Skip to content

පටුනට යන්න

ඔබ බැඳී සිටින්නේ ඔබේ දරුවන්ට කෙබඳු උරුමයක් ලබා දීමටද?

ඔබ බැඳී සිටින්නේ ඔබේ දරුවන්ට කෙබඳු උරුමයක් ලබා දීමටද?

ඔබ බැඳී සිටින්නේ ඔබේ දරුවන්ට කෙබඳු උරුමයක් ලබා දීමටද?

පාව්ලොස් දකුණු යුරෝපයේ වෙසෙන පියෙක්. ඔහුට සිටිනවා අවුරුදු 13ක හා 11ක දියණියන් දෙදෙනෙක් සහ අවුරුදු 7ක පුතෙක්. එහෙත් තම බිරිඳ හා දරුවන් සමඟ කාලය ගත කරන්න ඔහු නිවසේ සිටින්නේ කලාතුරකින්. තම සිහිනය සැබෑවක් කරගැනීමට ප්‍රමාණවත් මුදලක් උපයාගැනීමේ අදහසින් දිනකට පැය ගණනාවක් සතියේ දවස් හතම පාව්ලොස් වැඩ කරනවා. තම දියණියන් දෙදෙනාට ගෙවල් දෙකක් මිල දී ගැනීම හා පුතා වෙනුවෙන් පොඩි ව්‍යාපාරයක් ඇරඹීම තමයි ඔහුගේ අරමුණ. ඔහුගේ බිරිඳ සොෆියා ඒ අමතර ගෙවල් දෙකට අවශ්‍ය රෙදි පිළි, මුළුතැන්ගෙයි උපකරණ, පිඟන් බඩු සහ රිදී බඩු ආදිය එක් රැස් කිරීම සඳහා හුඟාක් වෙහෙසෙනවා. එතරම් වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ මන්දැයි ඒ දෙපළගෙන් විමසුවොත් ඔවුන් එක හඬින්ම පිළිතුරු දෙන්නේ, “අපගේ දූදරුවෝ වෙනුවෙන්!” කියලයි.

පාව්ලොස් සහ සොෆියා වගේ ලොව පුරා වෙසෙන දෙමව්පියන් බොහෝදෙනෙක් තම දරුවන්ට ජීවිතයේ හොඳ ආරම්භයක් ලබා දීම සඳහා තම උපරිමය කරනවා. සමහරු දරුවන්ගේ අනාගත ප්‍රයෝජනය සඳහා මුදල් වෙන් කර තබනවා. වෙනත් අය ඔවුන්ගේ දරුවන්ට ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා දීමට මෙන්ම ඔවුන්ට පසු කාලයක ප්‍රයෝජනවත් විය හැකි දේවල් ඉගැන්වීමට පියවර ගන්නවා. දෙමව්පියන් හුඟදෙනෙක් තමන් කරන මේ දේවල් ප්‍රේමයේ සංකේතයන් ලෙස සලකනවා. එනමුත් තම නෑදෑයන්, හිත මිතුරන් සහ තමන් වෙසෙන සමාජය තුළ සිටින අය අපේක්ෂා කරන පරිදි දරුවන්ට අවශ්‍ය දේ ලබා දීමට සිදු වන නිසා බොහෝවිට දෙමව්පියන්ට ඉමහත් පීඩනයක් දැනෙනවා. එම නිසා මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන දෙමව්පියන් මෙහෙම අහනවා: ‘අපේ දරුවන්ට අප කොතරම් ධනයක් ඉතුරු කළ යුතුද?’

අනාගතය සඳහා සැලසුම් කිරීම

ක්‍රිස්තියානි දෙමව්පියන් තම දරුවන්ගේ අනාගතය ගැන සිතා යමක් ඉතිරි කිරීම සාමාන්‍යයෙන් කෙරෙන දෙයක්. එය ශුද්ධ ලියවිලිමය වගකීමක්ද වෙයි. ප්‍රේරිත පාවුල්ගේ කාලයේදී ජීවත් වූ ක්‍රිස්තියානීන්ට ඔහු මෙහෙම කිව්වා. “දරුවන් දෙමව්පියන් උදෙසා නොව, දෙමව්පියන් දරුවන් උදෙසා මුදල් ඉතිරි කළ” යුතුය. (2 කොරින්ති 12:14, නව අනුවාදය) දරුවන්ට රැකවරණය ලබා දීම බැරෑරුම් වගකීමක් වන බව පාවුල් තවදුරටත් සඳහන් කළා. ඔහු ලිව්වේ මෙහෙමයි. “යමෙකු තමාගේම අය, විශේෂයෙන්ම තමාගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම්, ඔහු ඇදහිල්ල නොසලකාහැර තිබේ. ඔහු නොඇදහිලිකරුවෙකුට වඩා නරකය.” (1 තිමෝති 5:8) බයිබලයේ සඳහන් වන දෙවිගේ සේවකයන් ජීවත් වූ කාලයේදී පරම්පරාගත උරුමය පිළිබඳ කාරණාවලට වැදගත් තැනක් හිමි වූ බව බයිබල් වාර්තා බොහොමයකින් පැහැදිලි වෙයි.—රූත් 2:19, 20; 3:9-13; 4:1-22; යෝබ් 42:15.

එහෙත් ඇතැම් අවස්ථාවලදී දෙමව්පියන් තම දරුවන්ට විශාල උරුමයක් ලබා දීම කෙරෙහි පමණක් අවධානය යොමු කරනවා. ඒ ඇයි? දකුණු යුරෝපයේ සිට එක්සත් ජනපදයේ පදිංචි වෙන්න ගිය එක්තරා පියෙක් වන මානොලීස් එයට හේතුව මෙහෙම විස්තර කරනවා. “දෙවන ලෝක යුද්ධයේදී සිදු වූ විපත්ති මෙන්ම සාගතය සහ දිලිඳුකමට මුහුණ දුන්න මව්පියන් තම දරුවන්ගේ ජීවිතයට යම් එළියක් ලබා දීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා.” ඔහු මෙහෙමත් කියනවා. “ඒ සම්බන්ධයෙන් තමන් දැරිය යුතු වගකීම ගැන ඕනෑවට වඩා ළතවීම නිසාත් තම දරුවන්ට ජීවිතයේ හොඳ ආරම්භයක් ලබා දෙන්න තිබෙන කැමැත්ත නිසාත් සමහරවිට දෙමව්පියන් තමන්ටම හානියක් කරගන්නවා.” ඇත්තෙන්ම තමන්ගේ මූලික අවශ්‍යතා පවා පරිත්‍යාග කරමින්, එහෙමත් නැත්නම් ඕනෑවට වඩා අරපිරිමැස්මෙන් ජීවත් වී හෝ තම දරුවන් වෙනුවෙන් ද්‍රව්‍යමය වස්තු රැස් කර තබන දෙමව්පියන් සිටිනවා. එහෙත් දෙමව්පියන් එලෙස කටයුතු කිරීම නැණවත් දෙයක්ද?

නිෂ්ඵලකමක් හා මහත් නපුරක්’

පුරාණයේ විසූ සලමොන් රජ උරුමයන් පිළිබඳව මෙලෙස අනතුරු ඇඟවීමක් කළා. “ඉර යට මා විසින් කළ මුළු උත්සාහය මට පසු වන මනුෂ්‍යයාට තබා යන්ට ඕනෑ නිසා ඊට ද්වේෂ කළෙමි. ඔහු ඥානවන්තයෙක් වේද අඥානයෙක් වේදැයි දන්නේ කවුද? එහෙත් මා විසින් උත්සාහයෙන් කර ප්‍රඥාව දැක්වූ ඉර යට කළාවූ මාගේ සියලු වැඩ කෙරෙහි ඔහු ආණ්ඩු කරන්නේය; මේකත් නිෂ්ඵලකමය. . . . මක්නිසාද ප්‍රඥාවෙන්ද දැනගැන්මෙන්ද සමර්ථකමින්ද වැඩ කළ මනුෂ්‍යයෙක් ඇත; එහෙත් ඒ දේ ගැන උත්සාහ නොකළ මිනිහෙකුට ඔහු විසින් ඒක කොටස මෙන් තබා යන්ට ඕනෑය. මේකත් නිෂ්ඵලකමය, මහත් නපුරකි.”—දේශනාකාරයා 2:18-21.

සලමොන් පැහැදිලි කරන්නාක් මෙන් උරුමය ලබන අය ඒ සඳහා වෙහෙස මහන්සි වී වැඩ කර නැති නිසා එහි වටිනාකම ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා තම දෙමව්පියන් හුඟාක් වෙහෙස මහන්සි වී රැස් කළ වස්තු උරුම කරගන්න දරුවන්, ඒවා අඥාන ආකාරයකින් පරිහරණය කරන්න පුළුවන්. සමහරවිට දෙමව්පියන් එසේ අමාරුවෙන් හම්බ කරගත් වස්තු ඔවුන් නැති නාස්ති කරන්නත් පුළුවන්. (ලූක් 15:11-16) එහෙම වුණොත් එය මොන තරම් ‘නිෂ්ඵලකමක් හා මහත් නපුරක්’ වේවිද!

උරුමය හා තණ්හාව

දෙමව්පියන් විසින් සැලකිල්ලට ගත යුතු තවත් පැත්තක් තිබෙනවා. පාරම්පරික උරුමයන් හා දෑවැදි ගැන හුඟාක් සැලකිලිමත් වන සමාජවල හැදෙන දරුවන් තුළ තණ්හාව ක්‍රමානුකූලව ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඔවුන් තම දෙමව්පියන්ගෙන් සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි ප්‍රමාණයට වඩා විශාල දේපොළ ප්‍රමාණයක් හෝ දෑවැද්දක් බලෙන්ම ඉල්ලන්න පුළුවන්. “දූවරු දෙතුන්දෙනෙක් ඉන්නවා නම් තාත්තා කෙනෙක් ඉවරයි” කියා ග්‍රීසියේ සිටින පියෙක් වන ලූකස් හිනා වෙමින් කියයි. “සමහරවිට දූවරු තම පියා තමන්ට දෙන දේවල් වෙනත් දෙමව්පියන් තම දරුදැරියන් සඳහා ‘ත්‍යාගශීලීව’ රැස් කරන දේවල් සමඟ සසඳන්න පුළුවන්. ප්‍රමාණවත් දෑවැද්දක් තිබුණේ නැත්නම් හොඳ විවාහයක් කරගන්න බැරි වෙයි කියා ඔවුන් කියන්න ඉඩ තියෙනවා.”

කලින් සඳහන් කළ මානොලීස් මෙහෙම කියනවා. “තරුණයෙක් තම මනාලිය කරගැනීමට බලාපොරොත්තු වන තැනැත්තියගේ පියා ඇය වෙනුවෙන් ඔහුට යමක් දීමට පොරොන්දු වන තුරු, විවාහය කල් දම දමා සිටින්න පුළුවන්. මෙහිදී බොහෝවිට දේපොළ හෝ සැලකිය යුතු මුදල් සම්භාරයක් ඔහු බලාපොරොත්තු විය හැකියි. මෙය කෙනෙකු තුළ බියක් ඇති කිරීමට සලස්වා ඔහුගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට දරන උත්සාහයක් බවට පත් වෙන්න පුළුවන්.”

ඕනෑම ආකාරයක තණ්හාව වැරදි යයි බයිබලය පවසනවා. සලමොන් මෙහෙම ලිව්වා. “මුලදී නොපමාව [නැත්නම් තණ්හාවෙන්] උරුමයක් ගත හැකිය; එහෙත් එහි කෙළවර ආශීර්වාදයක් නොලබන්නේය.” (හිතෝපදේශ 20:21) ප්‍රේරිත පාවුල් මෙම අදහස කාවැද්දුවා. “මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර හානිකර දේවල්වල මුලක්ය.”—1 තිමෝති 6:10; එෆීස 5:5.

‘උරුමයක් සමඟ ප්‍රඥාව’

උරුමයක් සෑහෙන්න වටින බව ඇත්තයි. එහෙත් ප්‍රඥාව ද්‍රව්‍යමය වස්තුවලට වඩා බොහෝ සෙයින් වටිනවා. “ප්‍රඥාව උරුමයක් මෙන් යහපත. . . . මක්නිසාද මුදල ආවරණයක් වන්නාක් මෙන් ප්‍රඥාවත් ආවරණයක් වේ. එහෙත් දැනගැන්මේ උතුම්කම නම් ප්‍රඥාව ඇත්තාගේ ජීවිතය ආරක්ෂා කිරීමය” කියා සලමොන් රජ ලිව්වා. (දේශනාකාරයා 7:11, 12; හිතෝපදේශ 2:7; 3:21) මුදල් තිබුණොත් තමාට අවශ්‍ය දේවල් ලබාගන්න පුද්ගලයෙකුට හැකි නිසා ඔහුට යම් ප්‍රමාණයක ආවරණයක් හෙවත් ආරක්ෂාවක් තිබෙනවා. ඒත් මුදල් නැති වෙලා යන්න පුළුවන්. හැබැයි ප්‍රඥාව, ඒ කියන්නේ දැනුම පාවිච්චි කරමින් ගැටලු විසඳීමට හෝ නිශ්චිත ඉලක්ක අත් කරගැනීමට තිබෙන හැකියාවට පුළුවන් කෙනෙක්ව අඥාන තීරණ ගැනීමෙන් වළක්වා ඔහුව ආරක්ෂා කරන්න. නියම දේවභයක් මත පදනම් වූ විට, ප්‍රඥාවට පුළුවන් දෙවි ළඟදීම පිහිටුවන අලුත් සමාජ ක්‍රමයේදී සදාකාල ජීවනය හිමි කරගැනීමට ඔහුට උපකාර කරන්න. ඇත්තෙන්ම එය අගනා උරුමයක්!—2 පේතෘස් 3:13.

තමන් හා තම දරුවන් මුල් තැන දිය යුතු දේවල් මොනවාදැයි තීරණය කරගැනීමෙන් ක්‍රිස්තියානි දෙමව්පියන් එබඳු ප්‍රඥාවක් විදහාපානවා. (ෆිලිප්පි 1:10) දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ද්‍රව්‍යමය දේවල් එක් රැස් කළත් ප්‍රමුඛත්වය ලැබිය යුත්තේ ආත්මික කාරණාවලටයි. යේසුස් තම අනුගාමිකයන්ට දිරිගැන්නුවේ මෙහෙම කරන්න කියායි. “එබැවින් පළමුකොට [දෙවිගේ] රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ.” (මතෙව් 6:33) ආත්මික ඉලක්ක තබාගෙන කටයුතු කිරීමට තම ක්‍රිස්තියානි පවුල් සාමාජිකයන්ට උපකාර කරන දෙමව්පියන් ආශීර්වාද රැසක් ලබනු ඇති බවට සහතික විය හැකියි. “ධර්මිෂ්ඨයාගේ පියා ඉතා ප්‍රීති වන්නේය. ඥානවන්ත පුත්‍රයෙකු ජාතක කරන්නා ඔහු ගැන ප්‍රීතිය ලබන්නේය. ඔබේ පියාද මවද සතුටු වෙත්වා. ඔබ වැදූ ඇත්තී ප්‍රීති වේවා” කියා ප්‍රඥාවන්ත සලමොන් රජ ලිව්වා.—හිතෝපදේශ 23:24, 25.

කාලාන්තරයක් පවතින උරුමයක්

පුරාණයේ විසූ ඊශ්‍රායෙලිතයන්ට පාරම්පරික උරුමය ඉතා වැදගත් දෙයක් වුණා. (1 රාජාවලිය 21:2-6) ඒත් යෙහෝවා ඔවුන්ට මෙහෙම අවවාද කළා. “මේ දවසෙහි මා විසින් ඔබට අණ කරන මේ වචන ඔබේ හෘදයෙහි තිබිය යුතුය. ඔබේ පුත්‍රයන්ට ඒවා මනාකොට උගන්වා ඔබ ගෙයි හිඳින කලද මාර්ගයෙහි යන එන කලද සයනය කරන කලද නැඟිටින කලද ඒවා ගැන කතා කරන්න.” (ද්විතීය කථාව 6:6, 7) ක්‍රිස්තියානි දෙමව්පියන්ටත් ඒ හා සමාන දෙයක් පවසා තිබෙනවා. “යෙහෝවාගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්ද [ඔබේ දරුවන්ව] ඇති දැඩි කරන්න.”—එෆීස 6:4.

බයිබල් උපදෙස් සැපයීමත් තම පවුලේ අයගේ අවශ්‍යතා සැපයීමට ඇතුළත් බව ආත්මික කාරණාවලට ලැදි දෙමව්පියන් දන්නවා. දරුවන් තුන්දෙනෙක් සිටින පියෙක් වන ආන්ත්‍රියාස්ගේ අදහසයි මේ. “තමන්ගේ ජීවිතයේදී දේවප්‍රතිපත්ති අදාළ කරගැනීමට දරුවන් පුරුදු වුණොත් අනාගතයට හොඳින් මුහුණ දීමට එය ඔවුන්ට උපකාරයක් වෙයි.” එවැනි උරුමයක් දරුවන්ට ලබා දීමට නම්, තම මැවුම්කරු සමඟ පෞද්ගලික සම්බන්ධයක් ඇති කරගෙන එය දියුණු කරගැනීමට දරුවන්ට උපකාර කිරීම කෙරෙහි දෙමව්පියන්ගේ අවධානය යොමු විය යුතුයි.—1 තිමෝති 6:19.

ඔබේ දරුවාගේ අනාගත ආත්මික කටයුතු සඳහා යම් දේවල් සැලසුම් කිරීම ගැන ඔබ කල්පනා කර තිබෙනවාද? උදාහරණයක් වශයෙන් තම දරුවා පූර්ණ කාලීන දේවසේවකයෙක් නම් දෙමව්පියන්ට කළ හැකි යමක් තිබෙනවාද? පූර්ණ කාලීන දේවසේවකයෙක් තම දෙමව්පියන්ගෙන් මූල්‍යමය ආධාර බලෙන් ඉල්ලීමවත්, ඒවා ලැබෙයි කියා බලාපොරොත්තු වීමවත් සුදුසු දෙයක් නොවෙයි. නමුත් පූර්ණ කාලීන සේවය තුළ දිගටම රැඳී සිටීම සඳහා ‘ඔහුගේ අවශ්‍යතාවලට අනුව ඔහු සමඟ යම් දේවල් බෙදාගන්න’ ප්‍රේමණීය දෙමව්පියන් සමහරවිට තීරණය කරන්න පුළුවන්. (රෝම 12:13; 1 සාමුවෙල් 2:18, 19; ෆිලිප්පි 4:14-18) උපකාර කිරීමට කැමැත්තක් දක්වන එවන් ස්වභාවයක් යෙහෝවාට ප්‍රසන්න දෙයක් බව සහතිකයි.

එසේනම් දෙමව්පියන් බැඳී සිටින්නේ තම දරුවන්ට කුමක් දෙන්නද? ඔවුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපයනවාට අමතරව, ඔවුන්ට සදාකාලික ප්‍රයෝජන ලබා දෙන හොඳ ආත්මික උරුමයක් ලබා දීමටත් ක්‍රිස්තියානි දෙමව්පියන් වගබලා ගත යුතුයි. එහෙම කළොත් ගීතාවලිය 37:18හි තිබෙන අදහස ඔවුන් සම්බන්ධයෙන් සැබෑවක් වේවි. “යෙහෝවා ගුණයෙන් සම්පූර්ණ තැනැත්තන්ගේ දවස් දන්නේය. ඔවුන්ගේ උරුමය සදාකල් පවතින්නේය.”

[26, 27වන පිටුවේ පින්තූර]

ඔබගේ දරුවන් සඳහා ඔබගේ පැතුම කුමක්ද?