Skip to content

පටුනට යන්න

කැමැත්තෙන් පූජාවීම නිසා අද්දුටු ප්‍රීතිය හා තෘප්තිය

කැමැත්තෙන් පූජාවීම නිසා අද්දුටු ප්‍රීතිය හා තෘප්තිය

ජීවිත කතාව

කැමැත්තෙන් පූජාවීම නිසා අද්දුටු ප්‍රීතිය හා තෘප්තිය

පැවසුවේ මාරියන් සහ රෝසා සූමිගා

“මම ස්වෙච්ඡා පූජාවක් රැගෙන ඔබට පුදන්නෙමි” යයි ගීතාවලිය 54:6 (පැරණි අනුවාදය) කියැවේ. මෙම වදන් ප්‍රංශයේ ජීවත් වන මාරියන් සූමිගා හා ඔහුගේ භාර්යාව වන රෝසාගේ, ජීවිතයේ තේමා පාඨයයයි කීවොත් නිවැරදියි. ඔවුන් යෙහෝවාට සේවය කළ එම දීර්ඝ හා තෘප්තිමත් කාල පරිච්ඡේදය තුළදී, ලැබූ සමහර රස මුසු අද්දැකීම් ගැන මෑතකදී පැවසුවා.

මාරියන්: මගේ දෙමව්පියන් පෝලන්තයෙන් පැමිණි රෝමානු කතෝලික භක්තිකයන්. මගේ තාත්තා අධ්‍යාපනයක් ලබන්න අවස්ථාවක් නොලැබුණු නිහතමානී පුද්ගලයෙක්. කෙසේවෙතත් ඔහු පළමුවෙනි ලෝක මහ යුද්ධ සමයේදී සොල්දාදුවෙක් ලෙස අගල්වල සැඟවී සේවය කරන කාලයේදී ඔහු කියවන්නයි ලියන්නයි ඉගෙනගත්තා. තාත්තා දේවභයැති කෙනෙක්. නමුත් පල්ලියේ කෙරුණු දේවල් නිසා ඔහු නිතරම කලකිරීමට පත් වුණා.

එක සිද්ධියක් ඔහුගේ මනසට තදින් කාවැදුණා. යුද්ධ සමයේදී දවසක් පූජකවරයෙක් තාත්තා සේවය කළ බලඇණිය බැහැදකින්න ආවා. ළඟ පාත තැනක ෂෙල් වෙඩිල්ලක් පිපිරුණු ගමන් භය වූ පූජකවරයා තම අශ්වයා පිට නැඟ උගේ ගමන වේගවත් කිරීම සඳහා අතේ තිබුණු කුරුසයෙන් ඌට ගහ ගහා එතැනින් පලා ගියා. දෙවිගේ “නියෝජිතයෙක්” තමන්ට ඉක්මනින් යන්න ඕනේ නිසා “ශුද්ධ වස්තුවකින්” අශ්වයෙකුට තැළීම තාත්තාව පුදුමයට පත් කළා. කෙසේවෙතත් තාත්තා දුටු එවැනි සිද්ධීන් හා යුද්ධයේදී අද්දැක්ක බිහිසුණු දේවල් ඔහුට දෙවි කෙරෙහි තිබුණු භක්තිය අඩුවීමට නම් හේතුවක් වූයේ නැහැ. ඔහු බොහෝවිට යුද්ධයෙන් ආරක්ෂා සහිතව පැමිණෙන්න ලැබීම ගැන දෙවිට ස්තුති කළා.

“කුඩා පෝලන්තය”

වර්ෂ 1911දී මගේ තාත්තා ඒ ළඟ ගමක ගැහුණු ළමයෙකු හා විවාහ වුණා. ඇගේ නම ඇනා සිසෝව්ස්කි. යුද්ධයෙන් ටික කාලෙකට පස්සේ ඒ කියන්නේ 1919දී මගේ අම්මයි තාත්තයි පෝලන්තයෙන් පිට වෙලා ප්‍රංශයේ පදිංචියට ආවා. මෙහිදී තාත්තාට අඟුරු ආකරයක රැකියාවක් ලැබුණා. මම 1926 මාර්තු මාසයේදී ප්‍රංශයේ නිරිතදිගින් පිහිටි කන්‍යක්ලීමන් නම් නගරයේ උපත ලැබුවා. ඊටපස්සේ මගේ දෙමව්පියෝ උතුරු ප්‍රංශයේ ලෙන්ස් නගරය අසල පිහිටි ලෝසාගොයෙල් නම් වැඩිපුර පෝලන්ත මිනිස්සු වාසය කළ ගමක පදිංචි වුණා. ඒ ගමේ පාන් පිච්චුවෙත් මස් වික්කෙත් පෝලන්ත ජාතිකයන්. ඒ මීසම බාර පූජකයාත් පෝලන්ත ජාතිකයෙක්. ඒ නිසා, ඒ ගමට කුඩා පෝලන්තය කියලයි කිව්වේ. මගේ දෙමව්පියෝ සමාජ සේවයේ නිරත වෙලා හිටියා. මගේ තාත්තා නිතර නිතර සංදර්ශන සංවිධානය කළා. ඒවාට නාට්‍යයක් වගේම සංගීතය හා සිංදුද ඇතුළත් වුණා. ඔහු නිතිපතා පූජකයා සමඟ දීර්ඝ සංවාදවලද යෙදුණා. නමුත් පූජකයා බොහෝ වේලාවට ප්‍රශ්නවලට පිළිතුර වශයෙන් කිව්වේ “ඒවා අබිරහස්” කියලයි. ඒ ගැන නම් තාත්තා සෑහීමට පත් වුණේ නැහැ.

වර්ෂ 1930දී දවසක් කාන්තාවන් දෙදෙනෙක් අපේ දොරට තට්ටු කළා. ඒ දෙදෙනා එවකට බයිබල් ශිෂ්‍යයන් ලෙස හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්. මගේ තාත්තා කාලයක් තිස්සේ කියවන්න ආශාවෙන් බලා සිටි පොතක් වන බයිබලයක් ඔවුන්ගෙන් ලබාගත්තා. ඒ කාන්තාවන් දෙදෙනා දීලා ගිය බයිබල් අදහස් අඩංගු වෙනත් පොත් පත්ද අම්මයි තාත්තයි ඕනෑකමින් කියෙව්වා. මෙම පොත් පත්වල තිබුණු කරුණු ඔවුන්ගේ සිතට තදින් කාවැදුණා. මගේ දෙමව්පියෝ කාර්යබහුල ජීවිතයක් ගත කළද බයිබල් ශිෂ්‍යයන් සංවිධානය කළ රැස්වීම්වලට ඔවුන් යන්න පටන්ගත්තා. පූජකයා සමඟ පැවැත්වූ සංවාද කොතරම් උණුසුම් අතට පත් වුණාද කියනවා නම් දවසක් පූජකයා තර්ජනය කළා තවදුරටත් මගේ දෙමව්පියෝ බයිබල් ශිෂ්‍යයන්ව ඇසුරු කරනවා නම් මගේ අක්කා ස්ටේෆානිව ඥාන උපදේශ පන්තියෙන් (දහම් පාසැලෙන්) අස් කරනවා කියලා. මගේ තාත්තා කිව්වා “ඔයා ඒ ගැන කරදර වෙන්න එපා. අද ඉඳන් මගේ දුවයි අනිත් දරුවෝයි අපි බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වලට එක්කන් යනවා” කියලා. තාත්තා පල්ලියෙන් අයින් වුණු අතර 1932 මුල්භාගයේදී මගේ දෙමව්පියෝ බව්තීස්ම වුණා. ඒ කාලයේදී ප්‍රංශයේ හිටියේ රාජ්‍ය ප්‍රකාශකයන් 800දෙනෙක් පමණයි.

රෝසා: මගේ දෙමව්පියන් හංගේරියාවෙන්. ඒ අයත් මාරියන්ගේ පවුලේ අය වගේ අඟුරු ආකරවල වැඩ කිරීම සඳහා උතුරු ප්‍රංශයේ පදිංචි වුණා. මං ඉපදුණේ 1925දීයි. වර්ෂ 1937දී ඔගස්ට් බොගන් නම් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් මගේ දෙමව්පියන්ට හංගේරියානු භාෂාවෙන් මුරටැඹ සඟරා ගෙනත් දෙන්න පටන්ගත්තා. අපි ඔහුට කිව්වේ පපා ඔගස්ට් කියලයි. මගේ දෙමව්පියන් සඟරා කියවීමට ආස කළත් ඒ දෙන්නගෙන් එක් කෙනෙක්වත් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වුණේ නැහැ.

මම යෞවනයෙක්ව සිටි කාලයේදී මුරටැඹ සඟරාවල මම කියවූ දේවල් මගේ සිතට තදින් කාවැදුණා. පපා ඔගස්ට්ගේ ලේලි සූසන් බොගන් මං ගැන පුද්ගලික උනන්දුවක් දැක්වූවා. මගේ දෙමව්පියන් මාව රැස්වීම් එක්කන් යන්න ඇයට අවසර දුන්නා. මම වැඩට යන්න පටන්ගත්තාට පස්සේ ඉරිදා රැස්වීමට යන එක ගැන මගේ තාත්තට රුස්සන්නේ නැතුව ගියා. සාමාන්‍යයෙන් ඔහු වැඩි කලබලයක් කරන්නේ නැති පුද්ගලයෙක් වුණත්, “ඔයා සතියේ දවස්වලත් ගෙදර නැහැ. ඒ මදිවට ඔයා ඉරිදාටත් ඔයාගේ රැස්වීම්වලට යනවා!” කියා චෝදනා කළා. කෙසේවෙතත් මම දිගටම රැස්වීම් ගියා. එක දවසක් මගේ තාත්තා මෙහෙම කිව්වා “ඔයාගේ බඩු ටික අරගෙන ගෙදරින් යන්න!” ඒ වන විට ටිකක් රෑ වෙලයි තිබුණේ. මට එතකොට වයස අවුරුදු 17යි. මම දැනං හිටියේ නැහැ කොහේ යන්නද කියලා. මම සූසන්ගේ ගෙදර ගිහින් හඬා වැලපුණා. මම සූසන් එක්ක සතියක් විතර නතර වෙලා හිටියා. ඊටපස්සේ තාත්තා මගේ සහෝදරීව එවලා තිබුණා මාව ගෙදර එක්කන් එන්න. මම ස්වභාවයෙන්ම ලජ්ජාශීලී කෙනෙක්. නමුත් 1 යොහන් 4:18 අදහස මට ස්ථිරව ඉන්න උපකාරවත් වුණා. එම පදයේ කියන්නේ “පරිපූර්ණ ප්‍රේමය බිය දුරු කරයි” කියායි. වර්ෂ 1942දී මම බව්තීස්ම වුණා.

වටිනා ආත්මික උරුමයක්

මාරියන්: මම මගේ සහෝදරියන් වන ස්ටෙෆානී, මෙලනී හා සහෝදරයා වන ස්ටේෆාන් සමඟ 1942දී බව්තීස්ම වුණා. ගෙදරදී අපේ පවුල් ජීවිතය ගොඩනැඟුණේ දේවවචනය මුල් කරගෙනයි. අපි හැමෝම මේසය වටේටම ඉඳගත්තාම අපිට ඇහෙන්න තාත්තා පෝලන්ත භාෂාවෙන් බයිබලය කියෙව්වා. ගොඩාක් වේලාවට අපේ හවස් වරුව ගෙවුණේ අපේ දෙමව්පියන් රාජ්‍ය දේශනා සේවයේ ලැබූ අද්දැකීම්වලට ඇහුම්කන් දීමෙන්. අපට ආත්මික දිරිගැන්වීමක් ලබා දුන් මෙවන් අවස්ථා නිසා වඩ වඩා යෙහෝවාට ප්‍රේම කිරීමටත් ඔහු කෙරෙහි විශ්වාසය තැබීමටත් අපි ඉගෙනගත්තා. තාත්තාට ඇති වූ අසනීප තත්වයක් නිසා ඔහුට රැකියාවෙන් අස් වෙන්න වුණා. ඒ වුණත් ඔහු අපිට අවශ්‍ය ශාරීරික හා ආත්මික පෝෂණය දෙමින් අපව රැකබලා ගත්තා.

දැන් ඔහුට වැඩිපුර කාලයක් තිබුණ නිසා ඔහු සභාවේ යෞවනයන් සමඟ සතියකට දවසක් පෝලන්ත භාෂාවෙන් බයිබල් පාඩමක් පැවැත්තුවා. මම පෝලන්ත භාෂාව ඉගෙනගත්තේ ඒ අවස්ථාවේදීයි. තාත්තා යෞවනයන්ව වෙනත් පැතිවලින්ද දිරිගැන්නුවා. එවකට ප්‍රංශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ අධීක්ෂණය කළ සහෝදර ගෙස්ටෝව් සෝෆර් අපේ සභාව බැහැදකින්න පැමිණි එක් අවස්ථාවකදී, තාත්තා ගීතිකා කියන්න කණ්ඩායමක් සහ බේල්ෂශර් රජගේ මාලිගාවේ පැවති මංගල්‍යය හා බිත්තිය මත ලියැවුණු අකුරු සම්බන්ධයෙන් බයිබල් නාට්‍යයක් ඉදිරිපත් කිරීමට සංවිධානය කළා. (දානියෙල් 5:1-31) එදා දානියෙල්ගේ චරිතය නිරූපණය කළේ පසුව නාට්සිවරුන්ගේ වධ හිංසාවලට ස්ථිරව නොසැලී මුහුණු දුන් ලුවී පීහෝටායි. * අපි හැදී වැඩුණේ මෙවැනි පරිසරයකයි. අපි දැක්කා අපේ දෙමව්පියන් හැමතිස්සේම ආත්මික දේවල් කිරීමෙහි කාර්යබහුලව සිටි අන්දම. අද මට තේරෙනවා දෙමව්පියන් අපිට දීලා ගියේ මොන තරම් වටිනා උරුමයක්ද කියලා.

වර්ෂ 1939දී දෙවන ලෝක මහ යුද්ධය පටන්ගත් විට ප්‍රංශයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කළා. එක අවස්ථාවකදී අපේ ගමේ සෝදිසි මෙහෙයුමක් දියත් කළා. සෑම ගෙයක්ම ජර්මනියේ යුධ භටයන් විසින් වැටලුවා. ඇඳුම් එල්ලා තබන කුඩා කාමරයක (closet) පොළොව යට රහස් කුටියක් තාත්තා සකස් කරලා තිබුණා. අපි බොහෝ බයිබල් ප්‍රකාශන එතන හැංගුවා. ඒත් කෑම මේසයේ ලාච්චුවක ෆැසිස්ට්වාදය හෝ නිදහස (සිංහලෙන් නැත) නමැති පොත් පිංච කිහිපයක් තිබුණා. තාත්තා ඉක්මනින් කොරිඩෝරයේ එල්ලා තිබූ කබායක සාක්කුවේ ඒවා දැම්මා. සොල්දාදුවන් දෙදෙනෙක් සහ එක් ප්‍රංශ පොලිස් නිලධාරියෙක් අපේ ගේ පරීක්ෂා කළා. අපි තුෂ්ණීම්භූත වෙලා බලන් හිටියා. එක සොල්දාදුවෙක් කොරිඩෝරයේ එල්ලා තිබූ ඇඳුම් පරීක්ෂා කරන්න පටන්ගත්තා. ටික වේලාවකින් සොල්දාදුවා පොත් පිංච අතැතිව අපි සිටි කුස්සිය පැත්තට ආවා. අපි දිහා රවලා බලලා පොත් ටික මේස උඩට දාලා නැවතත් වෙනත් තැන්වල සොයන්න පටන්ගත්තා. මම ඉක්මනට පොත් ටික අරන් සොල්දාදුවන් කලින් පරීක්ෂා කළ ලාච්චුවකට දැම්මා. සොල්දාදුවා ඒ පොත් ගැන ඊටපස්සේ ඇහුවේ නැහැ. හරියට ඔහුට ඒවා සම්පූර්ණයෙන්ම අමතක වුණා වගේ!

පූර්ණ කාලීන සේවයට පිවිසීම

වර්ෂ 1948දී පුරෝගාමියෙකු ලෙස යෙහෝවාට පූර්ණ කාලීනව සේවය කිරීමට මම තීරණය කළා. ඒ තීරණය අරගෙන වැඩි දවසක් යන්න කලින් ප්‍රංශයේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් මට ලිපියක් ලැබුණා. එම ලිපියේ බෙල්ජියම අසල සෙඩාන් නගරයේ පිහිටි සභාවක පුරෝගාමියෙක් ලෙස සේවය කිරීම සඳහා මට පැවරුමක් දී තිබුණා. මම මෙලෙස යෙහෝවාට සේවය කිරීමට ආශාවෙන් ඉදිරිපත් වීම ගැන මගේ දෙමව්පියෝ සතුටෙන් ඉපිල ගියා. කෙසේවෙතත් තාත්තා මට පෙන්නුවා පුරෝගාමි සේවය කියන්නේ සැහැල්ලුවට ගත යුතු යමක් නොවන බවත් මහන්සි වී වැඩ කළ යුතු බවත්. ඒ වගේම ඔහු පැවසුවා මට යම් ප්‍රශ්න ගැටලු ඇති වූවොත් මගේ උපකාරයට ඔහු සිටිනවා කියාත් ඔහුගේ ගෙදර මට ඕනෑම වෙලාවක විවෘතයි කියාත්. මගේ දෙමව්පියෝ එතරම් වත් පොහොසත්කම් තියෙන මිනිස්සු නොවුණත් මට අලුත් බයිසිකලයක් අරන් දුන්නා. මා ළඟ තාමත් ඒ බයිසිකලයේ රිසීට්පත තියෙනවා. ඒ රිසීට්පත දකින හැමවිටම මගේ ඇස්වලට කඳුළු උනනවා. මගේ දෙමව්පියෝ 1961දී මියැදුණා. නමුත් තාත්තා දුන් ප්‍රඥාවන්ත උපදෙස් තවමත් මගේ සිතේ රැව් පිළි රැව් දෙනවා. මගේ මුළු සේවා කාලය තුළදීම ඒ වදන් මට දිරිගැන්වීමක් හා සැනසීමක් ලබා දී තියෙනවා.

මට ඉමහත් දිරිගැන්වීමක් ලබා දුන් තවත් කෙනෙක් තමයි සෙඩාන් සභාවේ 75 හැවිරිදි ඒලීස් මොට් නම් ක්‍රිස්තියානි සහෝදරිය. මම ගිම්හාන කාලයේදී ඈත ගම්මානවලට දේශනා කරන්න බයිසිකලයෙන් ගියා. මා සමඟ සේවයේ හවුල් වීම සඳහා ඒලීස් දුම්රියෙන් ආවා. දවසක් දා දුම්රිය ඉන්ජිනේරුවන්ගේ වැඩ වර්ජනයක් නිසා ඒලීස්ට ආපසු ගෙදර යන්න විදිහක් තිබුණේ නැහැ. මට ඒ වේලාවේ හැටියට හිතන්න පුළුවන් වූ එකම විසඳුම වූයේ ඇයව මගේ බයිසිකලයේ පිටුපස කැරියර් එකේ තියාගෙන ගෙදර ගෙන යෑමයි. ඒක නම් ඇයට කොහෙත්ම පහසු ගමනක් නෙවෙයි. පහුවෙනිදා මම ඒලීස්ව පහසුවෙන් බයිසිකලයේ තියාගෙන එක්කරගෙන යන්න ඕනේ නිසා කුෂන් එකක් අරගෙන ගියා. ඇය දුම්රියෙන් යන එක නතර කරලා දිගටම මා සමඟ පැමිණියා. ඇය කෑම වේලාවේදී අපිට උණුසුම් බීමක් ගන්න එම ටිකට් ගාස්තුව වියදම් කළා. කවුද හිතුවේ මගේ බයිසිකලය පොදු ගමනාගමන සේවය සඳහා පාවිච්චි වෙයි කියලා.

තවත් වගකීම්

මුළු උතුරු ප්‍රංශය පුරාම චාරිකා අවේක්ෂකයෙක් ලෙස සේවය කිරීමට 1950දී මට පැවරුමක් ලැබුණා. මට එතකොට අවුරුදු 23යි. මම ඒ ගැන භය වුණා ඒකයි මගේ මුල්ම ප්‍රතිචාරය වුණේ. මම හිතුවා ශාඛා කාර්යාලයට වැරදිලා කියලා! මගේ ඔළුවේ එක එක ප්‍රශ්න පැනනැඟුණා. ‘මම මේ වැඩේ කරන්න ආත්මිකවයි ශාරීරිකවයි සුදුසුද? සෑම සතියකම විවිධ තැන්වල නවාතැන් ගැනීම මට මොනවගේ අද්දැකීමක් වෙයිද?’ ඊටත් වැඩිය මට අවුරුදු හයේ ඉඳන්ම ඇහේ ආබාධයක් (divergent strabismus) එනම් වපරයක් තිබුණා. මේ නිසා මගේ එක ඇහැක් නාභිගත වුණේ ඇදේටයි. අනිත් අය මේ ගැන කොහොම හිතයිද කියා මම නිතරම කල්පනා කළා. ඒ අවස්ථාවේදී ගිලියද් මිෂනාරි පාසැලේ උපාධිධාරියෙක් වන ස්ටේෆාන් භ්‍යූනීක්ගෙන් ලැබුණු උපකාරය ඇත්තෙන්ම වටිනවා. සහෝදර භ්‍යූනීක්ව දේශනා කිරීම නිසා පෝලන්තයෙන් පිටුවහල් කර තිබූ අතර ඔහුව ප්‍රංශයේ සේවය කිරීමට එවා තිබුණා. ඔහුගේ නිර්භීතකම මගේ සිතට තදින් කාවැදුණා. ඔහු තුළ යෙහෝවා කෙරෙහිත් සත්‍යය කෙරෙහිත් ගැඹුරු ගෞරවයක් තිබුණා. සමහර අය හිතුවේ ඔහු මා සමඟ තදින් කටයුතු කළා කියා. නමුත් මම ඔහුගෙන් බොහෝ දේවල් ඉගෙනගත්තා. ඔහුගේ නිර්භීතකම මට මා තුළ විශ්වාසයක් ඇති කරගැනීමට උපකාරවත් වුණා.

චාරිකා සේවය නිසා මට ක්ෂේත්‍ර සේවය තුළ කදිම අද්දැකීම් ලබාගැනීමට අවස්ථාවක් උදා වුණා. වර්ෂ 1953දී, මුරටැඹ සඟරාවට දායකයක් ලබාගත් දකුණු පැරිසියේ වෙසෙන පාඕලේ නම් මහත්මයෙක් හමුවීමට මට යන්න කිව්වා. මම ඔහුව හමු වුණා. ඔහු හමුදා සේවයෙන් විශ්‍රාම ගිය කෙනෙක් බවත් ඔහු මුරටැඹ සඟරාවලට විශේෂ ඇල්මක් දක්වන කෙනෙක් බවත් මට දැනගන්න ලැබුණා. ඔහු ඒ ලඟකදී පළ වූ ලිපියක යේසුස්ගේ මරණය සිහි කිරීම ගැන කියෙව්වට පස්සේ ඔහු තනිවම එය පැවැත්තුවා කියා පැවසුවා. ඒ වගේම ඒ සැන්දෑවේ ඉතිරි කාලය ඔහු ගීතාවලිය පොත කියවන්න වැය කර තිබුණා. අපේ සාකච්ඡාවට මුළු හවස් වරුවම වගේ ගෙවුණා. මම ඔහුගෙන් සමුගන්න කලින් බව්තීස්මය ගැනත් ඔහු සමඟ කෙටියෙන් කතා කළා. ඉන්පසු මම 1954 මුල පැවැත්වීමට නියමිත අපේ චාරිකා එක්රැස්වීමට පැමිණෙන්න කියා ඔහුට ආරාධනා පත්‍රයක් යැව්වා. ඔහු පැමිණියා. එදා එම එක්රැස්වීමේදී බව්තීස්ම වූ 26දෙනා අතර සහෝදර පාඕලේත් එක් කෙනෙක්. එවැනි අද්දැකීම්වලින් මම තවමත් සතුටක් ලබනවා.

රෝසා: මම 1948 ඔක්තෝබර් මාසයේ පුරෝගාමියෙක් ලෙස සේවය කරන්න පටන්ගත්තා. මම බෙල්ජියමේ ඇනෝර් නගරයේ සේවය කළාට පස්සේ අයිරීන් කොලැන්ස්කි (දැන් ලර්වා) සමඟ පැරිසියේ සේවය කිරීමට පැවරුමක් ලැබුවා. අපි ජීවත් වුණේ සෙන්ස්හර්මන් ඩි ප්රී නම් නගරය මැද පිහිටි ගෙදරක චූටි කාමරේකයි. මම ගමේ කෙල්ලක් නිසා මට පැරිසියේ මිනිස්සු ගැන තිබුණේ ලොකු භයක්. මම හිතුවේ ඒ සෑම කෙනෙක්ම ඉතා උසස් මෙන්ම උගත් අය කියායි. නමුත් දේශනා සේවයේ ගිහින් ඔවුන් මුණගැසීමෙන් මට වැටහුණා ඒ අයත් අනිත් මිනිස්සු වගේමයි කියා. බොහෝ වෙලාවට අපිව මුරකාරයන් විසින් පන්නා දැම්මා. බයිබල් පාඩම් පටන්ගැනීම පහසු වුණේ නැහැ. කෙසේනමුත් සමහර අය අපේ පණිවිඩය පිළිගත්තා.

වර්ෂ 1951දී පැවැත්වූ චාරිකා එක්රැස්වීමකදී අයිරීන්වත් මාවත් අපේ පුරෝගාමි සේවය සම්බන්ධයෙන් කතා කිරීම සඳහා සම්මුඛ සාකච්ඡාවකට කැඳෙව්වා. හිතන්න පුළුවන්ද කවුද සම්මුඛ සාකච්ඡාව මෙහෙයෙව්වේ කියලා? මාරියන් සූමිගා නම් තරුණ චාරිකා අවේක්ෂකයෙක්. අපි මීට කලින් එක වතාවක් හමු වෙලා තිබුණා. නමුත් චාරිකා එක්රැස්වීමෙන් පස්සේ අපි ලිපි හුවමාරු කරන්න පටන්ගත්තා. මාරියනුයි මායි අතර බොහෝ සමානකම් තිබුණා. උදාහරණයකට අපි බව්තීස්ම වෙලා තිබුණේ එකම අවුරුද්දේ, ඒ වගේම පූර්ණ කාලීන සේවය පටන්ගෙන තිබුණේත් එකම අවුරුද්දෙයි. වඩාත්ම වැදගත් දෙය වුණේ අපි දෙන්නටම පූර්ණ කාලීන සේවයේ දිගටම ඉන්න වුවමනා වෙලා තිබුණා. ඒ නිසා යාච්ඤා පූර්වකව හිතලා අපි 1956 ජූලි 31 වෙනිදා විවාහ වුණා. ඒ පියවරත් සමඟම මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මට භාර්යාවක් හැටියට කටයුතු කිරීමට විතරක් නෙවෙයි මාරියන් එක්ක චාරිකා සේවයේ තැනින් තැන යන්නත් හුරු වෙන්න වුණා. තැනින් තැන යනවා කියන්නේ හැම සතියකම වෙනස් නවාතැනක් කියන එකයි. මුලදී නම් ඒක කොහොමටවත් පහසු දෙයක් වුණේ නැහැ. නමුත් එමගින් අත් වෙන්න තිබුණ ප්‍රීතිය අතිමහත්.

තෘප්තිමත් ජීවිතයක්

මාරියන්: ගත වූ වසර කිහිපය තුළදී සමුළු කිහිපයක් සංවිධානය කිරීමට උපකාර කිරීමේ වරප්‍රසාදය ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම 1966දී බෝර්ඩොව් නගරයේ පැවැත්වූ සමුළුව ගැන මිහිරි මතකයක් මට තියෙනවා. ඒ කාලයේදී පෘතුගාලයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරලයි තිබුණේ. ඒ නිසා ප්‍රංශයට පෘතුගාලයෙන් පැමිණෙන්නට සිටි සාක්ෂිකරුවන් සඳහා පෘතුගීසි භාෂාවෙන්ද එම වැඩසටහන් ඉදිරිපත් කෙරුණා. පෘතුගාලයෙන් ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් සිය ගණනක් පැමිණියා. නමුත් ලොකුම අභියෝගය වුණේ මේ අයට නවාතැන් සැපයීමයි. බෝර්ඩොව් නගරයේ විසූ සාක්ෂිකරුවන්ගේ නිවෙස්වල ප්‍රමාණවත් ඉඩ කඩ හා පහසුකම් නොතිබුණු නිසා අපි නිදන ශාලාවක් ලෙස පාවිච්චි කිරීම සඳහා හිස් සිනමා ශාලාවක් කුලියට ගත්තා. අපි ආසන ඔක්කොම ඉවත් කළා. සහෝදරයන් හා සහෝදරියන් සඳහා නිදන ශාලා දෙකක් සෑදීමට වේදිකාවේ තිබුණු තිරය ගලවා ශාලාව මැදින් දමා වෙන් කළා. අපි නාන්න වතුර මල් හා අත් සෝදගන්න සින්ක් සවි කළා. අපි කොන්ක්‍රීට් පොළොවට පිදුරු දමා එය කැන්වස් රෙදිවලින් වැසුවා. හැමෝම මේ සැලැස්මට කැමති වුණා.

අපි සමුළු සැසිවාරයෙන් පස්සේ අපේ සහෝදර සහෝදරියන්ව හමු වෙන්න නවාතැනට ගියා. එහි පැවතුණු වාතාවරණය නම් කදිමයි. ඔවුන්ට වසර ගණනාවක් පුරා මුහුණ දෙන්න සිදු වුණාවූ විරුද්ධවාදිකම් මධ්‍යයේ වුවද ඔවුන් ලබා තිබුණු අද්දැකීම්වලින් අප මහත් දිරිගැන්වීමක් ලැබුවා. එක්රැස්වීම අවසන් වෙලා ඔවුන් පිටත් වෙන විට අපේ ඇස් කඳුළෙන් තෙත් වුණා.

මීට අවුරුදු දෙකකට කලින් ඒ කියන්නේ 1964දී මට දිස්ත්‍රික් අවේක්ෂකයෙක් ලෙස සේවය කිරීමේ වරප්‍රසාදයද ලැබුණා. නැවතත් මම හිතුවා මම ඒ පැවරුම ලබන්න තරම් සුදුසුද කියා. වගකීම් උසුලන සහෝදරයෝ මට ඒ පැවරුම බාරගන්න කියා කිව්වේ මම ඒ වැඩේට සුදුසු බව ඔවුන්ට ඒත්තුගිය නිසයි කියා මම මටම කියාගත්තා. අනෙකුත් චාරිකා අවේක්ෂකයන් සමඟ එකට වැඩ කිරීමට ලැබීම ඇත්තෙන්ම කදිම අද්දැකීමක්. මම ගොඩාක් දේවල් ඔවුන්ගෙන් ඉගෙනගත්තා. යෙහෝවා ඉදිරියේ ඉතා වැදගත් ගුණාංග ලෙස සැලකෙන ඉවසීම හා නොපසුබට උත්සාහය ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට තිබුණා. මේ අය අපිට කදිම ආදර්ශයන්. මම තේරුම්ගත් දෙයක් නම් අපි ඉවසීමෙන් බලා සිටිනවා නම් යෙහෝවා දන්නවා අපි වගේ අයව සොයාගන්නේ කොහෙන්ද කියා.

වර්ෂ 1982දී පැරිසියේ මායිම් ගම්මානයක් වන බියුලොන් බියන්කූර්හි සිටින පෝලන්ත ප්‍රචාරකයන් 12දෙනාගෙන් යුත් කුඩා කණ්ඩායමත් බලාගන්න ලෙස ශාඛා කාර්යාලය අපෙන් ඉල්ලා සිටියා. මම ඇත්තටම ඒක ගැන පුදුම වුණා. මම දිව්‍යාණ්ඩු වචන පෝලන්ත භාෂාවෙන් දැනගෙන හිටියා. නමුත් වාක්‍යයක් තනාගන්න එක අමාරුයි. නමුත් එම සහෝදරයන්ගේ කරුණාවන්තකම හා සහයෝගයෙන් වැඩ කිරීමට දැක්වූ කැමැත්ත මට මහත් උපකාරයක් වුණා. අද එම සභාවේ ආසන්න වශයෙන් පුරෝගාමීන් 60දෙනෙක් ඇතුළුව ප්‍රචාරකයන් 170දෙනෙක් විතර ඉන්නවා. පසු කාලයකදී රෝසා සහ මම ඔස්ට්‍රියා, ඩෙන්මාර්ක් හා ජර්මනියේ පෝලන්ත භාෂා කණ්ඩායම් හා සභා බැහැදකින්නත් ගියා.

වෙනස් වන තත්වයන්

අපේ ජීවිතය වූයේ විවිධ සභාවන් බැහැදැකීමට යෑමයි. නමුත් මගේ සෞඛ්‍ය තත්වය දුර්වල වූ නිසා සංචාරක සේවය 2001දී නතර කිරීමට සිදු වුණා. මගේ නංගි රූත් පදිංචි වී සිටින පිටිව්යේ නගරයේ පුංචි නවාතැනක් සොයාගත්තා. ශාඛා කාර්යාලය ප්‍රේමණීය ලෙස අපේ තත්වයට අනුව අපට කළ හැකි පැය ප්‍රමාණයක් නිර්දේශ කරමින් අපව විශේෂ පුරෝගාමීන් ලෙස පත් කළා.

රෝසා: අපි චාරිකා සේවය නතර කළ පළමුවෙනි අවුරුද්දේ ඒ වෙනස මට දරාගන්න අමාරු වුණා. ඒ වෙනස කොච්චර බලපෑවද කියනවා නම් මට හිතුණා මම කිසි වැඩකට නැති කෙනෙක් කියලා. ඊටපස්සේ මම මටම මෙහෙම කියාගත්තා. ‘මට තාමත් පුළුවන් මට ඉතුරු වෙලා තියෙන කාලයත් ශක්තියත් පුරෝගාමියෙක් ලෙස සේවය කිරීමට පාවිච්චි කරන්න.’ අද මම අපේ සභාවේ වෙනත් පුරෝගාමීන් සමඟ සේවය කිරීමට ලැබී තිබෙන ප්‍රස්තාව ගැන ප්‍රීතිමත් වෙනවා.

යෙහෝවා සෑමවිටම අප ගැන සැලකිල්ල දක්වා තිබෙනවා

මාරියන්: රෝසා පහුගිය අවුරුදු 48 පුරාම මගේ සහකාරිය වී සිටීම ගැන යෙහෝවාට මම අතිශයින් ස්තුතිපූර්වක වෙනවා. අපි චාරිකා සේවයේ නියැලුණු කාලය පුරාම ඇය මට මහත් උපකාරයක් වී තිබෙනවා. ‘අපි මේක නතර කරලා අපිටම කියලා ගෙදරක පදිංචි වෙලා ඉන්න තියෙනවා නම්’ කියා ඇය කවදාවත් කිව්වේ නැහැ.

රෝසා: සමහරවිට සමහර අය මට කියනවා “ඔයා මේ ගත කරන්නේ සාමාන්‍ය ජීවිතයක් නෙවෙයි. ඔයා හැමතිස්සේම ඉන්නේ අනිත් අයත් එක්කයි” කියලා. ඇත්තටම “සාමාන්‍ය ජීවිතය” කියලා කියන්නේ මොකක්ද? බොහෝ වේලාවට අපි අපේ ආත්මික ක්‍රියාකාරකම්වලට බාධා ඇති කළ හැකි නොයෙක් දේවල්වලින් අපිව වට කරගන්නවා. අපිට ඇත්තටම අවශ්‍ය වන්නේ සැප පහසුවට නිදාගන්න ඇඳක්, මේසයක් සහ තවත් අත්‍යවශ්‍ය දේවල් කිහිපයක් විතරයි. පුරෝගාමීන් වශයෙන් අපිට ද්‍රව්‍යමය දේවල් තිබුණේ සුළු වශයෙන්. නමුත් යෙහෝවාට සේවය කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම අපට තිබුණා. සමහර අය මගෙන් මෙහෙම අහලා තියෙනවා. “ඔයා වයසට ගියාම මොනවද කරන්නේ? ඔයාටම කියලා ඉන්න තැනක් නැහැ. විශ්‍රාම වැටුපක් ලැබෙන්නෙත් නැහැ.” එතකොට මම ගීතාවලිය 34:10 තියෙන අදහස කියනවා. “යෙහෝවා සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නැත.” යෙහෝවා සෑමවිටම අප ගැන සැලකිල්ල දක්වා තිබෙනවා.

මාරියන්: ඒක නම් ඇත්තයි. යෙහෝවා අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා දීලා තියෙනවා. උදාහරණයක් ලෙස 1958දී නිව් යෝක් නගරයේ පැවති ජාත්‍යන්තර සමුළුවේදී අපේ චාරිකාව නියෝජනය කරන්න මාව තෝරාගත්තා. රෝසාට ගුවන් බලපත්‍රයක් ගන්න සල්ලි තිබුණේ නැහැ. එක හැන්දෑවක සහෝදරයෙක් “නිව් යෝක්” කියා ලියා තිබූ ලියුම් කවරයක් අපිට දුන්නා. එහි තිබුණු තෑගි මුදල් උපකාරවත් වුණා රෝසාට මාත් එක්ක ගමනට හවුල් වෙන්න.

යෙහෝවාගේ සේවය තුළ කැප කළ කාලය ගැන මටයි රෝසාටයි අබමල් රේණුවක තරම්වත් කනගාටුවක් නැහැ. අපිට කිසි දෙයක් නැති වුණේ නැහැ. ඒ වෙනුවට පූර්ණ කාලීන සේවයේදී තෘප්තිය හා ප්‍රීතිය ගෙන දෙන සෑම දෙයක්ම ලැබුණා. යෙහෝවා අද්විතීය දෙවි කෙනෙක්. අපි යෙහෝවා කෙරෙහි සම්පූර්ණයෙන්ම රඳා සිටීමට ඉගෙනගෙන තිබෙන අතර ඔහු කෙරෙහි වූ අපගේ ප්‍රේමයද වැඩි වී තිබෙනවා. අපේ සමහර ක්‍රිස්තියානි සහෝදරයන් තමන්ගේ ඇදහිල්ල නිසා තමන්ගේ ජීවිතය පවා පුද කර තිබෙනවා. කෙසේනමුත් මම විශ්වාස කරනවා කෙනෙකුට තමන්ගේ ජීවිතය අවුරුදු ගණනාවක් පුරා ටිකෙන් ටික යෙහෝවාට පුද කරන්නත් පුළුවන් කියා. රෝසයි මමයි මේ වන තුරු වෑයම් කළේ ඒ දේ කරන්නයි. ඒ වගේම අපේ අනාගත අධිෂ්ඨානයත් ඒ දේම කරන්නයි.

[පාදසටහන]

^ 14 ඡේ. “මරණයට යන පා ගමනින් මම බේරුණා” යන මාතෘකාවෙන් යුත් ලුවී පීහෝටායිගේ ජීවිත කතාව 1980 අගෝස්තු 15 මුරටැඹ සඟරාවේ පළ වුණා.—සිංහලෙන් නොමැත.

[20වන පිටුවේ පින්තූරය]

ෆ්‍රැන්ශුවා සහ ඇනා සූමිගා සහ ඔවුන්ගේ දරුවෝ ස්ටේෆානී, ස්ටේෆාන්, මෙලනී සහ මාරියන් (1930දී විතර). බංකුවේ සිටගෙන සිටින්නේ මාරියන්

[22වන පිටුවේ පින්තූරය]

ඉහළ: වර්ෂ 1950දී දකුණු ප්‍රංශයේ ආමන්ටියර්ටීස්හි කඩ මංඩියක බයිබල් ප්‍රකාශන ඉදිරිපත් කිරීම

[22වන පිටුවේ පින්තූරය]

වමේ: වර්ෂ 1950දී ස්ටේෆාන් භ්‍යූනීක් මාරියන් සමඟ

[23වන පිටුවේ පින්තූරය]

රෝසා (වම් කෙළවරේම) ඇගේ පුරෝගාමි සහකාරිය වන අයිරීන් (වමේ සිට හතරවෙනියා) සමඟ 1951දී එක්රැස්වීමක් සම්බන්ධයෙන් දැනුම් දුන් අයුරු

[23වන පිටුවේ පින්තූරය]

මාරියන් සහ රෝසා ඔවුන්ගේ මංගල දිනයට පෙර දවසේ

[23වන පිටුවේ පින්තූරය]

චාරිකා සේවයේදී අපි වැඩියෙන්ම ගමන් කළේ බයිසිකලයෙන්