ 1835දී මෙහි පිටපත් දාහක් මුද්‍රණය කරන ලදි. එනමුත් එම පිටපත් චීනයට ගෙන ගොස් බෙදාහැරීමට වූ බරෝගේ ආශාව ඒ අයුරින්ම ඉටු වූයේ නැත. රුසියානු ආණ්ඩුව තම අසල්වැසි රටක් වූ චීනයේ බයිබල් බෙදාහැරීම සැලකුවේ තමන්ගේ මිත්‍රත්වයට අවදානමක් ඇති විය හැකි මිෂනාරි කටයුත්තක් ලෙසය. එමනිසා බරෝ “එක් මැන්චූ භාෂා බයිබලයක්” හෝ රැගෙන යනවා නම් චීන දේශ සීමාවට යෑමට ඔහුට අවසර නොදෙන බව ඔවුහු කියා සිටියහ.

වසර දහයක් පමණ ගිය පසු එහි පිටපත් කිහිපයක් බෙදාහරින ලදි. වර්ෂ 1859දී මැන්චූ සහ චීන භාෂාවෙන් සමාන්තර තීරු සහිත මතෙව් හා මාර්ක් සුවිශේෂ එළිදැක්වීය. කෙසේවෙතත් ඒ කාලය වන විට මැන්චූ භාෂාව කියවිය හැකි බොහෝදෙනෙක් චීන භාෂාව කියවීමට රුචිකත්වයක් දැක්වීය. එමනිසා බයිබලය මැන්චූ භාෂාවෙන් සම්පූර්ණයෙන් පරිවර්තනය කිරීමේ අපේක්ෂාව බොඳ වෙන්න පටන්ගත්තේය. මන්දයත් මැන්චූ ක්‍රමක්‍රමයෙන් අභාවයට යමින් තිබූ භාෂාවක් වූ අතර ඒ වෙනුවට චීන බස ප්‍රසිද්ධ වෙමින් තිබුණේය. වර්ෂ 1912දී චීනය සමූහාණ්ඩුවක් වූ පසු චීන භාෂාව පමණක් මුළුමනින්ම වගේ භාවිතයට ගැනිණ.

අයිබීරියන් අර්ධද්වීපය

තමන් ලද අද්දැකීම්වලින් නව ජීවයක් ලැබූ ජෝර්ජ් බරෝ ආපසු ලන්ඩනයට ගියේය. ඔහුව නැවත වරක් 1835දී පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට යැවීය. එම පැවරුමේ අභිප්‍රාය පිළිබඳව පසු කාලයකදී ඔහු පැවසුවේ මෙවැන්නක්. එනම්, “ක්‍රිස්තියානි ආගමේ තිබෙන සත්‍යතාවන් පිළිගැනීමට මනුෂ්‍යයන්ගේ මනස් කොතරම් සූදානම්ද කියා දැනගැනීමටයි.” එම රටවල් දෙක තුළ පැතිර තිබූ දේශපාලන හා සමාජ අස්ථාවරභාවය නිසා, එම කාලයේදී බ්‍රිතාන්‍ය හා විදේශීය බයිබල් සමාගම කිසිම ආකාරයකින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් එම රටවල් තුළ දියත් කර තිබුණේ නැත. බරෝ පෘතුගාලයේ ගැමි ජනයා සමඟ බයිබලය පිළිබඳ සාකච්ඡා කිරීමට සතුටු විය. නමුත් කෙටි කාලයක් ඇතුළත ආගම සම්බන්ධයෙන් පුද්ගලයන් තුළ උදාසීනකමක් ඇති වී තිබෙන බව දුටු නිසා ඔහු ස්පාඤ්ඤය බලා ගමන් කිරීමට පෙලඹුණි.

ඔහුට ස්පාඤ්ඤයේදී වෙනස් අභියෝගයකට මුහුණ දීමට සිදු විය. මන්දයත් බරෝට අහිකුණ්ටික භාෂාව කතා කළ හැකි නිසා ඔහු අහිකුණ්ටික ජනයා සමඟ ඉතා සමීප සබඳතාවක් ඇති කරගත්තේය. ඔහු පැමිණ කෙටි කාලයකින් “නව ගිවිසුම” ස්පාඤ්ඤයේ අහිකුණ්ටික භාෂාව වන කීටානෝ භාෂාවෙන් පරිවර්තනය කිරීමට පටන්ගත්තේය. මෙම පරිවර්තන වැඩ සඳහා ඔහුට උපකාර කිරීමට අහිකුණ්ටික කාන්තාවන් දෙදෙනෙකුට ඔහු ආරාධනා කළේය. ඔහු ස්පාඤ්ඤ පිටපත ඔවුන්ට කියවන අතර එය අහිකුණ්ටික බසින් පරිවර්තනය කරන මෙන් ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියි. මෙම ක්‍රමය මගින් ඔහුට අහිකුණ්ටික භාෂාවේ යෙදුම් හරියාකාරව යොදන්නේ කෙසේද කියා ඉගෙනීමට හැකි විය. මෙම වෑයමෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලූක් සුවිශේෂය 1838 වසන්ත සමයේදී ප්‍රකාශයට පත් කෙරිණ. ඒ පිළිබඳව එක් බිෂොප්වරයෙක් මෙවැන්නක් කීමට පෙලඹුණි. “මෙම අහිකුණ්ටික බස නිසා ඔහු මුළු ස්පාඤ්ඤයම හරවාගනියි.”

ජෝර්ජ් බරෝට “බාස්ක් භාෂාවෙන් ශුද්ධ ලියවිලි පරිවර්තනය කිරීමට හැකියාවක් තිබෙන පුද්ගලයෙකුව” සෙවීමේ වගකීම පවරන ලදි. ඒ අභියෝගය ලැබුණේ වෛද්‍ය ඔටාසාටය. ඔහු “මට වඩා එම බස පිළිබඳ මනා දැනුමක් තිබෙන” කාය වෛද්‍යවරයෙක්යයි බරෝ ලීවේය. වර්ෂ 1838දී ලූක් සුවිශේෂය ස්පාඤ්ඤ බාස්ක් බසින් පළ වූ පළමුවන බයිබල් පොත බවට පත් විය.

සාමාන්‍ය ජනයාට කාරණා අවබෝධ කර දීමට බරෝ තුළ තිබූ ආශාව නිසා ගැමි පෙදෙස්වල සිටින දුප්පත් ජනයා අතර බයිබලයේ පොත් බෙදාහැරීම සඳහා ඉතා අවදානම් සහිත හා දීර්ඝ සංචාරයන්වල ඔහු නිරත විය. ඔහුට අවශ්‍ය වූයේ ආගමික මිථ්‍යාවන්ගෙන් හා අනාවබෝධයෙන් ඔවුන්ව මුදවාගැනීමටයි. ඔවුන් මිල දී ගන්න පව් කමා පත්වල කිසි වටිනාකමක් නැහැයි කියා පෙන්වා දුන් ඔහු මෙසේ තර්ක කළේය. “යහපත් දෙවි කෙනෙක් පව්වලට සමාව දීම සඳහා මුදල් භාරගනිවි කියා හිතන්න පුළුවන්ද?” නමුත් ස්ථාපිත වූ විශ්වාසයන් මෙසේ හෙළාදැකීම තමන්ගේ වැඩකටයුතුවලට තහනමක් පැනවීමට හේතුවක් වෙයි කියා බිය වූ නිසා බයිබලය බෙදාහැරීමේ කටයුතුවල පමණක් නිරත වන මෙන් බයිබල් සමාගම ඔහුට උපදෙස් දුන්නේය.

බරෝ එල් නුඊවෝ ටෙස්ටාමෙන්ටො නමැති ස්පාඤ්ඤ නව ගිවිසුම එහි තිබෙන කතෝලික මූලධර්ම පිළිබඳ සටහන් අහක් කොට මුද්‍රණය කිරීමට වාචිකව අවසර ලබාගත්තේය. මුලදී අගමැතිවරයාගේ විරෝධය තිබුණත් ඔහුට එම අවසරය ලැබුණි. අගමැතිවරයා එම පරිවර්තනය හඳුන්වා තිබුණේ භයානක “නුසුදුසු ග්‍රන්ථයක්” ලෙසටයි. ඉන්පසු බරෝ මෙම ස්පාඤ්ඤ නව ගිවිසුම බෙදාහැරීමට මැඩ්‍රිඩ්වල පොත් සාප්පුවක් විවෘත කළේය. මෙය ඔහුත් ආගමික නායකයන් හා වෙනත් අධිකාරිනුත් අතර ගැටුමක් ඇති කළේය. ඔහුව දවස් 12කට සිරගත කරනු ලැබීය. ඔහු එයට විරෝධය පෑ විට නිහඬව රටින් පිට වන ලෙස ඔහුට පවසන ලදි. ඔහුට ලබා දුන් සිරදඬුවම නීති විරෝධියි කියා හොඳින් දැන සිටි ඔහු ප්‍රේරිත පාවුල්ව නිදසුනක් ලෙස ගෙනහැර දක්වමින් තමන්ගේ නමට සිදු වූ කැළල නිදොස් කරන තුරු නැවතී සිටීමට තීරණය කළේය.—ක්‍රියා 16:37.

බයිබල් සමාගමට උද්‍යෝගයෙන් සේවය කළ බරෝ 1840දී ස්පාඤ්ඤයෙන් පිටත්ව යන විට බයිබල් සමාගමට මෙසේ වාර්තා කිරීමට හැකි විය. “පසු ගිය අවුරුදු පහ ඇතුළත ස්පාඤ්ඤ්ය පුරා බයිබලයේ පිටපත් 14,000කට ආසන්න සංඛ්‍යාවක් බෙදාහැර තිබේ.” මෙයට විශාල දායකත්වයක් දුන් බරෝ තමා ස්පාඤ්ඤයේදී ලද අද්දැකීම් මෙසේ කැටි කොට දැක්වීය. “මගේ ජීවිතේ ප්‍රීතිමත්ම කාලය ලෙසට එය හඳුන්වන්න පුළුවන්.”

වර්ෂ 1842දී පළමුවරට පළ වූ හා තවමත් මුද්‍රණය කරමින් පවතින, ස්පාඤ්ඤයේදී බයිබලය පරිවර්තනය කිරීම (සිංහලෙන් නොමැත) නමැති ග්‍රන්ථය, ජෝර්ජ් බරෝ තම සංචාරයන්වලදී පෞද්ගලිකවම අද්දුටු දේවල් පිළිබඳව ලියැවුණු හද දනවන වාර්තාවකි. මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළ විගස ජනප්‍රියත්වයට පත් විය. ඔහු තමන්ව හඳුන්වා දුන්නේ “සුවිශේෂය පතළ කිරීමට සංචාරය කළ” මිනිසා යනුවෙනි. ඔහු මෙසේ ලිවීය. “මට අවශ්‍ය වුණේ ඈත දුෂ්කර කඳුකර පෙදෙස්වල සැඟවිලා තිබෙන ගම්මානවල ජීවත් වන මිනිසුන් ළඟට ගිහිල්ලා මට පුළුවන් විදිහට ක්‍රිස්තුස් ගැන කියා දෙන්නයි.”

ඉතාමත් අනගි වරප්‍රසාදයක් වන ශුද්ධ ලියවිලි පරිවර්තනය කර බෙදාහැරීමේ කාර්යය වෙනුවෙන් ජෝර්ජ් බරෝ උද්‍යෝගයෙන් යුතුව කළ මෙහෙය, අනාගතයේ එවන් කාර්යයකට අත පොවන අය වෙනුවෙන් අඩිතාලමක් දැමීය.

[29වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

බයිබලය පරිවර්තනය කිරීමටත් බෙදාහැරීමටත් ජෝර්ජ් බරෝ දැරූ වෑයම නිසා ඔහුට මුලින්ම (1) එංගලන්තයටත් එතැනින් (2) රුසියාවටත්, (3) පෘතුගාලයට සහ (4) ස්පාඤ්ඤයටත් යෑමට සිදු විය

[හිමිකම් විස්තර]

Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.

[28වන පිටුවේ පින්තූරය]

මැන්චූ භාෂාවෙන් 1835දී මුද්‍රණය කළ යොහන් සුවිශේෂයේ ආරම්භක වදන්ය. එය කියවනු ලබන්නේ උඩ සිට පහළට වමේ සිට දකුණටය

[හිමිකම් විස්තර]

සෑම දේශයකටම අයත් බයිබලය (සිංහලෙන් නොමැත) නමැති ග්‍රන්ථයෙන්, 1860

[27වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ක්ලෙමන්ට් කේ. ෂෝටගේ ජෝර්ජ් බරෝගේ ජීවිත කතාව (සිංහලෙන් නොමැත), 1919