Skip to content

පටුනට යන්න

සතුට සඳහා සැබවින්ම අවශ්‍ය වන්නේ කුමක්ද?

සතුට සඳහා සැබවින්ම අවශ්‍ය වන්නේ කුමක්ද?

සතුට සඳහා සැබවින්ම අවශ්‍ය වන්නේ කුමක්ද?

සන්තෝෂයෙන් සිටීමට නම් අවශ්‍ය කුමක්ද කියා හොඳින්ම දන්නේ “සන්තෝෂවත් දෙවි” වන යෙහෝවා සහ “සන්තෝෂවත් වූද බලවත් වූද” එකම තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් යන දෙදෙනායි. (1 තිමෝති 1:11; 6:15) එම නිසා, සන්තෝෂය සඳහා මූලිකව අවශ්‍ය කරන්නේ කුමක්ද කියා දේවවචනය වන බයිබලයෙන් දැනගත හැකිවීම පුදුමයට කාරණයක් නොවෙයි.—එළිදරව් 1:3; 22:7.

යේසුස් තම සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනයේදී සන්තෝෂය සඳහා අවශ්‍ය කරන්නේ කුමක්ද කියා පැහැදිලි කළා. ඔහු කිව්වේ, (1) තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය, (2) වැලපෙමින් සිටින අය, (3) මෘදු ගුණැති අය, (4) ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇති අය, (5) දයාවන්ත අය, (6) නිර්මල සිත් ඇති අය, (7) සාමය ඇති කරන අය, (8) ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳින අය සහ (9) ඔහු නිසා නින්දා පීඩා අද්දකින අය “සන්තෝෂවත්ය” කියායි.—මතෙව් 5:3-11. *

යේසුස්ගේ ප්‍රකාශයන්වල සත්‍යයක් තිබෙනවාද?

යේසුස්ගේ සමහර ප්‍රකාශයන්වල සත්‍යතාවක් තිබේද කියා තේරුම්ගැනීම කොහෙත්ම අපහසු නෑ. බොරු මවා පෑමෙන් තොරව මෘදු ගුණය, දයාව වැනි ගුණාංග සතු සාමකාමී කෙනෙකුට වඩා ඉක්මනින් කුපිත වන, රණ්ඩුවට බර, හිතේ තෙතමනයක් නැති කෙනෙක් සතුටෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන් කාටද?

ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇති අය හෝ වැලපෙන අය සන්තෝෂවත් වෙන්නේ කොහොමද කියලා අප තුළ සැකයක් මතු වෙන්න පුළුවන්. එවැනි පුද්ගලයන්ට ලෝකයේ තත්වය ගැන තිබෙන්නේ යථාර්ථවාදී ආකල්පයක්. ඔවුන් වර්තමානයේ ‘සිදු වෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරි ගාමින් සිටිනවා.’ (එසකියෙල් 9:4) එසේ කළ පමණින්ම ඔවුන්ට සතුටක් ලැබෙන්නේ නැහැ. නමුත් දෙවිගේ අරමුණ වන පොළොවේ ධර්මිෂ්ඨ තත්වයක් ඇති කිරීම හා පීඩිතවූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම වැනි කාරණා ගැන ඉගෙනගන්නා විට ඔවුන් අසීමිත සතුටක් අද්දකිනවා.—යෙසායා 11:4.

හරි දේ කිරීමට තමන් නිතර අසමත් වීම හේතුවෙන් ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන අය ඒ ගැන දුක් වෙනවා නැතහොත් ඔවුන් ඒ ගැන වැලපෙනවා. එම නිසා ඔවුන් තමන්ගේ ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙයි. එවැනි පුද්ගලයන් දෙවිගේ මඟ පෙන්වීම ලබාගැනීමට කැමතියි. මන්දයත් මිනිසුන්ගේ දුර්වලකම් ජයගැනීමට උපකාර කරන්න පුළුවන් ඔහුට පමණයි කියා ඔවුන් තේරුම්ගෙන තිබෙනවා.—හිතෝපදේශ 16:3, 9; 20:24.

වැලපෙන, ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇති හා තම ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වන අය මැවුම්කරු සමඟ හොඳ සබඳතාවක් පවත්වාගැනීමේ ඇති වැදගත්කම හොඳින් දන්නවා. මනුෂ්‍යයන් සමඟ යහපත් සබඳතාවක් පවත්වාගැනීම සන්තෝෂයට දායක වෙනවා. නමුත්, ඊටත් වඩා සතුටක් ලැබෙන්නේ දෙවි සමඟ හොඳ සබඳතාවක් පැවැත්වීමෙනුයි. හරි දෙය කිරීමට අවංක ආශාවක් තිබෙන අය හා දෙවිගේ මඟ පෙන්වීම පිළිගැනීමට කැමැත්තක් දක්වන අය ඇත්තෙන්ම සන්තෝෂවත් අය ලෙස හඳුන්වන්න පුළුවන්.

කෙසේවෙතත්, නින්දා පීඩාවලට ලක් වූ කෙනෙක් සන්තෝෂවත් විය හැකි බව විශ්වාස කිරීම ඔබට දුෂ්කර විය හැකියි. නමුත් එසේ කිව්වේ යේසුස්. ඒ නිසා එහි සත්‍යයක් තිබිය යුතුයි. එසේනම් ඔහු කියූ දෙයෙහි අරුත අප තේරුම්ගන්නේ කොහොමද?

පීඩා වින්දත් සන්තෝෂයෙන්—ඒ කොහොමද?

අද්දකින නින්දා පීඩා නිසා සන්තෝෂය ලැබෙන බවක් යේසුස් කිව්වේ නැති බව සැලකිල්ලට ගන්න. ඔහු පොරොන්දු වුණේ මෙවන් දෙයක්. ‘ධර්මිෂ්ඨකම නිසා පීඩා විඳින විට, මා නිසා මිනිසුන් ඔබට නින්දා පීඩා කරන විට ඔබ සන්තෝෂවත්ය.’ (මතෙව් 5:10, 11) එම නිසා, සන්තෝෂය ලැබෙන්නේ යම් පුද්ගලයෙක් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වීම නිසා මෙන්ම ඔහුගේ ජීවිතය යේසුස් ඉගැන්වූ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට අනුව හැඩගස්වාගැනීම නිසා ඔහුට නින්දා අපහාස අත් විඳින්න සිදු වුවහොත් විතරයි.

මෙය පළමු ශතවර්ෂයේ සිටි ක්‍රිස්තියානීන්ට සිදු වූ දෙයින් පැහැදිලි වෙනවා. යුදෙව් මහාධිකරණය වන සැන්හෙඩ්‍රිනයේ සාමාජිකයෝ “ප්‍රේරිතයන් කැඳවා, ඔවුන්ට තළා, මෙතැන් පටන් යේසුස්ගේ නාමයෙන් කතා නොකරන ලෙස ඔවුන්ට අණ කර, යන්න හැරියෝය.” ප්‍රේරිතයන් මෙයට ප්‍රතික්‍රියා කළේ කොහොමද? “එවිට ඔවුහු, ඔහුගේ නාමය නිසා නින්දා විඳින්න තමුන් වටින්නෝයයි ගණන්ගනු ලැබූ හෙයින් ප්‍රීතියෙන් සැන්හෙඩ්‍රිනයෙන් පිටත්ව ගියෝය. ඉන්පසු ඔවුහු දිනපතා දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස් අත් නෑර උගන්වමින්ද ක්‍රිස්තුස් වූ යේසුස් ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින්ද සිටියෝය.”—ක්‍රියා 5:40-42; 13:50-52.

නින්දාව හා සන්තෝෂය අතර තිබෙන සම්බන්ධය පෙන්වීම සඳහා ප්‍රේරිත පේතෘස් අමතර පැහැදිලි කිරීමක් කරනවා. ඔහු මෙසේ ලීවා. “ක්‍රිස්තුස්ගේ නාමය නිසා ඔබට නින්දා කරනු ලබන්නේ නම්, ඔබ සන්තෝෂවත්හුය. මන්ද තේජසයෙහි ආත්මය, එනම් දෙවිගේ ආත්මය ඔබ කෙරෙහි රඳා පවතින්නේය.” (1 පේතෘස් 4:14) ක්‍රිස්තියානියෙකු වශයෙන් හරි දෙය කිරීම නිසා දුක් විඳීමට සිදු වන විට එම දුක කොතරම් අමිහිරි වුවත් දෙවිගේ ශුද්ධාත්මය තමාට ලැබෙන බව දැනගැනීමෙන් සන්තෝෂය ලැබෙනවා. දෙවිගේ ශුද්ධාත්මය සන්තෝෂයට සම්බන්ධ වන්නේ කොහොමද?

මාංසයේ ක්‍රියාද නැතහොත් ආත්මයේ පලද?

දෙවිගේ ශුද්ධාත්මය ලැබෙන්නේ පාලකයා හැටියට දෙවිට කීකරු වන අයට පමණයි. (ක්‍රියා 5:32) යෙහෝවා තම ආත්මය “මාංසයේ ක්‍රියා” කරන අයට දෙන්නේ නැහැ. එම ක්‍රියා නම් “වේශ්‍යාකම, අපවිත්‍රකම, නින්දිත හැසිරීම, රූප වන්දනාව, භූතවාදයේ නියැලීම, සතුරුකම්, අඬ දබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද, භේද, නිකායන්, කුඩුකේඩුකම්, බේබදුකම්, ඝෝෂාකාරී උත්සව යනාදි දේවල්ය.” (ගලාති 5:19-21) වර්තමාන ලෝකය “මාංසයේ ක්‍රියාවලින්” පිරී තිබෙන බව සත්‍යයක්. නමුත් එම දේවල් කරන අය සැබෑ හා කල් පවතින සන්තෝෂයක් අද්දකින්නේ නැහැ. ඇත්තෙන්ම එවැනි දේවල් කිරීමෙන් යම් පුද්ගලයෙකු තම නෑදෑ හිතමිතුරන් සමඟ තිබෙන හොඳ සම්බන්ධතා නැති කරගන්නවා. ඇරත් “මෙවැනි දේවල නියැලී සිටින්නන්ට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති” බව දෙවිගේ වචනයේ සඳහන් වී තිබෙනවා.

“ආත්මයේ පල” විදහාපාන අයට නම් දෙවි ඔහුගේ ශුද්ධාත්මය ලබා දෙනවා. ආත්මයේ පලවලට අයත් වන ගුණාංග නම් “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම දමනයයි.” (ගලාති 5:22, 23) අපි මෙම ගුණාංග විදහාපෙන්වන විට අන් අය හා දෙවි සමඟ යහපත් සම්බන්ධතාවක් ඇති කරගැනීමට මාර්ග විවෘත කරගන්නවා. එයින් අත් වන්නේ සැබෑ සතුටයි. (කොටුව බලන්න.) ඊට වඩා වැදගත් දෙයක් තිබෙනවා. ප්‍රේමය, කරුණාව, යහපත්කම හා වෙනත් දේවගුණාංග පෙන්වීම මගින් අපි යෙහෝවාව සතුටට පත් කරන අතර දෙවිගේ ධර්මිෂ්ඨ නව ලොවෙහි සදාතන ජීවිතයක් ලැබීමේ ප්‍රීතිමත් බලාපොරොත්තුවද අපට තබාගත හැකියි.

සතුට සඳහා තේරීමක් කළ යුතුයි

වොල්ෆ්ගාං සහ බ්‍රිජෙට් ජර්මනියේ ජීවත් වන විවාහක යුවළක්. ඔවුන් මහත් උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත්තා. සාමාන්‍යයෙන් මිනිසුන් සතුටින් පිරි ජීවිතයක් සඳහා අවශ්‍යයයි හිතන සැප සම්පත් බොහොමයක් ඔවුන් සතුව තිබුණා. ඔවුන් තරුණ නිරෝගී යුවළක්. ඔවුන් ඇන්දේ වටිනා ඇඳුම් පැළඳුම්. ජීවත් වුණේ ලස්සන අංග සම්පූර්ණ නිවසක. ඒ වගේම ඔවුන්ට සාර්ථක ව්‍යාපාරයක්ද තිබුණා. ඔවුන්ගේ කාලයෙන් වැඩි හරියක් ගත වුණේ වස්තු සම්භාරය තව තවත් වැඩි කරගැනීමටයි. ඒත් ඒ කිසිවකින් ඔවුන්ට සැබෑ සතුටක් ලැබුණේ නැහැ. කාලයක් ගිය විට වොල්ෆ්ගාං සහ බ්‍රිජෙට් වැදගත් තීරණයක් ගත්තා. ඔවුන් ආත්මික දේ අත් කරගැනීමට වැඩි කාලයක් හා වෑයමක් යොදවන්න පටන්ගත්තා. ඒ වගේම දෙවිට ළංවීම සඳහා ක්‍රම සෙව්වා. වැඩි කල් යන්නට මත්තෙන් ඔවුන් ගත් තීරණය, ඔවුන්ගේ ආකල්පය වෙනස් කිරීමට හේතු වුණා. ඒ නිසා ඔවුන්ගේ ජීවිත සරල කරගෙන පුරෝගාමීන් ලෙස හෝ පූර්ණ කාලීන රාජ්‍ය එවැන්ජලිස්තවරුන් ලෙස සේවය කිරීමට ඔවුන් පෙලඹුණා. ඔවුන් දැන් ජර්මනියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ ස්වේච්ඡා සේවකයන් ලෙස සේවය කරනවා. ඊට අමතරව එම රටේ සිටින විදේශිකයන්ට දෙවිගේ වචනය වන බයිබලයේ තිබෙන සත්‍යය ඉගෙනගැනීමට උපකාර කිරීම සඳහා ඔවුන් ආසියානු භාෂාවක් ඉගෙනගනිමින් සිටිනවා.

මෙම යුවළ සැබෑ සන්තෝෂය සොයාගත්තාද? වොල්ෆ්ගාං පවසන්නේ මෙවැන්නක්. “අපි ආත්මික දේට මුල් තැනක් දෙන්න පටන්ගත් කාලයේ ඉඳන් අපි සතුටෙන් ඉන්නවා. ලොකු සෑහීමකුත් අද්දකිනවා. යෙහෝවාට මුළු හදින්ම සේවය කිරීම, අපේ විවාහයත් ශක්තිමත් කර තිබෙනවා. අපි මීට කලිනුත් හොඳ විවාහ දිවියක් ගත කළා. ඒත් අපිට තිබුණ වගකීම් සහ ආශාවන් නිසා අපි ගමන් කළේ පාරවල් දෙකක. දැන් අපි එකම ඉලක්කයක් ඇතුව එක මඟක ගමන් කරනවා.”

සතුටට මඟ

කෙටියෙන්ම කියනවා නම් ‘මාංසයේ ක්‍රියාවලින්’ වළකින්න. “[දෙවිගේ] ආත්මයේ පල” වගා කරන්න. සැබෑ සතුටක් අත් කරගැනීමට නම් දෙවි සමඟ කිට්ටු සබඳතාවක් ඇති කරගැනීම සඳහා දැවෙන ආශාවක් පුද්ගලයෙකු තුළ තිබිය යුතුයි. එවැනි සබඳතාවක් ගොඩනඟා ගැනීමට වෑයම් කරන පුද්ගලයෙක් යේසුස් කියූ ආකාරයේ සන්තෝෂවත් කෙනෙක්.

එම නිසා, සතුට ඔබේ දිවියට ළං කරගන්න බැහැයි කියා සිතන්න එපා. වර්තමානයේ ඔබට හොඳ සෞඛ්‍ය තත්වයක් නැතිව ඇති. එහෙමත් නැත්නම් විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇති. සමහරවිට දෙමාපියන් වීමේ භාග්‍යය ඔබෙන් ගිලිහී ගොස් තිබෙන්න පුළුවන්. නැතහොත් ඔබ හොඳ රැකියාවක් සොයාගැනීමට වෙහෙසෙනවා ඇති. ඔබේ මුදල් පසුම්බිය ඉස්සර වගේ එතරම් බර නැතුවත් ඇති. ඒ කොයිවෙතත් අධෛර්යය වෙන්න එපා. බලාපොරොත්තු අත්හැරීමට කිසිම හේතුවක් නැහැ! දෙවිගේ රාජ්‍යය මගින් මෙම ප්‍රශ්නවලට මෙන්ම අනෙක් සෑම ප්‍රශ්නයකටම විසඳුමක් ගෙන දෙයි. යෙහෝවා ඉක්මනින්ම ගීතිකාකරු මාර්ගයෙන් ප්‍රකාශයට පත් කළ ඔහුගේ මෙම වදන් ඉටු කරයි. “ඔබගේ රාජ්‍ය සදාකාලික රාජ්‍යයක්ය. . . . ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරන්නේය.” (ගීතාවලිය 145:13, 16) සිතට මහත් අස්වැසිල්ලක් වන යෙහෝවාගේ එම පොරොන්දු මනසේ තබාගැනීම ඔබට සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට මහත් සේ දායක වෙයි. ඒ බව ලොව වටා සිටින මිලියන ගණන් යෙහෝවාගේ සේවකයන්ට සහතික කළ හැකියි.—එළිදරව් 21:3.

[පාදසටහන]

^ 3 ඡේ. සාමාන්‍යයෙන් ආශීර්වාද වාක්‍ය ලෙස හඳුන්වන මෙම වාක්‍ය නමයම අවසන් කර තිබෙන්නේ ම කාරී යන ග්‍රීක් වචනයත් සමඟයි. ඇතැම් පරිවර්තනවල ඒ ග්‍රීක් වචනයට යොදා තිබෙන්නේ “ආශීර්වාද ලද්දෝය” යන යෙදුමයි. එහෙත් නව ලොව පරිවර්තනය සහ ද ජෙරූසලම් බයිබල් මෙන්ම ටුඩේස් ඉංග්ලිශ් වර්ෂන් වැනි වෙනත් පරිවර්තනවල ඒ වෙනුවට වඩාත් නිවැරදි වචනය වන “සන්තෝෂවත්ය” යන වචනය භාවිත කර තිබෙනවා.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සතුටට දායක වන දෑ

ප්‍රේමය පෙන්නුවොත් අන් අයත් ඔබට ප්‍රේම කරාවි.

ප්‍රීතිය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට ශක්තිය ලබා දෙයි.

සාමය ආරවුල් නැති සබඳතාවලට මඟ පාදයි.

බොහෝ ඉවසිලිවන්තව කටයුතු කිරීමෙන් දුෂ්කර කාලවලදී පවා ප්‍රීතියෙන් සිටිය හැකියි.

කරුණාවන්තකම ඔබව මිතුරෙක් කරගැනීමට අන් අයව පොලඹවයි.

යහපත් නම් ඔබට, අවශ්‍යතාවක් තිබෙන විට අන් අය ඔබට සතුටෙන් අත හිත දෙයි.

ඇදහිල්ල නිසා දෙවිගේ ප්‍රේමණීය මඟ පෙන්වීම ලැබෙයි කියා විශ්වාසයක් ඔබට තබාගත හැකියි.

මෘදුකම විදහාපෑමෙන් සිත, මනස හා ශරීරය සන්සුන් වෙයි.

ආත්ම දමනය තිබේ නම් එවිට අත් වැරදීම් අවම වෙයි.

[7වන පිටුවේ පින්තූර]

සතුටින් සිටීම සඳහා ඔබ ඔබේ ආත්මික අවශ්‍යතා සපුරාගත යුතුයි