Skip to content

පටුනට යන්න

හොඳ උපදෙස් අවශ්‍යමද?

හොඳ උපදෙස් අවශ්‍යමද?

හොඳ උපදෙස් අවශ්‍යමද?

අද දින බොහෝදෙනෙකුගේ අදහස වී තිබෙන්නේ, හොඳ හා නරක අතර වෙනස නිශ්චය කරගැනීමට තමන්ට හැකියාව මෙන්ම කැමති දෙයක් කිරීමට තමන්ට අයිතියද තිබෙන බවය. වෙනත් අය පවසන්නේ කෙනෙකුට සතුටක් ලැබෙනවා නම් ඕනෑම දෙයක් කළාට කමක් නැහැ කියාය. මිනිස් සමාජයක් ගොඩනැඟීමට ඉවහල් වූ ප්‍රධානතම ඒකකයන් ලෙස දිගු කලක් පුරා සැලකූ විවාහය හා පවුල් ජීවිතය විශාල ආගාධයකට වැටී ඇත.—උත්පත්ති 3:5.

මෙක්සිකෝවේ වෙසෙන වෙරෝනිකා * ගැන කල්පනා කර බලන්න. ඇය මෙසේ පවසයි. “අපේ 15වෙනි විවාහ සංවත්සරයට ටික දවසකට කලින් මගේ මහත්තයා මට කිව්වා තව ස්ත්‍රියක් එක්ක එයාගේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඇය තරුණියක් නිසාත්, ඔහුව සතුටට පත් කරන නිසාත් ඇයව අත්හරින්නේ නැහැ කියලා ඔහු කිව්වා. මගේ හොඳම මිතුරා කියලා මම හිතාගෙන හිටපු කෙනා මගෙන් මේ වගේ ඈත් වුණ එක ගැන මට අදහාගන්න බැරුව ගියා. ජීවිතයේ ලොකුම වේදනාව තමන් ප්‍රේම කළ කෙනෙක් මිය යන එක කියලයි මම හිතාගෙන හිටියේ. ඒත් ඊටත් වඩා වේදනාකාරී දෙයක් තමයි මම මුළු හදින්ම ආදරේ කළ කෙනා වෙන කෙනෙකුගේ පහස සොයාගෙන ගිය එක. ඒ විතරක් නෙවෙයි මාව රිදවන්න ඔහු දිගින් දිගටම නොයෙක් දේවල් කළ එකත් දරාගන්න බැරි වේදනාවක්.”

එමෙන්ම දික්කසාද වූ 22හැවිරිදි තැනැත්තෙකු සම්බන්ධ සිද්ධියක්ද ඇත. ඔහුට පුතෙකු සිටින නමුත් පියෙකු ලෙස තම වගකීම් ඉටු කිරීමට ඔහු අකමැතිය. ඔහුගේ මව ඔහුවත්, ඔහුගේ පුතාවත් රැකබලා ගනියි කියා ඔහු බලාපොරොත්තු වෙයි. ඔහු ඉල්ලන ඕනෑම දේකට ඇය එකඟ නොවුවහොත් ඔහු කේන්තියෙන් ඇයට බැණවදින්නේ කිසිම චාරයක් නැති කොල්ලෙකු විලසිනි. එවැනි කලහකාරී හැසිරීමක් හමුවේ ඔහුගේ මව බෙහෙවින් අසරණ වන්නීය.

මේවා කලාතුරකින් සිදු වන දේවල් නොවේ. නීත්‍යනුකූල ලෙස වෙන්වීම හා දික්කසාදය දසත පැතිර පවතී. බොහෝ දරුවන්ට දකින්න තිබෙන්නේ, තම දෙමාපියන් දෙදෙනාගෙන් කෙනෙකු අලුත් ජීවිතයක් පටන්ගැනීමට තම නිවස අත්හැර යන බවය. තමන්ගේ දෙමාපියන් ඇතුළු වෙනත් අයට කිසිම ගෞරවයක් නොදක්වන සමහර යෞවනයෝ අතීතයේ සිටි අය හීනෙන්වත් නොහිතපු ක්‍රියාවල යෙදෙති. ලිංගික දේවල් අත්හදා බැලීම, මත්ද්‍රව්‍ය භාවිතය, යෞවනයන් සිදු කරන පහර දීම් සහ දරුවන් විසින් ගුරුවරුන්ව හෝ දෙමාපියන්ව මරා දමනු ලැබීම බොහෝ රටවල පොදු දෙයක් බවට පත්ව ඇත. එමෙන්ම අද දින මුහුණ දීමට සිදු වන්නේ දරුවන් ඇති දැඩි කිරීම හා විවාහය යන ක්ෂේත්‍රවල හටගන්නා ගැටලුවලට පමණක් නොවන බව ඔබට පෙනී ගොස් තිබිය හැක.

මෙවැනි දේවල් සිදු වෙනවා දකින විට සමාජයට මේ කුමක්ද සිදු වන්නේ කියා අප කල්පනා කළ හැකියි. හරි වැරැද්ද අතර වෙනස ජනයා හරියටම දන්නවා නම් ඇයි මෙතරම් නොවිසඳුණු ගැටලු පවතින්නේ? හොඳ උපදෙස් ලැබීම අවශ්‍යම දෙයක් වී තිබේද? එවැනි ප්‍රයෝජනවත් උපදෙස් ලැබිය හැකි, විශ්වාස කළ හැකි මූලාශ්‍රයක් තිබේද? තමන් දෙවිව හා ඔහුගේ ලිඛිත වචනය විශ්වාස කරන බව පවසන බොහෝදෙනෙකු සිටියත්, තීරණ ගන්නා විට ඔවුන් ඉන් ඵල ප්‍රයෝජනයක් ලබාගෙන නැති බවයි පෙනෙන්න තිබෙන්නේ. එහෙත් අප දෙවිගෙන් උපදෙස් පතන විට හා උපදෙස් ලබන විට අපට උකහාගත හැක්කේ කුමන ප්‍රයෝජනද? අපි ඊළඟ ලිපියෙන් ඒ ගැන සලකා බලමු.

[පාදසටහන]

^ 3 ඡේ. නම වෙනස් කර ඇත.