Skip to content

පටුනට යන්න

“අමතක වූ අසරණයෝ” මතකයට නැඟේ

“අමතක වූ අසරණයෝ” මතකයට නැඟේ

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

“අමතක වූ අසරණයෝ” මතකයට නැඟේ

දෙදහස් එක අවුරුද්දේ මුලදී යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වූ 15 හැවිරිදි හයිගාස් ස්විට්සර්ලන්තයේ බර්න්හි පැවැත්වූ “අමතක වූ අසරණයෝ” නම් ප්‍රදර්ශනයක් නැරඹීමට ගියේය. එහි නාට්සිවරුන්ගෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් පීඩා විඳි අයුරු දක්වා තිබිණ. සියල්ල නැරඹීමෙන් අනතුරුව හයිගාස් මෙසේ පැවසීය. “නාට්සි පාලනය යටතේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් වින්ද අමානුෂික වධ හිංසාවන් හා වේදනාවන් ගැන මම අහලා තිබුණා. ඒත් ඒ කාලය සම්බන්ධයෙන් විශ්වාසදායක ලියකියවිලි හා ඡායාරූප දකින්න ලැබුණේ මුල් වතාවටයි. මෙම ප්‍රදර්ශනයෙහි පෙන්වා තිබූ දේවල්, ඇසින් දුටු සාක්ෂි පිළිබඳ වාර්තා සහ ඉතිහාසඥයන්ගේ අදහස් මගේ මනසටත්, හිතටත් තදින් කාවැදුණා.”

ඉන් යම් කලකට පසුව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පන්තියේ සිටියදී තම පන්තිය වෙනුවෙන් වාර්තාවක් ලිවීමට හයිගාස්ට පැවරූ විට ඔහු තෝරාගත්තේ “යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—නාට්සි සමයේදී අමතක වූ අසරණයෝ” නමැති මාතෘකාවයි. හයිගාස්ගේ ගුරුවරයා ඊට අවසර දුන් නමුත් තොරතුරු ලබාගත් බාහිර පොත් පත් ගැන එහි සඳහන් කළ යුතු බව ඔහුට පැවසීය. හයිගාස් සතුටෙන් ඊට එකඟ විය. “නාට්සි සමයෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවන් පිළිබඳව මම ගවේෂණය කරපු පොත් කීපයකින් උපුටාගත් තොරතුරුවල සාරාංශයක් ලිව්වා. ‘අමතක වූ අසරණයෝ’ ප්‍රදර්ශනය සම්බන්ධව මගේ පෞද්ගලික අදහස්ද මම විස්තර කළා. මෙම පිටු 43ක වාර්තාවට රූපසටහන් සහ ඡායාරූපද ඇතුළත් කළා.”

වර්ෂ 2002 නොවැම්බර් මාසයේදී පාසැල් මිතුරන්ට, ගුරුවරුන්ට, පවුලේ අයට හා වෙනත් මිතුරන්ට හයිගාස් තම වාර්තාව ඉදිරිපත් කළේය. ඉන්පසු, ප්‍රශ්නෝත්තර වැඩසටහනක් තිබූ අතර බයිබලය මත පදනම් වූ තම විශ්වාසයන් පැහැදිලි කිරීමට ඔහුට අවස්ථාවක් ලැබිණ. මෙවැනි විෂයක් තෝරගත්තේ මන්දැයි කියා සභාවේ සිටි ගැහැනු ළමයෙකු හයිගාස්ගෙන් ඇසූ විට ඉතිහාස පොත් බොහොමයක යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන සඳහන් කරන්නේ නැති බවත්, සාක්ෂිකරුවන් තම ක්‍රිස්තියානි ඇදහිල්ල රැකගෙන ඇත්තේ මොන තරම් නිර්භීතවද කියා ජනයා දැනගත යුතු බවත් ඔහු පැහැදිලි කළේය. ඔහුගේ ඉදිරිපත් කිරීමෙන් පසු ඇති වූ ප්‍රතිඵලය කුමක්ද?

“මගේ පාසැල් මිතුරන් පුදුමයට පත් වුණා” කියා හයිගාස් පැවසීය. “කණ්ඩායමක් වශයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් කෲර වධ හිංසාවලට ලක් වී ඇති බව ඔවුන් දැනගෙන හිටියේ නැහැ. ඒ වගේම නාට්සි ගාල් කඳවුරුවල රඳවා සිටි සාක්ෂිකරුවන් විශේෂ ලාංඡනයක් වන දම් ත්‍රිකෝණය පැළඳ සිටි බවත් හුඟදෙනෙක් දැනගෙන හිටියේ නැහැ.”

හයිගාස්ගේ ඉදිරිපත් කිරීමෙන් පසුව රුධිර ප්‍රවේශනය, මත්පැන් හා සදාචාරමය දේවල් පිළිබඳව සාක්ෂිකරුවන් බයිබලය මත පදනම්ව ගෙන ඇති ස්ථාවරය ගැන පන්තියේ මිතුරන්ට පැවසීමට හා ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වීමටද ප්‍රස්තා උදා විය. “මගේ පාසැල් මිතුරන්ගෙන් කිසි කෙනෙක් මට සමච්චල් කළේවත්, මාව පාච්චල් කළේවත් නැහැයි” කියා හයිගාස් පැවසුවේය. එපමණක්ද නොව දැන් ඔහුගේ වාර්තාව පාසැලේ පුස්තකාලයෙහි තබා ඇත. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නිර්භීත ස්ථාවරය අමතක නොවන බවට සහතික කරගැනීමට එය උපකාරයක් වනු ඇත.