Skip to content

පටුනට යන්න

“එක හඬින්” දෙවිව මහිමයට පත් කරන්න

“එක හඬින්” දෙවිව මහිමයට පත් කරන්න

“එක හඬින්” දෙවිව මහිමයට පත් කරන්න

“එක්සිත්ව එක හඬින් අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ පියා වූ ඔහුගේ දෙවිව මහිමයට පත් [කරන්න].”—රෝම 15:6.

1. විවිධ මතිමතාන්තර තිබෙන විට කටයුතු කළ යුතු ආකාරය ගැන පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ට කියා දුන් පාඩම කුමක්ද?

ක්‍රිස්තියානීන් වන සියල්ලෝම එකම විදිහේ දේවල් තෝරා නොගනිති. නැත්නම් එකම දේවලට කැමැත්තක් නොදක්වති. එහෙත්, සියලු ක්‍රිස්තියානීන් ජීවන මාඟේ උරෙන් උර ගැටී ගමන් කළ යුතුය. එය කරන්නට පුළුවන්ද? පුළුවන. එනමුත් එලෙස ගමන් කළ හැක්කේ සුළු සුළු දේවල් ලොකු ප්‍රශ්න කර නොගත්තොත් පමණි. පළමු සියවසේ විසූ තම සෙසු ඇදහිලිවන්තයන්ට ප්‍රේරිත පාවුල් කියා දුන් පාඩම එයයි. ඔහු මෙම වැදගත් කාරණය පැහැදිලි කළේ කෙසේද? දේවානුභාවය ලත් එම උපදෙස අපට අදාළ කරගත හැක්කේ කෙසේද?

ක්‍රිස්තියානි එක්සත්කමේ ඇති වැදගත්කම

2. එක්සත්කමේ අවශ්‍යතාව පාවුල් අවධාරණය කළේ කෙසේද?

2 ක්‍රිස්තියානි එක්සත්කම අතිවැදගත් බව පාවුල් දැන සිටියේය. ඒ නිසා ඔහු එකිනෙකා කෙරෙහි ඉවසීමෙන් කටයුතු කිරීමට ක්‍රිස්තියානීන්හට උපකාරවත් වන කදිම උපදෙස් දුන්නේය. (එෆීස 4:1-3; කොලොස්සි 3:12-14) කෙසේවෙතත්, බොහෝ සභාවන් පිහිටුවා, වසර 20කට වැඩි කාලයකට වඩා වෙනත් අයව බැහැදැකීමෙන් ලද අද්දැකීම්වලින් ඔහු දැනගත් කාරණය නම්, එක්සත්කම පවත්වාගැනීම අභියෝගයක් විය හැකි බවයි. (1 කොරින්ති 1:11-13; ගලාති 2:11-14) ඔහු රෝමයේ ජීවත් වූ සෙසු ඇදහිලිවන්තයන්ට උනන්දු කළේ ‘දෙවිගෙන් ලැබෙන විඳදරාගැනීම හා සැනසීම’ තුළින් ‘එක්සිත්ව එක හඬින් අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ පියා වූ ඔහුගේ දෙවිව මහිමයට පත් කරන ලෙසය.’ (රෝම 15:5, 6) අද දින දෙවිගේ එක්සත් සෙනඟ වශයෙන් අප ඒ හා සමානව යෙහෝවා දෙවිව “එක හඬින්” මහිමවත් කළ යුතුය. අප මේ සම්බන්ධයෙන් ක්‍රියා කරමින් සිටින්නේ කෙතරම් දුරකටද?

3, 4. (අ) රෝමයේ සිටියේ කිනම් පසුබිම්වලින් ආ ක්‍රිස්තියානීන්ද? (ආ) යම් යම් වෙනස්කම් තිබුණද, රෝමයේ විසූ ක්‍රිස්තියානීන්ට “එක හඬින්” යෙහෝවාට සේවය කිරීමට හැකි වනු ඇත්තේ කෙසේද?

3 රෝමයේ විසූ ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් පාවුල්ගේ මිත්‍රයෝ වූහ. (රෝම 16:3-16) ඔවුන්ගේ පසුබිම් එකිනෙකට වෙනස් වුවද, පාවුල් තම සහෝදරයන් ‘දෙවිගේ ප්‍රේමණීයයන්’ ලෙසට පිළිගත්තේය. ඔහු ලීවේ මෙසේයි. “ඔබේ ඇදහිල්ල ගැන ලොව පුරාම කතා කෙරෙන හෙයින්, පළමුකොට යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මාගේ දෙවිට මම ඔබ සියල්ලන් ගැන ස්තුති කරමි.” රෝමයේ විසූ ක්‍රිස්තියානීන් බොහෝ ආකාරවලින් ආදර්ශවත්ව සිටි බව මින් පැහැදිලි වේ. (රෝම 1:7, 8; 15:14) ඒ අතරම, සභාවේ ඇතැම් සාමාජිකයෝ යම් යම් කාරණා සම්බන්ධව විවිධ මතිමතාන්තර දැරූහ. අද දිනත් ක්‍රිස්තියානීන් පැමිණ තිබෙන්නේ විවිධ පසුබිම් සහ සංස්කෘතීන්වලිනි. එම නිසා මෙම වෙනස්කම් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පාවුල් දුන් දේවානුභාවය ලත් උපදෙස ගැන අධ්‍යයනය කිරීම, ඔවුන්ට “එක හඬින්” කතා කිරීමට මහඟු උපකාරයක් වෙයි.

4 රෝමයේ යුදෙව්වෝ සහ අන්‍යජාතික ඇදහිලිවන්තයෝ යන දෙපාර්ශ්වයම ජීවත් වූහ. (රෝම 4:1; 11:13) මෝසෙස්ගේ නීතිය යටතේ පවත්වන ලද චාරිත්‍ර, ගැලවීම සඳහා අත්‍යවශ්‍ය නොවූ බව වටහාගත යුතුව තිබුණද ඇතැම් යුදෙව් ක්‍රිස්තියානීන්ට එම චාරිත්‍ර පැවැත්වීම නවතා දැමීමට නොහැකි වූ බවක් පෙනී යයි. එහෙත් තවත් යුදෙව් ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් පිළිගත්තේ, තමන් ක්‍රිස්තියානීන් බවට පත් වෙන්නට පෙර පිළිපදිමින් සිටියාවූ යම් සීමා තහංචිවලින් නිදහස් වීමට ක්‍රිස්තුස්ගේ පූජාව තුළින් තමන්ට හැකි වූ බවයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් කළේ තමන්ගේ සමහරක් පෞද්ගලික පුරුදු සහ සිරිත් විරිත් වෙනස් කරගැනීමයි. (ගලාති 4:8-11) කෙසේවෙතත්, පාවුල් සඳහන් කළ විදිහට සියලුදෙනාම ‘දෙවිගේ ප්‍රේමණීයයෝ’ වූහ. ඔවුන් සියලුදෙනාම එකිනෙකා කෙරෙහි නිවැරදි ආකල්පයක් ඇතුව සිටියා නම්, ඔවුන්ට “එක හඬින්” දෙවිට ප්‍රශංසා කිරීමට හැකිකම තිබිණ. අද දින අපටද යම් යම් කාරණා ගැන විවිධ මතිමතාන්තර තිබෙන්නට පුළුවන. මේ නිසා, පාවුල් එම වැදගත් ප්‍රතිපත්තිය පැහැදිලි කරන අන්දම හොඳින් පරීක්ෂා කර බැලීම අවශ්‍යය.—රෝම 15:4.

“එකිනෙකාව පිළිගන්න”

5, 6. රෝම සභාවේ වෙනස් මතිමතාන්තර තිබුණේ මන්ද?

5 රෝමවරුන්ට ලියන ලද ලිපිය තුළ පාවුල් විවිධ මතිමතාන්තර තිබූ කාරණයක් ගැන කතා කරයි. ඔහු මෙසේ ලියයි. “සියලු දේ කෑමට යමෙකුට ඇදහිල්ල තිබේ. නමුත් දුර්වල තැනැත්තා එළවළු පමණක් කන්නේය.” ඊට හේතුව කුමක්ද? මෝසෙස්ගේ නීතිය යටතේ ඌරු මස්, කෑමට ගැනීම නුසුදුසු විය. (රෝම 14:2; ලෙවී කතාව 11:7) එහෙත්, යේසුස් මිය ගිය පසුව නීතිය තවදුරටත් වලංගු වූයේ නැත. (එෆීස 2:15) යේසුස්ගේ මරණින් වසර තුනහමාරකට පසුව, දේවදූතයෙක් ප්‍රේරිත පේතෘස්ට පැවසුවේ, දෙවිගේ දෘෂ්ටිකෝණයට අනුව කිසිම ආහාරයක් අපවිත්‍රයයි නොසැලකිය යුතු බවය. (ක්‍රියා 11:7-12) මෙම කාරණා තේරුම්ගත් ඇතැම් යුදෙව් ක්‍රිස්තියානීන්, නීතිය යටතේ තහනම් කොට තිබූ ඌරු මස් හෝ වෙනත් යම් ආහාර වර්ගයක් කෑමට හැකිකම තිබූ බවට සිතුවා විය හැකියි.

6 කෙසේවුවද, කලින් අපවිත්‍රයයි සලකනු ලැබූ එම ආහාරම කෑම වෙනත් යුදෙව් ක්‍රිස්තියානීන්හට මහත් පිළිකුල් දෙයක් වූවා විය හැකියි. මේ අනුව, මෙවන් දේට සංවේදීව ප්‍රතික්‍රියා කළ අය, සෙසු යුදෙව් ක්‍රිස්තියානි සහෝදරයන් එවන් ආහාර කෑමට ගන්නවා දුටු විට බාධාවට පත් වුණා වෙන්නට ඇති. එපමණක්ද නොව, යම් යම් ආහාර කෑ යුතුද නැද්ද කියා යම් අය විසින් වාද කරනවා දුටු විට, සමහරක් අන්‍යජාතික ක්‍රිස්තියානීන්ද මේ නිසා ව්‍යාකූලත්වයට පත් වූවා විය හැකියි. ඊට හේතුව නම්, අන්‍යජාතීන්ගේ කලින් ආගමික පසුබිමට අනුව ඔවුන්ට ආහාර සම්බන්ධව කිසිදු තහනමක් නොතිබීමයි. යම් කෙනෙකුට තම පෞද්ගලික රුචියට අනුව යම් ආහාරයකින් වැළකී සිටින්නට අවකාශ තිබේ. නමුත් ගැලවීම ලබාගැනීමට එම ආහාරවලින් වැළකීම අත්‍යවශ්‍ය දෙයක්යයි ඔහු තදින් කියා නොසිටිය යුතුයි. එසේ වුවද, විවිධ මතිමතාන්තර නිසා සභාව තුළ පහසුවෙන්ම මත භේද ඇතිවීමට ඉඩ කඩ තිබුණි. මෙබැවින් මෙවන් වෙනස් මත තිබුණද, “එක හඬින්” දෙවිව මහිමවත් කිරීමෙන් තමන්ව වැළැක්වීමට එම මතිමතාන්තරවලට ඉඩ නොදීමට රෝමයේ ක්‍රිස්තියානීන් වගබලා ගත යුතුව තිබුණි.

7. සෑම සතියකම එක්තරා දවසක් විශේෂ එකක් සේ සැලකිය යුතුය යන කාරණය සම්බන්ධයෙන් තිබූ විවිධ මතිමතාන්තර මොනවාද?

7 පාවුල් දෙන දෙවෙනි උදාහරණය මෙයයි. “එක් කෙනෙක්, එක් දවසක් තවත් දවසකට වඩා උතුම්යයි සිතන්නේය. තව කෙනෙක්, සෑම දවසක්ම එක හා සමානයයි සිතන්නේය.” (රෝම 14:5අ) මෝසෙස්ගේ නීතිය යටතේ, සබත් දවසේදී ඕනෑම වැඩක් කිරීම තහනම් විය. එම දවසේදී ගමන් බිමන් යෑම පවා තදින් සීමා කොට තිබුණි. (නික්මයාම 20:8-10; මතෙව් 24:20; ක්‍රියා 1:12) කෙසේවෙතත්, නීතිය අවලංගු කරනු ලැබූ අවස්ථාවේදී, එම තහංචිද අවලංගු විය. එහෙත්, තමන් මීට පෙර පරිශුද්ධයයි සලකනු ලැබූ දවසක දිගු ගමනක් යෑම හෝ එවන් දිනක ඕනෑම ආකාරයක වැඩක් කිරීම නුසුදුසුයයි ඇතැම් යුදෙව් ක්‍රිස්තියානීන් සිතුවා විය හැකියි. ක්‍රිස්තියානීන් බවට පත්වීමෙන් පසුව පවා, ඔවුන් සතියේ සත්වෙනි දවස මුළුමනින්ම ආගමික කටයුතු සඳහා වෙන් කළා විය හැකියි. එනමුදු දෙවිගේ දෘෂ්ටිකෝණයට අනුව සබත් පැවැත්වීම තවදුරටත් වලංගු දෙයක් වූයේ නැත. ඔවුන් එසේ පැවැත්වීම වැරදි දෙයක් වූවාද? නැත. මන්ද, එසේ සබත් පවත්වන්නන් අනිවාර්යයෙන්ම සබත් පැවැත්විය යුතුය යන මතය අනුන් පිට බලෙන් පටවන්නට යන්නේ නැත්නම්, එසේ සබත් පැවැත්වීම වරදක් වූයේ නැත. මෙබැවින්, සිය ක්‍රිස්තියානි සහෝදරයන්ගේ හෘදය සාක්ෂිය ගැන සැලකිල්ල දක්වමින් පාවුල් ලීවේ මෙසේයි. “එකිනෙකා ඒ ගැන තම තමාගේ මනසින් පූර්ණ නිසැකකමකින් සිටිය යුතුය.”—රෝම 14:5ආ.

8. රෝමයේ විසූ ක්‍රිස්තියානීන් අන්‍යයන්ගේ හෘදය සාක්ෂිය ගැන සැලකිලිමත් විය යුතු වුවත්, ඔවුන් කුමකින් වැළකී සිටීම අවශ්‍ය වීද?

8 තම හෘදය සාක්ෂියට එකඟව තීරණය කළ යුතු යම් යම් කාරණා ගැන ගැටලු තිබූ අය සමඟ ඉවසීමෙන් කටයුතු කරන ලෙස පාවුල් සිය සහෝදරයන්ට උණුසුම් ලෙස දිරිගැන්වීය. කෙසේවෙතත්, ගැලවීම ලැබීම සඳහා මෝසෙස්ගේ නීතියට යටත් විය යුතුයයි තම සෙසු ඇදහිලිවන්තයන්ට කොන්දේසි දැමීමට උත්සාහ කළාවූ අයව පාවුල් දැඩි සේ හෙළාදිටීය. ක්‍රිස්තු වර්ෂ 61දී පමණ, පාවුල් හෙබ්‍රෙව් නමැති බයිබල් පොත ලීවේය. එය යුදෙව් ක්‍රිස්තියානීන්ට ලියනු ලැබූ ඉතා ප්‍රබල ලිපියකි. ක්‍රිස්තියානීන්ට යේසුස්ගේ මිදීමේ මිල යාගය මත පදනම් වූ වඩාත් උතුම් බලාපොරොත්තුවක් තිබෙන නිසා මෝසෙස්ගේ නීතියට යටත් වීම කිසිදු ප්‍රයෝජනයක් නැති බව ඉතා පැහැදිලිව එම ලිපිය තුළින් විස්තර කළේය.—ගලාති 5:1-12; තීතස් 1:10, 11; හෙබ්‍රෙව් 10:1-17.

9, 10. ක්‍රිස්තියානීන් වැළකිය යුත්තේ කුමක් කිරීමෙන්ද? පැහැදිලි කරන්න.

9 අප මෙහිදී දැක ඇත්තාක් මෙන්, ක්‍රිස්තියානි ප්‍රතිපත්තියක් පැහැදිලි ලෙස උල්ලංගනය නොවන තාක් කල්, එවන් මතිමතාන්තර ඇතිව සිටීම එක්සත්කමට බාධාවක් නොවිය යුතු බව පාවුල්ගේ තර්කයයි. මෙබැවින්, පාවුල් දුර්වල හෘදය සාක්ෂියක් ඇති ක්‍රිස්තියානීන්ගෙන් මෙසේ අසයි. “ඔබ ඔබේ සහෝදරයාව විනිශ්චය කරන්නේ මන්ද?” තවද ඔහු ශක්තිමත් අයගෙන් (නීතිය යටතේ තහනම් කරනු ලැබූ යම් ආහාර කෑමට හෝ සබත් දවසේ වැඩ කිරීමට තම හෘදය සාක්ෂිය ඉඩ දුන් අයගෙන්) මෙසේ අසයි. “ඔබ ඔබේ සහෝදරයාව පහත් කොට සලකන්නේ මන්ද?” (රෝම 14:10) පාවුල් පැවසූ ලෙස, දුර්වල හෘදය සාක්ෂියක් ඇති ක්‍රිස්තියානීන් පුළුල් දෘෂ්ටියක් ඇති තම සහෝදරයන්ව හෙළාදැකීමෙන් වැළකිය යුතුයි. ඒ අතරම, ශක්තිමත් ක්‍රිස්තියානීන් ඇතැම් පැතිවලින් දුර්වල හෘදය සාක්ෂියක් ඇති අයව හෙළා නොදැකිය යුතුයි. සියල්ලන්ම අන්‍යයන්ගේ අවංක චේතනාවලට ගරු කළ යුතු අතර, ‘තමන් ගැන පමණට වඩා ඉහළින් නොසිතිය යුතුය.’—රෝම 12:3, 18.

10 පාවුල් මේ සම්බන්ධව කෙනෙකුට දැරිය හැකි සමබර දෘෂ්ටියක් ගැන පැහැදිලි කළේ මෙසේයි. “කන තැනැත්තා, නොකන තැනැත්තාව හෙළා නොදැකිය යුතුය. එසේම නොකන තැනැත්තාද, කන තැනැත්තාව විනිශ්චය නොකළ යුතුය.” එසේම ඔහු තවදුරටත් මෙසේ ප්‍රකාශ කරයි. “ක්‍රිස්තුස් අපව පිළිගත් ලෙසම, දෙවිගේ තේජස පිණිස එකිනෙකාව පිළිගන්න.” දෙවි සහ ක්‍රිස්තුස් ශක්තිමත් මෙන්ම දුර්වල අයවද පිළිගන්නා හෙයින්, අපටත් එවැනිම පුළුල් ආකල්පයක් තිබිය යුතු අතර, ‘එකිනෙකාව පිළිගත යුතුය.’ (රෝම 14:3; 15:7) ඒ කාරණය සමඟ එකඟ විය නොහැක්කේ කාටද?

අද දින එක්සත්කම බිහි වන්නේ සහෝදර ප්‍රේමයෙනි

11. පාවුල් විසූ දවස්වල තිබූ විශේෂ තත්වය කුමක් වීද?

11 රෝමවරුන්ට ලියූ තම ලිපියේ පාවුල් කතා කරමින් සිටියේ අතිවිශේෂ තත්වයක් ගැනයි. යෙහෝවා මීට ටික කලකට පෙර, එක් ගිවිසුමක් අවලංගු කර තවත් අලුත් ගිවිසුමක් ස්ථාපිත කොට තිබුණි. මෙම අලුත් ගිවිසුමට සකස් වීම ඇතමුන්ට දුෂ්කර දෙයක් විය. අද දින එම තත්වයම පවතින්නේ නැති නමුදු ඒ හා සමාන ප්‍රශ්න ඇතැම් අවස්ථාවලදී පැනනඟී.

12, 13. ක්‍රිස්තියානීන්ට අන්‍යයන්ගේ හෘදය සාක්ෂිය කෙරෙහි සැලකිල්ල දැක්විය හැකි තත්වයන් සමහරක් මොනවාද?

12 නිදසුනක් වශයෙන්, යම් ක්‍රිස්තියානි කාන්තාවක් ඉතා චාම් අන්දමකින් ඇඳුම් ඇඳීම අවධාරණය කරනු ලැබූ ආගමකට මීට පෙර යම් කලෙකදී අයත්ව සිටියා විය හැකියි. දැන් ඇය සත්‍යය පිළිගෙන තිබෙන නිසා සුදුසු අවස්ථාවලදී විනීත, වර්ණවත් ඇඳුම් ඇඳීම හෝ විනීත ලෙස රූපලාවණ්‍ය ආලේපන පාවිච්චි කිරීම තහනම් නැතැයි ඇය දනී. නමුත් එම අදහසට සකස් වීම ඇයට තරමක් අපහසු වෙන්නට පුළුවන. මෙහිදී කිසිම බයිබල් ප්‍රතිපත්තියක් සම්බන්ධ වන්නේ නැති නිසා, එම ක්‍රිස්තියානි කාන්තාවගේ හෘදය සාක්ෂියට එකඟ නැති දෙයක් කිරීමට යමෙකු විසින් ඇයට බලපෑම් කිරීමට උත්සාහ කිරීම සුදුසු දෙයක් නොවේ. අනෙක් අතට, එවන් දේවල් පාවිච්චි කිරීමට තම හෘදය සාක්ෂිය ඉඩ දෙන වෙනත් ක්‍රිස්තියානි කාන්තාවන්ව තමා විවේචනය නොකළ යුතු බව ඇයත් වටහාගනී.

13 තවත් උදාහරණයක් සලකා බලන්න. මත්පැන් පාවිච්චිය අනුමත නොකෙරෙන යම් ප්‍රදේශයක එක්තරා ක්‍රිස්තියානි තැනැත්තෙක් හැදී වැඩී තිබෙනවා වෙන්නට පුළුවන. සත්‍යය පිළිබඳ දැනුමක් ලැබුවායින් පසුව, මත්පැන් යනු දෙවිගෙන් ලැබී තිබෙන දීමනාවක් බවත් එය පමණ දැන පාවිච්චි කිරීමට ඉඩ කඩ තිබෙන බවත් ඔහු වටහාගනී. (ගීතාවලිය 104:15) ඔහු එම දෘෂ්ටිය පිළිගනී. එහෙත්, තමන් පැමිණි පසුබිම හේතුකොටගෙන ඔහු වඩාත් කැමති වන්නේ මත්පැන්වලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින්නටය. එහෙත්, ඒවා පමණ දැන පාවිච්චි කරන අයව ඔහු විවේචනය කරන්නේද නැත. මෙසේ, ඔහු පාවුල්ගේ වචන අදාළ කරගනී. “සමාදානයට මඟ පාදන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද ලුහුබඳිමු.”—රෝම 14:19.

14. රෝමවරුන්ට පාවුල් දුන් උපදේශයේ මූලික අදහස ක්‍රිස්තියානීන්ට අදාළ කරගත හැක්කේ කිනම් තත්වයන්වලදීද?

14 පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියේ මූලික අදහස අදාළ කරගත යුතු වෙනත් තත්වයන්ද උදා වෙයි. ක්‍රිස්තියානි සභාව බොහෝ පුද්ගලයන්ගෙන් සමන්විත වන අතර ඔවුන් කැමති දේවල් එකිනෙකට වෙනස්ය. මෙබැවින්, ඔවුහු විවිධ තේරීම් කරති. නිදසුනක් වශයෙන්, ඇඳුම් පැළඳුම් සහ හිසකෙස් සකස් කිරීම යනාදිය සම්බන්ධයෙන් විවිධ තේරීම් කරති. ඇත්තවශයෙන්ම, සියලු අවංක ක්‍රිස්තියානීන් අනුගමනය කළ යුතු පැහැදිලි ප්‍රතිපත්ති බයිබලයේ විස්තර කර ඇත. අපගෙන් කිසිවෙක් විච්චූර්ණ හෝ අවිනීත ඇඳුම් නොඇඳිය යුතු අතර එවන් හිසකෙස් මෝස්තර අනුකරණය නොකළ යුතුයි. අනෙක් අතට, මේ ලෝකයේ අප්‍රසන්න ගතිපැවතුම් තිබෙන පුද්ගලයන්ගේ පෙනුම අපට තිබිය යුතු නැත. (1 යොහන් 2:15-17) තමන් සෑමවිටකදීම, විවේක ගන්නා අවස්ථාවලදී පවා විශ්වයේ පරමාධිපතිව නියෝජනය කරන දේවසේවකයන් බව ක්‍රිස්තියානීහු මතක තබාගනිති. (යෙසායා 43:10; යොහන් 17:16; 1 තිමෝති 2:9, 10) කෙසේවෙතත්, බොහෝ පැතිවලදී ක්‍රිස්තියානීන්හට සුදුසු තේරීම් කිරීමට හැකියාවක් තිබේ. *

අන්‍යයන්ව බාධාවට පත් කිරීමෙන් වළකින්න

15. ක්‍රිස්තියානියෙක් තම සහෝදරයන්ගේ ප්‍රයෝජනය උදෙසා තමාට අයිති දේ කිරීමෙන් වැළකී සිටින්නේ කිනම් අවස්ථාවලදීද?

15 පාවුල් රෝමයේ ක්‍රිස්තියානීන්ට දෙන ලද උපදේශයේ අපගේ අවධානයට ලක් කරවන තවත් වැදගත් ප්‍රතිපත්තියක් තිබේ. ඇතැම් අවස්ථාවලදී, හොඳට පුහුණු කරන ලද හෘදය සාක්ෂියක් ඇති ක්‍රිස්තියානියෙක් වැරදි නැති දෙයක් වුවද, එය නොකර සිටීමට තීරණය කළ හැකියි. ඊට හේතුව, එවන් දෙයක් කළොත් එමගින් අනුන් බාධාවට පත් වේවිය කියා ඔහුට වැටහෙන නිසාය. එවන් අවස්ථාවකට අප මුහුණ දෙනවා නම් අප කළ යුත්තේ කුමක්ද? පාවුල් කීවේ මෙසේයි. “මස් කෑමෙන් හෝ වයින් බීමෙන් හෝ වෙන ඕනෑම දෙයකින් ඔබේ සහෝදරයා බාධාවට පත් වේ නම් එයින් වැළකී සිටීම යහපත්ය.” (රෝම 14:14, 20, 21) මෙසේ, “ශක්තිමත්ව සිටින අප අපවම සතුටු කර නොගනිමින්, ශක්තිමත් නොවන අයගේ දුර්වලකම් ඉසිලිය යුතුයි. අපි එකිනෙකා, තම තමාගේ අසල්වැසියාගේ වැඩි දියුණුවට දායක වන යහපත් දෙයින් ඔහුව සතුටු කරමු.” (රෝම 15:1, 2) සෙසු ක්‍රිස්තියානියෙකුගේ හෘදය සාක්ෂිය අප කරන දෙයින් වේදනාවට පත් වේ නම්, ඒ ගැන සැලකිලිමත් වීමටත් අප යම් යම් දේවල් කරන විට අපවම දමනය කරගැනීමටත් අපව පොලඹවන්නේ සහෝදර ප්‍රේමයයි. මෙහිදී මත්පැන් පාවිච්චිය නිදසුනක් ලෙස ගත හැකියි. ක්‍රිස්තියානියෙකුට පමණ දැන මත්පැන් පානය කිරීමට අවසර තිබේ. නමුත් එසේ කිරීමෙන් තමා අසල සිටින්නාව බාධාවට පත් වේ නම්, ඒවා බීමට තමාට අයිතියක් තිබෙන නිසාම ඔහු බීමට උත්සාහ කරන්නේ නැත.

16. අපගේ බලප්‍රදේශයේ සිටින අය කෙරෙහි සැලකිල්ල දැක්වීමට අපට හැක්කේ කෙසේද?

16 අප ක්‍රිස්තියානි සභාවෙන් පිටතදී කටයුතු කරන විටද මෙම ප්‍රතිපත්තියම අදාළ වෙයි. නිදසුනක් වශයෙන්, අප ජීවත් වන ප්‍රදේශයේ තිබෙන ප්‍රධාන ආගම් විසින් සතියේ එක් දවසක් විවේක ගත යුතු බවට එම ආගම් අදහන්නන්ට උගන්වා තිබෙනවා විය හැකියි. ඒ හේතුව නිසා, අපගේ අසල්වාසීන්ව බාධාවට පත් නොකිරීම පිණිසත්, දේශනා වැඩයට බාධා නොපමුණුවන පිණිසත්, අපගේ අසල්වාසීන්ගේ සිත් රිදවිය හැකි ඕනෑම දෙයක් කිරීමෙන් හැකි තාක් දුරට අපි වැළකී සිටින්නෙමු. තවත් තත්වයක් ගනිමු. එක් ධනවත් ක්‍රිස්තියානියෙක් සේවයේ අවශ්‍යතාව වැඩියෙන් පවතින, දුප්පත් ජනයා වෙසෙන යම් ප්‍රදේශයක පදිංචියට යනවා විය හැකියි. ඉතා චාම් ලෙස ඇඳ පැළඳ සිටීමෙන් හෝ තමන්ට වියදම් කළ හැකිවාට වඩා අඩුවෙන් වියදම් කරමින් සරල දිවි පෙවෙතක් ගත කිරීමෙන් ඔහු තම නව අසල්වාසීන් කෙරෙහි සැලකිල්ල දැක්වීමට තීරණය කරන්නට පුළුවන.

17. අප කරන තේරීම්වලදී අන්‍යයන් ගැන සැලකිලිමත් වීම සාධාරණ වන්නේ මන්ද?

17 “ශක්තිමත්ව සිටින” අය එවන් සකස් කිරීම් කරයි කියා අපේක්ෂා කිරීම සාධාරණද? හොඳයි, මේ නිදර්ශනය සලකා බලන්න. අපි මහාමාර්ගයක රිය පදවාගෙන යන අතරතුර, මාර්ගයේ අද්දරට ඉතා සමීපව ළමුන් පිරිසක් ඇවිදගෙන යනවා දකිමු. මාර්ග නීතියට අනුව අපට වාහනය පැදවිය හැකි උපරිම වේගයෙන් පැදවීමට අවසර තිබුණත් අප එවන් අවස්ථාවකදී එසේ කරනවාද? නැත. දරුවන් අනතුරට ලක් විය හැකි බැවින් ඇති විය හැකි අනතුරක් වළක්වාලීම පිණිස අපි වාහනයේ වේගය අඩු කරන්නෙමු. ඇතැම් අවස්ථාවලදී, අප අපගේ සෙසු ඇදහිලිවන්තයන් හෝ වෙනත් අය සමඟ අපගේ සම්බන්ධතාවලදී සෙමින් කටයුතු කිරීමට හෝ නම්‍යශීලී වීමට අප කැමති විය යුතුය. නීතියට අනුව සම්පූර්ණයෙන්ම නිවැරදි දෙයක් අප කරනවා විය හැකියි. මෙහිදී කිසිදු බයිබල් ප්‍රතිපත්තියක්ද උල්ලංගනය නොවේ. එහෙත්, අප කරන දෙයින් වෙනත් අයගේ සිත රිදෙන්නට ඉඩ තිබේ නම් හෝ දුර්වල හෘදය සාක්ෂියක් ඇති අය එමගින් බාධාවට පත් වේ නම් හෝ මීට වඩා පරෙස්සමින් කටයුතු කිරීමට ක්‍රිස්තියානි ප්‍රේමය අපව පොලඹවනු ඇත. (රෝම 14:13, 15) අපගේම පෞද්ගලික අයිතිවාසිකම් සපුරාගැනීමට උත්සාහ කරනවාට වඩා එක්සත්කම පවත්වාගෙන දේවරාජ්‍යයට සම්බන්ධ කාරණාවල උන්නතිය උදෙසා කටයුතු කිරීම බොහෝ සෙයින් වැදගත්ය.

18, 19. (අ) අන්‍යයන් කෙරෙහි සැලකිල්ල දැක්වීමේදී අප යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන්නේ කෙසේද? (ආ) අප සම්පූර්ණ එකඟතාවකින් ක්‍රියා කරන්නේ කිනම් කාරණාවලදීද? ඊළඟ ලිපියේ සාකච්ඡා කෙරෙන්නේ කුමක්ද?

18 අප මේ ආකාරයට ක්‍රියා කරන විට, අපට තිබෙන හොඳම ආදර්ශයයි අප අනුකරණය කරන්නේ. පාවුල් මෙසේ කියයි. “‘ඔබට නින්දා කළ අයගේ නින්දා මා පිට වැටුණේය’ කියා ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් පවා තමාවම සතුටු කර නොගත්තේය.” යේසුස් අප වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීමට කැමති වූයේය. එසේනම්, අප අපගේ සමහරක් අයිතිවාසිකම් පරිත්‍යාග කරන විට, එමගින් “ශක්තිමත් නොවන අය” අප සමඟ එක්සත්ව දෙවිව මහිමවත් කිරීමට පෙලඹෙනවා නම් එවන් පරිත්‍යාගයන් කිරීමට අප ඉතා කැමති වනවාට සැකයක් නැත. ඇත්තෙන්ම, දුර්වල හෘදය සාක්ෂියක් ඇතුව සිටින ක්‍රිස්තියානීන් සමඟ කාරුණිකව හා ඉවසිලිවන්තව කටයුතු කිරීමෙන්, එසේ නැතහොත් අප කැමැත්තෙන්ම යම් යම් දේවල් නොකර සිටීමෙන් සහ අපගේම අයිතිවාසිකම් සපුරාගැනීමට උත්සාහ නොකිරීමෙන් අපි “ක්‍රිස්තුස් යේසුස්ට තිබුණාවූ මානසික ආකල්පයම” විදහාපෙන්වමු.—රෝම 15:1-5.

19 ශුද්ධ ලියවිලි ප්‍රතිපත්ති සම්බන්ධ නොවන කාරණාවලදී අපට විවිධ මතිමතාන්තර තිබුණද, නමස්කාරය සම්බන්ධ කාරණාවලදී අපි සම්පූර්ණයෙන්ම එකඟතාවෙන් ක්‍රියා කරන්නෙමු. (1 කොරින්ති 1:10) නිදසුනක් වශයෙන්, සැබෑ නමස්කාරයට විරුද්ධ වන්නන්ට අප ප්‍රතිචාරය දක්වද්දී, එවන් එක්සත්කමක් පැහැදිලිව දිස් වෙයි. එසේ විරුද්ධවාදිකම් එල්ල කරන අයව නාඳුනන්නන් ලෙස බයිබලයේ හැඳින්වෙන අතර ‘නාඳුනන අයගේ හඬින්’ පරෙස්සම් වන ලෙස එය අපට අනතුරු අඟවයි. (යොහන් 10:5) අපට එවන් නාඳුනන්නන්ව හඳුනාගත හැක්කේ කෙසේද? අප ඔවුන්ට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? මෙම ප්‍රශ්න ඊළඟ ලිපියේදී සලකා බැලෙනු ඇත.

[පාදසටහන]

^ 14 ඡේ. කුඩා දරුවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙමාපියන් විසින් ඔවුන්ට මඟ පෙන්වනු ලැබේ.

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

• පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර තිබීම එක්සත්කමට තර්ජනයක් නොවන්නේ මන්ද?

• ක්‍රිස්තියානීන් වශයෙන් අප එකිනෙකා කෙරෙහි ප්‍රේමණීය සැලකිල්ලක් දැක්විය යුත්තේ මන්ද?

• එක්සත්කම සම්බන්ධව පාවුල් දුන් උපදෙස අද දින අපට අදාළ කරගත හැකි පැති මොනවාද? එසේ කිරීමට අපව පෙලඹවිය යුත්තේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

එක්සත්කම පිළිබඳව පාවුල් දුන් උපදෙස් සභාවට අතිශයින් වැදගත් විය

[10වන පිටුවේ පින්තූරය]

විවිධ පසුබිම්වලින් පැමිණියද ක්‍රිස්තියානීහු එක්සත්ව සිටිති

[12වන පිටුවේ පින්තූරය]

මෙම රියැදුරා දැන් කළ යුත්තේ කුමක්ද?