සතුට සොයා
සතුට සොයා
“සතුට, සන්තෝෂය පිරි ජීවිතයක් සඳහා අවශ්‍ය කරන්නේ කුමක්ද?” මෙම ප්‍රශ්නය අවුරුදු කිහිපයකට පෙර ප්‍රංශයේ, ජර්මනියේ, බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ වෙසෙන පුද්ගලයන්ගෙන් ඇසුවා. ඒ අයගෙන් සියයට 89දෙනෙක් කියා සිටියේ හොඳ සෞඛ්‍යයක් තිබෙනවා නම් ජීවිතය සන්තෝෂයෙන් ගත කළ හැකි බවයි. යුවළකට විවාහ වී හෝ නොවී හෝ සතුටින් එකට ජීවත් වීමට හැකි නම් එය සන්තෝෂයට හේතු වන බව සියයට 79ක් සඳහන් කළ අතර දෙමව්පියන් වීමෙන් සන්තෝෂය ලැබෙන බව සියයට 62ක් සඳහන් කළා. සන්තෝෂය සඳහා හොඳ රැකියාවක් තිබිය යුතු බවයි සියයට 51දෙනෙකුගේ අදහස. මුදල්වලින් සන්තෝෂය ලැබෙන්නේ නැහැයි කියා හොඳාකාරවම දැන සිටියත් ප්‍රශ්න කරනු ලැබූ අයගෙන් සියයට 47දෙනෙක් විශ්වාස කළේ සන්තෝෂය සඳහා මුදල් අවශ්‍ය බවයි. නමුත් තිබෙන සාක්ෂි මගින් දැකගත හැක්කේ කුමක්ද?
මුලින්ම සන්තෝෂය හා මුදල් අතර සබඳතාවක් තිබෙනවායයි කියන ඒ කතාවේ ඇත්ත නැත්ත සොයා බලමු. අමෙරිකාවේ සිටින ධනවත්ම පුද්ගලයන් සියදෙනෙකු සම්බන්ධව කළ සමීක්ෂණයකින් හෙළි වූයේ ඔවුන් සාමාන්‍ය ජනයාට වඩා වැඩි සන්තෝෂයක් අද්දකින්නේ නැති බවයි. ඊට අමතරව එක්සත් ජනපදයේ හුඟදෙනෙක් පසුගිය දශක තුන ඇතුළත තම වස්තු සම්භාරය දෙගුණයකින් වැඩි කරගෙන තිබුණත් ඔවුන් කලින් අද්දැක්ක සන්තෝෂයට වඩා වැඩි සන්තෝෂයක් අද්දකින්නේ නැති බව මානසික සෞඛ්‍ය විශේෂඥයන් සොයාගෙන තිබෙනවා. එක් වාර්තාවක මෙවන් විස්තරයක් තිබුණා. “එම කාලය තුළ මානසික අවපීඩනයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. නහඹර වියේ පසු වෙන අය අතර සියදිවි නසාගැනීම තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා. දික්කසාද සංඛ්‍යාව දෙගුණ වී තිබෙනවා.” මුදල් හා සන්තෝෂය අතර යම් සබඳතාවක් තිබෙනවාද කියා පර්යේෂකයන් විසින් රටවල් 50ක පමණ කළ අධ්‍යයනවලින් පසු ඔවුන් පැමිණි අවසන් නිගමනය නම්, සන්තෝෂය මිල දී ගත නොහැකිය යන්නයි.
ඊළඟට, සන්තෝෂය සඳහා හොඳ සෞඛ්‍යයක්, තෘප්තිමත් විවාහ දිවියක් හා හොඳ රැකියාවක් වැනි දේ කොපමණ වැදගත්ද? ඇත්තටම මෙම දේවල් සන්තෝෂය සඳහා අත්‍යවශ්‍යම නම් හොඳ සෞඛ්‍යයක් නැති මිලියන සංඛ්‍යාත ජනයා හා තෘප්තිමත් විවාහ දිවියක් ගත නොකරන අය ගැන කිව හැක්කේ කුමක්ද? ඒ වගේම දරුවන් නැති විවාහක අය හා හොඳ රැකියාවක් නැති ස්ත්‍රීන් හා පුරුෂයන් ගැන කියන්න පුළුවන් මොනවාද? ඒ හැම කෙනෙක්ම ගත කරන්නේ සන්තෝෂයක් නැති අඳුරු ජීවිතයක්ද? හොඳ සෞඛ්‍යයක් හා තෘප්තිමත් විවාහයක් නිසා සන්තෝෂය ලැබෙනවා කියා සිතනවා නම් එය අද්දකිමින් සිටින අයගේ තත්වය වෙනස් වුණොත් ඔවුන්ගේ සන්තෝෂයට නැවතීමේ තිත වැටෙයිද?
අපි සන්තෝෂය සොයන්නේ හරි තැනින්ද?
සන්තෝෂයෙන් ඉන්න අපි කවුරුත් කැමතියි. එය පුදුමයට හේතුවක් නෙමෙයි. මන්දයත් මිනිසාගේ මැවුම්කරුව විස්තර කර තිබෙන්නේ “සන්තෝෂවත් දෙවි” ලෙසටයි. මිනිසාව මවා තිබෙන්නේ ඔහුගේ ස්වරූපයෙන්. (1 තිමෝති 1:11; උත්පත්ති 1:26, 27) එම නිසා මිනිසුන් සන්තෝෂය සෙවීම සාමාන්‍ය දෙයක්. කෙසේවෙතත් හුඟදෙනෙකුට හැඟෙන්නේ සන්තෝෂය හැමදාටම තියාගන්න උත්සාහ කිරීම හරියට වැලි මිටක් අතේ රඳවාගැනීමට දරන වෑයමක් ලෙසටයි. දෙකම ඉක්මනින්ම අපෙන් ගිලිහී යනවා.
මෙය සිදු වන්නේ සමහරෙකු සන්තෝෂය සෙවීමට අනවශ්‍ය වෙහෙසක් දැරීම නිසා විය හැකිද? එරික් හොෆර් නමැති සමාජ විද්‍යාව පිළිබඳ දාර්ශනිකයා එසේ සිතුවා. ඔහු මෙවන් අදහසක් පළ කළා. “අසන්තෝෂයට මූලික හේතුවලින් එකක් සන්තෝෂය සෙවීම.” අපි වැරදි තැන්වලින් සන්තෝෂය සොයන්න ගියොත් නම් එය සත්‍යයක් වේවි. එවිට බලාපොරොත්තු කඩවීම හා අධෛර්යයට පත්වීම අනිවාර්යෙන්ම අපට අද්දකින්න සිදු වෙයි. පොහොසත් වෙන්න වෙහෙසීම, කීර්තිය හෝ සමාජයේ පිළිගැන්ම අත් කරගැනීමට වෑයම් කිරීම, දේශපාලනික, සමාජීය හෝ ආර්ථික වාසි අත් කරගැනීමේ ඉලක්ක පසුපස හඹා යෑම, එසේ නැතහොත් ආත්මාර්ථකාමී හා ක්ෂණිකව තමන්ගේ ආශාවන් පිනවාගැනීමේ ජීවන රටාවක් ගත කිරීම වැනි කිසිම දෙයකින් අපට සන්තෝෂය ලැබෙන්නේ නැහැ. එක් කර්තෘවරියකගේ මෙම අසාමාන්‍ය ප්‍රකාශය සමහරෙක් අනුමත කිරීම පුදුමයක් නෙමෙයි. “අපි සන්තෝෂය ලබාගන්න දරන වෑයම නතර කළොත් අපට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්”!
විශේෂ දෙයක් වන්නේ ලිපිය ආරම්භයේ සඳහන් කළ සමීක්ෂණයේදී සියයට 40කට හැඟුණේ සන්තෝෂය ලැබෙන්නේ අන් අයට යහපත් දේවල් කිරීමෙන් හා උපකාර පිරිනැමීමෙන් බවයි. ඒ වගේම ඇදහිල්ල හා ආගමික විශ්වාසයන් සන්තෝෂය සඳහා විශාල ලෙස දායක වන බව සියයට 25ක් අවධාරණය කළා. ඇත්තටම සන්තෝෂය සඳහා අවශ්‍ය කරන්නේ කුමක්ද කියා අප සොයා බැලිය යුතු බව පැහැදිලියි. අනෙක් ලිපිය ඒ සඳහා අපට උපකාරයක් ලබා දෙයි.
[3වන පිටුවේ පින්තූර]
හුඟදෙනෙක් හිතන්නේ මුදල්, තෘප්තිමත් පවුල් ජීවිතයක් නැතහොත් හොඳ රැකියාවක් සතුට, සන්තෝෂය සඳහා දායක වෙන බවයි. ඔබ එයට එකඟද?