Skip to content

පටුනට යන්න

ඇඹරුම් ගලේ පිහිටෙන් ආහාර

ඇඹරුම් ගලේ පිහිටෙන් ආහාර

ඇඹරුම් ගලේ පිහිටෙන් ආහාර

එය ජීවිතය පවත්වාගැනීමට අත්‍යවශ්‍ය” යමක් ලෙසත්, “ඈත අතීතයේ සිට මිනිසාට පෝෂණයක් ලබා දී ඇති යමක්” ලෙසත් හඳුන්වා දී තිබෙනවා. මේ මොනවාද? එනම්, ආදි කාලයේ පටන්ම පිටිවලින් සාදාගන්නා රොටි වැනි නොයෙකුත් ආහාර වර්ගයි. ඇත්තවශයෙන්ම මිනිසාගේ මූලික අවශ්‍යතාවක් වී තිබෙන්නේ තමන්ගේ දවසේ කෑම වේල සොයාගැනීමයි.

මෙවැනි ආහාර සාදාගන්නේ පිටිවලින් හෝ අඹරා පිටි කරගත් ධාන්‍යවලින් නිසා ගලේ ඇඹරීම ඉපැරණි කාලයේ පටන්ම පැවතෙන ක්‍රමයක්. යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් තොරව ධාන්‍ය වර්ග පිටි කරගැනීම ඇත්තෙන්ම ඉතා වෙහෙසකාරී දෙයක් වූවා විය හැකියි. බයිබල් කාලවලදී ඇඹරුම් ගලේ ශබ්දයෙන් ඇඟවූයේ රටේ පවතින සාමකාමී වාතාවරණයක්. ඇඹරුම් ගල් ශබ්දයක් අසන්න නොලැබුණා නම් එයින් කියා පෑවේ ඔවුන්ගේ දුක්ඛිත තත්වයයි.—යෙරෙමියා 25:10, 11.

මිනිස් ඉතිහාසය පුරාම ධාන්‍ය ඇඹරීමට යොදාගත් සාර්ථක ක්‍රම සහ විධි සමහරක් මොනවාද? අද කාලයේ ධාන්‍ය පිටි කරගැනීම සඳහා භාවිත වෙන්නේ කුමන ක්‍රමද?

ඇඹරුම් ගල් අවශ්‍ය වුණේ ඇයි?

යෙහෝවා පළමු යුවළ වන ආදම් සහ ඒවට මෙසේ පැවසුවා. “මුළු පොළෝතලයෙහි ඇති බීජ දරන සියලු පලාද බීජ දරන පල ඇති සියලු වෘක්ෂයන්ද ඔබට දුනිමි. ඒ දේ ඔබට ආහාර පිණිස වන්නේය.” (උත්පත්ති 1:29) යෙහෝවා සැපයූ ආහාරවලට ධාන්‍යද ඇතුළත් වුණා. මෙම ආහාර වර්ග මිනිස් ජීවිතයේ පැවැත්ම සඳහා අවශ්‍ය වුණා. ඊට හේතුව තිරිඟු, බාර්ලි, කුරක්කන්, හාල්, මෙනේරි, බඩ ඉරිඟු වැනි සියලුම ධාන්‍යවල කාබෝහයිඩ්‍රේට අඩංගු වීමයි. ඒවාට ශරීරය තුළදී ශක්තිය බවට පරිවර්තනය වීමේ හැකියාව තිබෙනවා.

කෙසේවෙතත් ධාන්‍ය අමුවෙන් කෑමට ගෙන ජීර්ණය කරගැනීමට හැකියාවක් මිනිසාට නැහැ. ඒවා කෑමට ගත හැකි වන්නේ පිටි කර පිසීමෙන් අනතුරුවයි. ධාන්‍ය පිටි කරගැනීමට භාවිත කළ හැකි සරලම ක්‍රම වන්නේ ඒවා වංගෙඩියක දමා කොටාගැනීම, නැත්නම් ගල් දෙකක් අතරට දමා පොඩි කරගැනීම, නොඑසේනම් එම ක්‍රම දෙකම යොදාගැනීමයි.

ඇඹරුම් ගල්වල ආරම්භය

මුල් කාලවලදී භාවිත වූ එක්තරා ආකාරයක ඇඹරුම් ගලක් ඉපැරණි ඊජිප්තුවේ සොහොන් ගෙවල්වලින් සොයාගනු ලැබූ කුඩා ප්‍රතිමාවලින් නිදර්ශනය වෙයි. මෙය හරියට අපි භාවිත කරන මිරිස් ගල වගේමයි. නමුත් වෙනසකට තිබෙන්නේ මේ පින්තූරයේ පෙනෙන පරිදි එක පැත්තක් ටිකක් ඉස්සී තිබීමයි. බොහෝවිට මෙය භාවිත කළේ කාන්තාවන්. මෙහි යමක් අඹරන විට අඹරන කෙනා දණ ගහගෙන මුළු ශක්තිය යොදා ධාන්‍ය අඹරාගත යුතුයි. මොන තරම් සරල සාර්ථක ක්‍රමයක්ද!

කෙසේවෙතත් පැය ගණනාවක් දණ ගහගෙන මේ කාර්යය කිරීම ඔවුන්ගේ සෞඛ්‍යයට බලපෑවා. අඹරන ගල ඉස්සරහට හා පස්සට තල්ලු කිරීම නිසා කොන්දේ, අත්වල, කළවා ප්‍රදේශයේ, දණහිසේ සහ මාපටැඟිල්ලේ අධික පීඩනයක් ඇති කළා. ඉපැරණි සිරියාවෙන් හමු වුණු ඇටසැකිලිවල දක්නට තිබුණු අස්ථි විකෘතිතා ගැන අධ්‍යයනය කළ පාෂාණ ධාතු විද්‍යාඥයන් මෙසේ නිගමනය කර තිබෙනවා. එනම් දිගටම එවැනි ඇඹරුම් ගල් භාවිත කිරීම නිසා තරුණ කාන්තාවන්ගේ දණහිස්, පිට කොන්දේ අවසාන කශේරුකාවේ හා මාපටැඟිලිවල ආබාධ ඇති වී තිබෙන බව. පුරාතන ඊජිප්තුවේ ගෘහ සේවිකාවන්ගේ වැඩ කොටසට මෙවැනි ඇඹරුම් ගලක උපකාරයෙන් ධාන්‍ය ඇඹරීමත් ඇතුළත් වූ බව පෙනෙන්ට තිබේ. (නික්මයාම 11:5) * සමහර විශාරදයන් විශ්වාස කරන පරිදි ඊශ්‍රායෙලිතයන් ඊජිප්තුවෙන් පිට වන විට ඔවුන් රැගෙන ගිය ඇඹරුම් ගල් මෙයාකාරයේ ඒවා වන්නට ඇති.

පසුව ඇඹරුම් ගලේ වඩාත් හොඳින් හා ඉක්මණින් ධාන්‍ය අඹරාගැනීම සඳහා ගල් දෙකේ මතුපිට කෙටීමෙන් ගොරෝසු කරනු ලැබුවා. ඊටපසු තවත් අලුත් ඇඹරුම් ගල් ජාතියක් හඳුන්වා දෙනු ලැබුවා. එහි උඩ ගල පුනීලයක හැඩය ගත් අතර ධාන්‍ය එහි දමනු ලැබුවා. එම ධාන්‍ය ටිකෙන් ටික ගල් දෙක අතරට වැටුණා. ක්‍රිස්තු පූර්ව හතරවෙනි හෝ පස්වෙනි සියවසේදී ග්‍රීක ජාතිකයන් ඉතාමත්ම සරල ඇඹරුම් ගලක් නිර්මාණය කළා. මෙහි උඩ ගලේ පැත්තක මිටක් සවි කර තිබුණා. ධාන්‍ය පුනීලාකාර උඩු ගලට දමා මිටෙන් අර්ධ කවාකාරව එහාට මෙහාට කරකවන විට ගල් දෙක අතරට වැටුණ ධාන්‍ය ඇඹරුණා.

නමුත් මේ සියලුම ආකාරයේ ඇඹරුම් ගල්වලට ලොකු අඩු පාඩුවක් තිබුණා. එනම් උඩු ගල ඉස්සරහට හා පස්සට තල්ලු කිරීම අවශ්‍ය වීමයි. මේ ක්‍රියාව කිරීම සඳහා සතෙකුව පුහුණු කරන්න හැකි වුණේ නැහැ. ඒ නිසා මේවා සම්පූර්ණයෙන්ම මිනිස් ශ්‍රමය මතම රඳා පැවතුණා. පසුව, එවකට පැවතුණු නවීන තාක්ෂණය මගින් උඩු ගල සම්පූර්ණයෙන්ම කරකැවීමෙන් ධාන්‍ය අඹරාගත හැකි ඇඹරුම් ගල් හඳුන්වා දුන්නා. මේවායේ සතුන් යොදවා වැඩ කරගන්න හැකි වුණා.

කාර්යය පහසු කරවන ඇඹරුම් ගල්

ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේදී පමණ මධ්‍යධරණී මුහුද අවට ප්‍රදේශයේ වැසියන් මෙම කරකැවෙන ඇඹරුම් ගල සොයාගත් බව බොහෝදුරට සිතන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ පළමුවෙනි ශතවර්ෂයේ පලස්තීනයේ විසූ යුදෙව්වන් එවැනි ඇඹරුම් ගල් ගැන හොඳින් දැනගෙන සිටියා. එසේ කීමට හේතුව නම්, “බූරුවෙකු විසින් කරකවනු ලබන ඇඹරුම් ගලක්” ගැන යේසුස් ඔවුන්ට කතා කර තිබීම එසේ කීමට හේතුවයි.—මාක් 9:42.

මෙසේ සතුන් ලවා කරකවනු ලැබූ ඇඹරුම් ගල් රෝමයේ හා රෝම අධිරාජ්‍යයේ බොහෝ ප්‍රදේශවල භාවිත වුණා. පොම්පෙයි නගරයේ තවමත් එවැනි ඇඹරුම් ගල් දක්නට තිබෙනවා. මෙම ඇඹරුම් ගල සෙක්කුවක ආකාරයක් ගත් අතර වෙනසකට තිබුණේ උඩ ගල පුනීලාකාර හැඩයක් ගැනීමයි. ධාන්‍ය දැම්මේ ඒ තුළටයි. උඩ ගල කරකැවෙන්න සලස්වද්දී ගල් දෙක අතර වැටුණ ධාන්‍යය ඇඹරුණා. දැනට පවතින මෙයාකාරයේ උඩ ගල්, ප්‍රමාණයෙන් වෙනස්. ඒවා අඟල් 18 සිට 36 දක්වා පළලයි. මෙවැනි ඇඹරුම් ගල් අඩි 6ක් පමණ උසයි.

අතින් කරකවන කුඩා ඇඹරුම් ගල් සෑදුණේ සතුන් යොදා පාවිච්චි කරන ඇඹරුම් ගල් සොයාගත්තට පස්සේද එසේත් නැතිනම් මුලින්ම අතින් කරකවන ඇඹරුම් ගල් සොයාගනු ලැබුවාද කියා හරියටම දන්නේ නැහැ. කෙසේවෙතත් අතින් කරකවන කුඩා ඇඹරුම් ගල් පාවිච්චි කිරීමටත් එහා මෙහා ගෙන යෑමටත් පහසු වුණා. මෙම පින්තූරයේ පෙන්වා ඇති විදිහට එයට වෘත්තාකාර ගල් දෙකක් තිබුණා. මේවායේ පළල අඟල් 12ත් 24ත් අතර ප්‍රමාණයක්. යට ගලේ උඩ පැත්ත ටිකක් ඇතුළට නෙරා තිබුණු අතර උඩු ගලේ යටි පැත්ත එළියට නෙරා තිබුණා. ගල් දෙක හොඳින් සවි වන ආකාරයට සකස් කර තිබූ අතර උඩු ගල කරකැවීම සඳහා මිටක් තිබුණා. සාමාන්‍යයෙන් මේ අඹරුම් ගල දෙපස ගැහැණු දෙදෙනෙක් මුහුණට මුහුණ ලා ඉඳගන්න අතර මේ දෙන්නම එක අතකින් මිට අල්ලා කරකවනවා. (ලූක් 17:35) එක් කෙනෙක් ඇගේ අනිත් අතින් ධාන්‍ය ටික ටික උඩ ගලේ ඇති විවරයට දමන අතර අනිත් කෙනා ඇගේ අනිත් අතින් පිටි වන ධාන්‍ය කට මට්ටමට ආවාම ඒවා බන්දේසියකට එකතු කළා. එහෙමත් නැත්නම් ඇඹරුම් ගල රෙදි කෑල්ලක් උඩ තියා අඹරන නිසා පිටි ටික එම රෙදි කෑල්ලට හැළෙද්දී ඒවා එකතු කරගන්නවා. ධාන්‍ය අඹරාගැනීමට වෙනත් පහසුකම් නැති තැන්වල වෙසෙන, විශේෂයෙන්ම හමුදාවේ සේවය කරන්නන්ට, නැවියන්ට හෝ පුංචි පවුල්වලට මෙම ඇඹරීමේ ක්‍රමය මගින් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් පිරිමසාගන්න පුළුවන් වුණා.

ජලයෙන් හා සුළඟෙන් ක්‍රියාත්මක වූ ඇඹරුම් ගල්

ක්‍රිස්තු පූර්ව 27දී පමණ රෝමානු ඉංජිනේරුවෙක් වන වටෘවියස් ජලමෝලක් හඳුන්වා දුන්නා. මෙය කරත්ත රෝදයක හැඩය ගත් අතර එය වටේට පැඩල් සවි කර තිබුණා. ගලා හැලෙන ජලය මේ පැඩලයට වැටුණාම රෝදය කැරකුණා. මෙම රෝදයට දිග දණ්ඩක් සවි කර තිබුණු අතර ඒ දණ්ඩේ අනිත් කෙළවර විශාල ඇඹරුම් ගලක උඩ ගලට සවි කෙරුණා. මේ අනුව රෝදය කරකැවෙන විට දණ්ඩත් කරකැවෙන අතර එමගින් ඇඹරුම් ගලත් ක්‍රියාත්මක වුණා.

වෙනත් ඇඹරුම් ගල් සමඟ සන්සන්දනය කර බලන කල ජල මෝලෙන් ඇඹරෙන පිටි ප්‍රමාණය ගැන කුමක් කිව හැකිද? අතින් ක්‍රියාත්මක කරන ඇඹරුම් ගලකින් පැයකට කිලෝග්‍රෑම් 10ක් අඹරන්න පුළුවන් බවත් වඩාත් කාර්යක්ෂම සතෙකු යොදා අඹරන ඇඹරුම් ගලකින් පැයට කිලෝග්‍රෑම් 50ක් පමණ අඹරාගන්න පුළුවන් බවත් ගණන් බලා තිබෙනවා. නමුත් වටෘවියස් හඳුන්වා දුන් ජලමෝලෙන් පැයකට කිලෝග්‍රෑම් 150ත් 200ත් අතර ප්‍රමාණයක් අඹරගන්න පුළුවන් වුණා. මෙතැන් පටන් ශතවර්ෂ ගණනාවක් පුරා මෝල් නිර්මාණය කිරීමේදී විවිධ පැති රාශියකින් වෙනස්කම් හා දියුණු වීම් දක්නට තිබුණද වටෘවියස් භාවිත කළ මූලික ප්‍රතිපත්තිය දක්ෂ මෝල් නිර්මාණකරුවන් පාවිච්චි කර තිබෙනවා.

ඇඹරුම් ගල් ක්‍රියාත්මක කිරීමට යොදාගනු ලැබුවේ ස්වාභාවික බලයක් ලෙස පාවිච්චි කළ හැකි ගලා හැලෙන ජලය පමණක් නෙවෙයි. ජලමෝල් වෙනුවට ඒ විදියටම සුළඟින් ක්‍රියා කරන මෝල් පාවිච්චි කිරීමෙන් එක සමාන ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. සුළං මෝල් මුලින්ම යුරෝපයේ භාවිතයට පැමිණියේ ක්‍රි.පූ. 12වෙනි සියවසේදී විය හැකියි. ඒවා බෙල්ජියම, ජර්මනිය, ඕලන්දය හා තවත් රටවල බොහෝ සෙයින් භාවිත කෙරුණා. වාෂ්පයෙන් හා වෙනත් බලයන් ආධාරයෙන් ක්‍රියාත්මක වන මෝල් හඳුන්වා දෙන තෙක්ම සුළං මෝල් භාවිත කෙරුණා. ඊටපසු පැරණි ඇඹරුම් ක්‍රම සියල්ලක්ම ක්‍රම ක්‍රමයෙන් අභාවයට ගියා.

“අපේ දිනපතා භෝජනය”

කොතරම් නවීන ක්‍රම තිබුණද ඇඹරීම සඳහා ඉස්සර කාලයේ භාවිත කළ බොහෝ ක්‍රම විවිධ රටවල තවමත් පවතිනවා. වංගෙඩිය හා මෝල් ගහ තවමත් සමහර අප්‍රිකානු රටවල මෙන්ම පැසිෆික් දූපත්වලද භාවිත කරනවා. මෙක්සිකෝවේ හා මධ්‍යම අමෙරිකාවේ මිනිස්සු ටෝටිලාස් නම් ඔවුන්ගේ ආහාරයක් සාදාගැනීමට අවශ්‍ය බඩ ඉරිඟු අඹරාගැනීමට ඉහත විස්තර කළ මිරිස් ගලට සමාන ඇඹරුම් ගලක් තවමත් පාවිච්චි කරනවා. තවමත් විවිධ රටවල ජලමෝල් මෙන්ම සුළං මෝල් කිහිපයක්ද භාවිතයේ පවතිනවා.

සංවර්ධිත රටවල අද බොහෝදුරට පාන් සෑදීමට අවශ්‍ය පිටි ලබාගැනීම සඳහා සම්පූර්ණයෙන්ම යාන්ත්‍රිකව ක්‍රියා කරන මෝල් තිබෙනවා. දැන් ඇඹරුම්හල්වල වානේ සිලින්ඩර කිහිපයක් අතරට යවනු ලබන ධාන්‍ය විවිධ ප්‍රමාණයන්ගෙන්, එනම් පියලි කරන ලද ප්‍රමාණයෙන් හෝ ඊට වඩා ටිකක් කුඩාවට හෝ පිටි වශයෙන් අඹරාගත හැකි වෙනවා. මේ ක්‍රමය මගින් අඩු මිලකට තමන් කැමති ප්‍රමාණයෙන් ධාන්‍ය පිටි කරගන්න පුළුවන්.

කෑම සෑදීමට පිටි ලබාගන්න ඉස්සර වගේ ගොඩාක් මහන්සි වෙන්න ඕනේ නැහැ. කෙසේවෙතත් අපිට ධාන්‍ය ලබා දීම ගැනත් ඒ වගේම ඒවා පිටි කර “අපේ දිනපතා භෝජනය” සඳහා සකස් කරගැනීමට අවශ්‍ය දක්ෂතාව දී තිබීම ගැනත් මැවුම්කරුට අප ස්තුතිපූර්වක විය යුතුයි.—මතෙව් 6:11.

[පාදසටහන]

^ 10 ඡේ. බයිබල් කාලවලදී වහලුන් ලෙස ගෙන යනු ලැබූ සතුරන්ව, උදාහරණයකට සැම්සන් සහ වෙනත් ඊශ්‍රායෙලිතයන්ව ඇඹරුම් ගල්වල ධාන්‍ය ඇඹරීම සඳහා යෙදෙව්වා. (විනිශ්චයකාරයා 16:21; විලාප ගී 5:13) සාමාන්‍යයෙන් සෑම කාන්තාවක්ම තමන්ගේ ගෙදර පාවිච්චියට අවශ්‍ය ධාන්‍ය අඹරාගත්තා.—යෝබ් 31:10.

[23වන පිටුවේ පින්තූරය]

ඊජිප්තුවේ පැරණි ඇඹරුම් ගලක්

[හිමිකම් විස්තර]

Soprintendenza Archeologica per la Toscana, Firenze

[23වන පිටුවේ පින්තූරය]

සතුන් යොදා ක්‍රියාත්මක කළ ඇඹරුම් ගලකින්, තෙල් ලබාගැනීම සඳහා ඔලීව ගෙඩි අඹරාගත්තා

[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

From the Self-Pronouncing Edition of the Holy Bible, containing the King James and the Revised versions