Skip to content

පටුනට යන්න

‘නාඳුනන අයගේ හඬින්’ පරෙස්සම් වන්න

‘නාඳුනන අයගේ හඬින්’ පරෙස්සම් වන්න

‘නාඳුනන අයගේ හඬින්’ පරෙස්සම් වන්න

“උන් කිසිසේත් නාඳුනන්නෙකු පසුපස නොයති. උන් නාඳුනන අයගේ හඬ නොදන්නා බැවින් ඔහු වෙතින් පලා යති.”—යොහන් 10:5.

1, 2. (අ) යේසුස් මග්දලේනා මරියාට නමින් කතා කළ විට ඇය ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ඇය ප්‍රතිචාරය දැක්වූ ආකාරයෙන් යේසුස් කලින් පැවසූ කවර දෙයක සත්‍යතාව තහවුරු කරයිද? (ආ) යේසුස්ට කිට්ටුවෙන් සිටීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

නැවත නැඟිටුණු යේසුස් ඔහුගේ හිස් වූ සොහොන් ගෙය අසල ස්ත්‍රියක් සිටගෙන සිටිනවා දකියි. ඇය කවුද කියා ඔහු හොඳින් දනියි. ඔව්, ඒ මග්දලේනා මරියාය. ඉන් වසර දෙකකට පමණ පෙරාතුව භූතයෙකු ආවේශ වී සිටි ඇයව ඔහු සුව කර තිබිණ. එවක් පටන් ඇය, ඔහු හා ඔහුගේ ප්‍රේරිතයන් සමඟ ගමන් කරමින් ඔවුන් සැමගේ දෛනික අවශ්‍යතා සපුරාලමින් සිටියාය. (ලූක් 8:1-3) කෙසේවෙතත්, මෙදින මරියා සිටින්නේ ඉතා දුකිනි. ඇගේ දෙනෙත්වලින් කඳුළු කඩා වැටේ. දවස් කිහිපයකට පෙරාතුව යේසුස් මිය යනවා ඇය දුටුවාය. දැන් ඔහුගේ මළ සිරුර පවා අතුරුදහන් වී ඇත! ඉතින් යේසුස් ඇගෙන් මෙසේ අසයි: “ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන්ද? ඔබ සොයන්නේ කාවද?” ඔහු වත්තේ වැඩකරුවායයි සිතන ඇය ඔහුට මෙසේ පවසයි: “මහත්මයාණෙනි, ඔබ ඔහුව ගෙන ගියා නම්, ඔහුව තැන්පත් කළේ කොතැනකද කියා මට කියන්න. මම ඔහුව රැගෙන යන්නෙමි.” එවිට යේසුස් “මරියා!” කියා ඇයව අමතයි. ඔහු ඇයව අමතන ඒ සුපුරුදු විලාසය ඇය වහාම හඳුනාගෙන “ගුරුතුමෙනි!” කියා ප්‍රීතියෙන් පවසා ඔහුව තදින් අල්ලාගනියි.—යොහන් 20:11-18.

2 යේසුස් යම් කලකට පෙරාතුව පැවසූ දෙයක සත්‍යතාව මෙම විස්තරයෙන් අපට මනාව පැහැදිලි වේ. ඒ අවස්ථාවේදී ඔහු තමාව එඬේරෙකුටත් තම අනුගාමිකයන්ව බැටළුවන්ටත් සමාන කළේය. ඔහු පැවසුවේ එඬේරා තම බැටළුවන්ට නම් කියා හඬගසන බවත් උන් ඔහුගේ හඬ හඳුනන බවත්ය. (යොහන් 10:3, 4, 14, 27, 28) ඉතින් බැටළුවෙකු තම එඬේරා හඳුනන්නාක් මෙන් මරියා ඇගේ එඬේරා වන ක්‍රිස්තුස්ව හඳුනාගත්තාය. අද දින සිටින යේසුස්ගේ අනුගාමිකයන් සම්බන්ධයෙන්ද මෙය සැබෑවකි. (යොහන් 10:16) බැටළුවෙකු තම එඬේරාට ළංව සිටින්නේ ඌ එඬේරාට හොඳින් ඇහුම්කන් දෙන නිසාය. එලෙසම අපගේ උතුම් එඬේරා වන යේසුස් ක්‍රිස්තුස්ගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහා ආත්මික කාරණා සම්බන්ධයෙන් අප සතු විචාර බුද්ධිය මහෝපකාරී වේ.—යොහන් 13:15; 1 යොහන් 2:6; 5:20.

3. බැටළු ගාල පිළිබඳව යේසුස් පැවසූ උපමාව සම්බන්ධයෙන් ඉස්මතු වන ප්‍රශ්න මොනවාද?

3 මෙම උපමාවෙන් තවත් කාරණයක්ද පැහැදිලි වේ. එනම්, මිනිසෙකුගේ කටහඬ හඳුනාගැනීමට බැටළුවෙකු සතු හැකියාව නිසා මිතුරෙකුව පමණක් නොව සතුරෙකුව පවා හඳුනාගැනීමට ඌ සමත් වන බවය. අපට විරුද්ධව සිටින්නන් මුළා කරවනසුලු ආකාරවලින් ක්‍රියා කරන බැවින් මෙම හැකියාව අතිශයින්ම වැදගත්ය. මෙම විරුද්ධකාරයන් කවුරුන්ද? ඔවුන් ක්‍රියා කරන්නේ කෙලෙසද? අපට ඔවුන්ගෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද? එම ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා බැටළු ගාල පිළිබඳ යේසුස් පැවසූ උපමාව තුළින් ඔහු හෙළි කළ තවත් තොරතුරු සලකා බලමු.

‘දොරටුවෙන් ඇතුල් නොවන්නා’

4. එඬේරා පිළිබඳ උපමාවට අනුව බැටළුවන් යන්නේ කවුරුන් පසුපසද? නොයන්නේ කවුරුන් පසුපසද?

4 “දොරටුවෙන් ඇතුල් වන්නා බැටළුවන්ගේ එඬේරාය. දොරටුපාලයා ඔහුට දොර හරියි. බැටළුවෝ ඔහුගේ හඬට ඇහුම්කන් දෙති. ඔහු තම බැටළුවන්ට නම් කියා හඬගසා උන්ව පිටතට ගෙන යයි. තමන්ට අයත් සියල්ලන්වම පිටතට ගත් පසු, ඔහු උන්ට පෙරටුවෙන් යයි. බැටළුවෝ ඔහුගේ හඬ අඳුනන හෙයින් ඔහු පසුපස යන්නෝය. උන් කිසිසේත් නාඳුනන්නෙකු පසුපස නොයති. උන් නාඳුනන අයගේ හඬ නොදන්නා බැවින් ඔහු වෙතින් පලා යති.” (යොහන් 10:2-5) යේසුස් මෙහිදී “හඬ” යන වචනය තුන් වතාවක් භාවිත කළ බව සැලකිල්ලට ගන්න. ඉන් දෙවතාවක්ම ඔහු කතා කරන්නේ එඬේරෙකුගේ හඬ ගැනයි. අනික් අවස්ථාවේදී කතා කරන්නේ “නාඳුනන අයගේ හඬ” සම්බන්ධයෙනි. නාඳුනන කෙනෙකු කියද්දී යේසුස් මෙහිදී කතා කරන්නේ කවර අන්දමේ කෙනෙකු ගැනද?

5. යොහන් 10වන පරිච්ඡේදයේ සඳහන් ආකාරයේ නාඳුනන කෙනෙකුට අප ආගන්තුක සත්කාරය නොදක්වන්නේ මන්ද?

5 යේසුස් මෙහිදී කතා කරන්නේ අප ආගන්තුක සත්කාරය දැක්විය යුතු අය ගැන නොවේ. මෙම කාරණය මතක තබාගත යුත්තේ බයිබලය ලියූ මුල් භාෂාවල ආගන්තුක සත්කාරය යන වචනයේ තේරුම “නාඳුනන අයට ඇලුම් කිරීම” වන නිසාය. (හෙබ්‍රෙව් 13:2) ඇත්තෙන්ම යේසුස්ගේ උපමාවේ සඳහන් නාඳුනන තැනැත්තා ආරාධිත අමුත්තෙකු නොවේ. ඔහු “දොරටුවෙන් බැටළු ගාලට ඇතුල් නොවී වෙන තැනකින් නැඟී” එයි. ඔහු ‘සොරෙකි, කොල්ල කන්නෙකි.’ (යොහන් 10:1) දේවවචනයෙහි සඳහන් පරිද්දෙන් සොරෙකු හා කොල්ල කන්නෙකු බවට පත් වූ ප්‍රථම පුද්ගලයා කවුද? ඒ, සාතන් නමැති යක්ෂයාය. ඒ පිළිබඳ සාක්ෂි අපට උත්පත්ති පොතෙන් සොයාගත හැකිය.

නාඳුනන අයෙකුගේ හඬ මුලින්ම ඇසුණු අවස්ථාව

6, 7. සාතන්ව නාඳුනන කෙනෙකු හා සොරෙකු ලෙස හැඳින්විය හැක්කේ මන්ද?

6 නාඳුනන අයෙකුගේ හඬ මුල්ම වරට අසන්නට ලැබූ අයුරු උත්පත්ති 3:1-5හි විස්තර කෙරේ. සාතන් සර්පයෙකු මාර්ගයෙන් පළමු ස්ත්‍රිය වූ ඒව ළඟට ගොස් ඇයව නොමඟ යවමින් කතා කළ බව එහි සඳහන් වේ. මෙම වාර්තාවෙහි සාතන්ව “නාඳුනන අයෙකු” ලෙස නම් කර නැති බව ඇත්තය. කෙසේවෙතත්, ඔහු ක්‍රියා කළ අයුරින් පෙනී යන්නේ යොහන් 10වන පරිච්ඡේදයේ සඳහන් යේසුස්ගේ උපමාවෙහි විස්තර කර ඇති නාඳුනන තැනැත්තාට ඔහු පැති බොහොමයකින් සමාන වන බවය. සමානකම් කිහිපයක් සලකා බලමු.

7 නාඳුනන තැනැත්තා ගොදුරක් සොයමින් බැටළු ගාලට ළඟා වන්නේ වක්‍රාකාර ක්‍රමයකින් බව යේසුස් පැවසීය. සාතන්ද කළේ ඒ හා සමාන දෙයකි. ඔහු තම ගොදුර වෙතට ළඟා වූයේ වක්‍රාකාරව සර්පයෙකු යොදාගැනීමෙනි. මේ අවස්ථාවේදී ඔහු කපටි ලෙස ක්‍රියා කළ නිසා, ඔහු සැබවින් කවරෙකුද යන්න පැහැදිලි විය. ඔව්, ඔහු අනවසරයෙන් ඇතුල් වන මුළා කරවනසුලු කෙනෙක්ය. මීට අමතරව, බැටළු ගාලට පැමිණෙන නාඳුනන තැනැත්තා අයිතිකරුගෙන් බැටළුවන් සොරකම් කිරීමටද තැත් කරයි. ඇත්තෙන්ම ඔහු සොරෙකුටත් වඩා නරකය. මන්දයත් ඔහුගේ අරමුණ වන්නේ බැටළුවන්ව ‘මරා දැමීමත්, විනාශ කිරීමත්ය.’ (යොහන් 10:10) සාතන්ද ක්‍රියා කළේ සොරෙකු ලෙසය. දෙවිට පක්ෂපාතව සිටි ඒවව නොමඟ යැවූ ඔහු, ඇයව දෙවිගෙන් සොරාගත්තේය. සාතන් මුළු මිනිස් වර්ගයාටම මරණයද හිමි කර දුන්නේය. ඔහු මිනී මරන්නෙකු බව මින් පැහැදිලිය.

8. සාතන් යෙහෝවා පැවසූ දෙයට පටහැනි අදහසක් ඉදිරිපත් කරමින්, ඔහුට වැරදි චේතනා ඇති බව පෙන්වීමට උත්සාහ කළේ කෙසේද?

8 යෙහෝවා පැවසූ දෙයට පටහැනි අදහසක් ඉදිරිපත් කරමින් සාතන් උත්සාහ කළේ දෙවිට වැරදි චේතනා ඇති බව පෙන්වන්නටය. මෙයින්ද සාතන්ගේ වංකකම පැහැදිලි වේ. “උයනෙහි කොයි ගසකින්වත් නොකන්නයයි දෙවි කී බව සැබෑදැයි” ඔහු ඒවගෙන් ඇසුවේය. සාතන් පෙන්වන්නට උත්සාහ කළේ තමා ඒ ගැන ඉමහත් සේ පුදුමයට පත්ව ඇති බවය. ‘දෙවි මේ තරම් අසාධාරණ කෙනෙක් කියා මා දැනගෙන සිටියේ නැහැ’ වැනි යමක් ඔහු පැවසුවා හා සමානය. ඔහු තවදුරටත් පැවසුවේ මෙලෙසය. “ඔබ එයින් කෑ දවසෙහි ඔබගේ ඇස් ඇරෙන බවත් ඔබ යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.” “දෙවි දන්නේය” යන වචන සැලකිල්ලට ගන්න. සාතන් අඟවමින් සිටියේ දෙවි දන්නා දේ තමාද දන්නා බවයි. දෙවිගේ චේතනා මොනවාද කියා තමා දන්නා බවත් ඒවා යහපත් නොවන බවත් ඔහු තවදුරටත් එයින් ඇඟවීය. (උත්පත්ති 2:16, 17; 3:1, 5) මෙම නාඳුනන පුද්ගලයාගේ හඬ ආදම් සහ ඒව ප්‍රතික්ෂේප නොකිරීම කනගාටුවට කරුණකි. ඔවුන් ඊට සවන් දුන් අතර, ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ද ඔවුන්ගේ දරුවන්ද මහත් ආගාධයකට ඇද වැටිණ.—රෝම 5:12, 14.

9. අදත් නාඳුනන අයගේ හඬ අසන්නට ලැබෙයි කියා අප අපේක්ෂා කළ යුත්තේ මන්ද?

9 අද දිනත් දෙවිගේ සේවකයන්ව නොමඟ යැවීමට සාතන් ඒ හා සමාන ක්‍රම භාවිත කරයි. (එළිදරව් 12:9) “බොරුවේ පියා” ඔහුය. එමෙන්ම ඔහුව අනුකරණය කරමින් දෙවිගේ සේවකයන්ව නොමඟ යැවීමට උත්සාහ කරන අය ඔහුගේ දරුවෝය. (යොහන් 8:44) අද දින මෙම නාඳුනන අයගේ හඬ ඇසෙන ක්‍රම කිහිපයක් සලකා බලමු.

අද දින නාඳුනන අයගේ හඬ ඇසෙන අයුරු

10. නාඳුනන අයගේ හඬ ඇසෙන එක් ක්‍රමයක් නම් කරන්න.

10 මුළා කරවන තර්ක විතර්ක. “විවිධාකාර, අමුතු ඉගැන්වීම්වලින් ගසාගෙන නොයන්න” කියා ප්‍රේරිත පාවුල් පැවසීය. (හෙබ්‍රෙව් 13:9) මෙහිදී පාවුල් කතා කරන්නේ මොන වගේ ඉගැන්වීම් ගැනද? මේවායින් අප ‘ගසාගෙන යා’ හැකි බැවින්, පාවුල් කතා කරමින් සිටින්නේ ආත්මික දේවල් ගැන අපට තිබෙන විශ්වාසය බිඳ දැමිය හැකි ඉගැන්වීම් ගැන බව පැහැදිලිය. මෙවැනි අමුතු ඉගැන්වීම් පතළ කරන්නේ කවුරුන්ද? පාවුල් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් පිරිසකට පැවසුවේ මෙලෙසය. “ඔබ අතරින්ම මිනිස්සු නැඟිට, තමුන් අනුව යෑමට ගෝලයන් ඇදගන්නා පිණිස, විකෘති වූ දේවල් පවසන්නෝය.” (ක්‍රියා 20:30) පාවුල්ගේ කාලයේ සිදු වූවාක් මෙන් අදත්, කලක් ක්‍රිස්තියානි සභාවෙහි සිටි ඇතැම් පුද්ගලයෝ බැටළුවන්ව නොමඟ යැවීමට උත්සාහ කරති. එසේ කරන්නේ “විකෘති වූ දේවල්” එනම් ඇත්ත සියයට සීයක් නොපැවසීමෙන් හා අමූලික බොරු කීමෙනි. ප්‍රේරිත පේතෘස් සඳහන් කරන පරිදි ඔවුහු “වංචනික වචන” යොදාගනිති. එනම්, ඒවා සත්‍යය මෙන් පෙනුණත්, ඒවා හොර මුදල් නෝට්ටුවලට සමානව කිසිදු වටිනාකමක් නොමැති වචනයි.—2 පේතෘස් 2:3.

11. දෙවන පේතෘස් 2:1, 3හි වදන්වලින් ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන අය භාවිත කරන ක්‍රමය හා ඔවුන්ගේ අරමුණ හෙළි වන්නේ කෙලෙසද?

11 මෙලෙස ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන අයගේ ක්‍රම ගැන තවත් තොරතුරු හෙළි කරමින් පේතෘස් කියන්නේ ඔවුන් “රහසිගතව, විනාශකාරී බොරු ඉගැන්වීම්” සභාව තුළට ගෙන එන බවයි. (2 පේතෘස් 2:1, 3) බැටළු ගාල පිළිබඳ යේසුස්ගේ උපමාවේ සඳහන් සොරා ‘දොරටුවෙන් ඇතුල් නොවී වෙන තැනකින් නැඟී එන්නා’ සේ, ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන අය අප වෙතට පිවිසෙන්නේ හොර රහසෙන්ය. (ගලාති 2:4; යූද් 4) කවර චේතනාවක් ඇතුවද? පේතෘස් කියන්නේ ඔවුන් “ඔබෙන් අයුතු ප්‍රයෝජන” ගන්නා බවයි. ඉතින් ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන අය මොනවා පැවසුවත්, මෙලෙස හොර රහසින් ඇතුල් වීමට වෑයම් කරන අයගේ ඉලක්කය “සොරකම් කරන්නත්, මරන්නත්, විනාශ කරන්නත් පමණි.” (යොහන් 10:10) එවැනි නාඳුනන අයගෙන් පරෙස්සම් වන්න!

12. (අ) අප ඇසුරු කරන අය නාඳුනන අයගේ හඬට සවන් දෙන්නට අපව පෙලඹවිය හැක්කේ කෙලෙසද? (ආ) සාතන්ගේ උපක්‍රම හා අද දින නාඳුනන අය යොදාගන්නා උපක්‍රම අතර ඇති සමානත්වය කුමක්ද?

12 හානිකර ඇසුර. නාඳුනන අයගේ හඬ අප ඇසුරු කරන අය තුළින්ද ඇසිය හැක. හානිකර ඇසුර විශේෂයෙන්ම තර්ජනයක් වන්නේ තරුණ අයටයි. (1 කොරින්ති 15:33) ඒදන් උයනේදී සාතන් ඉලක්ක කරගත්තේ ඒවව බව මතක තබාගන්න. මුල් යුවළ ගත් කල, වයසින් හා අද්දැකීමෙන් අඩු තැනැත්තිය වූයේ ඇයයි. යෙහෝවා ඇගේ නිදහසට අසාධාරණ තහංචි පනවා ඇති බව සිතීමට ඔහු ඇයව පෙලඹුවේය. ඔහුගේ එම උත්සාහය සාර්ථක විය. ඇත්තෙන්ම කියනවා නම්, දෙවි ඒ අයුරින් කිසිසේත් ක්‍රියා කර තිබුණේ නැත. තමන් මැවූ එම යුවළ කෙරෙහි යෙහෝවාට තිබුණේ ගැඹුරු ප්‍රේමයකි. ඔහු ක්‍රියා කළේත් ඔවුන්ගේ ශුභසිද්ධිය තකාය. (යෙසායා 48:17) තරුණයෙනි, අද දිනත් නාඳුනන අය උත්සාහ කරන්නේ ඔබේ දෙමාපියන් ඔබේ නිදහසට අසාධාරණ ලෙස තහංචි පනවා ඇති බව ඔබට සිතීමට සලස්වන්නයි. එවැනි නාඳුනන අය ඔබට බලපෑම් කළ හැක්කේ කෙලෙසද? එක් ක්‍රිස්තියානි තරුණියක් මෙසේ පිළිගනියි. “යම් කලකට මගේ පන්තියේ යාළුවන් මට බලපෑම් කළ නිසා මගේ ඇදහිල්ල දුර්වල වුණා. මගේ ආගමේ සීමා තහංචි වැඩියි කියාත්, හරිම අසාධාරණ ආගමක් කියාත් ඒගොල්ලෝ හැමතිස්සේම වගේ කිව්වා.” එහෙත් ඇත්තම කියනවා නම්, ඔබේ දෙමාපියෝ ඔබට ප්‍රේම කරති. ඉතින් ඔබේ දෙමාපියන්ව සැක කරන්නට පාසැලේ මිතුරන් ඔබව පෙලඹුවත්, ඒව මෙන් නොමඟ යන්න එපා.

13. දාවිත් ඥානවන්තව ක්‍රියා කළේ කෙලෙසද? අපට ඔහුව අනුකරණය කළ හැකි එක් ක්‍රමයක් නම් කරන්න.

13 හානිකර ඇසුර සම්බන්ධයෙන් ගීතිකාකාර දාවිත් පැවසුවේ මෙලෙසය. “බොරුකාර මිනිසුන් සමඟ හිඳ නොගතිමි. රැවටිලිකාරයන් සමඟද ප්‍රවිෂ්ට නොවන්නෙමි.” (ගීතාවලිය 26:4) නැවතත් ඔබ දුටුවාද නාඳුනන අය තුළ තිබෙන පොදු වූ ගතිලක්ෂණයක්? සාතන් සර්පයෙකු භාවිත කරමින් තමා කවුද යන්න රැවටිලිකාරව සැඟවූවාක් මෙන් ඔවුහු රැවටිලිකාර ලෙස තමන්ගේ සැබෑ ස්වරූපය සඟවති. අදත් අනාචාරයට ලොල් වූ මිනිසුන් තම අනන්‍යතාව හා සැබෑ පරමාර්ථ සඟවන්නේ අන්තර්ජාලයට මුවාවීමෙනි. ඔබව හසු කරගැනීම සඳහා දුෂ්ට අරමුණක් ඇතිව වැඩිහිටියන් අන්තර්ජාලයේ කතා කුටිවල තමන් තරුණ අය කියා බොරුවට පෙනී සිටිය හැක. තරුණයෙනි, පරෙස්සම් වන්න. ඔබේ ආත්මික ජීවිතය අනතුරේ!—ගීතාවලිය 119:101; හිතෝපදේශ 22:3.

14. ඇතැම් අවස්ථාවලදී මාධ්‍යය තුළින් නාඳුනන අයගේ හඬ පළ වන්නේ කෙලෙසද?

14 බොරු චෝදනා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන මාධ්‍යයෙහි පළ වන ඇතැම් වාර්තාවල නිවැරදි තොරතුරු තිබුණද, නාඳුනන අයගේ සාවද්‍ය හඬ විකාශනය කිරීමට යම් පාර්ශ්වයන් විසින් මාධ්‍යය අතකොළුවක් කරගනු ලැබේ. නිදසුනකට, එක්තරා රටක පුවත් වාර්තාවක පළ වූයේ දෙවන ලෝක යුද්ධ සමයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් හිට්ලර්ගේ ආණ්ඩුවට අත හිත දුන් බවය. මෙය අමූලික බොරුවකි. සාක්ෂිකරුවන් පල්ලිවලට අලාභ හානි සිදු කරන බවට චෝදනාවක් තවත් වාර්තාවක සැල විය. තම දරුවන්ට ලබා දිය යුතු වෛද්‍ය ප්‍රතිකාර සාක්ෂිකරුවන් ප්‍රතික්ෂේප කරන බවත්, ඔවුන් තමන්ගේ සාමාජිකයන් අතින් සිදු වූ බරපතළ වැරදි දැන දැනත් වසං කරන බවත් පවසමින් රටවල් කිහිපයකම මාධ්‍යය තුළින් ඔවුන්ට විරුද්ධව චෝදනා එල්ල වී තිබේ. (මතෙව් 10:22) එසේ වුවත්, අපව පෞද්ගලිකව හොඳින් දන්නා හඳුනන අය මෙම චෝදනා බොරු බව තේරුම්ගනිති.

15. මාධ්‍යයෙන් පළ කරන සෑම දෙයක්ම විශ්වාස කිරීම නුවණට හුරු දෙයක් නොවන්නේ මන්ද?

15 එවැනි නාඳුනන අයගේ හඬින් පතළ වන චෝදනා හමුවේ අප කුමක් කළ යුතුද? හිතෝපදේශ 14:15හි සඳහන් මෙම උපදෙස සිතට ගැනීම නුවණට හුරුය. “මෝඩයා සැම වචනම විශ්වාස කරයි. එහෙත් බුද්ධිමත් අය තමාගේ හැසිරීම හොඳ හැටි සොයයි.” මාධ්‍යයෙන් සැබෑවක් ලෙස පළ කරන සෑම දෙයක්ම විශ්වාස කිරීම නුවණට හුරු දෙයක් නොවේ. ලෞකික මූලාශ්‍රවලින් පළ වන සෑම තොරතුරක්ම අවිශ්වාස කිරීමට අපට පදනමක් නැති වුවත්, “මුළු ලෝකයම දුෂ්ටයාගේ බලයට යටත් බව” අපි හොඳ හැටි තේරුම්ගන්නෙමු.—1 යොහන් 5:19.

‘ඒ ආනුභාව ලත් ප්‍රකාශයන් පරීක්ෂා කර බලන්න’

16. (අ) යොහන් 10:4හි දක්නට ලැබෙන යේසුස්ගේ වචන සත්‍යය බව සාමාන්‍යයෙන් බැටළුවන් හැසිරෙන විදිහෙන් සනාථ වන්නේ කෙලෙසද? (ආ) බයිබලය අපට උනන්දු කරන්නේ කුමක් කිරීමටද?

16 අප ඉදිරියේ සිටින්නේ මිතුරෙකුද සතුරෙකුද යන්න හරියටම කියන්නේ කෙලෙසද? යේසුස් පැවසූ ආකාරයට, බැටළුවන් එඬේරා පසුපස යන්නේ ‘උන් ඔහුගේ හඬ අඳුනන හෙයිනි.’ (යොහන් 10:4) බැටළුවන් එඬේරා පසුපස යන්නේ එඬේරාගේ පෙනුම නිසා නොව ඔහුගේ හඬ හඳුනාගන්නා නිසාය. බයිබලයේ සඳහන් රටවල් ගැන පළ වූ පොතක සිත්ගන්නා අදහසක් දැක්වේ. එහි සඳහන් පරිදි ඒ එක රටකට පැමිණි අමුත්තෙකු කියා සිටියේ බැටළුවන් තම එඬේරාව හඳුනාගන්නේ ඔහුගේ හඬින් නොව ඔහුගේ ඇඳුමින් බවය. එඬේරා පිළිතුරු දෙමින් කිව්වේ උන් හඳුනාගත්තේ කටහඬ බවය. තමා පැවසූ දේ ඔප්පු කිරීමට ඔහු එම අමුත්තාගේ ඇඳුම් පැළඳගත් අතර, අමුත්තා එඬේරාගේ ඇඳුම් පැළඳගත්තේය. එඬේරාගේ ඇඳුම් ඇඳ සිටි අමුත්තා බැටළුවන්ට හඬගැසුවද උන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ඔහුගේ හඬ උන් හඳුනා නොගත්තෝය. එහෙත්, වෙනත් ඇඳුමකින් සැරසී සිටි එඬේරා, උන්ට හඬගැසූ විට උන් වහාම ඔහු ළඟට පැමිණියෝය. ඉතින්, යමෙකු එඬේරෙකු මෙන් පෙනුණත් බැටළුවන් ඒ පමණින්ම ඔහු තම එඬේරා ලෙස පිළිගන්නේ නැති බව පැහැදිලිය. ඇත්තෙන්ම හඬගසන තැනැත්තාගේ හඬ ඔවුන්ගේ එඬේරාගේ හඬ හා සසඳමින් බැටළුවන් කරන්නේ ඉතා හොඳ සෝදිසියකි. ඒ හා සමාන දෙයක් කිරීමට, එනම් “ආනුභාව ලත් ප්‍රකාශයන් පැමිණෙන්නේ දෙවිගෙන්දැයි පරීක්ෂා කර බලන්න” කියා දේවවචනය අපට මඟ පෙන්වයි. (1 යොහන් 4:1; 2 තිමෝති 1:13) එසේ කිරීමට අපට උපකාර කරන්නේ කුමක්ද?

17. (අ) අප යෙහෝවාගේ හඬට හුරු වන්නේ කෙලෙසද? (ආ) යෙහෝවා ලබා දෙන දැනුමෙන් අපට කුමක් කළ හැකිද?

17 අප යෙහෝවාගේ හඬ හෙවත් ඔහු ඉදිරිපත් කර ඇති පණිවිඩය ගැන දැනුම ලබාගන්නා තරමට නාඳුනන කෙනෙකුගේ හඬ හඳුනාගැනීම අපට වඩා පහසු වන බව පැහැදිලිය. ඒ දැනුම තවත් දියුණු කරගත හැකි අයුරු බයිබලය අපට පෙන්වා දෙයි. “මාර්ගය මේය. එහි හැසිරෙන්නයයි කියන වචනයක් ඔබේ කනට ඔබ පස්සෙන් ඇසෙන්නේය.” (යෙසායා 30:21) අපට පස්සෙන් ඇසෙන “වචනය” දෙවිගේ වචනයෙන් නික්මෙයි. අප දේවවචනය කියවන සෑම අවස්ථාවකදීම අපට “ඇසෙන්නේ” අපගේ ශ්‍රේෂ්ඨ එඬේරාණන් වන යෙහෝවාගේ හඬයි. (ගීතාවලිය 23:1) ඉතින්, අප බයිබලය අධ්‍යයනය කරන තරමට දෙවිගේ හඬට අපි වඩ වඩා හුරු වන්නෙමු. අප හොඳින් දැනුවත් වී සිටින නිසා සැණෙකින් නාඳුනන අයගේ හඬ හඳුනාගැනීමට අපට පුළුවන.—ගලාති 1:8.

18. (අ) යෙහෝවාගේ හඬ හඳුනාගැනීමට අයත් වන්නේ මොනවාද? (ආ) මතෙව් 17:5ට අනුව අප යේසුස්ගේ හඬට කීකරු විය යුත්තේ මන්ද?

18 යෙහෝවාගේ හඬ හඳුනාගැනීමට තවදුරටත් අයත් වන දේවල් මොනවාද? ඇසීමට අමතරව කීකරු වීමද ඊට ඇතුළත් වේ. යෙසායා 30:21හි සඳහන් දේ නැවතත් සැලකිල්ලට ගන්න. “මාර්ගය මේය” කියා දේවවචනයෙහි පැහැදිලිව දැක්වේ. බයිබලය අධ්‍යයනය කිරීමෙන් අපට යෙහෝවාගේ මඟ පෙන්වීම් ඇසෙයි. ඊළඟට ඔහු ආඥා කරන්නේ ‘එහි හැසිරෙන්න’ හෙවත් ගමන් කරන්න කියායි. එනිසා අප අසන දේ අනුව ක්‍රියා කිරීම යෙහෝවා අපගෙන් බලාපොරොත්තු වෙයි. මේ අනුව ඉගෙනගන්නා දේට එකඟව ක්‍රියා කිරීමෙන් පෙන්නුම් කරන්නේ අප යෙහෝවාගේ හඬට සවන් දුන් බව පමණක් නොව ඊට කීකරුද වූ බවයි. (ද්විතීය කථාව 28:1) යෙහෝවාගේ හඬට කීකරු වීම කියද්දී, යේසුස්ගේ හඬට කීකරු වීමද ඊට අයත් බව මතක තබාගත යුතුය. එසේ කළ යුතු බව යෙහෝවා අපට කියා දුන්නේය. (මතෙව් 17:5) උතුම් එඬේරා වන යේසුස් අපට කියන්නේ කුමක් කරන්නටද? මිනිසුන්ව ගෝලයන් කරන්නටත්, “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” කෙරෙහි විශ්වාසය තබන්නටත් ඔහු අපට උගන්වයි. (මතෙව් 24:45; 28:18-20) ඔහුගේ හඬට කීකරු වීම අපට සදාකාල ජීවනය අත් කර දෙයි.—ක්‍රියා 3:23.

‘උන් ඔහු වෙතින් පලා යති’

19. නාඳුනන අයගේ හඬට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙලෙසද?

19 එසේනම් අප නාඳුනන අයගේ හඬට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙලෙසද? බැටළුවන් ප්‍රතිචාරය දක්වන්නාක් මෙනි. “උන් කිසිසේත් නාඳුනන්නෙකු පසුපස නොයති. උන් . . . ඔහු වෙතින් පලා යති” කියා යේසුස් පවසයි. (යොහන් 10:5) අප දක්වන ප්‍රතිචාරයට පැති දෙකක් තිබේ. පළමුව අප ‘කිසිසේත් නාඳුනන්නෙකු පසුපස යන්නේ’ නැත. මින් අදහස් කරන්නේ නාඳුනන අයෙකු අප එකහෙළා ප්‍රතික්ෂේප කරන බවය. බයිබලයේ භාවිත කරන ග්‍රීක් භාෂාවේ “කිසිසේත්” ලෙස පරිවර්තනය කර තිබෙන්නේ ඒ භාෂාවේ ප්‍රතික්ෂේප කරනවා යන්නට භාවිත කළ හැකි ප්‍රබලතම වචනයයි. (මතෙව් 24:35; හෙබ්‍රෙව් 13:5) දෙවනුව, අප ‘ඔහු වෙතින් පලා යනවා’ නැත්නම් ඔහුගෙන් ඉවත් වී යනවා යන්නයි. උතුම් එඬේරාගේ හඬට එකඟ නොවන ඉගැන්වීම් පතළ කරන අයට ප්‍රතිචාරය දැක්විය යුතු එකම විදිහ එයයි.

20. (අ) ඇදහිල්ලට විරුද්ධව කැරලිගසන වංචාකාරයන්, (ආ) හානිකර ඇසුර, (ඇ) සාවද්‍ය තොරතුරු විකාශනය කරන මාධ්‍ය වාර්තා ආදියට අප ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද?

20 එම නිසා, ඇදහිල්ලට විරුද්ධ අදහස් පළ කරන අය අප හමුවට එද්දී අපගේ ආශාව වන්නේ දේවවචනයෙහි පවසන දේ කිරීමයි. එනම්, “ඔබ ඉගෙනගත් ඉගැන්වීමට පටහැනිව භේද උපදවා, බාධාවට හේතු වන දේවල් ඇති කරන අය ගැන සෝදිසියෙන් සිට, ඔවුන්ව ඇසුරු නොකර” සිටීමයි. (රෝම 16:17; තීතස් 3:10) හානිකර ඇසුර නිසා ඇති විය හැකි අන්තරාවලට මුහුණ දෙන ක්‍රිස්තියානි තරුණයන්, පාවුල් තරුණ තිමෝතිට දුන් උපදෙස ක්‍රියාත්මක කිරීමට යුහුසුලු විය යුතුය. එනම්, “යොවුන් වියට ආවේණික වූ ආශාවලින් පලා යන්න” යන්නයි. තවද මාධ්‍යය තුළින් බොරු චෝදනා පළ කරන විට පාවුල් තවදුරටත් තිමෝතිට දුන් උපදෙසද අපට සිහි වනු ඇත. “ඔවුහු [නාඳුනන අයගේ හඬට සවන් දෙන අය] සත්‍යයට කන් නොදී, අසත්‍ය කතාවලට හැරී යන්නෝය. එහෙත් ඔබ, සියල්ලෙහිදී සිහිකල්පනාව ඇතිව සිටින්න” යන්නයි. (2 තිමෝති 2:22; 4:3-5) නාඳුනන අයට කොතරම් සුමිහිරි හඬක් තිබුණද, අපි අපගේ ඇදහිල්ල දුර්වල කරන සියලුදෙනාගෙන්ම පලා යන්නෙමු.—ගීතාවලිය 26:5; හිතෝපදේශ 7:5, 21; එළිදරව් 18:2, 4.

21. නාඳුනන අයගේ හඬ ප්‍රතික්ෂේප කරන අයට ඇත්තේ කවර විපාකයක්ද?

21 නාඳුනන අයගේ හඬ එකහෙළා ප්‍රතික්ෂේප කිරීමෙන් ශුද්ධාත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීහු ලූක් 12:32හි සඳහන් උතුම් එඬේරාගේ මෙම වදන්වලට ප්‍රතිචාරය දක්වති. එහිදී යේසුස් ඔවුන්ට පවසන්නේ මෙලෙසය. “කුඩා රැළ, බිය නොවන්න. මන්ද, ඔබට රාජ්‍යය දීමට ඔබේ පියාණන් අනුමැතිය දී තිබේ.” එමෙන්ම “මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න. ලෝකය පිහිටුවීමේ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුමයක් වශයෙන් ලබාගන්න” යන යේසුස්ගේ වදන්වලට සවන් දීමේ මහත් අපේක්ෂාව ඇතුව ‘වෙනත් බැටළුවෝද’ සිටිති. (යොහන් 10:16; මතෙව් 25:34) ‘නාඳුනන අයගේ හඬ’ ප්‍රතික්ෂේප කරන අයට තිබෙන්නේ මොන තරම් ප්‍රීතිමත් විපාකයක්ද!

ඔබට මතකද?

• බැටළු ගාල පිළිබඳව යේසුස් දුන් උපමාවෙහි සඳහන් නාඳුනන කෙනාගේ විස්තරය සාතන්ට ගැළපෙන්නේ කෙලෙසද?

• අද දින නාඳුනන අයගේ හඬ ඇසෙන්නේ කෙලෙසද?

• අපට නාඳුනන අයගේ හඬ හඳුනාගත හැක්කේ කෙලෙසද?

• නාඳුනන අයගේ හඬට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙලෙසද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

මරියා ක්‍රිස්තුස්ව හඳුනාගත්තාය

[16වන පිටුවේ පින්තූරය]

නාඳුනන කෙනෙකු බැටළුවන් ළඟට ඍජුව එන්නේ නැත

[18වන පිටුවේ පින්තූරය]

අප නාඳුනන අයගේ හඬට ප්‍රතිචාරය දක්වන්නේ කෙලෙසද?