Skip to content

පටුනට යන්න

‘ඔබ යාච්ඤා කළ යුත්තේ මෙලෙසයි’

‘ඔබ යාච්ඤා කළ යුත්තේ මෙලෙසයි’

‘ඔබ යාච්ඤා කළ යුත්තේ මෙලෙසයි’

ඔබ ස්වාමීන්ගේ යාච්ඤාවේ වචන දන්නවාද? එය යේසුස් ක්‍රිස්තුස් ඉගැන්නූ ආදර්ශ යාච්ඤාවක්. යේසුස් ඔහුගේ සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනයේදී මෙලෙස පැවසුවා. “එහෙයින් ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටය.” (මතෙව් 6:9) එම යාච්ඤාව යේසුස් ඉගැන්නූ නිසා බොහෝවිට එය හඳුන්වන්නේ ස්වාමීන්ගේ යාච්ඤාව ලෙසයි. පරමණ්ඩල යාච්ඤාව කියාත් එය හඳුන්වනවා.—ලතින් භාෂාවෙන් පැටනොස්ට.

ලොව වටා සිටින හුඟදෙනෙක් ස්වාමීන්ගේ යාච්ඤාව කටපාඩම් කරනවා. නිතර දෙවේලේ එම යාච්ඤාව කියනවා. මෑත අවුරුදුවල බොහෝදෙනෙක් මෙම යාච්ඤාව පාසැල්වල සහ විශේෂ උත්සව අවස්ථාවලදී හඬ නඟා කියා තිබෙනවා. ඇත්තෙන්ම ස්වාමීන්ගේ යාච්ඤාව මෙතරම් ගරුත්වයකින් සලකන්නේ ඇයි?

තුන්වන ශතවර්ෂයේ සිටි දේවධර්මාචාර්යවරයෙකු වන සිප්‍රියන් මෙවැන්නක් ලීවා. “ක්‍රිස්තුස් දුන් යාච්ඤාවට වඩා භක්තිවන්තකමෙන් යුත් තවත් යාච්ඤාවක් තිබෙනවාද . . . ? එයට වඩා සත්‍යවාදී ලෙස පියාණන්ට යාච්ඤාවක් ඉදිරිපත් කළ නොහැකියි. මන්දයත් මෙය අපට දුන්නේ දෙවිගේ පුත්‍රයායි. ඔහු තමාව හැඳින්වූයේ සත්‍යය ලෙසයි.”—යොහන් 14:6.

රෝමානු කතෝලික පල්ලිවල තිබෙන ඥාන උපදේශ පොත්වල ස්වාමීන්ගේ යාච්ඤාව “ක්‍රිස්තියානීන්ගේ මූලික යාච්ඤාවක්” ලෙසයි දක්වා තිබෙන්නේ. මෙම යාච්ඤාවට ක්‍රිස්තියානි ලෝකයේ සියලු ආගම්වල වැදගත් ස්ථානයක් හිමි වන අතර එය “ඇදහිල්ලේ මූලික ප්‍රකාශයන්ගෙන් එකක්” බව ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියාහි සඳහන් වෙනවා.

ඒ කොයි වෙතත් එක් දෙයක් පිළිගන්න සිදු වෙනවා. ඒ තමයි ස්වාමීන්ගේ යාච්ඤාව කටපාඩමින් කියන හුඟදෙනෙක් එම යාච්ඤාවේ තේරුම නොදන්නවාය යන කාරණය. කැනඩාවේ එක් පුවත්පතක (Ottawa Citizen) මෙවන් දෙයක් සඳහන් කර තිබුණා. “ඔබට කවර හෝ ක්‍රිස්තියානි පසුබිමක් තිබෙනවා නම් ස්වාමීන්ගේ යාච්ඤාව එක හුස්මට කීමේ හැකියාවක් ඇති. නමුත් එය තේරුම්ගැනීමෙන් යුක්තව හෙමින් සීරුවේ කීම ඔබට අපහසු විය හැකියි.”

අප දෙවිට යාච්ඤා කරද්දී එම යාච්ඤා හොඳ අවබෝධයකින් කිරීම වැදගත්ද? යේසුස් අපට ස්වාමීන්ගේ යාච්ඤාව දුන්නේ ඇයි? එය ඔබ තේරුම් අරගෙන තිබෙන්නේ කොහොමද? දැන් අපි මෙම ප්‍රශ්න සලකා බලමු.