Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

එළිදරව් පොතේ සඳහන් 1,44,000 සංකේතමය සංඛ්‍යාවක් නොව නිශ්චිත සංඛ්‍යාවක් කියා යෙහෝවාගේ සාක්ෂිකරුවන් පවසන්නේ මන්ද?

ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය. “මුද්‍රා කරනු ලැබූ අයගේ ගණන මට ඇසුණේය. ඒ එක්ලක්ෂ හතළිස්හාරදහසක්ය.” (එළිදරව් 7:4) බයිබලයෙහි, “මුද්‍රා කරනු ලැබූ අය” කියා සඳහන් වන වදන් පෙළ මිනිස් වර්ගයා අතරින් තෝරාගනු ලැබූ පුද්ගලයන්ගෙන් සමන්විත කණ්ඩායමකට යොමු දක්වයි. මොවුන්ව තෝරාගෙන තිබෙන්නේ ඉදිරියේදී ඇති වන්නාවූ පාරාදීසයක් බඳු පොළොව ස්වර්ගයේ සිට පාලනය කිරීමට ක්‍රිස්තුස් සමඟ හවුල් වීමටයි. (2 කොරින්ති 1:21, 22; එළිදරව් 5:9, 10; 20:6) ඔවුන්ගේ සංඛ්‍යාව වන 1,44,000 නිශ්චිත සංඛ්‍යාවක් ලෙස සලකනු ලැබීමට හේතු කීපයක්ම ඇත. එක හේතුවක් එළිදරව් 7:4හිම සඳහන්ව තිබේ.

මෙම 1,44,000දෙනාගෙන් සමන්විත කණ්ඩායම ගැන ප්‍රේරිත යොහන්ට දර්ශනයකින් පැවසීමෙන් අනතුරුව තවත් කණ්ඩායමක් ඔහුට පෙන්වනු ලැබීය. “සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජනයාගෙන්ද භාෂාවලින්ද වූ” මෙම දෙවන කණ්ඩායම ‘කිසිවෙකුට ගණන් කළ නොහැකි මහත් සමූහයක්’ බව යොහන් විස්තර කරයි. මෙම මහත් සමූහයෙන් දැක්වෙන්නේ වත්මන් දුෂ්ට ලෝකය විනාශ කිරීමට නියමිත “මහත් පීඩාවෙන්” බේරී එන අයවයි.—එළිදරව් 7:9, 14.

කෙසේවුවත්, එළිදරව් 7වන පරිච්ඡේදයේ 4වන පදයේ සහ 9වන පදයේ තිබෙන වෙනස යොහන් පෙන්වන ආකාරය සලකා බලන්න. ඔහු පවසන්නේ “මුද්‍රා කරනු ලැබූ අයගේ” කණ්ඩායම වන මුල් කණ්ඩායමට නිශ්චිත සංඛ්‍යාවක් තිබෙන බවය. කෙසේවුවත්, “මහත් සමූහයක්” වන දෙවන කණ්ඩායමට නිශ්චිත සංඛ්‍යාවක් නැත. එය මනසේ තබාගන්නවා නම් 1,44,000 නිශ්චිත සංඛ්‍යාවක් ලෙස සැලකීම සාධාරණය. එක්ලක්ෂ හතළිස්හාරදහසේ සංඛ්‍යාව සංකේතමය වශයෙන් සලකා අවිනිශ්චිත සංඛ්‍යාවකින් සමන්විත කණ්ඩායමකට යොමු දක්වා ඇති බව සලකනවා නම්, එම පද දෙක අතර තිබෙන පැහැදිලි වෙනස දැකගැනීමට නොහැකි වෙයි. එම නිසා මෙම පදයෙන් පැහැදිලිවම පෙන්වන්නේ 1,44,000 නිශ්චිත සංඛ්‍යාවක් ලෙස සැලකිය යුතු බවය.

අතීතයේ මෙන්ම වර්තමානයේ නොයෙක් බයිබල් විශාරදයන් එළඹුණේ එකම නිගමනයකටයි. එනම් මෙය නිශ්චිත සංඛ්‍යාවක් බවය. උදාහරණයකට එළිදරව් 7:4, 9 පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය බයිබල් විශාරදයෙකු වූ එතල්බර්ට් ඩබ්. බුලින වසර 100කට පමණ පෙර මෙවැන්නක් පැවසීය. “මෙය වචනාර්ථයෙන්ම ගත යුතු සරල ප්‍රකාශයකි; එනම් එම පරිච්ඡේදයේම සඳහන් අවිනිශ්චිත සංඛ්‍යාවට සම්පූර්ණයෙන්ම වෙනස් නිශ්චිත සංඛ්‍යාවකි.” (දි ඇපොකලිප්ස් ඔර් “ද ඩේ ඔෆ් ද ලෝර්ඩ්,” 282වන පිටුව) එක්සත් ජනපදයේ නව ගිවිසුම හැදෑරීමේ කටයුතු භාරව සිටින මහචාර්යවරයා (Professor of New Testament at The Master’s Seminary in the United States) ඉතා මෑතකදී මෙසේ ලීවේය. “එය සංකේතමය වශයෙන් සැලකීමට ශක්තිමත් පදනමක් නැත.” ඔහු මෙසේද පැවසුවේය. “එය නිශ්චිත සංඛ්‍යාවක් [7:4හි සඳහන්] වන අතර 7:9හි ඇති අවිනිශ්චිත සංඛ්‍යාවට වඩා වෙනස් එකකි. සංකේතමය වශයෙන් දක්වතොත් එම පොතේ සඳහන් කිසිම සංඛ්‍යාවක් වචනානුසාරයෙන්ම ගත නොහැකිය.”—රෙවලේෂන්: ඇන් එක්සෙජෙටිකල් කොමෙන්ට්‍රි, 1වන වෙළුම, 474වන පිටුව.

එළිදරව් පොතේ ඇති බොහෝ දේවල් අන්තර්ගත කර තිබෙන්නේ සංකේත භාෂාවෙන් නිසා 1,44,000 ඇතුළු සෑම සංඛ්‍යාවක්ම සංකේතාත්මක විය යුතුයි කියා සමහරු තර්ක කරති. (එළිදරව් 1:1, 4; 2:10) එහෙත් එම නිගමනය නිසැකවම වැරදිය. එළිදරව් පොතේ සංකේතාත්මක සංඛ්‍යාවන් බොහොමයක් තිබෙන බව සැබෑවක් වුවත් එහි නිශ්චිත සංඛ්‍යාද අඩංගුය. උදාහරණයකට “බැටළු පැටවාගේ ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නම් දොළොස” ගැන යොහන් පවසයි. (එළිදරව් 21:14) පැහැදිලිවම මෙම පදයේ සඳහන් සංඛ්‍යාව වන 12 සංකේතමය ගණනක් නොව නිශ්චිත ගණනකි. ප්‍රේරිත යොහන් ක්‍රිස්තුස්ගේ ‘අවුරුදු දහසේ’ පාලන කාලය පිළිබඳවද ලියයි. බයිබලයේ පෙන්වන දේ සම්බන්ධයෙන් හොඳින් සලකා බලන කල මෙයද නිශ්චිත සංඛ්‍යාවක් ලෙස සැලකිය යුතුය. * (එළිදරව් 20:3, 5-7) මෙබැවින්, එළිදරව් පොතේ ඇති සංඛ්‍යාවක් සංකේතාත්මක එකක්ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ, එම සංඛ්‍යාවේ පසුබිම හා අවට පාඨ සම්බන්ධය අනුවය.

මෙම සංඛ්‍යාව වන 1,44,000 නිශ්චිත මෙන්ම පුද්ගලයන් සීමිත සංඛ්‍යාවකට යොමු දක්වන බවත්, “මහත් සමූහය” සමඟ සසඳන කල එය සෑහෙන කුඩා කණ්ඩායමක් බවත් නිගමනය කිරීම බයිබලයේ අනෙක් කොටස් සමඟද එකඟ වේ. උදාහරණයක් වශයෙන්, ප්‍රේරිත යොහන් දුටු දර්ශනයේ පසු අවස්ථාවක 1,44,000 විස්තර කර තිබෙන්නේ ‘පළමු පල වශයෙන් මිල දී ගන්නා ලද’ අය වශයෙනි. (එළිදරව් 14:1, 4) “පළමු පල” යන ප්‍රකාශය යොමු දක්වන්නේ තෝරාගත් කුඩා පිරිසකටය. එමෙන්ම යේසුස් මිහිපිට සිටි කාලයේදී, තමා සමඟ අනාගතයේදී ස්වර්ගික රාජ්‍යයේ පාලනයට හවුල් වන අය ගැන පැවසූ අතර ඔවුන්ව හැඳින්වූයේ “කුඩා රැළ” කියාය. (ලූක් 12:32; 22:29) ඇත්තවශයෙන්ම, ඉදිරියේදී පවතින පාරාදීස පොළොවේ විසීමට සිටින්නාවූ ජන සංඛ්‍යාව සමඟ සසඳන කල ස්වර්ගයේ සිට පාලනය කිරීමට මිනිසා අතරින් ගනු ලබන්නාවූ අයගේ සංඛ්‍යාව ඉතා කුඩාය.

මෙබැවින්, එළිදරව් 7:4හි සඳහන් දේ හා බයිබලයේ වෙනත් තැන්වල තිබෙන ඒ හා බැඳි ප්‍රකාශයන් 1,44,000 නිශ්චිත සංඛ්‍යාවක් ලෙස සැලකිය යුතු බව සනාථ කරයි. ඉන් දැක්වෙන්නේ යෙහෝවා දෙවිට නමස්කාර කරන විශාල මෙන්ම අවිනිශ්චිත ප්‍රීතිමත් සෙනඟකින් පිරි පාරාදීස පොළොව පාලනය කිරීමට ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේදී එක් වන අයගේ සංඛ්‍යාවය.—ගීතාවලිය 37:29.

[පාදසටහන]

^ 7 ඡේ. ක්‍රිස්තුස්ගේ අවුරුදු දහසේ පාලනය සම්බන්ධයෙන් වැඩි විස්තර ලබාගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අත ළඟය! පොතේ 289-90 දක්වා පිටු බලන්න.

[31වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ස්වර්ගයේ උරුමය ලබන්නන්ගේ සංඛ්‍යාව 1,44,000කට සීමා වේ

[31වන පිටුවේ පින්තූරය]

“මහත් සමූහය” ගණන් කළ නොහැකි සංඛ්‍යාවකි

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

තරු: Anglo-Australian Observatory අනුග්‍රහයෙනි, ඡායාරූප David Malin විසිනි